ශ්‍රී ලංකාව - මන්දගාමී ආර්ථිකය ආන්ඩුවේ කප්පාදු වැඩ පිලිවෙල තීව්ර කරයි
Sri Lanka: Slowing economy sharpens government austerity drive
By Saman Gunadasa, 26 April 2012
ආහාර සහ නිවාස සඳහා ගෙවා ගත නොහැකිව ජනගහනයෙන් අඩක් පමන දැනටමත් ජීවන අරගලයක නිරතවෙද්දී, මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන අනුපාතයේ ඇද වැටීම මගින් රජයේ අයවැය කප්පාදු වැඩපිලිවෙල උත්සන්න කරන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂට සිදු වනු ඇත.
නොකඩවා තුන්වන වසර සඳහාත් සියයට 8 කට වඩා ආර්ථික වර්ධනයක් ලැබිය හැකි බවට ආන්ඩුවේ පම්පෝරි යටපත් කරමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සහ ආසියානු සංවර්ධන බැංකුව (ආසබැ) 2012 වසර සඳහා තම ආර්ථික වර්ධන අනාවැකිය සියයට 7 – 7.5 අගයක් විය හැකි බවට තීරනය කලෝය. ආසබැ හි ආසියානු සංවර්ධන විමසුම 2012 (Asian Development Outlook 2012) වාර්තාවට අනුව, මන්දගාමිත්වයට හේතු වන්නේ එක් පසෙකින් කාර්මික රටවල්හි මන්දගාමී වර්ධනයේ හා එමගින් ජනිත ගෝලීය ඉල්ලුමේ හා වෙලඳාමේ දුර්වල වර්ධනය ද අනෙක් පසින් දේශීය සාධකයන් ද වේ.
ගිය වසරේ සියයට 8.3 ක නිල ආර්ථික වර්ධන වේගය තිබිය දී වුවද, වැඩකරන ජනතාවගේ සහ ගම්බද දුගීන්ගේ ජීවන තත්වයන් පිරිහෙමින් තිබෙන අතර පහත හෙලන ලද අනාවැකියෙන් පැහැදිලි වන්නේ සමාජ අසහනය තීව්ර කෙරෙන බවයි. ජාමූඅහි අයවැය සීමා අත්කර ගැනීම සඳහා ගැඹුරු කප්පාදු වැඩපිලිවෙලක් පිලිබඳව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඉඟි කලේය. ඔහු රොයිටර්ට පැවසූවේ, "මෑතකාලීන මුදල්මය සහ මූල්‍යමය සීමා කිරීමේ වැඩපිලිවෙලවල් ආදායම් වර්ධනය පහත හෙලිය හැකි බැවින්, මේ වසරේ අයවැය හිඟ ඉලක්කය (සියයට 6.2) සපුරාගැනීමේදී ශ්‍රී ලංකාව අභියෝගයකට මුහුන දෙනු ඇති" බවය.
ජාමූඅ අන පරිදි ආන්ඩුව පෙබරවාරියේ උග්‍ර තෙල් මිල ඉහලදැමීම් සහ රුපියල අවප්රමාන කිරීමකින් පසුව, ගිය මාසයේදී මධ්‍යසාර, සිගරැට්, සහ ආනයනික වාහන මත බදු ඉහල දැමීය. මෙම වැඩපිලිවෙලවල් සියලු ආනයනික භාන්ඩ සඳහා මිල ඉහල යෑම් රැල්ලක් මුදා හැරියේය.
පවත්වාගෙන යන මුදල් අවප්රමානය සහ පාලනයෙන් තොර නය වර්ධනය අවම කරන්නට බැංකු වෙත නිකුත් කල නියෝග හරහා මුල්‍ය ප්‍රතිපත්තිය තවදුරටත් තද කරන ලෙස ගිය සතියේ නිකුත් කරන ලද ලියවිල්ලක් මගින් ජාමූඅ ඉල්ලීමක් කලේය. "විනිමය ප්‍රතිපත්තිය සැලකූවිට, පිරිසිදු නම්‍යශීලී විනිමය අනුපාත ක්‍රමයකට සංක්‍රමනය වීමට රජය ශක්තිමත් වීම අත්යාවශ්යයැ"යි එය පැවසීය.
මුදල් අවප්රමානය සහ නය සීමා තුලින් ආනයන කපාහැර වෙලඳ හිඟය පටු කරගැනීම, ඉලක්ක කර තිබේ. සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ ආර්ථික කොලම ලියන ආර්.එම්.බී. සේනානායක අප්‍රේල් 22දා මෙසේ ලීවේය. "ගිය වසරේ මෙන් ඩොලර් බිලියන 10 ක වෙලඳ හිඟයක් අපට ඔරොත්තු නොදේ. මුලදී ඩොලර් බිලියන 8 ක් වූ අපගේ නිල විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 6 දක්වා පහත වැටී තිබේ."
තවදුරටත් කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට ප්‍රහාර එල්ල කරන්නට රජය දැනටමත් කැස කවමින් සිටී. අප්‍රේල් 15 දා සන්ඩේ ටයිම්ස් පුවත්පතට නම හෙලි නොකල රජයේ ඉහල නිලධාරියෙක් ප්‍රකාශ කලේ, "රුපියල අවප්රමාන වීමෙහි සහ මේ වසරේ ඉහල වෙලඳ හිඟයෙහි ප්‍රතිපලයක් ලෙසට, ආහාර වර්ග, බෙහෙත්, බල ශක්ති, සහ ගමනාගමන ඇතුලත්ව අත්‍යාවශ්‍ය භාන්ඩ මිල සියයට 10 සිට 15 දක්වා ඉහල දමන්නට භාන්ඩාගාරය සලකා බලමින් සිටී. මිරිස්, කඩල, පරිප්පු, කව්පී, සීනි, සහ කිරිපිටි මත බදු ඉහල දැමීමට ද බලාපොරොත්තු වේ. දුම්රිය ගාස්තු සහ දුරකතන ගාස්තු ඉහල දමන අතරේදී, ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහල දැමීම ද විය හැකිය.
රැවටිලිකාර සුභවාදී පින්තූරයක් නිර්මානය කරන්නට, වර්ධනය, උද්ධමනය, සහ විදේශ ආයෝජන ඇතුලත්ව නිල ආර්ථික දත්ත හසුරුවා ඇති බවට ප්‍රසිද්ධ ආර්ථික විශේෂඥයෝ කියා සිටියහ. මඳක් සමීපව විමසන කල දිග හැරෙන සිතුවමෙන් පෙන්නුම් කෙරෙන්නේ කෘත්‍රිම නය මත රැඳුන ආර්ථික උත්පාතයකි.
2011 වසරේදී රජය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් බිලියන 400 කට වඩා වියදම් කර ඇති බව මහ බැංකු වාර්තාවක සඳහන් කර තිබේ. "වරාය, ගුවන් තොටුපල සංවර්ධනය, මහාමාර්ග ඉදිකිරීම්, සහ විදුලි බල නිෂ්පාදනය රජය විසින් ක්‍රියාත්මක කල ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට ඇතුලත්යැ"යි එය පැවසීය. "වෙලඳ සහ නිවාස යන දෙවිධියේ ම ගොඩනැගිලි ඉදිකිරීම් හේතුවෙන් පුද්ගලික අංශයේ ඉදිකිරීම් ක්‍රියාකරකම් ඉහල ගියේය."
මෙම ඉදිකිරීම් පොදු ජනතාවට සංවර්ධනය පිලිබදව ඒත්තු ගැන්වීමට යොදා ගන්නා අතරේදී, වරායන්, තට්ටු නිවාස සංකීර්න, අධි සුඛෝපභෝගී හෝටල් සහ මහාමාර්ග ඉදිකෙරුනේ මහා ව්‍යාපාරයන්ට ලාභ සපයන්නට මිස වැඩකරන ජනතාවගේ සුභ සාධනය පිනිස නොවේ. ඇත්ත වශයෙන්ම, මෙම ව්‍යාපෘතිවලට ඉඩ සලසන්නට බොහෝ දුගී ජනතාව තම නිවාසවලින් නෙරපා දැමුනු අතර තම පදිංචි ස්ථාන අහිමි කෙරිනි.
විදේශ විනිමය සංචිත විකුනාදමමින් සහ "සංවර්ධන" ක්‍රියාකාරකම් සඳහා රජයටත් ආයතනික ප්රභූවටත් අඩු පොලී නය ලබාදෙමින් මහ බැංකුව මෙම "වර්ධනය" සඳහා අවශ්‍ය තත්වයන් නිර්මානය කලේය. විශේෂිතව ම 2009 දී ජාමූඅ වෙතින් ලබාගත් එජ ඩොලර් බිලියන 2.6 ක හදිසි අවශ්‍යතා නය වැනි නයට ගත් මුදල්වලින් මෙම සංචිත ප්‍රධාන ලෙසට ම සෑදී තිබේ.
මහ බැංකු වාර්තාවට අනුව, 2011 දී පුද්ගලික අංශයට නය නිකුත් කිරීම සියයට 34.5 කින් ඉහල ගියේය. රජයට කල ශුද්ධ නය නිකුතුව සියයට 30 කට වඩා විය. රජයේ සම්පූර්න නය සියයට 12 කින් එනම් රුපියල් බිලියන 5,133 කින් පිම්මක් පැන්නේය.
දැවැන්ත නය සමූහයකින් මූල්‍ය ආධාර ලැබූ මෙම "සංවර්ධන" ක්‍රියාකාරකම් මගින් ගෙවුම් ශේෂ අර්බුදයක් හා 2011ඩොලර් බිලියන 10 ක් දක්වා දෙගුනයක් වුන වෙලඳ හිඟයක්, නිර්මානය කර තිබේ.
යටිතල පහසුකම් වර්ධනයට පිටස්තර වූ 2011 වසරේ ආර්ථික වර්ධනයේ අනෙකුත් අංග බොහොමයක් ගැඹුරුවන ගෝලීය ආර්ථික අර්බුදයට තදින්ම ගොදුරුවිය හැකි ඒවාය. අපනයන-ප්රමුඛ ඇඟලුම් කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය ආශ්රිත හෝටල් සහ ආපනශාලා අංශය, සහ වැඩෙමින් පවතින විදුලි සංදේශ කර්මාන්ත ඒවාට අයත්ය.
ආසබැ වේ ආසියානු සංවර්ධන විමසුම 2012 වාර්තාවට අනුව "විශේෂිතව ම යුරෝපයේ දුර්වල ඉල්ලුම" සහ "සංචාරක ව්‍යාපාරය ආශ්රිත ගලා ඒම් ප්‍රහාරයකට ලක්වීම", නිසා 2012 දී අපනයන වර්ධනය අඩකට එනම් සියයට 11 වනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙම, පහතවැටීමේ ප්රවනතාව සනිටුහන් කරමින්, ජනවාරියේ දී පසුගිය වසරට සාපේක්ෂව අපනයන ආදායම් සියයට 0.57 කින් පහල ගියේය.
උග්‍ර සමාජ අසහනයක සලකුනු වඩා පැහැදිලිව මතුවෙමින් තිබේ. අප්‍රේල් 8 දා සන්ඩේ ටයිම්ස් හි "ආර්ථික අර්බුදයෙන් දුප්පත් සහ මධ්‍යම පන්තීන්, කුඩා ව්‍යාපාරිකයින් සහ ගොවීන් පහර කයි." නමැති සිරස්තලය යටතේ, වැඩිවන පොලී අනුපාත සහ නය මිරිකීම් තුලින් මධ්‍යම පන්තියට සහ දුගීම ජනතාවට පහර වැදී ඇති බව වාර්තා කලේය.
"යුද්ධය අවසන් වීමේ පටන් බොහෝ ශ්‍රී ලාංකිකයෝ පීඩා විඳිති" යන සිරස්තලය යටතේ අප්‍රේල් 6 දා ගැලප් විසින් වොෂින්ටනයේ දී ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂනයක ජනගහනයෙන් අඩකට පමන අවශ්‍ය ආහාර සහ නිවාස සඳහා මුදල් හිඟ බව පවසයි. 2009 දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ යුදමය පරාජයෙන් පසු "සමනය වීමේ" වියදම පෙන්නුම් කරන්නක් ලෙසට සමීක්ෂනය ඉදිරිපත් කර තිබින. යථා වශයෙන් ගත් විට, යුද්ධය නිමාකිරීම සාමාන්‍ය ජනතාවට සෞභාග්‍යය උදා කරන බවට වූ රාජපක්ෂගේ ප්‍රකාශ රැවටිල්ලක් බව එහි සොයාගැනීම්වලින් පෙන්නුම් කෙරේ.
වයස 15 සහ ඊට වැඩි වැඩිහිටියන් 1,000 ක් සමග කල මුහුනට මුහුන සම්මුඛ සාකච්ඡා මත පදනම්ව ගැලප් මෙසේ වාර්තා කලේය. පසුගිය වසර තුන පුරා තම ජීවිත "දුක් ගැහැටින් පෙලෙන" බවට සැලකෙන තරමට ශ්‍රී ලාංකිකයන් පහකට කෙනෙක් හෝ වැඩි ගනනක් තමන්ව දුප්පත් බවට වර්ගීකරනය කර ගත්තේ තම ජාතිය සුවපත් වන අතරතුරේ විඳින්නට සිදුවන අභියෝග හුවා දක්වමිනි.
වාර්තාව මෙසේ ඊට එකතු කලේය. "ඇත්තටම කවර කලෙකටත් වඩා බොහෝ ශ්‍රී ලාංකිකයෝ තම මූලික දේවල් සපයාගන්නට අරගලයක යෙදෙමින් සිටිති. 2011 දී ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩිදෙනා (සියයට 53) පැවසූවේ, තමා සහ තම පවුලට උවමනා කරන ආහාර මිලදී ගන්නට මුදල් නොතිබූ අවස්ථා පසුගිය මාස 12 තුල තිබුනු බවත් සියයට 48 කට ආසන්න ගනනක් පැවසුවේ අවශ්‍ය ප්‍රමානයේ නිවාස ලබාගන්නට තමන් අරගලයක නිරතවූ බවත් ය."
ගැලප්, ශ්‍රී ලාංකික ප්‍රතිපල යුද ග්රස්ත ඇෆ්ඝනිස්තානය හා සැසඳීය. "2006 පටන් රට තුල සමීක්ෂනය කරන ලද ඉතා ඉහල ප්‍රතිශතයන් මේවා වන අතර මෙම අගයන් ඇෆ්ඝනිස්තානය හා කරට කර සිටී. ගිය වසරේ ආහාර සඳහා අවශ්‍ය මුදල් අඩුපාඩු තිබූ බව සියයට 45ක් ඇෆ්ඝන් ජනතාව පැවසූ අතර නිවාස සඳහා අවශ්‍ය කරන මුදල් නොතිබූ බව සියයට 52 ක් පැවසීය. එය කලාපයේ ඉහලම අගයයි."
එජ ඩොලර් බිලියන 2.6 ක නය මුදලේ ජූනිවල දී නිදහස් කිරීමට නියමිත අවසන් ඩොලර් මිලියන 400 වෙනුවෙන් ජාමූඅ විසින් ඉල්ලන ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වන බැවින්, විනාශ කර ඇති ශ්‍රී ලාංකික වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් වඩ වඩාත් නරක අතට හැරීම නොඅනුමානය.
Follow us on