"බුද්ධිමත් සමලිංගිකයෙකුට ධනවාදය සහ සමාජවාදය පිලිබඳ මාර්ගෝපදේශනයක්”: ටෝනි කුෂ්නර් ‘වම’ ගරාවැටීම වෙත යොමුවෙයි
An Intelligent Homosexual’s Guide to Capitalism and Socialism: Tony Kushner looks at the decay of the “left”
ටෝනි කුෂ්නර් විසින් රචිත "බුද්ධිමත් සමලිංගිකයෙකුට ධනවාදය සහ සමාජවාදය පිලිබඳ මාර්ගෝපදේශනයක් - ශුද්ධ වූ ලියවිලි වලට ප්‍රවේශයක් ද සහිතය” නමැති නාට්‍යය මයිකල් ග්රිෆ්ගේ අධ්යක්ෂනයෙන් නිව්යෝක් මහජන රඟහලෙහි තුන් මසක රංග කාලය අවසන් කලේය. බොහෝ විට ධනාත්මක විචාරක ප්‍රතිචාර දිනාගත් මෙම නිර්මානය අසාමාන්‍ය වූ විෂය පථයක් සාකච්ඡාවට ගනී, එනම්, වෘත්තීය සමිතිවාදයෙහි අවගමනය සහ ඇමෙරිකානු කොමියුනිස්ටි පක්ෂය යි.
නාට්‍යයෙහි ප්‍රධාන චරිතය වන ගස් මාක්ඇන්ටෝනියෝ (මයිකල් ක්‍රිස්ටෝෆර්) විශ්‍රාමික බෘක්ලින් බත්තල්කරුවෙකු සහ එක්සත් ජනපද කොමියුනිස්ට් පක්ෂයෙහි දීර්ගකාලීන සාමාජිකයෙකු වන අතර, ඔහු තම දරුවන් තිදෙනාට - වැඩිමහල් පුත් පියේර් ලුයිගි (‘ෆිල්’), දියනිය මාරියා තෙරේසා (M.T. හෝ 'Empty') සහ බාල පුත් විටෝ (‘V’) හට 2007 සැප්තැම්බර් 15 - 17 යෙදෙන සති අන්තයෙහි තමා හමුවීමට එන්නැයි ආරාධනා කරයි. ඒ, සියදිවි නසා ගැනීම සඳහා වන තම සැලැස්මට ඔවුන්ගේ අනුමැතිය සහ ආධාරය ලබා ගැනීම පිනිසයි. නාට්‍යයෙහි වැඩි කොටසක් රඟ දැක්වෙන්නේ පරම්පරා ගනනක් පවුල සතුව පැවතුනු මාක්ඇන්ටෝනියෝගේ බ්‍රවුන්ස්ටෝන් නිවස තුලයි.
තමා ඇල්සයිමර්ස් රෝගයෙන් පෙලෙන්නේ යැයි ගස් චෝදනාත්මකව මැසිවිලි නගයි. නමුත් එය සැබෑවක් නොවන බව පේ‍්‍රක්ෂකාගාරයට මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් වැටහී යයි. ඇල්සයිමර්ස් මෙහිදී යොදා ගැනෙන්නේ ‘සමාජමය අමතකවීම’ පිලිබඳ සංකේතාත්මක සඳහනක් ලෙසිනි. යෝජනා කරනු ලබන දෙය නම්, මානව වර්ගයා තම මෑත කාලීන ඉතිහාසය අමතක කර ඇති බවයි.
ගස්, ඉතිහාසය සහ විශේෂයෙන් ම කම්කරු පන්තිය විසින් තමා තනිකරනු ලැබ ඇතැයි සිතයි. ඔහුට පෙනෙන පරිදි, ඔහු තමාගේ මුලු ජීවිත කාලයම සමාජවාදය සඳහා සටන වෙනුවෙන් කැප කොට ඇත. ගස් නිගමනය කොට ඇත්තේ, ඔහු තම පවුලේ සාමාජිකයන්ට ලාලසීය ලෙස පැහැදිලි කරන පරිදි, ධනපති ක්‍රමය පෙරලා දැමිය හැකි පන්තියක් තව දුරටත් නොමැති බවයි. ඒ නිසා, 72 හැවිරිදි වියේදී ඔහු එලඹෙන්නා වූ තීරනය වන්නේ, ජීවත් වීම සඳහා හේතුවක් තව දුරටත් ඇත්තේ නැත, යන්න යි.
මෙය, කල්පනා කිරීම සඳහා බොහෝ කරුනු සපයයි. කුෂ්නර් නිරන්තරව සුවිශේෂී දේශපාලනික සහ ඵෙතිහාසික තේමාවන් තම නිර්මාන සඳහා යොදා ගෙන ඇත. ගස් සහ ඔහුගේ පරම්පරාව පිලිබඳ රචකයාගේ නිරූපනය නාට්‍යයෙහි ඇති ශක්තිමත්ම සංඝටකයයි.
එනමුත්, සමහර දෙබස් ඛන්ඩ දැඩි හා කෘතිම ලෙස නිර්මිත යැයි හැඟෙයි. සමහරවිට පේ්රක්ෂකයන් බොහෝ දෙනෙකු නොදන්නා ඵෙතිහාසික හා දේශපාලනික කරුනු පිලිබඳ පසුබිම ඔවුන්ට විග්රහ කරන්නට යාම මෙයට හේතුවක් විය හැකිය. උදාහරනයක් ලෙස ගස් ගේ ඥාති සහෝදරයෙකු වශයෙන් වීටෝ මාක්ඇන්ටෝනියෝ අපට හදුන්වාදෙනු ලැබේ. මෙම වාසගම අහම්බයක් නොවේ. වීටෝ යනු නැගෙනහිර හාර්ලම් වලින් පැමිනි නිව්යෝක් නගර කොන්ග්රස් සභිකයෙකු වන අතර, ඔහු මියගියේ දැනට අවුරුදු 50 කට පෙර 1954 දීය. 1938 සිට 1950 දක්වා, ඔහුව පරාජය කිරීම සඳහා ඩෙමොක්රැටික්, රිපබ්ලිකන් සහ ලිබරල් පක්ෂ පොදු අපේක්ෂකයෙකු වටා ගොනුවන තුරු, මාක්ඇන්ටෝනියෝ ඇමරිකානු කම්කරු පක්ෂයෙහි (ලිබරල් සහ ස්ටැලින්වාදී සංධානය) කොන්ග්රස් මන්ඩල නියෝජිතයා විය. නාට්‍යයෙහි එක් චරිතයක් විස්තර කරන පරිදි, මාක්ඇන්ටෝනියෝ කොමියුනිස්ට් පක්ෂයෙහි සාමාජිකයෙකු නොවූ මුත්, ඔහු පක්ෂ පිලිවෙත අනුගමනය කලේය.
ගස් ගේ චරිතය බැරෑරුම් සහ පොහොසත් ලෙස ගොඩනගා ඇත. කුෂ්නර් මෙබඳු පුද්ගයන් හොදින් දන්නා බව යමෙකුට හැඟී යයි. ගස් ගේ ධෛර්යය සිඳී යාම, විඩාපත් වීම සහ කනස්සල්ල දෙස හෙලන ස්ථාවර බැල්ම විසිවෙනි සියවස පිලිබඳ වැදගත් කරුනු කිහිපයක් ඉස්මත්තට ගෙනෙයි. මෙම කරුනු මතු කර ඇති නිසා ම, ඒවා කෙතරම් ගැඹුරු සහ අවංක අයුරින් විමර්ශනය කොට ඇද්දැයි බැලීම සඳහා කුෂ්නර්ගේ නිර්මානය වඩාත් සමීපව විමසා බැලිය යුතුය.
සෝවියට් සංගමය සහ ඒ සමගින් සමාජවාදය පිලිබඳ තම බලාපොරොත්තු ද බිඳ විසුරුවමින් ඉතිහාසය මෙබඳු හැරවුමක් ම ගත්තේ ඇයි ද යන කාරනය ගස් තේරුම් නොගනී. ඇමරිකානු ස්ටැලින්වාදීන් ගැන සහ රුසියානු විප්ලවයෙහි නිලධාරිවාදී කුනුවී යාම පිලිබඳ ඔහු කිසියම් ම දෙයක් සඳහන් නොකරයි. ඔහු පවසන දෙයින් වැටහී යන්නේ, බොහෝ ඇමරිකානු ප්‍රාදේශීය රැඩිකල්වාදීන් මෙන්ම ඔහු ද ඵෙතිහාසික ප්‍රශ්න පිලිබඳව දැක්වූයේ ඉතා අඩු උනන්දුවක් බවයි. තමන් ම දකින පරිදි, කොමියුනිස්ට් පක්ෂයෙහි අනදාලත්වය පිලිබඳ ඔහු නරුමවාදී වන මුත්, ඒ එසේ වන්නේ ඇයි ද යන්න පිලිබඳව කිසිදු අන්තර්ඥානයක් ඔහු සතුව නොපවතී. එලඹුනු නිගමනය නම්, සමාජවාදය පරාජය වී ඇති අතර ධනවාදය, එය කොතරම් කුනු වී තිබුනත්, දිගින් දිගටම තම පාලනය පවත්වාගෙන යනු ඇත යන්නයි. ගස්, ඔහුගේ දරුවන්ට කෝපයෙන් චෝදනා කරන පරිදි, ඔහුව පරාජයෙහි හෙලනු ලැබූයේ කම්කරු පන්තිය විසිනි.
කුෂ්නර්, මෙම කරුනු වලදී කුමන ස්ථාවරයක සිටින්නේ ද යන්න කෘතිය තුලින් පැහැදිලි ලෙස ඉදිරිපත් නොකෙරෙයි. ඔහු තම ප්‍රධාන චරිතයෙහි ස්ථාවරය සමඟ, පැහැදිලිව එහි ස්වයං නාශක අවසන් නිගමනය සමග අනන්‍ය නොවන මුත්, යම් පාර්ශවීය ආකාරයකින්, එකඟ වන්නේ යැයි සැලකිය හැක.
මෙම කරුනු පරිපූර්න ලෙසම පැහැදිලි කිරීම හෝ වටහා ගැනීම නාට්‍ය රචකයාගේ අනිවාර්ය වගකීමක් නොවන්නාක් මෙන්ම, ස්ටැලින්වාදය පිලිබඳ නිවැරදි විශ්ලේෂනයක් පමනක් ම ප්‍රබල නාට්‍ය නිර්මානයකට ද මග නොපාදයි. කල යුත්ත ලෙස පවතින්නේ, අවශ්‍යයෙන්ම, මෙම දැවැන්ත ඵෙතිහාසික ප්‍රශ්න නාට්‍යමය ගැටුම සහ එහි චරිත වල ජීවිත තුලට විශ්වසනීය ලෙස පරිවර්තනය කර ගැනීම සඳහා සුදුසු මගක් සොයා ගැනීමයි. තවත් කිවයුතු කරුනක් නම් (කාල්) මාක්ස් නැවත පැහැදිලි කිරීමේදී නොසැලකිලිමත් බව හෝ ව්‍යාකූලත්වය කිසිවෙකුට සාර්ථක ප්‍රථිඵල ලඟා කර නොදුන් බවයි. ස්වකීය ස්ථීර හැඩයක් නොමැති ආකල්පයන් කුෂ්නර් ව දුර්වල ස්ථානයකට ඇද දමයි.
උනන්දුව දල්වන්නා වූ දෙබස් හුවමාරුවීම් කිහිපයකි. එක් අවස්ථාවක ගස් ඩෙමොක්රැටික් පක්ෂ දේශපාලනය තුල ක්‍රියාකාරී වන්නාවූත් කම්කරු කටයුතු පිලිබඳ නීතීඥවරියක වන්නාවූත් තම දියනිය හා වාදයක පැටලෙයි. ඔහුගේ ප්‍රධාන ප්රශ්නය වන්නේ දෘඩ භාවය යැයි ඇය පවසයි. ගස් ඩෙමොක්රැටික් ජෝන් කෙරීගේ 2004 ජනාධිපතිවරන ව්‍යාපාරය සඳහා ඇය ලබා දුන් සහයෝගය විවේචනය කරන විට, ඇ ඉතා සෘජු ලෙස ඔහුට මතක්කර දෙන්නේ කොමියුනිස්ට් පක්ෂයත් කෙරීට උදව් කල බවයි.
මේවා කිසිවක් තවදුරට වර්ධනය නොකෙරෙයි. ඒවා මතුකල සැනින්ම අත්හැර දමනු ලැබේ. කොමියුනිස්ට් පක්ෂය ජනාධිපති රූස්වෙල්ට්ට ලබා දුන් පරිපූර්න සහයෝගය හෝ රුසියානු සමූහාන්ඩුවේ නිලධාරී තන්ත්රයෙහි අවශ්‍යතා මත සමාජවාදය සඳහා කෙරුන කවර වර්ගයක හෝ අරගලයන් අත්හැර දැමීම පිලිබඳව කිසිදු සඳහනක් නොමැත. තම වැඩිහිටි වියෙන් බහුතර කාලයක් කොමියුනිස්ටි පක්ෂය තුල ගත කල ප්‍රධාන චරිතයක් සහිත නාට්‍යයක් මීට වැඩි යමක් ඉල්ලා සිටී.
තවත් අවස්ථාවක ගස්, තමා කා දමන්නාවූ පවතින අප්තෘප්තිමත් බවෙහි මූලය පිලිබඳ හෙලිදරව්වක මට්ටමේ සඳහනක් කරයි. ඔහු වෘත්තීය සමිති සාමාජිකයෙකු සහ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෙකු ලෙස තමාගේම ඉතිහාසය පිලිබඳ කතා කරන්නට පටන්ගනී. 1970 ගනන් වලදී නැව් වලට බඩු පැටවීම සහ ගොඩබෑම යාන්ත්‍රීකරනය වීම නිසා අවතැන් වූ නිව්යෝර්ක් බත්තල්කරුවන් අතර ගෙන ගිය අරගලය තුලින් සහතික කරන ලද වාර්ෂික ආදායම් ක්‍රමයක් දිනාගැනීමේ දී තමා ඉටුකල වැඩකොටස පිලිබඳ නිතර පාරම්බාන ගස්, ඔහුගේ වෘත්තීය සමිති සටන්වල හිනිපෙත්ත වූ එම ගිවිසුම අනෙක් අතට, අනෙකුත් සියලු වයසින් අඩු කම්කරුවන් හුදෙකලා කිරීමකට ලක් කලේ යැයි පිලිගනී. ඔවුන් කිසිවක් නොලබාම පාරට ඇද දමනු ලැබිනි. "සියල්ලන්ම නොව, සමහරෙකු පමනක්, ලැබීමට හිමිකම් කියනු ඇතැයි යන එකගතාවයට පැමිනි මොහොතේ සිට අපි සමිතිගත වීම අත්හැර දැමුවෙමු, පන්තියක් නියෝජනය කිරීම අත්හැර දැමුවෙමු, එතැන් පටන්... තමන් තමන් සඳහාම විය”. මෙම ප්‍රකාශය දෙවනි ලෝක යුද්ධයෙන් පසු සමයෙහි සමස්ථ වෘත්තීය සමිති ව්‍යාපාරයේම විකාශනය පිලිබඳ වැදගත් යමක් පවසයි.
නමුත්, සමස්ථයක් ලෙස, නාට්‍ය රචකයා මෙම ගැටලු නාට්‍යගත කිරීමේ දී දැඩි අවිනිශ්චිතභාවයක් පෙන්නුම් කරයි. කුෂ්නර් අදහස් පිලිබඳ නාට්‍යයක් (Play of Ideas) රචනා කොට ඇත. නමුත් එම අදහස් කොතරම් වැදගත් කොට සලකන්නේ ද, කොතරම් ප්‍රමානයකට ඒවා පේ්රක්ෂකයන් හා මුහුනට මුහුන සම්මුඛ කල යුතුද යන කරුනු වලදී ඔහු යම් ආකාරයකට පරෙස්සම් සහගත වෙයි. යමෙකුට හැඟෙන්නේ එක් ඉලක්ක ගත පේ්රක්ෂක කන්ඩායමක් වන්නේ 1960 පරම්පරාවෙන් විශාල කොටසක් විය හැකි බවත් එම බලාපොරොත්තු සිඳුනු, නරුමවාදී පෙර-රැඩිකලුන් බැරැරුම් ලෙස අභියෝගයට හෝ අපහාසයට ලක් නොකෙරෙන බවත් ඒ වෙනුවට ඔවුන් විඩාපත් එකඟත්වයක් පලකරමින් මඳක් ඔලුව සොලවනු ඇති බවත් ය. ගස් ද අයත් වන්නේ මෙම පසුකාලීන පරම්පරාවටයි. 1930 ගනන්වල කටුක අරගල තුලින් වෘත්තීය සමිති ගොඩනගා පසුව කොමියුනිස්ට් පක්ෂය විසින් ඛේදනීය ලෙස වැරදි උගන්වාගැනීමකට සහ පාවාදීමට ලක්කෙරුනු කම්කරුවන් පරම්පරාවට ඔහු අයත් නොවේ. ගස් ගේ පරම්පරාව, 1950 ගනන්වල ස්ටැලින්වාදයේ අර්බුදය මධ්‍යයේ වැඩිහිටි වියට එලඹ, පවත්නා තත්වයෙන් බැරෑරුම් නිගමන කිසිවක් උකහා නොගෙන ධනවාදය සමග සම්මුතියට ගිය අතර, ගස් වැනි සමහරක් එය එසේ නොවූයේ ය යන ව්‍යාජ රංගනයකට පිලිපන්නේය. ගස් ගේ දොම්නස විශාල වශයෙන් පදනම් වී ඇත්තේ අධිෂ්ඨානශීලී නොතකා හැරීමක් මතයි. එය දේශපාලන වංචනිකත්වය පදනම් කරගත් ජීවිතයක අවසන් අන්තයයි.
නාට්‍යය තුල ගස් ගේ දරුවන්ගේ ක්‍රියාකාරිත්වය වෙනත් ගැටලු මතුකරයි. කොමියුනිස්ට් පක්ෂයෙහි ක්‍රියාකාරීව සිටි පියෙකු විසින් ඔවුන් ඇති දැඩි කර ගැනුනි. පවුලේ බාලයා විටෝ (ස්ටීවන් පැස්කුවල්) දේශපාලනයෙන් බොහෝ දුරට ආවරනය වී සිටින අතර, තම පියාගේ සම්ප්‍රදායන් සහ මත ප්‍රතික්ෂේප කරයි. වැඩිමලා, ෆිල් (ස්ටීවන් ස්පිනෙල්ලා) ඉතිහාස ගුරුවරයෙකු සහ කලකිරුනු ශාස්ත්‍රඥයෙක් වන අතර ලමුන් තිදෙනාගෙන්ම පියාගේ ස්ථාවරයට වඩාත්ම සමීප වන්නේ ඔහු මුත්, සමස්ථ තත්වය පිලිබඳව ම ඔහුට කීමට ඇත්තේ සාපේක්ෂව සුලු දෙයක් පමනි. ඔහු අවුරුදු ගනනාවක සිට 1934 දී සිදුවුනු සැන්ෆ්රැන්සිස්කෝ බත්තල්කරුවන්ගේ වැඩවර්ජනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධි නිබන්ධනයක වැඩකටයුතු වල නිග්මන් ව සිටී. ෆිල් සමලිංගිකයෙකු වන අතර, ඔහුගේ දිගුකාලීන සහකරු වන පෝල් (කේ. ටොඩ් ෆ්රීමන්) කලු ජාතික දේවධර්ම වාදය පිලිබඳ මහාචාර්ය වරයෙකි.
පවුලේ අතරමැදි දරුවා වන ‘එම්ප්ටි’ (ලින්ඩා එමන්ඩ්) සාත්තු සේවිකාවක් ලෙස සේවය කොට පසුව කම්කරු කටයුතු පිලිබඳ නීතීඥවරියක් බවට පත්වන අතර යම් ආකාරයක රජයට සම්බන්ධ රැකියාවකට හිමිකම් කියයි. ඇයගේ සමලිංගික පෙම්වතිය දේවධර්මවාදය හදාරන අතර, විය හැකි පරිදි, ඇගේ නිබන්ධනයෙහි උපදේශකවරයා වන්නේ ෆිල්ගේ සහකරු පෝල් ය.
රංගන ශිල්පීන් ඉහල මට්ටමේ රංගනයන් ඉදිරිපත් කලත්, පැවසිය යුතු දෙයක් නම්, අන් චරිත මාක්ඇන්ටෝනියෝගේ මට්ටමට ම ජීවමාන නොවන බවයි. ඔවුන් ගතකල හෝ ගතකරන ජීවිත පිලිබඳ අප දැනගන්නේ ඉතා ස්වල්පයක් පමනි. අප දකින දේ - ෆිල් තම සොහොයුරිය කෘතිම දරු උපතක් සඳහා වෙන්කොට තබන ලද ඩොලර් 30,000 ක මුදලක් සොරකම් කරන අසාමාන්‍ය උප කථාවක් ද මෙයට ඇතුලත් වේ - විටෙක විශ්වසනීයත්වයෙහි සීමා වල නම්‍යතාවය උරගා බලයි.
සාමාජවාදී විශ්වාසයන් තමා තුල පවතින බව නොයෙක් වර ප්රකාශකල කුෂ්නර් වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ‘සමලිංගික අත්දැකීම’ ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන ප්රපංචය පිලිබඳව ඔහු දිගින් දිගටම ලියන බැවිනි. සමලිංගික අනන්‍යතාවක් සහිත, ජනාදරයට පත්, පලමු නාට්‍ය රචකයා පැහැදිලිවම කුෂ්නර් නොවන මුත්, පසුගිය අවුරුදු 40 තුල සිදුවුනු සමලිංගිකයන් මුහුන පෑ බොහෝ බාධක සහ වෙනස්කම් කිරීම් වල ක්රමික ලිහිල් වීම මධ්‍යයයේ මෝරා වැඩුනු පරම්පරාවක ඔහු නිසැකවම ප්‍රමුඛයා වන්නේය.
මෙම පසුබිම තුල, කුෂ්නර්ගේ නිර්මාන නිරූපනය කරන්නේ 1960 සහ 70 දශක වල විරෝධතා ව්‍යාපාර වල පරස්පර විරෝධී සහ ව්‍යාකූල වූ උරුමයයි. එම මුල් කාලපරිච්ඡේදයෙහි ව්‍යාකූල කෙරුනු බොහෝ දෑ පසුව දැඩි ප්රතිගාමීත්වයන් බවට පෙරලුනේ, ඒවා ස්වයං - නාභිගත අනන්‍යතා දේශපාලන රූපාකාරයන් බවට හැරුනු විටයි. ප්රජාතන්ත්රීය අයිතීන් පිලිබඳ යථාවාදී, වැදගත් ගැටලු කම්කරු පන්තිය සමස්ථයක් ලෙස කරන සටන තුල ස්ථානගත කිරීම වෙනුවට ජනවර්ගය, සමාජ ලිංගිකත්වය සහ ලිංගික හැඩගැස්ම යන කරුනු යොදා ගැනුනේ කම්කරු පන්තියට සතුරු මධ්‍යම පාන්තික තට්ටු බිහිකර ගැනීම සඳහායි.
කුෂ්නර් මෙම මධ්‍යම පාන්තික දේශපාලනයේ වඩාත්ම සෘජු රූපාකාර සමග කිසිදු සම්මුතියක් ප්‍රකාශ කොට නැතත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කොට ද නැත. කුෂ්නර් නිසැකයෙන්ම හැඩගැන්වුනු සහ බලපෑමට ලක්වුනු මෑත දශක කිහිපයේ දී අනන්‍යතා දේශපාලනය වර්ධනය කරන ලද්දේ අසමානතාවය සහ වරප්රසාදිත බව පවත්වාගෙන යන තන්ත්රයක් සඳහා සහයෝගය ලබාදෙන්නා වූ සමාජ සහ දේශපාලනික පදනමක් සපයා දීම සඳහායි.
"බුද්ධිමත් සමලිංගිකයෙකුට ධනවාදය සහ සමාජවාදය පිලිබඳ මාර්ගෝපදේශනයක්” පේ්රක්ෂකාගාර කිහිපයක් ඉලක්ක කොට ගත්තක් විය හැකිය. එම කාරනය පිලිබඳව දොස් පැවරිය නොහැකි මුත්, ගැටලුව වන්නේ නාට්‍යයෙහි ප්‍රධාන මූලයන් දෙක ඒවා ඉදිරිපත් කර ඇති මට්ටමේ තරමටම ඒකාත්මික නොවීමයි. ගස් ගේ දරුවන් කිසිවිටෙක පරිපූර්න ලෙස සජීවී නොවෙයි. පෙනී යන පරිදි, දරුවන් හැසිරෙන්නේ නාට්‍යමය මෙවලම් ලෙසයි. ඔවුන් තුලින්, ගස් සහ ඔහුගේ දරුවන් අතර ඇති විශාල පරතරය නිරූපනය වන මුත්, එම ජීවිත මතට පූර්න ආලෝකයක් නොවැටෙයි. නාට්‍ය රචකයාගේ සවිඥානක අරමුන කුමක් වූවත්, පේ‍්‍රක්ෂකාගාරයෙන් කොටසක් ෆිල් හා එම්ප්ට් තුලින් තමන්වම දකිනු ඇති අතර, එතැනින් එය අවසන් වනු ඇත.
ඉඟිකිරීම් කිහිපයකි. නමුත් ඒවා කිසිවක් වර්ධනය කොට නැත. ‘ෆිල්’ සහ ‘එම්ප්ට්’ යන නම් නිසැක ලෙසම භාවිතා කොට ඇත්තේ ඔවුන්ගේ ජීවිතවල පවතින යම් හිස් සහ අතෘප්තිකර ස්වභාවයන් ඇඟවීම පිනිසයි. ඔවුන්ගේ පෙම්වතුන් දේවධර්මවාදීන් ය යන කාරනයම සංඥා කරන්නේ ‘අවසන් වූ සමාජවාදයෙන්’ පසු ඉදිරියට ඇදෙන ජීවිත තුල නැතිවී ගිය ‘විශ්වාසයටයි’. (බොහෝ විට, නාට්‍යයෙහි නමේ අග කොටස වන "ශුද්ධ වූ ලියවිලි වලට ප්‍රවේශයක් ද සහිතය” යන්න - මෙය මේරි බේකර් එඩී ගේ ජනප්‍රියවාදී ක්‍රිස්තියානි විද්‍යාව පිලිබඳ මුග්ධ දෙසාබෑම් වලට ඉඟිකිරීමකි - මෙම කරුන හා තවත් ආකාරයකින් බැඳෙයි) ෆිල් සහ එම්ප්ට් පියාගේ සිය දිවි නසාගැනීමේ සැලැස්මට විරුද්ධ වෙයි, නමුත් ඔහු අධෛර්යමත් කිරීම සඳහා ඔවුන්ට ඇත්තේ තර්ක සුලු ප්‍රමානයක් පමනි.
කුෂ්නර්ගේ "ඇමරිකාවේ දේව දූතයෝ” (Angels of America) නාට්‍යය රොනල්ඩ් රේගන් යුගයෙහි දේශපාලන ප්‍රශ්න සමග පොරබැදුවේය. එම නාට්‍යය අවසන් වූයේ, ඉතා අනාවරනාත්මකව, නව වාම පුනර්ජීවනයක පෙරගමන්කරු ලෙස මිහායෙල් ගොර්බචෝව් ට පිරිනැමුනු පූර්න ප්රශංසාවකිනි. වසර 20 කට පසු, අද, කුෂ්නර් ගොර්බචෝව් ගැන තව දුරටත් කථා නොකරන අතර, පෙනෙන පරිදි බොහෝ විට ප්‍රකාශන ගත කරන්නේ අවුල් සහගත බවයි.
නාට්‍යයෙහි නම, ජෝර්ජ් බර්නාඩ් ෂෝ 1928 දී රචනා කල නිබන්ධනයට ("බුද්ධිමත් කාන්තාවකට සමාජවාදය සහ ධනවාදය පිලිබඳ මාර්ගෝපදේශනයක්” - An Intelligent Women’s Guide to Socialism and Capitalism) කෙරුනු උපහාරයක් ලෙස ද සැලකිය හැක. කුෂ්නර් අදහස් පිලිබඳ නාට්‍යයෙහි (Play of Ideas) වර්ධනයට ෂෝ දැක්වූ දායකත්වයට තුති පුදන අතර, බර්නාඩ් ෂෝ ගේ ෆේබියන් සමාජවාදී දේශපාලනයට යම් ආකාරයක සහයෝගීතාවයක් ප්‍රකාශ කරන්නේ යැයි හැඟෙයි.
නාට්‍යයේ අවසාන මිනිත්තු කිහිපයේ දී, කුෂ්නර්, සෘජු නොවූ ආකාරයකින් තම ලංසුව තබන අතර, අනාගත බලාපොරොත්තු පිලිබඳ යම් ඉඟියක් ද බලාදෙයි. ගස්, දශක ගනනාවකට පෙර තමා හා සේවයේ නියුතු බත්තල්කරුවෙකුගේ වැන්දඹුව හා සංවාදයකට එලඹෙයි. මෙම කාන්තාව, තම පවුල ඇතුලුව, අව-කාර්මීකකරනය ආරම්භයේ දී රැකියා අහිමිවීමෙන් බත්තල්කරුවන් සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස් මුහුන පෑ කම්කටොලු ඉතා ප්‍රබල ලෙස විස්තර කරයි. මේ කාන්තාව ගස්ට නැවත හමුවන්නේ කුමන කොන්දේසි යටතේ ද ? අපට හැඟී යන්නේ, ඇය මේ දිනවල මිනිසුන්ට තම ජීවිත සාමකාමීව අවසන් කර ගැනීම සඳහා උපකාර කරමින් යන බවයි.
උත්ප්රාසීය ලෙස, මෙම නාට්‍යයට පාදක වන්නේ 2007 වර්ෂයයි. එනම්, අවුරුදු 80 කට පසු ධනපති ක්රමයෙහි පැනනැගුනු විශාලතම ගෝලීය අර්බුදයෙහි මුව විට අද්දරයි. කුෂ්නර්ගේ නාට්‍යය නිව්යෝර්ක් නුවර රඟ දැක්වීම ආරම්භ වන විට දැවැන්ත දේශපාලන අරගල වල නැවත මතුවීමක නොවරදින සුලු සලකුනු ලෝකය පුරාම ඇතිවෙමින් තිබුනි. සමකාලීන නාට්‍ය රචකයන් අතරෙහි වඩාත්ම දේශපාලනික වූ මෙම රචකයා එලඹෙන්නා වූ මෙම වෙනස්කම් වලට මුහුන දෙන්නේ කෙසේ දැයි බලා සිටිය යුතුය. නමුත්, ඔහුගේ නවතම නාට්‍යය ඒ පිලිබඳ යම් සලකුනක් වන්නේ නම්, ඒ ගැන කිව හැක්කේ, ඔහු දැඩි පුදුමයට පත්වීම් ගනනාවක් සඳහා නියමිතව සිටින බවයි.
Follow us on