ලියොන් ට්‍රොට්ස්කි හා ඓතිහාසික සත්‍යය සුරැකීම

Leon Trotsky and the defense of historical truth

By David North, 20 March 2012

මෙහි පලවන්නේ මාර්තු 16 ලයිප්සිග් විශ්වවිද්‍යාලයේ දී ලෝක සමාජවාදී වේබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයෙහි සභාපති වන ඩේවිඩ් නෝර්ත් විසින් පවත්වන ලද දේශනය යි. සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳව පුලූල් වශයෙන් ලියා පල කර ඇති නෝර්ත්, In Defense of Leon Trotsky (ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂාව සඳහා) කෘතියේ කතුවරයා ය. එහිදී ඔහු, 2009 වසරේදී පල කල බි‍්‍රතාන්‍ය කතුවර රොබට් සර්විස්ගේ ද මෑත වසරවල ඒ හා සමානව ම පල කල ට්‍රොට්ස්කි පිලිබඳ අගතිගාමී චරිතාපදානයන්හි ද මුසාකරනයන්ට එරෙහිව ඓතිහාසික සත්‍යය හා ට්‍රොට්ස්කිගේ උරුමය ආරක්ෂා කර තිබේ.

නොර්ත් සිය දේශනය පැවැත්වූයේ In Defense of Leon Trotsky ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා කෘතියේ ජර්මානු සංස්කරනය නිකුත් කරන ලද මේරිං ප‍්‍රකාශකයින්ගේ පොත් ප‍්‍රදර්ශනය නිමාවීමෙන් අනතුරුවය.

***

සියල්ලට ප‍්‍රථම මම මේ සැන්දෑවේ, ජර්මානු සමාජවාදී කම්කරු ව්‍යාපාරයේ එක් ඓතිහාසික මධ්‍යස්ථානයක් වන ලිප්සිග්හි දී කථාවක් පැවැත්වීම සඳහා මට ආරාධනය කිරීම ගැන සමාජවාදී සමානතා පක්ෂයට ස්තුති කල යුතුය. පලමු ලෝක සංග‍්‍රාමයට පූර්ව වසරවල, සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂය (එස්පීඩී) අභ්‍යන්තරයෙහි දක්ෂිනාංශික හා අවස්ථාවාදී ප‍්‍රවනතා අන් කවර කලෙකටත් වඩා දැඩි අනුහසක් පවත්වාගෙන යද්දී, රෝසා ලක්සම්බර්ග් විසින් නායකත්වය දුන් පක්ෂයේ විප්ලවවාදී කොටස, ලයිප්සිගර් ෆෝක්ස්සයිටුං ප‍්‍රධාන පුවත්පත තුලින් අව්‍යාජ මාක්ස්වාදී මූලධර්ම ආරක්ෂා කලේය. දශක දෙකකට පසුව, 1933දී නාසීන් බලය අල්ලා ගැනීමට පෙර තීරනාත්මක වසරවල දී ලයිප්සිග් නගරය, ජර්මනිය තුල ට්‍රොට්ස්කිවාදී ක‍්‍රියාකාරිත්වයේ එක් ප‍්‍රධාන මධ්‍යස්ථානයක් විය. ජර්මානු ට්‍රොට්ස්කිවාදීහු, සෝවියට් සංගමය තුලත් ජාත්‍යන්තරවත් ස්ටැලින්වාදී තන්ත‍්‍රයේ විනාශකාරී ප‍්‍රතිපත්තීන්ට එරෙහිව සටන් වැදීම සඳහා ට්‍රොට්ස්කි විසින් ගොඩනගන ලද ජාත්‍යන්තර වාම විපක්ෂය සමග එක්ව සිටියහ. සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයෙන් (සෝසසසං) නෙරපා හරින ලදුව ප‍්‍රින්කිපෝ යන තුර්කියට අයත් දිවයිනක දිවි ගෙවන අතරතුර 1931 දී ට්‍රොට්ස්කි, ජර්මනිය ජාත්‍යන්තර තත්වයට "යතුර” වන්නේ යයි ප‍්‍රකාශ කලේය. නාසි පක්ෂයේ වැඩෙන අනුහස ජර්මානු, සෝවියට් හා ජාත්‍යන්තර කම්කරු පන්තියට මාරක තර්ජනයක් වනු ඇතැයි ට්‍රොට්ස්කි අනතුරු ඇඟවීය. නාසි ජයග‍්‍රහනය පෙර නොවූ විරූ පරිමානයේ ව්‍යසනයක් වනු ඇතැයි ඔහු ප‍්‍රකාශ කලේය. එය බටහිර යුරෝපයේ වඩාත්ම බලගතු සමාජවාදී ව්‍යාපාරයේ දැවැන්ත පරාජයකට මග පාදා, එහි ප‍්‍රතිපල වශයෙන් ම්ලේච්ඡ ආඥාදායකත්වයක් ගොඩනගනු ලැබ, දෙවන ලෝක සංග‍්‍රාමයක් පුපුරා යාමට තුඩුදෙන සිද්ධීන් මාලාවක් මුදා හරිනු ඇත.

පරදුවට තැබුනු යෝධ දේශපාලන ප‍්‍රශ්න තිබිය දී ම සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂය හා කේපීඩී නමින් දන්නා කොමියුනිස්ට් පක්ෂය යන ජර්මානු කම්කරු පන්තියේ මහජන පක්ෂ දෙකම හිට්ලර්ගේ ජයග‍්‍රහනය සඳහා පැවති සියලු බාධක ඉවත්කර දමන ප‍්‍රතිපත්ති අනුගමනය කරමින් සිටියහ. එස්පීඩීය, බලය කරා පැමිනෙන නාසි පක්ෂයේ මග ඇවිරීම සඳහා, ධනේශ්වර රාජ්‍යය මත පදනම් වෙමින් මංමුලා සහගතව වයිමාර් තන්ත‍්‍රයේ කුනුවෙන මලකුන බදාගෙන සිටි බව ට්‍රොට්ස්කි පැහැදිලි කලේය. ස්ටැලින්ගෙන් ලැබුනු උපදෙස් අනුගමනය කල කේපීඩීය "සමාජ ෆැසිස්ට්වාදය” පිලිබඳ මුග්ධ පිලිවෙත මත පිහිටියේ ය. ඒ අනුව කේපීඩීය, කම්කරු පන්තියේ ජනතා පක්ෂය වූ සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂය හා ප‍්‍රතිගාමී ජර්මානු සුලූ ධනේශ්වරයේ මහජන පක්ෂය වූ එන්එස්ඩීඒපී යන නාසි පක්ෂයත් අතර සැලකිය යුතු වෙනස්කම් නොපැවති බව ප‍්‍රකාශ කලේය. මේ පදනම මත කේපීඩී නායකයෝ නාසි අන්තරායට එරෙහිව කම්කරු පන්තික මහජන පක්ෂ දෙකේ එක්සත් පෙරමුනක් සඳහා ට්‍රොට්ස්කි කල කැඳවුම ප‍්‍රතික්ෂේප කලහ.

1931 හා 1933 අතර කාලයේ ට්‍රොට්ස්කි, ෆැසිස්ට්වාදයෙන් එල්ල වූ දැවැන්ත තර්ජනය ගැන ද නාසි ජයග‍්‍රහනයක් වැලැක්වීමට කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක දැවෙන අවශ්‍යතාවය ද පිලිබඳව ජර්මානු කම්කරු පන්තියේ දේශපාලනිකව වඩාත් සවිඥානක කොටස් හා සමාජවාදී බුද්ධිමතුන් අවදි කිරීමට උත්සාහ කලේය. ජර්මානු ෆැසිස්ට්වාදය පිලිබඳ ට්‍රොට්ස්කිගේ ලියවිලි විසිවන සියවසේ දේශපාලන සාහිත්‍යයෙහි දීප්තිමත් කෘතීන් අතරට ගැනෙයි. එවන් විචක්ෂන භාවයකින් ද නිරවද්‍යතාවයකින් හා ලාලසාවකින් ජර්මානු සිදුවීම් හා ඒවායේ ලෝක ඓතිහාසික ඇඟවුම් පිලිබඳව ලියා ඇති වෙන කවරෙකුවත් ඇත්තේ නැත.

1932 ජනවාරියේ ලියන ලද What Next? (ඊලඟට කුමක් ද?) යන ඔහුගේ පොත් පිංච තුල ට්‍රොට්ස්කි ෆැසිස්ට්වාදය නිර්වචනය කලේ මෙලෙස ය:

"ෆැසිස්ට්වාදය හුදු පලිගැනීමේ, රුදුරු බලයක හා පොලිස් ත‍්‍රස්තයක ක‍්‍රමයක් නොවේ, ෆැසිස්ට්වාදය වනාහි ධනපති සමාජය තුල නිර්ධන පන්තික ප‍්‍රජාතන්ත‍්‍රයේ සකල මූලාංගයක්ම උපුටා දැමීම පාදක කර ගත් සුවිශේෂී ආන්ඩු ක‍්‍රමයකි. ෆැසිස්ට්වාදයේ කර්තව්‍ය වැටී ඇත්තේ, කොමියුනිස්ට් පෙරටු බල ඇනිය විනාශ කිරීම පමනක් නොව, සමස්ත පන්තිය ම බලහත්කාරී ලෙස බිඳ විසුරුවාලීමේ තත්වයක් ඇති කිරීම තුලය. මෙම අන්තයට යද්දී කම්කරුවන්ගේ වඩාත්ම විප්ලවවාදී කොටස කායිකව මුලිනුපුටා දැමීම පමනක් සෑහෙන්නේ නැත. සියලු ස්වාධීන හා ස්වේච්ඡා සංවිධාන පොඩිකර දැමීම ද කම්කරුවන්ගේ සියලු ආරක්ෂක වැට පවුරු වනසා දැමීම ද සියවස් තුන් කාලක් තිස්සේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රය හා වෘත්තීය සමිති විසින් අත්පත් කරගෙන තිබෙන කුමන දෙයක් හෝ, අවසන් විග‍්‍රහයේ දී කොමියුනිස්ට් පක්ෂය මත් පදනම්ව සිටි එම ජයග‍්‍රහන, මුලිනුපුටා දැමීම ද අවශ්‍ය කෙරෙයි.

එම පොත් පිංච තුලම ට්‍රොට්ස්කි එස්පීඩීයේ දේශපාලන බංකොලොත් කම ද දීප්තිමත් ලෙස ගුනාංගීකරනය කලේය:

දිගු කලක් තිස්සේ ගෙන ගිය ආර්ථික හා දේශපාලන අරගලයන් ගෙන් පසුව අත්කරගත් ජයග‍්‍රහන කැප කර, ජර්මානු කම්කරුවන් ඔවුන්ගේ පියවරුන්, අත්තලා හා මුත්තලාගේ ජීවන පැවැත්මේ මට්ටම්වලට පහත හෙලීමට, ධනවාදය වසාගෙන ඇති වත්මන් අර්බුදය විසින් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රයට බල කෙරෙයි. ප‍්‍රතිසංස්කරනවාදයේ සියලු ජයග‍්‍රහන හා බලාපොරොත්තු පිලිබඳ සුන්බුන් හමුවේ, අතිශය ඛේදජනක මෙන්ම එහි දුගඳ හමන ස්කන්ධයට වඩා, පිලිකුල් සහගත ඓතිහාසික දර්ශනයක් තවත් තිබිය නොහැකි ය. නූතනවාදය සඳහා එහි වලිකෑම හමුවේ රඟමඬල උමතු සහගතය. නිරන්තරයෙන් එහි හෝප්ට්මාන්ගේ (ගර්හාට්) ද වීවර්ස් (වියන්නෝ) රඟදැක්වීමට ඉඩ දෙන්න: මෙම නූතනයේත් අති නූතන නාට්‍ය නැරඹීම සඳහා, රඟහලේ මුල් පේලි සමාජ ප‍්‍රජාතන්ත‍්‍රයේ නායකයින්ට වෙන්කර තැබීමට අමතක නොකිරීමට අධ්‍යක්ෂ වරයාට ඉඩ හරින්න.

ෆැසිස්ට්වාදය පිලිබඳ මාතෘකාව ගැන ඒ අවධියේ දී ලියා ඇති කිසිවක් ට්‍රොට්ස්කි සම්පාදනය කල කෘතීන්ට සමාන කල නොහැක. කූර්ට් ටුක්හොල්ස්කි නමැති කීර්තිමත් මාධ්‍යවේදියා, ජර්මනියෙන් සැතපුම් දහසකට වැඩි දුරක පිටුවහලේ ජීවත් වෙමින් ට්‍රොට්ස්කි ජර්මනියේ දේශපාලන තත්වය අන් කිසිවෙකුටත් වඩා පැහැදිලිවත් ප‍්‍රගාඪ ලෙසත් වටහා ගැනීම පිලිබඳව සිය මවිතය පල කලේය. බර්තෝල් බ්‍රෙෂ්ට්, වෝල්ටර් බෙන්ජමින් හා එමිල් හසී බූරි සමග කල සාකච්ඡාවක දී ප‍්‍රකාශ කලේ, තම ජීවිත කාලයේ සිටි ශ්‍රේෂ්ඨතම යුරෝපීය ලේඛකයා ලෙස ට්‍රොට්ස්කි සාධාරනව හැඳින්විය හැකි බවයි.

එහෙත් ට්‍රොට්ස්කිගේ ලේඛනවලට හා ජර්මනියේ ට්‍රොට්ස්කිවාදීන්ගේ කටයුතුවලට සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර හා ස්ටැලින්වාදී පක්ෂවල පාවාදීමේ ප‍්‍රතිවිපාක කල්තියා වැලැක්විය නොහැකි විය. 1933 ජනවාරියේ දී හිට්ලර් බලයට පත්වූ අතර ට්‍රොට්ස්කි පෙරදුටු ඛේදවාචකය සනාථ කෙරුනි.

තිස් වසරකටත් වැඩි කාලයකට පසුව 1960 ගනන්වල දේශපාලන රැඩිකලීකරනය අවධියේ දී, ජර්මනිය තුල ෆැසිස්ට්වාදයට බලයට පත්විය හැකි වූයේ කෙසේ දැයි වටහා ගැනීමට අවශ්‍ය වූ සිසුන් හා කම්කරුවන් අවශ්‍යයෙන් ම ට්‍රොට්ස්කිගේ ලියවිලි කියවිය යුතු විය. මා අයත් වන්නේ, දෙවන ලෝක සංග‍්‍රාමයෙන් පසුව උපත ලත් පරම්පරාවකට ය. ඔවුහු, ට්‍රොට්ස්කිගේ ලියවිලි තුලින්, විසිවන සියවසේ දැවැන්තම ව්‍යසනයේ දේශපාලන හේතු පිලිබඳ අද්විතීය විශ්ලේෂනයක් සොයා ගත්හ. ට්‍රොට්ස්කිගේ ලේඛන, ෆැසිස්ට්වාදයේ ජයග‍්‍රහනය නොවැලැක්විය හැකි දෙයක් නොවූ බව පැහැදිලි කලේය. හිට්ලර් බලයට පත්වීම වැලැක්විය හැකිව තිබුනි. ඇඩෝනෝ හා හෝකයිමර් කියන පරිදි ෆැසිස්ට්වාදය, "ප‍්‍රබුද්ධත්වයේ අපෝහකයෙහි” අනිවාර්ය ප‍්‍රතිපලය නොවුනා සේම, විල්හෙම් රයිෂ් තර්ක කරන පරිදි යටත් කල ලිංගිකත්වයේ නිමැවුමක් ද නොවීය. ධනේශ්වර පාලනයේ අතිශයින්ම මෘග රූපාකාරය වන ෆැසිස්ට්වාදය බලයට පත් වූයේ, කම්කරු පන්තියේ දේශපාලන නායකත්වයෙහි අසාර්ථකත්වය හා පාවාදීම්වලට පින්සිදු වන්නට ය.

ජර්මනිය පිලිබඳ ට්‍රොට්ස්කිගේ ලේඛන ඔහුගේ අසාමාන්‍ය දේශපාලන උරුමයේ කොටසක් පමනි. ඔහුගේ මරනයෙන් ද වසර 70කට වැඩි කාලයක් තිස්සේ අතොරක් නැතිව කෙරීගෙන යන මුසාවන්ට හා විකෘතිකරනයන්ට එරෙහිව, ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම අවශ්‍ය වන්නේ, පසුගිය සියවසේ ඉතිහාසය තුල ඔහු ඉටුකල අති මූලික භූමිකාව නිසාම ය. විසිවන සියවසේ මුල් දශක හතරෙහි සියලු තීරනාත්මක සිදුවීම් ඔහුගේ ජීවිතකාලීන කෘතීන් තුල ප‍්‍රතිබිම්බනය වන්නේය. ට්‍රොට්ස්කි, 1917 ඔක්තෝබරයෙහි බොල්ශෙවිකයින්ගේ බලය අල්ලා ගැනීමෙන් කුලු ගැන්වුනු රුසියානු විප්ලවවාදී ව්‍යාපාරයේ අතිශය වැදගත් පුද්ගලයා වූ ලෙනින්ට පමනක් දෙවැනි විය. ඔක්තෝබර් විප්ලවයට ආවේශය ගෙනදුන් ඉදිරිදර්ශනය හා කි‍්‍රයාමාර්ගය පාදක වූයේ ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත ය. ඔහු එය වර්ධනය කලේ 1905 රුසියානු විප්ලවයෙන් ඉක්බිත්තේ ය. 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසුව හටගත් සිවිල් යුද්ධය තුල ට්‍රොට්ස්කි රතු හමුදාවේ ආඥාපති බවට පත් විය. ඔහුගේ නායකත්වය යටතේ, සියලු ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන් විසින් පිටුබලය දුන් ප‍්‍රති විප්ලවවාදී බලවේගයන්ට එරෙහිව, සෝවියට් සංගමය ආරක්ෂා කරන ලදී.

රුසියාවේ සමාජවාදී විප්ලවයේ ජයග‍්‍රහනය හා ආරක්ෂාව වෙනුවෙන් ට්‍රොට්ස්කි තීරනාත්මක කි‍්‍රයාකලාපයක් ඉටු කලේය. එහෙත් ඉතිහාසය තුල ඔහුගේ තැන තීරනය කලේ, සියල්ලටත් වඩා ලෝක සමාජවාදී විප්ලවයේ අග‍්‍රගන්‍ය විශේෂඥයා හා මූලෝපායඥයා ලෙස ය. 1905 තරම් ඈත දී ට්‍රොට්ස්කි, රුසියානු විප්ලවය විශ්ලේෂනය කලේ, ලෝක විප්ලවවාදී කි‍්‍රයාවලියක කොටසක් ලෙස ය. වෙන කිසිවෙකුටත් වඩා කලින් ට්‍රොට්ස්කි, සමාජවාදී විප්ලවයකින් රුසියානු කම්කරු පන්තියට බලය කරා නැග ගැනීමට ඇති හැකියාව පෙර දුටුවේය. එහෙත් ඔහු, රුසියානු සමාජවාදයේ ඉරනම රැඳී ඇත්තේ, දියුනු ධනේශ්වර රටවල, සියල්ලටත් වඩා යුරෝපයේ හා එක්සත් ජනපදයේ, කම්කරු පන්තියේ ජයග‍්‍රහනය මත බව අවධාරනය කලේය. සමාජවාදී විප්ලවය, සිය පලමු ජයග‍්‍රහනය ජාතික කරලියක දී අත්කර ගන්නවා විය හැක. එහෙත් එහි පැවැත්ම රඳා ඇත්තේ එය ජයග‍්‍රහනය කල ජාතික දේශසීමාවන්ගෙන් ඔබ්බට විප්ලවය ප‍්‍රසාරනය වන තාක් දුරට පමනකි. සමාජවාදයේ අවසන් ජයග‍්‍රහනය සාක්ෂාත් කෙරෙන්නේ ලෝක පරිමානව ධනවාදය පෙරලා දැමීමත් සමග ය.

අවසාන විග‍්‍රහයේ දී, 1920 ගනන්වල රුසියානු කොමියුනිස්ට් පක්ෂය තුල පැනනැගි ගැටුම පතුලෙහි පැවති ප‍්‍රධාන දේශපාලන ප‍්‍රශ්නය වූයේ, සෝවියට් සංගමය තුල සමාජවාදය ගොඩනැගීම හා 1917 ලෙනින් හා ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ බොල්ශෙවික් පක්ෂයෙහි විප්ලවවාදී මූලෝපාය මත පදනම්ව ගොඩනගන ලද ලෝක සමාජවාදී විප්ලවයේ කි‍්‍රයාමාර්ගය, අතර සම්බන්ධය යි. 1923 ඔක්තෝබරයේ බොල්ශෙවික් පක්ෂය හා සෝවියට් රාජ්‍යය තුල නිලධාරිවාදය තරවීම පිලිබඳ ට්‍රොට්ස්කිගේ විවේචන, වාම විපාර්ශවය ගෙඩනැගීමට තුඩු දුන්නේය. මෙය සෝවියට් ඉතිහාසය සම්බන්ධයෙන් පමනක් නොව ජර්මන් ඉතිහාසය සම්බන්ධයන් ද තීරනාත්මක මාසයක් විය. රූර් ප‍්‍රදේශය ප‍්‍රන්සයේ අනසකට යටත් වීමත් සමග, 1923 වසන්තයේ දී ජර්මනිය තුල මතුවූ දැවැන්ත අර්බුදය විප්ලවවාදී තත්වයක් වේගයෙන් වැඩී ඒමට තුඩු දුන්නේය. අති උද්ධමනයේ හා ධනේශ්වර තන්ත‍්‍රයේ අවදිශානුගත වීමේ තත්වයට ප‍්‍රතිවිරුද්ධව, ජර්මානු කම්කරු පන්තියේ සාර්ථක විප්ලවවාදී නැගිටීමක් සඳහා පෙර නොවූ විරූ අවස්ථාවක් උදා විය. එහෙත් අඩුවකට පැවතියේ අධිෂ්ඨානශීලී විප්ලවවාදී නායකත්වයකි. නැගිටීමක් සඳහා ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ සූදානම මන්දගාමී, වැනෙනසුලු එකක් විය. ට්‍රොට්ස්කිගේ දේශපාලන ප‍්‍රතිවාදීන් එන්ට එන්ටම පක්ෂ නායකත්වය තුල අනුහස පතුරවමින් සිටි අතර, සෝවියට් කොමියුනිස්ට් පක්ෂය කේපීඩීයට ලබා දුන්නේ විසංවාදී උපදේශයකි. අවසන් මිනිත්තුවේ දී කේපීඩීය, රට පුරා සන්නද්ධ නැගිටීමක් සඳහා සකස් කල සැලැස්ම අකුලා ගත්තේය. ඉන් පසුව ඇතිවූ ව්‍යාකූලත්වය හමුවේ, ප‍්‍රාදේශීයව ඇතිවූ සන්නද්ධ නැගිටීම් මඩිනු ලැබූ අතර, ධනපති ආන්ඩුව යලි දිරිමත් විය. ජර්මානු කම්කරු පන්තිය කිසිවිටෙක යලි මුලුමනින්ම ප‍්‍රකෘතිමත් නොවූ කම්පනයකට මුහුන පෑ අතර එය නාසි පක්ෂයේ පුපුරන සුලූ වර්ධනයකට කොන්දේසි සකස් කල සිදුවීම් මාලාවක් මුදා හලේය.

ජර්මනියේ පරාජය සෝවියට් කොමියුනිස්ට් පක්ෂය තුල තත්වාරක්ෂක නිලධාරිවාදී ප‍්‍රවනතා ශක්තිමත් කලේය. සිවිල් යුද්ධය නිමාවකට පත්වෙමින් තිබිය දී රාජ්‍යය හා පක්ෂ නිලධරය වේගයෙන් වැඩී ගියේය. තන්ත‍්‍රය තුල සිය තත්වය, තම පුද්ගල ආරක්ෂාව හා වරප‍්‍රසාද බවට පත්කරගත් දස දහස් ගනනක් කාර්යධරයන් එයට අන්තර්ගත විය. මෙම කාර්යධරයින්, කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ලෙස ස්ටැලින්ගේ වේගයෙන් වැඩෙමින් තිබුනු බලයේ සමාජ පදනම සැකසී ය. ස්ටැලින්ගේ බලයෙහි "රහස” රැඳී පැවතුනේ, ජාතික රාජ්‍යයක් ලෙස සෝවියට් සංගමය සමග තමන්ගේ ආසක්තයන් අනන්‍ය කර ගත් හා, එය ලෝක සමාජවාදී විප්ලවයේ නව මධ්‍යස්ථානය ලෙස අනන්‍ය කර නොගත්, වැඩෙන නිලධාරි කුලකයේ ද්‍රව්‍යමය අවශ්‍යතා කෙරෙහි සැලකිලිමත් වීම තුලය. නිලධරයේ වැඩෙන ජාතිකවාදී හා තත්වාරක්ෂක දිශාවනතිය, 1924 වසරේ දී ස්ටැලින් "තනි රටක සමාජවාදය” පිලිබඳ කි‍්‍රයාමාර්ගය නිරාවරනය කිරීමේ දී සිය ප‍්‍රකාශනය අත්කර ගත්තේය.

මෙම වැඩ පිලිවෙල, න්‍යායිකව ද දේශපාලනිකව හා ප‍්‍රායෝගිකව ද සෝසසසං තුල සමාජවාදයේ වර්ධනය, ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ ගමන් මාර්ගයෙන් වෙන්කර දැමීම නීති යුක්ත කලේය. එය ජාත්‍යන්තර කම්කරු පන්තියේ අවශ්‍යතා සෝවියට් සංගමය තුල පාලක නිලධරයේ ජාතික ආසක්තයන්ට යටත් කිරීමට උපකාරක විය. මෙම වෙන් කිරීම ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යායට එල්ල කෙරුනු කටුක ප‍්‍රහාර වේගවත් වීමට තුඩු දුන්නේය. සෝසසසං තුල සමාජවාදයේ ඉරනම රඳා පවත්නේ, එහි දේශසීමාවන්ට ඔබ්බෙහි කම්කරු පන්තියේ ජයග‍්‍රහනය මත යයි ට්‍රොට්ස්කි කල අවධාරනය, සියල්ලටත් වඩා තම ආදායම හා වරප‍්‍රසාද ගැන උත්සුක වූ සෝවියට් නිලධරයන්ට ශාපයක් විය. ට්‍රොට්ස්කි පසුව සිය චරිතාපදානය තුල ලිවූ පරිදි, නොනවතින විප්ලවයට එරෙහි ප‍්‍රහාර අභිපේ‍්‍රරනය වූයේ, නිලධරයේ ඉතා දැනුවත් ආත්මාර්ථකාමයෙන් ය. "සියල්ල ලෝක විප්ලවය සඳහා නම් නොවේ. මට ද යමක් තිබිය යුතුය.” ට්‍රොට්ස්කි හා නොනවතින විප්ලවයේ කි‍්‍රයාමාර්ගය හෙලාදැකීමේ දී සුලු සෝවියට් මුලාදෑනියෙකු එසේ සිතුවා විය යුතුය.

ස්ටැලින් හා ට්‍රොට්ස්කි අතර ගැටුම, හුදු පුද්ගලයින් දෙදෙනෙකු අතර පුද්ගල බලය මත ඇති වූ ආත්මීය කාකොටාගැනීමක් බවට කෙරෙන ප‍්‍රකාශ තරම් ඓතිහාසිකව අභූත හා දේශපාලනිකව ඇදහිය නොහැකි දෙයක් ඇත්තේ නැත. 1920 ගනන්වල සෝවියට් කොමියුනිස්ට් පක්ෂය තුල පැන නැගුනු අරගලය, ට්‍රොට්ස්කි විසින් මෙහෙවන ලද වාම විපාර්ශවයේ සමාජවාදී ජාත්‍යන්තරවාදයට එරෙහිව, ස්ටැලින් විසින් මෙහෙයවන ලද සෝවියට් නිලධරයේ ජාතිකවාදී ව්‍යාජ සමාජවාදය යන, සමහන් නොකල හැකි එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ කි‍්‍රයාමාර්ගයන් අතර ගැටුමක් විය. මෙම අරගලයේ ප‍්‍රතිපල වශයෙන්, විසිවන සියවසේ සමාජවාදී විප්ලවයෙහි ඉරනම හා අවසාන වශයෙන් සෝවියට් සංගමයේ ම ඉරනම තීරනය කලේය.

සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ කි‍්‍රයාමාර්ගික මාරුව පහසුවෙන් අත් කර ගත්තේ නොවේ. සමාජවාදී ජාත්‍යන්තරවාදය පිලිබඳ අදහස් හා දෘෂ්ටීන් සෝවියට් කම්කරු පන්තිය තුල ගැඹුරෙන් ම මුල්බැස තිබුනි. තව ද ට්‍රොට්ස්කි වැඩි දියුනු සෝවියට් කම්කරුවන්ගේ මෙන්ම ලෝකය පුරා සමාජවාදීන්ගේ ද සිත් සතන් තුල සිය තැන හිමිකරගෙන සිටියේ ය. එනම් ලෙනින්ට පමනක් දෙවැනි වූ ගර්වය හා කීර්තිය පිලිබඳ තත්වයයි. ඊට සපුරා වෙනස් ලෙස, කන්ඩායමික අරගල ආරම්භ වූ 1920 ගනන් මුල හරියේ, ස්ටැලින් මුලුමනින්ම පාහේ අප‍්‍රකට පුද්ගලයෙක් විය. ස්ටැලින් හා, පක්ෂය තුල ද රාජ්‍යය තුල ද ඔහුගේ සගයින් සම්බන්ධයෙන් ගත් කල, විප්ලවවාදී ජාත්‍යන්තරවාදී කි‍්‍රයාමාර්ගය අතහැර දැමීම, ට්‍රොට්ස්කිගේ දේශපාලන බලපෑම විනාශ නොකර කල නොහැකි විය. එහෙත් මෙය, ඔක්තෝබර් විප්ලවයේ ජයග‍්‍රහනය තුල ට්‍රොට්ස්කිගේ කැපී පෙනෙන කි‍්‍රයාකලාපය හෙලා දැකීම අරමුනු කර ගත්, ඉතිහාසය යලි ලිවීමෙන් තොරව සාක්ෂාත් කර ගත නොහැකි විය. 1923 ආරම්භ වූ ඓතිහාසික මුසාකරන ව්‍යාපාරයේ දේශපාලන සම්භවය හා මූලය පවතින්නේ මෙහිය.

අද රාති‍්‍රයේ අපට ලැබී තිබෙන කාලය තුල මුසාකරනයේ මෙම ද්‍රෝහී කි‍්‍රයාකලාපයෙහි සියලු අදියරයන් අවශ්‍ය විස්තර සහිතව විමර්ෂනය කල නොහැකි ය. මුසාවාද ආරම්භ වන්නේ, 1917ට පූර්ව විප්ලවවාදී ව්‍යාපාරයේ පැරනි කන්ඩායමික ගැටුම් විකෘතිකරනයත් සමග ය. උපුටා දැක්වීම් හා තෝරාගත් උපහරන උඩු යටිකුරු කිරීම හා ලේඛන වැරදියට අර්ථ දැක්වීම තුලින් මෙය පෙරට ගලා ගියේය. මවිතකර වේගයකින් සෝවියට් මාධ්‍යය ට්‍රොට්ස්කිට, මුලුමනින් ම අලුත් හා විකෘති පුද්ගලත්වයක් ආරෝපනය කරන ලදී. ට්‍රොට්ස්කිට හා ඔහුගේ බොහෝ ආධාරකරුවන්ට එරෙහි මඩ ගැසීම, නෙරපා හැරීමටත් පිටුවහල් කිරීමටත් පසුබිම සකස් කලේය. ට්‍රොට්ස්කි 1929 ජනවාරියේ දී සෝසසසං නෙරපන ලදී. 1932දී ඔහුට නිල වශයෙන්ම පුරවැසිකම අහිමි කලේය. සෝවියට් සංගමය තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වඩ වඩාත් ප‍්‍රචන්ඩ මර්දනයකට ගොදුරු විය. ට්‍රොට්ස්කිවාදයට එරෙහි නිලධරයේ යුද්ධය, සෝවියට් කම්කරු පන්තිය හා මාක්ස්වාදී බුද්ධිමය ක්ෂේත‍්‍රය තුල, ජාත්‍යන්තර සමාජවාදී කි‍්‍රයාමාර්ගයේ හා සංස්කෘතියේ නියෝජිතයින්ට එරෙහිව එල්ල කල දේශපාලන සංහාරයේ ව්‍යාපාරයක් සඳහා වේදිකාව සකසන ලදී.

1936 අගෝස්තු හා 1938 මාර්තු අතර මොස්කව්හි දී පැවැත්වූ ට්‍රොට්ස්කිවාදයට එරෙහි නඩු විභාග තුන, 1923න් ආරම්භ වූ ඓතිහාසික මුසාකරනයේ නිර්දය කි‍්‍රයාවලියෙහි මල්පල ගැන්වීම සලකුනු කලේය. මෙම නඩු විභාග අතරතුර බොල්ශෙවික් පක්ෂයේ මූලික නායකයින්ට, ස්ටැලින්ට එරෙහිව ත‍්‍රස්තවාදී කුමන්ත‍්‍රන කිරීම, සෝසසසං තුල කඩාකප්පල්කාරි කටයුතුවල යෙදීම හා ජපානයේ ද ජර්මනියේ ද ෆැසිස්ට් තන්ත‍්‍රයන් සමග දේශද්‍රෝහී සන්ධාන ඇතිකර ගැනීම පිලිබඳව, චෝදනා නගන ලදී. සිය මුලු වැඩිහිටි ජීවිතය ම සමාජවාදය සඳහා කැපකර තිබූ පැරනි විප්ලවවාදීන් වූ සියලු විත්තිකරුවන් ලවා, අතිශය බිහිසුනු අපරාධ වෙනුවෙන් පාපෝච්චාරනය කරවන ලදී. එහෙත් ඔවුන්ගේ පාපෝච්චාරන හැරුනු කල චෝදනාවන් ඔප්පු කරන කිසිදු සාක්ෂියක් පැමිනිලි පක්ෂය විසින් ඉදිරිපත් කලේ නැත.

දිගු කලක් තිස්සේ තහවුරු කර ඇති පරිදි විත්තිකරුවන්ගෙන් ලබාගත් පාපෝච්චාරන, කායික හා මානසික වධ බන්ධන හා ඔවුන්ගේ පවුල්වලට එරෙහි තර්ජන එල්ල කිරීම මගින් විකෘති කරන ලදී. භීතියෙන් මුසපත් කල මොස්කව් කරලියේ දී ඔවුන්ට පවරන ලද කර්තව්‍යය, ඔවුන් ඉටු කරන්නේ නම්, ඔවුන්ගේ ජීවිතවලට හා පවුල්වල අයට සමාව ලැබෙනු ඇතැයි යන හිස් හා නරුම පොරොන්දු මගින් ස්ටැලින්, විත්තිකරුවන්ගේ සහයෝගය ලබා ගත්තේය.

වසර බොහෝ ගනනකට පසුව 1990 ගනන් මුල මම, 1937 ජනවාරියේ පැවැත්වූ දෙවන නඩු විභාගයේ විත්තිකරුවෙකු වූ මිකායෙල් බෝගුස්ලාව්ස්කිගේ දියනිය සමග කථා කලෙමි. රෙබෙකා බෝගුස්ලාව්ස්කායා, නඩු විභාගය ආරම්භ වීමට සති කීපයකට පෙර තම පියා බැලීමට මොස්කව්හි ලූබියන්කා බන්ධනාගාරයට ගිය ගමනක් සිහිපත් කලාය. දිරාපත්ව, ඇස් වටා කලූ ගැසී සිටි මිකායෙල් බෝගුස්ලාව්ස්කි දිස්වූයේ අවතාරයක් ලෙස ය. ඔහු වේදනාවෙන් පසුවිය. ඔහු පුටුවේ එහා මෙහා වූයේ දැඩි අපහසුවකිනි. තම පියා දරුනු ලෙස පහර කෑමට ලක්ව ඇති බව රෙබෙකාට වැටහුනි. ඔහුට අසුන මත තම ශරීරයේ බර තුලනය කර ගැනීම දුෂ්කර විය. බෝගුස්ලාව්ස්කි සිය දියනිය දෙස බලා වේදනාවෙන් හඬා වැලපුනි. "ඔබ මා අමතක කර දැමිය යුතුය. මම කවදා හෝ ජීවත්ව සිටි බව අමතක කරන්න” යනුවෙන් ඔහු පවසද්දී රෙබෙකා, "පියානෙනි මම කිසිදාක ඔබ අමතක නොකරන්නෙමි” යයි පිලිතුරු දුන්නාය.

නඩු විභාගයේ දී බෝගුස්ලාව්ස්කිගේ තත්වය තරමක් යහපත්ව තිබුනි. ඔහුට බන්ධනාගාර නියාමකයින් කෑම දී තිබුනි. ඔහුගේ පෙනුම වැඩි දියුනු කිරීම පිනිස ඔහුට බෙහෙත් දී ඇතැයි රෙබෙකා අනුමාන කලාය. එහෙත් නඩු විමසීම අවසන්වී පැය කිහිපයක් ඇතුලත බෝගුස්ලාව්ස්කි වෙඩිතබා මරන ලදී. රෙබෙකාට අනුව, ඉන් පසුව වහාම අත් අඩංගුවට පත්වූ ඇය, විසි වසරකට ආසන්න කාලයක් සයිබීරියාවේ සිර කඳවුරක කල්ගත කලාය. 79 වියේ පසුවූ ඇය 1992 දී මිය ගියාය.

1936 අගෝස්තුවේ පලමු මොස්කව් නඩු විභාගය පැවැත්වෙද්දී ට්‍රොට්ස්කි ජීවත් වූයේ නොර්වේහි ය. මොස්කව්හි දී ඔහුට එරෙහිව ගොතා තිබුනු අරුම පුදුම චෝදනාවන්ට පිලිතුරු දීමෙන් ට්‍රොට්ස්කි වැලැක්වීමේ අටියෙන්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් විසින් පාලනය කල නෝර්වේ ආන්ඩුව, ට්‍රොට්ස්කි හා ඔහුගේ බිරිඳ නටාලියා සෙඩෝවා, නිවාස අඩස්සියේ තැබීය. 1936 දෙසැම්බරයේ දී ට්‍රොට්ස්කි, නොර්වේ රටෙන් පිටුවහල් කර මෙක්සිකෝව බලා යාත‍්‍රා කරන නැවකට නැංවීය.

අවසානයේ මෙක්සිකෝවේ දී ට්‍රොට්ස්කිට ස්ටැලින්වාදී තන්ත‍්‍රයේ චෝදනාවන්ට ප‍්‍රසිද්ධියේ පිලිතුරු දීමේ අවස්ථාව හිමි විය. නඩු විභාග දේශපාලනිකව ගොතන ලද ඒවා ලෙස හෙලා දුටු ඔහු, "චෝදකයාගේ ලෝගුව පිටිපස සැඟව සිටින සැබෑ අපරාධකරුවන්” හෙලිදරව් කිරීම පිනිස "ජාත්‍යන්තර ප‍්‍රති විනිශ්චයක්” සංවිධානය කිරීම වෙනුවෙන් කැඳවුම් කලේය.

යුරෝපයේ හා එක්සත් ජනපදයේ ධනපති ලිබරලුන් හා ස්ටැලින්වාදී පක්ෂවල "මහජන පෙරමුනු” සන්ධානයේ ආධාරකරුවන්ගෙන් සැදුම් ලත් "වාම” මහජන මතයේ සැලකිය යුතු කොටස්, මොස්කව්හි විත්ති කරුවන්ට එරෙහිව දමා ගසන ලද චෝදනා, කිසිදු විරුද්ධත්වයකින් තොරව පිලිගන්නා ලද බව මෙහිදී සිහියට නගා ගත යුතුය. මොස්කව් නඩු විභාග පිලිබඳව පරීක්ෂා කරන ස්වාධීන කොමිසමක් පිහිටුවීමට ට්‍රොට්ස්කි කල කැඳවුම කෙරේ ඔවුන් දැක්වූයේ දැඩි විරුද්ධත්වයකි. ඒ, විප්ලවවාදීන් ඝාතනය කිරීම නීති යුක්ත කිරීම තුලින් ෆැසිස්ට්වාදයට එරෙහි අරගලයට සේවය කල හැකිවාක් මෙන්, ක්‍රෙම්ලිනයේ මුසාවාද හෙලිදරව් වීමෙන්, ෆැසිස්ට්වාදයට එරෙහි ලිබරල්වාදී-ස්ටැලින්වාදී මහජන පෙරමුනට වල කැපෙනු ඇතැයි යන බියෙනි.

ලිබරලුන්ගේ හා ස්ටැලින්වාදීන්ගේ විරුද්ධත්වය මධ්‍යයේ නඩු විභාග පිලිබඳව විනිශ්චය කරන කොමිෂන් සභාවක් 1937 වසන්තයේ දී, එවකට ජීවත්ව සිටි ශ්‍රේෂ්ඨ තම ඇමරිකානු දාර්ශනිකයා වූ ජෝන් ඩිවේගේ සභාපතිත්වය යටතේ පිහිටුවන ලදී. කොමිසමේ සාමාජිකයින් අපේ‍්‍රල් මාසයේ දී මෙක්සිකෝවට ලඟා වූ අතර එහි දී සතියකට වැඩි කාලයක් තිස්සේ ට්‍රොට්ස්කිට විරුද්ධ චෝදනා සම්බන්ධ කරුනු පිලිබඳව ඔහුගෙන් ප‍්‍රශ්න කරන ලදී. ට්‍රොට්ස්කිගේ සාක්ෂියට, 1897 දී 17 හැවිරිදි තරුනයෙකු ලෙස ඔහු විප්ලවවාදී දේශපාලනයට පිවිසි තැන් පටන්, වසර 40ක් පුරා දිවයන ඔහුගේ කටයුතු හා අදහස් ආරක්ෂා කිරීමක් අන්තර්ගත විය.

නිසැකයෙන්ම කොමිෂන් සභාව මෙක්සිකෝවේ කල වැඩ කටයුතුවල කුලුගැන්වීම, ට්‍රොට්ස්කිගේ අවසන් කථාවයි. ඔහු පැය හතර හමාරක් ඉංගී‍්‍රසියෙන් කථා කලේය. මෙම දේශනය ලෝක ඉතිහාසයේ අති විශිෂ්ඨ ගනයේ සැලකෙන බව මම සඳහන් කරන විට මම කථාකරන්නේ හුදෙක් ට්‍රොට්ස්කි පාක්ෂිකයෙකු ලෙස නොවේ. මෙම කථාව තුල සොයාගත හැකි සැලකිය යුතු එක් ඡේදයක ට්‍රොට්ස්කි, මොස්කව් නඩු විභාග පදනම්ව තිබූ මුසාවන්ගේ මුලාරම්භය හා වැදගත්කම පැහැදිලි කලේය. සෝවියට් තන්ත‍්‍රයේ මුසාවාද හුදෙක් ස්ටැලින්ගේ ව්‍යාථවේදී පෞද්ගලිකත්වයේ නිමැවුමක් නොවීය. ඊට විපරිත ලෙස ඒවා මුල්බැස තිබුනේ, ස්ටැලින් ප‍්‍රධාන නියෝජිතයා වූ නිලධරයේ ද්‍රව්‍යමය අවශ්‍යතාවන් තුලය:

යමෙකුට ස්ටැලින්ගේ කි‍්‍රයාකාරකම් වටහාගත හැක්කේ, බලයට කෑදර, ද්‍රව්‍යමය සුව පහසුවට ගිජු, සිය ආස්ථානයන් සඳහා බියෙන් පෙලෙන, මහජනතාව කෙරෙහි බිය වන හා සියලු විරුද්ධත්වයන් කෙරෙහි මාරාන්තික වෛරයක් දක්වන, නව වරප‍්‍රසාදිත පෙලපතක පැවැත්ම පිලිබඳ එම නිලධරය තත්වයන්ගෙන් පටන් ගැනීමෙන් පමනි.

සමාජවාදී යයි හඳුන්වාගන්නා සමාජයක් තුල, වරප‍්‍රසාදිත නිලධරයේ තත්වය විසංවාදී වනවා පමනක් නොව, සාවද්‍ය ද වන්නේය. සියලු සමාජ මුසාවාද හෙලිදරව් කෙරෙන පරිදි, ඔක්තෝබරය කනපිට හරවා, තම සමාජ පිලිකාවන් වසං කිරීමට බල කෙරුනු පොහොසතුන්ගේ කුලය, වත්මන් තත්වයට පැනීම ඉක්මන් වන තරමට, තර්මිඩෝරියානු මුසාවන්ගේ කර්කෂ භාවය ද වැඩි වෙයි. ඉන් පසුව එය, හුදෙක් ඒ හෝ මේ පුද්ගලයාගේ දුරාචාරය පිලිබඳ ප‍්‍රශ්නයක් නොව, බොරු දෙසාබෑම වැදගත් දේශපාලන අවශ්‍යතාවක් බවට පත්ව ඇති, සමස්ත සමාජ කන්ඩායමකගේ තත්වය තුල ලැගුම්ගත් දූෂිතකම බවට පත්වෙයි.

මොස්කව් නඩු විභාග පිලිබඳ බොරු වටහාගැනීමේ පමනක් නොව, වඩාත් පොදුවේ, සියලු ඓතිහාසික මුසාකරනයන්ගේ වැදගත්කම වටහා ගැනීමේ යතුර ඇත්තේ මෙහිය. ප‍්‍රකට කියමනක් තිබේ. "ජ්‍යාමිතික සිද්ධාන්ත ද්‍රව්‍යමය අවශ්‍යතා සමග ගැටෙන්නේ නම් ඒවා ඛන්ඩනය කිරීමේ උත්සාහයක් දැරිය යුතුය.” ඒ සමානව ම, පාලක පන්තිය, ඓතිහාසික වාර්තාව සමාජය තුල සිය අධිකාරවත් තැන පිලිබඳ නීත්‍යානුකූලත්වයට තර්ජනයක් ලෙස දැකගන්නාතාක් දුරට, විකෘතිකරනයේ හා අමූලික මුසාකරනයේ පිහිට පැතිය යුතුය. ස්ටැලින්වාදී නිලධරය, ඔක්තෝබර් විප්ලවයේ මූලධර්ම පාවා දෙමින්, තමන් සිදුකල පාවාදීම වසං කිරීමටත්, සමාජවාදයේ සැබෑ අරමුනු හා වරප‍්‍රසාදිත කුලයක් ලෙස නිලධරය තමන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතා ආරක්ෂා කිරීමත් අතර එන්ට එන්ටම ගැඹුරු වන ප‍්‍රතිවිරෝධයන් වසං කිරීමටත්, නිර්ලජ්ජිත හා බිහිසුනු මුසාවාදයන්ගේ පිහිට පැතීය.

ඓතිහාසික මුසාකරනයේ වෛෂයික වැදගත් කමත්, සමාජ කි‍්‍රයාකාරිත්වයත් පිලිබඳ වැටහීම, බෙහෙවින්ම වැදගත් ප‍්‍රශ්නයකට පිලිතුරු දීමට අපට අවකාශ සලසයි. ලියොන් ට්‍රොට්ස්කිගේ ඓතිහාසික කි‍්‍රයාකලාපය පිලිබඳ මුසාවන් සමග පොර බැදීමට තවමත් අපට බලකෙරී ඇත්තේ කුමක් නිසා ද? මොස්කව් නඩු විභාග ගොතන ලද ඒවා බවත්, ට්‍රොට්ස්කිට එරෙහිව නගන ලද සියලු චෝදනාවන්ගෙන් ඔහු නිදොස් බවත් සැකයකින් තොරව ප‍්‍රකාශයට පත් කරමින්, එහි කටයුතු නිමා කල ඩිවේ කොමිසමේ පටන් වසර හැත්තෑ පහක් ගතවී තිබේ. මොස්කව් නඩු විභාග, මුසාවාද මත පදනම්වූ බව පිලි නොගත්තා පමනක් වුවත්, ස්ටැලින් අපරාධකාරයෙක් ලෙස හෙලා දුටු සෝවියට් අගමැති නිකිතා කෘෂෙව්, කොමියුනිස්ට් පක්ෂයේ 20 වන සම්මේලනයට 1956 පෙබරවාරියේ දී කල ඔහුගේ සුප‍්‍රසිද්ධ "රහසිගත කථාවෙන්” වසර 55ක් ගතවී තිබේ. ස්ටැලින්වාදී නිලධරයට එරෙහිව ට්‍රොට්ස්කි ගෙන ගිය ජීවිතයත් මරනයත් අතර අරගලය සනාථ කෙරෙන සිද්ධියක් වූ සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් වසර 20ක් ඉක්මගොස් තිබේ. නිලධාරි තන්ත‍්‍රය විසින් සෝවියට් සංගමය විනාශ කිරීමෙන් එය ගලවා ගැනීමට නම්, ස්ටැලින්වාදයට එරෙහි අරගලය දේශපාලන අවශ්‍යතාවක් වීයයි පෙන්වා දුන් ට්‍රොට්ස්කි, ස්ටැලින්වාදයට එරෙහි සිය අරගලය යුක්තිසහගත කලේය.

ට්‍රොට්ස්කි ප‍්‍රමුඛ ඓතිහාසික චරිතයක් වන බව පැහැදිලිව ම පෙනෙන්නට තිබේ. බලය අහිමි වීමෙන් පසුව පවා ඔහු, සිය ලිපි ලේඛන තුලින් දැවැන්ත බලපෑමක් අඛන්ඩව පවත්වාගෙන ගියේය. 1940 දී ඔහු ඝාතනය කිරීමෙන් පවා නිලධරය ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදයේ අවතාරයෙන් මුදා හැරියේ නැත. අයිසැක් ඩොයිෂ්චර්ගේ වෙලුම් තුනකින් යුත් චරිතාපදානය ප‍්‍රකාශයට පත් කිරීම, ලෝකය පුරා ට්‍රොට්ස්කි පිලිබඳ උනන්දුව යලි පන ගැන්වීමට තුඩු දුන්නේය. ස්ටැලින්වාදී තන්ත‍්‍රය විසින් ඝාතනය කරන ලද සියලු බොල්ශෙවික් නායකයින් අතරින්, කිසි විටෙකත් නිල වශයෙන් පුනස්ථාපනය නොකල එකම චරිතය ට්‍රොට්ස්කි වීමේ කාරනය, ඔහු පිලිබඳව සෝවියට් නිලධරයේ නිමක් නොදකින භීතිය පිලිබඳ මිනුමකි.

ඔහුගේ දේශපාලන අරමුනු සම්බන්ධයෙන් සලකන කල ට්‍රොට්ස්කි, උග‍්‍ර මතභේදයකට තුඩුදෙන චරිතයක් ලෙස ඉතිරිව තිබීම බලාපොරොත්තු විය යුත්තකි. එහෙත් ඔහුගේ ක‍්‍රියාකාරකම් හා ඔහුගේ අදහස් වඩාත්ම බුද්ධිමත් සවිඥානික අධ්‍යයනයකට ලක්විය යුතුය යන්න ගැන කුමන හෝ ප‍්‍රශ්නයක් තිබිය හැකි ද? එහෙත් මෙය සිදු නොවන්නේ නම්, ඒ වෙනුවට පසුගිය දශකය තුල අප අත්දැක තිබෙන ආකාරයට මුසාවාදයේ ව්‍යාපාරය අලුත් වී උත්සන්න වන්නේ නම්, ඔහුගේ ජීවිතයේ සෑම පැත්තක්ම පාහේ නිර්දය මුසාකරනයට ලක් කිරීම සඳහා අභිපේ‍්‍රරනය සපයන දේශපාලන හා සමාජ අවශ්‍යතාවය නිරාවරනය කර පැහැදිලි කිරීම අවශ්‍යතාවක් බවට පත්වෙයි.

ට්‍රොට්ස්කිට එරෙහි ව්‍යාපාරය එහි ගතිකය සොයාගෙන ඇත්තේ, ඓතිහාසික හා දේශපාලන ස්වභාවයකින් යුත් අන්තර් සම්බන්ධිත කාරනා දෙකකින් ය. පලමු වැන්න වන ඓතිහාසික සාධකය අපි සලකා බලමු: නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත‍්‍ර බිඳ වැටීම හා සෝසසසං විසුරුවා හැරීම, ධනපති විජයග‍්‍රහනවාදයේ පිපිරීමක් ඇති කලේය. 1989ට පෙරාතුව ස්ටැලින්වාදී තන්ත‍්‍රයන් බිඳවැටීමක් කරා යමින් සිටින බවට පලවූ අනාවැකි සොයාගත හැකි වූයේ ට්‍රොට්ස්කිවාදී ප‍්‍රකාශනයන් තුලින් පමනි. එකදු මුල් පෙලේ ධනපති ඉතිහාසඥයෙක් හෝ මාධ්‍යවේදියෙක් නැගෙනහිර යුරෝපයේ හා සෝවියට් තන්ත‍්‍රයන්ගේ බිඳ වැටීමක් පූර්වාපේක්ෂා කර තිබුනේ නැත. කෙසේ වෙතත්, එම තන්ත‍්‍රයන් තවදුරටත් නොපවතින තතු තුල ධනපති දේශපාලඥයින්, ශාස්ත‍්‍රාලිකයින් හා මාධ්‍යවේදීන් ඒවායේ බිඳ වැටීම නොවැලැක්විය හැකිව තිබුන බව ප‍්‍රකාශ කලේය. 1991 සෝසසසං කඩා වැටීම, ආරම්භයේ පටන් ම 1917 ඔක්තෝබර් විප්ලවය උරුමකරගෙන සිටි බව "සනාථ” කලේය. ආරම්භයේ පටන් ම 1917 සමාජවාදී විප්ලවයට යා හැකිව තිබුනේ එක දිසාවකට පමනි. එනම් ධනවාදය පුනරුත්ථාපනය කිරීම දෙසට ය. සියවසකින් තුන් කාලක් තරම් කාලයක් පුරා දිග හැරුනු මෙම ක‍්‍රියාවලිය, ප‍්‍රතිපලයේ නොවැලැක්විය හැකි බව ප‍්‍රශ්නයට බඳුන් කර තිබුනේ නැත. සංවර්ධනයේ වෙනත් මාවතකට ඉඩක් නොතිබුනි. ස්ටැලින්වාදී තන්ත‍්‍රය ඔක්තෝබර් විප්ලවය පාවාදීමේ ප‍්‍රතිපලය නොවීය. එය වනාහි 1917 සිදුවීම් විසින් නිර්මිත නොවැලැක්විය හැකි ඓතිහාසික අන්ධ පථයකි. එයින් ඉවතට යා හැකිව තිබූ එකම මග ධනේශ්වර පුනස්ථාපනයයි.

සෝවියට් ඉතිහාසය පිලිබඳ මෙම යාන්ත‍්‍රික අර්ථ කථනය, සෝසසසං තුල වෙනස්වූ ද ඒකාධිපති නොවන්නා වූ ද සමාජවාදී පරිනාමයක හැකියාව ම බැහැර කිරීමක් ඉල්ලා සිටියේ ය. සංවර්ධනයේ වෙනත් විකල්ප මාවතක් බැරෑරුම්ව සලකනු නොලැබුනි. ට්‍රොට්ස්කි කෙරෙහි දැක්වූ සැලකිල්ල තීරනය කලේ මෙම ආස්ථානය මගින් ය. ඔහු ස්ටැලින්වාදයට එරෙහිව කල අරගලය මුලූමනින්ම නොතකා හරිනු නොලැබුනේ නම් අවම කරනු ලැබුනි. ස්ටැලින්ට කිසිදු ශක්‍ය විකල්පයක් ලෙස ඔහු වෙතින් කිසිවක් ඉදිරිපත් වුනේ නැත.

එහෙත් නව සියවස කරා හැරීමේ දී, ස්ටැලින්වාදයට විකල්පයක් ලෙස ට්‍රොට්ස්කිගේ වැදගත්කම ප‍්‍රතික්ෂේප කිරීම ඉල්ලා සිටි ඓතිහාසික ප‍්‍රශ්න, නව දේශපාලන අවුල් ජාලයන් මගින් උග‍්‍ර කලේය. සෝසසසං විසුරුවා හැරීමෙන් උනුසුම් කල විජයග‍්‍රහනවාදය විසිවන සියවසේ අවසන් වසරවලට එලඹෙද්දී, වියැකී යාමට පටන් ගෙන තිබුනි. 1998 ආසියානු අර්බුදයත් සමග ආරම්භ වූ ආර්ථික කම්පන, සෝසසසං අවසානය යන සාධක, එහි ගැඹුරට ම මුල්බැස තිබෙන ව්‍යාධීන්ගෙන් ධනවාදය සුවපත් නොකල බව මනාව පැහැදිලි කලේය. 2008 බිඳ වැටීමට පෙරදීම, කම්කරු පන්තියේ පුලුල් කොටස්වල ජීවන කොන්දේසි, විසිවන සියවසේ අවසන් දශකයෙහිත් 21වන සියවසේ මුල් දශකයේත් එක දිගට පිරිහෙමින් තිබුනි. පිරිහෙන ආර්ථික කොන්දේසිවල පසුතලයට එරෙහිව, සැප්තැම්බර් 11 සිදුවීම්වලින් ඉක්බිත්තේ, ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය ලෙස සංස්ථාපනය කරන ලද, අධිරාජ්‍යවාදී පාලක පැලැන්තීන්ගේ වැඩිවන නිර්බාධිත මිලිටරිවාදය, එක එල්ලේ වැඩෙන මහජන විරෝධයකට මුහුන පෑවේය. සමාජ ආතතීන් වඩ වඩාත් පැහැදිලි වීමත් සමග, සිබිග්නිව් බ්‍රෙසින්ස්කි වැනි ධනපති මූලෝපායඥයෝ, යහපත් රැකියාවක් හා ආර්ථික සුරක්ෂිත භාවය සොයාගත නොහැකිවූ, මනා අධ්‍යාපනයක් ලැබූ එහෙත් පීඩාවට පත්ව නොසිටි, වේගයෙන් වර්ධනය වන ගෝලීය තරුන ජනගහනයේ විභව විප්ලවවාදී ඇඟවුම් පිලිබඳව බිය පල කලහ.

මෙම අනිස්ථිර කොන්දේසි හමුවේ ධනේශ්වරය, දශක ගනනාවක් තිස්සේ මැඩලනු ලැබ පැවති ට්‍රොට්ස්කිගේ ලිපි ලේඛන, රැඩිකලීකරනය වූ තරුනයින් විසින් හැදෑරිය යුතු ලියවිලි බවට හදිසියේ ම පත්ව ඇති බව වටහා ගැනීමත් සමග, 1960 ගනන්වල දේශපාලන වාතාවරනය සිහියට නගාගත්හ. ඊටත් වඩා අනිස්ථිර නව සියවසේ ආර්ථික වාතාවරනය හමුවේ, කම්කරුවන් හා තරුනයින් ධනවාදයට විකල්පයන් සොයන්ට පටන් ගනිද්දී, විප්ලවවාදී අරගලයන්ට පිවිසෙන නව පරම්පරාවක් වෙනුවෙන් ට්‍රොට්ස්කි, නැවතත් න්‍යායික හා දේශපාලන මග පෙන්වීම මෙන්ම උත්තේජනයක් ද සපයනු ඇතැයි යන අන්තරාය පහව ගොස් තිබේ ද? සියල්ලටත් පසුව, ධනපතියන්ගේ ආර්ථික අවශ්‍යතාවන්ගේ ශාස්ත‍්‍රාලික රැකවල්ලු මෙසේ විමසති. ට්‍රොට්ස්කිගේ කෙහෙල්මල් පොත්වලින් කීයක් මුද්‍රනය කර තිබේ ද? රුසියානු විප්ලවයේ ඉතිහාසය, විප්ලවය පාවා දෙයි, හා ඒ සියල්ලටත් වඩා ට්‍රොට්ස්කිගේ ප‍්‍රානසම චරිතාපදානය වන මගේ ජීවිතය ඒ අතරට ගැනෙයි. ට්‍රොට්ස්කිගේ සාහිත්‍යමය මහා කව්‍යයේ විප්ලවවාදී කථනය හරස් කිරීමට කුමක් කල යුතු ද?

පූර්ව භංග යුද්ධයේ නව අවධිය නව සාහිත්‍යමය ප‍්‍රවර්ගයක් නිර්මානය කලේය. එනම්, පූර්ව භංග චරිතාපදානයයි පස් වසරකට මඳක් වැඩි කාලයක් තුල ට්‍රොට්ස්කි පිලිබඳ එවන් පූර්ව භංග චරිතාපදාන තුනකට නොඅඩු ගනනක් ප‍්‍රකාශයට පත්කරන ලදී. මහාචාර්ය ඉයන් තැචර්ගේ පලමු චරිතාපදානය 2003දී ප‍්‍රකාශයට පත් විය. මහාචාර්ය ජෙෆ්රි ස්වේන්ගේ දෙවන චරිතාපදානය 2006දී ප‍්‍රකාශ්‍යට පත් විය. මෙම පොත් දෙක පිලිබඳව මවිසින් ලියන ලද දීර්ග පිලිතුරක් 2007දී ප‍්‍රකාශයට පත්කරන ලදී. ස්ටැලින්වාදීන් විසින් ගොතන ලද පැරනි මුසාවන් මත බොහෝකොටම පදනම් වූ, බි‍්‍රතාන්‍ය ඉතිහාසඥයින් දෙදෙනා විසින් බෙදාහරින ලද ගොරහැඩි මුසාකරනයන් මම සවිස්තරාත්මකව හෙලිදරව් කලෙමි. බි‍්‍රතාන්‍ය ශාස්ත‍්‍රාලික ප‍්‍රජාවගේ ප‍්‍රති ට්‍රොට්ස්කිවාදී ව්‍යවසාය නිහඬ කලෙමි යයි මා තුල වූ කුමන හෝ බලාපොරොත්තුවක් වැඩි දවස් පැවතුනේ නැත. 2009දී රොබට් සර්විස්ගේ ට්‍රොට්ස්කි චරිතාපදානය නිකුත් විය.

එබැවින්, ට්‍රොට්ස්කි අපකීර්තියට පත්කිරීමේ අරමුනින් පලවූ තවත් වෙලුමක් ඛන්ඩනය කරමින් සවිස්තරාත්මක විමර්ෂනයක් ලිවීමට මට බලකෙරී ඇති බව මට හැඟී ගියේය. තැචර් හා ස්වේන්ගේ චරිතාපදාන පිලිබඳ මාගේ පූර්ව විශ්ලේෂනයත් සමගින්, ට්‍රොට්ස්කිගේ කෘතීන්හි සමකාලීන අදාලත්වය පැහැදිලි කිරීමට මා දැරූ උත්සාහය ඇතුලත් තවත් කෙටි රචනා දෙකක් සහිතව, ට්‍රොට්ස්කි අරක්ෂා කිරීම සඳහා යන මාතෘකාව යටතේ, සර්විස්ගේ කෘතිය පිලිබඳ විවේචනය ප‍්‍රකාශයට පත් විය. තැචර් ස්වේන් හා සර්විස්ගේ කාතීන් පිලිබඳ මගේ විවේචන, විස්තරාත්මකව විමසා බැලීමට මට අවශ්‍යතාවක් නොමැත. මාගේ උත්සාහයේ ගුනය හා අව්‍යාජත්වය, පසුගිය ජූනියේ ඇමරිකන් හිස්ටොරිකල් ජර්නල්හි පල කල ඉතිහාසඥ බර්ට‍්‍රන්ඩ් පැටිනෝඩි විසින් ලියන ලද දිග විමසුම මගින් සනාථ කර ඇති බව මම විශ්වාස කරමි. සර්විස්ගේ චරිතාපදානය ”ඇල්මැරුනු වැඩක්” ලෙසට මා කල පැහැදිලි කිරීම මහාචාර්ය පැටිනෝඩි විසින් නොඅනුමානව ම සනාථ කර තිබේ. තව ද මම සූර්කාම්ප් ප‍්‍රකාශන මන්දිරය වෙත යවන ලද විවෘත ලිපිය ද සාදරයෙන් පිලිගනිමි. සර්විස්ගේ කෘතිය පිලිබඳ මාගේ හෙලිදරව්ව අනුමත කරමින් හා ජර්මානු භාෂාවෙන් පලකරන සංස්කරනයට විරුද්ධත්වය පල කරමින්, සුප‍්‍රකට යුරෝපීය ඉතිහාසඥයින් 14 දෙනෙකු විසින් ලිපිය ලියන ලදී. සර්විස්ගේ කෘතිය පල කිරීමට විරෝධය පෑ යුතුය යන හැඟීමක්, එම කැපී පෙනෙන ඉතිහාසඥයින් 14 දෙනා තුල පහල වීම, සර්විස්ගේ කෘතියෙහි තරයේ ම අශික්ෂිත ස්වභාවය පිලිබඳව තීරනාත්මක සාක්ෂියකි.

රොබට් සර්විස් එතරම් අපකීර්තියට පත් කල ප‍්‍රකට ඉතිහාසඥයින් 14 දෙනාගේ විවෘත ලිපිය නිසා, යම් හෝ බැරෑරුම් ඉතිහාසඥයෙක් ඔහු වෙනුවෙන් ඉදිරිපත් නොවනු ඇතැයි යමෙකු සිතිය හැකිය. අවසානයේ දී සර්විස්ගේ චරිතාපදානය පිලිබඳ මූලික චෝදනාව වූයේ පාන්ඩිත්වයේ අති මූලික ප‍්‍රමිතීන් උල්ලංඝනය කර ඇතැයි යන්නය. කිසිදු ලේඛන ගත පදනමකින් තොරව සර්විස් ඉදිරිපත් කල තර්කයන්හි නොයෙකුත් සාධකමය දෝෂයන් ඇත. ට්‍රොට්ස්කි දරා නොසිටි අදහස් හා ආස්ථානයන් ඔහු ට්‍රොට්ස්කි වෙත ආරෝපනය කලේය. ඒ අතර ට්‍රොට්ස්කි සැබවින්ම ලිවූ දේ හි සම්පූර්න ප‍්‍රතිවිරුද්ධය ඊට ඇතුලත් ව තිබුනි. තව ද, බොහෝවිට ට්‍රොට්ස්කිට විරුද්ධව යොදාගත් ඒකාකාරී හා මඩ ගැසීමේ ස්වරූපයෙන් හා යුදෙව් විරෝධයට රුකුල් දෙන හා එය නීති යුක්ත කරන ආකාරයෙන්, ඔහුගේ යුදෙව් පෙලපත සම්බන්ධව සර්විස් සැලකූ ආකාරය පිලිබඳ මගේ විරෝධතා ගැන ඉතිහාසඥයින්ගේ එකඟත්වය පලවී ඇත.

තව ද, ඉතිහාසඥයින්ට පිලිතුරු නොසපයන නමුත් සූර්කාම්ප්, සර්විස්ගේ පොත පලකිරීම ප‍්‍රමාද කර, චරිතාපදානය විභාග කිරීමටත් එහි කැපී පෙනෙන බොහෝ සාධකමය දෝෂ නිවැරදි කිරීමටත් "පිටස්තර විශේෂඥ” සේවයක් ලබා ගත්තේය. මේ ආකාරයෙන් සූර්කාම්ප්, සාහිත්‍යමය වශයෙන් ප්ලාස්ටික් ශල්‍යකර්මයකට සමාන, ප‍්‍රකාශන ව්‍යසනයකින් තමන් ගැලවී ගැනීමේ උත්සාහයක නිරත වෙයි. එහෙත්, සූර්කාම්ප් සිය වෙබ් අඩවියෙහි පල කල සර්විස්ගේ පොත පිලිබඳ ප‍්‍රචාරක හැඳින්වීම තුල, ඔවුන් මුහුනපාන ගැටලූවේ දැඩි ස්වභාවය ඇඟවුම් කරයි. සූර්කාම්ප්, "ලෙව් ඩෙවිඩොවිච් බ්‍රොන්ස්ටීන් නමින් 1879 වසරේ දකුනු යුක්‍රේනයහි උපත ලත් මිනිසා” ගැන සඳහන් කරයි. එහෙත් මෙම ප‍්‍රකාශය, ට්‍රොට්ස්කිගේ පලමු නාමය ලීබා වන බවට හා ඔහුගේ තරුන කාලය පුරාම ඔහු හඳුන්වනු ලැබුවේ මෙම යුදෙව් නමින් බවට සර්විස් කරන ප‍්‍රකාශයට නොගැලපෙයි.

සිය චරිතාපදානයේ ඉංග‍්‍රීසි සංස්කරනයෙහි පලමු පිටු 40දී සර්විස් තරුන ට්‍රොට්ස්කි ගැන සඳහන් කරන්නේ, "ලීබා” ලෙසය. ඉන් පසුව සර්විස් කියන්නේ, තමන්ට වයස අවුරුදු 18 වූ පසුව තරුන බ්‍රොන්ස්ටීන්, විප්ලවවාදී ව්‍යාපාරය තුල ඔහුගේ සහෝදරයින් මෙන් රුසියානු නමක් ආරූඪකර ගැනීමේ අරමුනෙන්, ලීවා යන නම භාවිතා කිරීමට තීරනය කල බවයි. ට්‍රොට්ස්කිගේ පලමු නාමය වෙනස් කිරීමේ වැදගත්කම අවධාරනය කිරීම පිනිස සර්විස් මෙසේ ලියයි: "ශබ්දාර්ථයෙන් ගත් කල එයට ලීබා යන යුදෙව් නාමය සමග කිසිදු සම්බන්ධයක් ඇත්තේ නැත.”

මා දැනටමත් දීර්ග වශයෙන් පැහැදිලි කර ඇති පරිදි, මෙම සම්පූර්න කථාව ම සර්විස්ගේ සොයාගැනීමකි. ට්‍රොට්ස්කිගේ පලමු නාමය ලෙව් ය. ඔහු ගේ ලදරු වියේ සිටම ඔහු දැන සිටියේ මේ නමෙන් හෝ හඬ බාල වන ලියෝවා යන නමෙන් ය. එහෙත් තරුන ට්‍රොට්ස්කිට ලීබා යන සාවද්‍ය නාමය ආරෝපනය කිරීම, සර්විස්ගේ චරිතාපදානයෙහි මූලික ක‍්‍රියාකලාපයක් ඉටුකර තිබේ. පලමුව, ට්‍රොට්ස්කිගේ යුදෙව් විරෝධී එදිරිවාදීන් නිරන්තරයෙන් යොදාගනු ලැබූ ආකාරයට ම ඔහුගේ යුදෙව් අනන්‍යතාවය උද්දීපනය කිරීමට එය ඉවහල් විය. දෙවනුව, සිය පලමු සැබෑ නම සැඟවීමට දරන ට්‍රොට්ස්කිගේ උත්සාහය, තම යුදෙව් සම්භවය යට ගැසීමට නැවත නැවතත් දරන උත්සාහය පිලිබඳ නිදසුනක් වනවා පමනක් නොව, ට්‍රොට්ස්කිගේ චරිතාපදානය තුල සර්විස් සොයාගත්තා යයි කියන වැදගත් දෝෂයක් ද වෙයි.

කෙසේ වුවත්, තරුන ට්‍රොට්ස්කිට ලීබා යන නම ආරෝපනය කරමින් සර්විස් කල වැරැද්ද, සූර්කාම්ප් විසින් කුලියට ගනු ලැබූ විශේෂඥයා විසින් නිවැරදි කර තිබෙනවා විය යුතුය. එබැවින් අප, කුහුල දනවන සාහිත්‍යමය පරස්වාචකයකට මුන ගස්වා තිබේ. සර්විස්ගේ චරිතාපදානයේ මාතෘකාව, (ට්‍රොට්ස්කි) ඉංග‍්‍රීසි සංස්කරනයේදී ඉපිද ඇත්තේ එක් නමකින් වන අතර ජර්මානු සංස්කරනයේදී සම්පූර්නයෙන් වෙනස් නමකින් උපත ලබා ඇත.

සර්විස්ගේ චරිතාපදානය ජූලි මාසයේදී එලිදැක්වෙන බව සූර්කාම්ප් වෙබ් අඩවිය සඳහන් කරයි. එහෙත් ඉතිහාසඥයින් 14 දෙනාගේ විවෘත ලිපියත්, පොත එලිදැක්වීම දිගු කලක් ප‍්‍රමාද වීමත්, දක්ෂිනාංශික කවයන් හා ප‍්‍රති මාක්ස්වාදී ඉතිහාසඥයින් ස්ථරයක් අතර කැලඹීමක් ඇතිකර තිබේ. ට්‍රොට්ස්කි පිලිබඳව මොනම ආකාරයක හෝ සානුකම්පික නිරූපනයකට ඇති ඉඩකඩ සර්විස්ගේ කෘතිය මගින් අවුරා ඇතැයි එය වර්නනා කරමින්, අන්ත දක්ෂිනාංශික පුවත්පතක් වන ජුන්ගි ෆේ‍්‍රහීට් සර්විස්ගේ ආරක්ෂාවට ඉදිරිපත්ව ඇත. ලංඩන්හි පැවති පොත් දැක්මක දී පුවත්පත සර්විස්ගේ ප‍්‍රකාශය වර්නනා කලේය. "හිම පොරව ඔහු මරාදැමීමේ කාර්යය හරි හැටි ඉටු නොකලේ නම්, එය ඉටු කිරීමට මම සමත් වූවායයි සිතමි.” යන සර්විස්ගේ කියමන "සිත්ගන්නා සුලු ප‍්‍රකාශයක්” ලෙස හුවා දක්වයි.

ජුන්ගි ෆේ‍්‍රහීට් පිටු තුලින් රොබට් සර්විස් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වීම ගැන කෙනෙක් මවිතයට පත් වන්නේ කලාතුරකිනි. එහෙත් වඩා කුතුහලය දනවන්නේ, සර්විස්ගේ සහාය පිනිස නියු සූචර් සේටුංග් පුවත්පතේ පිටුවල පලවූ ලිපි දෙකකි. ඒවායේ කතුවරයා මහාචාර්ය උල්රිච් එම්. ස්කිමිඞ් ය. ඔහු ශාන්ත ගැලන් විශ්ව විද්‍යාලයේ ඉගැන්වීමෙහි යෙදෙන අතර ඉතිහාසය, දර්ශනවාදය, සාහිත්‍යය හා සංස්කෘතිය පිලිබඳ කරුනු සම්බන්ධව පුලුල් වශයෙන් ලියා ඇති අයෙකි. ඔහුගේ විෂය ධාරාව විශ්ව විද්‍යාල වෙබ් අඩවියෙහි පලකොට තිබෙන අතර බෙහෙවින් මවිතකර ලිපි 600කට වැඩි ලැයිස්තුවක් එහි ඇතුලත්වේ. ඔහුගේ රචනා නිතර නිතර නියූ සූචර් සේටුංග් හි පලකෙරේ.

පලමු ලිපිය 2011 දෙසැම්බර් 28දා එහි පලවිය. තරමක් දුරට සිතාගත හැකි පරිදි එහි මාතෘකාව වූයේ "ස්ටැලින්ට විකල්පයක් නොවීය” යන්නයි. එය පටන් ගන්නේ, ‘68 පරම්පරාව ට්‍රොට්ස්කි දැක ගත්තේ, ස්ටැලින්ට ශක්‍ය විකල්පයක් ලෙස යයි වැලපෙමිනි:

ලෙනින්ගේ මරනයෙන් පසුව, ස්ටැලින් නොව ට්‍රොට්ස්කි සෝවියට් සංගමයේ නායකත්වයට පත්වූයේ නම්, සමාජවාදී ආකෘතියේ සමාජයක් පිලිබඳ අත්හදා බැලීම්, අමානුෂික ආඥාදායකත්වයක් වැනි නරක තැනකට නොවැටිය හැකිව තිබුනි. තර්කය එසේ ඉදිරියට යයි.

බොහෝ බටහිර සමාජවාදීහු, ට්‍රොට්ස්කිගේ බුද්ධිමය තීක්ෂන භාවයෙන් තෙමේම ගිනිකන වැටී, ස්ටැලින් කෙරෙහි පැවති ට්‍රොට්ස්කිගේ විරුද්ධත්වය අභිපේ‍්‍රරනය වූයේ, මානුෂික මුහුනුවරක් සහිත සමාජවාදය පිලිබඳ අදහසින්ය යන දඩි බිඩි නිගමනයට පැමිනියහ.

සර්විස්ගේ ප‍්‍රවිෂ්ටය අනුගමනය කරමින් ස්කිමිඩ්, ට්‍රොට්ස්කි පිලිබඳ මෙම ජනප‍්‍රිය මතය, හෙතෙම ද්වේෂයේ උල්පත වූ, යම් වර්ගයක යක්ෂයෙකු ලෙස සිතුවම් කරමින් ප‍්‍රතික්ෂේප කිරීමට උත්සාහ දරයි. ඔහු මෙසේ ලියයි:

යුද කොමසාරිස්වරයා ලෙස ට්‍රොට්ස්කිගේ කාර්ය සාධනය ආරම්භයේ පටන් ම ඔහු, සිය ආන්තික යක්ෂාවේෂය ප‍්‍රදර්ශනය කොට තිබේ. ඔහු සාර්වාදී නිලධාරීන්ගේ පක්ෂපාතිත්වය ලබාගත්තේ, ඔවුන්ගේ පවුල් ප‍්‍රාන ඇපකරුවන් ලෙස ගනිමිනි.

මිලිටරි ආඥාපති ලෙස ට්‍රොට්ස්කිගේ කටයුතු එවන් කෝපාවිෂ්ඨ හෙලාදැකීමකට බඳුන් කිරීම යමෙක් කියවන කල්හි ඔහු, ට්‍රොට්ස්කි ඉතිහාසයේ වේදිකාවට ප‍්‍රවිෂ්ට වීමට පෙරතුව, සිවිල් යුද්ධ අවිහිංසාවාදී හා ලේ හැලීමෙන් තොරව, ප‍්‍රතිවාදී පාර්ශව අන්‍යෙන්‍ය ස්නේහයෙන් හා නොකැලැල් කාරුනිකත්වයෙන් එකිනෙකාට සැලකුවේයයි මුලුමනින්ම පාහේ විශ්වාස කිරීමට ඉඩ තිබේ. එසේ වුවත් අප හැම දන්නා පරිදි ඉතිහාසය කියන්නේ ඊට සපුරා වෙනස් කතාන්තරයකි. එහෙත් ස්කිමිඩ්, ට්‍රොට්ස්කිගේ ක‍්‍රියාවන් පුලුල් ඓතිහාසික සන්දර්භයක තැබීමෙන් වැලකී සිටීමට කැමත්තක් නොදැක්වුවා නම්, ට්‍රොට්ස්කිගේ කටයුතු පැහැදිලි කල හැකිව තිබුනු අතර යුක්තිසහගත කිරීමට පවා අවකාශ තිබුනි.

ප‍්‍රති විප්ලවයේ බලවේගයන්ට එරෙහිව ට්‍රොට්ස්කි, සෝවියට් පාලනය ආරක්ෂා කරනු ලැබූ 1918 හා 1921 අතර කාලයේ දී, බොල්ශෙවිකයන් පරාජය වීමකින් ඇතිවිය හැකි ප‍්‍රතිවිපාක කවරේදැයි මනාව දැන සිටියේය. ඔහු අයත් වූයේ, 1871 මැයි මාසයේදී පැරිස් කොමියුනය මැඬීමෙන් ඉක්බිතිව සිදුවූ දේ තවමත් මතකයේ ජීවත්වන විප්ලවවාදීන් පරම්පරාවකට ය. කොමියුනයේ පරාජයෙන් පසුව උදාවූ සතිය තුල, ධනපති පාලනය විසින් මෙහෙයවන ලද ජයග‍්‍රාහී ජාතික ආරක්ෂක හමුදා 30,000ත් 50,000ත් අතර සංඛ්‍යාවක් කම්කරුවන් මරා දැමූහ. ධනපති ආන්ඩුවේ සභාපති ඇඩොල්ෆ් තියර්ස්, ”පොලොව මත ඔවුන්ගේ මල කඳන් අතුරා ඇත. මෙම බිහිසුනු දර්ශනය පාඩමක් ලෙස සලකනවා ඇත.” යනුවෙන් කොමියුනාඞ් වරු ගැන පැවසීය.

එහෙත් ට්‍රොට්ස්කිට, ප‍්‍රති විප්ලවය ජයග‍්‍රහනය කලේ නම් බොල්ශෙවික් පාලනය හා සෝවියට් කම්කරුවන්ට අත්විය හැකිව තිබූ ඉරනම කවරක් දැයි මතකයට නැංවීම සඳහා පැරිස් කොමියුනයේ නිදසුන ම අවශ්‍ය වූයේ නැත. බොල්ශෙවිකයන්ට ද කම්කරු හා ගොවි සමූහයන්ට ද 1905 විප්ලවයේ පරාජයෙන් පසුව දියත් වූ රුධිර ස්නානය හොඳින්ම මතක තිබුනි. සාර් තන්ත‍්‍රය, විප්ලවයට සහාය දැක්වූ ජනතාව විසූ නගර ගම් නියම්ගම් සිසාරා සිය හමුදා දන්ඩන මෙහෙයුමකට පිටත්කර හැරියේය. සාර්වාදී හමුදා, දස දහස් ගනන් වැසියන් අමු අමුවේ මරා දමන ලද අතර ඔවුන් විසූ නගර හා ගම් දනව් වනසා දැමීය.

සර්විස් මෙන්ම ස්කිමිඩ් ද වෙනත් මුලුමනින්ම නොවැදගත් නොවූ කාරනයක් සැලකිල්ලට ගැනීමට අසමත් විය: ඔක්තෝබර් විප්ලවය පැන නැංගේ 1914 ග‍්‍රීෂ්ම සෘතුවේ ආරම්භ වූ පලමු ලෝක සංග‍්‍රාමයේ පසුබිමට එරෙහිව ය. බොල්ශෙවිකයින් බලයට පත්වූ කාලය වන විට දල වශයෙන් රුසියානු සෙබලු ලක්ෂ 17කගේ ජීවිත එම නිස්කාරන රුධිර ස්නානය විසින් බිලිගෙන තිබුනි. එක් ඉතිහාසඥයෙකුට අනුව, "තිස් අවුරුදු යුද්ධයෙන් මෙපිට යුරෝපය තුල අතිශය විස්තීර්න සංස්කෘතික විනාශයත් ජන සංහාරයත් සිදුවූ” පලමු ලෝක යුද්ධයේ විවිධ පෙරමුනුවල තවත් දශ ලක්ෂ ගනනකගේ ජීවිත විනාශ විය. පලමු ලෝක යුද්ධයට රුසියාවේ සහභාගිත්වය මගින් නිර්මානය කල තැතිගන්වන සුලු සමාජ හා ආර්ථික තත්වයන් මගින් නීර්නය කල කල්හි රුසියානු විප්ලවයේ ප‍්‍රචන්ඩත්වය, සුලුවෙන් තැකිය හැකි නොවේ.The Dynamic of Destruction: Culture and Mass Killing in the First World War (ව්‍යසනයේ ගතිකය: පලමුවන ලෝක සංග‍්‍රාමයේ සංස්කෘතිය හා ජන සංහාර) යන කෘතිය තුල, ඉහත වැකියේ කතෘ ඉතිහාසඥ ඇලන් ක‍්‍රාමර් මෙසේ ලිවීය:

... 1917 රුසියානු විප්ලවය හා සෝවියට් සංගමයේ ස්වභාවය කෙරෙහි, යුද්ධය තුල රුසියාවේ අත්දැකීම් ප‍්‍රගාඪ බලපෑමක් කලේයයි පැවසීම අව තක්සේරුවක් වනු ඇත: එය වනාහි, ඉන් පසුව එලඹි දශක ගනනාවක බොල්ශෙවික් පාලනයේ සමස්ත දේශපාලන සංස්කෘතිය හැඩ ගැස්වූ හත් වසරක යුද්ධය ද (ප‍්‍රථම ලෝක සංග‍්‍රාමය) දේශපාලන කැලඹීම් ද සිවිල් යුද්ධය ද පිලිබඳ ප‍්‍රශ්නයකි.

සදාචාරාත්මක පදනමේ දී, ට්‍රොට්ස්කි අපකීර්තියට පත්කිරීම සඳහා අධිෂ්ඨනශීලී වූ ස්කිමිඩ්, ට්‍රොට්ස්කිගේ "මෘගත්වය” පිලිබඳව චෝදනා නැගූ තවත් නිදසුන් ඉදිරිපත් කරයි.

කර්සාන් පෙරමුනේ ඔහුගේ රතු හමුදා ඒකකය 1918දී සතුරා ඉදිරියේ පසු බසින කල ට්‍රොට්ස්කි, එහි අනදෙන නිලධාරියා ද ඇතුලු සෙබලු 40 දෙනෙකුට වෙඩි තබා ඔවුන්ගේ මල සිරුරු වොල්ගා නදියට දැමිය යුතු යයි කෙටියෙන් නියෝග කලේය.

අලුතෙන්ම සංවිධානය කල රතු හමුදාවේ ඉරනම අවිනිශ්චිත තත්වයක පවතිද්දී, වෙඩි වරුසා මැද හමුදාව අතහැර පලායන සෙබලුන් මරාදැමීමට ට්‍රොට්ස්කි නියෝග කලේය යන්න සත්‍යයකි. විනය ආරක්ෂා කිරීම පිනිස ට්‍රොට්ස්කි මෙම ආන්තික පියවර ගනු ලැබූ අතර සිය චරිතාපදානය තුල මෙම සිද්ධිය යලි සිහිපත් කලේය. යුද්ධයේ සන්දර්භය තුල ට්‍රොට්ස්කි ගත් පියවර යුක්තිසහගත ය. ස්කිමිඩ් නිසැකව ම දන්නා පරිදි 1 වන ලෝක යුද්ධය අවධියේ දී ජර්මන්, ප‍්‍රන්ස හා බි‍්‍රතාන්‍ය හමුදා පලා යන්නවුන්ට එරෙහිව මරන දන්ඩනය පැනවීය. සමහරවිට ට්‍රොට්ස්කි මරනීය දන්ඩනය යොදාගැනීම හෙලාදැකීමේ දී, තම බලපෑම පිලිබඳව සැක කිරීම නිසා ස්කිමිඩ්, මරා දැමූවන්ගේ සිරුරු වොල්ගා නදියට විසි කරන ලෙසට ට්‍රොට්ස්කි නියෝග කලේය වැනි, ආගන්තුක හා කරදරකාරී විස්තර තම ලේඛනයට ඇතුලත් කලේය.

මෙම ප‍්‍රකාශය පාඨකයාගේ සිත්හි ඇති කරන්නේ, බිය ජනක සිතුවමකි. ට්‍රොට්ස්කි පලා යන්නවුන්ට වෙඩි තැබුවා පමනක් නොව, ඔවුන් යථා පරිදි භූමදාන කිරීමේ ඉඩ කඩ ද ප‍්‍රතික්ෂේප කලේය. ඔහු ඔවුන්ගේ මල සිරුරු ගඟට විසිකර දැමීය. මම මීට පෙර මෙම පිලිකුල දනවන විස්තර අසා නැත. මෙම චෝදනා නැගීමේ දී ස්කිමිඩ් පදනම් වන්නේ කුමන ලේඛනගත සාක්ෂි මත ද? මහාචාර්ය ස්කිමිඩ් චෝදනා කරන මේ අමානුෂික ක‍්‍රියා ඔහු සොයා ගත්තේ කොහෙන් දැයි අපට කිව යුතුය.

ට්‍රොට්ස්කිගේ කෲරත්වය පිලිබඳව සඳහන් කෙරෙන, 1921 කොන්ස්ට‍්‍රාඩ් කැරැල්ල මැඩ පැවැත්වීම වැනි, අනෙකුත් ප‍්‍රකට චෝදනා ද ස්කිමිඩ් ගෙනහැර දක්වයි. යලි වතාවක් මෙම සිදුවීම් ඉදිරිපත් කරන්නේ, ඒවා සිදුවූ දේශපාලන හා ඓතිහාසික සන්දර්භය පිලිබඳ බැරෑරුම් විශ්ලේෂනයක් තබා සඳහනකින් පවා තොරව ය. පිලිගැන්වීමේ මෙම ආකෘතිය, කවරාකාරයකින් හෝ සිදුවීම් හෝ එවා තුල ට්‍රොට්ස්කිගේ භූමිකාව වටහා ගැනීමට දායකත්වයක් සපයන්නේ නැත. ඒවායේ එකම අරමුන, ස්කිමිඩ්ගේ ම දේශපාලනිකව අභිපේ‍්‍රරිත ප‍්‍රති කොමියුනිස්ට්වාදී න්‍යාය පත‍්‍රය පෙරට ගැනීම ය. ඔහුගේ පලමු ලිපියේ අවසන් ඡේදයේ ස්කිමිඩ් යලිත් පැමිනිලි කරන්නේ,

ට්‍රොට්ස්කිගේ ආඥාදායක අභිලාෂයන් පිලිබඳව තවදුරටත් කිසිදු සැකයකට ඉඩක් නොතිබිය හැකි නමුදු, ස්ටැලින් හා ලෝක ධනවාදය විසින් සිදුකරන ලද කුමන්ත‍්‍රනයෙන් ඔහු වීරත්වයට පත්කරනු ලැබ ඇතැයි සැලකීමට කැමැත්ත දක්වන "කොමියුනිස්ට් සංශයවාදීන්” තවමත් නැතුවා නොවේ යනුවෙනි. එවන් සන්ධානයක් පිලිබඳ අභූත සිතාගැනීම් මගින් පැහැදිලි කරන්නේ මෙම කතුවරුන් සාමාන්‍ය දැනීමෙන් කොතෙක් දුරට වියෝවී ඇත් ද යන්නය.

මෙය අභූත අභ්‍යුපගමයක් යයි සැලකීමේදී එය, ට්‍රොට්ස්කි හා ඔහුගේ ආධාරකරුවන් ඊට සමානුපාතික ලෙසට ස්ටැලින්වාදීන් ද ෆැසිස්ට්වාදීන් ද ධනපති ප‍්‍රජාතන්ත‍්‍ර ආන්ඩු විසින් ද තාඩන පීඩනයට ලක් කලේය යන්න මගින් සනාථ කරයි. සෝසසසංන් ඔහු නෙරපා හැරීමෙන් පසුව ජර්මනියේ හා බි‍්‍රතාන්‍යයේ ආන්ඩු දෙකම ට්‍රොට්ස්කිට සරන සැලසීම ප‍්‍රතික්ෂේප කලේය. පසුව ඔහුට ප‍්‍රන්සයට ඇතුල් වීමට අවසර ලැබුනේ, ඔහුගේ දේශපාලන කටයුතු පමනක් නොව රට තුල ඔහුගේ කායික හැසිරීම් මත පවා පැනවූ දැඩි සීමාවන් පිලිගැනීමෙන් පසුව පමනි. මම දැනටමත් සඳහන් කර ඇති පරිදි 1936දී, නෝවීජියානු ආන්ඩුව ට්‍රොට්ස්කි නිවාස අඩස්සියේ තැබීය. ඒ, මොස්කව් හොර නඩු ප‍්‍රසිද්ධියේ හෙලිදරව් කිරීමෙන් ඔහු වලකාලීමට ය. මොස්කව් නඩු සඳහා යුරෝපයේ හා ඇමරිකාවේ ධනපති ලිබරලුන් අතරින් ලැබුනු පුලුල් සහාය ගලා ආවේ, 1930 ගනන්වල "මහජන පෙරමුනු” ව්‍යාපාරයට පදනම සකසනු ලැබූ ස්ටැලින්වාදී පක්ෂ සමග ඔවුන් ඇතිකරගත් දේශපාලන සන්ධානයන්ගෙනි. ට්‍රොට්ස්කිවාදයට එරෙහි ස්ටැලින්වාදී-අධිරාජ්‍යවාදී සන්ධානය පිලිබඳව ලිවූ අය සමච්චලයට ලක් කරමින් ස්කිමිඩ්, 1930 ගනන්වල දේශපාලන ගතිකය පිලිබඳ තම අමනෝඥකම ප‍්‍රදර්ශනය කරයි.

පෙබරවාරි 21දා නියූ සූචර් සේටුංග්හි පලකල ස්කිමිඩ්ගේ දෙවන ලිපිය තුල ඔහු, සර්විස්ගේ කෘතිය පිලිබඳ මගේ විවේචන, ස්ටැන්ෆර්ඩ් විශ්විද්‍යාලයේ මහාචාර්ය බර්ට‍්‍රන්ඩ් පැටිනෝඩි විසින් සනාථ කර ඇති බව පිලිගනියි. එසේම ඔහු ඉතිහාසඥයින් 14 දෙනාගේ ලිපිය පිලිබඳව ද සැලකිලිමත් වෙයි. ඔවුන් නම් වශයෙන් සටහන් කලොත්, හෙල්මුට් ඩාහ්මර්, හර්මන් වෙබර්, බර්නාඩ් බෙයර්ලින්, හීකෝ හව්මාන්, මාරියෝ කෙස්ලර්, ඔස්කාර් නෙග්ට්, ඔලිවර් රත්කොල්බි හා පීටර් ස්ටේන්බාක් ය. මෙම සියලු ඉතිහාසඥයින් පිලිගත් ශාස්ත‍්‍රලිකයින් බව ස්කිමිඩ් නිසැකයෙන්ම දැන සිටියි. සර්විස්ගේ චරිතාපදානය පලකිරීමට විරෝධය පල කරමින් අත්සන් තැබූ අයගේ ලැයිස්තුවෙහි මහාචාර්ය හීකෝ හව්මාන්ගේ නම ද තිබෙන බව දැක ගැනීමෙන් ස්කිමිඩ්ට කරදරයට පත් නොවී සිටිය නොහැක. මහාචාර්ය හව්මාන් 1988-89 කාලයේ ස්කිමිඩ්හට ඔහුගේ හැබිලිටේෂන්ස්ක‍්‍රිෆ්ට් හෙවත් පශ්චාත් අචාර්ය උපාධියේ නිබන්ධනය පිලියෙල කිරීමට සහායවී තිබුනු අතර එම සේවය වෙනුවෙන් ස්කිමිඩ් ප‍්‍රසිද්ධියේ ම ඔහුට කෘතඥතාව පලකොට තිබුනි. එහෙත් දැන් ස්කිමිඩ් ඔහුගේ එක් උපදේශකයෙකුගේ තීන්දුවට අභියෝග කිරීමේ අපහසු තත්වයට පත්ව සිටියි.

සර්විස්ගේ කෘතිය ආරක්ෂා කිරීමේ දී ස්කිමිඩ් අරුම පුදුම මූලෝපායක් යොදා ගනියි. එහි දෝෂ තිබෙන බව ඔහු පිලිගනියි. එහෙත් ඔහු මෙම දෝෂ වැදගැම්මකට නැතැයි බැහැර කර තිබේ. ස්කිමිඩ් කපටි ලෙස ඒවා ගැන මෙසේ සඳහන් කරයි. "මියගිය දින වකවානු වැරදියට දැක්වීම, ඓතිහාසික සිදුවීම් පිලිබඳ අනිශ්චිත විස්තර, සැකකටයුතු පාද සටහන්, පවුල් සම්බන්ධකම් කවලම් කිරීම, උපුටා දැක්වීම් කප්පාදු කිරීම හා ට්‍රොට්ස්කි අවාසි සහගත තැනක තබන, මනාපය පරිදි තෝරාගත් මතක සටහන්, සුලු වැරදි” වන්නේය.

සර්විස් මූලික ශාස්ත‍්‍රාලික ප‍්‍රමිතීන්ගෙන් බැහැර වූ අවස්ථා සහිත මෙම ලැයිස්තුව යමෙකුට කියවිය හැක්කේ මවිතයෙනි. මෙම දෝෂයන්ගෙන් එකක් හෝ වෘත්තීයමය මහාචාර්ය වරයෙකු විසින් රචිත කෘතියක් තුල දකිනට ලැබෙන්නේ නම් එය නුසුදුසු කමක් සේ සැලකිය යුතුය. හාවඩ් විශ්ව විද්‍යාල මුද්‍රනාලයේ අවසරයෙන් එක්සත් ජනපදය තුල පලකල කෘතියක මෙම සියලු දෝෂ දක්නට ලැබීම, බුද්ධිමය සෝලියකට නොඅඩු දෙයක් නොවේ. එවන් කෘතියක් බිහි කල ශාස්ත‍්‍රාලිකයෙක්, ඉතිහාසඥයෙකු ලෙස බැරෑරුම්ව සලකනු ලැබීමේ සියලු හිමිකම් අහිමිකර ගනියි. එවන් කෘතියක් පල කල ප‍්‍රකාශන මන්දිරයක්, බුද්ධිමය භාෂනයේ ඒකාග‍්‍රතාවය තබාගැනීමේ වෘත්තීයමය හා ආචාර ධර්මයේ වගකිම් පැහැර හැරියා වෙයි.

මහාචාර්ය ස්කිමිඩ්, ශාස්ත‍්‍රාලික මානයන් සපුරාලීමට දැක්වූ සර්විස්ගේ අසමත්කමෙහි බැරෑරුම්කම පිලිබඳව අසංවේදී විය නොහැකිය. බුහු විධ ලේඛකයෙක් වන ඔහුගේ ප‍්‍රකාශිත ශාස්ත‍්‍රාලික ලේඛනවලින් කොටසක් කෙටි විමසුමකට ලක් කිරීමේ දී මට කිවහැකි තාක් දුරට ඔහු, වෘත්තීයමය ප‍්‍රමිතීන් පිලිපැදීමට උත්සුකයක වී තිබුනි. එසේ වෙතත්, ශාස්ත‍්‍රාලික නියාම, දඬුවමකින් තොරව ම කඩකිරීමට සර්විස්ට ඉඩ තිබිය යුතු යයි ඔහු විශ්වාස කරන බවක් පෙනී යයි. සර්විස්ගේ චරිතාපදානයෙහි දක්නට ඇති කාරනාමය දෝෂ කෙතරම් බහුල ද යත්, සූර්කාම්ප්ට, සමස්ත ලේඛනය ම විමර්ෂනය කිරීම සඳහා ස්වාධීන විශේෂඥයෙකුගේ සේවය පැතීමට සිදුව තිබේ. එය විශාල වැදගත් කමක් දරන ගැටලුවක් නොවේ යයි පාඨකයින් විශ්වාස කරනු ඇතැයි ස්කිම්ඩ් සිතුවේය. සැබවින්ම ඉතා දක්ෂ ඉතිහාසඥයෙකුගේ කෘතියක් තුල පවා ඉඳ හිට සාධකමය දෝෂයක් සොයාගත නොහැකිවා නොවේ. එහෙත් තනි කෘතියක් තුල සාධකමය දෝෂ බහුල වශයෙන් දක්නට ලැබීම මුලුමනින්ම වෙනස් කාරනයකි. එතරම් දෝෂ පැවතීම, කතුවරයාට සිය විෂය කරුන පිලිබඳව අධිකාරයක් නොමැති බවටත්, සිදුවීම් පිලිබඳ ඔහුගේ අර්ථ කථන සියලු විශ්වාසනීයත්වයන් අහිමිකරගෙන ඇති බවටත්, සාක්ෂියකි.

එහෙත්, සර්විස්ගේ පොතෙහි ඇති සියලු දෝෂ හෙලිදරව්වී තිබිය දීත් ස්කිමිඩ්, පොත එලිදැක්වීම සිදුවිය යුතු යයි අවධාරනය කර තිබේ. ඔහු මෙසේ ලියයි:

2012 වසර මුල ජර්මානු පරිවර්තනය නිවැරදි කල සංස්කරනයක් සහිතව පල කල යුතුය. එහෙත් ලේඛනයේ ව්‍යුහයෙහි, දුරදිග යන වෙනස් කිරීම් නොතිබෙනු ඇත. ප‍්‍රකාශන මන්දිරයේ තීරනය නිවැරදිය: නෝර්ත්ට වේවා පැටිනෝඩිට වේවා, ට්‍රොට්ස්කිගේ විප්ලවවාදී උන්මාදය හා ප‍්‍රචන්ඩත්වය යොදාගැනීමට දැක්වූ කැමැත්ත පිලිබඳ සර්විස්ගේ මූලික විවේචනයට වල කැපීම සඳහා තර්ක ගොඩ නැගීමට හැකිවූයේ නැත.

මෙම ඡේදය සියල්ල පැහැදිලි කරන අතර වාරයේ, සර්විස් ආරක්ෂා කිරීමේ සකිමිඩ්ගේ එකම පදනම, ඔහුගේ දෘෂ්ටිමය හා දේශපාලනික කැපවීමයි. වැරදි, මුසාකරන හා ශාස්ත‍්‍රාලික ප‍්‍රමිති කඩ කිරීම් තිබිය දී ම, ස්කිමිඩ්ට වැදගත්වන එකම් උපමානය, සර්විස්ගේ කෘතිය මගින් සපුරා ඇත: ඒ ට්‍රොට්ස්කිට එරෙහිවීම හා සමාජවාදී විප්ලවයට එරෙහි වීමයි. අන් කිසිවක් අදාල නොවේ.

ට්‍රොට්ස්කි ඝාතනයෙන් වසර 70කටත් වැඩි කාලයකට පසුව ඔහුගේ උරුමය කටුක ම මත්භේදයන්ගේ මාතෘකාව ලෙස ඉතිරිව තිබේ. ඓතිහාසික ශාස්ත‍්‍රාලිකයේ අගති විරහිත ක්ෂේත‍්‍රයට ඇතුල්වීමේ අයිතිය ඔහුට අහිමිකර තිබේ. ට්‍රොට්ස්කි උනුසුම් සමකාලීන චරිතයක් ලෙස නැගී සිටියි. ඔහු 20වන සියවසේ ශ්‍රෙෂ්ඨතම විප්ලවයේ නායකයෙක් ලෙස පමනක් නොව, අනාගත විප්ලවයන්ගේ දේශපාලන හා බුද්ධිමය අනුප‍්‍රානයක් ලෙස ද ඉතිහාසය තුල ජීවත් වෙයි.

සෝසසසං විසුරුවාහැර විසි වසරකටත් වැඩි කාලයක් ඉක්ම ගොස් තිබිය දී, ධනවාදය අර්බුදයේ ගොහොරුව තුල ගිලෙමින් තිබේ. ප‍්‍රැන්සිස් ෆුකුයාමා පොරොන්දු වූ ඉතිහාසයේ අවසානය සාක්ෂාත් වී නැත. අප අත්දකිමින් සිටින්නේ, ආර්ථික අර්බුදයේ ද ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කෙරෙන නිර්දය ප‍්‍රහාරයේ ද අධිරාජ්‍යවාදී යුද්ධ පුපුරා යාමේ ද ඉතිහාසයේ සම්ප‍්‍රාප්තියයි. මෙම තත්වය තුල කම්කරු පන්තිය අද දවසේ යථාර්තය වටහා ගැනීම පිනිස, ඉතිහාසය හැදෑරිය යුතුය. ඓතිහාසික මුසාකරනයන්ට එරෙහිව ට්‍රොට්ස්කිගේ උරුමය ආරක්ෂා කිරීම, කම්කරු පන්තියේ දේශපාලන අධ්‍යාපනය හා විප්ලවවාදී අරගලයේ නව යුගයෙහි දේශපාලන ඉල්ලීම් සඳහා ඔවුන් සූදානම් කිරීමේ දී, නැතිවම බැරි සංරචකයකි.

Share this article: