ලෝක බැංකු වාර්තාව ශ්‍රී ලංකා ආර්ථිකය මුහුන දෙන අන්තරායකාරි බව පෙන්නුම් කරයි
By Saman Gunadasa, 4 February 2012
"ගෝලීය ආර්ථික අපේක්ෂා 2012 ජනවාරි - අන්තරායකාරි බව හා අවිනිශ්චිතතාවන්” යන මැයෙන් යුක්ත ද්වි-වාර්ෂික ලෝක බැංකු ප්රකාශනය, ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇත්තේ, එකදු රටකට හෝ ගැලවිය නොහැකි අඳුරු චිත්රයකි. එය, ලංකාව ද ඇතුලු දකුනු ආසියාව මුහුන දිය හැකි අන්තරායන් ද විස්තර කරයි.
ලෝක ධනවාදී ආර්ථිකයේ ප්‍රධාන ආර්ථික හා මූල්‍ය ආයතනයේ ලංකාව පිලිබඳ මෙම තක්සේරුව, කොලඹ ආන්ඩුවත් මහ බැංකුවත් නිරන්තරයෙන් තමන්ව ම අගය කර ගනිමින් කරන ප්රකාශනයන්ට තියුනු ලෙස ප්‍රතිවිරුද්ධ වේ. ශ්‍රී ලාංකික ආර්ථිකය කෙතරම් ශක්තිමත් ද යත් ඊට ජාත්‍යන්තර අර්බුදයට මුහුන දිය හැකි යයි ඔවුහු අභූත ප්‍රකාශ කරති.
දකුනු ආසියාව පිලිබඳව සඳහන් කරමින් "කිසිදු රටකට හෝ කලාපයකට තියුනු කඩා වැටීමෙන් ගැලවිය නොහැකි” බව වාර්තාව අවධාරනය කරයි. මෙම සන්දර්භය තුල අනෙක් රටවල් හා කලාප මෙන්ම ශ්‍රී ලාංකික ආර්ථිකය ද වැඩෙන අවදානමකට මුහුන දී සිටී. ආනයන සඳහා ඉල්ලුම හා මැද පෙරදිග රටවල සංක්රමනික කම්කරුවන්ගේ විනිමය තැන්පතු පහත වැටීම, ඉහල ආදායම් ලබන රටවලින් පැමිනෙන ප්රාග්ධනය සිඳී යාම හා බටහිරින් පැමිනෙන සංචාරක සංඛ්‍යාව පහත වැටීම මෙම අවදානම් තත්වයන් වේ.
"යුරෝ ප්‍රදේශයේ ගැඹුරු වන අර්බුදය අපනයන, කම්කරුවන්ගේ විනිමය තැන්පතු හා ප්‍රාග්ධන ගලනය දුර්වල කරනු ඇතැයි” වාර්තාව සඳහන් කරයි.
ලෝක බැංකු වාර්තාව මෙසේ ද පවසයි: "දකුනු ආසියාවේ වෙලඳ භාන්ඩ අපනයන වෙලඳපලින් හතරෙන් එකක් යුරෝ ප්‍රදේශය නියෝජනය කරන අතර ඉන් සියයට 40ක් ජර්මනිය ද සියයට 20ක් ප්රන්සය ද වේ. තව දුරටත්, 2008 මූල්‍ය අර්බුදයේ අත්දැකීම් අනුව කලාපයේ වෙලඳ නයවල වැදගත් කොටසක් වන යුරෝපයෙන් ලැබෙන අපනයන මූල්‍ය පහසුකම් නැවතී යාමේ අනතුර ද පවතී. රටවල් වශයෙන් ගත් කල බංග්ලා දේශය, මාල දිවයින හා ශ්‍රී ලංකාව වෙලඳ භාන්ඩ සඳහා යුරෝපීය වෙලඳ පල පහත වැටීමට ඍජුව අනාවරනය වී පවතී.”
ශ්‍රී ලාංකික අපනයන ආදායමට ආනයන වියදම පියවා ගැනීමට පවතින අසමත් බව දිගින් දිගට ම ඉහල යයි. එහි ප්‍රතිපලයක් ලෙස වෙලඳ හිඟය පිමිවලින් නගී. නොවැම්බර් දක්වා පසුගිය වසරේ මාස 11 තුල ආනයන අගය එ.ජ. ඩොලර් බිලියන 18.4 දක්වා සියයට 53.2 න් ඉහල නැග ඇත. මෙම කාලය තුල අපනයන සියයට 22.2න් එක්සත් ජනපද (එජ) ඩොලර් බිලියන 9.5 දක්වා ඉහල ගොස් තිබේ. වෙලඳ හිඟය සියයට 111 න් ඉහල යනු ඇත. ලෝක බැංකු පෙර දැක්මට අනුව යුරෝපීය අර්බුදයේ ගැඹුරු වීම මගින් තත්වය උග්‍ර කරනු ඇත.
වෙලඳ ශේෂය පියවා ගැනීමේ ප්‍රධාන මාර්ගයක් වන ශ්‍රී ලංකාවට ලැබෙන කම්කරුවන්ගේ විනිමය තැන්පතු පහත වැටෙතැයි ලෝක බැංකුව අනතුරු අඟවයි. මෙම තැන්පතු රටේ 2010 දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 7කි. මෙය "සංක්රමනික කම්කරුවන් වැඩි වශයෙන් රැකියා කරන අරාබ් ගල්ෆ් රටවල ඉල්ලුම (ගෝලීය ආර්ථික අර්බුදයේ) දෙවන වටයේ බලපෑම හරහා දුර්වල වීම නිසා සැලකිය යුතු ලෙස පහත වැටිය හැකිය.”
ආන්ඩුව සංචාරක ව්‍යාපාරයෙන් සියයට සියයක පමන වාර්ෂික වර්ධනයක් බලාපොරොත්තු වෙයි. කෙසේ වතුදු සංචාරක ව්‍යාපාරය ද අර්බුදයේ බලපෑමට අසුවනු ඇත. ලෝක බැංකුව මෙසේ ද පවසයි: "අන් ප්‍රදේශවලින් සංචාරකයින් ගෙන්වා ගැනීම ඉහල යාම (ආසියාවෙන් පැමිනෙන සංඛ්‍යාව ඉහල යමින් පවතී) බෆරයක් ලෙස පැවතිය ද සේවාවන් සම්බන්ධයෙන් සැලකූ විට ශ්‍රී ලංකාවේ හා මාල දිවයිනේ සංචාරක අංශයන්ට තදින්ම පහර වදිනු ඇත.” ඇඟවීම වන්නේ යුරෝපීය කලාපයෙන් පැමිනෙන ඉහල වියදම් දරන සංචාරක සංඛ්‍යාව පහත වැටීමයි.
අනෙක් කරුන වන්නේ දකුනු ආසියාවේ මූල්‍ය අවශ්‍යතා (ජංගම ගිනුමට මූල්‍ය සැපයීම හා නය ආපසු ගෙවීම) 2007 දී දදේනි න් සියයට 5 සිට 2012 දී සියයට 8.4 දක්වා ඉහල යාමයි. ලෝක බැංකුව ශ්‍රී ලංකාව පිලිබඳව මෙසේ පවසයි: "මාල දිවයිනේ හා ශ්‍රී ලංකාවේ 2012 බාහිර මූල්‍ය අවශ්‍යතාවයන් පිලිවෙලින් දදේනි න් සියයට 18 හා 7 වන අතර එම රටවල් පුලුල්ව නිරාවරනය වී පවතී.”
මූල්‍ය කඩා වැටීම නිසා විදේශීය ප්‍රභවයන්ගෙන් මුදල් ලබා ගැනීම ද නවතිනු ඇත. විශේෂයෙන් ම යුරෝපීය රටවල් සිය බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන රැක ගැනීමට යුරෝ බිලියන ගනනින් පොම්ප කරමින් අරගලයක යෙදී සිටියි.
ඔක්තෝබරය අවසන් වන විට ශ්‍රී ලංකාවේ නය ප්‍රමානය රුපියල් ටි්රලියන පහක් වූ අතර වාර්ෂික නය ඉහල යාම සියයට 10.81 ලෙස ගනන් බැලේ. කොලඹ ආන්ඩුව, කලින් ගත් නය ගෙවීමට ලෝක මූල්‍ය වෙලඳ පොලවලින් වැඩි පොලියට නය ගනිමින් සිටියි. රුපියල අව ප්‍රමානය නොකිරීම, පොලී රේට්ටු ඉහල නොදැමීම හා මූල්‍ය හිඟය පිලිබඳ ඉලක්කයන් කඩ කිරීම ආදී වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කිරීමට ආන්ඩුව අසමත් වීම නිසා එ.ජ. ඩොලර් මිලියන 800 වන අවසන් වාරික දෙක ගෙවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අත්හිටුවනු ලැබ ඇත.
ලෝකයේ සමස්ත තත්වයේ ප්‍රතිඵලයක් ලෙස වර්ධන රේට්ටු ද පහත වැටීමට නියමිත ය. "වැඩි වැඩියෙන් අභියෝගයට ලක්වූ හා අවිනිශ්චිත” බාහිර පරිසරයෙන් දකුනු ආසියානු කලාපයේ වර්ධන රේට්ටු බලපෑමට ලක්වනු ඇතැයි වාර්තාව විස්තර කරයි.
වාර්තාව අනුමාන කරනු ලබන 2011 සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රක්ෂේපිත වර්ධන රේට්ටුව සියයට 7.7ක් වන අතර එය මහ බැංකුව ඉදිරිපත් කල සියයට 8.3වඩා සැලකිය යුතු පහල අගයකි. "2011 මුලදී වර්ධනය ශක්තිමත් වුව ද කාර්මික නිෂ්පාදනය වර්ධනය වීම යම් පමනකට පහත වැටීම තුලින් ප්‍රතිබිම්බනය වූ ලෙසට අවිනිශ්චිතතාවයේ ඉහලයාම හා බාහිර ඉල්ලුමේ දුර්වල වීම මත වසරේ දෙවන භාගයේ දී මන්දගාමීත්වය පෙනෙන්නට වී යැයි” වාර්තාව පවසයි.
ආර්ථිකයේ "තියුනු පහත වැටීමක ප්‍රථිපල” පිලිබදව අනතුරු ඇඟවීමකින් පසු ලෝක බැංකුව දකුනු ආසියානු ආන්ඩුවලට උපදෙස් දෙන්නේ "වියදම් යුක්තියුක්ත කිරීම” හා "සමාජ සුභ සාධක වැඩ පිලිවෙලවල්වල කාර්යක්ෂමතාව ඉහල දැමීම” ක්‍රියාවට දැමිය යුතු බවය.
වියදම් යුක්තියුක්ත කිරීම යනු මූල්‍ය හිඟය පිලිබඳ ඉලක්කය ජයගනු වස් තවමත් ඉතිරි වී පවතින සොච්චම් සුභසාධන හා සමාජ ආරක්ෂන වැඩ පිලිවෙලවල්වල වියදම් පහත හෙලීමත් ය. ශ්‍රී ලංකා ආන්ඩුව ජාමූඅ පැනවූ පටි තද කිරීමේ පියවරයන් දැනටමත් ක්‍රියාවට දමමින් සිටියි. ශ්‍රී ලංකාව හා අනෙකුත් දකුනු ආසියානු රටවල ගැඹුරු වන අර්බුදය මගින් සමාජ නැගිටීම් හා පන්ති අරගල වේගයෙන් පැන නංවනු ඇත.
Follow us on