කම්කරු දඩයමට එරෙහිව ඕල්ටන් වතු ක්‍රියාකාරී කමිටුව අප්කොට්හි දී සාර්ථක රැස්වීමක් පවත්වයි

ඕල්ටන් වතු කම්කරුවන් දඩයමට එරෙහිව මස්කෙලිය, අප්-කෝට්හි දිනේෂ් ශාලාවේ දී ඔක්තෝබර් 29දා පැවැත්වූ රැස්වීම.

ඔක්තෝබර් 29දා ඕල්ටන් වතු ක්‍රියාකාරී කමිටුව, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහාය ඇතිව “ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි බොරු නඩුව හකුලා ගනු, දොට්ට දැමූ කම්කරුවන් සියලු දෙනා වහාම යලි සේවයේ පිහිටු වනු !“ යන තේමාව යටතේ මස්කෙලිය, අප්-කෝට්හි දිනේෂ් ශාලාවේ දී සාර්ථක රැස්වීමක් පැවැත්වීය. රැස්වීමට කම්කරුවන් 40 කට වැඩි පිරිසක් සහභාගී වූහ.

ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සි), කම්කරු ජාතික සංගමය (එන්යූඩබ්ලිව්) සහ උඩරට ජනතා පෙරමුන (යූසීපීඑෆ්) ඇතුලු වතු වෘත්තීය සමිති දඩයමට ලක් වූ ඔල්ටන් වතු කම්කරුවන් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කලේ ය. සසප සහාය ඇතිව ඕල්ටන් වතු ක්‍රියාකාරී කමිටුව පසුගිය වසර දෙකහමාරක කාලයක් ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල කම්කරුවන් ආරක්ෂා කිරීමටත් ඔවුන් නැවත රැකියාවේ පිහිටුවීම සඳහා අඛන්ඩව සටන් වැදුනි.

මෙම කම්කරුවන් දඩයමට ලක් කරනු ලැබුවේ, ඕල්ටන් වතු කලමනාකාරීත්වය, හොරන වැවිලි සමාගම සහ හේලීස් සමූහ ව්‍යාපාරයෙන් සමන්විත වතු කලමනාකාරීත්වය විසිනි. දෛනික වැටුප රුපියල් 1,000 ක් ඉල්ලා කම්කරුවන් 2021 ජනවාරි මස මුල සිට වැඩ වර්ජනයක නිරත වූ අතර එම ඉල්ලීම මත සමස්ථ වතු කම්කරුවෝ එක්දින වැඩ වර්ජනයට ද සම්බන්ධ වූහ. කලමනාකාරීත්වයේ බාධා කිරීම නොතකා ඔවුන් වර්ජනය දිගටම කරගෙන ගියේ ය.

අඛන්ඩ තර්ජනවලට එරෙහිව කම්කරුවන් කලමනාකරුවන්ගේ නිවස ඉදිරිපිට 2021 පෙබරවාරි 17දා විරෝධතාවක් පැවැත්වී ය. මෙම අවස්ථාව යොදා ගනිමින්, කලමනාකාරීත්වයේ සහය ලත් පොලිසිය, කලමනාකරුට ශාරීරිකව පහරදී ඔහුගේ නිවසට අලාභහානි කල බවට ව්‍යාජ චෝදනා ගොතා කම්කරුවන් 22 දෙනෙකු සහ තරුනයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබී ය. ඒ සමගම, කම්කරුවන් 38 දෙනෙකු රැකියාවෙන් දොට්ට දැමීමට හේලීස් සමාගම කටයුතු කලේ ය. ප්‍රධාන වෘත්තීය සමිතිය වන සීඩබ්ලිව්සී ය කලමනාකාරිත්වයට සහ පොලිස් දඩයම සඳහා සහාය දැක්වීය. වතුකරයේ අනෙකුත් වෘත්තීය සමිති ද මෙම සේවක දඩයමට නිහඬව සහාය දැක්වූහ.

මාස 32ට පසුවත්, කම්කරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට පොලිසියට නොහැකි වීම පෙන්නුම් කරන්නේ මෙම නඩුවේ ප්‍රෝඩාකාරී ස්වභාවයයි.

කම්කරුවන්ට එරෙහි මර්දනය සම්බන්ධව ලෝසවෙඅ ලිපි ගනනාවක් පල කල ඕල්ටන් වතු ක්‍රියාකාරී කමිටුව 2021 ඔන්ලයින් රැස්වීමක් පැවැත් වූ අතර පසුගිය වසරේ අගෝස්තු මාසයේ අප්කෝට් නගර මධ්‍යයේ පිකට් වැටක් ද සංවිධානය කලේ ය. කොන්දේසි විරහිතව නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා නීතිපතිවරයාට සහ පොලිස් අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමු කරන ලද ඔන්ලයින් සහ මුද්‍රිත පිටපත් දෙකෙන්ම දියත් කරන ලද පෙත්සමකට කම්කරුවන් සහ තරුනයින් 1000 කට වැඩි පිරිසක් අත්සන් කර ඇත.

රැස්වීමට පෙර ක්‍රියාකාරී කමිටුවේ සහ සසප සාමාජිකයන් ඕල්ටන්, ග්ලෙනුජ්, ෆෙයාර් ලෝන් සහ මස්කෙලිය අප්කොට් නගරයේ සහ බෘරූන්ස්වික් යන වතු ගනනාවක කම්කරුවන් අතර දින කිහිපයක් උද්ඝෝෂනය කලහ. උද්ඝෝෂකයෝ 'ගාසාවේ ඊශ්‍රායල ජන සංහාරයට එරෙහි ගෝලීය විරෝධතාවයන් කම්කරු පන්තිය වෙත හැරිය යුතුය' යන මාතෘකාවෙන් ලෝසවෙඅ කර්තෘ මන්ඩල ප්‍රකාශයේ පත්‍රිකා සිය ගනනක් සිංහල හා දෙමල භාෂාවන්ගෙන් බෙදා හැරි ය.

ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි දඩයම සහ සමස්ථයක් ලෙස කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව වික්‍රමසිංහ ආන්ඩුව දියත් කර ඇත්තේ ලෝකය පුරා පාලක පන්තීන් දියත් කර ඇති පන්ති යුද්ධයේ පිලිවෙතයි. අධිරාජ්‍යවාදී පිටුබලය ලත් ඊශ්‍රායල ආන්ඩුව පලස්තීනුවන්ට එරෙහිව හා යුක්‍රේනය හරහා රුසියාවට එරෙහිව ගෙන යමින් තිබෙන බිහිසුනු යුද්ධයේ ජාත්‍යන්තර ප්‍රතිවිපාක හා පන්ති අරගලයේ ජාත්‍යන්තර වර්ධනයන් පිලිබඳව උද්ඝෝෂකයෝ කම්කරුවන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කලහ.

වතු කම්කරු ක්‍රියාකාරී කමිටුවේ සභාපති සහ සසප දේශපාලන කමිටු සාමාජික කේ. කාන්දීපන් රැස්වීමේ මුලසුන දැරීය. රැස්වීමට සහභාගී වූ කම්කරුවන්ට ඔහු ස්තුති කලේ ය. දඩයමට ලක් වූ කම්කරුවන් ආරක්ෂා කිරීම සහ ඔවුන් නැවත සේවයේ පිහිටුවීම සඳහා සටන් වදින්නේ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව හා සසප පමනයි“ යයි කාන්දීපන් පැවසීය.

සීඩබ්ලිව්සී වෘත්තීය සමිති නිලධරය කම්කරුවන් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කලා පමනක් නොව, ක්‍රියාකාරී කමිටු සාමාජිකයින් බිය ගන්වමින් සහ පොලීසියට තොරතුරු සපයමින් පසුගිය කාලපරිච්ඡේදයේ දී ක්‍රියාකාරී කමිටුවේ සහ සසපහි උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමට උත්සහ කල බව මීලගට රැස්වීම ඇමතූ සසප දේශපාලන කමිටු සාමාජික එම්.තේවරාජා පැවසුවේ ය. “නමුත් කම්කරුවන් මෙම දඩයමට හා වෘත්තීය සමිති නිලධරයට එරෙහිව සටන් කිරීම සඳහා ක්‍රියාකාරී කමිටුව ගොඩනැගීමට සූදානම් බව මෙම රැස්වීම පෙන්නුම් කරනවා. මෙම සටන අනෙකුත් කම්කරුවන් දක්වා පුලුල් කිරීම ට හා අනෙකුත් වතුවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා ඕල්ටන් වත්තේ ක්‍රියාකාරී කමිටුව සමග ඒකාබද්ධ වන්නැයි තේවරාජ කම්කරුවන් ගෙන් ඉල්ලා සිටියේ ය.

ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි දඩයම ලංකාව තුල පමනක් නොව ලොව පුරා කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි පුලුල් ප්‍රහාරයක කොටසක් බව අවසාන කතාව කල සසප දේශපාලන කමිටු සාමාජික ඩබ්ලිව්. ඒ. සුනිල් පැවසීය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල යටතේ රනිල් වික්‍රමසිංහ ආන්ඩුව කම්කරු පන්තියට එරෙහි ප්‍රහාර තීව්‍ර කරමින් සිටින ආකාරය ඔහු පැහැදිලි කලේය.

“වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන්ට තවදුරටත් පහර දෙන, වතු ඇතලු රාජ්‍ය ව්‍යවසායන් සියගනනක් ප්‍රතිව්‍යුහගත කිරීමමට, පෞද්ගලීකරනය කිරීමට, බදු වැඩි කිරීමට සහ විදුලිය හා ජල ගාස්තු වැඩි කිරීමට වික්‍රමසිංහ ආන්ඩුව පියවර ගනිමින් සිටී. විපක්ෂයේ ධනේශ්වර දේශපාලන පක්ෂ, ව්‍යාජ-වාම පක්ෂ හා වෘත්තීය සමිති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුවට විරුද්ධ වන්නේ නැතැ“යි සුනිල් පැවසීය.

ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බුදය අධිරාජ්‍යවාදීන්ගේ පිටුබලය ලබන රුසියාවට එරෙහි යුක්‍රේන යුද්ධයේ සහ පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ගෙන යන යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස තවත් නරක අතට හැරෙමින් පවතින බව ඔහු පැහැදිලි කලේ ය.

“ලෝකය පුරා සිටින සහචර පාලක පන්තීන් මෙන්ම, වික්‍රමසිංහ ආන්ඩුව ද මෙම අර්බුදයේ සම්පූර්න බර කම්කරු පන්තිය මත පටවමින් සිටී. ශ්‍රී ලංකාවේ සහ ගෝලීය වශයෙන් වැඩකරන ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ම්ලේච්ඡ ප්‍රහාරයන්ට එරෙහිව පන්ති අරගල වර්ධනය වෙමින් පවතී. එම අරගල විසුරුවා හැරීමට වෘත්තීය සමිති දැනුවත්ව ක්‍රියා කරති.”

කම්කරුවන් තම අයිතීන් ආරක්ෂා කර ගැනීමට කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගමින් මෙම ප්‍රශ්න තම අතට ගත යුතු බව සුනිල් අවධාරනය කලේ ය.

“එය, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස මහා බැංකු, කර්මාන්ත සහ වතු කම්කරු පාලනය යටතේ ජනසතු කිරීම ඇතුලු සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා වන සටනකි. ඒ සඳහා කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයක් සඳහා සටන් කිරීම අවශ්‍යයි“ ඔහු කතාව අවසන් කලේ ය.

සාකච්ඡාවේදී ඕල්ටන් වතුයායේ සේවිකාවක් සහ සීඩබ්ලිව්සී වෘත්තීය සමිති සාමාජිකාවක් වන සෙවන්ති රැකියා ආපසු ලබා ගැනීමේ සහ නඩු ඉල්ලා අස්කර ගැනීමේ අරගලය ඉදිරියට ගෙන යන්නේ කෙසේදැයි විමසා සිටියාය.

“කම්කරුවන්ව වතු කලමනාකාරීත්වය දඩයමට ලක් කර තිබෙන්නේ, ඔබගේ සංගමයේ නායකත්වය ඇතුලු වෘත්තීය සමිතිවල පාවාදීම නිසායි. එම වෘත්තීය සමිති නායකත්වය ඔබේ සහයෝගය සඳහා අනෙකුත් කම්කරුවන් බලමුලු ගැන්වූයේ නම් කලමනාකාරිත්වයට මෙවැනි ප්‍රහාර එල්ල කල නොහැකියි“.

“නමුත් වෘත්තීය සමිති නායකයන් එවන් අරගලයක් ප්‍රතික්ෂේප කලා පමනක් නොව, ඔවුන් කම්කරුවන්ට එරෙහිව කලමනාකාරීත්වය හා පොලිසිය සමඟ විවෘතව සහයෝගයෙන් කටයුතු කලා. ඒ නිසයි අපි අවධාරනය කරන්නේ දඩයමට එරෙහිව සටන් කිරීමට සහ රැකියා නැවත ලබා ගැනීමට අවශේෂ කම්කරුවන් වෙත හැරෛමින් සටන ඔබේ අතට ගත යුතුයි කියා. ඕල්ටන් වතු ක්‍රියාකාරී කමිටුව සහ සසප සමග ඒකාබද්ධව එම අරගලය පෙරට ගැනීමට අප සමග එක්වන ලෙස ඔබට ආරාධනා කරනවා“ තේවරාජා රැස්ව සිටි කම්කරුවන්ට කැඳවුම් කලේ ය.

Loading