ශී‍්‍ර ලංකාව: වතු කම්කරුවන් තමන් මුහුන දෙන දරුනු සමාජ කොන්දේසි පැහැදිලි කරයි
මැයි 20 දා හැටන් හි පැවැත්වුනු වතු කම්කරු සමුලුව සඳහා කෙරුනු උද්ඝෝෂනයේ කොටසක් ලෙස සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) උද්ඝෝෂන කන්ඩායමක් හැටන් හි සිට කිලෝ මීටර් 34 ක් දුරින් පිහිටි මස්කෙලියේ ගාර්ඩ් මෝර් වතුයායේ උද්ඝෝෂනයක යෙදුනි.
වතුයායේ දිවි ගෙවන 1,000 ක් පමන වන කම්කරුවන්ගෙන් 400 කට පමන රැකියා නොමැත. කම්කරුවන්ට අනුව, වතු හිමියා විසින් වතුයාය විකිනීමට සැලසුම් කරන බැවින් නඩත්තු කිරීම් අත්හැර දමා ඇත. දැනට පවත්නා රැකියා පිලිබඳව ද කම්කරුවන් තම බිය පල කලහ.
කලින් පිරිමි කම්කරුවන්ට පැවරී තිබුනේ වල් ඉදිරීම හා පොහොර යෙදීම වැනි නඩත්තු කාර්යයන් වන නමුදු නඩත්තු අත්හැර දැමීම හේතුවෙන් ඔවුනට ද දලු නෙලීමේ කටයුතුවල යෙදීමට සිදුව ඇත.
සමාගම් සහ වෘත්තීය සමිති අතර 2011 දී ඇති කර ගැනුනු සාමූහික ගිවිසුමෙන් පසු දිනකට නෙලිය යුතු දලු ප්‍රමානය කිලෝ ග්‍රෑම් 16 සිට 17 දක්වා ඉහල නැංවුනි. ගිවිසුමට අනුව වතු කම්කරුවකුගේ මූලික දෛනික වැටුප රුපියල් 380 කි. තම මූලික වැටුපට අමතරව රුපියල් 30ක අතිරේක දීමනාවක් ද රුපියල් 105ක පැමිනීමේ දීමනාවක් ද හිමි විය යුතුය. වැඩ කරන දින ගනන 22 ට වඩා දින භාගයකින් හෝ අඩු වුවහොත් මෙම මුලු වැටුප වන රුපියල් 515 අහිමිවන අතර හිමි වන්නේ මූලික වැටුප පමනි.
ගාර්ඩ් මෝර් කම්කරුවන් වනාහි නව වැඩ සීමාවන් හඳුන්වා දෙමින් සමාගම් විසින් ගනු ලැබූ ඵලදායිතා වර්ධන පියවරයන්ට මෑතක දී එරෙහි වූ දහස් සංඛ්‍යාත වතු කම්කරුවන් අතරින් එක් කොටසකි.
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ කොටස්කරුවන් වන ලංකා කම්කරු සංගමය (සීඩබ්ලිව්සී), ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) හා කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) ද ආන්ඩුවට විරුද්ධ යැයි කියා පාන ලංකා කම්කරු පෙරමුන (සීඩබ්ලිව්ඒ) හා ප්රජාතන්ත්රවාදී කම්කරු සංගමය (ඞීඩබ්ලිව්සී) ද අන්තර්ගත වතු වෘත්තීය සමිතිවල උදව්වෙන් කම්කරුවන්ගේ විරෝධය මැඩීමට සමාගම්වලට හැකි විය.
සමාගම් සහ මාධ්‍ය විසින් වතු කම්කරුවන් විසින් මසකට රුපියල් 12,000 කට වැඩි මුදලක් උපයන බව පවසන නමුදු කම්කරුවන් පෙන්වා දුන්නේ නෙලීමට සෑහෙන තරම් දලු නොමැති වියලි කාලයන් හි තමාට වැඩ නොලැබෙන බවයි. දලු වැඩි මාසවල කිලෝ 17 සීමාව ඉක්මවා දලු නෙලුව ද ඒ සඳහා අමතර දීමනාවක් නොලැබෙන බව ඔවුහු තව දුරටත් පැවසූහ.
50 වියැති කම්කරු කාන්තාවක් තම වැටුප පිලිබඳව විස්තරයක් ඉදිරිපත් කලාය. අපේ‍්‍රල් මාසයේ ඇය දින 22 1/2 ක් වැඩ කොට ඇති අතර ලැබී ඇති වැටුප රුපියල් 11,609 කි. ඉන් රුපියල් 8,550 ක් මූලික වැටුප ලෙස ද රුපියල් 675 ක් අතිරේක දීමනාව ලෙස ද නිවාඩු දිනයන්හි වැඩ කිරීම හේතුවෙන් තවත් රුපියල් 2,310 ක් ඇයට හිමිව ඇත. අර්ථ සාධක අරමුදලට, වෘත්තීය සමිතියට සහ කෝවිල් අරමුදලට කැපීමෙන් පසු ඇගේ අතට පැමින ඇත්තේ රුපියල් 9,790 ක් පමනි.
ඇගේ පවුලේ තත්වය ඈ මෙසේ විස්තර කලාය: "මගේ සැමියා විශ්‍රාමික නිසා එයාට ආදායමක් නෑ. මගේ පුතාට රස්සාවක් නැති නිසා පොඩි ඉඩම් කෑල්ලක එලවලු වවනවා. දූල දෙන්න කොලඹ පැත්තෙ ගාර්මන්ට් එකක වැඩ කරනව.”
වෙනත් කම්කරුවෙක් මෙසේ පැවසීය: "එක් කෙනෙකුගෙ පඩිය කෑමටත් මදි. අපේ ප්‍රධාන ආහාරය වන පාන් පිටි කිලෝවක මිල රුපියල් 110ක්. දවල්ටයි රෑටයි අපි කන්නෙ එලවලු කරි දෙකක් එක්ක බත් නැත්නම් රොටී. මස් මාලු කන්නෙ පඩි දවසට නැත්නම් ඇඩ්වාන්ස් දෙන දවසට විතරයි.”
අවුරුදු දෙකක් වත්තේ වැඩෙහි යෙදී සිටින තරුනයෙක්: "ආර්ථික ප්‍රශ්න නිසා මම 7 පන්තියේදී ඉස්කෝලෙ යාම නතර කලා. මගේ අම්මයි තාත්තයි විශ්‍රාම ගියත් අමාරුකම් නිසා කොලඹ ගෙදරක වැඩ කරනව. මගේ මාසෙ පඩිය රුපියල් 8,000 ක් විතර ඇති. ගිය මාසෙ මට ලැබුනෙ රුපියල් 7,000 ක් විතරයි. දැන් තියෙන ජීවන වියදමට ඒක හොඳටම මදි.”
බහුතරයක් වතු කම්කරු දරුවන් කලින්ම පාසැල් හැර යන නමුදු ඔවුනට රැකියාවක් සොයා ගත නොහැක. කොලඹ හෝ වෙනත් නගරවලට ඇදෙන ඔවුහු සොච්චම් වැටුපකට ආපන ශාලා, බේකරි සහ වෙනත් වෙලඳසැල්වල සේවයේ යෙදෙති.
කොලඹ ආපන ශාලාවක සහායක අරක්කැමියකු ලෙස සේවය කරන විසි වියැති තරුනයකු මෙසේ පැවසීය: "ආර්ථික හේතු නිසා මම 9 පන්තියේදී පාසැල් ගමන නවත්තල රස්සාවක් හොයා ගත්ත. උදේ පහේ ඉඳල රෑ 10 වෙනකන් වැඩ කරල මට ලැබෙන්නෙ රුපියල් 24,000 ක් විතරයි. වේටර් කෙනෙකුට ලැබෙන්නෙ වැඩිම වුනොත් රුපියල් 7,000 ක් විතර. අපිට ගෙදර එන්න ලැබෙන්නෙ මාස තුන හතරකට සැරයක්. ඒකත් උත්සවයකට හෝටලේ වැහුවොත් විතරයි.”
විවාහක තරුන කම්කරුවෙකු පැවසුවේ රුපියල් 7,000 ක වැටුපකට ඔහු කොලඹ ආපන ශාලාවක රැකියාවේ යෙදුනු බවයි. දෙසැම්බර් නිවාඩුවෙන් පසු නැවත සේවයට පැමිනි ඔහුට වැඩ ලබා දීම කලමනාකාරිත්වය විසින් ප්‍රතික්ෂේප කල බැවින් වතුයාය අවට ගම්මානවල කුලී වැඩෙහි නිරත වන ඔහු පැවසුවේ සෑම දිනකම වැඩ නොලැබෙන බැවින් එම රැකියාව අස්ථාවර බවයි.
වතුකරයේ සෞඛ්‍ය ප්‍රශ්න අතර ජලය සහ වැසිකිලි පහසුකම් ප්‍රධාන තැනක් ගනී. ගාර්ඩ් මෝර් වත්තේ බොහෝ නිවාසවලට වෙන්වෙන් වශයෙන් වැසිකිලි නොමැති අතර පවුල් කීපයක් එකතුව සාදා ගත් වැසිකිලි හවුලේ පරිහරනය කරති. ඔවුන් යැපෙන්නේ ස්වභාවික දිය පහරවලින් වන අතර "වියලි කාලවලදි වතුර ප්‍රශ්නෙ හරිම දරුනුයි” යනුවෙන් කම්කරුවෙක් පැවසීය.
ඔවුනගේ ලයින් කාමර ඉතා කුඩාවන අතර ඒවා සමන්විත වන්නේ 10×12 කාමරයකින් සහ කුස්සියකින් පමනක් වන අතර සමහර කම්කරුවන් තමාගේ වියදමෙන් මෙයට කුඩා කොටස් ඈඳා ගෙන ඇත. බොහෝ පවුල් කුස්සි ලෙස භාවිතා කරන්නේ මැටි වලින් තැනූ කුඩා ආවරනයන් ය. වත්තේ රැකියාවට ඇතුලුවන නවක තරුනයන්ට නිවාස සැපයීම සමාගම විසින් නතර කොට ඇති බැවින් විවාහ වූ පසුව ද තම දෙමාපියන්ගේ නිවසේ වාසය කිරීමට ඔවුනට සිදුව ඇත.
වත්තේ බෙහෙත් ශාලාවක් ඇති නමුදු එහි පහසුකම් කිසි විටෙකත් ප්‍රමානවත් නොවේ. වෛද්‍යවරයා අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බැව් කම්කරුවන් ගේ අදහසයි. ඕනෑම රෝගයකට ප්‍රතිකාර ලෙස ලැබෙන්නේ පැරසිටමෝල් පමනක් බවත් යම් අයුරක හෝ නිසි ප්‍රතිකාරයක් ලැබීමට කිලෝ මීටර් 16 ක් දුරින් පිහිටි මස්කෙලිය රජයේ රෝහලට යා යුතු බවත් කම්කරුවෝ පැවසූහ. වතුයායට පාසැල් දෙකක් ඇති නමුදු ඒවායේ පන්ති පැවැත්වෙන්නේ නවවන ශ්‍රේනිය සඳහා පමනි. වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔවුනට මස්කෙලියට යාමට සිදුව ඇත.
කම්කරුවන් සඳහා වන ප්‍රවාහන පහසුකම් ද ඉතා පහත් තත්වයක පවතී. තම දෛනික අවශ්‍යතා සඳහා ඔවුන් හැටන් හෝ මස්කෙලිය නගරවලට යා යුතුය. පැය භාගයකට වරක් වන බස් හෝ වෑන් රථ ධාවනය සවස 4 න් පසු නිමා වන බැවින් ඉන් පසු කෙරෙන ගමනක් සඳහා ති‍්‍ර රෝද රථ වලට රුපියල් 1200-1800 ක් වැනි විශාල මුදලක් වැය කිරීමට සිදුවේ.
මෙම තත්වය යටතේ කලමනාකාරිත්වයට එරෙහිව පමනක් නොව වෘත්තීය සමිති කෙරෙහි ද කම්කරුවන් අතර දැවැන්ත විරෝධයක් පවතී. දේශපාලන පක්ෂ ලෙස ද කි‍්‍රයාත්මක වන වතු වෘත්තීය සමිති සෑම කම්කරුවෙක්ම පාහේ හෙලා දුටහ.
කලකිරුනු ශාඛා සමිති නායකයක් මෙසේ පැවසීය: "අපේ නායකයො ආන්ඩුවට එකතු වුනා. ඔවුන් හිතන්නෙ ඔවුන්ගෙ වරප්‍රසාද ගැන විතරයි. අපේ අයිතීන් වෙනුවෙන් ඔවුන් සටන් කරන්නෙ නෑ. වැඩ වැඩි කිරීමට විරුද්ධව අපි කරපු සටන ඔවුන් පාවල දුන්න. ඉලෙක්ෂන් දවස්වලට විතරක් ඇවිල්ල පොරොන්දු ගොඩක් දීල අපේ ඡන්දෙ ඉල්ලනව. ඊට පස්සෙ දකින්නත් නෑ. අපි ඔවුන් හමු වෙන්න ගියත් අපිව හඳුනන්නෙවත් නෑ. ඔබ කියන විදියට යූනියන් හරහා අපේ අයිතීන් රැක ගන්න බෑ. අපි අපේම ස්වාධීන දේශපාලන පක්ෂයක් හදා ගන්න ඕනෙ.”
Follow us on