විකිලීක්ස් යුද අපරාධ හෙලිකිරීම් ශී‍්‍ර ලංකාව විසින් යට ගැසීම

Sri Lankan coverup of WikiLeaks war crime revelations

By Vilani Peiris, 20 January 2011

ආන්ඩුව යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බව තහවුරු කරන විකිලීක්ස් හෙලිකිරීම්වලට ශී‍්‍ර ලංකාවේ දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය ප‍්‍රතිචාර දක්වා ඇත්තේ, හෙලිදරව් කෙරුනු එක්සත් ජනපද රාජ්‍යතාන්ති‍්‍රක කේබල් පනිවිඩවල අන්තර්ගතය යටගැසීම සහ මිලිටරියේ කි‍්‍රයාවන් ආරක්ෂා කිරීම මගිනි.

ඇමරිකානු කේබල් පනිවිඩ දෙකක් විශේෂයෙන් ම චෝදනාත්මකය. ශී‍්‍ර ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි පැටි‍්‍රකා බුටෙනිස් විසින් පසුගිය ජනවාරියේ දී යවන ලද ප‍්‍රථම පනිවිඩය, යුද අපරාධ පිලිබඳ කාරනාව, "චෝදිත අපරාධ බොහොමයක් සම්බන්ධයෙන් වගකීම, ජනාධිපති රාජපක්ෂ හා ඔහුගේ සොහොයුරන් සහ විරුද්ධ පක්ෂයේ අපේක්ෂක ජෙනරාල් ෆොන්සේකා ඇතුලු රටේ ජ්‍යෙෂ්ඨ සිවිල් හා මිලිටරි නායකයන් මත පැටවේ යන කරුන මගින් වඩාත් සංකීර්න” වන බව සඳහන් කලේය.

ඊට පෙර, 2006 ඔක්තෝබරයේ දී එක්සත් ජනපද තානාපති රොබර්ට් බ්ලේක් විසින් යවන ලද කේබල් පනිවිඩයක්, දේශපාලනඥයන් හා මාධ්‍යවේදීන් ඇතුලූ සිය ගනනක් දෙනා පැහැර ගැනීම් හා ඝාතන සිදු කල පැරාමිලිටරි කන්ඩායම් සමග ආන්ඩුවේ හා මිලිටරියේ සම්බන්ධය විස්තර කලේය. දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධය යලි ඇරඹීමෙන් පසුව වඩවඩා මුදල් හිඟයෙන් පෙලුනු රාජපක්ෂ ආන්ඩුව, ඔවුන්ට අවශ්‍ය මුදල් සොයාගැනීම පිනිස පැරාමිලිටරි කන්ඩායම් විසින් යොදාගැනුනු ගනිකා වෘත්තීය හා කප්පම් ගැනීම වැනි සාපරාධී කි‍්‍රයාකාරකම් නොදුටුවාක් මෙන් සිටියේය.

මෙම කේබල් පනිවිඩ නිදහස් කිරීමට දැක්වූ ප‍්‍රතිචාරය වී ඇත්තේ, හිතාමතා පවත්වාගෙන යන පරෙස්සම් සහගත නිශ්ශබ්දතාවක ද රාජපක්ෂ ආන්ඩුව මුලුමනින්ම ආරක්ෂා කිරීමේ ද සංයෝජනයකි. දෙමල පුවත්පත් එකක් හෝ දෙකක් හැරුනු විට කොලඹ මාධ්‍ය බුටෙනිස්ගේ කේබල් පනිවිඩ සම්පූර්නයෙන් පල කොට නැත. රාජපක්ෂගේ සභාග ආන්ඩුවේ කොටස්කරුවන් වන පැරාමිලිටරි කන්ඩායම් දෙකක් එලිදරව් කල බ්ලේක්ගේ කේබල් පනිවිඩ, ආංශිකව වත් පල කොට නැත.

බුටෙනිස්ගේ කේබල් පනිවිඩවලට ප‍්‍රතිචාර දක්වමින්, ශී‍්‍ර ලංකාවේ විදේශ කටයුතු ඇමති ජී.එල් පීරිස් එවන් එලිදරව් කිරීම් නීති විරෝධී බව ප‍්‍රකාශ කරමින් එක්සත් ජනපදය සමග එක්විය. ”ආන්ඩු අතර සිදු වන ලිපි ගනුදෙනු රහස්‍ය වන අතර ඒවා එසේම පැවතිය යුතු” යයි ඔහු පැවසීය. කෙසේවෙතත්, පීරිස්ට කේබල් පනිවිඩවල අන්තර්ගතය -- එනම්, එක්සත් ජනපද තානාපතිට අනුව, රටේ ඉහල මිලිටරි හා සිවිල් නායකයන් යුද අපරාධවලට වගකිව යුතු ය යන්න -- පිලිබඳව පැවසීමට කිසිවක් තිබුනේ නැත.

රාජපක්ෂ ආන්ඩුවටත් එය යලි ඇරඹූ වාර්ගික යුද්ධයටත් සහයෝගය දුන් එක්සත් ජනපදය, මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳ කාරනය මතු කිරීම ආරම්භ කලේ, 2009 මැයි මස එල්ටීටීඊයේ පරාජයෙන් අවසන් වූ යුද්ධයේ අවසන් මාස කිහිපය තුල දී පමනි. වොෂිංටනයේ මුලික උත්සුකය ඝාතනයට ලක් වන දහස් සංඛ්‍යාත දෙමල සිවිල් වැසියන් ගැන නොවේ. ඒ වෙනුවට, එය උත්සාහ කලේ, චීනයෙන් දුරස්ථ වන ලෙස රාජපක්ෂ ආන්ඩුවට බල කරනු පිනිස යුද අපරාධ පිලිබඳ විමර්ෂනයක තර්ජනය ගසාකෑමටයි. රාජපක්ෂගේ සදොස් බව හොඳින් දන්නා නමුදු එතැන් පටන් එක්සත් ජනපදය එම කාරනාව මුලුමනින්ම පාහේ අතහැර දමා ඇත.

කිසිදු චකිතයක් නැතිව විකිලීක්ස් හෙලිදරව් කිරීම් නොතකා සිටීමට ශී‍්‍ර ලංකා ආන්ඩුවට හැකි වී ඇත්තේ, විරුද්ධ පක්ෂ යුද අපරාධ පිලිබඳ මොන යම් හෝ කි‍්‍රයාමාර්ගයක් ඉල්ලා නොසිටින බව එය දන්නා නිසා පමනි.

වඩාත්ම සැලකිය යුතු නිශ්ශබ්දතාව දක්නට ලැබෙන්නේ, යුද්ධය පැවති කාල පරිච්ඡේදයේ දී එල්ටීටීඊයේ හොරනෑව ලෙස කි‍්‍රයා කලා වූ ද ඉන් පසුව කොලඹ දේශපාලන සංස්ථාපිතය සමග යලි ඒකාග‍්‍රවීමට උත්සාහ දරමින් සිටින්නා වු ද ධනේශ්වර දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) වෙතිනි. පසුගිය සතියේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ප‍්‍රශ්න කරන ලදුව, ටීඑන්ඒ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්, සිය පක්ෂය ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැලකීම යුක්තියුක්ත කරනු පිනිස එම කේබල් පනිවිඩවල ”අලූතෙන් කිසිවක් නැති” බව කියමින් ඒවා නොතකා හැරීය.

1

යුද අපරාධවලට වගකිව යුත්තන් එම වගවීමට යොමු කල යුතු යයි ඉල්ලා සිටීමේ කිසිදු අභිප‍්‍රායක් එයට නොමැත යන කාරනාව ටීඑන්ඒ නිශ්ශබ්දතාවයෙන් තහවුරු වේ. තථ්‍ය කාරනාව නම්, තමන් ටීඑන්ඒ නායකයන්ට කතා කල බවත් එවිට ඔවුන් එම "වගවීම” පිලිබඳ කාරනාව අඩුතක්සේරු කල බවත් බුටෙනිස් සිය කේබල් පනිවිඩය තුල එලිදරව් කිරීමයි. ටීඑන්ඒ මන්ති‍්‍රනි පද්මිනී සිතම්පරන්තන් ඇයට පැවසුවේ, "එදිනෙදා කෑම බීම පිලිබඳ වත්මන් ප‍්‍රශ්න” වඩා වැදගත් බවයි. යථාර්ථය නම්, එදිනෙදා කෑම බීම පිලිබඳව හෝ වෙන යම් දැවෙන ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් හෝ වැඩ කරන ජනතාව ආරක්ෂා කිරීමට මෙම පක්ෂය කි‍්‍රයා නොකරන බව ටීඑන්ඒ ආස්ථානයෙන් පැහැදිලි වීමයි.

ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම පිලිබඳ ව්‍යාජ උද්ඝෝෂන ව්‍යාපාරයක් ගෙනගියත්, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) ද මෙම විකිලීක්ස් හෙලිදරව් සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රකාශයක් කොට නැත. එජාප, ආන්ඩුවේ යලි ඇරඹූ යුද්ධයට සහයෝගය දුන් අතර දෙමල සිවිල් වැසියන් ඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂ හෝ මිලිටරිය වගකිව යුතු ය යන්න දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කර ඇත. පසුගිය ජනවාරියේ පැවති ජනාධිපතිවරයේ දී, එජාප, විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස, මිලිටරි ආක‍්‍රමනික මෙහෙයුම් භාර හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට, සහාය දුන්නේය.

ෆොන්සේකාට සහයෝගය දුන් විරුද්ධ පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), පක්ෂයේ ලංකා පත‍්‍රයේ බුටෙනිස්ගේ කේබල් පනිවිඩවල කෙරුනු චෝදනා ගැන වාර්තා කලේ, පදනම් විරහිත චෝදනා ලෙස ඒවා නොතකා හැරීම පිනිස ය. ඉරාකය තුල තමන්ම යුද අපරාධ සිදු කරන ගමන් යුද අපරාධ පිලිබඳව ආන්ඩුවට චෝදනා කීරීමේ එක්සත් ජනපදයේ කුහකත්වයට එම ලිපිය අවධානය යොමු කලේය. එමෙන් ම "ශී‍්‍ර ලංකාව එක්සත් ජනපද උපාය මාර්ගයට අනුව මෙහෙයවීමට පීඩනයක්” එල්ල කිරීමේ විධික‍්‍රමයක් ලෙස "යුද අපරාධ පිලිබඳ චෝදනාවක් නඩත්තු කිරීම” පිලිබඳව ද එය එක්සත් ජනපදයට චෝදනා කලේය.

නිසැකවම, වොෂිංටනය යුද අපරාධ පිලිබඳ සාක්ෂ්‍ය ස්වකීය අරමුනු සඳහා ගසාකෑමට උත්සාහ කර තිබේ. එහෙත් රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උල්ලංඝනයන් පිලිබඳ එක්සත් ජනපදයේ සීමිත විවේචන, වෙනත් වාර්තාවල සවිස්තරාත්මක තිබෙන කරුනු තහවුරු කරයි. බ‍්‍රසල්ස්-පාදක චින්තන පර්ෂදයක් වන ඉන්ටර්නැෂනල් ක‍්‍රයිසිස් ගෲප් (ජාත්‍යන්තර අර්බුද කන්ඩායම) සිය පර්යේෂන මගින් නිගමනය කලේ, එල්ටීටීඊ-පාලිත භූමි ප‍්‍රදේශ ඇතුලත පිහිටි රෝහල්වලට හා ආධාර මධ්‍යස්ථානවලට හිතාමතා එල්ල කෙරුනු ප‍්‍රහාර ඇතුලුව, යුද්ධයේ අවසන් මාස කිහිපය තුල දී ශී‍්‍ර ලංකා මිලිටරිය දෙමල සිවිල් වැසියන් දස දහස් ගනනක් ඝාතනය කල බවයි.

ජවිපෙ යුද්ධය යලි අරඹන ලෙස රාජපක්ෂට බල කලා සහ එම යුද්ධයට සහයෝගය දුන්නා පමනක් නොව, මිලිටරිය පිලිබඳව ඇල් මැරුනු ආකාරයේ හෝ මොන යම් විවේචනයක් කල අය "මව්බිමේ ද්‍රෝහීන්” ලෙස හෙලා දැකීම ද කලේය. එය ෆොන්සේකාට "රනවිරුවකු” ලෙස සහයෝගය දුන් අතර ජනාධිපතිවරනයෙන් පසුව දූෂන කි‍්‍රයා පිලිබඳ ගොතන ලද චෝදනා මත අත්අඩංගුවට ගැනුනු ජෙනරාල් සමග සන්ධානය තවමත් පවත්වා ගෙන යයි. "අධිරාජ්‍ය විරෝධී” මවාපෑමක් කරන අතර ම, ෆොන්සේකාට හා විරුද්ධ පක්ෂවලට එරෙහි ආන්ඩුවේ දඩයමට විරුද්ධව ඇමරිකානු සහයෝගය දිනාගැනීමේ උත්සාහයක් ලෙස පසුගිය වසරේ දී එක්සත් ජනපද තානාපති නිලධාරින් හමුවීමට ජවිපෙ නායකයන්ට කිසිදු හිරිකිතයක් නොවීය.

කොලඹ මාධ්‍ය යුද අපරාධ පිලිබඳ ආන්ඩුවේ වගකීම ආවරනය කිරීමෙහිලා සහයෝගය දී තිබේ. දක්ෂිනාංශික අයිලන්ඩ් පත‍්‍රය, ශී‍්‍ර ලංකා ආන්ඩුව විවේචනය කරන ගමන් ඉරාකයේ යුද අපරාධ ගෙන යාම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ කුහකත්වයට අවධානය යොමු කරමින්, ජවිපෙට සමාන ආස්ථානයක් ගෙන ඇත. එක ලිපියක් මෙසේ ප‍්‍රකාශ කලේය: "විකිලීක්ස් මගින් අවුලුවන ලද විවේචන කන්දකට මුහුන දී සිටින එක්සත් ජනපදය, ජාතික ආරක්ෂාව පිටුපස සැඟවීමට උත්සාහ කරයි.” කතුවැකි ගනනාවක් ම "යුද අපරාධ” හා "විජිතවාදී යටත් කරගැනීම්” පිලිබඳව වොෂිංටනයට පහර ගසා ඇත.

කෙසේවෙතත්, අයිලන්ඩ් පුවත්පත කුහකත්වයෙන් ඔබාමා පාලනාධිකාරයට දෙවෙනි නොවේ. එය ඉරාකයේ එක්සත් ජනපද යුද්ධය විවේචනය කරන ගමන්, එහි වර්ගවාදී යුද්ධයේ දී රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධී කි‍්‍රයාවන් ආරක්ෂා කරයි. පසුගිය වසර තිස්සේ අයිලන්ඩ් පත‍්‍රයේ තර්කයේ සාරභූත එල්ලය වූයේ, ඉවබවක් නැති බෝම්බ ප‍්‍රහාර, වධබන්ධන හා නඩු විභාග නොමැතිව හිතුවක්කාරී ලෙස අත් අඩංගුවට ගැනීම් ඇතුලුව, ඉරාකය හා ඇෆ්ඝනිස්ථානය තුල එක්සත් ජනපද මිලිටරියේ කි‍්‍රයාවන්හි සමානකම අවධානයට ලක් කිරීම මගින්, ශී‍්‍ර ලංකාව තුල යුද අපරාධ යුක්තියුක්ත කිරීමයි.

ශී‍්‍ර ලාංකික ලිබරල්වාදයේ බෙලහීන හඬ වන ඩේලි මිරර් පත‍්‍රය තරමක් වෙනස් ප‍්‍රවිෂ්ටයක් ගෙන තිබේ. "රාජ්‍යතාන්ති‍්‍රකභාවයට එදිරිව විකිලීක්ස්” යන මැයෙන් යුක්ත කතුවැකියක් තුල, එය වොෂිංටනයේ ආස්ථානය අනුව යමින්, ජාත්‍යන්තර රාජ්‍යතාන්ති‍්‍රක කටයුතුවල ශුද්ධවන්තකම වෙනුවෙන් තර්ක කලේ මෙසේ ප‍්‍රකාශ කරමිනි: "එක්සත් ජනපද ආන්ඩුව විසින් පෙරදැකි ලෙසම, මෙම "එලිදරව් කිරීම්” බොහෝ රාජ්‍යතාන්ති‍්‍රකයන් හා ඔවුන් ගොඩනගා ඇති සබඳතා අනතුරේ හෙලා ඇත.”

අනතුරේ හෙලා ඇති එකම දෙය නම්, එය ලොව පුරා සිය ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා වෙනුවෙන් කි‍්‍රයාත්මක වන කල ඇමරිකානු රාජ්‍යතාන්ති‍්‍රක සේවය ද එයට හවුල් වන විවිධ ආන්ඩු සහ පාර්ශ්වයන් ද තිරයෙන් පිටුපස සිට කරන අධම මෙහෙයුම් ය. ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ගත් කල, ආන්ඩුවේ හා මිලිටරියේ නායකයන් වගකිව යුතු අපරාධ එයට ඇතුලත් වේ.

කතුවැකිය රාජපක්ෂගේ යුද්ධය "මානුෂික මෙහෙයුමක්” ලෙස ප‍්‍රශංසා කලේ මෙසේ ප‍්‍රකාශ කරමිනි: "ලෝකයේ ම්ලේච්ඡම ත‍්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීම ප‍්‍රශංසාවට ලක් කල යුතු අතර, මානුෂික මෙහෙයුම තුල දී එල්ල කෙරෙන බලපෑම් දරාගැනීමට කෙනෙකුට අමතර සවිබලයක් අවශ්‍ය විය. යුද්ධය අවසානය කරා ගෙන යනු පිනිස අපට දේශපාලන අධිෂ්ඨානය අවශ්‍ය විය. ඒ සියල්ල කිරීමට අපට සිටි එකම නායකයා ජනාධිපතිතුමාය.” එහි එකම විවේචනය වූයේ එක්සත් ජනපද විවේචන වලකාගැනීමට -- වෙනත් වචනවලින් කියතොත්, යුද අපරාධ මුලූමනින් ම යට ගැසීමක් සහතික කර ගැනීමට -- අවශ්‍ය ”හොඳ රාජ්‍යතාන්ති‍්‍රකභාවය” ආන්ඩුවට නොතිබීමයි.

සුවිශේෂී දේශපාල අර්ථභාරයක් දරන කාරනාව නම් ව්‍යාජ වාමාංශික පක්ෂ දෙකක් වන නව සමසමාජ පක්ෂය (නසසප) සහ එක්සත් සමාජවාදී පක්ෂය (එසප) පවත්වාගෙන යන නිශ්ශබ්දතාවයි. දැන් සිදු කෙරෙන ජාත්‍යන්තර දඩයමෙන් විකිලීක්ස් ආරක්ෂා කරමින් හෝ ශී‍්‍ර ලංකාව පිලිබඳ කේබල් පනිවිඩ ගැන අදහස් දක්වමින් හෝ කිසිදු ප‍්‍රකාශයක් ඔවුන් නිකුත් කොට නැත.

ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්වල ආරක්ෂකයන් ලෙස මවා පෙන්වන නසසපට හා එසපට මේ සම්බන්ධයෙන් පැවසීමට කිසිවක් නැත යන්න බැලූ බැල්මට විශ්මිත දෙයක් ලෙස පෙනී යා හැකිය. යථාර්ථය නම්, මෙම පක්ෂ දෙක කොලඹ සංස්ථාපිතයේ ද්විතියික දේශපාලන චන්ද්‍රිකාවලට වැඩි දෙයක් නොවීමයි. එජාප, ටීඑන්ඒ හෝ පාලක පන්තියේ වෙනත් පක්ෂයක් ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කරනු ඇත නැතහොත් එම අයිතීන් ආරක්ෂා කිරීම පිනිස තල්ලු කර ගත හැකිය යනුවෙන් විශ්වාස කරනු පිනිස වැඩ කරන ජනතාව රැවටීමට ඔවුහු උත්සාහ කරති. එබැවින් නසසපයේ හා එසපයේ නිශ්ශබ්දතාව එජාප, ටීඑන්ඒ හා පාලක ප‍්‍රභූවේ සෙසු කොටස්වල ප‍්‍රතිචාරය සමග මුලමනින්ම ගැලපෙයි.

ආන්ඩුවේ සිට නසසප හා එසප දක්වා විකිලීක්ස් එලිදරව් කිරීම්වලට දක්වා ඇති ප‍්‍රතිචාරය, ශී‍්‍ර ලංකාවේ දේශපාලන සංස්ථාපිතය තුල ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම පිනිස කිසිදු සහයෝගී පදනමක් නැත යන කාරනාව අවධාරනය කර තිබේ. මෙම පෙලගැසීම වනාහි, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ට එකසේ කෙරෙන අනතුරු ඇඟවීමකි -- එනම්, ආන්ඩුවේ රුදුරු කප්පාදු පිලිවෙත්වලට එරෙහිව සිය මූලික අයිතීන් හා ජීවන තත්වයන් ආරක්ෂා කරගනු පිනිස ඔවුන් ඉදිරියට පැමිනි කල ප‍්‍රතිකි‍්‍රයාව ද එයට සමාන වනු ඇත යන්නය.