ටක්සොන්හි වෙඩිතැබීමෙන් පසු
After the shooting in Tucson
By David North,11 January 2011
සය දෙනෙකුට මරු කැඳවූ හා දැන් ජීවිතයත් මරනයත් අතර සටනක යෙදී සිටින කොන්ග‍්‍රස් සභිකාවක ද ඇතුලු 14 දෙනෙකුට තුවාල සිදු කල, පසුගිය 08දා ටක්සොන්හි සිදුවූ ප‍්‍රචන්ඩත්වයට වගකිව යුත්තෝ කවරහු ද?
ජරෙඩ් එල්. ලෝග්නර් නමැති වෙඩික්කාරයාගේ මිනීමරු වින්නැහිය ද රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලඥයින්, ව්‍යාපාරිකයින්ගේ මුදල් මත පවත්නා ටී පාටි නමැති සංවිධාන මෙන්ම රූපවාහිනී හා රේඩියෝ වැඩසටහන්වල කයිවාරු ගසන වාචාලයින්, තොරතෝංචියක් නැතිව කරන බෙරිහන්දීම් ද අතර සෘජු හා ක්ෂනික සම්බන්ධයක් ඇති බව නිසැකයෙන්ම සත්‍යයකි. "තුවක්කුකරුවා උසිගැන්වීම සඳහා කිසියම් විශේෂ පුද්ගලයින් කන්ඩායමක් වෙත නැත්නම් දේශපාලන වාතාවරනය කෙරෙහි චෝදනා නැඟීම පිලිගතහැකි බවක් නොපෙනේ.” යන වොෂින්ටන් පෝස්ට් පුවත් පතේ අනුශාසනාව පාවී යන්නේ, එක්සත් ජනපදයේ අන්ත දක්ෂිනාංශයෙහි සමාජ පදනම, මනෝවිද්‍යාව හා දේශපාලන ගතිකය පිලිබඳ ප‍්‍රකට සාධක හමුවේය. ලෝග්නර් හුදෙක්ම "දේශපාලන දර්ශනවාදය පිලිබඳ පරවේනියකින් තොර කැලඹීමට පත් තරුනයෙකි” යන පුවත්පතේ ප‍්‍රකාශය තරයේම වංචනිකය. ඇමරිකානු දක්ෂිනාංශය දිගු කලක් තිස්සේම වෛරය, පීඩනෝන්මාදය තැවරුනු අභිනිවේෂනය හා ප‍්‍රතිකොමියුනිස්ට්වාදය පිලිබඳ සිය පනිවිඩය කෙරේ, බරපතල ආකාරයේ මනෝ සංකූලතාවන්ගෙන් පෙලෙන මිනිසුන්ගේ නැඹුරුවක් පවතින බව දැන සිටියි.
කෙසේ වෙතත් ලෝග්නර්ගේ ක‍්‍රියාවන් හුදෙක්, දේශපාලන දක්ෂිනාංශයේ හා එහි කයිවාරු මන්ඬපවල වාචාලයන් පට්ටියේ ප‍්‍රචාරයන්හි නිමැවුමක් ලෙස විස්තර කිරීම ප‍්‍රමානවත් නොවනු ඇත. ටක්සොන්හි ලේවැකි සිදුවීම් සඳහා ගැඹුරු සමාජ හේතු පවතියි.
දිග් ගැස්සුනු දේශපාලන අපේක්ෂා භංග තත්වයක එරී සිටින ඩිමොක‍්‍රටික් පක්ෂය හා ලිබරල් වම, වඩා ශිෂ්ඨ හා ආචාර සම්පන්න පැවැත්මක් දිරිගැන්වියහැකි නම් ඇමරිකාව බොහෝ සෙයින් ප‍්‍රියජනක ස්ථානයක් වනු ඇතැයි යන සිතිවිල්ලේ නිමග්නව සිටිති. ඔවුන් තර්ක කරන්නේ, වගකිවයුතු මිනිසුන් ඉදිරියේ ඇති කර්තව්‍යය, ජොන් ස්ටුවර්ට්ගේ ශුභාරංචියට අනුකූලවන පරිදි එනම්, ජනතා ප‍්‍රකාශනවල "සැර බාලකර,” අඩුවෙන් වාදකර වැඩියෙන් ඇහුන්කන් දීම හා පොදු තැනක් සොයාගැනීම සඳහා, වමේ මෙන්ම දකුනේ ද යන සියල්ලන් ඒත්තුගැන්වීමයි.
සාර්වත‍්‍රික සමාදානය පිලිබඳ මෙම රෝගීවූ ජීවය, ගිල්ෆර්ඞ් නමැති කොන්ග‍්‍රස් සභිකාව ඝාතනය කිරීමේ උත්සාහයෙන් පසුව කැපීපෙනෙන ප‍්‍රතිගාමී ප‍්‍රකාශනයක් අත්කරගෙන තිබේ. නේෂන් සඟරාවේ රිචඩ් කිම් ඇමරිකානු ජනතාව, "මිනිසුන්ගේ සතුරා ලෙස අවමානයට පාත‍්‍රවන කිසියම් දෙයක් වෙනුවට, සිය අභිලාෂය තුල උතුම්වූ කිසියම් දෙයක් ලෙස දේශපාලනයේ හා පුරවැසි භාවයේ භාවිතාව වඩා ආදරයෙන් රැකබලා ගැනීම” දක්ෂිනාංශයේ ප‍්‍රචන්ඩත්වයට විෂ නාශකයක් ලෙස යෝජනා කරයි.
මෙම වචන, එක්සත් ජනපදයේ "වම” වෙතට එල්ල කෙරෙන දේශපාලන බංකොලොත්කමේ විනාශකාරී ස්වයං හෙලිදරව්වක් වනවාට අමතරව, ව්‍යාපාරික මුදලින් තරකර තිබීමේ කාරනයට වැඩිමනත්ව අන්ත දක්ෂිනාංශයට, සමාජ නොසංසුන්තාවයේ ප‍්‍රකාශනය බවට පත්වීමටත්, පොදු දුක්ගැනවිලි ගසාකෑමටත් හැකිවී ඇත්තේ මන් ද යන්න පෙන්නුම් කරයි.
එක්සත් ජනපදය, 1930 ගනන් වලින් මෙපිට දක්නට ලැබුනු නරකම ආර්ථික පසුබෑමට මුහුන දී සිටියි. රැකියාවක් සොයාගැනීමේ බලාපොරොත්තුව මේ වනවිට අතහැරදමා සිටින අයගේ සංඛ්‍යා ඇතුලත් නොවන නිල විරැකියා අනුපාතය පවතින්නේ සියයට දහයේ සීමාවේ ය. නිවාස මිලගනන්වල වැටීම, ඇමරිකානු පවුල් මිලියන ගනනකගේ ශුද්ධ අගය පහත හෙලා තිබෙන අතර, උකස් නය උගුලේ සිරවූ පවුල් මිලියන ගනනකට වෙන්දේසි කිරීම් නිසා සිය නිවාස අහිමිවී ගොසින්ය. සමාජ අසමානතාවය 1920 ගනන්වලින් මෙපිට දක්නට නොලැබුන මට්ටමක පවතියි. පසුගිය හතලිස් වසරක කාලය තුල ඇමරිකානු කම්කරුවන්ගේ ආදායම එකතැන පල්වෙයි. 1970 ගනන්වලින් මෙහා ආදායමේ ඇතිවූ වැඩිවීම මුලුමනින්ම පාහේ වැටී ඇත්තේ ජනගහනයේ ධනවත්ම සියයට එකේ සාක්කු තුලටය.
2008 සැප්තැම්බරයේ හටගත් මූල්‍ය අර්බුදයෙන් පසුව, සෘජුව ම එම ව්‍යසනය උදාකල ඉවබව නැති මූල්‍ය සමපේක්ෂකයින්ගෙන් සැදුම්ලත් මූල්‍ය හා ව්‍යාපාරික පැලැන්තියේ ධනය හා අවශ්‍යතා ආරක්ෂා කිරීම වෙනුවෙන්, බුෂ්ගේ මෙන්ම ඔබාමා පරිපාලනයේ ද සියලු ශක්තීන් වැයකර තිබේ. ඔබාමා යටතේ, රාජ්‍යය මත මූල්‍ය අවශ්‍යතාවන්ගේ ග‍්‍රහනය තව තවත් දැඩිවී ඇත. ව්‍යසනය වෙනුවෙන් මූල්‍ය ක්ෂේත‍්‍රයේ කිසිවෙකුත් වගකීමට යටත්කොට නැතුවා පමනක් නොව, ආර්ථික පරපුට්ටන්ගේ දේශපාලන බලය හා ධනය නව මුදුනකට නැඟී තිබේ. සැබවින්ම ඔබාමා යටතේ ධවල මන්දිරය, ගෝල්ඩ්මන් සැක්ස් හා ජේපී මෝගන් චේස් බැංකුවලට සේවය කරන ඒකාබද්ධ ශාඛා කාර්යාලයක් වැනි දෙයක් බවට පත්ව ඇත.
රිපබ්ලිකන් මෙන්ම ඩිමොක‍්‍රටික් පක්ෂය ද විකිනීමට තබා ඇති බවත් අන්ඩුව විසින් ගනු ලබන සියලු වැදගත් තීරන ධනවතුන් සඳහා වන බවත් මිලියන ගනන් කම්කරුවන් ඉවෙන් මෙන් වුවත් නිවැරදිව හඳුනා ගනිති. එසේ වුවත් නේෂන් කන්ඬායමට අවශ්‍ය වන්නේ ජනතාව මෙම දේශපාලන ක‍්‍රමය "ආදරයෙන් රැකබලා ගැනීම, පුලුල් කිරීම” හා "සැමරීම”ය. බිහිසුනු සමාජ අර්බුදයක් මධ්‍යයේ එවන් පනිවිඩයක් මුනගැසෙනු ඇත්තේ කවරාකාරයෙන් ද? පොදුවේ ඇමරිකානු දේශපාලනයේ ද විශේෂයෙන් ඔබාමා පරිපාලනයේ ද යශෝරාවය කෙරෙහි නේෂන් හා සැහැල්ලු මනසක් සහිත අනෙකුත් "ප‍්‍රගතිශීලී” ප‍්‍රකාශනයන් පුදකරන ප‍්‍රනාමය බිහිරි අලින්ට වීනා ගායනා කිරීමක් බවට පත්වීම පුදුමයක් විය හැකි ද?
ජනතාව අතර කෝපය හා අපේක්ෂා භංගය මාසයක් පාසා ඉහල යමින් තිබේ. ඔවුහු ගැඹුරුවන අර්බුදයෙන් ගැලවී ගැනීමේ මඟක් සොයමින් හා ඒ පිලිබඳව සාවධාන වෙති. එහෙත් කල යුත්තේ කුමක් ද, සටන්කල යුත්තේ කා සමග ද හා සියල්ලටත් වඩා වැදගත් ප‍්‍රශ්නය වන සටන් කරන්නේ කෙසේදැයි ඔවුන්ට කියන්නේ කවු ද? අධ්‍යක්ෂ ජෝන් ෆෝර්ඩ්ගේ කෝපාග්නියේ මුද්‍රික ඵල නමැති ස්ටේන්බෙක්ගේ කෘතියෙහි සිනමා අනුවර්තනය තුල වැදගත් අවස්ථාවක් නිරූපනය කෙරෙයි. සිය ජීවිත කාලය පුරාම තමා වැඩකල ඉඩමෙන් බලහත්කාරයෙන් නෙරපාහැරීමට මුහුනපාන වැරහැලි ඇඳුමෙන් සැරසුනු සියලු බලාපොරොත්තු සුන්ව ගිය දුප්පත් ගොවියෙක් "මා වෙඩි තැබිය යුත්තේ කාහටද?” යනුවෙන් විමසන අතර කෙලින් පිලිතුරක් ලබාගත නොහැකිවූ කල අසිහියෙන් බිම ඇද වැටෙයි.
මිලියන ගනනක් ජනතාව අද සිටින්නේ ඒ සමාන තත්වයකය. ඔවුන් ව්‍යසනයක තර්ජනයට මුහුන දෙයි. කිසිවෙකුටත් වෙඩි තැබීමට හෝ මරා දැමීමට ඔවුන්ට අවශ්‍ය නොකෙරේ. එහෙත් ඔවුන්ට වෙනසක් අවශ්‍යව ඇති අතර ඒ සඳහා සටන් කිරීමට සූදානම්ව ද සිටියි. එහෙත් සමස්ත සමාජ ව්‍යුහයම ද ඒ මත අටවා ඇති දේශපාලන පද්ධතිය ද විරෝධය පෑමේ හා ප‍්‍රගතිශීලී වෙනසක් සඳහා කිසිදු අවකාශයක් ලබාදෙන බවක් නොපෙනේ. ඇමරිකානු වැඩකරන ජනතාවගෙන් අති මහත් බහුතරයකට කවර දිනෙකවත් සංවිධානාත්මක සමාජ විරෝධතාවයේ එකදු ක‍්‍රියාවකට වත් සහභාගී වීමේ අවස්ථාව හිමිවී නැත.
1980ට පෙර, දැවැන්ත පෙලපාලි හා නාගරික නැඟිටීම් ද ඇතුලු ස්ට‍්‍රයික් සටන් හා අනෙකුත් ආකාරයේ ජනතා විරෝධතා ඇමරිකානු ජන ජීවිතයේ හුය පටෙහි කොටසක් විය. එක් හෝ තවත් ආකාරයකින් පන්ති අරගලය, සමාජ ප‍්‍රගමනයේ යන්තරය විය. 1980 ගනන් මුල ඇරිසෝනා පලාත, ෆෙල්ප්ස් ඩොජ් සමාගමට එරෙහි තඹ ආකර කම්කරුවන්ගේ වැඩ වර්ජනයෙහි ප‍්‍රධාන මධ්‍යස්ථානයක් වූ බව පෙන්වාදිය යුතුය. එම ස්ට‍්‍රයිකයේ එක් වැදගත් ස්ථානයක් වූයේ ටක්සොන්ට නුදුරුව පිහිටි අජෝ නගරයේ විශාල පතලකි. 1980 ගනන්වල අන් සියලු වර්ජනයන් මෙන්ම එය ද පාවාදෙනු ලැබිනි. 1930හා 1965 අතර කාලයේ මහා සමාජ අරගලයන් තුලින් ඉස්මතුවූ නිල වෘත්තීය සමිති හා සිවිල් අයිතිවාසිකම් සංවිධාන තිස් වසරක පමන කාලයක් තිස්සේ, මහජන නොසංසුන්තාවයේ සෑම ප‍්‍රකාශිත වීමක්ම අවුරා මැඬලීම සඳහා තෙමේම කැපවී ගත්හ. වැඩවර්ජන හා සමාජ විරෝධතාවයේ අන් සියලු රූපාකාරයක්ම අතුරුදහන් විය. එම කාලය තුලම, ඩිමොක‍්‍රටික් මෙන්ම රිපබ්ලිකානු පරිපාලනයන් ද ධනවතුන්ගේ බදු කපාහැර ඔවුන්ගේ දැවැන්ත පුද්ගලික වාසනාව ගොඩගසා ගැනීමට ඉඩකඩ සැලසීය.
එහෙත් නොසංසුන්තාව නොකඩවා වර්ධනය වන අතර පිටවීමට මඟක් සොයයි. සාමුහික සංවිධිත පන්ති අරගලයේ රූපාකාරයෙන් එය, ප‍්‍රගතිශීලී හා ශුභවාදී ප‍්‍රකාශනයක් සොයා ගැනීමට අසමත්වන තාක් දුරට, මංමුලාවට පත් පුද්ගලයින්ගේ බුරාපැනීමෙහි බිහිසුනු ප‍්‍රකාශනය අත්කර ගනියි. මනෝවිද්‍යාත්මක වශයෙන් බිඳවැටීමට පත්වූවන් පමනක් නොව සමාජීය කොටස්ම, ව්‍යාපාරික අරමුදල් හා ප‍්‍රසිද්ධිය ලබාගැනීමේ කිසිදු බාධාවක් නැති අන්ත දක්ෂිනාංශයේ වාචාලයින් කරා නැඹුරු වෙති.
ටක්සොන්හි සිදුවීම් අනතුරු ඇඟවීමකි. ඒකරාශිවී ඇති සමාජ නොසංසුන්තාවය ප‍්‍රකාශනය ලැබීමේ නව හා ප‍්‍රගතිශීලී මාවතක් සොයාගත යුතුය. එම මාවත විවරකරගත හැක්කේ සමාජවාදය සඳහා සටන හා කම්කරු පන්තියේ නව විප්ලවවාදී ව්‍යාපාරයක් ගෙඩනැඟීම තුලින් පමනි.
සමාජවාදී සමානතා පක්ෂය 2011 අපේ‍්‍රල් 9-10 දිනවල ඈන් ආබර්හි ප‍්‍රසිද්ධ සමුලුවක් පවත්වන්නේ මෙම අරගලය වර්ධනය කිරීමට අනුග‍්‍රහය දැක්වීමක් ලෙසය. ප‍්‍රසිද්ධ සමුලු, අපේ‍්‍රල් 16දා ලොස් ඇන්ජලීස්හිදී ද අපේ‍්‍රල් 30දා නිව් යෝර්ක්හිදී ද පැවැත්වෙනු ඇත. මෙම අරගලයට සම්බන්ධවීමට කැමති සියල්ලන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම වැදගත් අවස්ථාවන්ට සහභාගී වීම සඳහා සූදානම්වන ලෙසයි.
Follow us on