ශී‍්‍ර ලංකාව: පියසීලී විජේගුනසිංහගේ ජීවිතයට උපහාර පිදෙන පොතක් එලි දැක්වෙයි
Sri Lanka: Book launch honours the life of Piyaseeli Wijegunasinghe
By our correspondents , 28 September 2011
සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දිගු කාලීන සාමාජිකාවක් හා මාක්ස්වාදී කලා විචාරිකාවක් වූ පියසීලී විජේගුනසිංහ අභාවයට පත්වී වසරක් ගතවීම සමරනුවස් පියසීලී විජේගුනසිංහ සමාචාර කෘතිය සැප්තැම්බර් 14දා කොලඹදී එලි දැක්වුනි. මාක්ස්වාදී කලා විචාරයට පියසීලී කල ප්රතිපදානය අරභයා සසප සාමාජිකයින් ප්රමුඛ කලාකරුවන් හා බුද්ධිමතුන්ගේ ලිපි එකතුවක් වූ ග්‍රන්ථය පිටු 420න් සමන්විත ය.
සසප ආධාරකරුවෙකු හා ප්‍රකට පරිවර්තකයෙකු වූ මනෝ ප්‍රනාන්දු සංස්කරනය කල කෘතිය විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය විසින් ප්‍රකාශයට පත්කරන ලදී. ප්‍රකාශක විසින් මහවැලි කේන්ද්‍රයේ සංවිධානය කල පොත එලිදැක්වීමේ අවස්ථාවට සසප සාමාජිකයින්, ආධාරකරුවන්, ප්රමුඛ හා නැගී එන කලාකරුවන්, බුද්ධිමතුන් මෙන්ම කොලඹ විශ්ව විද්‍යාලයේ පියසීලිගේ සහකරුවන් හා සිසුන් ද ඇතුලු 200කට වැඩි පිරිසක් සහභාගී වූහ. ඔවුන් අතර පියසීලිගේ පුත් කීර්ති රනභා හා ලේලිය වන අන්ජනා ද වූහ.
සසප දේශපාලන කමිටුවේ හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ජාත්‍යන්තර කතෘ මන්ඩල සාමාජික කේ. රත්නායක රැස්වීමේ මුලසුන හෙබවීය. පැමින සිටි පේ්රක්ෂකයින් පිලිගැනීමෙන් හා පියසීලිගේ මතකයට බුහුමන් දැක්වීමෙන් අනතුරුව කලා විචාර ක්ෂේත්රයෙහි ඇයගේ කෘති කම්කරු පන්ති නායකත්වයේ අර්බුදය විසඳීමෙහිලා ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය එනම්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) ගොඩනැගීම සඳහා ඇය කල අරගලයේ අවියෝජනීය අංගයක් වූ බව ඔහු පැහැදිලි කලේය.
"පියසීලිගේ කෘතීන් තුලින් මතුව එන ප්‍රශ්න දෙකක් කෙරෙහි ඔහු අවධානය යොමු කලේය. මාටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර හා ගුනදාස අමරසේකර වැනි ධනේශ්වර කලාකරුවන් විසින් ගොඩනගන ලද විඥානවාදී කලා විචාර ක්රමයන් සමග සෞන්දර්යාත්මක මාක්ස්වාදී සම්ප්‍රධාය මත පිහිටා පොරබැදූ පලමුවැන්නිය ඇය වූවාය. 1982 සාහිත්‍ය පිලිබද භෞතිකවාදී අධ්‍යයනයක් හා 1987 පලකල සමකාලීන සිංහල සාහිත්‍ය විචාර: මාක්ස්වාදී අධ්‍යයනයක් යන ඇගේ මුල් කාලීන කෘතීන් සිංහල සාහිත්‍ය විචාරයේ ආධිපත්‍යය ඉසිලූ විඥානවාදී ක්‍රමවේදය පසුබැස්සවීමේ දිරිමත් ව්‍යායාමයක් වී යයි” රත්නායක පැවසීය.
”ඒ අතර තුරම පියසීලී ධනේශ්වර ආන්ඩු විසින් දඩයමට ලක්කරන ලද කලාකරුවන් ආරක්ෂා කිරීම පිනිස ද නොපසුබට අරගලයක නිරතව සිටියාය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා කලාකෘතීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අරගලය සඳහා වැඩකරන ජනතාව, බුද්ධිමතුන් හා කලාකරුවන් බලමුලුගැන්වීමෙහිලා සසප හා එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ගෙන ගිය උද්ඝෝෂනයන්හි ද ඇය පෙරමුනේම සිටියා ය.
”දැන් අප ජීවත් වන්නේ ඇයගේ අරගලය පෙරට ගෙනයාම ඉමහත් ලෙස අවශ්‍ය කෙරෙන යුගයක ය. අප ජීවත් වන්නේ ආර්ථිකව මෙන්ම දේශපාලනිකව ද සමස්ත ලෝක ධනවාදයම ගැඹුරුවන අර්බුදයක වෙලී තිබෙන හා අන් සියල්ලටත් වඩා කම්කරු පන්තියේ විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව මතු කරන විප්ලවවාදී අරගලයන්ට වැඩකරන ජනතාව පිවිසෙමින් සිටින යුගයක් තුල” බව අවධාරනය කරමින් රත්නායක සිය කථාව නිමා කලේය.
පොත එලිදැක්වීමේ ප්‍රධාන සිදුවීම වූයේ ලෝසවෙඅ කලා සංස්කාරක ඬේවිඞ් වොල්ෂ් ඉදිරිපත් කිරීමට නියමිතව තිබු පියසීලී විජේගුනසිංහ සහෝදරිය පිලිබඳ මතකය වෙනුවෙන්, යන කතාවේ පිටපත සභාවට ඉදිරිපත් කිරීමය. සසප ප්‍රධාන ලේකම් හා පියසීලිගේ ජීවිත කාලීන සහකරුවා වූ විජේ ඩයස් වොල්ෂ්ගේ කථාවේ සිංහල පරිවර්තනය සභාවට ඉදිරිපත් කලේය.
සිය සමස්ත දේශපාලන ජීවිතයේදීම ට්රොට්ස්කිවාදිනියකව කම්කරු පන්තිය උදෙසා සටන් වදින්නියකව සහ විශේෂයෙන්ම කලාව පිලිබඳ ක්ෂේත්රයේ ප්රගාඪ විචාරිකාවක හා චින්තිකාවකව සිටි පියසීලී විජේගුනසිංහ සහෝදරියට බුහුමන් පිදෙන මේ ප්රකාශනයට එකතු කිරීමක් සැපයීමට ආරාධනා කරනු ලැබීම මම ගෞරවයක් කොට සලකමි. යනුවෙන් වොල්ෂ් පැවසීය.
1998 වසරේ ලෝසවෙඅ දියත් කිරීමේ වැදගත්කම විස්තර කරමින් වොල්ෂ් මෙසේ ද පැවසීය: පියසීලි සහෝදරිය ඵලදායී ප්රතිපදානයක් කල ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් සනිටුහන් වන්නේ ගෝලීය පන්ති අරගලයෙහි ද ජාත්‍යන්තර මාක්ස්වාදී ව්‍යාපාරයේ වර්ධනයෙහි ද නව අවධියකි. තාක්ෂනික හා ආර්ථික වෙනස්කම් මගින් එය ශක්‍ය හා අවශ්‍ය කෙරුන. එහෙත් 1998 පෙබරවාරියේදී දැනුවත් දේශපාලන පියවරක් ලෙස එය දියත් කිරීම දශක ගනනාවක් පුරා හතරවන ජාත්‍යන්තරය තුල දිග් ගැස්සුනු අරගලයක ප්‍රතිපලයකි.
වොල්ෂ් කලා හා සංස්කෘතික ක්ෂේත්රයෙහි විප්ලවවාදී සමාජවාදීන්ගේ ක්‍රියාකලාපය කෙරෙහි අවධානය යොමු කලේය. ගෝලීය ආර්ථික අවපාතයකින් හා මහජන වේදනාකාරිත්වයකින් ද විවෘත නව-විජිතකරන මංකොල්ලයකින් හා විවිධ අතීත "වාම” බලවේග අධිරාජ්‍යවාදයේ කඳවුරට පලා යාමෙන් ද සංලක්ෂිත වර්තමාන සමාජ හා දේශපාලන තත්වය එල්ලවී ඇත්තේ පන්ති අරගලයේ තීව්ර වීමක හා සමාජ නැගිටීම් පිපිරීමක දිසාවටයි.
සංස්කෘතිය හා කලාව පිලිබඳ ලිපි සම්පාදනය මගින් අප අපේක්ෂා කරන්නේ ධනේශ්වර දෘෂ්ටිවාදයන් හා අගතීන්ටත් ජාතික අවස්ථාවාදයේ හා නිලධරයේ බලපෑමටත් සංස්ථාපිතය විසින් එනම් විශේෂයෙන්ම පාලක ප්රභූවේ දෘෂ්ටිවාදාත්මක සපත්තු නූලට කම්කරු පන්තිය ගැටගසාලීම අරමුනු කරගත් වෘත්තීය සමිති හා ජරාජීර්න "කම්කරු සංවිධාන” හරහා උසි ගැන්වෙන පටුත්වයට හා පසුගාමිත්වයටත් එරෙහිව පොර බැදීමයි.
"මහජන අරගල පිපිරී ඒම මගින් ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි හෝ අපගේ අනෙකුත් ප්රකාශනවල කලාව සම්බන්ධ ලිපි පලවීමේ අවශ්‍යතාව හීන කෙරෙන්නේ නැත. ආර්ථික හෝ දේශපාලන අරගල මගින් සියලූ ප්‍රශ්න නොවිසඳේ. විශේෂයෙන්ම පසුගිය දශක දෙක තුල අප විසින් පවසන ලද දෑ සම්බන්ධයෙන් අප බැරෑරුම් වන්නේ නම් සමාජවාදී සිතුම් පැතුම් සහිත ඉතා දියුනු කම්කරුවන්ගේ හා තරුනයින්ගේ සංස්කෘතික, මනෝමය හා සදාචාරමය සංවේදිතාවන් වර්ධනය කරලීම තවමත් අපට තීරනාත්මක ප්රශ්නයක්ව පවතින්නේය” යි ඔහු අවධාරනය කලේය.
ලෝසවෙ පසුව පලකරනු ඇති ඔහුගේ කථාව තුල වොල්ෂ් කලාකරුවන් වෙලාගෙන තිබෙන ඉදිරිදර්ශනය පිලිබඳ පොදු අර්බුදය හා පසුගිය සියවසේ ඓතිහාසික වර්ධනය තුල මතුවූ කම්පන හා ගැටලු අතර ප්රගාඪ නමුත් සංකීර්න සම්බන්ධතා ගෙනහැර දක්වමින් කලාව කෙරෙහි මාක්ස්වාදී ප්රවිෂ්ටය විස්තාරනය කලේය.
”පවත්නා කොන්දේසි වලට හෝ එහි ඇතැම් අංශ වලට එරෙහිව වත්මන් නවකතාකරුවා හෝ චිත්‍රපට අධ්යක්ෂවරයා විරෝධය පානවිටදී පවා ඔහු හෝ ඇය විසිවන සියවසේ දැවැන්ත සිදුවීම් වලින් - රැසියානු විප්ලවය ස්ටැලින්වාදයේ මතුවීම ෆැසිස්ට්වාදය නැගී ඒම විප්ලවීය සමාජවාදයේ අඛන්ඪතාව සඳහා වූ ට්‍රොට්ස්කිගේ අරගලය අධිරාජ්‍යවාදී යුද්ධ දෙක යනාදී සිදුවීම් වලින් - සාමාන්‍යයෙන් වියෝවී සිටී. විමර්ෂනයට ලක්වන ඔහුගේ හෝ ඇයගේ කෘතියට ඓතිහාසික සමාජික සහ අධ්‍යාත්මික ගැඹුරක් සම්පාදනය කල හැකි එම අවබෝධය හැම විටම පාහේ හිස් තැනක්ව පවතී.
විප්ලවවාදීන්ගේ කර්තව්‍ය හුදෙක් කලාකරුවන් කරන්නාවූ ද්‍රෝහී හෝ ලොමුදැහැගන්වන දේ පෙන්වා දීම නොව, දුෂ්කරතා කවරේදැයි - ඓතිහාසික සමාජයීය දෘෂ්ටිවාදාත්මක බාධකයන් - වටහා ගැනීමත් ඉදිරි මාවත පෙන්වා දෙමින් වඩාත් තීරනාත්මක සමාජවාදීමය සංස්කෘතියක් බිහිකිරීම සඳහා කොන්දේසි නිර්මානය කිරීම බව වොල්ෂ් අවසාන වශයෙන් පෙන්නුම් කලේය.
"මේ කරුනු සම්බන්ධයෙන් ගැඹුරු අවබෝධයක් සහිතව සිටි පියසීලී සහෝදරියට අපගේ ඉහලම ගෞරවය පිදිය හැක්කේ මේ ගමන් මාවත ඔස්සේ අපගේ වැඩ කටයුතු නොපසුබටව කර ගෙන යාමෙන් හා ගැඹුරු කිරීමෙනි.”
මාක්ස්වාදී කලා විචාරකයෙකු හා කවියෙකු වූ දර්ශන මේදිස් අවසාන කතිකයා විය. "කලාව පිලිබඳ වොල්ෂ්ගේ දේශනය විජේ ඩයස් සහෝදරයාගේ හඬින් ඉදිරිපත් කරනු අසා සිටිය දී ඔබගේ සිත් තුල පහල වූයේ කුමන සිතිවිලි දැයි” ඔහු මනරම් ලෙස ප්‍රශ්න කලේය. ඊට පිලිතුරු වශයෙන් ඔහු "කලා ක්ෂේත්රය තුල මාක්ස්වාදී ව්‍යාපාරයෙහි මැදිහත්වීමේදී විඥානවාදීන් විසින් දෙකක් ලෙස වෙන්කරනු ලැබ ඇති න්‍යාය හා භාවිතය අතර සැලකිය යුතු හා නොවෙන් කල හැකි සම්බන්ධතාවය යලි පිහිටුවීම දේශනයෙන් නිසැක ලෙසම සංකේතවත් කලේය. පියසීලි සහෝදරිය තමන්ගේ මුලූ වැඩිහිටි ජීවිතයම මෙම සමහර සංකල්ප සඳහා සටන වෙනුවෙන් කැප කලාය” යි පැවසීය.
මාක්ස්වාදී සාහිත්‍ය විචාරය නගා සිටුවීම සඳහා පියසීලි කල ප්රතිපදානය පැහැදිලි කරමින් මේදිස් එය පරිමාවෙන් සාපේක්ෂව කුඩා නමුත් සාරය වශයෙන් ඉමහත් මෙන්ම බරසාරවූ බව කියා සිටියේය ඇය තම කෘතීන් හා අනෙකුත් අපූර්ව විවේචනාත්මක ලිපි තුලින් කලාත්මක අගැයීමට නව මානයක් ගෙන දෙමින් නූතන සෞන්දර්ය විද්‍යාවේ නිම් වලලු පුලුල් කලාය.
"පියසීලී තමන්ගේ පිලිගැනීම් මත පිහිටාගත් විවේචිකාවක් වූවාය. සම්භාව්‍ය මාක්ස්වාදය මත පදනම් වෙමින් ඇය කලාවේ දී ඇති කෘතියක් එහි ආර්ථික හා සමාජ මූලයන්ගේ පතුලටම කිමිදී එහි කලාත්මක වටිනාකම හා සහෘදයා කෙරෙහි මෙන්ම සමස්තයක් ලෙස සමාජය කෙරෙහිම එහි බලපෑම විමසා බැලුවාය. පුලුල් ක්ෂේත්රයක කලා කෘතීන් පිලිබඳව ගැඹුරු බුද්ධිමය විචක්ෂන භාවයකින් හා ලාලසාවකින් කල විචාර බොහෝ සංඛ්‍යාවක් ඇය ඉදිරිපත් කොට තිබේ.”
පියසීලි තමන්ට නොයෙකුත් පැති වලින් පහර ගසන ලද විවිධාකාර විඥානවාදීන්, අනුභූතිවාදීන්, ස්ටැලින්වාදීන්, වර්ගවාදීන්, පශ්චාත් නූතනවාදීන්, සුලු ධනපති පිලිස්තීනුවන්, දේශපාලනිකව පරිහානි ගතවූවන් හා ස්ත්‍රීවාදීන් සමග පවා නිර්දය ලෙසත් සම්මුති විරහිතවත් සටන් වැදුනු බව මේදිස් පැහැදිලි කලේය. එය ආශීර්වාදයක් සේ සලකා නැගී සිටි ඇය මහත් බුද්ධිමය බලමහිමයකින් එම අභියෝග බාරගත්තේ සිය පිරිහෙන සෞඛ්‍ය තත්වය ද නොතකාය. ඇයගේ අරගලය ඇයගේ අභාවයෙන් නිමාවකට පත් නොවනු ඇත. අනාගත පරම්පරාවන් නිසැකවම ඇගේ කෘතීන් කියවා ජීරනය කරගනිමින් ඇගේ අරගලය පෙරට ගෙන යනු ඇතැයි” පවසමින් ඔහු සමාප්ත කලේය.
Follow us on