පලස්තීනය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය: ”සාම ක්‍රියාවලියේ” ආවෘත අන්තය
Palestine and the UN: The dead-end of the “peace process”
පලස්තීන අධිකාරියේ සභාපති මහ්මූද් අබ්බාස් සිකුරාදා එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලයේ උද්යෝගිමත් පිලිගැනීමට ලක් විය. මහා මන්ඩල සාමාජිකයන් සිය අසුන්වලින් නැගී සිට අත්පොලසන් දෙමින් අබ්බාස් සාදරයෙන් පිලිගත්තේ පලස්තීන රාජ්‍යය පිලිගන්නා ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන් වෙත අයැදුම්පතක් ඉදිරිපත් කිරීම නිවේදනය කරමින් ඔහු කල කතාව වෙනුවෙනි.
ඊස්රායල වාඩි ලා ගැනීමෙන් නිර්මිත මරන, විනාශය සහ අවමානය විස්තර කල ඡේද කිහිපයක් කතාව තුල අඩංගු වුනු නමුත් විදේශ ඇමතිවරුන්ගෙන්, රාජ්‍ය නායකයන්ගෙන් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ගෙන් සමන්විත වූ අබ්බාස්ගේ ශ්‍රාවක පිරිස දශක හයක් තිස්සේ පලස්තීන ජනයා පත්ව සිටින අවාසනාවන්ත තත්ත්වය නොදැන සිටියේ යැයි කිව නොහැකි ය. ඊස්රායල වාඩි ලා ගැනීමට සහාය දී තිබෙන්නේ ඔවුන්ගේ ආන්ඩුවලින්-විශේෂයෙන් ම අරාබි ලෝකයේ ආන්ඩුවලින්-ස්වල්පයක් පමනක් නො වේ.
ඇතැම් විට උද්යෝගිමත් ප්‍රතිචාරය පෙලඹවීමෙහි ලා වැඩි වශයෙන් හේතු වන්නට ඇත්තේ වොෂින්ටනය කෙරෙහි පවතින සතුරුකම යි. පලස්තීන රාජ්‍යය පිලිගැනීම ව්‍යර්ථ කිරීම සඳහා ආරක්ෂක මන්ඩලයේ දී තම නිෂේධ බලය යොදා ගන්නා බවට වොෂින්ටනය කල් තියා ම නිවේදනය කර තිබින.
ඡන්දය දීමෙන් වැලකීමට හෝ විරුද්ධව ඡන්දය දීමට ආරක්ෂක මන්ඩලයේ සාමාජික රටවලට බල කිරීම සඳහා තර්ජන සහ බිය ගැන්වීම් කරමින් එක්සත් ජනපද නිලධාරීහු නින්දිත උද්ඝෝෂනයක් ගෙන ගොස් ඇත. උදාහරනයක් ලෙස, අයැදුම්පතට පක්ෂව ඡන්දය පාවිච්චි කල හොත් අර්බුදයෙන් ඇලලී ගිය පෘතුගාල ආර්ථිකයට ආධාර දීම නතර කරන්නෙමැයි එක්සත් ජනපදය පෘතුගාලයට කියා සිටි බව වාර්තා වේ.
එක්සත් ජනපද කුහකකම සහ දාමරිකකම විදහා පෑමෙන් සිදු වූයේ එක්සත් ජාතීන් හමුවේ ඉදිරිපත් කිරීමට වොෂින්ටනයට වුවමනා කල පනිවුඩයට යටි වල කැපීම යි. වොෂින්ටනයේ අරමුන වූයේ ලිබියාවෙහි තන්ත්ර වෙනසක් සඳහා කර ගෙන යන එක්සත් ජනපද-නේටෝ යුද්ධයට හුරේ දමා එය එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලබන බහුපාර්ශ්වීයවාදයේ ජයග්රහනයක් ද "අරාබි වසන්තයේ” මහජන නැගිටීම්වල දිගුවක් ලෙස ද මවා පෑම යි.
ඔබාමා මහා මන්ඩලය හමුවේ තමන් කල කතාව තුල මෙම කියා පෑම් ඇතුලත් කලත් පලස්තීනය පිලිබඳ මතභේදය නිසා ඒවා යටව ගියේ ය යන කටුක සත්‍යය පිලිගැනීමට ඔහුට බල කෙරින.
සැබෑව නම්, ඊස්රායලය පලස්තීන මහජනතාවට කරන පීඩාවන්ට වොෂින්ටනය ලබා දෙන කොන්දේසි විරහිත සහාය එය කලාපය පුරා පවත්වා ගෙන යන කොල්ලකාරී අධිරාජ්‍යවාදී ප්රතිපත්තියෙහි ම කොටසක් ය යන්න යි. එම ප්‍රතිපත්තිය වඩාත් ම නග්නව ප්‍රකාශයට පත්ව ඇත්තේ තෙල් සපිරි ලිබියාවෙහි තන්ත්ර වෙනසක් කිරීමට කරන යුද්ධය තුල දී ය. "අරාබි වසන්තය” ගැන කීමට තිබෙන්නේ තම සමීප සගයන්-එනම් ඊජිප්තුවෙහි මුබාරක් සහ ටියුනීසියාවෙහි බෙන් අලි-බලයෙහි තබා ගැනීමට ඔබාමා පාලනාධිකාරය ඊස්රායලය සමග එක්ව හැකි අවසන් මොහොත දක්වා ම සටන් කල බව යි. දැන් දෙගොල්ල රටවල් දෙකේ තන්ත්ර ශක්තිමත් කිරීමට වැඩ කරමින් සිටිති. ඉන් අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා ආරක්ෂා වනු ඇත, කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ විප්ලවවාදී පරිශ්රමයන් මැඩ පැවැත්වෙනු ඇත.
පලස්තීන අධිකාරිය එක්සත් ජාතීන්ගේ පිලිගැනීම ලබා ගැනීමට යත්න දැරීම අවහිර කිරීමට බල කෙරෙන බවක් ඔබාමා පාලනාධිකාරයට හැඟෙන්නේ ඇයි? නිල කතන්දරය නම් මෙම "ඒකපාර්ශ්වීය” ක්‍රියාව සමථයක් සඳහා පවතින එක ම මග යැයි කියනු ලබන "ද්විපාර්ශ්වීය” සාකච්ඡා කඩාකප්පල් කරමින් "සාම ක්‍රියාවලියට” යටි වල කපනු ඇත යන්න යි.
ඊනියා "සාම ක්‍රියාවලිය” වූකලි දශක දෙකක් තිස්සේ කෙරී ගෙන ගොස් ඇති අයුතු රැවටිල්ලකි. එයින් සාමයක් ඇති වී වත් පලස්තීන මහජනතාවගේ ප්‍රාර්ථනාවන් කවර හෝ අයුරකින් සාක්ෂාත් වී වත් නැත. එය සේවය කර ඇත්තේ ඊස්රායල රාජ්‍යයේ ඒකපාර්ශ්වීය ක්‍රියාවන් වසං කරන්නක් ලෙස ය: එනම්, බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ වාඩි ලා ගත් ප්‍රදේශවල මින් පෙර නොවූ තරම් විශාල කොටසක ඊස්රායලය සිය පාලන බලය තහවුරු කර ගෙන ඇත, පසු ගිය දස වසර තුල දී පමනක් එම ප්‍රදේශවල සියොන්වාදී පදිංචිකරුවන්ගේ සංඛ්‍යාව දෙගුන වී ඇත. ඒ සමග හමුදා මුර කපොලූ සහ "යුදෙව්වන්ට පමනයි” යැයි නම් කෙරුනු ආරක්ෂිත මාර්ග සංඛ්‍යාව වැඩි වී ඇත, වාඩි ලා ගැනීම යටතේ නිර්මානය වී ඇත්තේ පලස්තීනුවන්ට ජාතික පැවැත්මක් පමනක් නො ව ජීවිතය ම ද පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයකි.
එක්සත් ජාතීන් කර ඇත්තේ එක්සත් ජනපද කපුකමෙන් ඇටවුනු "සාම ක්‍රියාවලියේ” බංකොලොත්කම නිහඬව පිලිගැනීම යි. අබ්බාස් සහ පලස්තීන අධිකාරියේ ධනේශ්වර නායකත්වය ද කිසිදු විකල්පයක් ඉදිරිපත් නො කරයි. ඔවුන් මහ හඬ නගා පල කොට තිබෙන්නේ එක්සත් ජනපද කූටෝපායන් හරහා මොන යම් හෝ ආකාරයකින් සාකච්ඡා යලි පන ගැන්වෙනු ඇත යන පුහු බලාපොරොත්තුව පමනකි.
එක්සත් ජාතීන් පලස්තීනය සාමාජික රාජ්‍යයක් ලෙස පිලිගත්ත ද පසු ගිය 50 වසර පුරා ඊස්රායල-පලස්තීන ප්රශ්නය පිලිබඳව එක්සත් ජාතීන් සම්මත කල අනෙක් යෝජනා ගනනාව පලස්තීන මහජනතාව දිවි ගෙවන කොන්දේසි වෙනස් කිරීමට කලාට වැඩි දෙයක් ඉන් සිදු නොවනු ඇත. ඊස්රායල වාඩි ලා ගැනීම සහ හමුදා ප්‍රහාර ඉන් අවසන් නොවනු ඇත. පිටුවාහල්ව සිටින දසලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ට ආපසු ඒමට තිබෙන අයිතිය ඉන් සුරක්ෂිත නොවනු ඇත. එමෙන් ම, ඊස්රායලය තුල ජීවත් වන දසලක්ෂ 1.5ක් වන පලස්තීන අරාබිවරුන්ට සමාන අයිතිවාසිකම් දිනා දීමෙහි ලා ඉන් කිසිවක් සිදු නොවනු ඇත.
අබ්බාස් සහ පලස්තීන අධිකාරියේ නායකත්වය තමන් නියෝජනය කරන බව කියන පලස්තීන මහජනතාව අතරින් යම් විශ්වාසයක් දිනා ගැනීමට දරන දුෂ්කර ප්රයත්නයේ දී එක්සත් ජාතීන් දෙසට හැරී ඇත. ඇතැම් කරුනුවල දී ඊජිප්තුවෙහි සහ ටියුනීසියාවෙහි මහජනතාව නැගී සිට පෙරලා දැමූ තන්ත්රත් පලස්තීන අධිකාරියත් අතර වැඩි වෙනසක් නැත. ඡන්දයෙන් තේරී පත් නොවුනු එය එක්සත් ජනපදයෙන් අරමුදල් සැපයෙන, ඊස්රායල වාඩි ලා ගැනීම සමග සහයෝගයෙන් වැඩ කරන දැවැන්ත පොලිස් යන්ත්‍රයක් පවත්වා ගෙන යන යමින් ආඥාවෙන් පාලනය ගෙන යයි. එය නියෝජනය කරන්නේ පලස්තීන කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ නො ව විදේශීය සහනාධාරවලින් සහ දූෂනයෙන් ධනවත් වී ගත් ආන්ඩුවේ නිලධාරීන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් සැදුම් ලත් තුනී තට්ටුවක අවශ්‍යතාවන් ය.
මෙම වසර මුල දී අල් ජසීරා වෙබ් අඩවිය නිකුත් කල දශකයක ඊස්රායල-පලස්තීන සාකච්ඡාවල රහසිගත ලුහුඬු සටහන් ලේඛනගත "පලස්තීන ලියවිලිවලින්” පෙන්නුම් කෙරුනු පරිදි, පලස්තීන ඩයස්පෝරාවට ආපසු ඒමට ඇති අයිතිය ප්‍රතික්ෂේප කරමින් ද සැබවින් ම නැගෙනහිර ජෙරුසලමේ සියල්ල ම අත හැර දමමින් ද "යුදෙව් රාජ්‍යයක්” ලෙස ඊස්රායලයේ පැවැත්ම සුරක්ෂිත කිරීමේ අරමුන ඇතිව කෙරෙන ජනවාර්ගික ශුද්ධයේ දී රහසේ සහයෝගය දීමට එකඟ වෙමින් ද පලස්තීන අධිකාරියේ නායකත්වය මුලුමනින් ම යටත් වී ඇත.
වොෂින්ටනයේ නොනැමෙන ගතිය සාමාන්‍යයෙන් පැහැදිලි කරනු ලබන්නේ 2012 මැතිවරනය සහ ඊනියා "යුදෙව් ඡන්ද” ගැන සඳහන් කරමිනි. "යුදෙව් ඡන්ද” වූකලි බල සම්පන්න සහ අත දිග හැර මුදල් යෙදවුනු, ඇමරිකානු යුදෙව්වන්ගේ බහුතරය නියෝජනය නොකරන-ඇත්තට ම ඊස්රායල යුදෙව්වන්ගේ බහුතරය ද නියෝජනය නොකරන-ඊස්රායල දේශපාලන සංස්ථාපිතයෙහි සිටින අතිශය දක්ෂිනාංශික කොටස් නියෝජනය කරන සියොන්වාදී බලපෑම් කන්ඩායමක් හැඳින්වීමට යොදා ගන්නා මෘදු තෙපුලකි. ඇමරිකානු ඊස්රායල දේශපාලන ක්‍රියාකාරී කමිටුව (ඒඅයිපීඒසී) වැනි සංවිධාන කරන්නේ ඇමරිකාවේ ධනපති පක්ෂ දෙකේ ප්‍රතිපත්ති මත අතිශයින් ම පමනට වැඩි බලපෑමක් යෙදීමක් බවට කිසි ම සැකයක් නැත.
කෙසේ වුව ද, යටින් වඩා අතිමූලික අවශ්‍යතා පවතී. ඊස්රායලය අඩසියවසක් තිස්සේ මැද පෙරදිග තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදී මැදිහත් වීම ආරක්ෂා කරන පවුරක් ලෙස සේවය කර ඇත. එමෙන් ම, 1978 දී මෙනචම් බෙගින් සහ අන්වර් සදාත් අත්සන් කල කෑම්ප් ඩේවිඩ් ගිවිසුම තරම් අතීතයට යන්නේ නම්, "සාමය” සඳහා කෙරෙන සාකච්ඡාවල දී වොෂින්ටනය යම් ආකාරයක "අවංක තැරැව්කාරයෙකු” ලෙස සේවය කරන්නේ යැයි මවා පෑමට හැකි වීමෙන් සිදු වී ඇත්තේ කලාපය තුල තම අවශ්‍යතා තව දුරටත් වර්ධනය කර ගැනීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට මෙවලමක් සැපයීම යි.
රාජ්‍ය භාවයක් සඳහා කෙරෙන එක්සත් ජාතීන්ගේ ඡන්ද විමසීමකට එක්සත් ජනපදය පාන සතුරුකම පැන නගින්නේ ඊනියා "සාම ක්‍රියාවලිය” මත තම ඒකාධිකාරය පවත්වා ගෙන යාමට ඊට පවතින අධිෂ්ඨානයෙනි. ප්රන්ස අධිරාජ්‍යවාදයේ සහ ලිබියාවෙහි ටෝටල් ඔයිල් සංගතයේ අවශ්‍යතා පෙරට ගෙන යාමට යුද ගුවන් යානා සහ කුලී මිනීමරුවන් යොදා ලඟ දී යලි පැමිනි ප්රන්ස ජනාධිපති නිකොලස් සර්කොසි පලස්තීන රාජ්‍ය භාවය පිලිබඳ විවාදය ඩැහැ ගත්තේ එක්සත් ජනපදය මෙහෙයවන සාම සාකච්ඡා අසාර්ථක වී ඇතැයි තර්ක කිරීමට සහ තමන්ගේ ම ප්රන්ස විසඳුමක් පෙරට දැමීමට ය.
එක් අතකින් පලස්තීන අධිකාරිය තුල සිටින පාලක කල්ලියේ අවශ්යතාවන්ගෙන් ද අනෙක් අතින් අධිරාජ්‍යවාදී කූටෝපායන්ගෙන් ද මෙහෙයවෙන පලස්තීන රාජ්‍ය භාවය පිලිබඳ එක්සත් ජාතීන්ගේ විවාදය පලස්තීන මහජනතාවගේ ප්රජාතන්ත්රවාදී සහ සාමාජීය ඉල්ලීම් සුරක්ෂිත කිරීමට කිසිවක් කරනු නැත. අන්තිමේ දී ඒවා මුදුන් පමුනුවා ගත හැකි වනු ඇත්තේ විප්ලවවාදී අරගලයකින් පමනකි.
ටියුනීසියාවෙහි සහ ඊජිප්තුවෙහි මහජන නැගිටීම් හට ගැන්වූ ලෝක ධනවාදයේ නොවිසඳිය හැකි අර්බුදය ඊස්රායලයෙහි මෙන් ම වාඩි ලා ගෙන ඇති පලස්තීන ප්‍රදේශවල වර්ධනය වන නැගිටීම් ද ශක්තිමත් කරමින් පවතී. සමාජ කොන්දේසිවලට එරෙහිව මෑතක දී ඊස්රායලය තුල ම පුපුරා ගිය දැවැන්ත ජාතික පරිමාන උද්ඝෝෂනයේ දී ප්‍රකාශයට පත් වූයේ එය යි. තීරනාත්මක ප්රශ්නය වන්නේ ජාත්‍යන්තර පරිමානයකින් ධනවාදය අහෝසි කිරීමේ අරගලයේ කොටසක් ලෙස මැද පෙරදිග සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා කරන සටනේ දී පොදු සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගයක පදනම මත අරාබි සහ යුදෙව් කම්කරුවන් එක්සත් කිරීම යි.
බිල් වෑන් ඕකන්
Follow us on