සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් -- 1 වන කොටස

The Historical and International Foundations of the Socialist Equality Party (Sri Lanka)—Part 1

By the Socialist Equality Party (Sri Lanka), 3 May 2012

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මේ සමග පල කරන්නේ, 2011 මැයි 27-29 දිනවල කොලඹ දී පැවති පක්ෂයේ ආරම්භක සමුලුවේ දී ඒකමතිකව සම්මත කෙරුනු සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති ලියවිල්ලයි. එය කොටස් 12කින් පල කෙරෙනු ඇත.

1. හැඳින්වීම

1-1 සමාජවාදී සමානතා පක්ෂය ලියොන් ට්‍රොට්ස්කි විසින් 1938 ආරම්භ කරන ලද සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය හෙවත් හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශී‍්‍ර ලංකා ශාඛාව ය. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ ට්‍රොට්ස්කි විසින් කරන ලද දේශපාලනික සහ න්‍යායික අරගලයන්ගේ අඛන්ඩතාවය අන්තර් ගත කර ගනී. යල්පැන ගිය ධනේශ්වර පද්ධතිය පෙරලා දැමීම සඳහා ද සමාජය සමාජවාදී පදනමක ප‍්‍රතිනිර්මානය කිරීම සඳහා ද ජාත්‍යන්තර ව කම්කරුවන් බලමුලුගන්වා, උගන්වා ඒකාබද්ධ කිරීම සඳහා සටන් වදින එක ම ලෝක දේශපාලන පක්ෂය නම් හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවයි.

1-2 1930 ගනන්වල මහා අවපාතයෙන් මොබ දැවැන්ත ම ආර්ථික බිඳවැටීම වන, 2008 ගෝලීය මූල්‍යමය අර්බුදයෙන් ඇරැඹී ඇත්තේ, ධනවාදයේ පද්ධතිමය අර්බුදයෙහි නව යුගයකි. සෑම රටක ම පාලක පන්තිය උත්සාහ කරන්නේ එක අතකින් තමන්ගේ ජාත්‍යන්තර ප‍්‍රතිමල්ලයන් පරයමින් ද අනෙක් අතට කම්කරු පන්තිය මත නව බර පැටවීමෙන් ද තම තත්ත්වය රැක ගැනීමට ය. මින් පලමුවැන්න, ගෝලීය ආතතීන්, ගැටුම් සහ යුද්ධය කරා ගමන අතිමහත් ලෙස උග‍්‍ර කරන අතර දෙවැන්න එනම් කම්කරු පන්තිය මත බර පැටවීම, පන්ති අරගලය උග‍්‍ර කර විප්ලවවාදී මහා නැගිටීම්වල කාල පරිච්ඡේදයක් ආරම්භ කර ඇත.

1-3 ගෝලීය අර්බුදය සංකේන්ද්‍රිතව පවත්නේ ලෝක ධනවාදයේ හදවත, එනම් ඇමරිකා එක්සත් ජනපදය තුල ය. ඇමරිකානු ධනවාදයේ උග්‍ර දිරාපත්වීම ද ආසියාවේ නව බලවතුන්ගේ, විශේෂයෙන් ම චීනයේ පැන නැගීම ද අන්තර් අධිරාජ්‍ය ප‍්‍රතිමල්ලතා මහත් සේ තියුනු කර ඇත. ඇමරිකා එක්සත් ජනපදය මිලිටරි බලය පාවිච්චි කොට තම ආර්ථික පිරිහීම කල් දමා ගැනීමට කරන ඉවබව නැති ප‍්‍රයත්න දැනට ම යුද්ධ මාලාවක් නිර්මානය කොට තිබේ. බල ශක්ති සම්පත් සම්පන්න මැද පෙරදිග සහ මධ්‍යම ආසියානු කලාප ඇමරිකානු ග‍්‍රහනයට ගැනීම ඉලක්ක කර ගත් ඇෆ්ඝනිස්ථාන සහ ඉරාක ආක‍්‍රමන මීට ඇතුලත් ය. මෙම ඝට්ටන ලාභ ගරන ආර්ථික පද්ධතියේ නිෂ්පාදනයේ භූගෝලීයකරනය විසින් මෙය නව උග‍්‍ර මට්ටමකට තීව‍්‍ර කර ඇති අතිමූලික ප්‍රතිඝතිතා දෙකින් එකක් එනම් ලෝක ආර්ථිකය ද යල් පැන ගිය ජාතික රාජ්‍ය පද්ධතිය ද අතර පරස්පරවිරෝධය ප‍්‍රකාශ කරති.

1-4 ගත වූ දශක දෙක පුරා චීනයේ ද ඊට වඩා අඩු ප‍්‍රමානයකට ඉන්දියාවේ ද නැගීම ලෝක දේශපාලනයේ ගුරුත්ව කේන්ද්‍රය ආසියාව දෙසට දැවැන්තව මාරු කර ඇත. 1990 දී ලෝකයේ දස වැනි විශාල ආර්ථිකය ලෙස පැවති චීනය 2010 දී ජපානය පරයමින් ඇමරිකා එක්සත් ජනපදය ලඟට විශාලතම ආර්ථිකය බවට පත්ව ඇත. වේගයෙන් වර්ධනය වන සිය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය දැවැන්ත ප‍්‍රමානයන්, විශේෂයෙන් ම තෙල් සහ ගෑස්, මැද පෙරදිගින් සහ අප‍්‍රිකාවෙන් ආනයනය කිරීමට චීනයට සිදුව තිබේ. සිය නැව් මාර්ග රැක ගැනීම සඳහා චීනය මහසයුරු නාවික හමුදාවක් ගොඩනගා, ඉන්දියන් සාගරය තුල ජපානය ද ඉන්දියාව ද ඒ සියල්ලටමත් වඩා ඇමරිකා එක්සත් ජනපදය ද සමග තරගයට එලඹ සිටී. මහා විනාශකාරී ලෝක ඝට්ටනයක් කරා වේගයෙන් ලුහුටායමින් සිටින මහ බලවතුන්ගේ ගැටුම් තුලට ශ‍්‍රී ලංකාව ද ඇතුලු ආසියාකරයේ සෑම කොනක් ම, උකහා ගනු ලබමින් පවති. අත්ලන්තික් සහ පැසිෆික් සාගරයන්හි සිදු වූ පසු ගිය ලෝක මහා යුද්ධ දෙක මෙන් නොව දැන් ඇතිවන්නට යන මහා ඝට්ටනය කේන්ද්‍රිත වන්නට යන්නේ ඉන්දියානු සාගරය තුල ය.

1-5 ආසියාව අන්තර් අධිරාජ්‍ය ඝට්ටනයන්හි පමනක් නො ව සමාජ විප්ලවයේ ද යෝධ කරලියක් වීම අනිවාර්ය ය. මේ රටවල ආර්ථික ප‍්‍රසාරනය කම්කරු පන්තියේ මහා නව බලකා නිර්මානය කර තිබේ. චීනයේ පමනක් නාගරික ශ‍්‍රම බලකාය මිලියන 400 කි. එපමනක් නො ව සෑම රටක ම දුප්පත් පොහොසත් ජනයා අතර සමාජ අගාධය ඉමහත් ලෙස පලල්ව පවතී. බිලියන පතියන් සංඛ්‍යාව අතින් චීනය ලෝකයේ දෙවන තැනට පත්ව තිබෙන නමුත් දරිද්‍රතා කඩ ඉමෙන් පහත ජීවත් වන එරට ජන සංඛ්‍යාව අඩු ගනනේ මිලියන 250කි. ලෝකයේ දිලිඳු බව අතිමහත් ලෙස සංකේන්ද්‍රනය වී පවත්නා ඉන්දියාවේ ද අසික්කිත ලෙස මහා ධන සම්පත් රැස් කර ගැනීම සිදු වෙමින් පවතී. ධනපති ක‍්‍රමය මත පදනම්ව නම් මේ සමාජ ප්‍රතිඝතිතා කිසිසේත් විසඳිය නො හැකි ය. 2008 න් මොබ ආන්ඩු විසින් අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවීම නිසා ජීවන තත්වයන්ගේ පිරිහීම උග‍්‍රවීම යුරෝපයේ ද දැන් ටියුනීසියාවේ ඊජිප්තුවේ සහ මැද පෙරදිග ද මිලියන ගනන් ජනයා අරගලයන්ට බස්සා ඇත. ඉන් ආසියාවේ ද ජාත්‍යන්තරව ද කම්කරුවන් යහපත් ජීවන තත්වයන් සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සඳහා ද යුදවාදයට සහ යුද්ධයට එරෙහිව ද සටන් කිරීමට මෙහෙය වෙනු ඇත. බංකොලොත් ලාභ ගරන පද්ධතිය අහෝසි කොට යල් පැන ගිය ජාතික රාජ්‍ය පද්ධතිය පෙරලා දමා ලෝක පරිමානයෙන් සැලසුම්ගත සමාජවාදී ආර්ථිකයක් පිහිටුවීමට ලෝක කම්කරු පන්තිය විසින් කරනු ලබන ගෝලීය මහා ප‍්‍රති ප‍්‍රහාරයකට මෙම අරගලයන් සියල්ල ඒකාග‍්‍ර කල යුතුව ඇත.

1-6 කෙසේ වෙතත් 20 වැනි ශතවර්ෂයේ කටුක ප ාඩම වන්නේ, කම්කරු පන්තියට ස්වයං සිද්ධව බලය ගත නො හැකි බව ය. මේ සඳහා කම්කරු පන්තියේ තීරනාත්මක සමස්ත ඓතිහාසික අත්දැකීම් උකහා ගෙන ඒ මත පදනම් වූ විප්ලවවාදී නායකත්වයන් ගොඩනැගිය යුතුව ඇත. ට්‍රොට්ස්කිවාදය විසින් ස්ටැලින්වාදයට සහ වෙනත් සකල ආකාර අවස්ථාවාදයන්ට එරෙහිව කරන ලද දිග්ගැසුනු අරගලය තුලින් උකහා ගන්නා ලද පාඩම් සමන්විත දේහය වන්නේ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ය. මෙම උරුමය, ඇමරිකා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය සම්මත කර ගත් ‘සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික සහ ජාත්‍යන්තර පදනම්’ නමැති ලියවිල්ලේ සාරාංශ ගතව ඇත. එය ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ද දේශපාලන වැඩ කටයුතුවල පදනම වන්නේ ය.

2. නො නවතින විප්ලව න්‍යාය

2-1 ලියොන් ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය විද්‍යාත්මක එනම් මාක්ස්වාදී විප්ලවවාදී ඉදිරිදර්ශනයක් සඳහා කේන්ද්‍රීය ය. එය වනාහි පසුගාමී යටත් විජිත සහ අර්ධ යටත් විජිත රටවල් ද දියුනු රටවල් ද අන්තර් ගත කර ගත් ලෝක සමාජවාදී විප්ලවය පිලිබඳ ඒකාග‍්‍රිත සංකල්පයකි. 1905 රුසියානු විප්ලවයෙන් ඉක්බිත්තේ ප‍්‍රථමයෙන් සූත‍්‍රගත කරන ලද නො නවතින විප්ලව න්‍යාය වර්ධනය කරන ලද්දේ රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රයේ මෙන්ෂෙවික් කන්ඩායමේ අවධි දෙකේ විප්ලවය පිලිබඳ ඉදිරිදර්ශනයට එරෙහිව ය. රුසියාව සමාජවාදී විප්ලවය ඉටු කර ගැනීමට පෙර දීර්ඝ ධනේශ්වර සංවර්ධනයේ කාල පරිච්ඡේදයක් තුලින් ගමන් කල යුතු ව ඇතැ යි මෙන්ෂෙවිකයෝ විශ්වාස කලහ. එහෙයින් ඔවුහු ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයේ මූලික කර්තව්‍යයන් වූ සාර්වාදී ඒකාධිපතිත්වය විනාශ කිරීම සඳහා ද ගම්බද පලාත්වල ඉඩම් අයිතිය සමූලව ප‍්‍රතිවර්තනය කිරීම සඳහා ද කම්කරු පන්තිය ලිබරල් ධනපති පන්තිය සමග සන්ධාන ගත විය යුතු බව නිගමනය කලහ.

2-2 ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය මත යැපෙන, ගම්බද ඉඩම් හිමියන්ට බැඳුනු, වැඩෙමින් පැවති කම්කරු පන්තියට බියෙන් සිටි රුසියානු ධනපති පන්තිය, ප‍්‍රජාතන්ත‍්‍ර කර්තව්‍යයන් ඉටු කිරීමෙහි ලා ඓන්ද්‍රීයව ම අසමත් බව ට්‍රොට්ස්කි සහ ලෙනින් විදහා දැක්වූහ. ඔවුන් දෙදෙනා ම සාර්වාදී ඒකාධිපතිත්වයට එරෙහි අරගලයේ දී කම්කරු පන්තියේ ස්වාභාවික මිත‍්‍රයා, දසලක්ෂ සංඛ්‍යාත ගොවි ජනයා බව පෙර දුටුවෝ ය. එහෙත් "කම්කරු පන්තියේ සහ ගොවි ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඒකාධිපතිත්වය” පිලිබඳ ලෙනින්ගේ සූත‍්‍රය, ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයට අති විශේෂ රැඩිකල් ස්වභාවයක් ලබා දුන් නමුත් ඉහත කී පන්ති දෙක අතර දේශපාලන සම්බන්ධතාවය කුමක් විය යුතු ද යන්න විසඳා තිබුනේ නැත. ලෙනින්ගේ සංකල්ප අතිශයින් ම එඩිතර වුව ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඒකාධිපතිත්වය ඔහු විසින් දක්නා ලද්දේ සමාජය සමාජවාදී ලෙස ප‍්‍රතිසංස්කරනය කිරීමේ උපකරනය හැටියට නො ව ධනවාදයේ සංවර්ධනය සඳහා පරිපූර්න ලෙස ම ඉඩ කඩ සලසන්නක් හැටියට ය.

2-3 ට්‍රොට්ස්කිගේ නිගමනයෝ මින් ඔබ්බට ගියහ. සමස්ත ඓතිහාසික වාර්තාව පදනම කරගත් ඔහු, ගොවි ජනතාව කුමන හෝ ස්වාධීන විප්ලවවාදී ක‍්‍රියා කලාපයක් ඉටු කිරීමේ ලා අසමත් බව අවධාරනය කලේ ය. ප‍්‍රජාතන්ත‍්‍ර කර්තව්‍යයන් ඉටු කිරීමේ ලා ධනපති පන්තිය අසමත් වන තතු තුල ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය පැවරෙන්නේ කැරලිකාරී ජනයාගේ නායකයත්වය ගන්නා කම්කරු පන්තිය වෙත ය. "ගොවි ජනයා තමන් පිටුපස මෙහෙයවා ගන්නා කම්කරු පන්ති ඒකාධිපතිත්වයක්” පිහිටු වනුඇත. මෙහි සාරභූත අන්තර්ගතය වූයේ, විප්ලවවාදී පක්ෂය, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය, ධනපති පන්තියේ සියලුම කන්ඩායම්වලට එරෙහිව පිහිටුවීම සඳහා කරන්නා වූ බලගතු සහ ස්ථිරසාර අරගලය යි. කෙසේ වෙතත් බලය සියතට ගන්නා කම්කරු පන්තියට විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කිරීමට සිදුවන්නේ තමන්ට ම ආවේනික වූ පන්ති විධි ක‍්‍රමයන් තුලිනි. නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතියට කඩාවැදීමට ඔවුන්ට අනිවාර්යයෙන් ම සිදු වේ. වෙනත් වචනවලින් කිව හොත් සමාජය සමාජවාදී පිලිවෙත් උඩ ප‍්‍රතිසංවිධානය කිරීමට ද එසේ කිරීමේ දී එහි (රුසියානු කම්කරු පන්තියේ) ඉරනම යුරෝපීය සහ ලෝක සමාජවාදී විප්ලවය හා සම්බන්ධ කිරීමට ද එයට සිදුවනු ඇත.

2-4 රුසියානු විප්ලවය පිලිබඳ ට්‍රොට්ස්කිගේ න්‍යාය ගලා ආවේ ලෝක සමාජවාදී විප්ලවය ඒකාග‍්‍රිත වූ සන්තතියක් ලෙස ගත් ඔහුගේ සංකල්පයෙනි. රුසියාවේ පැනනැගි සමාජ විප්ලවය තනි රටකට සීමා කල නො හැකි විය. එහෙත් එය සිය පැවැත්ම සඳහා ජාත්‍යන්තර කරලිය තුලට පැතිරීම අවශ්‍ය විය. "කම්කරු පන්තිය විසින් බලය අල්ලා ගැනීම ම විප්ලවය සම්පූර්න කරන්නේ නැත. ආරම්භ කරනවා පමනි. සමාජවාදය නිර්මානය කල හැකි වන්නේ ජාතික සහ ජාත්‍යන්තර පරිමාන පන්ති අරගලයේ පදනම් මත පමනි. ලෝක කරලියේ ධනේශ්වර සම්බන්ධතාවයන්ගේ ආධිපාත්‍යය ඉහවහා යන තතු තුල මෙම අරගලය, අනිවාර්යයෙන් ම පිපිරීම්වලට, එනම්, අභ්‍යන්තරව සිවිල් යුද්ධයන්ට ද බාහිරව විප්ලවවාදී යුද්ධයන්ට ද දොර හැරිය යුතුය. අදාල රට ඊයේ සිය ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය සම්පූර්න කල පසුගාමී රටක් වුවත් පාර්ලිමේන්තුවාදයේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දීර්ග ඉතිහාසයක් සහිත පැරනි ධනේශ්වර රටක් වුවත්, සමාජවාදී විප්ලවයේ නො නවතින ස්වභාවය එම කරුනෙන් ම සමන්විත වන්නේය.[1]

2-5 ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය එහි සෑම මූලික අංශයකින් ම 1917 රුසියාවේ විප්ලවවාදී සිද්ධීන්ගේ ගමන් මග තුල සනාථ විය. 1917 අපේ‍්‍රල් මාසයේ දී ලෙනින් පිටුවහලේ සිට රුසියාවට පැමිනි වහාම පෙබරවාරි මාසයේ දී සාර්ගේ පාලනය පෙරලා දැමීමෙන් පසු පිහිටුවා ගත් තාවකාලික ආන්ඩුවට විවේචනාත්මක සහාය දෙමින් සිටි ස්ටැලින් ඇතුලු බොල්ශෙවික් නායකයන් තියුනු විවේචනයකට ලක් කලේ ය. ලෙනින් තම අපේ‍්‍රල් ප‍්‍රවාදයන්හි දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඒකාධිපතිත්වයේ තම පැරනි සූත‍්‍රයෙන් බිඳී භාවිතයේ දී ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ ආස්ථානය පිලිගත්තේ ය. තාවකාලික ආන්ඩුවට විරුද්ධ වන ලෙසත් සාර්ගේ වැටීමෙන් පසුව පැන නැගී තිබුනු සෝවියට් සභා හෙවත් කම්කරු බල මන්ඩල තුලින් බලය සියතට ගන්නා ලෙසත් ඔහු කම්කරු පන්තියෙන් ඉල්ලා සිටියේ ය. ලෙනින් මෙසේ බොල්ශෙවික් පක්ෂය නව යොමුවකට පත් කිරීම, 1917 ඔක්තෝබර් විප්ලවයට ද ලෝක සමාජවාදී විප්ලවයේ සන්තතීන්ට ද දැවැන්ත ගතිකයක් සැපයුවා වූ සෝවියට් ආන්ඩුවක් පිහිටුවීමට ද අත්තිවාරම දැමුවේ ය.

2-6 කල්පසු වූ ධනේශ්වර සංවර්ධනයක් පවත්නා රටවල් සම්බන්ධයෙන් නො නවතින විප්ලව න්‍යායේ දූරදර්ශී බව 1925-27 චීන විප්ලවයෙන් ද තහවුරු විය. එහෙත් ඒ ඛේදජනකව සහ නිශේධනාත්මකව ය. චීන විප්ලවයේ පරාජය පිලිබඳ වගකීම අන් සියල්ලටමත් වඩා පැවරෙන්නේ, සෝවියට් සංගමයේ පසුගාමීත්වයේ ද දිගුකාලීන හුදෙකලාවේ ද කොන්දේසි යටතේ පැන නැගි, කම්කරු පන්තියෙන් බලය උදුරා ගත්, ජෝසප් ස්ටැලින් නායකත්වය දුන් සෝවියට් නිලධාරි තන්ත‍්‍රයට ය. ස්ටැලින්වාදී නිලධරය, "තනි රටක සමාජවාදය” යන ධජය යටතේ තුන්වන ජාත්‍යන්තරය, ලෝක සමාජවාදී විප්ලවයේ කේන්ද්‍රීය උපකරනයක සිට සෝවියට් විදේශ පිලිවෙතේ සුවච උපකරනයක් බවට වඩවඩාත් උග‍්‍රවන වේගයකින් පරිවර්තනය කොට, ධනේශ්වර පක්ෂ සහ ආන්ඩු සමග උපාමාරු දැමීම සඳහා කොමියුනිස්ට් පක්ෂ යොදා ගත්තේ ය. ස්ටැලින් චීනයේ දී මෙන්ෂෙවික්වාදීන්ගේ අවධි දෙකේ න්‍යායට යලි පන දෙමින්, අධිරාජ්‍යවාදී පීඩනය විසින් ජාතික ධනපති පන්තියට විප්ලවවාදී භූමිකාවක් ඉටු කිරීමට බලකරනු ඇතැ යි අවධාරනය කලේ ය. චීන විප්ලවයේ පෙරටු බලඇනිය යයි ධනේශ්වර කුවෝමිංටානය (කේඑම්ටී) හුවා දැක්වූ ස්ටැලින්, ලාබාල චීන කොමියුනිස්ට් පක්ෂය (සීසීපී) එයට යටත් කලේ ය. විපාකය වූයේ, චීනයේ විප්ලවවාදී ව්‍යාපාරය - ප‍්‍රථමයෙන් 1927 අපේ‍්‍රල් මාසයේ ෂැංහයි හි දී කේඑම්ටී නායක චියාං කායි ෂෙක් අතින් ද දෙවනුව 1927 ජුලි මාසයේ වූහාන් හි දී "වාම” කේඑම්ටී ආන්ඩුව අතින් ද - දරුනු පරාජයන්ට මුහුන දීමයි.

2-7 ට්‍රොට්ස්කි, ඔහු විසින් ස්ටැලින්වාදී නිලධරයට එරෙහිව දේශපාලනිකව සටන් වැදීම සඳහා 1923 දී පිහිටුවන ලද වාම විපාර්ශ්වය ස්ටැලින්ගේ පිලිවෙත් දැවෙන විවේචනයකට ලක් කල අතර එසේ කිරීමේ දී නො නවතින විප්ලව න්‍යාය පෝෂනය කලහ. සීසීපී ය කේඑම්ටී යෙන් දේශපාලනිකව ස්වාධීන කර ගැනීම සදහා දෘඪතරව සටන් වැද තිබූ ට්‍රොට්ස්කි පැහැදිලි කලේ ස්ටැලින් කියා පෑ පරිදි, අධිරාජ්‍යවාදය, ජාතික ධනපති පන්තියේ පීඩනය විසින් කම්කරු පන්තිය ද ගොවි ජනතාව ද බුද්ධිමතුන් ද සමග විප්ලවවාදී "පන්ති හතරක සන්ධානය” ලෙස තලා එකබද්ධ නො කරන බව යි. ට්‍රොට්ස්කි මෙසේ පැහැදිලි කලේ ය: "පීඩනයට සහ සූරාකෑමට භාජනය වූ වැඩ කරන ජනතාව දෙපයින් නගා සිටුවන සෑම කාරනයක් ම අනිවාර්යයෙන් ම ජාතික ධනේශ්වර පන්තිය අධිරාජ්‍යවාදය සමග විවෘත සන්ධානයකට තල්ලු කරයි. ජාතික ධනේශ්වර පන්තියට එරෙහි කම්කරුවන් හා ගොවියන්ගේ පන්ති අරගලය දුබල කරනවා වෙනුවට අධිරාජ්‍යවාදී පීඩනය විසින් කරනු ලබන්නේ සෑම අවස්ථාවක ම ලේවැකි සිවිල් යුද්ධයක් මට්ටමට එය තියුනු කිරීම ය.” [2] 1927 විප්ලවවාදී රැල්ල පසු බා කැන්ටන් නගරයේ ද අනෙකුත් නගරවල ද කල්තබා ම පරාජයට තතු සැකසී තිබුනු අවස්ථාවක කෘත‍්‍රීමව සන්නද්ධ නැගිටීම් ඇති කල යුතු ය යි ස්ටැලින්, ඒවන විටත් දුබලව සිටි චීන කොමියුනිස්ට් පක්ෂයට සාපරාධී ලෙස අන දුනි. ඉදිරියේ තිබුනු සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ 15 වන සමුලුවත් සමග කැන්ටන් කොමියුනය කෘත්‍රිමව සම්පාත කිරීමට නියම කරන ලදී - ස්ටැලින් එසේ කලේ එම සමුලුවේ දී වාම විපාර්ශවය මුලුමනින් ම පක්ෂයෙන් එලවා දමා ට්‍රොට්ස්කි පිටුවහලට යැවීමට සැලසුම්කර සිටි ස්ටැලින් ගේ "විප්ලවවාදී” සහතික තහවුරු කර ලීමේ උපායක් හැටියට ය.

2-8 20 වන ශතවර්ෂයේ ගමන් මග තුල ස්ටැලින්වාදීන් විසින් "අවධි දෙකේ න්‍යාය” සහ "පන්ති හතරේ සන්ධානය” යන ධජය යටතේ ඊනියා ප‍්‍රගතිශීලි ධනපති පන්තියට කම්කරු පන්තිය යටත් කිරීම අනිවාර්යයෙන් ම අවසන් වී තිබෙන්නේ විනාශකාරී පරාජයන්ගෙනි. ඒ සමග ම ස්ටැලින්වාදීන් සහ ඔවුන්ගේ ක්ෂමාලාපකයෝ පොදුවේ ට්‍රොට්ස්කිවාදයට සහ විශේෂයෙන් ම නො නවතින විප්ලව න්‍යායට එරෙහිව මඩ ගැසීමේ නිර්දය ව්‍යායාමයක දිගට ම යෙදී සිට ඇත. කෙසේ වෙතත් ශතවර්ෂයකට වැඩි කලකට පෙර ට්‍රොට්ස්කිට පැවති එම විශ්මය ජනක න්‍යායික අභිනිවේෂය අද ද විප්ලවවාදී ඉදිරි මාවතක් සොයන්නා වු කම්කරුවන්ට සහ තරුනයින්ට අත්‍යවශ්‍ය නියාමකයක් වේ. ශී‍්‍ර ලංකාවේ හැර වෙන අන් කිසි රටක නො නවතින විප්ලව න්‍යාය සඳහා සටන මෙතරම් දෘඪ ලෙස සිදු කර නැත. සමාජවාදී සමානතා පක්ෂය ගැබ්කරගෙන තිබෙන, ට්‍රොට්ස්කිවාදය සඳහා මෙම කුඩා දිවයින තුල කරන ලද අරගලයේ පොහොසත් මූලෝපායික අත්දැකීම් ආසියාවේ ද අප‍්‍රිකාවේ ද ලතින් ඇමරිකාවේ ද ජාත්‍යන්තරව ම ද මහා විප්ලවවාදී පක්ෂ ගොඩනැගීම සඳහා ප‍්‍රානභූත පාඩම් වන්නේ ය.

3. ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීම

3-1 බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනයට උපදෙස් දීම සඳහා ඡන්දයෙන් තෝරා ගත් රාජ්‍ය මන්ත‍්‍රන සභාවක් පිහිටවිය යුතු යයි යෝජනා කල 1931 සීමිත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරනවලට විරුද්ධ වූ ලංකාවේ තරුන සංගම්වල සාමාජිකයෝ 1935 දෙසැම්බරයේ දී ලංකා සමසමාජ පක්ෂය (ලසසප) පිහිටූවූහ. ඉන්දියාවේ මහා ස්වාධීනතා ව්‍යාපාරය විසින් දිරිගන්වනු ලැබු ඔවුහු බි‍්‍රතාන්‍ය පාලනය අවසන් කිරීම ඉදිරිපත් ක ලා පමනක් නොව මහා අවපාතය විසින් ඇති කරන ලද සමාජ ව්‍යසනය ඉදිරියේ සමාජවාදය දෙසට ද නැඹුරු වූහ.

3-2 කම්කරුවන් සහ ගම්බද දුගීන් අතර මුල්බැස ගෙන සිටි මෙම තරුන සංගම් එවකට කොලඹ වෘත්තීය සමිති ව්‍යාපාරය මත පැවති ඒ.ඊ. ගුනසිංහගේ අධිකාරයට අභියෝග කලෝ ය. මෙම අභියෝගයන් අතුරෙන් අතිශයින්ම සාර්ථක එක වුයේ 1933 වැල්ලවත්ත රෙදි මෝලේ ස්ට‍්‍රයික් සටන යි. ගුනසිංහ 1920 ගනන්වල දී සැලකිය යුතු වෘත්තීය සමිති අරගල මෙහෙයවා තිබුනි. එහෙත් 1930 ගනන් වන විට මහා විරැකියාව පැතිර යන තතු තුල හෙතෙම වැඩ වර්ජන කඩාකප්පල් කරන්නකු ලෙස ද ආගාමික (විදේශයන්ගෙන් පැමිනි) කම්කරුවන්ට විරුද්ධව වර්ගවාදය පතුරුවන්නකු ලෙස ද වැඩට බැස ගත්තේ ය. 1934 දී ආදායම් කඩාවැටීම සහ වගා පාලුව ද නිසා හටගත් සාගතය සමග පැතිරගිය මැලේරියා වසංගතය ජීවිත ලක්ෂයක් බිලිගත් තතු තුල තරුන සංගම් එම වසංගතයට හසුවූවන්ට ආධාර කිරීම සඳහා වූ පුලුල් ව්‍යාපාරයක් දියත් කලෝය.

3-3 ලසසප තුල මුල සිට ම විවිධාකාර කොටස් සිටියෝ ය. පක්ෂය ගොඩනගන ලද්දේ යුරෝපයේ ද ජාත්‍යන්තරව ද ප‍්‍රතිගාමිත්වය පැන නැගි තතු තුල ය. ස්ටැලින්ගේ සහ තුන්වන ජාත්‍යන්තරයේ සාපරාධී පිලිවෙත් වල ප‍්‍රතිඵලයක් ලෙස 1933 ජර්මනියේ දී හිට්ලර් බලයට පැමින තිබුනි -- ස්ටැලින් සහ තුන්වන ජාත්‍යන්තරය 1928 දී දියත් කල අති-වාම "තුන්වන කාලපරිච්ඡේද” පිලිවෙත ජර්මන් කම්කරු පන්තිය භේද කලේය. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (එස්පීඩීය "සමාජ ෆැසිස්ට්වාදීන්” යයි හෙලා දැකීමේ ස්ටැලින්වාදී පිලිවෙතට එරෙහිව ට්‍රොට්ස්කි, ජර්මන් කොමියුනිස්ට් පක්ෂයේ සහ එස්පීඩීයේ එක්සත් පෙරමුනක් සඳහා සටන් වැද තිබුනි. එක්සත් පෙරමුනේ උපාය පදනම් වී තිබුනේ සංයුක්ත අරමුනු සඳහා ක‍්‍රියාවේ දී එක්සත්කම ද එහෙත් දේශපාලන ක‍්‍රියාමාර්ග, සටන් පාඨ හෝ ධජ කලවම් කර නොගැනීම ද මත ය. එහි අරමුන වූයේ කම්කරු පන්තියේ ශක්තිය නාසීන්ට ද, ඔවුන්ගේ මැර බලකායන්ට ද විරුද්ධ ව බලමුලු ගන්වමින් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකත්වයේ රැවටිල්ල එලිදරව් කිරීම ය. නාසීන් බලයට ආ පසු ඊට මග පෑදූ ස්ටැලින්ගේ පිලිවෙත්වලට එරෙහිව මොන ම විවේචනයක් වත් තුන්වන ජාත්‍යන්තරය තුල පැන නො නැගි තතු තුල, ට්‍රොට්ස්කි කම්කරු පන්තිය නව ජාත්‍යන්තරයක්, එනම් හතර වන ජාත්‍යන්තරය ගොඩනැගීම ගොඩ නැගීමට කාලය එඹ ඇති බව ට්‍රොට්ස්කි නිගමනය කලේ ය.

3-4 ඇමරිකාවේ සහ බි‍්‍රතාන්‍යයේ අධ්‍යාපනය ලද දීප්තිමත් තරුන කොටසක් සමසමාජ නායකත්වය තුල කැපී පෙනුනි. යුරෝපයේ සහ ජාත්‍යන්තර ව ඇති වූ දේශපාලන මහා පෙරලි විසින් ඇති කරන ලද බුද්ධිමය උත්තාපය මධ්‍යයේ ඔවුහු ට්‍රොට්ස්කිගේ ලේඛන වල ඉමහත් බලපෑමට ලක් වූහ. පිලිප් ගුනවර්ධන මොවුන් අතර ප‍්‍රමුඛයා විය. ඇමරිකාවේ අධ්‍යාපනය ලබා 1928 දී බි‍්‍රතාන්‍යයට පැමිනි ඔහ බි‍්‍රතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයට බැඳුනු නමුත් ඉන්දියාව සහ චීනය සම්බන්ධයෙන් ස්ටැලින්ගේ පිලිවෙත් විවේචනය කිරීම උඩ කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපන ලදී ඔහුගේ කවයට කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුනවර්ධන, එන්.එම්. පෙරේරා සහ වර්නන් ගුනසේකර ඇතුලත් වූ හ.

3-5 කෙසේ වෙතත්, ලසසප තුල ස්ටැලින්වාදී හිතවතුන් සහ රැඩිකල් ධනේශ්වර ජාතිකවාදියෝ ද සිටියහ. පක්ෂයේ මෙම මිශ්‍ර සාමාජිකත්වය එහි නො පැහැදිලි ක‍්‍රියාමාර්ගය තුල පිලිබිඹු විය. තම අතිමූලික අරමුන වනාහී "භාන්ඩ නිෂ්පාදනයේ, බෙදාහැරීමේ සහ හුවමාරු කිරීමේ මාධ්‍ය සමාජීකරනය කිරීම තුලින්” සමාජවාදී සමාජයක් පිහිටුවීම බව පක්ෂයේ ප‍්‍රකාශනය කියා සිටියේ ය. එය "ජාතික ස්වාධීනත්වය අත්පත් කර ගැනීම” ද පන්ති, වාර්ගික, කුල, ආගමික සහ ලිංගික වෙනස්කම් තුලින් පැන නගින්නා වූ ආර්ථික හා දේශපාලන අසමානතාවය හා පීඩනය අහෝසි කිරීම” ද ඉල්ලා සිටියේ ය. එහෙත් එය ලසසප කම්කරු පන්තියේ පක්ෂයක් ලෙස නීර්නය කලේ වත් සමාජවාදය කරා විප්ලවවාදී ක‍්‍රියාමාර්ගයක් විස්තාරනය කලේ වත් නැත. එය ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දී සිටි, කුමන ගැටලුවක් හෝ විශේෂයෙන් ම ස්ටැලින්වාදයේ පැන නැගීම සහ එහි පාවාදීම් විග‍්‍රහ කිරීමට උත්සාහයක් ගෙන තිබුනේ ද නැත.

3-6 මේ අයුරින් වැඩ කරන ජනතාව දෙසට යොමු වූ රැඩිකල් යටත් විජිත විරෝධී පක්ෂයක් හැටියට ලසසපයේ පැන නැගීම වනාහි ලාංකික ධනපති පන්තියේ ආර්ථික පසුගාමිත්වයේ ද එය බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනය කෙරෙහි පැවති දේශපාලන වහල් භාවයේ ද ප‍්‍රතිඵලයක් විය. රෙදිපිලි, ජූට්, ගල් අඟුරු හා වානේ කර්මාන්තවල සැලකිය යුතු ප්‍රමානයකට නිරතව සිටි ඉන්දියානු ධනපති පන්තිය සමග සසඳන කල්හි වුව ලංකාවේ ඔවුන්ගේ සගයන් ඉටු කලේ ඉතා සොච්චම් ආර්ථික ක‍්‍රියා කලාපයකි. ලංකාවේ වඩාත් ම ප‍්‍රධාන සහ ලාභ සහගත කර්මාන්තය වූ තේ වතු අයිතිව තිබුනේ බි‍්‍රතාන්‍යයන්ට ය. ප‍්‍රධාන ප‍්‍රවාහන යටිතල පහසුකම් වූ වරාය සහ දුම්රිය ගොඩ නගන ලද්දේ බි‍්‍රතාන්‍ය ප‍්‍රාග්ධනයෙනි. ලංකාවේ ධනපති පන්තිය යටත් විජිත ආර්ථිකයේ එතරම් ලාභදායී නො වූ අංශවලට සීමා වූ අතර ඔවුන්, තම ප‍්‍රාග්ධනය රැස්කර ගත්තේ යටත් විජිත රාජ්‍යයේ සේවය ද අරක්කු රේන්ද, රබර් හා පොල් වතු සහ මිනිරන් සෑරීම ද මගිනි.

3-7 දේශපාලනය ආර්ථිකය පිටුපසින් ගෑටීය. 1919 දී පිහිටුවන ලද ලංකා ජාතික සංගමය (ලංජාස) ඉන්දියානු ධනපති පන්තිය විසින් 1885 පිහිටුවන ලද ඉන්දියානු ජාතික කොන්ග්‍රසයේ (ඉජාකො) සුදුමැලි පිලිබිඹුවක් විය. ඉජාකො 1907 තරම් ඈත දී ස්වයං පාලනය සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කල අතර පලමු වන ලෝක යුද්ධයෙන් ඉක්බිත්තේ ස්වයං පාලනය සඳහා මහජන උද්ඝෝෂන ව්‍යාපාරයක් ආරම්භ කලේ ය. එහෙත් ලංජාසට හැකි වූයේ ව්‍යවස්ථා වෙනස් කිරීමක් සඳහා ඉතාමත් දුබල ආයාචනා කිරීමට පමනි. ලංජාස බොහෝ සෙයින් සමාන වූයේ ඉන්දියාවේ අතීතාවේක්ෂක ජාතිවාදී සංවිධානවලට ය. එනම්, 1907 දී ආරම්භ කරන ලද මුස්ලිම් ලීගයට සහ 1915 දී ආරම්භ කරන ලද සමස්ත ඉන්දියානු හින්දු මහා සභාවට ය. ඔවුන් යම් පමනකට හෝ බි‍්‍රතාන්‍ය පාලනයට විරුද්ධ වී නම් එසේ විරුද්ධ වූයේ, සම්ප‍්‍රදායික හින්දු සහ මුස්ලිම් ප‍්‍රභූවන්ගේ වරප‍්‍රසාද ආරක්ෂා කර ගැනීමේ දෘෂ්ටිකෝනයෙනි. ශී‍්‍ර ලංකාවේ දී ලංජාස පදනම් වූයේ දිවයිනේ දෙමල සහ මුස්ලිම් සුලුතරයන්ට සතුරු සිංහල ප‍්‍රභූවේ බෞද්ධ පුනරුදවාදය මතය. එවකට ලංජාස සභාපතිව සිටි ප‍්‍රමුඛ දෙමල නායකයකු වූ පොන්නම්බලම් අරුනාචලම් ඉදිරිපත් කල දෙමල නියෝජනය පිලිබඳ ඉල්ලීම්වලට නායකත්වය විරුද්ධ වූ හෙයින් ලංජාස, 1921 දී ජාතිවාදී පදනමක් මත බෙදී ගියේ ය. ලංකාවේ දෙමල සහ මුස්ලිම් ප‍්‍රභූන්ගේ සංවිධාන ලංජාස ට වඩා වෙනස්වී නම් ඒ ඔවුන් බි‍්‍රතාන්‍ය පාලනයට දැක්වූ වඩාත් යටහත් පහත් භාවය නිසාවෙන් පමනි.

3-8 ශ‍්‍රී ලංකාවේ ධනපති පන්තියේ සියලූ කොටස්වල චිරන්තන භීතිය වූයේ බලගතු සටන්කාමී කම්කරු පන්තියක් පැනනැගීම ය. මෙම කම්කරු පන්තිය, දකුනු ඉන්දියාවෙන් අඩවහල් පදනමක ගෙන එන ලද දෙමල කතා කරන කම්කරුවන්ගෙන් සමන්විත වූ වතුකරය තුල සංකේන්ද්‍රිත විය. 1921 වන විට වතු කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සංඛ්‍යාව හතලිස් පන් ලක්ෂයක සමස්ත ලාංකීය ජනගහනයෙන් ලක්ෂ පහක් විය. ඒ සමග ම විශේෂයෙන් ම කොලඹ වරායේ, දුම්රිය කර්මාන්ත ශාලාවල, හා සීමිත කර්මාන්තයන්හි නාගරික කම්කරු පන්තියක් ද වැඩී ආවේ ය. ඉන්දියාවේ ජාතික සංගම් නායක මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි බි‍්‍රතාන්‍යයෙන් සහන ලබා ගැනීම සඳහා මහජනතාවගේ යටත් විජිත විරෝධී හැඟීම් සීමා සහිත ලෙස යොදා ගැනීමට උත්සාහ කලේ ය. එහෙත් ලංකාවේ ජාතික සංගමය බි‍්‍රතාන්‍ය පාලනයෙන් ස්වාධීනත්වයක් ඉල්ලා සිටියේ නැති අතර ප‍්‍රතිසංස්කරන සඳහා වුව, මහජන ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කලේ නැත. ලජාස පලල් මහජනයා කෙරෙහි දැක් වූ ඓන්ද්‍රීය විරුද්ධත්වය කැපී පෙනෙන පරිදි පිලිබිඹු වූයේ, 1931 ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරනවල කොටසක් ලෙස ඩොනමෝර් කොමිෂන් සභාව නිර්දේශ කල සර්වජන ඡන්ද බලයට එය විරුද්ධ වීම තුල ය.

3-9 1930 ගනන්වල ලංකාවේ පීඩක තත්වයන් ද යුරෝපයේ මහා දේශපාලන පෙරලි ද වැඩෙන්නා වූ යුද අන්තරාය ද තුලින් රැඩිකලීකරනය වූ බුද්ධිමත් පන්තිය, කොලඹ දේශපාලන සංස්ථාපිතය තුලින් තම ආස්ථානයන්ට ප‍්‍රකාශනයක් අත් කර ගත නො හැකි බව දුටුවේ ය. ඉන්දියාවේ මෙන්, ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයක් පිහිටුවා තිබුනේ ද නැත. කම්කරු පන්තිය මත පදනම්ව ලංකාවේ තිබුනු එකම පක්ෂය වූයේ කොලඹ වෘත්තීය සමිති නායකයා වූ ඒ.ඊ. ගුනසිංහ විසින් බි‍්‍රතාන්‍ය ලේබර් පක්ෂයේ බලපෑම යටතේ 1928 දී පිහිටුවන ලද කම්කරු පක්ෂය යි. එය ජාතික ස්වාධීනතාවයට සහයෝගය දුන්නේවත් සමාජවාදය යෝජනා කලේවත් නැති අතර මාක්ස්වාදයට ගැඹුරෙන් ම සතුරු විය. ලසසප විවිධ ප‍්‍රවනතාවයන්ගේ දේශපාලන නිවහන බවට පත් වූයේ ඉහත සඳහන් තත්වයන් තුල ය. ට්‍රොට්ස්කිවාදයට ආකර්ශනය වූවන් මෙන්ම සමාජවාදී පමනක් නො ව මාක්ස්වාදී පාටක් වුව ගා ගැනීම මහජනතාවට කිට්ටු වී ගැනීම සඳහා අවශ්‍ය මාධ්‍යයක් ලෙස සැලකූ සටන්කාමී ධනේශ්වර ජාතිකවාදීන් සහ ප‍්‍රතිසංස්කරනවාදීහු ද මෙයට ඇතුලත් වූ වෝ ය .

3-10 මොවුන් අතරෙන් ලංකා සමසමාජ පක්ෂයේ නායකත්වයට පත් ට්‍රොට්ස්කිවාදී කන්ඩායම හෙවත් ටී ගෲප් යනුවෙන් නම් කරන ලද කන්ඩායම වනාහි, කම්කරු පන්තිය දෙසට යොමු වූ වඩාත් නිර්භීත සහ විප්ලවවාදී කොටස ය. එය පෙන්නුම් කලේ එකල, ලංකාවේ ද ජාත්‍යන්තරව ද පැවති ආන්තික පන්ති ආතති තත්වය යි. කොල්වින් ආර්. ද සිල්වා ලසසප ප‍්‍රථම සභාපති වූ අතර, එහි ප‍්‍රථම ලේකම් වූයේ ලෙස්ලි ගුනවර්ධන ය. 1936 පෙබරවාරියේ දී පිලිප් ගුනවර්ධන සහ එන්.එම්. පෙරේරා රාජ්‍ය මන්ත‍්‍රන සභාවට තෝරා පත් කර ගනු ලැබූ අතර ඔවුහු, එවකට ආසන්නව පැවති ලෝක යුද්ධයේ දී බි‍්‍රතාන්‍යයට මොන ම සහයෝගයක් වත් දීමට ලසසප විරුද්ධ බව අවධාරනාත්මකව ප‍්‍රකාශ කිරීමට සිය මන්තී‍්‍ර තනතුරු යොදා ගත්හ. ගුනසිංහ හා ඔහුගේ වෘත්තීය සමිති තන්ත‍්‍රයේ ප‍්‍රචන්ඩ විරුද්ධත්වයට මුහුන දෙමින් කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් සහ සේවා කොන්දේසි අප‍්‍රතිහතව ආරක්ෂා කිරීම නිසා ලසසප, කොලඹ කම්කරු පන්තිය තුල පලල් සහායක් දිනා ගති. ධනේශ්වර දේශපාලන පක්ෂ, සීමිත සමාජ ප‍්‍රතිසංස්කරන හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සඳහා සටන් කිරීම තබා ඒවා ඉදිරිපත් කිරීමටවත් අසමත් වීම මගින් පෙන්නුම් කලේ, එම කර්තව්‍යයන් කම්කරු පන්තියේ නැගී එන නියෝජිතයන්ට භාර වුනු බව ය. ලසසප ආංශික ප‍්‍රතිසංස්කරන මාලාවක් සඳහා සටන් කර ඒවා දිනා ගත්තේ ය. මේවා අතර පීඩක ගම්මුලාදෑනි ක‍්‍රමය වෙනස් කිරීම ද උසාවිවල දේශීය භාෂා පාවිච්චි කිරීම ද විරැකියා සහන ලබා දීම ද විය.

3-11 ලංකා සමසමාජ පක්ෂය 1937 දී, ප‍්‍රමුඛ කොංග‍්‍රස් සමාජවාදී නායිකාවක වන කමලා දේවී චත්තොපාධ්‍යයගේ ලංකා චාරිකාවක් සංවිධානය කලේ ය. ඇය කොලඹ ගෝල්පේස් පිටියේ දී තිස්පන් දහසක ජනයා අමතා කතා කලා ය. එවකට ලංකා සමසමාජ පක්ෂයට බැඳී සිටි මාක් බ්‍රෙස්ගර්ඩ්ල් නම් ඕස්ටේ‍්‍රලියානු ජාතික උප වතු පාලකයා, චත්තොපාධ්‍යය සමග වතුකරයේ රැස්වීම් ගනනාවක් ම අමතමින් වතු කම්කරුවන් සූරාකෑම හෙලාදුටුවේ ය. බ්‍රෙස්ගර්ඩ්ල් පිටුවහල් කිරීමට යටත් විජිත පාලනාධිකාරය දැරූ උත්සාහය, ලංකා සමසමාජ පක්ෂය සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනය අතර දාවිත් - ගොලායත් සටනක් බවට පත්වී මුලු දිවයින ම අවුලුවාලී ය. රාජ්‍ය මන්ත‍්‍රන සභාව දැවැන්ත මහජන විරෝධය ඉදිරියේ ආන්ඩුකාරයා හෙලා දකින යෝජනාවක් සම්මත කල අතර ශ්‍රේෂ්ඨාධිකරනය බ්‍රේස්ගර්ඩ්ල් පිටුවහල් කිරීමට විරුද්ධ තීන්දුවක් දුන්නේ ය. යටත් විජිත පාලනයට පසුබැසීමට සිදු විය. සමසමාජ පක්ෂයේ දේශපාලන ආයාමය මහත් සේ වර්ධනය වී ගියේ ය.

3-12 කෙසේ වෙතත් ලසසපය මුහුන දුන් අතිමූලික ප‍්‍රශ්න බැඳී පැවැත්තේ, ජාත්‍යන්තර සිද්ධීන් සමග ය. ලංකා සමසමාජ පක්ෂය 1935 එය පිහිටු වූ අවස්ථාවේ සිට 1939 තෙක්, ට්‍රොට්ස්කි සහ ජාත්‍යන්තර වාම විපාර්ශවය, ස්ටැලින්වාදයට එරෙහිව ගෙන යමින් තිබුනු ජීවිතයත් මරනයත් අතර අරගලය පිලිබඳව ප‍්‍රසිද්ධ ආස්ථානයක් ගෙන තිබුනේ නැත. සමසමාජ පක්ෂයට තිබුනු එකම ජාත්‍යන්තර සම්බන්ධතාවය, ඉන්දියාවේ කොන්ග‍්‍රස් සෝෂලිස්ට් පක්ෂය සමග විය. මෙය 1934 දී ඉජාස තුල ලිහිල් සමාජවාදී මුහුනුවරකින් යුත් කන්ඩායමක් ලෙස පිහිටුවා තිබුනි. කෙසේ වෙතත් 1935 සහ 1939 අතර ලසසප නායකත්වය, වඩ වඩාත් උග‍්‍ර ලෙස ස්ටැලින්වාදී තුන්වන ජාත්‍යන්තරය සමග ඝට්ටනයකට තල්ලු වී ගිය අතර එම කාල පරිච්ඡේදයේ තීරනාත්මක ජාත්‍යන්තර ප‍්‍රශ්න සමග පොර බැදීමට එයට සිදු විය. සමසමාජ පක්ෂය ඇතුලේ ක‍්‍රියාත්මක වූ ටී ගෲප් නමින් හැඳින් වූ කන්ඩායම, 1930 ගනන්වල අර්ධ නැගිටීමක් වූ ප‍්‍රන්ස ස්ට‍්‍රයික් ව්‍යාපාරය සහ ස්පාඤ්ඤ විප්ලවය ද විනාශකාරී පරාජයන්ට ඇද දැමූ ස්ටැලින්ගේ මහජන පෙරමුනු දේශපාලනය පිලිබඳව තදින් කලකිරී සිටියහ. "මහජන පෙරමුන” වනාහි ට්‍රොට්ස්කි ජර්මනිය තුල ක‍්‍රියාත්මක කල යුතු යයි කියා සිටි එක්සත් පෙරමුනේ පරිපූර්න ප‍්‍රතිවිරුද්ධය විය. ෆැසිස්ට්වාදයට විරුද්ධ අරගලයේ ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමේ ද නාමයෙන් අවස්ථාවාදී හා විවෘත ධනපති පක්ෂ සමග පොදු දේශපාලන වේදිකාවක් තනා ගනිමින්, කම්කරු පන්තිය ධනේශ්වරයට, පුද්ගලික දේපලට සහ රාජ්‍යයට ගැටගැසූ මහජන පෙරමුන, කම්කරු පන්තියේ සකල ස්වාධීන විප්ලවවාදී ක‍්‍රියාකාරීත්වය වලක්වාලූයේය. ස්ටැලින්වාදී නිලධරය, මහජන පෙරමුනු දේශපාලනයේ ද ප‍්‍රන්සයේ හා බි‍්‍රතාන්‍යයේ ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවතුන් සමග පවත්වාගෙන ගිය උපාමාරුවල ද කොටසක් ලෙස, තුන්වන ජාත්‍යන්තරය එම රටවල යටත් විජිතයන්ගේ සම්පූර්න ස්වාධීනතාවය සඳහා කලින් දුන් සහාය අතහැර දමා, නැගෙමින් තිබූ යටත් විජිත විරෝධී විප්ලවය පාවා දුන්නේ ය.

3-13 සියල්ලටමත් වඩා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඉලක්ක කර ගනිමින්, ඒ සමග ම බොල්ශෙවික් නායකයන් ද රතු හමුදාවේ අන දෙන නිලධාරීන් ද විද්‍යාඥයන් හා කලාකරුවන් ද ඇතුලු, රුසියානු විප්ලවය ක‍්‍රියාත්මක කල පරම්පරාවේ ශ්‍රේෂ්ඨතම නියෝජිතයන් වන සමාජවාදීන් ලක්ෂ ගනන් ක‍්‍රමානුකූලව මරා දමමින්, 1936-38 කාලපරිච්ඡේදයේ දී ක‍්‍රියාත්මක කල මුර්ග මොස්කව් අවනඩුවලට ලසසප නායකත්වය පුද්ගලිකව විරුද්ධ විය. එසේ ම මෙම සමසමාජ නායකයෝ, ට්‍රොට්ස්කි විසින් ලියන ලදුව, 1938 දී ප‍්‍රථම වතාවට ඉංග‍්‍රීසි බසින් පල වූ The Revolution Betrayed (විප්ලවය පාවාදීම) කෘතියේ ස්ටැලින්වාදය පිලිබඳව කරන ලද ප‍්‍රගාඪ විශ්ලේෂනය හදාරා එහි බලපෑමට හසු වූ වෝ ය. එහෙත් ලංකා සමසමාජ පක්ෂය ට්‍රොට්ස්කිවාදය දෙසට හැරීම කෙරේ ද ඉන්දියාවේ සහ ශ‍්‍රී ලංකාවේ හතර වන ජාත්‍යන්තරයේ ශාඛාවක් පිහිටුවීම කෙරේ ද තීරනාත්මක ලෙස බලපෑවේ දෙවන ලෝක යුද්ධය පුපුරා යාමය.

සටහන්

1. ලියොන් ට්‍රොට්ස්කි, Permanent Revolution නො නවතින විප්ලවය, (ලන්ඩන්: නිව්පාක් පබ්ලිකේෂන්ස්, 1971) පි. 154-55.

2. ලියොන් ට්‍රොට්ස්කි, Lion Trotsky On China ලියොන් ට්‍රොට්ස්කි චීනය ගැන, කෘතියේ "චීන විප්ලවය සහ ස්ටැලින් සහෝදරයාගේ ප‍්‍රවාදයෝ" ලිපිය, (නිව් යෝර්ක්: මොනාඩ් ප්‍රෙස් 1971) 161 පිටුව]

Share this article: