සෞඛ්‍ය කනිෂ්ට කාර්ය මන්ඩල සේවකයන් විරෝධතා උද්ඝෝෂනයක
ඉල්ලීම් කිහිපයක් පදනම් කර ගනිමින් දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන කනිෂ්ට සේවකයෝ මාර්තු 21 ලෙඩ නිවාඩු දමා එක් දින වර්ජනයක නිරත වුහ. වැඩිවන ඉන්ධන මිලට සාපේක්ෂව රුපියල් 5,000 ප්‍රවාහන දීමනාවක්, රුපියල් 10,000 නිල ඇඳුම් දීමනාවක්, ආදේශක හා අනියම් සේවකයන් ස්ථීර කිරීම, දින පහේ වැඩ සතියක්, වැටුප් විශමතා ඉවත් කිරීම ආදී ඉල්ලීම් 9 ක් වෘත්තීය සමිති විසින් සෞඛ්‍ය බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇත.
උතුරු නැගෙනහිර දෙමල කතාකරන කම්කරුවන් ද ඇතුලූව, උපස්ථායක, පිරිසිදු කිරීම, රසායනාගාර, දුරකථන හා මුර සේවය ආදී සියලූම අංශවලට සම්බන්ධ 30,000ට ආසන්න කම්කරුවෝ මෙම වර්ජනයට සහභාගිවූ හ. දිවයින පුරා නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් එදින කොලඹ පැවති විරෝධතා උද්ඝෝෂනයට 2,000ට අධික පිරිසක් පැමින සිටියෝය. විහාරමහාදේවී උද්‍යානයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා පෙලපාලියකින් ගමන් කල උද්ඝෝෂකයෝ පැයකට අධික කාලයක් අමාත්‍යාංශය ඉදිරිපිට පිකට් උද්ඝෝෂනයක නිරත වුහ.
කම්කරුවන් ත්‍රස්ත කිරීමේ හා අරගලය කඩාකප්පල් කිරීමේ කොටසක් ලෙස ආන්ඩුව ප්‍රධාන රෝහල්වලට හමුදාව යෙදවීය. පරිපුරක වෛද්‍ය සේවක අරගලයට එරෙහිව අධිකරන වාරන නියෝගයක් නිකුත් කලේ ඊට දෙදිනකට පෙර ය. ආන්ඩුවේ මර්දනය නොතකා සිය ඉල්ලීම් ලැබෙන තුරු අරගලය පෙරට ගෙන යා යුතු යයි කනිෂ්ට සේවකයෝ ප්‍රකාශ කරති.
විරෝධතා උද්ඝෝෂනය කැඳවුම් කලේ සෞඛ්‍ය සේවක ඒකාබද්ධ කමිටුව විසිනි. ඒකාබද්ධ කමිටුව සමන්විතවන්නේ සමස්ත ලංකා සෞඛ්‍ය සේවා සංගමය (සලංසෞසේස) සුලූ සේවා එක්සත් දුරකථන සේවක සංගමය හා රසායනාගාර කාර්මික සේවා සංගමය ඇතුලූ සෞඛ්‍ය අංශයේ කනිෂ්ට සේවක වෘත්තීය සමිති 11ක එකතුවකිනි. සලංසෞසේස පාලනය කරනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) කැඩුන ඊනියා ජන අරගල කන්ඩායම මගිනි. සමස්ත ලංකා සෞඛ්‍ය සේවා සංගමය, ජාතික සෞඛ්‍ය සේවා පොදු සේවක සංගමය, ජවිපෙ සමස්ත ලංකා සුව සේවා සංගමය හා ආන්ඩුවට සම්බන්ධ සමිති වර්ජනයට සහයෝගය නුදුන් නමුත් ඒවායේ සාමාජිකයෝ වැඩිදෙනෙක් වර්ජනයට සම්බන්ධ වුහ.
සෞඛ්‍ය කනිෂ්ට සේවකයන්ගේ වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධ ප්‍රශ්න දශකයකටත් අධික කාලයක් පුරා නොවිසඳී පවතින ගැටලූ ය.
2006 දක්වා ඔවුන්ගේ අවම වැටුප රුපියල් 6,600 කි. එම වසරේ රාජ්‍ය අංශයේ කම්කරුවන් ගේ අඛන්ඩ අරගල මාලාවක ප්‍රතිපලයක් ලෙස රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ අවම වැටුප 11,730 දක්වා වැඩි වූ විට සෞඛ්‍ය කනිෂ්ට සේවකයන්ගේ අවම වැටුප ද එම මට්ටමට වැඩි විය. එහෙත් ඒ අලූතෙන් වැටුප් වැඩි කිරීමක් නොව කලින් වැටුප් වැඩි කිරීම් ලෙස වරින් වර වැටුපට එල්ලා තිබුන දීමනා කිහිපයක් මූලික වැටුපට එකතු කිරීමකි. නමුත් මේ දක්වා ශ්‍රේනිගත කිරීම සිදුකර නැති හෙයින් බහුතරයකට නියමිත වැටුප් වර්ධක ලබී නැත. 2009 ට පෙර ගනන් බැලීම් අනුව රුපියල් 5,850 ක ජීවනාධාර දීමනාව ලැබෙන නමුත් මස 6 කට වරක් රපියල් 375 බැගින් එය ජීවන වියදම් දීමනාවට එකතු කිරීමට 2009 දී රාජපක්ෂ ආන්ඩුව දුන් පොරොන්දුව ක්‍රියාත්මක නොවීම නිසා ජීවන වියදම වේගයෙන් ඉහල යන නමුත් කම්කරුවන්ගේ ආදායම එක තැන ඇන හිට තිබේ.
නිල ඇඳුම් සඳහා අවුරුද්දකට ලැබෙන්නේ රෙදි මීටර් 7 ක් හා මැහුම් කුලී රුපියල් 550 ක් පමනි. අනතුරු දීමනා සඳහා මාසික දීමනාව ශ්‍රේනි අනුව රුපියල් 100-150 කි. රාජ්‍ය අංශයේ සෙසු කම්කරුවන්ගේ වැඩ සතිය දින 5 ක් වුවත් සෞඛ්‍ය අංශයේ කනිෂ්ට කාර්ය මන්ඩලය සතියකට දින 6 ක් වැඩ කලයුතුය. රජයේ නිවාඩු දිනවල වැඩ කලාට අමතර ගෙවීමක් නැත. අතිකාල මසකට පැය 60-80 ට සීමා කර තිබේ.
22දා කොලඹ පැවති උද්ඝෝෂනයේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතාකල කම්කරුවන් ගනනාවක් තමන් මුහුන දෙන දුෂ්කර කොන්දේසි විස්තර කලහ.
සෞඛ්‍ය කම්කරුවෙක්: ”මගේ සේවා කාලය අවුරුදු 14 ක්. නමුත් මගේ මුලික වැටුප රුපියල් 13,000 යි. අතිකාල සහ අනෙකුත් දීමනාත් එක්ක මාසික වැටුප රුපියල් 20,000 ක් විතර වෙනව. අතිකාල පැය 60 කට සීමා කරලා. පෙන්ෂන් එකට හා අනෙකුත් දේවල්වලට අඩු කලාට පස්සේ අතට ලැබෙන්නේ රුපියල් 6,000 ක් විතර. බිරිඳට රක්ෂාවක් නැහැ. අපි ඉන්නේ කුලියට. ගෙවල් කුලිය මාසෙකට 4,500 ක්. දරුවාගේ කිරිපිටි සහ අනෙකුත් වියදම්වලට රුපියල් 3000 ක් විතර ඕන. තෙල් මිල වැඩි කලාට පස්සේ බස් එකට දවසක වියදම රුපියල් 70ට නැගලා. බඩු මිල හැම දාම ඉහල යනවා අපේ පඩිය එතනමයි. ඇමතිතුමා කියලා තිබුනා අපි බොහොම හොඳ පඩියක් ගන්න අය කියල. අපි කන හැටි ලිපා දනී කියනවා වගේ අපි හැමදාම ජීවත් වෙන්නේ නයට.”
අවුරුදු 33ක සේවාකාලයක් ඇති මුරකරුවෙක් ප්‍රකාශ කලේ, නය, විශ්‍රාම වැටුප් ආදියට කැපිල අතට ලැබෙන්නේ රුපියල් 1,500 ක් විතර බවයි. ”නියමිත වෙලාවට අමතරව වැඩ කරන්න වෙනව. කොච්චර වැඩ කලත් අතිකාල ගෙවන්නේ පැය 60 ට. රජයේ නිවාඩු දිනවලට වැඩ කලත් ඊට වැඩිය ගෙවන්නේ නැහැ. පැයට ගෙවන ගනනේ වෙනසකුත් නැහැ. මුර සේවයට අමතරව පිරිසුදු කිරීම, ගිලන් රථවල යාම වගේ අමතර වැඩත් කරන්න වෙනවා. අවුරුද්දේ දවස් 365 ම වැඩ කරන්න ඕන. සිංහල අවුරුද්ද දවසටත් වැඩ. නිවාඩුවක් ගන්න අඩු ගනනේ දවස් දහයකට කලින් ඉල්ලන්න ඕන.”
ගාල්ලෙන් පැමින සිටි කනිෂ්ට සේවිකාවක් සඳහන් කලේ, අතට ලැබෙන පඩිය රුපියල් 6,000ක් දක්වා පහත වැටී ඇති බවයි. ”අමාත්‍යාංශයෙන් ආපදා නයක්වත් පහසුවෙන් ගන්න බැරි නිසා හුඟක් අය බැංකුවලින් වැඩි පොලියට නය අරගෙන තියෙනවා. ඒවාට කැපුනම අතට එන මුදල මදි ජීවත් වෙන්න. ලමයින්ගේ අධ්‍යාපන වියදම්, ලයිට් බිල,් වතුර බිල්, ගමන් වියදම් ඒවාටම අඩු ගනනේ රුපියල් 10,000-12,000 අවශ්‍යයි.”
කනිෂ්ට සේවකයන් බහුතරයකට නිල නිවාස නැත. ඔවුන් එක්කෝ කිලෝ මීටර් 30-50 දුර ගෙවාගෙන ආයුතුය නැතිනම් නවාතැන් ගත යුතුය. කෑමත් සමග මාසික නවාතැන් කුලිය කොලඹ දී අවම වසයෙන් රුපියල් 6,000 කි. ඒවා පහසුකම් නැති සාමූහික නවාතැන් ය. කෑම නැතිව ඇඳකට පමනක් රුපියල් 3,000 කි. කාන්තා කම්කරුවෝ වියදමට අමතරව අනාරක්ෂිතභාවයට ද මුහුන දෙති.
වෘත්තීය සමිතිවල ශ්‍රේනිවාදී බෙදීම් හා ආන්ඩුවේ මර්දනය නොතකා බහුතරයක් කනිෂ්ට සේවකයන් අරගලයට කැඳවනු ලැබ ඇත්තේ ඔවුන් මුහුන දී සිටින මෙම නො ඉවසිය හැකි ආර්ථික හා සේවා කොන්දේසි විසිනි. සමිති කලේ බොරු උද්ඝෝෂනවලට සීමා කොට කාලාන්තරයක් පුරා කනිෂ්ට සේවකයන්ගේ ඉල්ලීම් යටපත් කර තැබීම ය.
මෙම ඉල්ලීම් මතම 2004 දී කනිෂ්ට සේවකයෝ දින 14 ක වැඩ වර්ජනයක නිරත වුහ. රුපියල් 2,100 සොච්චම් වැටුප් වැඩිවීමක් පිලිගනිමින් සෙසු ඉල්ලීම් අතහැර දමා සමිති නායකයෝ එම අරගලය පාවා දුන්හ. මෙහිදී සුවිශේෂ භූමිකාවක් ඉටු කලේ රාජපක්ෂ ආන්ඩුව බලයට ගෙන ඒමට හා ආන්ඩුවේ වාර්ගික යුද්ධයට මුලූමනින්ම සහයෝගය දුන් ජවිපෙට සම්බන්ධ සමස්ත ලංකා සුව සේවා සංගමයයි. දැන් සටන්කාමී වෙස්මූනක් දමාගෙන සිටින ජවිපෙන් කැඩුන ජන අරගල කන්ඩායමේ සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයේ නායකයෝ එම පාවා දීමේ කොටස් කරුවෝ වෙති.
සමිති නායකයන් අලූත් පෙරමුනක් හදාගෙන ඇත්තේ කනිෂ්ට සේවකයන්ගේ ඉල්ලීම් දිනා දීමට නොව, ධනපති ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව ඔවුන් අතර අතෘප්තිය හා නොරුස්නා බව වර්ධනය වන තතු තුල කම්කරුවන්ගේ අරගලයට අලූත් ආකාරයකින් වල කැපීමට ය. අලූත් පෙරමුනේ වැඩ පිලිවෙල පරන පෙරමුනු වලට වඩා වෙනස් නැත.
සිය අයිතීන් සඳහා අරගලයේදී ශ්‍රේනිවාදී බෙදීම්වලින් තොරව පොදු සතුරා වන ධනපති පන්තියට එරෙහිව එකමුතුකමක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවය සැබවින්ම කම්කරුවන්ට ඇත. එහෙත් කම්කරුවන්ගේ මෙම ප්‍රාර්ථනාවත්, සමිති නායකයන් අටවන පෙරමුනුවල අරමුනත් මුලූමනින්ම එකිනෙකට පටහැනිය. සමිති නායකයන්ගේ මෙම පෙරමුනුවල ප්‍රකාශිත සටන් පාඨය වී ඇත්තේ ”දේශපාලනය එපා” යන්නයි.
එය, ධනපති පන්තියේ ප්‍රහාරවලට එරෙහි අරගලයේ දී කම්කරු පන්තියට මුන ගස්වා ඇති හා මග හැරිය නොහැකි දේශපාලන ප්‍රශ්න කෙරෙන් ඔවුන්ගේ අවධානය ඉවතට හැරවීමේ ප්රතිගාමී පිලිවෙතකි.
රාජපක්ෂ ආන්ඩුව විසින් කම්කරු පන්තියේ රැකියා, වැටුප්, ජීවන තත්වයන්ට හා ප්රජාතන්ත්රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාර වර්ධනය වන ලෝක ධනවාදී අර්බුදයෙන් ගලා එයි. එම අර්බුදය කම්කරු පන්තිය මත පැටවීම සඳහා ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිර්දේශ කර ඇති කප්පාදු වැඩපිලිවෙල කි‍්‍රයාවට දමයි. ඒ පිලිවෙත්වලින් ආපස්සට ගොස් කම්කරු පන්තියේ අයිතීන් දීමට උවමනාවක් හෝ හැකියාවක් ධනපති පන්තියට නැත. ඒ වෙනුවට කනිෂ්ට සේවකයන්, පරිපුරක වෛද්‍ය සේවකයන් මෙන්ම සමස්තයක් ලෙස වැඩකරන ජනතාව මත රාජ්‍ය මර්දනය දිගේලි කිරීම ආන්ඩුවේ දේශපාලන පිලිවෙත බවට පත්ව තිබේ.
ආන්ඩුවේ මෙම ආර්ථික හා දේශපාලන ප්‍රහාරවලට එරෙහි සටන සඳහා කම්කරු පන්තියට ස්වාධීන දේශපාලන පිලිවෙතක් හා ඒ මත පදනම් වූ වැඩකරන ජනයාගේ ඒකාබද්ධ ව්‍යාපාරයක් අවශ්‍ය ය. ධනපති දේශපාලන පක්ෂ, අවස්ථාවාදී ඊනියා වාම පක්ෂ හා වෘත්තීය සමිතිවලින් නො බිඳී එවන් ව්‍යාපාරයක් ගොඩ නැගිය නොහැකිය. එවන් ව්‍යාපාරයකට පදනම දැමීම සඳහා මෙම සංවිධානවලින් බිඳී හැම වැඩ පොලකම ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම සඳහා කම්කරුවන් ඉදිරිපත් විය යුතුය. ධනපති පන්ති පාලනය පෙරලා දමා සමාජවාදී වැඩ පිලිිවෙලක් ක්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම කම්කරු පන්තියේ ඉදිරි දර්ශනය විය යුතුය.
Follow us on