අධිරාජ්‍යවාදය හා යුදෙව් සංහාරයේ (හොලොකෝස්ට්) දේශපාලන ආර්ථිකය

Imperialism and the political economy of the Holocaust

Nick Beams, 12 May 2010

2010 අපේ‍්‍රල් 29 වැනි දින සැන්ඩියෝගෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දී මෙම දේශනය පවත්වන ලදී. මෙය, සැන්ඩියෝගෝ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශය තුල වන ලෝක කටයුතු පිලිබඳ ආයතනය විසින් අනුග‍්‍රහය දක්වන ලද "උසස් අරමුනක් වෙනුවෙන් ඝාතනය: අර්බූද ග‍්‍රස්ත ලෝකයේ ප‍්‍රචන්ඩ දේශපාලනය” යන මාතෘකාව යටතේ පැවැත්වූ දේශන මාලාවක අටවැන්නයි.

~~~

ඇඩොල්ෆ් හිට්ලර් හා ඔහුගේ නාසි පාලනය සමස්ත යුරෝපීය යුදෙව් ප‍්‍රජාව සංහාරය කිරීමේ වැඩ පිලිවෙලට මුලපිරීමේ සිට අදට දශක හතක් පිරීමට ඉතාමත් ආසන්නය. මෙම අපරාධයේ දැවැන්ත පරිමාව පිලිබඳ අපගේ අවබෝධය කාලය ගෙවීයාමත් සමග අඩු වී නොමැත. ඊට වෙනස්ව දැන් දිග හැරෙන සිදුවීම් - ”භීෂනයට එරෙහි” යුද්ධය නාමයෙන් කෙරෙන අධිරාජ්‍යවාදී යුද්ධ හා යටත් විජිතකරනයේ ආක‍්‍රමන, ප‍්‍රධාන ධනපති බලවතුන් අතර ගැඹුරු වන අර්බූදය හා නාසි පාලනය පැන නැගුනු 1930 ගනන්වල අර්බූදය සිහිගන්වන ධනේශ්වර ආර්ථික පද්ධතියේ බිඳවැටීම - හොලෝකෝස්ටයේ සුවිශේෂත්වය අවධාරනය කරයි.

සිදු වීමට ඉඩ ඇති පරිදි ම, මෙම ප‍්‍රකාශ විවාදාත්මක සේ පෙනෙන්නේ, එය වටකර ඇති තර්ක හා ගැටුම් - සමකාලීනව දේශපාලන අදාලත්වයක් ඇති විවාද - විනිවිදීමකින් තොරව හොලෝකෝස්ටය අවබෝධ කරගත නොහැකි බැවිනි.

එමනිසා, මාගේ නිරීක්ෂනය තුල දී මා ඛන්ඩනය කිරීමට බලාපොරොත්තු වන සමහර ආස්ථානයන් පෙන්වා දෙමින් මාගේ කතාව ඇරඹීමට ඉඩ දෙනු මැනවි.

1996 දී හාවඞ් විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙකුවන ඩැනියෙල් ගෝල්ඞ්හාගන්, Hitler's Willing Executioners: Ordinary Germans and the Holocaust ”හිට්ලර්ගේ ආසක්ත අලුගෝසුවෝ: සාමාන්‍ය ජර්මානුවන් හා හොලෝකෝස්ටය” යන ඔහුගේ ග‍්‍රන්ථය සමග දර්ශන පථයට කඩා වැදුනි. ගෝල්ඞ්හාගන්ගේ ප‍්‍රවාදයට අනුව හොලෝකෝස්ටය යනු ”සමාන්‍ය ජර්මානුවන්ගේ” දේහකාය හා දෘෂ්ටිය තුල ලැගුම්ගෙන මුල්බැසගත් මාරාන්තික යුදෙව් විරෝධයේ ඵලයකි.

නාසි ව්‍යාපාරය හා එය බලය කරා නැඟ ගැනීම විභාග කිරීම අවශ්‍ය නැත, හොලෝකෝස්ටයට මග පෑදු සමාජ හා ආර්ථික ක‍්‍රියාවලීන් විභාග කිරීමේ අවශ්‍යතාවය ඊටත් අඩු ය. සරලවම එය යුදෙව් විරෝධයේ නිමැවුමක් විය. ලක්ෂ ගනන්, අවස්ථාවක් ලැබුනි නම් මිලියන ගනන් සාමාන්‍ය ජර්මානුවන් යුදෙව් සංහාරය සඳහා මෙහෙය වන්නට එය හේතු විය හැකිව තිබුනි.

ගෝල්ඞ්හාගන්ගේ පොත අත් කර ගත් වානිජමය ”සාර්ථකත්වය” රදා පැවතියේ එහි නොගැඹුරුකම, අගතීන්ට ආයාචනා කිරීම හා සිතා බැලීම හෝ විචාරාත්මක විශ්ලේෂනයක් අවශ්‍ය නොකෙරෙන සරල විස්තර තුලය. එය කාලානුරූප ප‍්‍රකාශනයක් විය. ඒ 1990 ගනන්වල ”උත්පාත” සමය යි; වෙලඳපොල රජ කලේ ය, සෝවියට් සංගමයේ බිඳවැටීමත් සමග ඉතිහාසය අවසානයකට පැමින තිබුනි, එබැවින් විවේචනාත්මක චින්තනය අවශ්‍ය නොවී ය. කෙසේ නමුත්, ගෝල්ඞ්හාගන්ගේ ප‍්‍රවාදයට පැති කීපයකින් විරුද්ධත්වය මතුවූ අතර එහි අශිෂ්ටත්වය ඉක්මනින්ම හෙලිදරව් වුනි.

උදාහරනයක් ලෙස, ජර්මානුවන් හැටියට වගකිවයුතුවූ ජර්මානුවන්ගේ යුදෙව් විරෝධය පිලිබඳ ප‍්‍රකාශය සලකා බලමු. විසිවන සියවසේ මුල් දශකයේ දී මහා යුදෙව් සංහාරයක් සංවිධානය කරනු ඇත්තේ කුමන රටේ ද කියා අසා තිබුනේ නම්, නිශ්චිතවම උත්තරය බොහෝදුරට රුසියාව විය හැකිව තිබුනි. ජර්මනිය සම්බන්ධයෙන් ගත් විට ඉතිහාසඥ රොබට් විස්ටි‍්‍රච් සඳහන් කල පරිදි, ”1933 ට පෙර ජර්මන් භාෂාව හා සංස්කෘතිය සමග උද්යෝගීමත් අනන්‍යතාව පිලිබඳ නොබෙල් ත්‍යාගයක් වූයේ නම් සැබැවින් ම යුදෙව්වන් විසින් එය දිනා ගැනීමට ඉඩ තිබුනි.” (1)

එය තීරුවලට ඉරා දැමෙමින් තිබෙන බව නොතකා වුවත් ගෝල්ඞ්හාගන්ගේ න්‍යායික විචල්‍යයන් පවතින්නේ, ජනප‍්‍රිය විඥානය තුල හොලොකෝස්ටය පිලිබඳ ”විස්තර කථනයක්” ලෙස බව අවබෝධ කරගත හැක. හොලොකෝස්ටය යටින් පැවති ගතික බලවේගයන් හෙලිදරව් කිරීමට උත්සාහ දරන මගේ දේශනයේ මාතෘකාව ගැන ඇසු එක් පුද්ගලයෙක් කියා සිටියේ එය, ”වෛරය” බවය. කෙසේ වෙතත් කාරනය වඩා සංකීර්නය. හොලොකෝස්ටය එතරම්ම තිගැස්මක් ඇති කරන හා වටහා ගැනීම දුෂ්කර කර ඇත්තේ කුමක් විසින් ද? හැනා අරෙන්දේගේ වැකියක් තුල එය ”දුෂ්ටත්වයේ හිස් බව” ලෙස ගුනාංගීකරනය කල නිසා ද? මහා සංහාරය සංවිධානය කෙරුනේ මධ්‍යස්ථ නිලධාරීවාදී යාන්ත‍්‍රනය හරහා ය. මෙම ගුනාංගීකරනය සියලු ම වර්ගයේ ගුරුකුලවල දාර්ශනික පදනම බවට පත්වී ඇත.

හොලොකෝස්ටයේ නිලධාරීවාදී හා තාර්කික යයි පෙනෙන සංවිධාන සිය ආරම්භක ලක්ෂ්‍යය ලෙස ගනිමින් ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ අනුගාමිකයෝ, මානව චින්තනය හා බුද්ධි ප‍්‍රබෝධය යන හේතුව තුලම එහි මූලයන් පිහිටුවති. මෙම ප‍්‍රවනතාවයේ පුරෝගාමීන් දෙදෙනෙකු වන මැක්ස් හෝර්කයිමර් හා තියෝඩෝර් ඇඩෝර්නෝ 1944 දී ලිවූ පරිදි, ”අපගේ කෘතිය තුල අප මුහුන දෙන උභතෝකෝටිකය, විමර්ශනයේ පලමු ප‍්‍රපංචය විය හැකි බව සනාථ කරයි. ප‍්‍රබුද්ධත්වයේ ස්වයං විනාශය: සමාජ විමුක්තිය ප‍්‍රබුද්ධ චින්තනයෙන් වෙන් කල නොහැකි බව අපි මුලුමනින්ම ඒත්තු ගෙන සිටිමු. එපමනක් නොව, අප ඉතා පැහැදිලිව හඳුනාගෙන ඇති පරිදි මෙම චින්තන විධික‍්‍රමය පිලිබඳ මතිය, එය හා එක්ව ගෙතුන සමාජ ආයතන යන සැබෑ ඓතිහාසික ආකෘතීන්ට වඩා නොඅඩු පරිද්දෙන් අද දිනයේ සර්වග‍්‍රාහී යයි පෙනීයන ආපසු හැරීමක බීජ දැනටමත් දරා සිටින බව අපි විශ්වාස කරන්නෙමු.” (2)

මෙම දෘෂ්ටියට අනුව හොලොකෝස්ටයේ බීජ මනුෂ්‍යත්වය තුලම පැලපදියම් වී ඇත. ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ කෘතීන්, බුද්ධිමතුන්ගෙන් කොටසකගේ, විශේෂයෙන් තමන් ”වම්මුන්” යයි කියාගන්නා අයගේ, දෘෂ්ටිය හැඩ ගැන්වීමේ දී වැදගත් භූමිකාවක් ඉටුකර තිබේ. එමෙන් ම ඔවුන් හරහා කලා හා සංස්කෘතික ක්ෂේත‍්‍රයන්ට ද බලපෑම් යෙදී ඇත. මේ සම්බන්ධයෙන් ගත් කල, මෙම වසරේ ඔස්කාර් සම්මානලාභීනි කැත්රින් බිගිලෝව් උදාහරනයකි. ඇගේ පලමු චිත‍්‍රපටයේ තේමාව විස්තාරනය කරමින් බිගිලෝව් මෙසේ පැවසී ය: ”1960 ගනන්වල හතුරා ඔබට පිටින් යයි ඔබ සිතුවෙහි ය, වෙනත් වචනවලින් කිවහොත්, පොලිස් නිලධාරියෙකු, ආන්ඩුව, පද්ධතිය යනාදියයි. එහෙත් සැබැවින් ම කාරනය එය නොවේ. කොහෙත්ම එය නොවෙයි. ෆැසිස්ට්වාදය බෙහෙවින් ගුප්තය, අප හැම විටම එය ප‍්‍රතිනිෂ්පාදනය කරන්නෙමු. (3)

මෙම න්‍යායන් ඉතා නිශ්චිත සමාජ හා දේශපාලන අරමුනක් වෙනුවෙන් සේවය කරයි. මානව ශිෂ්ටාචාරයේ වර්ධනය සඳහාත්, වඩා යහපත් ලෝකයක් සඳහාත් වෙහෙසවීමේ ප‍්‍රයෝජනය කුමක් ද? එම පරිශ‍්‍රමයේ පදනමෙහි ඇති චින්තන රූපාකාරයන් ඇතුලතම හොලොකෝස්ටය තුල ප‍්‍රකාශිත වු සමාජ පරිහානිය හා වනචාරීත්වය බිහි කරවන විසබීජ පවතී නම් අවසාන විග‍්‍රහයේ දී ෆැසිස්ට්වාදයේ බීජ අප සියල්ලන් තුල ම පවතී. නිවැරදි කොන්දේසි පවත්නේ නම් ඒවා පිබිදෙනු ඇත.

දේශපාලන වැදගත්කමින් නොඅඩු, හොලොකෝස්ටය පිලිබඳ වෙනත් න්‍යායක් ද ඇත. එනම්, ෆැසිස්ට්වාදය පැනනැගුනේ ධනේශ්වර ක‍්‍රමයේ ප‍්‍රතිඝතිතාවන් තුලින් නොව, නාසීන් විසින් ආරක්ෂා කරන ලද සමාජ පර්යායට අසම්බන්ධිතව, හුදෙක් ඔවුන්ගේ සාපරාධී ක‍්‍රියාවලිනි. කෙසේ නමුත්, නාසීන් ජර්මන් රාජ්‍යය අත්පත් කර ගැනීමට සමත් වු අතර, එය ඔවුන්ගේ මිනීමරු වර්ගවාදී අරමුනු ක‍්‍රියාවට නැගීම සඳහා යොදා ගත්තේය. මේ අනුව ජර්මන් ධනපති පන්තිය වගකීම භාර ගත යුතු නැත. මන්ද, එය සමාජයේ අන් සියල්ලන් මෙන්ම නාසි ආධිපත්‍යයට යටත්වී තිබීමය. ජර්මන් පාලක ප‍්‍රභූව නිර්දෝෂී කිරීමට අමතරව මෙම න්‍යාය, මෑත කාලවල දී දේශපාලනිකව ඉතා ප‍්‍රයෝජනවත් යැයි ද ඔප්පු කර තිබේ. මක්නිසා ද යත් කොතැනක හෝ ප‍්‍රාදුර්භූත විය හැකි තවත් හිට්ලර් කෙනෙකු වැලැක්වීමට ”ලෝක ප‍්‍රජාව” පාඩම් උකහා ගත යුතු ය යන අදහස එය දරා සිටින බැවිනි.

පෙනී යන පරිදි එය ප‍්‍රශංසනීය ඉලක්කයකි. එය එසේ සිදු වෙයි, කෙසේ නමුත් ”ලෝක ප‍්‍රජාවගේ” අදහස් හැමවිටම ප‍්‍රධාන බලවතුන්ගේ අවශ්‍යතාවයත් සමග සමපාත වන බව පෙනී යයි. ඒ ආකාරයෙන් ඔහු නව හිට්ලර්ය යන පදනම මත ඉරාකයේ සදාම් හුසේන් පාලනයට එරෙහිව යුද්ධ දෙකක් හා බෝල්කන්හි හිට්ලර්ය යන පදනම මත සර්බියාවට හා ස්ලොබොඩාන් මිලොසොවික්ට එරෙහි යුද්ධයක් අපට හමු වේ. 1990 දී ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී - හරිත ආන්ඩුව, ජර්මන් අධිරාජ්‍යවාදයේ පෑගීමට ලක්ව පැවති එම පැරනි බෝල්කන් රටවල තම මැදිහත්වීම දැන් යුක්ති යුක්ත කිරීමට හොලොකෝස්ටයේ පිහිට පැතී ය. එය ප‍්‍රකාශ කල පරිදි සියලුම ජාතීන් අතරින් ජර්මනිය, හොලොකෝස්ටයේ පාඩම් දැන ගෙන සිටි බැවින් තවත් ජනඝාතනයක් වැලැක්වීම සඳහා මැදිහත්වීමක් සංවිධානය කල යුතුව තිබුනි. 1990 ගනන්වල යුගෝස්ලෝවියාව බිඳ දැමීම තුල ජර්මන් අධිරාජ්‍යවාදය ඉටුකල තීරනාත්මක භූමිකාව, පසුව දිගහැරුනු දරුනු ගැටුම් සඳහා වේදිකාව සැකසූ බව නිහඬවම අමතක කරන ලදී.

මෙකී න්‍යායන්ට ප‍්‍රතිවිරෝධීව මෙම දේශනය, නාසීන් බලයට පැමිනීම මනුෂ්‍ය වර්ගයා තුල පවතින සහජ දුෂ්ටත්වයේ ප‍්‍රතිවිපාකයක්, නූතනවාදයේ ඵලයක්, එසේත් නැතිනම් නොවිසඳිය හැකි භයානක අනතුරක නිමැවුමක් නොවන බව පෙන්වා දීමට ප‍්‍රයත්න දරයි. එය වනාහි, ජර්මානු ධනපති පාලක පන්තිය තමන් මුහුන දුන් සමාජ හා දේශපාලන අර්බූදයට ප‍්‍රතිචාර දැක් වූ ආකාරයයි. 1941 දී රුසියාවට විරුද්ධව දියත් කල යුද්ධය හා ඉන් පැන නැඟුනු ”අවසාන විසඳුම” ජර්මානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවයන් අනුව මෙම අර්බූදය විසඳීමෙහිලා නාසීන් අත වූ වැඩ සටහනෙහි අවසාන ප‍්‍රතිඵලය බව පෙන්වීමට මම උත්සාහ කරමි.

පලමුවෙන් ම නාසීන් බලයට පැමිනියේ කෙසේ දැයි අපි විභාග කරමු. 1933 ජනවාරී 30 වැනි ද ා සිදුවූ, එනම් ජනාධිපති හින්ඩන්බර්ග් ජර්මන් චාන්සලර් වශයෙන් හිට්ලර් පදවිප‍්‍රාප්ත කිරීම, නාසින් බලය ගැනීම සඳහා කල අරගලයක කුලු ගැන්වීම නොවීය. එදින ඔවුහු බලය අල්ලා නොගත්තෝ ය. එය, ජර්මානු රාජ්‍යයේ ප‍්‍රධානියා, ජර්මානු දේපල හිමි ප‍්‍රභූව වෙනුවෙන් හා ජර්මන් ව්‍යවස්ථාවේ රාමුව තුල, ඔවුන්ට බාර දුන්නේ ය.

මහාචාර්ය ඉයන් කර්ෂෝ නිවැරදිව ප‍්‍රකාශ කල පරිදි හිට්ලර්ගේ ම ක‍්‍රියාවන්, ”ඔහු බලයට ගෙන ඒම තුල හිමිකර ගන්නේ දෙවැනි ගනයේ වැදගත්කමක් පමනි.” ජනාධිපති කාර්යාලය තුල පැලපදියම්ව තිබුනු අධිකාරී බලයන් විසින් පිටුබලය දුන් චාන්සලර් පදවිය ගැනීම යන, හැකි ඉහලම පංගුව සඳහා ඉදිරිපත්වීමේ හා ඕනෑම සම්මුතියක් ප‍්‍රතික්ෂේප කිරීමේ ඔහුගේ ප‍්‍රතිපත්තිය අවසානයේ දී ක‍්‍රියාවට නඟන ලද නමුත් ”මේ සියල්ල හිට්ලර්ගේ ම ක‍්‍රියාකාරකම්වලට වඩා අනුන්ගේ ක‍්‍රියාකාරකම්වල ප‍්‍රතිපලයයි.” (4) -

1933 ජනවාරි 30 වැනි දා තීන්දුවලට මග පෑදු දේශපාලන අර්බුදය තුල දමන ලද සියලු උපාමාරු අනාවරනය කිරීමට ගියොහොත් අපට දී ඇති වේලාව ඉක්ම යනු ඇත. මේ විෂය ගැන වෙලුම් ගනනාවක් ලියා ඇත. ප‍්‍රධාන හැරීම් ලක්ෂ්‍යයන් පමනක් පෙන්වා දීමට මට ඉඩ දෙන්න.

ප‍්‍රථම ලෝක යුද්ධය නිමාවීම හා 1918 නොවැම්බර් 09 දින කයිසර් නෙරපා හැරීමෙන් පසුව ගතවූ පසු පස් වසර තුල ජර්මනිය, දේශපාලන අර්බූද හා විප්ලවවාදී අරගල මාලාවකින් අලලාගත් අතර 1923 ගිම්හානය අවසානයේ හා සරත් සෘතුව මුල දී වර්ධනය වු විප්ලවවාදී තත්වයෙන් මෙය කුලුගැන්විනි. කෙසේ නමුත්, ජර්මන් කොමියුනිස්ට් පක්ෂය (කේපීඞී) 1923 ඔක්තෝබරයේ දී සැලසුම් කල නැගිටීම අතහැර දැමීමත් සමග මෙම තත්වය නාටකාකාර ලෙස වෙනස් විය. විප්ලවය ගබ්සා කිරීම මඟින්, විශාල වශයෙන් ඇමරිකාවෙන් ගලා ආ නය ප‍්‍රාග්ධනය හරහා ජර්මන් ආර්ථිකය හා එහි දේශපාලන පද්ධතිය නැවත ස්ථාවර කර ගැනීමේ දේශපාලන කොන්දේසි නිර්මානය කලේ ය. එහෙත් 1920 ගනන්වල අවසානය වන විට මෙම නය ගලා ඒම වියලී යමින් හා 1928-29 වන විට ජර්මන් ආර්ථිකය පිරිහීමට පටන් ගෙන තිබුනි. අවපාතය ගැඹුරු වෙත් ම ජර්මානු කාර්මික ධනපති පන්තිය වයිමර් සමූහාන්ඩුව යටතේ කම්කරු පන්තියට ලබා දුන් සහන කෙරෙහි දැක්වූයේ වැඩෙන සතුරුකමකි. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් (එස්පීඞී) හා ප‍්‍රධාන ධනේශ්වර පක්ෂවලින් සැදුම්ලත් සභාග ආන්ඩුව සහනාධාරවලට මූල්‍ය පහසුකම් සැපයීම හා බැඳුනු ගැටුමකින් ඇද වැටුනු විට 1930 මාර්තුවේ දී අර්බූදය ඉස්මත්තට පැමිනියේ ය.

1930 සැප්තැම්බර් මැතිවරනය, ජර්මන් දේශපාලන හැඩතලයෙහි විශාල වෙනසක් අත් දුටුවේ ය. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ ඡන්ද සියයට 6 න් වැටුනි, කම්කරු පන්තියේ වාම නැඹුරුවක් සලකුනු කරමින් ජර්මන් කොමියුනිස්ට් පක්ෂයේ (කේපීඞී) ඡන්ද සංඛ්‍යාව සියයට 40 කින් වැඩි වුනි. එහෙත් ඉතා වැදගත් ප‍්‍රතිඵලය වූයේ නාසීන්ගේ ඡන්ද සංඛ්‍යාවෙහි අති විශාල වැඩිවීමයි. රටෙහි නව වැනි විශාලතම පක්ෂයේ සිට එය දෙවැනි විශාලම පක්ෂය බවට පත් කරමින් සියයට 700 ක වැඩිවීමක් අත් විඳී ය. යන්තම් ආසන 12 ක් දරමින් සිටි නාසීහු එය 100 දක්වා වඩා වැඩි කරගත්හ.

මැතිවරන ප‍්‍රතිඵල විශ්ලේෂනය කල ලියොන් ට්‍රොට්ස්කි, ජර්මනියේ ෆැසිස්ට්වාදීන් බලයට පැමිනීම දැන් සැබෑ අන්තරාවක් යයි අනතුරු ඇඟවී ය. මෙම අන්තරාය ජරාජය කල හැක්කේ ජර්මානු කේපීඞීය පරිපූර්න නව දිශානතියක් කරා යොමු කිරීමෙන් පමනක් යයි ට්‍රොට්ස්කි අවධාරනය කලේ ය. 1928 දී ස්ටැලින්වාදීන් නායකත්වය දැරූ කොමියුනිස්ට් පක්ෂයේ හයවැනි සමුලුවේ දී සම්මත කරගත් ”සමාජ පැසිස්ට්වාදය” පිලිබඳ ප‍්‍රතිපත්තිය අහෝසි කිරීම අවශ්‍ය විය. මෙම ප‍්‍රතිපත්තිය යටතේ, කේපීඞීය, කාර්මික කම්කරු පන්තියේ අතිවිශාල කොටසකින් යුක්ත වු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය හා එහි සාමාජිකයින් ”සමාජ ෆැසිස්ට්වාදීන්” ලෙස නම් කරමින් චෝදනා කල අතර නාසි තර්ජනය පරාජය කිරීමට කම්කරු සංවිධානවල ”එක්සත් පෙරමුනක්” ගොඩ නැගීමට විරුද්ධ විය. එක්සත් පෙරමුනක් සඳහා සටන් කිරීමෙන්, ඊනියා ”අඩු නපුර” ලෙස වයිමර් සමූහාන්ඩුවට මෙන්ම එස්පීඞීයේ හෝ අනෙකුත් පක්ෂවල නායකයින්ට සහාය දැක්වීමක් අර්ථ ගැන්වෙන්නේ නැති නමුත් එහි අරමුන වන්නේ, නිශ්චිත ප‍්‍රායෝගික පියවරයන් හරහා කම්කරු පන්තියේ ඓතිහාසික ජයග‍්‍රහන ආරක්ෂා කිරීම බවත් ට්‍රොට්ස්කි දැඩිව කියා සිටියේ ය.

”ෆැසිස්ට්වාදය, හුදු පලිගැනීමේ ක‍්‍රමයක්, ම්ලේච්ඡ බලයක් හා පොලිස් භීෂනයක් නොවන්නේ ය. ෆැසිස්ට්වාදය යනු, ධනේශ්වර සමාජය තුල කම්කරු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සියලු ම මූලයන් උපුටා දැමීමේ සුවිශේෂී ආන්ඩුක‍්‍රම පද්ධතියකි. ෆැසිස්ට්වාදයේ කර්තව්‍යය, කොමියුනිස්ට් පෙරමුනු බල ඇනිය විනාශ කිරීම පමනක් නොව සමස්ත පන්තියම බලහත්කාරී ලෙස කාකොටාගන්නා තත්වයක රඳවා තැබීමයි. මේ ඉලක්කය සඳහා කම්කරුවන්ගේ ඉතාමත් විප්ලවවාදී කන්ඩායම ශාරීරිකව සමූල ඝාතනය කිරීම පමනක් ප‍්‍රමානවත් නොවේ. ඒ සඳහා සියලූම ස්වාධීන හා ස්වේච්ජා සංවිධාන තලා දැමීම ද, නිර්ධන පන්තියේ සියලු ආරක්ෂක වැට කඩොලූ බිඳදැමීම ද, ශතවර්ෂ හතරෙන් තුනක කාලයක් තිස්සේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා වෘත්තීය සමිති විසින් දිනා ගත් සියල්ල උපුටා දැමීම ද අත්‍යාවශ්‍යය. අවසාන විග‍්‍රහයේ දී, කොමියුනිස්ට් පක්ෂය ද පදනම්ව සිටියේ මෙම ජයග‍්‍රහන මතය.” ට්‍රොට්ස්කි එසේ පැහැදිලි කලේය. (5)

1930 රයික්ස්ටාගයේ මැතිවරනයෙන් පසුව පාර්ලිමේන්තු පාලනය මුලුමනින් ම පාහේ අවසානයකට පැමිනියේ ය. කතෝලික පදනමක් ඇති මධ්‍ය පක්ෂයේ සාමාජිකයෙකු වු චාන්සලර් බෲනින්ගේ ආන්ඩුව, ජනාධිපති හින්ඩන්බර්ග්ගේ අනුබලය ලද අඥා මාලාවක් මඟින් පාලනය ගෙන ගියේය. නව මැතිවරනයක් නාසීන්ගේ තත්වය ශක්තිමත් කරනු ඇත යන නිගමනයේ සිටි එස්පීඞීයේ ”ඉවසා දරාගැනීම” හරහා බෲනින්ගේ ආන්ඩුව බලයේ රැඳුනි. කෙසේ හෝ නාසීන් මැතිවරන ශක්තියක් අත්පත් කර ගැනීමට සමත් වි නම් එසේ වූයේ, එස්පීඞීය, කම්කරු පන්තිය පාර්ලිමේන්තුවාදයේ හා නීතියට ගරුකිරීමේ සීමාවන් තුල හිරකිරීම හා මොනයම් හෝ විප්ලවවාදී අරගලයක වර්ධනයට බාධාකිරීමට එය අධිෂ්ඨානශීලී වීමේ හේතුවෙනි.

තත්වය නිසගයෙන් ම අස්ථාවර විය. බෘනින් පාලනය එස්පීඞීයේ හා වෘත්තීය සමිති නිලධරයේ සහාය මත වාරු වු අතර, ඔවුහු පිලිවෙලින් කම්කරු පන්තියේ තුෂ්නිම්භූත හා මන්දෝත්සාහී සහයෝගය මත රැඳුනහ. එහෙත් ට්‍රොට්ස්කි පෙන්වාදුන් පරිදි මේ තත්වය, එන්ට එන්ටම ජර්මානු ධනපති පන්තියේ ප‍්‍රමුඛ කොටසකගේ අසන්තුෂ්ඨියට හේතු විය. එය අඩ පියවරක් පමනක් පෙරට තැබූ තත්වයකි. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හා වෘත්තීය සමිති නිලධරය විසින් කම්කරු පන්තිය මැඩපැවත්වූව ද දේශපාලන තත්වය තුල විභවාත්මකව බලගතු තර්ජනයක් බවට පත් වෙමින් කම්කරු පන්ති සටන් සංවිධාන අඛන්ඩව පැවතුනි. මෙම සංවිධාන විනාශ කිරීම මගින් තර්ජනය ඉවත් කල යුතුව තිබුනි.

මහා අවපාතයේ ගැඹුරුම අවධිය වූ 1932 වසර පුරා මෙම අර්බූදය නොනැවතී උග‍්‍ර විය. ශ‍්‍රම බලකායෙන් සියයට 30 ක් රැකියා විරහිත වු අතර බැංකු මාලාවක් කඩා වැටුනි. මැයි මාසයේදී බෲනින් ආන්ඩුව බිඳ වැටුනු අතර හින්ඩන්බර්ග්, ”පක්ෂවලට ඉහලින්” ආන්ඩුවක් පිහිටුවීම සඳහා ප්රුසියානු වංශවතතෙකු වු ප‍්‍රාන්ස් වොන් පැපේන් වෙත හැරුනි. 1932 ජුලි මාසයේ දී නව මැතිවරනයක් පවත්වන ලදී. නාසීහු ඡන්ද වලින් සියයට 37.4 ක් දිනාගත් අතර එස්පීඞීය හා කේපීඞීය වෙන වෙනම ඡන්ද වලින් සියයට 36 ක් දිනා ගත්හ. රයික්ස්ටාගයේ ලොකුම තනි පක්ෂය නාසීන් වුවත්, තමන් පූර්න බලතල සහිතව චාන්සලර් පදවියේ පිහිටුවන ලෙස හිට්ලර් කල ඉල්ලීම හින්ඩන්බර්ග් ප‍්‍රතික්ෂේප කලේ ය. ඒ වෙනුවට හින්ඩන්බර්ග්, වොන් පැපේන් පත්කලේය. සැප්තැම්බර් 21 දා නව රයික්ස්ටාගය රැස්වුවිට පැපේන් පාලනය 513 ට 32 ක් ලෙස හෙලා දැකීමට ලක් විය. රයික්ස්ටාගය නැවත විසුරුවා හැර නොවැම්බර් 6 වැනි දා නව මැතිවරනයක් පවත්වන ලදී. මෙහිදී නාසි ඡන්ද සංඛ්‍යාව මිලියන දෙකකින් පහල වැටුන අතර කේපීඞීයේ ඡන්ද සංඛ්‍යාව ඉහල ගියේ ය. ඊලඟ සති ගනන 1933 ජනවාරි 30 වැනි දා හිට්ලර් බලයට ගෙන ඒමෙන් හිනිපෙත්තට නැඟුනු උපාමාරු මාලාවකින් සලකුනු විය.

ධනේශ්වරයේ ඉතා බලගතු කොටස් වයිමර් ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් නිදහස් වීමටත්, සංවිධිත කම්කරු පන්තිය තලා දැමීම සඳහාත් එක්රොක් විය. කෙසේ නමුත්, හින්ඩන්බර්ග් හිට්ලර්ට බලය පැවරීම ප‍්‍රතික්ෂෙප කලේය. මන්ද යත්, සමාජයේ පහල තලයේ සිට හදිසියේ මතු වු පොහොසතුන්ගෙන් ද අර්ධ අපරාධකරුවන්ගෙන් ද සැදුම් ලත් කල්ලියක් වූ නාසීන් වෙත බලය පැවරීම ගැන ධනේශ්වරයේ හා ඉඩම් හිමි ප‍්‍රභූව තුල පැවති කනස්සල්ල නිසා ය. එහෙත්, 1932 අග වන විට, දේශපාලන අර්බූදය නොසලකා හැරීමෙන් ඇති වියහැකි අන්තරාය, නාසී පාලන තන්ත‍්‍රයකින් ඇති විය හැකි අපහසුතාවයට වඩා බරපතල බව එන්ට එන්ටම පැහැදිලි වෙමින් තිබුනි.

1917-1923 සිදුවීම් පිලිබඳ මතකය තවමත් පහව ගෙස් නොතිබුනු නිසාම ජර්මානු ධනේශ්වරයට, එස්පීඞීයේ ගැතිකම ද කේපීඞීයේ දේශපාලන බංකොලොත් කම ද තිබියදී වුවත් සමාජ විප්ලවය හැම දා පවතින අනතුර විය.

පරස්වාචී ලෙස, හිට්ලර් බලයේ තැබීමෙහි තීරනය අභිපේ‍්‍රරනය කල කරුනුවලින් එකක් වූයේ, නොවැම්බර් මැතිවරනයේ දී නාසීන්ගේ ඡන්ද සංඛ්‍යාවේ සැලකිය යුතු පහත වැටීම හා එම පක්ෂය ඇතුලත වර්ධනය වන්නා වූ අර්බූදය පිලිබඳ සංඥාව ය. පසුගිය අවුරුදු දෙක ඇතුලත නාසීන් පසුපස ඇදුනු සුලු ධනේශ්වරය හා ගොවි ජනතාව දැන් පිටතට ගමන් ගැනීම අරඹා ඇත්නම්, ඔවුන් යා හැක්කේ කොහාට ද? සමහර විට කේපීඞීය දෙසට ය. තව ද, කම්කරු අරගලවල පුනාරාගමනයක් විය හැකිය යන බිය දල්වමින් ආර්ථිකය යහපත්වීමේ සලකුනු ද විය; 1932 බර්ලින් ගමනාගමන සේවකයින්ගේ වර්ජනය අනතුරු ඇඟවීමක් විය. මෙම තත්වයන් යටතේ, දේශපාලන අර්බූදය අවසන් කිරීමේ ද ජර්මානු ප‍්‍රාග්ධනයේ ඉල්ලීම් ඉටු කිරීමට අත්‍යාවශ්‍ය වන ආකාරයේ පාලනයක් ස්ථාපිත කිරීමේ හා කම්කරු පන්තිය තලා දැමීමේ වරපත‍්‍රයක් සහිතව, වොන් පැපේන්ගේ වචනවලට අනුව ”කුලියට ගැනීම,” නාසීන් වෙත බලය පැවරීමට තීන්දු කෙරිනි.

දේශපාලන අර්බූදය පුරාවට ම, ස්ටැලින්වාදී කේපීඞීය හා මොස්කෝවේ කොමින්ටර්නය (කොමියුනිස්ට් ජාත්‍යන්තරය) එක්සත් පෙරමුනු උපායට තම විරුද්ධත්වය නොකඩවා පවත්වාගෙන ගියේ ය; එක්සත් පෙරමුන අවශ්‍ය වුයේ එස්පීඞී සාමාජිකත්වය තුල මේ වනවිටත් හිර වී සිටි කම්කරු ජනතාව දිනා ගෙන ඔවුන් කේපීඞීය වෙතට ගෙන ඒමට හා කම්කරු පන්තියේ ස්වාධීන ශක්තිය බලමුලු ගන්වා ඒ මගින් ජනතාව නාසි පක්ෂයෙන් ඉවතට ගැනීමට ය. දේශපාලන මූලෝපාය, නිලධාරීවාදී අවසන් නිවේදනවලට හා හිස් සටන් පාඨවලට ආදේශ කෙරින: ”සමාජ ෆැසිස්ට්වාදය”, ”පහල සිට එක්සත් පෙරමුන”, ”හිට්ලර්ට පසු අපේ වාරය” හා පෘසියාවේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආන්ඩුව ඉවත් කිරීමට උත්සහගත් නාසීන් නායකත්වය දුන් ජනමත විචාරනයට සහාය දැක්වීම. මෙහි ප‍්‍රථිපලයක් ලෙස, මෙතෙක් දක්නට ලැබුනු දේශපාලනිකව වර්ධනය වු ඉතාම බලගතු සමාජවාදී කම්කරු ව්‍යාපාරය පරාජය කරන ලදී. එය ඉතිහාසයේ කම්කරු පන්තිය ලත් දැවැන්ත ම පරාජයයි.

නාසි පක්ෂයේ කාර්යභාරය වටා වු ඉතා විවාදාත්මක ප‍්‍රශ්නවලින් එකක් වී ඇත්තේ ජර්මන් මහා ව්‍යාපාරයන්ට එහි ඇති සම්බන්ධයයි. ඇමරිකානු ඉතිහාසඥයකු වු හෙන්රි ඈෂ්බි ටර්නර් ගේ German Big Business and the Rise of Hitler (ජර්මානු මහා ව්‍යාපාර හා හිට්ලර්ගේ නැඟීම) නමැති කෘතිය නාසි පක්ෂයේ නැගීමට හා වැඞීමට මහා ව්‍යාපාරයන්ගේ මුදල් බෙහෙවින් තීරනාත්මක වුයේ නැතැයි දැක්වීමට සැලකිය යුතු දුරක් ගමන් ගනියි. සත්‍ය කරුන කුමක් වූවත්, ජර්මානු මහා ව්‍යාපාර වයිමර් සමූහාන්ඩුවට හා පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගැඹුරින්ම සතුරු වු අතර, එය කම්කරු පන්තිය මිරිකා දැමීම සඳහා අධිපතිවාදී පාලනයක් ස්ථාපිත කලේ යයි ටර්නර්ගේ ම කෘතිය පෙන්වා දෙයි. එවැනි පාලනයක් ආරක්ෂා කිරීමේ එකම ස්ථාවර විකල්පය නාසින් බලයේ පිහිටුවීම වු විට, මහා ව්‍යාපාර 1933 මාර්තු 05 වැනි දා මහ මැතිවරනය සඳහා නාසි පක්ෂයට විශාල මුදලක් සපයමින් තම සහයෝගය ගොනු කලේ ය; ප‍්‍රථිපලය කුමක් වුවත් වයිමර් ක‍්‍රමය අවසන් කරන අතර මාක්ස්වාදය ද උපුටා දමනු ඇති බවට හිට්ලර් දුන් පෙරොන්දුව මත එසේ සිදුවිය.

ෆැසිස්ට් පාලනය බලයට පැමිනීම, ජර්මනිය තුල පැවති යෝධ සමාජවාදී කම්කරු ව්‍යාපාරය මතුකල අන්තරායට ධනපති පන්තියේ සෘජූ ප‍්‍රතිචාරය වීය යන්න 1960 ගනන්වල මා ශිෂ්‍යයෙක්ව සිටි කාලයේ දී පලල්ව වටහා ගත් දෙය විය. පසුගිය අවුරුදු 25 ත පමන කාලය තුල මෙම වැටහීම අඛන්ඩ ප‍්‍රහාරයකට ලක්ව තිබේ.

බි‍්‍රතාන්‍ය ඉතිහාසඥ මයිකල් බර්ලේ, දක්ෂිනාංශික වීක්ලි ස්ටෑන්ඩර්ඞ් පුවත්පතෙහි 2005 අවසන් භාගයේදී ප‍්‍රකාශයට පත් කල ලිපියක් තුල මෙසේ සටහන් කලේ ය: ”අවුරුදු 20 ට පෙර මා නූතන ජර්මානු ඉතිහාසය ඉගැන්වීම ආරම්භ කල විට, මහා ව්‍යාපාරවල ඒ හෝ මේ මූලයන් යොදාගෙන ෆැසිස්ට්වාදය මත දෝෂය පැටවීමේ මාක්ස්වාදී උත්සාහයට සැලකිය යුතු අවධානයක් යොමු කිරීම ඒ වන විටත් යුතුකමක්ව පැවතුනි. පොත්පත්වලින් වැඩි සංඛ්‍යාව වාමාංශයට නැඹුරු විද්‍යාර්ථීන්ගේ වු අතර, ෆැසිස්ට්වාදය පිලිබඳ පන්ති (දේශන) රැඩිකල් වාටියේ දැවටුනු අසමානුපාතික සිසුන් සංඛ්‍යාවක් ඇද ගැනීමට සමත් විය. එතැන් සිට කාරනා වෙනස්වී තිබේ. මේ දිනවල නාසිවාදය, ”වර්ගවාදී තත්වයක” ප‍්‍රභේදයක් ලෙස හෝ ආදේශක ආගමකට සමාන පැවැත්මක් ලෙස පවා සාකච්ඡුා කිරීම සාමාන්‍ය දෙයකි. (6)

2001 දී ප‍්‍රකාශිත, The Third Reich: A New History (තුන්වැනි රයිකය: නව ඉතිහාසය) නමැති කෘතියක, ”ධනවාදය හා ෆැසිස්ට්වාදය අතර සම්බන්ධය පිලිබඳ ලෝලී චින්තන ගුරුකලය” ටර්නර් විසින් පරිපූර්නවම බිඳ දමා තිබුනු බව බර්ලේ කියා සිටියි. (7) බර්ලේට අනුව, නාසිවාදය ”දේශපාලන ආගමක්” වැනි දෙයක් වූ අතර එහි නැගීම හා එය කල අපරාධ ධනවාදයට සම්බන්ධ කල නොහැක.

නාසි ව්‍යාපාරය හා මහා ව්‍යාපාරිකය අතර සම්බන්ධය පිලිබඳ ප‍්‍රශ්නය හුදෙක් අරමුදල් සැපයීමේ මට්ටමින් පමනක් වියැකී ගොස් නොමැත. නාසි පක්ෂය, එය පිටුපසින් සිට නූල් අදින මහා ව්‍යාපාරිකයින්ගේ යම් ආකාරයක කල්ලියක් වීය යන අදහස මාක්ස්වාදී ව්‍යාපාරය කිසිදා දැරුවේ නැත. කෙසේ වෙතත්, නාසි ව්‍යාපාරයේ සංකල්ප හා දෘෂ්ටිය ජර්මන් අධිරාජ්‍යවාදයේ ගැඹුරුම අවශ්‍යතාවයන්ට හා අභිලාෂයන්ට සම්බන්ධ නැතැයි මින් අදහස් නොවේ.

නාසි ව්‍යාපාරයේ දෘෂ්ටිය හා ජර්මන් අධිරාජ්‍යවාදයට ඇති එහි සම්බන්ධය සලකා බැලීමේදී, යුදෙව් විරෝධය පිලිබඳ හිට්ලර්ගේ ම පැහැදිලි කිරීම්වලින් පටන් ගනිමු. ඔහු සමහර අවස්ථාවල දී සිය ව්‍යාපාරයේ ගමන් ම‍‍ගෙහිදී, ආගමික සංකල්ප හා ඇදහිලි පාවිච්චි කල ද යුදෙව්වන් වෙත වු හිට්ලර්ගේ වෛරය කි‍්‍රස්තියානි පල්ලියේ ඉගැන්වීම් මත පදනම් නොවී ය. කම්කරු පන්තිය මත පදනම් වු ජනතා සමාජවාදී ව්‍යාපාරවල වර්ධනයට ප‍්‍රතිප‍්‍රහාර දීමට උත්සාහ කිරීමේදී 19 වැනි සියවසේ පසු භාගයේ දී වර්ධනය කරන ලද වර්ගවාදී ප‍්‍රවාදයන් තුල එය මුල් බැස තිබුනි. නිර්ධන පන්තිය මැඞීමට හා ජාතියේ අවශ්‍යතාවයන්ට එය යටත් කිරීම සඳහා සුලු ධනේශ්වරය හා ගොවි ජනතාව බලමුලු ගැන්වීමේ මාධ්‍යයක් ලෙස යුදෙව් විරෝධය දැකගනු ලැබිනි. එම වැඩසටහන ඉතා නිශ්චිතව ජර්මානු මහා ව්‍යාපාර හා ඉඩම්හිමි ප‍්‍රභූවේ අවශ්‍යතාවන් සඳහා වූවකි.

1923 ඔක්තෝබරයේදී මියුනිච් හි කුමන්ත‍්‍රනයක් සැලසුම් කිරීමේ කාරනාව මත සිරගත කර සිටින අවධියේ - ඉතා සුඛෝපභෝගි සිරගත කිරීමක් ලෙස යමෙක් සටහන් කරගත යුතුය - ඔහු විසින් ලියන ලද මෙන්කාම්ෆ් කෘතියෙහි හිට්ලර්, ඔහුගේ යුදෙව් විරෝධය, මාක්ස්වාදය කෙරෙහි ඔහුගේ වෛරය හා බැඳුනේ කෙසේ දැයි විස්තර කරයි.

යුද්ධයට පෙර වියානාවේ යුදෙව් ප‍්‍රශ්නය සමඟ පොර බැදීමට පටන්ගත් පසුව සිය දෑස් වසා පැවති පටල ඉවත්ව ගිය බව ඔහු ලියුවේ ය. ”යුදෙව්වා වනාහි සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නායකයා යයි හඳුනා ගතිමි”... ”මම මාක්ස්වාදී ඉගැන්වීම් වඩා ගැඹුරින් හාරා බැලූ කල.... ඉරනම විසින් ම මට යට සඳහන් උත්තරය ලබා දුන්නේය. මාක්ස්වාදය පිලිබඳ යුදෙව් ප‍්‍රවාද ස්වභාව ධර්මයේ උතුම් මූලධර්මය ප‍්‍රතික්ෂේප කරන අතර බලයේ හා ශක්තියේ සදාකාලික වරප‍්‍රසාද, ජනතාවන්ගේ සමස්තය හා ඔවුන්ගේ මහත් බර මඟින් විස්ථාපනය කරයි. එලෙස ම එය මිනිසාගේ පෞරුෂයේ අගය ප‍්‍රතික්ෂේප කරයි. ජාතිකත්වයේ හා වර්ගයේ වැදගත්කමට විරුද්ධ වෙයි. ඒ මගින් මනුෂ්‍යත්වයේ පැවැත්මෙහි තාර්කික පදනම හා සංස්කෘතිය ඉවත් කරයි.” (8)

මාධ්‍යවේදී කොන්රඞ් හේඞ්න්, සිය හිට්ලර් චරිතාපදානයෙහි සඳහන් කල පරිදි, යුදෙව්වන් විසින් එයට නයකත්වය දුන් නිසා කම්කරු ව්‍යාපාරය ඔහු පිලිකුල් නොකලේ ය, තමන් කම්කරු ව්‍යාපාරය මෙහෙය වු නිසා යුදෙව්වෝ ඔහුව පිලිකුල් කලෝ ය. හිට්ලර්ගේ යුදෙව් විරෝධය අවුලූවා ලූයේ සමාජවාදී කාල් මාක්ස් ය. (9)

”වර්ගවාදී රාජ්‍ය” පිලිබඳ නාසි ප‍්‍රවාදය ඇඩොල්ෆ් හිට්ලර් විසින් නිර්මානය කරන ලද්දක් නොවේ. එය 19 වැනි සියවසේ අග භාගයේ දී හා 20 වැනි සියවසේ මුල් දශකයේ දී දක්ෂිනාංශික විද්වත් හා දේශපාලන කවයන් තුල වර්ධනය කෙරුනු වර්ගවාදී න්‍යායන් මාලාවක් මත හැඩගැන්වුනි. වාර්ගික පවිත‍්‍රකරනයේ අවශ්‍යතාව හා ”පිරිහිනු” මිනිසුන් ඉවත් කිරීම හෝ සමූලඝාතනය මුල්කොටගත් හොලොකෝස්ටයට, සංකල්පමය පදනම සකසනු ලැබූ වාර්ගික පහත්කම පිලිබඳ ප‍්‍රවාද, ජර්මනියට හෝ යුරෝපයට පමනක් සීමාවුවා නොවේ. එහි සමහර ඉහලම විශ්වවිද්‍යාල ද ඇතුලු ඇමරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාල සංගම් මාලාව තුල මේවා සාකච්ඡා කෙරුනි.

මෙම කාරනය පැහැදිලි කිරීම සඳහා 1922 දී ප‍්‍රකාශයට පත් කෙරුනු ලොත්රෝප් ස්ටොඩාර්ඞ් නමැති බොහෝ ඉහලින් ගෞරවයට පාත‍්‍රවුන කතුවරයාගේ, The Revolt Against Civilisation: The Rise of the Under Man (ශිෂ්ටචාරයට එරෙහි කැරැල්ල: පීඩිතයාගේ නැගීම) නම් පොතේ ‍ඡ‍ේද කීපයක් උපුටා දැක්වීමට මට ඉඩ දෙන්න. ස්ටොඩාර්ඞ් හාවඞ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිධරයෙකු වන අතර ටොරන් හාඩින් හා හර්බට් හුවර් යන ඇමරිකානු ජනාධිපතිවරුන් දෙදෙනා ගේ ප‍්‍රශංසාවට ලක්වූ අයෙකි. The Great Gatsby (ද ගේ‍්‍රට් ගැට්ස්බි) හි එය සඳහන්ව ඇතැයි යන්න ප‍්‍රසිද්ධ කරුනකි.

පීඩිතයා යන වචනය යෙදීම වැදගත් ය. නාසි ප‍්‍රවාදයන් සමග ඉතා කිට්ටුවෙන් සම්බන්ධ වචනයක් වනුයේ අන්ටර්මෙන්ෂ් (undermensch) ය. එහි බෙහෙවින් සාමාන්‍ය පරිවර්තය ‘උප-මානවයා’ යන්න ය. එහෙත් සාහිත්‍යමය පරිවර්තනය ”පීඩිතයා” (අන්ඩර්-මෑන්) යන්නය.

ඔහුගේ නමින් යුත් තවත් ග‍්‍රන්ථයක් වන The Rising Tide of Colour Against White World-Supremacy (සුදු ලෝක ආධිපත්‍යයට එරෙහිව නැෙඟන කලු වඩදිය) හි ස්ටොඩාර්ඞ් එකල එතරම් සාකච්ඡා නොකෙරුනු කරුනු සැලකිල්ලට ගනියි. පහත්, කලු වර්ගයන් හා වාර්ගික පෙලපත් නඟා සිටුවීම තුල සුජනන විද්‍යාවේ (eugenics) කාර්යභාර්ය මඟින් තර්ජනයට ලක්ව තිබීම ද එයට ඇතුලත් ය. සැලකිය යුතු කාලයක් මෙම ප‍්‍රශ්න සැලකිල්ලට භාජනය වී තිබුනු අතර 1920 ගනන්වල ලෝකය තුල නව සාධකයක් හිස එසවීය: එනම්, 1917 රුසියානු විප්ලවය හා ශිෂ්ඨාචාරයේ ලොකුම අන්තරාය ලෙස බෝල්ශෙවික්වාදයේ මතු වීම ය.

ස්ටොඩාර්ඞ් සමානාත්මතාවයේ විසකුරු විරුද්ධවාදියෙක් විය. අසමානතාව ස්වභාව ධර්මය තුල ගැබ්ව ඇතැයි ඔහු ලීවේ ය. ශිෂ්ටාචාරය ශක්‍ය වනුයේ සමහර වර්ගයන්ට පමනි. එපමනක් නොව, ශිෂ්ඨත්වය අත්කරගත නොහැකි වර්ගයා සමාජය තුල සිටීම සමාජයට ම තර්ජනයකි. මෙම සංකල්ප හා අත්වැල් බැඳ ගත් ඊනියා සුජනනයේ විද්‍යාව නැතහොත් ”වාර්ගික පහරදීම,” සමාජ සංවිධානය සඳහා දුර දිග යන ගම්‍යයන් ගැබ්කර ගත්තේය.

ස්ටෝඩාර්ඞ්ට අනුව, ”උත්තරීතරයන් වැඩි කිරීම වර්ගයා ගොඩනැගීමේ ක‍්‍රියාවලියකි, බාලහත්කාරී විලෝපනයන් වර්ගයා පවිත‍්‍රකරනය කල ක‍්‍රියාවලියකි, බාලහත්කාරයෙන් විලෝපනය කිරීම වර්ගයාගේ අභිවෘද්ධිය සඳහා වන අනිවාර්ය ආරම්භක ලක්ෂ්‍යයයි.” වාර්ගික අභිවෘද්ධිය පිරිහීමේ සංකල්පය සමග බැඳී ඇත. ”පිරිහීම නොකඩවා පැතිරෙන, නීරෝගී ජන සමූහයා දූෂනය කරන හා විනාස කරන, සමාජ හරයන් විනාස කරන, සමාජ බර වැඩි කරන පිලිකාකාර දිලීරයකි. සැබවින්ම පිරිහීම සමාජය අංගවිකල කරනවා පමනක් නොව එහි පැවත්මට ම තර්ජනය කරයි.... අපගේ සමාජ ව්‍යාධි වැඩි වශයෙන්ම පිරිහීමේ නිපැයුම්ය, පිරිහුන කොටස් අතුගා දැමීම වෙන ඕනෑම දෙයකට වඩා ඒවා විසඳීමකි. එහෙත් පිරිහීම අතුගා දැමිය හැක්කේ පිරිහුන කොටස අතුගා දැමීමෙන් ය. මෙය සමාජ කාරනයක් නොව වාර්ගික කාරනයකි.... අයෝග්‍ය පුද්ගලයන් මෙන්ම අසාධාරන සමාජ තත්වය ද අතුගා දැමිය යුතු ය. (10)

ඔවුන්ට එය කරා පැමිනිය නොහැකි බව ස්වභාවධර්මයා විසින් ම ඒත්තු ගෙන තිබු නිසා පීඩිතයා ශිෂ්ටාචාරයේ සතුරෙකු විය. එහෙත් දැන්, ප‍්‍රගතියේ හා ශිෂ්ඨාචාරයේ සතුරා වන පීඩිතයා ශූරත්වය අත් කරගනු ලැබිනි.

”සින්ඩිකල්වාදයේ හා එහි ශාඛාවක් වන බොල්ශෙවික්වාදයේ වැදගත්කම අධිතක්සේරු කිරීම දුෂ්කර ය. ලෝකය මෙතෙක් දුටු ඉතාමත් භායානක සමාජ ප‍්‍රපංචය එය බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. ඉතිහාසයේ පලමුවරට සින්ඩිකල්වාදය තුල පීඩිතයා පිලිබඳ සම්පූර්න පරිනත දර්ශනවාදයක් අපට හමුවේ - සැබවින්ම රුසියානු බොල්ශෙවික්වාදය සමඟ අරඹා ඇත්තේ ශිෂ්ඨාචාරයට එරෙහි මහා විප්ලවයේ පූර්විකාවයි........ පීඩිතයා පිලිබඳ මෙම දර්ශනවාදයට අද බොල්ශෙවික්වාදය යයි කියති.” (11)

බොල්ශෙවික්වාදය ශිෂ්ඨාචාරයේ ද වර්ගයා ගේ ද පරම හතුරා විය, ”අපගේ පැවැත්මේ සෑම තන්තුවකටම” එය තර්ජනය කලේ ය, ”අවසාන වශයෙන් එය, ම්ලේච්ඡ වු ද වාර්ගිකව දිලිඳු වු ද අතිශයින් නීච හා අපේක්ෂා භංග ලෝකයක් තුලට සියල්ල ඇද දැමීය.” එබවින් ”වියදම ගැන නොබලා” බොල්ශෙවික්වාදය කුඩුකර දැමීය යුතුය.

තවද, වින්ස්ට්න් චර්චිල් ද ඇතුලු වෙනත් බොහෝ අය මෙන් ස්ටෝඩර් ද, සමාජ විප්ලවවාදී ව්‍යාපාරයෙහි යුදෙව්වන් ඉටුකල වැදගත් කාර්යභාර්ය සටහන් කලේ ය, ” මාක්ස් හා එංගල්ස්ගේ කාලයේ සිට අද සෝවියට් රුසියාව දක්වා, වැඩි වශයෙන් යුදෙව් බොල්ශෙවික්වාදී පාලනය දක්වා.” (12) නාසීන්ගේ වාර්ගික ජීව විද්‍යාවේ සියලූ ම ප‍්‍රධාන මූලයන් ද එහි මාරාන්තික ගම්‍යයන් ද මෙහි ඉදිරිපත් කෙරේ.

නාසි වැඩසටහනේ අනෙකුත් ප‍්‍රධාන සංරචක, විශේෂයෙන් ම ජර්මානු තත්වයට සම්බන්ධ ඒවා, පූර්ව දශක තුන පුරා දක්ෂිනාංශික කවයන් විසින් දියුනු කෙරී ඇත.

1901 දී, නාසි සංකල්පය තුල කේන්ද්‍රීය තැනක් දැරූ වාසස්ථාන හෝ හුස්ම ගැනීමේ ඉඩක් යන වචනය ෆි‍්‍රඞ්රික් රට්සෙල් නම් ලේඛකයා විසින් වාත්තු කරන ලදී. මිනිසෙකුගේ වර්ධනය නීර්නය වූයේ ව්‍යාප්තවීමට පැවති ඉඩකඩ අනුව වු අතර යහපත් මිනිසෙකුගේ වැඞීමට හා දියුනුවට අවශ්‍ය ඉඩ තිබිය යුතු විය. රට්සෙල්ට අනුව, වාර්ගික යහපත් කමේ අවශ්‍යතාවය මත ජර්මනියට ද, ප‍්‍රන්සය, බි‍්‍රතාන්‍ය හා අනෙකුත් යටත් විජිත බලවතුනට මෙන් යටත් විජිත තිබීම අත්‍යාවශ්‍යය.

රට්සෙල් යටත් විජිතවල අවශ්‍යතාවය ගැන ලියන විට, අන්‍යයෝ ව්‍යාප්ත වීමේ අවකාශය ලෙස යුරෝපා මහාද්වීපය දෙසට හැරුනහ. ජනපද අල්ලා ගැනීමට උත්සාහ කිරීමත් සමග බැඳුනු ප‍්‍රශ්නය වූයේ අඛන්ඩව එහි විරුද්ධවාදීන් සමග හැප්පෙන්නට සිදුවීමයි. පාලක කවය තුල පැවතුන වර්ගවාදී දෘෂ්ටිය කාවැදුනු හමුදාවේ කොටසක්, විදේශීය ජනපද වෙනුවට රටට කිට්ටු ප‍්‍රදේශ වෙත බැල්ම හෙලී ය. 1912 දී ප‍්‍රකාශයට පත්කරන ලද පොතක, ජෙනරාල් ෆි‍්‍රඞ්රික් බර්න්හාර්ඞ් යුද්ධය ”ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක්” යයි දැඩිව කියා සිටියේ ය. යුද්ධයක් නොමැතිවූ කල පහත් හෝ ක්ෂය වන වර්ගයා පහසුවෙන්ම, නීරෝගීව වැඩෙන මූලාංශයන්ගේ හුස්ම හිර කරති, ඉන් පසුව එලඹෙන්නේ සර්ව ලෝක පරිහානියයි. ” (13). 1960 ගනන් වලදී ඉතිහාසඥ ෆි‍්‍රට්ස් ෆිෂර් සොයා ගත් පරිදි බි‍්‍රතාන්‍ය ශාස්ත‍්‍රාලික ප‍්‍රජාවගේ තියුනු විරුද්ධත්වය මධ්‍යයේ ජර්මානු මිලිටරිය 1914 සැප්තැම්බරයේදී නැගෙනහිර ද ඇතුලු යුරෝපයේ විශාල භූමිභාගයක් අත්පත් කරගැනීමේ සැලස්මක් සකස් කර තිබුනි. ”ෆිෂර්ගේ නිබන්ධය” තියුනු මතභේද දැල්වුයේ ය, මන් ද යත් එය, පලමු වැනි ලෝක යුද්ධයේ ජර්මානු විදේශ ප‍්‍රතිපත්ති ඉලක්ක හා නාසි පාලනයේ විදේශ ප‍්‍රතිපත්ති අතර අත්‍යාවශ්‍ය පුරුක පිහිටවූ බැවිනි.

මේන් කාම්ෆ් යන සිය කෘතිය තුල හිට්ලර් වර්ගය, යුදෙව් විරෝධය, හුස්ම ගැනීමේ ඉඩ හා බොල්ශෙවික්වාදයට එරෙහි අරගලය පිලිබඳ ප‍්‍රවාද එකට ගැටගැසීය. රුසියානු බොල්ශෙවික්වාදය වනාහි, විසිවෙනි සියවසේ ලෝක පාලනය අල්ලාගැනීමේ යුදෙව් උත්සාහය ලෙස සැලකිය යුතු යයි ඔහු අවධාරනය කලේය. එබැවින් යුදෙව් ලෝක බොල්ශෙවීකරනයට එරෙහි අරගලයේදී සෝවියට් රුසියාව කෙරෙහි පැහැදිලි ආකල්පයක් අවශ්‍ය වන්නේය. මෙය, හුස්ම ගැනීමේ ඉඩක් සඳහා ජර්මන් රීචය ව්‍යාප්ත කිරීම සමඟ අත්‍යන්තයෙන්ම බැඳී තිබුනි. මෙම ජාතිය ශක්තිමත් කල යුත්තේ විදේශ යටත් විජිත අල්ලා ගැනීමෙන් නොව, ”මව්බිමේ භූමිභාගයන් පෝෂනය කරනු ලබන” භූමිභාගයන් අත්පත්කර ගැනීමෙනි. මෙම සැලසුම් සියල්ල එකට ගෙන සිය ”නැගෙනහිර ප‍්‍රතිපත්තිය” පිලිබඳ සාකච්ඡාවේදී හිට්ලර් මෙසේ ලිවීය.

සෝවියට් රුසියාව යුදෙව්වන්ගේ නායකත්වය යටතේ පැවති බැවින් ජර්මනියට එය ජයගැනීමේ අයිතිය ඇත. ”දශක ගනනාවක් තිස්සේ රුසියාව තම ඉහල නායකත්ව ස්ථරය වෙත ජර්මානු න්‍යෂ්ඨීන්ගෙන් පෝෂනය ඇද ගත්තේ ය. අද එය මුල්මනින්ම වාගේ දුරීභූත වී විනාශ වී ගොස් ඇතැයි සැලකිය හැක. අද එය ආදේශ කෙරෙන්නේ යුදෙව්වන් ගෙනි. තමන්ගේ ම සම්පත්වලින් අද රුසියානුවන්ට යුදෙව් දම්වැලෙන් බිඳී යා නො හැක. ඒ තරමටම යුදෙව්වන්ට ද බලගතු අධිරාජ්‍ය හැමදාටම පවත්වා ගෙන යා නොහැක. ඔහු ම සංවිධානයේ මූලිකාංගය නොවන අතර එය කුනුවීමේ විසර ගෙඩිය බවට පත්ව තිබේ. නැගෙනහිර පර්සියානු අධිරාජ්‍ය නැඟී සිටියේ බිඳ වැටීම උරුමකර ගෙනය. රුසියාවේ යුදෙව් පාලනයේ අවසානය රාජ්‍යයක් වශයෙන් රුසියාවේ අවසානය ද වනු ඇත. ඉරනම විසින් අප මෙම මහා ඛේදවාචකයේ සාක්ෂිකරුවන් ලෙස තෝරා ගෙන ඇති අතර, එය ජාතික වාර්ගික න්‍යායේ පරිපූර්නත්වය පිලිබඳ දැවැන්ත ම සනාථනය වනු ඇත.” (14)

ජයග‍්‍රහනය හා යටත්විජිතකරනයේ මෙම සංකල්ප හිට්ලර්ගේ උමතුවේ ප‍්‍රතිඵලයක් ලෙස යමෙකු සිතීම වැලැක්වීම සඳහා ඒවා බෙහෙවින් සමකාලීන සිද්ධීන් තුල ස්ථීරව පදනම් වී ඇති බව පෙන්වා දීමට ඉඩ දෙන්න. 1918 නොවැම්බරයේ පලමුවැනි ලෝක යුද්ධය අවසන් වු විට ජර්මානු භූමිය තුල විදේශීය හමුදා රැඳී නොසිටි අතර රීචය, රුසියාවේ කොටසක් ද සමග යුක්රේනයේ විශාල කොටසක් තම අත තබා ගත්තේ ය. අධිරාජ්‍යයක් පිලිබඳ හිට්ලර්ගේ ඉදිරිදර්ශනයයේ ආරම්භක ලක්ෂ්‍යය වූයේ නැගෙනහිර අල්ලා ගැනීම වූ අතර එම විශාල ප‍්‍රදේශය බ්‍රෙස්ට්-ලිටොව්ස්ක් ගිවිසුමේ වගන්ති අනුව ජර්මනිය අල්ලා ගෙන තිබු ප‍්‍රදේශය යි. 1918 මාර්තු 03 වැනි දා බ්‍රෙස්ට්-ලිටොව්ස්ක් ගිවිසුම අත්සන් කිරීමට සෝවියට් ආන්ඩුවට බල කෙරින. ජර්මනිය විසින් අල්ලා ගත් භූමියේ ප‍්‍රමානය මෙහි දැක්වෙන සිතියමෙන් බලාගත හැක.

Map

අධිරාජ්‍ය හා ලෙබන්ස්රොම් පිලිබඳ හිට්ලර්ගේ සංකල්ප 1928 වසරේ ලියන ලද ඔහුගේ අප‍්‍රකාශිත Second Book (දෙවන පොතේ) තවදුරටත් සාරාංශගත කරන ලදී. පශ්චාත් ප‍්‍රථම ලෝක සංග‍්‍රාමය තුල සිදුවූ දෙවන විශාලතම වෙනස ලෙස සැලකෙන එක්සත් ජනපද ආර්ථික ආධිපත්‍යයේ නැඟී ඒමේ ඇඟවුම් පිලිබඳ ඔහුගේ නිරීක්ෂනය මෙහිදී අපට හමුවේ 1914 වන විට එක්සත් ජනපදය තවමත් නයකාර ජාතියක්ව සිටියේය. දශකයකට පසුව එය ලෝකයේ ප‍්‍රමුඛතම මූල්‍ය බලවතා බවට පත්ව තිබුනි.

සිය ‘දෙවන පොත’ තුල හිට්ලර්, එක්සත් ජනපදයේ ගෝලීය ආර්ථික ආධිපත්‍ය හා එය යුරෝපය මත ඇතිකල පීඩනය පිලිබඳ සන්දර්භය තුල ලෙබන්ස්රෝම් සඳහාවූ අවශ්‍යතාවය විමසුමට ලක්කරයි. ජීවන තත්වයන් පිලිබඳ යුරෝපිය සංකල්ප දැන් තීරනය වූයේ එහිම ආර්ථික ශක්‍යතාවන් මඟින් පමනක් නොව, එක්සත් ජනපදයේ පවතින්නේ කුමන තත්වයක්ද යන්න ද මතය, කෙසේ වුවත් මූලික වෙනසක් පැවතියේය. ඒ, එක්සත් ජනපද ආර්ථිකය රදා පැවතියේ වඩා විශාල අභ්‍යන්තර වෙලඳපොලක් මත වීමයි.

පැවති පර්යාය තුල ජර්මානු ජනතාවගේ බලාපොරොත්තු අඳුරු විය. හිට්ලර් ලියා තිබුනු ආකාරයට, ජර්මානු මිලිටරිය හා දේපල හිමි පැලැන්තිය තුල පදනම්ව සිටි සියලූ දක්ෂිනාංශික බලවේගයන්ගේ ඉල්ලීම වූ, 1914 දේශසීමා යලි පිහිටුවනු ලැබුවත්, එය ඇමරිකාවේ ජීවන තත්වයන්ට සරිලන මට්ටමක් සහතික කිරීමට පවා ප‍්‍රමානවත් නොවීය. ජර්මනිය 1914දී පැවතියාක් මෙන් ලෝක වෙලඳපොලවල් සඳහා අරගලයකට තල්ලුවනු ඇත.

හිට්ලර් අවධාරනය කලේ, තරඟය තුලින් ජර්මනිය වඩ වඩාත් නිර්යාත වෙලඳපොලවල් අත්පත්කර ගත්ත ද, යුරෝපීය බලවතුන් ද ඒ ආකාරයටම කටයුතු කිරීමට තැත් කරනු ඇතැයි යන කාරනය තිබියදී වුවත් ඇමරිකාව, දැන් බොහෝ ක්ෂේත‍්‍රයන්හිදී ලොකුම තරඟකරුවා වන බවයි.

හිට්ලර් මෙසේ ලිවී ය: ”එහි අභ්‍යන්තර වෙලඳපලේ විශාලත්වය හා ධනය, නිමැවුමේ පිරිවැය අඩු කරන නිෂ්පාදන මට්ටම්වලට හා එමඟින් නිෂ්පාදන පහසුකම්වලට අවස්ථාව සලසන අතර, නිමැවුමේ පිරිවැය කෙතරම් පහත වැටෙන්නේ ද යත්, දැවැන්ත වේතන ගෙවනු ලබද්දී වුවත් මිල අඩුකර විකිනීම කිසිසේත්ම කල නොහැකි දෙයක් බව පෙනීයයි. මෝටර් රථ කර්මානතයේ වර්ධනය මෙහිදී අනතුරු අඟවන උදාහරනක් සපයයි. නිදසුනක් වශයෙන් ජර්මානුවන් වන අපි, අපගේ හාස්‍යජනක වැටුප් මට්ටම් එසේ තිබියදීත්, සුලු ප‍්‍රමානයකට හෝ ඇමරිකානු තරඟයට එරෙහිව සාර්ථකව අපනයනය කිරීමේ තත්වයක නොසිටනවා පමනක් නොවේ; අප රට තුලම පවා ඇමරිකානු වාහන සීග‍්‍රයෙන් වැඩිවන ආකාරය අප නිරීක්ෂනය කල යුතු ය. එසේ විය හැක්කේ අභ්‍යන්තර වෙලඳපලේ විශාලත්වය හා එහි ක‍්‍රය ශක්තියේ මට්ටම හේතු කොට ගෙන පමනි. තවද, ඇමෙරිකානු මෝටර් රථ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය අඛන්ඩව සැපයීම මඟින් අභ්‍යන්තර අලෙවි සංඛ්‍යා සහතික කරන අතර ඒ තුලින් පමනක් අභ්‍යන්තර අලෙවි අවස්ථා හිඟවීම හේතු කොට ගෙන සරලවම යුරෝපය තුල යොදාගත නොහැකි නිෂ්පාදන විධික‍්‍රමවලට අවස්ථාව සැලසී තිබේ. (15)

වෙනත් වචනවලින් කිවහොත්, ඉතිහාසඥ ඇඩම් ටූස් සටහන් කල පරිදි, එම අවස්ථාවේ ශ‍්‍රම ඵලදායිතාවේ හා ඒ අනුව ධනේශ්වර ලාභයේ ඉහලම වර්ධනය සලකුනු කල ෆෝඞ්වාදයට ලෙබන්ස්රෝම් අවශ්‍ය කෙරුනි.

එක්සත් ජනපදයේ ආධිපත්‍යයට අභියෝග කලහැකි පරිදි ජර්මනියේ ද සමස්තයක් වශයෙන් යුරෝපයේ ද ආර්ථික ධාරිතාව ගොඩනැගීම මූඛ්‍ය කර්තව්‍යය ලෙස සලකන ලද ඉදිරිදර්ශනයක් තුලට, කලින් වර්ධනය කරන ලද වාර්ගික ධර්මතාවන් දැන් ඒකාග‍්‍ර කෙරුනි. විසඳුම රැදී පවතින්නේ යම් ආකාරයක සර්ව-සමස්ත යුරෝපීය ව්‍යාපාරයක් ගොඩනැගීම තුල නොවේ. හිට්ලර් අවධාරනය කල පරිදි එය බොලඳ යුදෙව් සංකල්පයක් පමනි. යුරෝපය එක්සත් කිරීම ක‍්‍රියාවට නැංවිය යුත්තේ. රෝමය ලතින් රාජ්‍යයන් අල්ලාගත් පරිදි ද ප‍්‍රසියාව ජර්මානු රාජ්‍ය ගොඩනගාගත් පරිදි ද බලගතුම රාජ්‍යය විසින් කරන ලද අරගලයක පදනම මතය.

”අනාගතයේ දී උතුරු ඇමරිකාවට එරෙහිව කරට කර නැගී සිටිය හැකි එකම රාජ්‍යය වනුයේ, සිය අභ්‍යන්තර ජීවිතයේ ස්වභාවය හා බාහිර ප‍්‍රතිපත්තියේ හරය තුලින්, තම ජනතාවගේ වාර්ගික වටිනාකම් නැංවීම ද ඒ අරමුන සඳහා වඩාත්ම ප‍්‍රායෝගික ජාතික ආකෘතිය තුලට එය ගෙන එන්නේ කෙසේ ද යන්න ද අවබෝධ කර ගත් රාජ්‍යය” යයි හිට්ලර් ලිවී ය. මෙම කර්තව්‍යය සඳහා හැකි උපරිම ප‍්‍රමානයට අපගේ පීතෘ භූමිය ශක්තිමත් කර සුදානම් කිරීම ජාතික සමාජවාදී ව්‍යාපාරයේ වගකීම වේ”. (16)

1928 වසරේ හිට්ලර් මේ වැකි ලියන විට ඒවා ජර්මානු පාලක පන්තියේ අන්ත දක්ෂිනාංශයේ ප‍්‍රතිපත්තිවලින් තරමක් දුරස්ථ ලෙස පෙනී ගියා විය හැක. වයිමාර් ජනරජයේ ප‍්‍රමුඛ ධනේශ්වර දේශපාලනඥයා වූ ගුස්ටාව් සෙට‍්‍රසිමාන්ගේ ප‍්‍රතිපත්තිය වූයේ, එක්සත් ජනපදයේ දේශපාලන හා ආර්ථික අනුග‍්‍රහය යටතේ ලෝක වෙලඳපල තුල ක‍්‍රියාත්මක වෙමින්, යුරෝපීය හා ලෝක බලවතෙකු ලෙස ජර්මනියේ තත්වය ප‍්‍රකෘතිමත් කිරීමට උත්සුක වීම ය. එනමුදු, තත්වය අනපේක්ෂිත ලෙස වෙනස්වීමට කටයුතු යෙදී තිබුනි. 1928, කෙටි කාලීන පශ්චාත් යුද ව්‍යාපෘතියේ අවසන් වසර විය. දෙවසරක් තරම් කෙටි කාල පරාසයක් තුල ලෝක වෙලඳපල මුලුමනින්ම පාහේ සිඳි බිඳී ගියේ ය. ප‍්‍රාග්ධනය ගලායාම නැවතුනි. තීරු බදු තාප්ප ගොඩනැඟුනි. සෑම රටකම ධනේශ්වරය ජාතික විසඳුම් කෙරේ වැඩි වැඩියෙන් අවධානය යොමු කරන්නට විය.

1930 ගනන්වල ආරම්භයේ දී නාසි ව්‍යාපාරයේ මූඛ්‍ය මතවාද දෙක වූ, ජර්මනිය තුලින් මාක්ස්වාදය තුරන් කිරීමේ හා ලෙබන්ස්රෝම් මත පදනම්ව ජාතිකවාදී ආර්ථික වැඩසටහනක් පසුපස හඹායාමේ අවශ්‍යතාවය, ජර්මානු පාලක ප‍්‍රභූවේ නැඟී එන කොටස්වල දේශපාලන දිශානතිය හා ගැලපුනි.

ඇඩම් ටූස් සටහන් කල පරිදි, ”ජාතික සමාජවාදයේ අපූර්වත්වය වූයේ, ඉංග‍්‍රීසි භාෂාව භාවිතා කරන සමෘද්ධිමත් රටවල් ආධිපත්‍ය දරන ගෝලීය ආර්ථික පර්යායක් තුල, ජර්මනිය වෙනුවෙන් යටහත් පහත් ලෙස තැනක් භාරගැනීම වෙනුවට, එම පර්යායට එරෙහිව ඓතිහාසික අභියෝගයක් එල්ල කිරීම සඳහා සිය ජනතාවගේ හිරවුනු ඉච්ජා භංගයන් ජයග‍්‍රහනය කිරීමට හිට්ලර් උත්සුක වීමයි. යුරෝපීයයන් මීට පෙර ශත වර්ෂ තුන තුල ලෝකය හරහා සිදුකල දෙය නැවත කරමින් ජර්මනිය, සිය අධිරාජ්‍යමය ප‍්‍රත්‍යයන්තය ස්ථාපිත කරනු ඇත; නැගෙනහිර එක් අන්තිම භූමිය ඩැහැගැනීම තුලින් දේශීය සමෘද්ධිය සඳහා ස්වයං පෝෂිත පදනම ද එක්සත් ජනපදය සමග ඉදිරියේ එන සුපිරි බලවතා වීමේ තරඟය ජයගැනීමට අවශ්‍ය වේදිකාව ද එය නිර්මානය කරනු ඇත.” (17)

හිට්ලර්ගේ පදවිප‍්‍රාප්තියෙන් මාස පහක් වැනි කෙටි කාලක් ගත වූ තැන ට්‍රොට්ස්කි, නාසි තන්ත‍්‍රයේ ගමන් මග සටහන් කරමින් මෙසේ ලිවී ය:

නාසීන් බලය අත්පත් කරගත්තේ කෝපාවිෂ්ටවූ ද අවමංඟතවූ ද සුලු ධනේශ්වරය බලමුලුගන්වා ගැනීමට ඔවුන්ට පැවති හැකියාව තුලිනි. ධනේශ්වරයේ පැරනි පක්ෂ බිඳ වැටී තිබුනි. එනමුදු, ධනවාදී සමාජයේ අර්බූදයෙන් ගොඩ ඒමේ මගක් පෙන්නුම් කිරීමට කම්කරු පන්ති පක්ෂ අසමත් වූහ. සමාජවාදී විප්ලවයට එරෙහිව ධනේශ්වර පර්යාය හා පාර්ලිමේන්තුවාදය ආරක්ෂා කිරීමට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කැපවී සිටි අතර කොමියුනිස්ට් පක්ෂය පොදු ජනතාව විප්ලවය වෙත කැඳවු නමුදු එය ක‍්‍රියාවට නැඟීමෙහි ලා මුලුමනින්ම අපොහොසත් විය.

මේ තත්වය යටතේ, සුලු ධනේශ්වරයේ මායාවන් හා මුලාවන් දේශපාලන වැඩසටහනක් බවට හරවා බලය අත්පත් කර ගැනීමට නාසීහු සමත් වූහ. එනමුදු, බලය අත්පත් කර ගැනීමෙන් පසුව හිට්ලර්ගේ කර්තව්‍යයන් තීරනය වූයේ, ඒකාධිකාරී ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාවන් මගින් යයි ට්‍රොට්ස්කි ලිවී ය:

”අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන් සඳහා ජනතාවගේ සියලු බලවේග හා සම්පත් අනිවාර්ය ලෙස එක්තැන් කිරීමේ - ෆැසිස්ට් ආඥාදායකත්වයේ සැබෑ ඓතිහාසික අර්ථය වන්නේ මෙයයි - අර්ථය වන්නේ යුද්ධය සඳහා සූදානමයි; අනෙක් අතට මෙම කර්තව්‍ය කිසිදු අභ්‍යන්තර ප‍්‍රතිරෝධයක් නුරුස්සන අතර යාන්ත‍්‍රික ලෙස බලය තව තවත් ඒකාග‍්‍ර කිරීමට මගපාදයි.” (18) ෆැස්ට්වාදය ප‍්‍රතිසංස්කරනය කිරීමට හෝ සේවයෙන් විශ‍්‍රාම යැවීමට හෝ හැකියාවක් නොතිබුනි. එය පැරදිය හැකි වනු ඇත්තේ යුද්ධය හෝ විප්ලවය මගිනි. පසුව ලියන ලද පසු වදනක ට්‍රොට්ස්කි සටහන් කලේ, නව යුරෝපීය මහා ව්‍යසනය ඇතිවන දිනය තීරනය වනුයේ, ජර්මනිය යලි සන්නද්ධ කිරීමට අවශ්‍ය කාල සීමාව මගින් බවය: එය මාස ගනනක ප‍්‍රශ්නයක් නොවු නමුදු දශක ගනනක ප‍්‍රශ්නයක් ද නොවී ය. වසර කිහිපයකින් යුද්ධයක පැටලීමේ තර්ජනයට යුරෝපය මුහුන දුන්නේය.

ට්‍රොට්ස්කි කලාක් මෙන්, නාසි තන්ත‍්‍රය ඒකාධිකාරී ප‍්‍රාග්ධන යන්ත‍්‍රයක් ලෙස නිරූපනය කිරීම අන් කිසිවක් නොව, මාක්ස්වාදී ”ගොරහැඩි භාවයේ” නිදසුනක්ය යනුවෙන් මතුරන ප‍්‍රකාශයට මඟ පාදා ඇත්තේ, නාසි තන්ත‍්‍රයේ පෙර නොවු විරූ ස්වභාවයයි. ඒ අනුව තර්ක කෙරෙනුයේ, සිය දේශපාලන හා වර්ගවාදී අරමුනුවලට අනුකූලවන පරිදි, මහා ව්‍යාපාරවලට සිය ප‍්‍රතිපත්ති පිලිබඳ න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට නඟන ලෙස නාසි තන්ත‍්‍රය විසින් නියෝග කල බවටය. මෙය දේශපාලනික වශයෙන් විශේෂයෙන් යෝග්‍ය වූ තර්කයකි. මන්දයත්, එහි අරුත වන්නේ හිට්ලර් තන්ත‍්‍රයේ භීෂනය සම්බන්ධයෙන් ඒකාධිකාරී ප‍්‍රාග්ධනය වෙත වගකීම පැවරිය නොහැකි බැවිනි. සමාජයේ අනිකුත් සෑම කොටසක් මෙන් එය ද නාසි ආඥාදායකත්වයට යටත් විය.

මුල සිටම මේ කරුන පැහැදිලි කරනු කැමැත්තෙමි: හිට්ලර් තන්ත‍්‍රයේ ප‍්‍රතිපත්ති පිලිබඳ න්‍යාය පත‍්‍රය කෙසේ හෝ මහා ව්‍යාපාරවල නායකයන් විසින් සෘජුවම විධාන කලේ යයි මම යෝජනා නොකරමි. කිසිදු ධනවාදී ආන්ඩුවක් ඒ ආකාරයට ක‍්‍රියාත්මක නොවේ. එසේ වුවත්, එය නිසැකවම ඒකාධිකාරී ප‍්‍රාග්ධනයේ තන්ත‍්‍රයක් විය.

මෙකල එක්සත් ජනපදයේ තත්වය දෙස අප හැරී බැලූවොත් ඉහත කී කාරනය පිලිබඳ සංකීර්නතාවන් අපට ඇතැම් විට වඩා පැහැදිලිව අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත. 1930 ගනන්වල දී ඇමරිකානු ධනවාදය, සමාජවාදී විප්ලවයෙන් ආරක්ෂා කර ගැනිමෙහි ලා ෆ‍්‍රැන්ක්ලින් රූස්වෙල්ට්ගේ පාලනය, බෙහෙවින් තීරනාත්මක භූමිකාවක් ඉටු කල බවට අද දින කා තුලත් සැකයක් මතුවිය නො හැක. ප‍්‍රමුඛ ධනේශ්වර කවයන් තුල ඔහු හෙලා දුටු බොහෝ දෙනාට එරෙහිව රූස්වෙල්ට් අවධාරනය කලේ. ඔහුට වඩා ධනවාදයේ ආරක්ෂාවට කැපවුනු තවත් අයෙක් නොසිටි බවයි. එසේ වුවද, නිව් ඞීල් හෙවත් නව සම්මුතිය, කෙසේ හෝ ධනවාදයෙන් ඔබ්බට ගමන් කල නව දේශපාලන ආර්ථිකයක් නිරූපනය කලේ යයි එකල බොහෝ දෙනා ප‍්‍රකාශ කලහ. ඔහුගේ ”සමාජවාදයට නැඹුරුවු” හා ”කොමියුනිස්ට්වාදයට හිතැති” ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් රූස්වෙල්ට් නිතිපතා හෙලා දැක්මට ලක්වුනි. එනමුදු යම් යම් අවස්ථාවල මහ ව්‍යාපාර සමග රූස්වෙල්ට් ඇතිකරගත් ගැටුම් කුමන ආකාරයක ඒවා වූවද ඔහුගේ පාලනය ජර්මනියේ නාසි තන්ත‍්‍රය සේම වඩාත් ගැඹුරු අර්ථයකින් ඒකාධිකාරී ප‍්‍රාග්ධනයේ තන්ත‍්‍රයක්ම විය.

සියලූම ආන්ඩු, ජාතික ආර්ථිකයේ ආධිපත්‍ය උසුලන ඒකාධිකාරයන්, බැංකු හා මහා ව්‍යාපාරවලින් සාපේක්ෂව යම් ප‍්‍රමානයකින් ස්වාධීන වේ. එහෙත්, ඕනෑම තන්ත‍්‍රයක ස්වභාවය තීරනය වනුයේ එය ඉටු කරන පන්ති අවශ්‍යතාවන් මගිනි. නාසි රාජ්‍යය පිලිබඳව සලකන කල, කරුනු කාරනා හා සංඛ්‍යා දත්ත තුලින් ප‍්‍රශ්නය මොනවට පැහැදිලි කෙරේ. නිදසුනක් වශයෙන් 1933 හා 1939 අතර කාලයේ ජාතික ආදායමෙහි ලාභයේ කොටස සියයට 36 කින් වැඩි වුනු බවට ගනන් බලා ඇති අතර, වැටුප් සියයට 5 කින් පහත වැටුනි. සාමුහික කතිකාව හා වැඩ වර්ජනය කිරීමේ අයිතිය ද සමඟ, ස්වාධීන වෘත්තීය සමිති විසුරුවා හැරීමෙන් පසුව, මූර්ත වැටුප් සියයට 25 කින් පමන පහත වැටුනි. පුහුනු කම්කරුවෙකුට 1929 වසරේ ගෙවන ලද වැටුප වන පැයකට පැන්ස 95.5 ට සාපේක්ෂව 1942 වසරේ ගෙවන ලද වැටුප පැයකට පැන්ස 81 ක් විය. කලින් පැවති ආන්ඩු විසින් සිදුකර තිබුනු ඇතැම් ජනසතු පියවර ආපසු හැරවීමෙන් පවා නාසි ආන්ඩුව, ධනවාදී දේපල ක‍්‍රමය උපරිමයට ආරක්ෂා කලේ ය.

නාසි පාලනය යටතේ ධනේශ්වර ආර්ථිකයේ නියාමයන් තව දුරටත් අදාල වූයේ නැතැයි යන ස්ථාවරය, නාසි තන්ත‍්‍රය ඒකාධිකාරී ප‍්‍රාග්ධනයේ මෙවලමක් නොවුනේය යන ප‍්‍රකාශය සමඟ බොහෝ විට සම්බන්ධ කෙරේ. "State Capitalism: Its Possibilities and Limitations " රාජ්‍ය ධනවාදය: එහි සම්භාව්‍යතාවන් හා සීමාවන්” යන මාතෘකාව යටතේ ෆ‍්‍රැන්ක්ෆැර්ට් ගුරුකුලයේ ප‍්‍රමුක සාමාජිකයෙකු වු ෆ්‍රෙඞ්රික් පොලොක් විසින් 1941 වසරේ ලියන ලද ඉමහත් බලපෑමක් ඇති කල රචනාවක් තුලින් මේ අදහස ඉදිරිපත් කෙරුනි.

නාසි ආර්ථිකය තුල සම්පත් වෙන් කිරීම වැඩි වැඩියෙන් තීරනය වූයේ වෙලඳ පොල මගින් නොව, රාජ්‍යයේ හා එහි සැලසුම් භාරව කටයුතු කරන බලධාරීන් මගින් ය යන කාරනය මත පොලොක්, සිය විශ්ලේෂනය පදනම් කලේ ය. වෙලඳ පොලේ අවසානයත් සමග ”ඊනියා ආර්ථික නියාමයන් අහෝසි වී යන්නේ යයි” ඔහු කියා සිටියේ ය. එහි අරුත වූයේ ලෝක ධනවාදී ක‍්‍රමය තුල මතු වූ ප‍්‍රතිවිරෝධයන්, නාසි තන්ත‍්‍රය තුල ඇති නොවු බවයි. ”වෙලඳ පොලේ ස්වභාවික නියාමයන් මගින් වෙනුවට, සවිඥානක සැලසුමක් මගින් සියලූ ආර්ථික ක‍්‍රියාවලීන් සම්බන්ධීකරනය කෙරෙන විට, පැරනි අර්ථයෙන් හැඳින්වුනු ආර්ථික ගැටලු තව දුරටත් නො පවතී” යයි පොලොක් ලිවී ය. (19) නව ආර්ථික පර්යාය යටතේ ලාභ ලැබීමේ අභිපේ‍්‍රරනය, බලය පිලිබඳ චේතනාව මගින් විස්ථාපනය කෙරිනි.

සම්පත් වෙන් කිරීමේ කේන්ද්‍රීය යාන්ත‍්‍රනය වශයෙන් ධනේශ්වර වෙලඳපල අහෝසි වී යාම පිලිබඳ කාරනය මත, පොලොක් සිය තර්කය පදනම් කලේ ය. එහෙත්, ප‍්‍රධාන කොටම එය නාසීන්ගේ කටයුතුවල ප‍්‍රතිඵලයක් නො වීය. නාසීන් බලයට පත් වීමට මත්තෙන්, ලෝක ධනවාදී වෙලඳපල ක‍්‍රියාත්මක වීම මුලූමනින්ම පාහේ අවසන් වී තිබුනි. ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය ගලා ඒම අවසන් වන්නට ආසන්නව තිබුනි. තීරු බදු, විශේෂ ගිවිසුම් හා ව්‍යවහාර මුදල් කලාප මගින් වෙල\ාම සීමා වී තිබු අතර, නාසීන්ගේ පියවරයන්හි පදනම වූයේ, මේ තත්වයට හා විශේෂයෙන් ජර්මානු ගෙවුම් ශේෂයෙහි ඉන් ඇති කල අර්බූදවලට දැක්වූ ප‍්‍රතිචාරයකි.

දේශපාලන විද්‍යාව මගින් අර්ථශාස්ත‍්‍රය විස්ථාපනය කරනු වෙනුවට ජර්මානු ධනවාදයේ ආර්ථික ප‍්‍රතිඝතිතා, නාසි තන්ත‍්‍රයේ දේශපාලන න්‍යාය පත‍්‍රය මෙහෙය විය. ට්‍රොට්ස්කිගේ වචනවලින් එහි හරය වූයේ, අධිරාජ්‍යවාදය වෙනුවෙන් සේවයේ යෙදවීම සඳහා ජනතාවගේ සියලූ සම්පත් එක්තැන් කිරීම හා යුද්ධයට සූදානම් වීමයි.

ලෝක වෙලඳපලේ බිඳවැටීමෙන් අදහස් වූයේ ජර්මානු ධනවාදයේ ගතිකත්වය ජාත්‍යන්තර වශයෙන් පිටකිරීමට මගක් නො තිබුන බවයි. අනෙක් අතට එයට ජර්මනියේම සීමිත ජාතික ආර්ථිකය තුල කොටුවී සිටිය නො හැකි විය. යුරෝපීය ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා එය පිටතට තල්ලුවීම අවශ්‍ය කෙරුනි. එහෙත් එය කරන්නේ කෙසේ ද? මිලිටරි ක‍්‍රමෝපායන් තුලිනි. හිට්ලර්ගේ ආන්ඩුවේ දෙවැනි වසර වන විට, මිලිටරි වැය, භාන්ඩ හා සේවා වෙනුවෙන් ආන්ඩුව වැයකල සමස්තයෙන් සියයට 50 කට අධික ප‍්‍රතිශතයකට වගකීවේ ය. 1935 වසර වන විට මේ සමානුපාතය සියයට 73 ක් දක්වා ඉහලට නැගුනි. 1933 හා 1935 අතර කාලයේ ජර්මානු ජාතික ආදායමෙන් මිලිටරි වැය සඳහා පංගුව සියයට 1 සිට සියයට 10කට ආසන්නව වර්ධනය විය. මෙය සාමය පැවති කාලයක කිසිදු ධනේවර රාජ්‍යයක් තුල මීට පෙර කිසි දිනක නුදුටු වර්ධනයකි.

පොලොක්ගේ ප‍්‍රවාදය, මිලිටරීකරනය මගින් ජර්මානු ආර්ථිකයට සපයන ලද තල්ලූවේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඇති වූ විද්‍යමාන ආර්ථික ස්ථායිතාව කෙරෙහි පලවූ ආවේගාත්මක ප‍්‍රතිචාරයක් විය. එසේ වූවද මේ ස්ථායිතාව, මහා අවපාතයට මං පෑදු ප‍්‍රතිවිරෝධයන් ජයගත් බවක් ඇඟවුම් නොකරයි. ඊට ප‍්‍රතිවිරුද්ධව එම ප‍්‍රතිඝතිතා නව රූපාකාරයන් තුලින් ඉස්මතු විය යුතුව තිබුනි. - මෙවර එවර එය ඉස්මතු වූයේ අධිරාජ්‍යවාදී යුද්ධය තුලිනි.

මෙතැනදී කෙටියෙන් වුව ද දේශපාලන ආර්ථිකයේ ඇතැම් න්‍යායික ප‍්‍රශ්න හාරා බැලීමට අවශ්‍ය වේ. සඵල ඉල්ලුම හා සේවා නියුක්තිය නංවාලීම මගින් එකතැන පල්වන ආර්ථිකයකට තල්ලුවක් දීමේ හැකියාව මිලිටරි පිරිවැයට තිබිය හැකිය. එහෙත් පාරිභෝගික භාන්ඩ නිෂ්පාදනය හෝ රැකියා සම්පාදනය, ධනේශ්වර ආර්ථිකයේ ගාමක බලවේගයන් නො වන්නේ ය. මේ ගාමක බලවේගය වන්නේ, ප‍්‍රාග්ධනය ප‍්‍රසාරනය කිරීමේ මූලය වන අතිරික්ත වටිනාකම් සමුච්ඡුය කරනයයි. මේ පදනම මත මිලිටරි වියදම්, තනි තනි ධනපතින්ට විශාල ලාභ උපයා දෙන අතරම, අතිරික්ත වටිනාකම පරිභෝජනය ද හසුකර ගනියි. ප‍්‍රාග්ධන භාන්ඩ සඳහා කෙරෙන ආයෝජන, එනම් අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරන හා නව තාක්ෂනය යනාදිය, ඵලදායි වන්නේ නිශ්චිතවම නිෂ්පාදන ක‍්‍රියාවලිය තුල කම්කරු පන්තියෙන් අතිරික්ත වටිනාකම උකහා ගැනීම සඳහා මේ ප‍්‍රාග්ධනය යොදා ගන්නා නිසාය. මිලටරි වැය, ප‍්‍රාග්ධන භාන්ඩ නිපදවන්නේ නැත. එය, සුඛෝපභෝගී භාන්ඩ සඳහා ධනේශ්වරය කරන වියදම් වලට ආර්ථිකව සමාන වේ.

නිර්බාධිත තරඟය, ඒකාධිකාරී මිල නියම කිරීම් හෝ රාජ්‍ය නියාමනය යන තත්වයන් අතරින් කිනම් තත්වය යටතේ ක‍්‍රියාත්මක වූව ද, සෑම ධනේශ්වර ආර්ථිකයක්ම, අතිරික්ත වටිනාම් ඒකරාශී කිරීමෙහි නිරත වෙයි. 1871 වසරේ එක්සත් ජර්මානු රාජ්‍යය ගොඩනැගූ අවධියේ සිටම ජර්මානු ප‍්‍රාග්ධනයට, අතිරික්ත වටිනාකමේ මූලය වූයේ, ලෝක වෙලඳ පොලේ අලෙවිය සඳහා භාන්ඩ නිපදවීමයි.

එහෙත් 1930 ගනන් වලදී ලෝක වෙලඳපල බිඳවැටී තිබුනි. අවපාතයේ අගාධයෙන් ජාතික ආර්ථිකය ගොඩගන්නා ලද්දේ මිලිටරි වැය තුලිනි. එසේ වූවද, එය ධනේශ්වර සමුච්චකරනය පිලිබඳ ගැටලුවට විසඳුමක් සැපයුවේ නැත- ඒ වෙනුවට, එම ගැටලුව තීව‍්‍ර කලේ ය. ජර්මනිය තුල අඛන්ඩව ප‍්‍රාග්ධනය ඒකරාශී කිරීම සහතික කිරීම සඳහා සම්පත් ලබා ගන්නේ කෙසේ ද, කොහින් ද? මිල්ටරි ජයග‍්‍රහන තුලිනි. මෙය යුද්ධයට මඟ පෑදු ගතිකයයි. යුද්ධය, අන් සියල්ලටම වඩා සෝවියට් සංගමයට එරෙහි නැගෙනහිරෙහි යුද්ධය, යුදෙව් ජන සංහාරය සඳහා වාතාවරනය නිර්මානය කලේ ය.

යුද්ධය සඳහා ආර්ථිකයේ අත්‍යවශ්‍යතාව පිලිබඳව හිට්ලර්. තම දේශනා ගනනාවකදී ඍජුවම කථා කලේ ය. හොස්බැක් මතක සටහන් තුල වාර්තා ගත වූ පරිදි, ඔහු හමුදා නිලධාරින් ඉදිරියේ 1937 නොවැම්බර් 5 වැනි දින කරන ලද ආත්ම භාෂනයේ කේන්ද්‍රීය තේමාව එය විය. 1939 සැප්තැම්බරයේ දී පෝලන්තයට එල්ල කරන ලද ප‍්‍රහාරයට දින කිහිපයකට පෙරාතුව, සන්නද්ධ බලකායන්වල අනදෙන නිලධාරින් ඉදිරියේ කරන ලද දේශනයක දී ආර්ථික පීඩනයන් පිලිබඳව ඔහු නැවත වරක් සඳහන් කලේ ය. තීරන ගැනීමට ජර්මනියට පහසු වන්නේ යයි ඔහු කියා සිටියේ ය: ”අපට අහිමිවීමට කිසිවක් නැත. අපට සියල්ල ජයගැනීමට ඇත. අපගේ සීමාවන් හේතු කොටගෙන, අපගේ ආර්ථික තත්වය පවත්වාගෙන යා හැක්කේ තව වසර කිහිපයකට පමනි. ගෝරිංට මෙය ඔප්පු කල හැකිය. ක‍්‍රියාත්මක වීම හැර අපට තෝරා ගැනීමට වෙන යමක් නැත.” (21)

නාසීන් පෝලන්තය ආක‍්‍රමනය කිරීමට පසුව ඇති වුයේ මාස ගනනාවක ‘‘ව්‍යාජ යුද්ධයකි.” ඉන් පසුව සිදු වූයේ ප‍්‍රංශ ආක‍්‍රමනය, ඩන්කර්න්හි දී බි‍්‍රතාන්‍ය සේනාංක පලවා හැරීම හා 1940 ජුනි මාසයේ ප‍්‍රංශය යටත් වීමයි. ඉන් වසරකට පසුව, 1941 ජුනි 22 වැනි දා සිය තන්ත‍්‍රය සූදානම් කරමින් සිටි න්‍යායපත‍්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා හිට්ලර් නැගෙනහිර වෙත හැරුනි, එනම් සෝවියට් සංගමය ජය ගෙන එය යටත් විජිතයක් බවට පත් කිරීමටයි.

සෝවියට් සංගමයට එරෙහි යුද්ධය, බි‍්‍රතාන්‍යයට හා ප‍්‍රංශයට එරෙහිව කරගෙන යන යුද්ධයට වෙනස් වු බව හිට්ලර් පැහැදිලි කලේ ය. එහි ඉලක්කය වුයේ හුදෙක් සෝවියට් හමුදාවල පරාජය පමනක් නොව, සෝවියට් දේශය යටත් විජිතයක් බවට පත් කිරීම හා ජර්මානු රාජ්‍යයේ අවශ්‍යතාවන්ට අනුකූලව එහි පූර්න ආර්ථික හා සමාජ ප‍්‍රතිසංවිධානයක් ඇති කිරීමයි.

1941 සැප්තැම්බර් 17 වැනි දා, සෝවියට් සංගමය ඉක්මනින් පරාජය වනු ඇතැයි පෙනීගිය විට හිට්ලර්, ආක‍්‍රමනයේ ඉලක්කයන් සම්බන්ධයෙන් කරුනු පැහැදිලි කලේ ය: ”ලෝක ආධිපත්‍ය පිලිබඳ අරගලය යුරෝපය වෙනුවෙන් තීරනාත්මක වනුයේ රුසියානු දේශයේ අයිතිය මගිනි; එය, වැටලීමකට එරෙහිව යුරෝපය වඩාත්ම සුරක්ෂිත ස්ථානය බවට පත් කෙරෙයි. ... සිය ජීවිතය තමන් විසින්ම හැඩගස්වා ගැනීම සලාව් ජාතිකයන්ගේ ඉරනම නොවේ. ... රුසියානු දේශය අපගේ ඉන්දියාවයි. අතලොස්සකගේ සහාය ඇතිව ඉංග‍්‍රීසීන් ඉන්දියාව පාලනය කරන්නාක් මෙන් අපි ද අපගේ යටත් විජිත දේශය පාලනය කරන්නෙමු. අපි, හිස් වසන සලු පිලි, මැනික් ආභරන ලෙස වීදුරු මාල හා යටත් විජිත ජනයා රුචියක් දක්වන වෙනත් ඕනෑම දෙයක් යුකේ‍්‍රනියානු ජාතිකයන්ට සපයන්නෙමු.” (22)

වෙනත් අවස්ථාවලදී හිට්ලර්, සෝවියට් සංගමය අත්පත් කර ගැනීම ඇමරිකාවේ බටහිර පෙදෙස යටත් කර ගැනීමකට සමාන කලේ ය. වොල්ගා ගංගාව මිසිසිපි ගංගාවට සමාන වන්නේය. ජන්මයෙන් ම ඇමරිකානුවන් වූවත් ඔවුන් නෙරපාහල ආකාරයටම ස්ලාව් ජනයා ද ඉවත් කර ඔවුන් වෙනුවට ”උත්කෘෂ්ට” ජනතාවක් ආදේශ කරනු ඇත. ඇමරිකාව නොව යුරෝපය අසීමිත අවස්ථාවන් සලසන භූමිභාගය වනු ඇත.

1941 දෙසැම්බරයේ ප‍්‍රාග් නුවර පවත්වන ලද සම්මේලනයක දී මේ යටත් විජිත තේමාව ආර්ථික පිලිබඳ නාසි ඇමති වොල්දර් ෆන්ක් විසින් යලි ඉදිරිපත් කරන ලදී. එහිදි මූඛ්‍ය තේමා දේශනය කරමින් ඔහු මෙසේ කරුනු පැහැදිලි කලේ ය. ”පැරනි මහද්වීපය අලුත් මුහුනුවරක් ගනියි. එය සිය මුහුන නැගෙනහිර දෙසට හරවයි.” ආර්ථික වශයෙන් එහි අරුත වන්නේ ඇන්ග්ලෝ - සැක්සන් නාවික බලවතාගේ එතෙර හා යටත් විජිත දිශානතියක් ගත් ප‍්‍රතිපත්තිය වෙතින් ඉවතට හැරීමකි. යුරෝපය වෙනුවෙන් මෙතෙක් විවෘත නොවු අමුද්‍රව්‍යවලින් පොහොසත් නැගෙනහිර යුරෝපයේ අති විශාල පෙදෙස් අපේක්ෂා තැබිය හැකි අනාගත යුරෝපයේ යටත් විජිත භූමිභාගය වනු ඇත. (23)

සියලු අධිරාජ්‍යවාදී බලවතුන්ගේ යටත් විජිත ප‍්‍රචන්ඩත්වය හා පලමුවෙනි ලෝක සංග‍්‍රාම සමයේ යුරෝපය තුල මුදා හරින ලද භීතිය අතර සම්බන්ධය කෙරෙහි 1915 වසරේ පල කරන ලද සිය ජූනියස් පත‍්‍රිකාවෙන් රෝසා ලක්සම්බර්ග් අවධානය යොමු කර තිබුනි.

”ලෝක යුද්ධය සන්ධිස්ථානයකි. ධනේශ්වර යුරෝපය විසින් ප‍්‍රථම වතාවට පෘතුවි ගෝලයේ සියලූ දිශාවන් වෙත මුදා හරින ලද ගොදුරු සොයා යන මුර්ගයින් යුරෝපය තුලට කඩා වැදී ඇත. විනාශයේ අන්ධ බලවේගයන්ගේ පීඩනය යටතේ යුරෝපීය ශිෂ්ඨාචාරයේ අනගි මැනික් කැටය වන් බෙල්ජියම හා උතුරු ප‍්‍රන්සයේ අතිශයින් ප‍්‍රතාපවත් සංස්කෘතික ස්මාරක කැබිලි වලට කැඞී ගිය විට, ලොව හරහා භීතියේ හඬක් පැතිර ගියේ ය. මෙම අධිරාජ්‍යවාදීන් විසින් හෙරෙරෝ ගෝත‍්‍රිකයන් දස දහසකගේ කෲර විනාශය නියෝග කොට, පිපාසය හේතු කොට ගෙන මරනයට පත් වන මිනිසුන්ගේ උමතු කෑගැසීම් හා මර ලතෝනි වලින් කලහාරී කාන්තාරයේ වැල්ල පිරී යද්දී, ‘ශිෂ්ට ලෝකයම’ නිෂ්ක‍්‍රීයව බලා සිටියේ ය; යුරෝපීය කර්මාන්තවල නියමුවන් කල්ලියක් විසින් දසවසරක් ඇතුලත කොලොම්බියාවේ පුටුමායෝ ගංඟාව ආශිතව මිනිසුන් 40,000 වද හිංසාවලට ලක් කොට මරුමුවට පත් කරමින් ඉතිරි හරිය අංගවිකලත්වයට පත් කරන තෙක් මේ ශිෂ්ට ලෝකය පසෙකට වී බලා සිටියේ ය. සියලුම ආකාරයේ කෲරකම්, සමූල ඝාතන හා අරාජිකත්වය සම්බන්ධයෙන් හොඳින් පුහුනුව ලත් කුලී හේවායන් විසින් චීනයේ ඉපැරනි සංස්කෘතියක් පුලුස්සා විනාශ කරන තෙක් මේ ශිෂ්ට ලෝකය පසෙකට වී බලා සිටියේ ය. විදේශ ආධිපත්‍යයෙන් තද වී තොන්ඩුවෙන් ගැලවීමට නොහැකිව අබල දුබල වු පර්සියාවේ ගෙල මිරිකා ලන තෙක් මේ ශිෂ්ට ලෝකය පසෙකට වී බලා සිටියේ ය. ධනවාදයේ ආධිපත්‍ය යටතේ ගින්න සහ කඩුව මතින් ටි‍්‍රපෝලියේ අරාබිවරුන් යටත් කොට ඔවුන්ගේ සංස්කෘතිය හා නිවහන් විනාශ කරන තෙක් මේ ශිෂ්ට ලෝකය බලා සිටියේ ය. අධිරාජ්‍යවාදී මුර්ගයාගේ හැපීම මරනය අත් කර දෙන්නක් බවත් එහි හුස්ම පවා අපකීර්තිය අත්කර දෙන්නක් බවත් මේ ශිෂ්ට ලෝකය අවබෝධ කරගෙන ඇත්තේ අද දින පමනි. සිය මවගේ උකුල වන් යුරෝපයේ ධනේශ්වර ශිෂ්ටාචාරය මෙම මුර්ගයාගේ හිල් වී යන නිය වලින් පහුරු ගෑමෙන් අනතුරුව පමනි දැන් මේ ශිෂ්ට ලෝකය මෙය අවබෝධ කරගෙන ඇත්තේ.” (24)

සෝවියට් සංගමය අත්පත් කර ගැනීමේ තැත යටත් විජිත යුද්ධයකට වඩා වැඩි දෙයක් විය. එය සමාජ ප‍්‍රතිවිප්ලවයක් ද විය. අත්පත් කර ගැනීම හා යටත් විජිතකරනය තුලින් හිට්ලර්ට අවශ්‍ය වූයේ, 1917 වසරේ ඔක්තෝබරයෙන් ස්ථාපිත කරන ලද රජය පෙරලා දැමීම පමනක් නොවේ. එම විප්ලවයට නායකත්වය දී සෝවියට් රජය පෝෂනය කල සමාජීය හා බුද්ධිමය බලවේගයන්, සියල්ලටමත් වඩා, ”යුදෙව්-බොල්ශේවිකයන්ගේ” සමූලෝත්පාටනය ද ඔහුට අවශ්‍ය විය. එම නිසා නැගෙනහිර යුද්ධය සෑම අරුතකින් ම ෆර්නිච්ට්තුංක‍්‍රීගයක් එනම් විනාශය හා සමුලෝත්පාටනය අත්කර දෙන යුද්ධයක් විය. යුදෙව් ජන සංහාරයේ මූලය මෙයයි.

හමුදාවට හා ඒ කැටුව යන විශේෂ බලකායන්ට (ඉන්සැට්ස්ගෘප්යෙන්) හිට්ලර් හා අනෙකුත් නාසි නායකයින් විසින් දෙන ලද නියෝග මගින් පැහැදිලි වුනේ, යුද්ධයට සමගාමීව යුදෙව් ජාතිකයින්ට එරෙහි මිනීමරු ව්‍යාපාරයක් ද ගෙන යා යුතු බවයි.

ආසන්නව දියත් කිරීමට යන මිලිටරි ව්‍යාපාරය හුදෙක් ආයුධ පිලිබඳ ප‍්‍රශ්නයක් නොවන බවත් ලෝකය පිලිබඳ සංකල්පයන් දෙකක් අතර ගැටුමක් බවත් සන්නද්ධ බලකා අනදෙන අංශයේ මෙහෙයුම් කාර්ය මන්ඩල ප‍්‍රධානී ඇල්ෆ‍්‍රඞ් ජොඞ්ල්ට හිට්ලර් 1941 මාර්තු මස 3 වැනි දා කියා සිටියේ ය: ”මේ දක්වා මෙම ජනතාවන් යට පත් කරන්නා වූ යුදෙව්-බොල්ශෙවික් බුද්ධිමත් ගනය ඉවත් කල යුතු ය.”

එස්එස් ඒකක වල කර්තව්‍ය හිට්ලර් මෙසේ දැක්වීය: ”ස්ටැලින් විසින් ස්ථානගත කරන ලද බුද්ධිමත් ගනය සම්පූර්නයෙන්ම ඉවත් කර දැමිය යුතුය. රුසියානු අධිරාජ්‍යයේ පාලන යාන්ත‍්‍රනය පොඩි පට්ටම් කර දැමිය යුතුය. මහා රුසියාව තුල ඉතාමත් කුරිරු අන්දමට බලය පාවිච්චි කල යුතුය.”

1941 මාර්තු 30 වැනි දින හමුදා නිලධාරීන් 200කගේ රැස්වීමක් අමතා ලඟ එන යුද්ධය පිලිබඳව හිට්ලර් කථා කලේය. රැස්වීමේ සටහන් මෙසේය. ”මතවාදයන් දෙකක් අතර ගැටුම, සමාජ විරෝධී අපරාධයක් ලෙස හඳුන්වා බෝල්ශෙවික්වාදය තදබල ලෙස හෙලා දැකිය යුතුය. කොමියුනිස්වාදය අපගේ අනාගතයට ඉමහත් අනතුරකි. සටනින් පෙරාතුව හෝ ඉන් අනතුරුව හෝ කොමියුනිස්ට්වාදියා සහෘදයෙක් නොවෙයි. මෙය විනාශය අත් කර දෙන යුද්ධයකි. අප මේ කරුනු ග‍්‍රහනය කර නොගත හොත් අප සතුරා පරාජය කරන නමුදු 30 වසරකට පසුව කොමියුනිස්ට් සතුරා සමඟ යලි සටන් වැදීමට අපට සිදුවෙයි. අප යුද්ධ කරන්නේ සතුරා සුරක්ෂිත කිරීමට නොවේ. ...... මෙය රුසියාවට එරෙහි යුද්ධයකි. බොල්ශෙවික්වාදී කොමිසාර්වරු හා කොමියුනිස්ට් බුද්ධිමත් ගනය සම්පූර්නයෙන්ම විනාශ කිරීමකි. මෙය බටහිරෙහි යුද්ධයට වඩා හාත්පසින්ම වෙනස් වූ යුද්ධයකි. නැගෙනහිරෙහි අද දින කුරිරුකමේ අරුත වනුයේ අනාගතයේ දී ලිහිල් බවයි. සදාචාරාත්මක බව ගැන දක්වන සිය පුද්ගලික සැලකිල්ල යටපත් කිරීමේ පරිත්‍යාගය අන දෙන නිලධාරීන් විසින් කල යුතුය. මෙම වාර්තාව අවසානයේ ඇති සටහනකින් මෙසේ කියැවේ: ‘මධ්‍යාහ්නය: දිවා භෝජනය සඳහා සියලූ දෙනාටම ආරාධනා කෙරේ’.”

අත්පත් කර ගත් දේශය යථාවත් කිරීම සඳහා අවශ්‍ය කුමන අන්දමේ පියවර දැයි හමුදාවේ ඉහල ස්ථරයන් විසින් කෙටුම්පත් කරන ලද ලියවිල්ලක් තුලින් මෙසේ ප‍්‍රකාශ කෙරින: ”මේ සම්බන්ධයෙන් සලකන කල, සුපුරුදු හමුදාමය ප‍්‍රතිරෝධයෙන් ඔබ්බෙහි හමුදාවන්ට මේ අවස්ථාවේදී මුහුන දීමට සිදු වන්නේ යුදෙව් බොල්ශෙවික් ලෝක සංකල්පය ඉදිරියට ගෙන යන්නන් බව තහවුරු කල යුතුය. මෙය සියලු පිලිවෙත් කඩා කප්පල් කරන සිවිල් ජනගහනය තුලින් එන විශේෂයෙන් අනතුරුදායක වූ අංගයකි. ඔහු, සටනේ යෙදී සිටින හෝ භූමිය එකලස් කිරීමේ යෙදී සිටින ජර්මානු හමුදාවට එරෙහිව වක‍්‍රව හා පිටුපස සිට කඩාකප්පල් කිරීමේ සිය ආයුධය හැකි සෑම තැනකදී පාවිච්චි කරනු ඇති බවට සැකයක් තිබිය නොහැක. එමනිසා, මේ කඩාකප්පල්කාරී බලවේග වලට එරෙහිව පූර්න වශයෙන් හා ඵලදායි ලෙස තමන් සුරක්ෂිතවීමේ අයිතිය හා යුතුකම භටකායන් සතුව ඇත.”

ජර්මානු භටකායන්ගේ හැසිරීම සම්බන්ධයෙන් මෙහෙයුම් නිර්නායක උපදෙස් වල ආරම්භක කොටසේ මෙසේ සඳහන් විනි: ”බොල්ශෙවික් වාදය, ජාතික සමාජවාදී ජර්මානු ජනතාවගේ මාරක සතුරා වෙයි. මේ කඩාකප්පල්කාරී ලෝක සංකල්පයට හා එය ඉදිරියට ගෙන යන්නන්ට එරෙහිව ජර්මනිය සටන් කල යුතුය. බොල්ශෙවික්වාදී උද්ඝෝෂකයින්ට, ගරිල්ලා භටයින්ට, කඩා කප්පල්කාරීන්ට, යුදෙව්වන්ට එරෙහිව අනුකම්පා විරහිත හා ධෛර්යය සම්පන්න පියවර ගැනීම හා ඕනෑම සකී‍්‍රය හෝ නිශ්කී‍්‍රය ප‍්‍රතිරෝධයක් පූර්න වශයෙන් ඉවත් කර දැමීමට, මේ අරගලය බලකර සිටී.”(25)

මෙහි අර්ථය භාවිතයේදී පැහැදිලි වූයේ, යුකේ‍්‍රනියානු අගනුවර වන කීව් නගරයට ආසන්නයේම පිහිටි ගිරි කඳුරක් වන බාබි යාර් හිදී ජර්මානු භටකායන් වෙත එල්ල කරන ලද ගරිල්ලා ප‍්‍රහාරයකින් අනතුරුව, 1941 සැප්තැම්බර් 29-30 දිනයන් හිදී යුදෙව්වන් 33,771 දෙනෙක් වෙඩි තබා මරා දමන ලද අවස්ථාවේදීය. 1941 වසර අවසානය වන විට, නැගෙනහිර වෙත දියත් කරන ලද මෙහෙයුමේ දී යුදෙව්වන් 800,000ක් - පිරිමි,ගැහැනු හා ලමුන් - මරා දමන ලදී. එනම් දිනකට සාමාන්‍යයෙන් 4,200 දෙනෙක් පමන ඝාතනය කරන ලද බවයි. ”මුලු මහත් ප‍්‍රදේශ යුදෙව්වන්ගෙන් විමුක්ත බව” වාර්තා විය. මේ අතරවාරයේ දිනකට 6,000ක් බැගින් සෝවියට් යුද සිරකරුවන් මරුමුවට පත් විය. 1942 වසරේ වසන්ත සමය වන විට, වේර්මාක්ට් හෙවත් ජර්මන් යුද හමුදාවේ සිරකරුවන් බවට පත්වූ භටයින් දස ලක්ෂ 3.5කින් දස ලක්ෂ 2කට අධික පිරිසක් මරනයට පත් විය.

1941 වසර අවසාන වත්ම, මේ මිනීමරු මෙහෙයුම් නව අදියරකට පිවිසුනි. රැඳවුම් කඳවුරු තුලදී ගෑස් යෙදීමෙන් යුදෙව්වන් සමූල ඝාතනය කිරීමේ සූදානම ඇරඹුනා පමනි. සෝවියට් සංගමය ආක‍්‍රමනය කිරීම හා වසර අවසානය අතරතුර යම් කිසි අවස්ථාවක - නිශ්චිත කාල සීමාව තවමත් සැලකිය යුතු විවාදයට භාජනය වන විෂයකි - යුදෙව් ප‍්‍රශ්නයට ”අවසන් විසඳුම” මුදුන් පමුනුවා ගත හැකි වන්නේ සමූලඝාතනය කිරීම තුලින් බවට තීරනය කරන ලදී. මීට කලින්, යුදෙව්වන් මැඩගස්කාර් දිවයිනට යැවීමේ සැලසුමක් සලකා බලන ලදී. බි‍්‍රතාන්‍ය හමුදා පරාජය කොට එමඟින් නාවික ආධිපත්‍ය සුරක්ෂිත කර ගැනීමට නාසීන් අසමත් වීමත් සමඟ ඒ වන විට එය බැහැර කිරීමට සිදුවුනි. තවත් සැලසුමක් වූයේ යුරල් කඳුවැටියෙන් නැගෙනහිර සයිබීරියාව තුලට යුදෙව්වන් පිටුවහල් කිරීමයි. එනමුදු සෝවියට් සංගමය තවමත් යටත්කරගෙන නොතිබුනි. මේ සැලසුම් තුලින් සැලකිය යුතු ජීවිත හානි අපේක්ෂා කෙරිනි. එහෙත්, නාසි පාලනය යටතේ ජීවත්ව සිටි සියලු යුදෙව්වන් සංවිධානාත්මකව සමූල ඝාතනය කිරීම සඳහා සැලසුමක් මෙතෙක් යොදා ගෙන නොතිබුනි.

එසේ වුවද 1942 ජනවාරි 20 වැනි දින අපකීර්තිමත් වන්සී සම්මේලනය පවත්වන ලද කාලය වන විට තීරනය ගෙන තිබිනි. තීරනය ගන්නා ලද්දේ වන්සී සම්මේලනයේදී නොවේ. සම්මේලනය කැඳවන ලද්දේ ද එහි මුලසුන හොබවන ලද්දේද ජර්මානු රීකයේ ආරක්ෂක කාර්යාල ප‍්‍රධානී රේන්හාඞ් හෙයිඩි‍්‍රව් විසිනි. මෙම කාර්යාලයට ගෙස්ටාපෝ හෙවත් නාසි යුගයේ ජර්මන් රහස් පොලිසිය හා අනෙකුත් ආරක්ෂක හා පොලිස් ආයතන සම්බන්ධයෙන් අධීක්ෂන බලතල පැවරී තිබුනි. සම්මේලනයේ අරමුන වුයේ ඒ වන විටත් ගන්නා ලද තීරනයක් සම්බන්ධයෙන් ජර්මානු රාජ්‍ය නිලධාරී තන්ත‍්‍රයට දැනුම් දීම හා කෙනෙකු යුදෙව්වෙකු ලෙස වර්ගීකරනය කිරීමේදී යොදා ගන්නා නිර්වචනය පිලිබඳව එකඟත්වයකට ඒමයි. සමූලඝාතන සැලසුම කි‍්‍රයාත්මක කෙරුනු අතර එය යුද්ධයේ අවසන් දින ගනන දක්වා අඛන්ඩව පවත්වාගෙන යන ලදී.

මරන සංඛ්‍යාව පිලිබඳ සමවබෝධයක් ඇති කර ගැනීමට තවමත් අපහසුය: අවුෂ්විට්ස්හි, දස ලක්ෂ 1.4කි, බෙල්සෙක්හි හය ලක්ෂයකි, ඩෙල්ම්නෝහි තුන් ලක්ෂ විසි දාහකි, ජසෙනොවැක්හි හය ලක්ෂයකි, ඔජ්ඩනෙක්හි තුන් ලක්ෂ අසූ දාහකි, මාලි ට්‍රොට්නෙට්ස්හි 65,000කි, සොබිබෝර්හි දෙලක්ෂ පනස්දාහකි, ටෙ‍්‍රබ්ලින්කාහි අට ලක්ෂ හැත්තෑ දහසකි. මුලුමනින්ම යුදෙව්වන් දස ලක්ෂ 6ක් පමන මරා දමන ලදී. මෙය යුරෝපය තුල සිටි යුදෙව් ජනගහනයෙන් දල වශයෙන් තුනෙන් දෙපංගුවක් විය. (26)

මහා ජන සංහාරයේ මූලයන් පැවතියේ ජර්මන් අධිරාජ්‍යවාදයේ හා සමස්තයක් ලෙස ලෝක ධනවාදයේම ආර්ථික ප‍්‍රතිවිරෝධයන් තුල බව අපි අවධාරනය කර ඇත්තෙමු. එහෙත් වහාම යමෙකුට විරුද්ධත්වයන් මුන ගැසේ. ප‍්‍රමුඛ භූමිකාව ඉටුකලේ නිසැකවම නාසි දෘෂ්ටිවාදය මිස ආර්ථික බලවේගයන් නොවන්නේ නම් හොලොකෝස්ටය පිලිබඳ මාක්ස්වාදී අර්ථ කථනය කෙසේ අදාල වන්නේ ද? යුදෙව්වන් ඝාතනය කිරීම සඳහා කිලෝ මීටර් සිය ගනනක් ප‍්‍රවාහනය කිරීමට හා බෙහෙවින් අවශ්‍යවූ අනෙකුත් සම්පත් සපයා ගැනීමට කුමන ආර්ථික අභිපේ‍්‍රරනයකින් හැකියාව ලබා දුන්නේ ද? ආර්ථික මෙන්ම මිලිටරි දෘෂ්ටි ආස්ථානයකින් ගත් කල යුදෙව්වන්ගේ ශ‍්‍රමය සූරාකැම සත්තකින්ම වඩාත් වාසි සහගත විය හැකිව තිබුනි. මෙම විරුද්ධත්වයන්ට අනුව, නාසීන්ගේ වර්ගවාදී දෘෂ්ටිවාදය මහා ජන සංහාරක පද්ධතියේ ගාමක බලය විය. ආර්ථික විද්‍යාවද ඇතුලූ අන් සියල්ල, ඊට දෙවෙනි විය.

නාසීන්ගේ වර්ගවාදී දෘෂ්ටිවාදය ආවේනික හා දී ඇති දෙයක් ලෙස සරලවම අපට පිලිගත නොහැකි බව පෙන්වා දෙමින් අපි පටන් ගනිමු. ‘‘පවිත‍්‍රකරනය’’ හා ශිෂ්ඨාචාරයම ශක්තිමත් කිරීම ලෙස සලකන ලද යුදෙව් සංහාරය සඳහා දෘෂ්ටිමය ආකෘතිය සම්පාදනය කලේ නාසීන්ගේ ජීව විද්‍යාත්මක වර්ගවාදයයි. එහෙත් ප‍්‍රශ්නය මෙම දෘෂ්ටිවාදය ගලා ආවේ කොතැනක සිට ද යන්නයි. එය හුදෙක් හිට්ලර්ගේ උමතු සිතෙන් පහලවූවා විය නොහැකිය. යුරෝපයේ මෙන්ම එක්සත් ජනපදයේ ද පාලක ධනේශ්වර ප‍්‍රභූ පැලැන්ති විජිතකරනයට පැනගැනීමේදී ඔවුන් තුල බලපෑ දෘෂ්ටිවාදයේ මූලික උපාංඟයක් වූයේ ජීව විද්‍යාත්මක වර්ගවාදය යයි කියනු ලැබේ. 1919 වසරේදී සියලුම ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවතුන්ගේ නායකයන් වාර්ගික සමානාත්මතාවය පිලිගන්නා වගන්තියක් වර්සායි ගිවිසුමට ඇතුලත් කිරීමට එකගත්වය පල කලහ. හිට්ලර්ගේ හා ඔහුගේ වර්ගයාගේ ජීව විද්‍යාත්මක වර්ගවාදය වනාහි 19 සියවස තුල ප‍්‍රධාන ධනේශ්වර බලවතුන් ඔවුන්ගේ වටත් විජිත අධිරාජ්‍යයන් ගොඩනැඟීමේදී -ආර්ථික ආසක්තයන් අතිශය තීරනාත්මක භූමිකාවක් ඉටුකල ව්‍යාපෘතියකි- වර්ධනයවී ආ දෘෂ්ටිවාදයක වඩාත් ආන්තික සංස්කරනයයි.

මාක්ස්වාදය පිලිබඳව නිරන්තරයෙන් යොදාගත් විකෘති අර්ථ කථනයක් වන්නේ, දෘෂ්ටිවාදය වනාහි සමාජ නලුවන්ගේ ආර්ථික අභිපේ‍්‍රරනයන් වසං කිරීම සඳහා යොදාගත් වහන්තරාවක් යයි එය තර්ක කරන බව කියාපෑමය. ඒ අනුව, පුද්ගලයින් ආර්ථික අභිපේ‍්‍රරනයන්ට අනුව නොව බලගතු දෘෂ්ටිවාදයන්ගේ පදනමෙහි ක‍්‍රියාකරන බව සොයාගැනීමෙන්, මාක්ස්වාදය ”ප‍්‍රතික්ෂේප” වී ඇත. නිදසුනක් ලෙස, නියාල් ෆර්ගියුසන් නමැති බි‍්‍රතාන්‍ය ඉතිහාසඥයා කියා සිටින්නේ ප‍්‍රථම ලෝක සංග‍්‍රාමයට තුඩු දුන් ගැටුමේ කිසිදු පාර්ශවයකට ව්‍යාපාරික ආසක්තයන් නොතිබූ තත්වය හමුවේ -එය එකදු පාර්ශවයක හෝ ක්ෂනික ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් සේවය නොකලේය- එහි මූලයන් ධනේශ්වර ආර්ථික පද්ධතිය තුල රැඳී තිබුනු බවක් කිිව නොහැකිය. මේ අනුව, කුමන ව්‍යාපාරික හෝ මූල්‍ය අවශ්‍යතාවකට පසුබෑමක් ද අවශ්‍ය නොවන්නේ යයි සටහන් කරගත යුතුය. එහෙත් පසුබෑම් හටගනියි. ඒවා පැනනඟින්නේ ධනේශ්වර ආර්ථිකයේ පරස්පරවිරෝධයන්ගෙනි.

ඓතිහාසික නලුවන් අභිපේ‍්‍රරනයවී ක‍්‍රියාවට යොමු කරන්නේ ඔවුන්ගේ දෘෂ්ටිමය සංකල්පනාවන්ගෙන් නොවේ යයි මාක්ස්වාදය කියා නොසිටින අතරම මෙම දෘෂ්ටිවාදයන් සැබෑ ආර්ථික අභිපේ‍්‍රරනයන්ගේ හුදු සුජාතකරනයක් බව කියන්නේ ද නැත. කෙසේ වෙතත් එය, අභිපේ‍්‍රරනය පිටුපස ඇති අභිපේ‍්‍රරනය විභාග කල යුතු බව අවධාරනය කරයි. එනම් පතුලෙහි ඇති යථා ඓතිහාසික ක‍්‍රියාවලියේ ගාමක බලවේගයි. දී ඇති දෘෂ්ටිවාදයක් සේවය කරන්නාවූ සමාජ අවශ්‍යතා පැහැදිලි කිරීම පිනිස, එයට සම්බන්ධ පුද්ගලයා විසින් සවිඥානකව ග‍්‍රහනයකර ගත්තා හෝ නොගත්තාවූ සම්බන්ධතාවන්ය.

වොක්ස්ජෙමෙයින්ස්කාෆ්ට් යන නාසීන් විසින් ගොඩනැඟීමට උත්සාහ කල වාර්ගික ජන සමාජයේ ස්ථාවරත්වයට ප‍්‍රධාන තර්ජනය ලෙස ”යුදෙව්-බොල්ශෙවිකයා” දැකගත්තාවූ වර්ගවාදී දෘෂ්ටිවාදයේ පදනම මත නාසීන් විසින් යුදෙව් සංහාරය ගෙනයන ලදී. ඔවුන් අවධාරනය කලේ, ජර්මානු වර්ගයාගේ උන්නතිය හා සෞභාග්‍යය, සත්තකින්ම යුරෝපීය ශිෂ්ඨාචාරයම, රදා පැවතුනේ කාරනා දෙකක් මතය. යුදෙව් බොල්ශෙවික්වාදය අතුගා දැමීම හා ලෙබන්ස්රොම් අත්කරගැනීම ඒ දෙකයි. මෙම දෘෂ්ටිමය සංකල්ප දෙක නැගෙනහිර දිග්විජය කිරීමේ යුද්ධය තුල පුපුරන සුලූ බලයක් බවට පත්විය.

නාසි තන්ත‍්‍රයේ දැක්ම, 1943 වසරේදී ජර්මානු විදේශ කාර්යාලයේ මාධ්‍ය ප‍්‍රධානී පෝල් කාල් ස්කිමිඞ්ට් විසින් කල ප‍්‍රකාශයක් තුල සාරාංශගත විය. ”යුදෙව් ප‍්‍රශ්නය මානව වර්ගයා පිලිබඳ ප‍්‍රශ්නයක් නොවේ. ආගම පිලිබඳ ප‍්‍රශ්නයක් ද නොවේ. එය දේශපාලන ස්වස්ථතාව පිලිබඳ ප‍්‍රශ්නයකි. දක්නට ලැබෙන සෑම තැනකදීම යුදෙව්වාදයට විරුද්ධව සටන් වැදිය යුතුය. මක්නිසාද යත්, එය දේශපාලන වසංගතයක්, පැසවන කඩාකප්පල්කාරීත්වයක් හා සියලු ජාතික ජීවයකම මරනය නිසාය.” (27)

නාසි ජර්මනියේ යුද අරමුනු වූයේ, ආර්ය වර්ගයේ ආධිපත්‍යය මත පදනම්ව මධ්‍යම හා නැෙඟනහිර යුරෝපයේ ශ්‍රේෂ්ඨ යටත් විජිත අධිරාජ්‍යයක් නිර්මානය කිරීමය. මෙම තන්ත‍්‍රයේ ස්ථාවරත්වය සඳහා, යුදෙව්වන් ඉවත් කිරීම අවශ්‍ය විය. මක්නිසාද යත්, ඔවුන්ගේ ජාතිකත්වයට එරෙහි පැවැත්ම නිසාම හා බොල්ශෙවික්වාදය කෙරෙහි ඔවුන්ගේ නැමියාව හා ඔවුන් සිටීම ම ”පහත් වර්ගයාගේ” විරුද්ධත්වය ඇවිලවීම තුලින් ඔවුන් එම තන්ත‍්‍රයට තර්ජනයක් වන හෙයිනි. යුදෙව්වන් කායිකව ඉවත්කල නොහැකිනම් ඔවුන් සමූලඝාතනය කල යුතුය.

අවුෂ්විට්ස් වදකාගාරයෙන් දිවි ගලවාගත් ප‍්‍රිමෝ ලෙවි සිය If This is a Man (මේ මිනිසෙක් නම්) යන සිය කෘතියට ලිවූ පසුවදනක් තුල සටහන්කර ඇත්තේ, හොලොකෝස්ටය පිලිබඳ ප‍්‍රකාරාන්තරන (පිරිහෙලන්නාවූ) පැහැදිලිකිරීම් මඟින් තමන් සෑහීමකට පත් නොවන බවයි. මන්ද යත්, ඒවා හේතු සාධකවලට සමානුපාතික නොවන බැවින්ය. ”අපාලිත පොදු උමතුව පිලිබඳ ඉතිහාස කථනය අයුක්ති සහගත යයි ඇතිවන හැඟීම මට වලක්වාගත නොහැකි විය.” කෙසේ වෙතත්, නාසි වස විස වටහා ගැනීමට නොහැකි බව පිලිගන්නා අතරම ” එය කඩා පැන්නේ කොතැනක සිට ද යන්න අපට වටහාගත හැකිවාක් මෙන්ම වටහාගත යුතුය” යනුවෙන් ද පවසයි. (28)

ලෙවීගේ ප‍්‍රකාශ යම් තානයක් සපයයි. නාසීන්ට ජයග‍්‍රහනය පිලිබඳ කිසිදු බලාපොරොත්තුවක් නොතිබියදී පවා, යුද්ධයේ අවසාන දින කිහිපය දක්වාම, මරාදැමීම පිනිස, නාසින් යටත්කරගෙන සිටි යුරෝපයේ හතර දිග්භාගයෙන්ම යුදෙව්වන් අල්ලා ගනිමින් එක දිගට සිදුකල ජන සංහාරයේ ක‍්‍රියාමාර්ගය යමෙක් ”වටහාගන්නේ” කෙසේ ද? එහෙත් තවත් ඓතිහාසික තත්වයක් සලකා බලන්න. පලමු ලෝක සංග‍්‍රාමයේදී, ඉදිරියට යාමේ කිසිදු අවස්ථාවකින් තොරව, රුදුරු මැෂින් තුවක්කු වලින් සමතලා කර දමන බව දැන දැනම ”හිසට උඩින්” බොහොමයක්ම පිරිමි ලමුන්වූ තරුනයන්, යුද පෙරමුනට යැවීමට අනදෙන නිලධාරීන් නියෝග දුන් බව යමෙක් ”වටහාගන්නේ” කෙසේ ද? එවන් තීරන ”වටහාගත” නොහැකිවීමට හැකි වුවත්, අපි නිශ්චිතවම ඒවායේ මූලාශ‍්‍රය ගැන දන්නෙමු. එනම් 1914 අගෝස්තු 04දා පුපුරා ගිය ලාභය සඳහා ද අධිරාජ්‍ය විජයග‍්‍රහනය සඳහා ද වූ යුද්ධය බවයි. එසේම අපි, නාසි ව්‍යාපාරයේ හා එහි සමූලෝත්පටනයේ ක‍්‍රියාමාර්ගයෙහි මූලාශ‍්‍රය ද දන්නා අතර එය වටහා ගැනීමට ද සමත් වන්නෙමු. පෙරමුනු දෙකකදී එය ජර්මානු ධනේශ්වරයේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කලේය. එනම්, ලෝකය මෙතෙක් දැක තිබෙන විශාලතම, වඩාත්ම බලගතු හා දේශපාලනිකව මෝරාගිය කම්කරු ව්‍යාපාරය විනාශ කිරීම හා පලමුවන ලෝක යුද්ධයෙන් ආරම්භවූ නැ‍‍ගෙනහිර අධිරාජ්‍යයක් පිලිබඳ ජර්මානු අධිරාජ්‍යවාදයේ ව්‍යාපෘතිය යුද්ධයෙන් පසුව යලි පුනරුත්තාපනය කිරීමයි. මේ වැඩසටහන ජර්මානු ප‍්‍රාග්ධනයේ ආර්ථික අවශ්‍යතා තුල මුල්බැස තිබුනේ නැතැයි යෝජනා කිරීමට තරම් කිසිවෙකුත් මෝඩ හා දෘෂ්ටිමය වශයෙන් අන්ධ යයි සිතීමටවත් නොහැකිය.

ජර්මානු ධනේශ්වරයේ ආර්ථික ආසක්තයන්ට සමූහ වශයෙන් යුදෙව්වන් ඝාතනය කිරීමේ අවශ්‍යතාවක් අඩංඟු වූයේ නැතැයි තර්ක කරනු ලැබේ. එහෙත් ජර්මානු පාලක ප‍්‍රභූවේ තත්වය, කාලයට හා අවකාශයට පිටින්, එනම්, ඉතිහාසයට පිටින් සැලකිල්ලට ගත නොහැකිය. ඓතිහාසික වර්ධනයේ අර්ථය ජර්මානු අධිරාජ්‍යවාදය, සිය ක‍්‍රියාමාර්ගයේ ජාතික නායකයා ලෙස ද සංවිධායකයා ලෙස ද නාසි ව්‍යාපාරය වෙත හැරී තිබුනු බවයි. අනෙක් අතට, ජර්මන් අධිරාජ්‍යවාදයට එතරම්ම අවශ්‍යව තිබූ නාසි ව්‍යාපාරය පදනම්ව තිබුනේ, යුරෝපීය යුදෙව් සංහාරයට තුඩුදුන් වර්ගවාදී ක‍්‍රියාමාර්ගය මතය.

ඓතිහාසික භෞතිකවාදය පිලිබඳ සිය න්‍යායේ විවේචකයන්ට පිලිතුරු දෙමින් මාක්ස්, ද්‍රව්‍යමය අවශ්‍යතා බෙහෙවින් අධික අද දිනයේ සමාජය, එනම් 19වන සියවසේ සමාජය, පිලිබඳව එහි වලංඟු භාවය පිලිගත්ත ද රෝමානු කතෝලිකවාදය ආධිපත්‍ය දරන ලද මධ්‍යකාලීන අවධියට නැත්නම් දේශපාලනය ආධිපත්‍යය දැරූ ඇතන්ස් හෝ රෝම යුගයට එය සත්‍ය නොවන්නේ යයි ඔවුන් කියා සිටින බව සටහන් කලේය. එය ඉතාමත් හොඳ යයි පිලිතුරු දුන් මාක්ස්, මධ්‍යකාලීන අවධියේ හා ඇතන්ස් රෝම යුගයේ ස්වභාවය පිලිබඳව ඔහුමත් සාවධානවූ බව පෙන්වා දෙමින් නමුත් ඇතන්ස් හා රෝමයට දේශපාලනය මත ජීවත්විය නොහැකිවූවා සේම මධ්‍යකාලීන අවධියට ද කතෝලිකවාදය මත නොපැවතිය හැකි වීය යන කාරනය එසේම තිබෙන බව අවධාරනය කලේය. ”ඊට පටහැනිව, එක විටෙකදී දේශපාලනයත් අනෙක් අවස්ථාවේ කතෝලිකවාදයත් ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපයක් ඉටුකලේ මන්ද යන්න පැහැදිලි කරන්නේ ඔවුන් සිය දිවි පෙවෙත ගතකල ආකාරයෙන්” යයි ඔහු ලිවීය. (29)

අපි මෙම විශ්ලේෂනය, යුදෙව් විරෝධය හා එය සේවය කල පන්ති අවශ්‍යතා පිලිබඳ ප‍්‍රශ්නය විමසීම දක්වා ගෙනයමු. වැඩවසම් සමාජයේදී යුදෙව්වන්, කතෝලික දේවධර්මයට ද පොදුවේ ක‍්‍රිස්තියානි දේවධර්මයට ද සැලකිය යුතු ගැටලුවක් විය. ඔවුහු මිත්‍යාදෘෂ්ටිකයන් නොවූහ. ඔවුහු දෙවියන්ගේ වචනය අසා තිබුන නමුත් ජේසු තුමා ප‍්‍රතික්ෂේප කලහ. කෙසේ නමුත් ක‍්‍රිස්තු ධර්මය වර්ධනයවූ මූලය වූයේ ඔවුන්ය. එබැවින් දේවධර්මානුකූලව ඔවුන් ක‍්‍රිස්තියානි ආගමේ ඉගැන්වීම් වලට තර්ජනයක් විය. ඔවුන් අවශේෂ සමාජයෙන් වෙන්කල යුතු විය. මෙම වෙන්කිරීම වැඩවසම් සමාජයට අතිශයින්ම වැදගත් විය. යුදෙව්වෝ ක‍්‍රිස්තුස්ගේ ඉගැන්වීම් අසා තිබුන ද එය ප‍්‍රතික්ෂේප කරන්නෝ වූහ. මෙම ජීවමාන ප‍්‍රතික්ෂේපය බෙහෙවින් අනතරායකාරී විය. මක්නිසා ද යත්, රදලයන් ද කුමාරවරු මෙන්ම පල්ලියමත්, ගොවීන් සූරාකෑමේදී රැඳී සිටියේ හුදු බලය මත නොව, පන්ති සම්බන්ධතා නියම කරනු ලැබුවේ දෙවියන් වහන්සේ විසින් යයි දේශනා කල ක‍්‍රිස්තියානි ධර්මයෙන් සම්පාදනය කරන ලද දෘෂ්ටිවාදය මත වීම නිසාය. මෙම අවධියේ ක‍්‍රිස්තියානි යුදෙව් විරෝධය ක‍්‍රියාත්මක වූයේ, දෘෂ්ටිවාදයේ, දේවධර්මයේ පදනම මතය. එහෙත් ඔවුන්ගේ යුදෙව් විරෝධය, වැඩවසම් සමාජයේ පන්ති සම්බන්ධතා හා නිෂ්පාදකයන් සූරාකෑමේ එහි සුවිශේෂී ක‍්‍රමය පවත්වාගෙන යාමේදී එය මුඛ්‍ය භූමිකාවක් ඉෂ්ට කලේය.

දැන් නාසි තන්ත‍්‍රය ගැන සලකා බලමු. ජීව විද්‍යාත්මක වර්ගවාදය හා ජාතිකවාදය පිලිබඳ සංකල්ප මඟින් අධිකාරවත්වූ එය, මිනීමරු යුදෙව් විරෝධය ලෙසින් සිය ප‍්‍රකාශනය අතරකර ගත්තේය. එහෙත් කතෝලිකවාදය මත වැඩවසම් සමාජයට පැවතිය නොහැකිවූවාක් සේම ජර්මානු ධනවාදයට ජීව විද්‍යාත්මක වර්ගවාදය හා යුදෙව් විරෝධය මත පැවතිය නොහැකිය. ජර්මන් ප‍්‍රාග්ධනයේ පැවත්ම ද ප‍්‍රසාරනය ද ශක්තිමත් ලෙස වැඞීම ද රැඳී පැවතුනේ ද සිය තරඟකරුවන් පරාජය කලහැකි වූයේ ද අතිරික්ත වටිනාකම් සූරාකෑමේ හා සමුච්ඡයකරනයේ පදනම මත පමනි. මේ සඳහා කම්කරු ව්‍යාපාරයේ විනාශය ද අධිරාජ්‍යයක් ගොඩනැඟීම ද අවශ්‍ය විය. නාසි ව්‍යාපාරය හා එහි මිනීමරු ක‍්‍රියාමාර්ගය ද ඒ වෙනුවෙන් කැපවූවක් විය. හොලොකෝස්ටයේ දේශපාලන ආර්ථිකය නම් මෙයයි.

සටහන්

1. රොබට් විස්ට‍්‍රිච්: Hitler and the Holocaust (හිට්ලර් හා හොලෝකෝස්ටය), මොඩර්න් ලයිබ්රරි, 2003: 06 පි.

2. මැක්ස් හෝකයිමර් හා තියඩෝර් ඇඩෝනෝ: Dialectic of Enlightnment (බුද්ධි ප‍්‍රබෝධයේ අපෝහකය) ලන්ටිනම්, නිව් යෝර්ක් 1997, 13පි.

3. “The Hurt Locker and the rehabilitation of the Iraq war: New York Times journalists weigh in” ”ද හර්ට් ලොකර් හා ඉරාක යුද්ධය පුනරුත්ථාපනය කිරීම: නිව් යෝර්ක් ටයිම්ස්හි මාධ්‍යකරුවෝ මැන බලති” ඬේවිඞ් වොල්ෂ්ගේ සටහන්,

4. ඉයන් කර්ෂෝ: Hitler Volume 1 (හිට්ලර් 1 වෙලුම), පෙන්ගුයින් හාමන්ස්වර්ත් 1998, 379-380 පි.

5. ලියොන් ට්‍රොට්ස්කි: The Struggle Against Fascism in Germany (ජර්මනියේ ෆැසිස්ට්වාදයට එරෙහි අරගලය) පෙන්ගුයින් හාමන්ස්වර්ත්, 1971,112-113 පි

6. මයිකල් බර්ලේ: Weekly Standard (වීක්ලි ස්ටෑන්ඩර්ඞ්) 2005 දෙසැම්බර් 26

7. මයිකල් බර්ලේ: The Third Reich (තුන්වන රීචය), පෑන් බුක්ස්, ලංඩන්, 927 පි.

8. ඇඩොල්ෆ් හිට්ලර්: Mein Kampf Excerpts (මෙයින් කාම්ෆ්, උපුටාගැනීම්), http://www.jewishvirtuallibrary.org/jsource/Holocaust/kampf.html

9. කොන්රඞ් හේඞ්න්: Der Fuehrer (ඩර් ෆියුරර්), 1 වෙලුම, වික්ටර් ගොලැන්ක්ස්, ලංඩන් 1944, 59 පි.

10. ලොතරොප් සටොඩාර්ඞ්: The Revolt Against Civilization: The Menace of the Under-Man (ශිෂ්ඨාචාරයට එරෙහි කැරැල්ල: පහත් මානවයාගේ තර්ජනය), චාල්ස් ස්ක‍්‍රිබ්නර්ස් සන්ස්, නිව් යෝර්ක් 1922, 245-246 පි.

11. එම, 162-163 පි.

12. එම 152 පි.

13. රිචඞ් එවන්ස්: The Coming of the Third Reich (තුන්වන රීචයේ සම්ප‍්‍රාප්තිය), ඇලන්ලේන් ලංඩන් 2003, 35 පි.

14. ඇඩොල්ෆ් හිට්ලර්: Mein Kampf (මෙයින් කාම්ෆ්) හූස්ටන් මිෆින් බොස්ටන්, 1971, 655 පි.

15. Hitler’s Second Book (හිට්ලර්ගේ දෙවන පොත), ගේහාඞ් එල් වේන්බර්ග් සංස්කරනය, එනිග්මා බුක්ස් නිව්යෝර්ක්, 2003, 197 පි.

16. එම, 116 පි.

17. ඇඩම් ටූස්: The Wages of Destruction (ව්‍යසනයේ වේතන). ඇලන් ලේන්, ලංඩන්, 2006 XXIV පි.

18. ලියොන් ට්‍රොට්ස්කි: ”ජාතික සමාජවාදය යනු කුමක් ද?”: The Struggle Against Fascism in Germany (ජර්මනියේ ෆැසිස්ට්වාදයට එරෙහි අරගලය), පෙන්ගුයින් බුක්ස් හාමන්ස්වර්ත්, 1975 444 පි.

19. ෆ්‍රෙඞ්රික් පොලොක්:ඇන්ඩෲ ඇරාටෝ හා ඊක් ගෙබාඞ් විසින් සංස්කරනය කල The Essential Frankfurt School Reader (ප‍්‍රෑන්ක්ෆර්ට් ගුරුකුලයේ සමීප සහෘදයෙක් ) තුල ”රාජ්‍ය ධනවාදය: එහි හැකියාවන් හා සීමාසහිතකම්,” කොන්ටිනම් නිව් යෝර්ක්, 1994, 87 පි.

20. ඇඩම් ටූස්, The Wages of Destruction (ව්‍යසනයේ වේතන), 62-65 පි.

21. ඉයන් කර්ෂෝ: The Nazi Dictatorship (නාසි ආඥාදායකත්වය) ආනා්ල්ඞ්, ලංඩන් 2000, 61-62 පි.

22. ජර්ජන් සිමරර්: ඒ ඩර්ක් මෝසස් විසින් සංස්කරනය කල, Colonialism and the Holocaust in Genocide and Settler Society (සංහාරයේ හා පදිංචිකරුවන්ගේ සමාජය තුල විජිතකරනය හා හොලෝකෝස්ටය), නිව් යෝර්ක්, බර්ගන් බුක්ස්, 2005, 49 පි.

23. The International History Review Vol. 26, No. 3 (ජාත්‍යන්තර ඉතිහාස විමසුමේ 26 වෙලුම අංක 3) යටතේ පලවූ ”පෝලන්තය වාඩිලෑම: විජිතයන් තුල සමීප ලෙස දුරස්ත වීම” 2004, 541 පි.

24. රෝසා ලක්සම්බර්ග්: The Junius Pamphlet (ජූනියස් පොත්පිංච), http://www.marxists.org/archive/luxemburg/1915/junius/ch08.htm

25. ක‍්‍රිස්ටෝපර් ආර් බ‍්‍රවුනිං: The Origins of the Final Solution (අවසාන විසඳුමේ මූලාරම්භයෝ), නෙබ්‍රෙස්කා යුනිවර්සිටි ප්‍රෙස් ලින්කන් 2004, 216-223 පි

26. බලන්න: http://en.wikipedia.org/wiki/The_Holocaust#Extermination_camps

27. The Yale Journal of Criticism Vol. 14, No. 2 (විවේචනයේ යේල් ජර්නලය වෙලුම 14, අංක 2) තුල සඳහන් ඇලෙක්ස් කැලනිකෝස්ගේ ”මාක්ස්වාදය හා හොලෝකෝස්ටය” 2001 402පි.

28. ප‍්‍රිමෝ ලෙවි: If This is a Man (මේ මිනිසෙක් නම්?) ඇබකස් ලංඩන් 1988, 395-396 පි.

29 කාල් මාක්ස්: Capital Volume 1 (කැපිටාල් 1 වෙලුම), පෙන්ගුයින් හාමන්ඞ්ස්වර්ත්, 1976, 176 පි.