දොම්පේ පොලිස් ඝාතනයට විරෝධය පෑ ගම්වාසින්ට එරෙහිව රාජ්‍ය දඩයමක්
By Kalpa Fernando and W.A. Sunil , 29 October 2011
දොම්පේ පොලිස් අත්අඩංගුවේදී තරුනයෙකු මෘග ලෙස මරාදැමීමට එරෙහිව විරෝධය පෑ ගම්වැසියන්ට විරුද්ධව ආන්ඩුව හා පොලීසිය පුලුල් දඩයමක් දියත් කොට තිබේ.
මියගිය ගයාන් රශාංග 28 වියැති එක් දරු පියෙකි. සොරකමක් ගැන සැකපිට දොම්පේ පොලීසිය විසින් සැප්තැම්බර් 29 වෙනි දා සවස අත්අඩංගුවට ගනු ලැබූ රශාංග එදින රාති්රයෙහි මරා දැමුනි. එයින් කුපිත වූ ගම්මු පසු දා පොලීසිය වටකොට එහි ගොඩනැගිල්ලට හා වාහනවලට පහර දී ගිනි තැබූ හ.
මහජනතාව නීතිය තමන්ගේ අතට නො ගත යුතු යැයි තර්ජනය කල ආන්ඩුව අත්තනෝමතික පොලිස් ඝාතනයට විරෝධය පෑ ගම්මුන්ට එරෙහිව දැන් රුදුරු දඩයමක් මුදා හැර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔක්තෝබර් 13 දා මාධ්‍ය ආයතන ප්‍රධානින් සමග පැවති සාකච්ඡාවේදී මෙම පහර දීමට සම්බන්ධ පුද්ගලයන් "කසිප්පුකාරයන්” සහ "කුඩුකාරයන්” ලෙස හංවඩු ගැසුවේ ගම්මුන්ට එරෙහිව මර්දනය උසිගැන්වීමේ දුෂ්ට අරමුන ඇතිව ය.
පසුගිය දිනවල රහස් පොලිසිය විසින් ගම්වැසියන් 39ක් අත්අඩංගුවට ගෙන ඉන් 26ක් ඔක්තෝබර් 10 දා ගම්පහ උසාවියට ද ඉතිරි 13 පූගොඩ උසාවියට ද ඉදිරිපත් කෙරුනි.
පලමු 26 දෙනා අත්අඩංගුවට ගත්තේ පොලිස් නිලධාරීන්ට පහර දීම, පොලිසියේ සහ පුද්ගලික දේපලවලට හානි කිරීම, දොම්පේ රෝහලේ මෘත ශරීරාගාරයේ සේවකයන්ට බලහත්කාරකම් පෑම හා එහි තිබූ රශාංගගේ මල සිරුර පැහැර ගැනීම සම්බන්ධ ව සැකපිට බව පොලීසිය පැවසී ය. පහරදීම නිසා පොලිසියට හා දේපලවලට සිදු වී ඇති හානිය රුපියල් කෝටිය ඉක්මවන බව ඔවුහු කියති.
ගම්පහ උසාවියේ 24 දා පැවති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී 26 දෙනාගෙන් 5 දෙනෙකු සාක්ෂිකරුවන් විසින් හඳුනාගත් අතර ඔවුන් නොවැම්බර් 01 දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කලේය. ඉතිරි සැකකරුවන් ඔක්තෝබර් 28 හා නොවැම්බර් 01 දින යලි හඳුනා ගැනීමේ පෙරෙට්ටුවලට ඉදිරිපත් කිරීමට නියමිත ය.
දොම්පේ පොලිසියට පහර දුන් දිනයේ පොලිස් නිලධාරින් පිරිසකට රැකවරනය දුන් තිත්තපත්තර සමනබැද්ද ප්‍රදේශයේ නිවසකට පහර දී අලාබහානි සිදු කිරීම හා දේපල කොල්ල කෑම පිලිබඳව සැක පිට සෙසු අය අත්අඩංගුවට ගත් බව පොලිසිය පූගොඩ උසාවියට කියා සිටියේ ය. ඔවුන් ඔක්තෝබර් 21 දා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කල අතර ඉන් හඳුනා ගත් හතර දෙනෙකු නොවැම්බර් 4 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කල අතර ඉතිරි 10 දෙනා රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරියේය.
පොලීසිය සිය දඩයම තව දුරටත් පුලුල් කරමින් සිටී. තවත් "සැකකරුවන්” අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂන සිදු කෙරෙමින් පවතින බව ප්‍රකාශ කල පොලීසිය ඒ සඳහා සිද්ධිය වාර්තා කල රූපවාහිනී ආයතනවල සංස්කරනය නොකල වීඩියෝ පට තමන්ට ලබා දෙන මෙන් නියෝග කරන ලෙස අධිකරනයෙන් ඉල්ලා සිටියේ ය.
අත්අඩංගුවට ගෙන ඇති අයගෙන් බහුතරය තරුනයෝ ය. පොලීසියට පහර දුන්නේ "කසිප්පුකාරයන්” හා "කුඩුකාරයන්” බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ අවලාද නැගුවේ ය. එය හෙලා දුටු ගම්මු උද්ඝෝෂනයේ යෙදුනේ ත්‍රී රෝද රථ රියදුරන්, කම්කරුවන්, එදිනෙදා කුලී වැඩවල නිරතවන්නන් හා සුලු ගොවීන් බව කියා සිටියෝය. සමහරු රැකියා විරහිත තරුනයන් ය. කාන්තාවන් පිරිසක් ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය කැසකවන බව ගම්මු පැවසූහ. අත්අඩංගුවට ගෙන සිටින බහුතරය ඔවුන්ගේ පවුල් නඩත්තු කලවුන් හෙයින් එම පවුල් බරපතල ආර්ථික ගැටලුවලට මේවන විට මුහුන දී සිටිති.
බියගම නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවකු වන සමිත් නිරංගත් ඔහුගේ බාල සොහොයුරාත් අත්අඩංගුවට ගත් අය අතර සිටිති. ඔවුන්ගේ මව වන 41 හැවිරිදි නයනා ශිරෝමනී ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසුවා ය. "අපි දාලා තිබුන පැමිනිල්ලකට ලොකු පුතයි (සමිත්) මමයි එදා පොලිසියට ගියා. අපි යනකොට එතන කලබල කාරී ගතියක් තිබුනා. ට්‍රොලියක් උඩ මිනියක් තියල තිබුනා. මමයි පුතයි දෙන්නත් එතනට ගියා ඒ කවුද බලන්න. පවුලේ කට්ටිය රශාංග ගේ මිනිය බදාගෙන අඬමින් හිටිය. පැමිනිල්ල විභාග නොවෙන නිසා අපි ගෙදර ආවා. ගමේ අය පොලිසියට ගහල තියෙන්නේ ඊට පස්සේ.”
ඇගේ දරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ ඔක්තෝබර් 9 දා අලුයම ය. "ලමයි ගෙනියන්නේ ඇයි ඇහැව්වම ඒ ගොල්ල පොලිසියට ගහන පොටෝවල හිටිය නිසා කිව්වා. සමහර විට අපි මිනිය බලන වෙලාවේ ෆොටෝවලට අහුවෙන්න ඇති. පොලිසියට ගහපු එකට එයා සම්බන්ධ නැති බව මට සහතිකයි.”
සහෝදරියන් දෙදෙනෙකුගෙන් ද යුක්ත පවුල නඩත්තු කෙරුනේ සමිත් විසිනි. "එයාගේ රස්සාවත් නැතිවෙයි. අපි හරිම අසරන තත්වෙකට වැටෙනවා. මගේ ලොකු දුවගේ මහත්තය හමුදාවේ. එයා 2009 අපේ‍්‍රල් මාසේ පුදුකුඩුඉරුප්පුවෙදි මැරුනා. දැන් ලොකු දුවත් එයාගේ ලමය එක්ක අපි ලඟ ඉන්නේ.”
හල්වත හැලුම්මහර පදිංචි 61 හැවිරිදි කේ. ඒ. දයාවතීගේ පුත් ජී. චමින්ද ප්‍රියංකර ද අත්අඩංගුවට ගත් අයෙකි. ඔහු දෙදරු පියෙකි. මුලු පවුලම නඩත්තු කලේ ත්‍රීවීල් රථ රියදුරෙකු ලෙස පි්රයංකරට ලැබුනු සුලු දෛනික ආදායමිනි. ගම්මු පොලීසියට පහර දෙන අවස්ථාවේ ඔහු සිට ඇත්තේ පිලිකා රෝගයෙන් මිය ගිය නැන්දම්මාගේ අවසන් කටයුතු සූදානම් කෙරෙමින් තිබූ දොම්පේ පිහිටි බිරිඳගේ නිවසේ ය. දයාවතී අප සමග මෙසේ පැවසුවාය: "මේ දුක අපි කොහොමද දරා ගන්නේ. මමත් ලෙඩෙක්. අක්මාවේ ගෙඩි දෙකක් තියෙනවා. පුතාට අවුරුදු දෙකහමාරයි එයාගේ තාත්තා නැතිවෙන කොට. ගෙවල්වල රක්ෂාව කරලා මම දරුවෝ ලොකු මහත් කලේ. පින් පඩි, සමෘධි මොකුත් මට ලැබෙන්නේ නැහැ.
"අපි ඡන්දෙ දුන්නේ මේ ආන්ඩුවට. ආන්ඩුව දොම්පේ ආසනේ දිනුවේ මේ ගම්වල මිනිසුන්ගේ ඡන්දවලින්. දැන් ජනාධිපති තුමාට ඒ මිනිස්සු පෙනෙන්නේ කසිප්පු කාරයෝ, කුඩු කාරයෝ විදිහට. ආයෙත් නම් ආන්ඩුවට ඡන්දෙ දෙන්ඩ අපේ බලාපොරොත්තුවක් නැහැ.”
අත්අඩංගුවට ගැනුනු 24 හැවිරිදි ධනුෂ්ක නුවන් කුමාර පුද්ගලික බස් රථ රියදුරෙකි. ඔහුගේ පියා මිය ගොසිනි. මව වන 50 හැවිරිදි එච්. ඒ. කුසුමාවතී මෙසේ පැවසුවාය: "පුතා එදා බස් එකේ වැඩකරපු බව ගමම දන්නවා. සෙනසුරාදා (ඔක්තෝබර් 8) ලොරියකින් ආපු සිවිල් ඇඳ ගත්තු අය පුතා අරගෙන ගියා. පොලිසියේදී එයාට ගහල තියෙනවා, සිද්ධියට සම්බන්ද අයගේ නම් අහල. පුතා තමයි මාව නඩත්තු කලේ. මට දැන් කිසිම පිලිසරනක් නැහැ. ඔය අත්අඩංගුවට ගත්තු ලමයි කාටවත් ස්ථිර රක්ෂාවක් නැහැ. හෙන ගහන්න ඕන මේ කරන අපරාධවලට.
"පුතා බලන්න මහර බන්ධනාගාරෙට මම ගියා. මිනිත්තු 5 යි දුන්නේ. මගේ දරුවා දවස් පහක්ම ඇඳගෙන හිටියේ එකම ඇඳුම. විෂබීජ නිසා ඩෙටොල් එකක් අරගෙන ගියා. ඒකවත් දෙන්න දුන්නේ නැහැ. අඩුම තරමේ වතුර බෝතලයක්වත් දෙන්න දුන්නේ නැහැ.”
රශාංග ගේ මරනය පොලිසිය හා ආරක්ෂක හමුදා විසින් කරන අත්නෝමතික ඝාතනවල පලමු හෝ අවසාන සිද්ධිය නොවේ. ආසියානු මානව හිමිකම් කොමිසමේ වාර්තාවලට අනුව 2010 වසරේ එවන් ඝාතන 10 ක් හා මේ වසරේ දැනටමත් 6 ක් සිදු වී තිබේ. රශාංග පොලිස් ජීප් රියෙන් පැනීම නිසා ඔහුගේ මරනය සිදු වූ බව කියාපෑමට උත්සාහ කල ආකාරයට අත්තනෝමතික පොලිස් ඝාතනවලට බොරු හේතු ගෙතීම සාමාන්‍ය චාරිත්‍රය බවට පත්ව ඇත. අධිකරනය හෝ නීතිපති විසින් ඒවා අභියෝගයට ලක් නො කෙරේ.
මෙම අත්තනෝමතික පොලිස් ඝාතන කෙරෙහි මහජන විරෝධය ප්රචන්ඩ මට්ටමකින් පුපුරායාමත් ධනේශ්වර අධිකරනය සම්බන්ධයෙන් විස්වාශභංගයත් තුල පොලීසිය විවේචනය කරන අතර ම අත්තනෝමතික ඝාතන පිටුපසින් පවතින සැබෑ හේතු වසන් කිරීමට දේශපාලනඥයන්, මාධ්‍ය හා ඊනියා බුද්ධිමතුන් කන්ඩායමක් පෙරට පැමින සිටී. ඔවුන්ට අනුව මෙම ඝාතනවලට හේතු වී ඇත්තේ පොලීසිය "නීතිය නොදන්නාකම, නුසුදුස්සන් බඳවා ගැනීම හා පොලීසීය තුල මානව සංහිඳියාවක් නැතිකම" ය.
එහෙත් සැබෑ හේතුව නම් ධනේශ්වර මර්දන යාන්ත්රනයේ කොටසක් වන පොලීසිය ධනපති රාජ්‍යයේ ප්රජාතන්ත්ර විරෝධී හා පීඩාකාරී පිලිවෙත්වලට එරෙහිව පැන නැගුන හා වර්ධනය වන මහජන විරුද්ධත්වය මෘග ලෙස තලා දැමීමේ විවෘත මර්දන උපකරනයක් ලෙස රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉස්මත්තට ඒම ය.
ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ප්රහාරයන්ට හා ප්රජාතන්ත්ර අයිතීන් මර්දනය කිරීමට එරෙහිව ආන්ඩුව කෙරෙහි මහජන අතෘප්තිය සහ වෛරය වඩ වඩා ගැඹුරු වෙමින් තිබේ. දොම්පේ පොලීසියට එල්ල වූ ප්‍රහාරය එහි එක් ප්රකාශනයක් පමනි. ආන්ඩුව මෙන්ම විපක්ෂය ද මහජනයා තුල වර්ධනය වන ප්‍රහාරාත්මක අතෘප්තිය හා අධිකරනය හා පාර්ලිමේන්තුව ඇතුලු ධනේශ්වර රාජ්‍ය උපකරන කෙරෙහි විස්වාශභංගය ගැන තැති ගැනීමට පත්ව සිටී. මහජනයා "නීතිය අතට නො ගත යුතු යැයි” ද එවැන්නන්ට විරුද්ධව "නීතිය තදින් ක්‍රියාත්මක කරන” බවට ද ආන්ඩුව පුන පුනා ප්‍රකාශ කරයි. "මෙහෙම ගියොත් පාර්ලිමේන්තුවට විරුද්ධව මහජනයා පෙල ගැසේවි” යයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා ඇත. මේ ප්‍රකාශ ධනපති දේශපාලන සංස්ථාපිතයේ භීතියෙහි ප්රකාශනයකි.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හා හදිසි නීතිය ඇතුලු ප්රජාතන්ත්ර විරෝධී මර්දන නීති යටතේ නීතිමය වගකීමකින් තොරව හිතුමතේ ක්‍රියා කිරීමේ නිදහස් වර පත්‍රයක් ආරක්ෂක හමුදාවලට හා පොලීසියට ලැබුනි. 2009 මැයි මාසයේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය පරාජය කරමින් කෙලවර වූ සිවිල් යුද්ධය තුල පෙරට ගෙන ආ මර්දන විධික්රම කම්කරුවන්ට තරුනයන්ට හා දුගීන්ට එරෙහිව යොදවනු ලබන බවට සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු ඇඟවීය. එම පොලිස් මිලිටරි විධික්රම දැන් මෙලෙස මුදා හරින්ට පටන් ගෙන ඇත.
ගැඹුරු වන ලෝක ආර්ථික අර්බුදයේ කොටසක් ලෙස ආන්ඩුව මුහුන දී ඇති තීව්ර වන ආර්ථික අර්බුදය යටතේ එය විසින් ක්‍රියාවට දමනු ලබන වැටුප් කප්පාදු කිරීම, බඩුමිල ඉහල දැමීම හා මහජන සුබසාදන කප්පාදු කිරීමට එරෙහිව මහජන අතෘප්තිය හා වෛරය වැඩෙන තතු තුල ආන්ඩුව යෙදී සිටින්නේ මෙම මර්දන යන්ත්‍රය වඩ වඩා ශක්තිමත් හා මුවහත් කිරීමක ය.
දොම්පේ අත්තනෝමතික පොලිස් ඝාතනයට විරෝධය පෑ ගම්වාසින්ට එරෙහිව දිගේලි කර ඇති රාජ්‍ය-පොලිස් දඩයම ප්රජාතන්ත්ර අයිතීන් හා ජීවන තත්වයන් රැක ගැනීමේ අරගලවලට එලඹෙන්නා වූ වැඩ කරන ජනතාවට කෙරෙන බරපතල අනතුරු ඇඟවීමක් ලෙස ගතයුතු ය.
Follow us on