එක්සත් ජනපදය මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව විවේචනය කර යි
US criticises Sri Lanka at UN Human Rights Council
By Sujeewa Amaranath , 13 November 2012
එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා ඉන්දියාව ඇතුළු ප්‍රධාන බලවත්තු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳව සැර බාල විවේචන මතු කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිලිබඳ විමර්ෂනය යොදා ගත්හ.
මෙම විවේචන පොලඹවනු ලද්දේ මෙරට මූලික ප්රජාතන්ත්රවාදී අයිතීන් පිලිබඳ කිසිම උත්සුකයකින් නොව චීනය සමග රාජපක්ෂ ආන්ඩුවේ සම්බන්ධතා පිලිබඳව දිගට ම පවතින නොසතුට මගින් ය. ඔවුන්ගේ මූලෝපායාත්මක හා ආර්ථික උත්සුකයන් ඉදිරියට ගෙනයාම සඳහා එක්සත් ජනපදය හා ඉන්දියාවට කොලඹ ආන්ඩුව බීජීනයෙන් ඈත්ව සිටීම අවශ්‍ය ය.
මාර්තුවේ දී මානව හිමිකම් කවුන්සිලය, ආන්ඩුව විසින්ම පත්කල උගත් පාඩම් හා සංහිඳියා කොමිසම (උපාසංකො) විසින් කරන ලද සීමිත යෝජනා ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් එක්සත් ජනපදයේ අනුග්‍රහය ලද යෝජනාවක් සම්මත කලේ ය. ජනාධිපති රාජපක්ෂ උපාසංකො පත්කලේ ඔහුගේ යුද අපරාධවලට සුදුහුනු ගෑමට හා බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව වාර්ගික යුද්ධයේ අවසාන අදියරයන්හි දී කරන ලද අපරාධ පිලිබඳ ජාත්‍යන්තර විවේචන සමනය කිරීමට ය.
ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥ මන්ඩලයක් ඇස්තමේන්තු කලේ, 2008-2009 යුද්ධයේ අවසාන භාගයේ දී අවම වශයෙන් සිවිල් වැසියන් 40,000ක් ඝාතනය කරන ලද බව යි. 2009 මැයි මාසයේ එල්ටීටීඊයේ පරාජයත් සමග යුද්ධය අවසන් වීමෙන් පසුව සිවිල් වැසියන් 300,000ක් හමුදා පාලනය යටතේ ජරාජීර්න කඳවුරු තුල ගාල් කෙරුනි. එල්ටීටීඊ සාමාජිකයන් ලෙස හංවඩු ගසන ලද දෙමල තරුනයන් 11,000ක් පමන නඩු නොමැතිව හිරගත කෙරුනි.
පැරාමිලිටරි කන්ඩායම් නිරායුධ කිරීම, රැඳවියන්ට නඩු පැවරීම, "අතුරුදහන්වීම්” විමර්ශනය හා දිවයිනේ උතුරු ප්‍රදේශවල දෙමල බහුතරයට සීමාසහිත ස්වාධීනත්වයක් පිරිනැමීම නිර්දේශ කරමින් උගත් පාඩම් හා සංහිඳියා කොමිසම සියලු වගකීම් වලින් ආන්ඩුව නිදහස් කරන ලදී.
මෙම නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස කියා සිටින මානව අයිතිවාසිකම් කවුන්සිලයේ යෝජනාවට තමන් බැඳී නොසිටින බව රාජපක්ෂ ආන්ඩුව මුල දී ප්‍රකාශ කල ද ආන්ඩුව, පසුව එසේ කිරීමට හා එක්සත් ජාතීන් වෙත ව්‍යාජ "ජාතික ක්‍රියාකාරී සැලැස්මක්” ඉදිරිපත් කිරීමට පොරොන්දු විය.
පසුගිය සතියේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී රාජපක්ෂගේ විශේෂ නියෝජිත මහින්ද සමරසිංහ ව්‍යාජ ලෙස පැවසුවේ, ආන්ඩුව තමන් දුන් පොරොන්දුවලට ගරුකරන බව යි. සරනාගතයන් නැවත පදිංචි කිරීම නිමකර ඇති බවත්, දෙමල ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට නීතිමය පරිපාටි යොදා ඇති බවත්, අතුරුදහන්වීමේ සිද්ධි මුලුමනින් ම පාහේ විසඳා ඇති බව හා විමර්ශන උසාවියක් සිවිල් වැසියන් ඝාතනය ගැන විභාග කරන බවත් ඔහු පැවසී ය.
කෙසේ නමුත්, යථාර්තය නම්, තවමත් දිවයිනේ උතුරු හා නැගෙනහිර මුලුමනින්ම පාහේ හමුදා පාලනය යටතේ පවතින බවයි. නීති විරෝධී අතුරුදහන්වීම් හා ඝාතන සිය ගනනකින් එකක් වත් බැරූරුම් ව විභාග කෙරී නැත. අවසාන හමුදා ප්‍රහාරයේ දී හෝ යුද්ධයේ වෙනත් කිසි ම අවධියක් අතරතුර හෝ සිවිල් වැසියන් දස දහස් ගනනක් ඝාතනය කිරීම වෙනුවෙන් වගකිවයුත්තන්ට නඩු පවරනු නැත. තව ම දේශපාලන සිරකරුවන් බන්ධනාගාර තුල වධක තත්වයන් තුල රඳවා ගෙන ඇත. මූලික පහසුකම් නොමැතිව යුද සරනාගතයන් "නැවත පදිංචි” කරවා ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද තානාපතිනී අයිලීන් චැම්බර්ලේන් ඩොනහෝ, මාර්තුවේ නිර්දේශිත යෝජනා ක්‍රියාත්මක කරන ලෙසට කෙරෙන ඔබාමා පාලනයේ ඉල්ලීම පුනුරුච්චාරනය කල අතර ශ්‍රී ලංකාවේ අග්රවිනිශ්චයකාරනී ශ්‍රියානි බන්ඩාරනායකට එරෙහිව වර්තමාන දේෂාභියෝගය කෙරෙහි කනස්සල්ල ප්‍රකාශ කලා ය. එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව හා නොර්වේ ද ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය විවේචනය කලහ.
ඔක්තෝබර් 31දා ෆයිනෑන්ෂල් ටයිම්ස්හි ලිපියකින් එක්සත් ජනපදයේ හා එහි මිතුරන්ගේ සැබෑ උත්සුකයන් වෙත ඇඟිල්ල දිගු කලේ ය. මෙරට තුල වර්ධනය වන චීනයේ ආර්ථික හා දේශපාලන භූමිකාව විස්තර කල එය, "මුලෝපායාත්මක ව පිහිටා ඇති රටෙහි දිග්ගැස්සෙන චීන බලපෑම කෙරෙහි එක්සත් ජනපදය හා නවදිල්ලිය බියවෙති. සිය බලපෑම් වෙනුවෙන් එක්සත් ජනපදය හා ඉන්දියාව, චීනය සමග තරඟ කරන, සමීපව නිරීක්ෂනය කෙරෙන පැද්දෙන රටක්” ලෙස ශ්‍රී ලංකාව ගැන සඳහන් කරයි.
අනෙක් අතට, "විශේෂිත රටක්” ඉලක්ක කරමින් මානව හිමිකම් කවුන්සිලය තුල "භේදයක් නිර්මානය කිරීමට” එරෙහිව චීනය, රුසියාව හා කියුබාව අනතුරු ඇඟවූහ. තමන්ගේ වියදමින් කලාපය තුල සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට වොෂින්ටනය, "මානව හිමිකම්” ප්‍රශ්න ගසා කන බව චීන හා රුසියානු ආන්ඩු හොඳින් ම දැන සිටිති.
ශ්‍රී ලංකාව පිලිබඳ ප්රශ්නය මුල් කරගෙන ස්පාඤ්ඤය හා බෙල්ජියම සමග ඉන්දියාව, මානව හිමිකම් කවුන්සිලයට සිය සහාය පල කල අතර මෘදු විවේචන ද ඉදිරිපත් කලහ. "ගැටුම අතරතුර දරුනු ලෙස ජාත්‍යන්තර මානවවාදී නීති උල්ලංඝනය කිරීම් පිලිබඳව එල්ලවී ඇති චෝදනා සම්පූර්නයෙන් හා විනිවිද පෙනෙන පරිදි විමර්ශනය කරන” ලෙස රටවල් ත්‍රිත්වය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීය.
මෙරට ව්‍යවස්ථාවේ 13වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට රාජපක්ෂ තන්ත්රයට පීඩනය යෙදීම සඳහා ඉන්දියාව රැස්වීම ප්‍රයෝජනයට ගත්තේ ය. 1987 ඉන්දු-ලංකා ගිවිසුමේ කොටසත් ලෙස පිලිගත් සංශෝධනය, උතුරු හා නැගෙනහිර පලාත්වලට සීමිත බලතල බෙදීමක් සඳහා ඉඩකඩ සපය යි.
දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ඇතුලු ව දෙමල ධනේශ්වර පක්ෂ සම්බන්ධවන ස්වයංපාලනයක් සඳහා වන ගනුදෙනුව මගින් නව දිල්ලියට මෙරටෙහි තම තත්වය ශක්තිමත් කර ගැනීමට සහ දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජනතාව අතර ශ්‍රී ලංකාවේ දෙමල ජාතිකයන් මර්දනය කිරීම කෙරෙහි පලවන විරුද්ධත්වය දුරු කිරීමට ඉඩ සලසනු ඇති බවට ඉන්දියානු ආන්ඩුව ගනන් බල යි.
මෙරට පාලක සභාගයේ වර්ගවාදී කොටස්, එනම් ජාතික හෙල උරුමය හා ජාතික නිදහස් පෙරමුන, 13වැනි සංශෝධනය අවලංගු කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂනයක් අරඹා ඇත. ජනාධිපතිගේ සහෝදර, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම තල්ලුවට සහාය දෙයි.
පසුගිය සතියේ මානව හිමිකම් කවුන්සිලයේ සැසියෙන් පසුව ආන්ඩුව උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කරන බවට නැවත වතාවක් හිස් පොරොන්දුවක් දුන්නේය. ජනාධිපති රාජපක්ෂ බටහිර සමග දුර්වල වූ සම්බන්ධතා පිරියම් කර ගැනීමට උනන්දු වෙයි. කෙසේ නමුත්, යුද අපරාධ පිලිබඳ ඕනෑ ම පරීක්ෂනයකට ඔහු බිය වන අතර රටේ නිර්යාත අඩපන කර ඇති ගැඹුරුවන ගෝලීය ආර්ථික අවපාතය මධ්‍යයේ චීනයේ ආධාර හා ආයෝජන නැතිවීමේ අවදානම ගැනීමට ද ඔහුට අවශ්‍ය නැත.
දේශීය ප්‍රේක්ෂකයන් අමතන විට රාජපක්ෂ දෙමල "ත්රස්තවාදීන්ගේ ” නැවත මතුවීමට සහයෝගය දීම ගැන ප්‍රධාන බලවතුන්ට චෝදනා කරමින්, බටහිර විරෝධී වාචාලය තුල ගිලෙ යි. පාලක සභාගය තුල ඔහුගේ වර්ගවාදී මිතුරෝ විවෘතව ඉන්දියානු විරෝධී හා දෙමල විරෝධී ප්‍රචාර ඉදිරියට ගෙන යති. මෙම උද්ඝෝෂන තුලින් ඔවුන් උත්සාහ කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධාන කල කප්පාදු පියවර පැටවීමත් සමග වැඩෙන මහජන අප්‍රසාදය ඉවතට හැරවීමට ය. එමෙන් ම තන්ත්රයේ පොලිස් රාජ්‍ය යාන්ත්‍රනය ශක්තිමත් කිරීම ද එහි ඉලක්කයකි.
ප්‍රධාන විරුද්ධ පක්ෂ ද ඒ ආකාරයෙන් ම සිංහල ස්වෝත්තමවාදී මඩ වගුරේ ගිලී ඇත. වර්ගවාදී යුද්ධයට සහාය දුන් ජනතා විමුක්ති පෙරමුන 13වැනි සංශෝධනය කෙරෙහි යලි යලිත් තම විරුද්ධත්වය පලකර ඇති අතර "ඉන්දියානු පීඩනයට” යටත්වීම පිලිබඳව රාපක්ෂට චෝදනා කලේ ය.
යුද්ධයට සම්පූර්න සහාය දුන් විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය දෙමල ජාතියට එරෙහිව කෙරෙන අසාධාරන ගැන බොරු උන්න්දුවක් පල කරයි. මෙම සම්ප්‍රදායානුකූල මහා ව්‍යාපාරික හා බටහිර ගැති පක්ෂය, නව සම සමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි ව්‍යාජ වාම පක්ෂ තුල මිතුරන් සොයා ගෙන ඇත.
ඒකාබද්ධ විපක්ෂය "13වැනි සංශෝධනය රැකීමට කැපවන අතර උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා බල කරනවා” යයි පවසමින් නසසප නායක වික්‍රමබාහු කරුනාරත්න යූඑන්පිය සමග සිය සන්ධානය ආරක්ෂා කලේ ය. මෙම නිර්දේශයන්ගෙන් කිසිවක් වැඩ කරන ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කරන්නේ හෝ දෙමල ජාතිකයන්ට එරෙහිව ක්‍රමානුකූලව සිදු කෙරෙන අසාධාරනකම් අවසන් කරන්නේ හෝ නැත. 13වැනි සංශෝධනයෙන් අපේක්ෂා කෙරුනු සීමිත ස්වාධීනත්වය අදාල වන්නේ දිවයිනේ දෙමල ප්රභූවේ තත්වය ශක්තිමත් කිරීමට පමනි. ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ ව්‍යාජය තුල නසසප හා එසප, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට නැඹුරු පාලක පක්ෂයේ කොටසක් සමග පෙල ගැසෙමින් සිටිති.
රාජපක්ෂ ආන්ඩුවේ ජාතිකවාදී හා වර්ගවාදී උද්ඝෝෂන ප්‍රතික්ෂේප කරන අතර ම කම්කරු පන්තිය ප්‍රධාන බලවතුන්ගේ කූටෝපායන්ට විරුද්ධ විය යුතු ය. කම්කරු පන්තිය සඳහා එක ම සැබෑ ඉදිරිදර්ශනය වන්නේ දකුනු ආසියාවේ හා ලෝකයේ එක්සත් සමාජවාදී ආන්ඩු සඳහා අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා- ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන් කිරීමට වාර්ගික මාවත් කපාහරිමින් එක්සත් වීම යි.
Follow us on