පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රති-මාක්ස්වාදී පෙරමුනක් ගොඩ නැගීමට සැරැසේ
කේ. රත්නායක විසිනි, 2013 දෙසැම්බර් 28
මෙහි පලවන්නේ කොටස් හතරකින් යුතු ලිපි මාලාවක අවසාන කොටසයි. පලමු වන, දෙ වන,තුන් වන කොටස් 20,21,23 දිනයන්හි පලවිය.
පෙසප දැන් භාරගෙන ඇති ප්‍රධාන කාර්යය ලංකාව තුල ප්රතිවිප්ලවයකට පාර කැපීම සඳහා කම්කරු පන්තිය කොටු කිරීමට ව්‍යාජ වාම කන්ඩායම් එකතු කර ප්‍රති-මාක්ස්වාදී පෙරමුනක් තැනීම යි. ඒ සඳහා පෙසප "වාම” කන්ඩායම් සමග සංවාදයක් පටන් ගනිමින් මාක්ස්වාදයේ මූලික පදනම්වලට ද කම්කරු පන්තියේ නායක විප්ලවවාදී ක්‍රියාකලාපය පිලිබඳ මාක්ස්වාදී ආස්ථානයට ද පහර දීම අලුත් මට්ටමකට නංවා ඇත.
නොවැම්බර් 23 වන දා මෙම කන්ඩායම් සමග ඇරැඹූ සංවාදයකට පක්ෂය තුල දැනටමත් පටන් ගෙන තිබෙන සාකච්ඡාවක ලියවිලි තොගයක් පෙසප විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒවා සමග යැවූ හැඳින්වීමේ ලිපියක සඳහන් කර ඇත්තේ, දශක ගනනාවක් තිස්සේ "මාක්ස් ලෙනින්වාදය ලෙස විවිධ අවස්ථාවාදී මතවාදයන් ප්‍රචාරය කර ඇති තත්වය තුල කොමියුනිස්ට්වාදයේ මූලධර්ම යලි තහවුරු කර ගැනීම හා නිරවුල් කර ගැනීම” සාකච්ඡාවේ අරමුන බවයි. "පන්ති සංයුතියේත් සමාජ විඤ්ඤානයේත් සිදුව ඇති සංකීර්නතා හමුවේ, ධනේශ්වර දෘෂ්ටිවාදී මෙවලම් වඩාත් දියුනු වී දෘෂ්ටිවාදී මෙහෙයුම වේගවත් කර ඇති තත්තවයක් තුල එම මූලධර්ම වර්තමානයට ගලපා ගැනීමට අවශ්‍ය වේ” යයි එම හැඳින්වීමේ කියා ඇත.
මෙම "මෙහෙයුමට” මාක්ස්වාදයට පහර දීම හැර වෙනත් සම්බන්ධයක් නැත. ජවිපෙට මෙන්ම පෙසපට මාක්ස්වාදය සමග කිසිදු සම්බන්ධයක් තිබුනේ නැත. "මාක්ස්වාදී මූලධර්ම වර්තමානයට ගලපා ගැනීම” යනුවෙන් අවධාරනය කෙරෙන්නේ කම්කරු පන්තිය ද මාක්ස්වාදයට ආකර්ශනය වන අනෙකුත් කොටස් ද ධනවාදයට අනුගත වන "මූලධර්ම” වැලඳ ගත යුතු බවයි. "පන්ති සංයුතියේ සංකීර්නතා” සිදුවීම ලෙස දක්වන්නේ මාක්ස් නිර්වචනය කල අන්දමේ කම්කරු පන්තියක් දැන් නැති බවයි. මෙම ආස්ථානයන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ පෙසප හදන්නට යන නව වාම කාන්ඩ ගැසීමේ ප්‍රති-මාක්ස්වාදී ස්වභාවය යි.
1977 යූඇන්පී ආන්ඩුව විවෘත ආර්ථික පිලිවෙත් ක්‍රියාවට දැමූ තැන් පටන් කම්කරු පන්තිය ධනේශ්වර සමාජයට බද්ධ වී ඇති බව පෙසප සිය ස්වයං විවේචන පොතේ සඳහන් කර තිබේ. ඒ මෙසේය: "පරිභෝජනවාදයේත් උපයෝගිතාවාදයේත් ගොදුරු බවට ලාංකේය සමාජය පරිවර්තනය වීම ඇරඹෙන්නේ මෙම වෙනස හමුවේ ය. කේවල මිනිසාට මෙම ප්රතිසංස්කරනයන්ගේ කඩාවැදීමෙන් සිය ජීවිත රටාවේ සැලකිය යුතු වෙනස්කමක් සිදු විය. . . නිර්ධන පන්තිය තුල මැද පන්තික මිත්‍යාවක් තහවුරු විය. මැද පන්තිය භෞතිකමය ගොඩ නැංවීමක් ලෙස නොව ආසියාතික හීනමානයේ මායාමය ගොඩ නැංවීමක් ලෙස තහවුරු විය.”
විප්ලවවාදී ප්‍රතිපත්ති ප්රකාශනය නමින් පෙසප නිකුත් කර ඇති ලියවිල්ල තවත් එහාට යමින් "නව ලිබරල් උපාය මාර්ගයට අනුව එහි පලමු අවධියේ සිට ම හුවමාරු භාන්ඩ අධි වන්දනය හා පරිභෝජනවාදී සංස්කෘතියක්” තහවුරු කෙරුනු බව ද එමගින් "ජීවිතයේ මනුෂ්‍ය සාරය අහිමි කර නරුමවාදයට ඇද දැමූ සමාජය තුල ආත්මාර්ථකාමීත්වය ද බොරු සන්දර්ශනවාදය වංචාව හා ස්වයං රැවටීම ද” ව්‍යාප්ත කරවමින් තිබෙන බව ද කියයි. "ලාංකීය සමාජයේ සමාජවාදය ගොඩ නැගීම සඳහා අවශ්‍ය සාමූහිකත්වය පිලිබද ගුනාංග වර්ධනය කිරීම අභියෝගයක් වී තිබේ” යයි එම ලියවිල්ල කියා සිටී.
මෙම වාගාලාපවලින් පෙරට ගෙන ඇත්තේ දැන් පශ්චාත් නූතනවාදීන් ඇතුලු මධ්‍යම පන්තික කන්ඩායම් පරිභෝජනවාදය මගින් කම්කරු පන්තිය ධනේශ්වර සමාජයට බද්ධ වී ඇති නිසා මාක්ස්වාදීන් පෙන්නුම් කරන එහි විප්ලවවාදී ක්‍රියාකලාපය අහෝසි වී ඇත යන විසකුරු ප්‍රචාරය යි. විශේෂයෙන්ම, 1991 සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු මෙම ප්රතිගාමී ප්‍රචාරය උත්සන්න කෙරුනි.
1960 ගනන්වල ෆ්රැන්ක්ෆර්ට් ගුරුකුලය ද ඇතුලු සුලු ධනපති ප්රවනතා පරිභෝජනවාදයෙන් කම්කරු පන්තිය ධනේශ්වර සමාජය තුල ගිලී යාම පිලිබඳව මාක්ස්වාදයට සතුරුව ඉදිරිපත් කල න්‍යායන් මෙම කන්ඩායම් තුලින් අද දින පෙරී අවුත් තිබේ. ෆ්රැන්ක්ෆර්ට් ගුරු කුලයේ ප්රමුඛයෙකු වූ හර්බට් මාර්ක්යුස් මෙසේ ප්‍රකාශ කලේ ය: "මහජනයා තමන්ව හඳුන්වා ගන්නේ ඔවුන් සතු භාන්ඩ තුලිනි; ඔවුහු තමන්ගේ යාන වාහන, හයි-ෆයි භාන්ඩ, බහුතල නිවෙස් සහ මුලුතැන්ගෙයි උපකරන තුලින් සිය ආත්මය දකිති. කේවල මිනිසා සිය සමාජයට බැඳ තබන යාන්ත්‍රනය වෙනස් වී ඇත....”
එදා මෙම ආස්ථානයන් ඉදිරිපත් කෙරුනේ පශ්චාත් යුදකාලීන සමථය තුල ලෝක ධනවාදයේ ඇතිවූ වෙනස්කම්වල අනුගත වෙමිනි. මෙම අදහස් දැන් ඉදිරිපත් කෙරෙන්නේ, නිෂ්පාදනයේ භූගෝලීයකරනය තුල නව ලිබරල් ආර්ථික ක්‍රියාමාර්ග හෙවත් විවෘත වෙලඳපොල ආර්ථික පිලිවෙත් ක්‍රියාවට දැමෙන තත්වයක ඇති වී තිබෙන නව වෙනස්කම් ලෙසය.
පෙසප මෙම අදහස් බෙදාහදා ගන්නවුන් අතර ස්ලැවොජ් ජිජෙක් නම් වූ දාර්ශනියෙකු ලෙස පෙනී සිටින ප්‍රති-කොමියුනිස්ට්වාදී පශ්චාත් නූතනවාදියා ද වේ. ඔහු රැඩිකලුන් හා ව්‍යාජ වම්මුන් විසින් වැලඳ ගනු ලැබූවෙකි. ජිජෙක්, "සමාජය පරිභෝජනවාදයට” යටවීම පිලිබඳ උත්සුක වී පරිභෝජනවාද විරෝධියෙකු ලෙස පෙනී සිටී. බොහෝ ලිපිවල මෙය හුවා දක්වන ජිජෙක්, 2010 ලන්ඩන් නුවර තරුන කැරැලි හෙලා දකිමින් සඳහන් කලේ, ඒවා "පාරිභෝජනවාදී දෘෂ්ටියට ප්‍රතිචාරයක්” සහ "පරිභෝජනවාදී ආශාවේ ප්රකාශනයක්” ලෙස යි. ඔහු එම තරුනයන් හෙලා දැක්කේ "හැඩිරැලක්” හා "මුර්ගයන්” පිරිසක් ලෙසයි.
කම්කරු පන්තිය පරිභෝජනවාදයට යට වී ධනේශ්වර සමාජයට බද්ධ වී ඇතැයි ව්‍යාජ පින්තූරයක් පෙසප ඉදිරිපත් කරන්නේ, මාක්ස්වාදී ඓතිහාසික භෞතිකවාදී විධික්රමයට එරෙහිව යි. කම්කරුවාගේ කම්කරු පන්තිමය ස්වභාවය කේවල මිනිසෙකුගේ තැනට සිඳුවා ඇත. තතු එසේ නම්, සමාජවාදය සඳහා අරගලයට කොන්දේසි නැත.
ධනපති සහ සුලුධනපති දාර්ශනිකයන් විසින් සමාජය කේවල මිනිසුන්ගේ එකතුවක් ලෙස දැක්වීම මාක්ස් ප්‍රතික්ෂේප කලේ ය. මාක්ස් ගෘන්ඩ්රීස්හි පැහැදිලි කල අයුරු "සමාජය සමන්විත වනුයේ තනි පුද්ගලයන්ගෙන් නෙවේ, එය අන්තර්සබඳතාවන්ගේ සමස්තය ප්‍රකාශයට පත් කරයි. මෙම පුද්ගලයන් සිටින්නේ එම සබඳතා තුල ය.” එනම් පන්ති සම්බන්ධතාවල ප්රකාශනයකි.
සමාජවාදය සඳහා අරගලය ඓතිහාසික අවශ්‍යතාවකි. එහි ඓතිහාසික භෞතිකවාදී පදනම් පැහැදිලි කරමින් මාක්ස් මෙසේ පැවසීය: "මිනිසුන්ගේ පැවැත්ම නිර්නය කෙරෙනුයේ ඔවුන්ගේ විඤ්ඤානයෙන් නොවේ. ඊට විපරීතව ඔවුන්ගේ විඤ්ඤානය නිර්නය කෙරෙනුයේ සමාජ පැවැත්ම විසිනි. සමාජයේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේගයෝ, ඒවායේ සංවර්ධනයේ නිශ්චිත අවධියකදී, පවත්නා නිෂ්පාදන සම්බන්ධතා සමග ගැටෙති... මෙම නිෂ්පාදන සම්බන්ධතාවයෝ නිෂ්පාදන බලවේගවල වර්ධනයේ රාමුවල සිට ඒවායේ විලංගු බවට පත් වෙති. එවිට සමාජ විප්ලවයන්ගේ අවධියක් ඇරඹේ.”
පැතිර පවත්නා ධනේශ්වර දෘෂ්ටීන්ගේ බන්ධන කම්කරු පන්තිය තුලින් කපා හැරීමේ කොන්දේසි සකසන්නේ මෙම ඓතිහාසික වෛෂයික වර්ධනයන් විසිනි. එම අරගලය සඳහා විප්ලවවාදී පක්ෂයක් අවශ්‍ය වේ. නිෂ්පාදන බලවේගයන්ගේ සමාජීයකරනය හා පුද්ගලික දේපොල අයිතිය ද නිෂ්පාදනයේ ගෝලීයකරනයෙන් ගැඹුරු කෙරුනාවූ ලෝක ආර්ථිකය හා ජාතික රාජ්‍යය ද අතර ප්රතිඝතිතාව ලෙස වර්ධනය වී ඇත්තේ නිෂ්පාදන බලවේග හා නිෂ්පාදන සම්බන්ධතා අතර මාක්ස් පෙන්වූ ගැටීමයි. ලෝක ධනවාදයේ බිඳ වැටීම ද වර්ධනය වන විප්ලවවාදී අරගල ද අද දින එබඳු කාල පරිච්ඡෙදයක් විවෘත කර ඇත.
ඊට එරෙහිව, පෙසප තුල යන ප්රතිමාක්ස්වාදී සාකච්ඡා එය විසින් බෙදා හැරුනු ලිපිවලින් පෙන්නුම් කෙරේ. "පන්තිය, සංවිධානය හා විප්ලවය” නමින් ඉදිරිපත් වී ඇති ලිපියක මෙසේ සඳහන් වේ: "ධනවාදය මිනිස් ආත්මීයත්වයේ සියුම් නාඩි වැටීම හා රික්තයන් අවබෝධ කරගෙන පරිභෝජනවාදය තුලින් එම රික්තයන් පුරවමින්” පවතින තත්වයක "ධනවාදයේ බිඳ වැටීමක් කිසිසේත් ම අපේක්ෂා කර නොහැකි තත්වයක් තුල... නිෂ්පාදන සබඳතා හා බලවේග අතර ගැටුම තුලින් විප්ලවය පැතීමෙන් අපට අත්විය හැක්කේ මිරිගුව පිටුපස ගිය මුවාගේ ඉරනම පමනි”. මෙය වනාහි ධනවාදය එකම සක්ය ක්‍රමය ලෙස පිලිගැනීමකි.
"භාන්ඩ අභිවන්දනය” ගැන පෙසප ප්‍රකාශ, මාක්ස් භාන්ඩ අභිවන්දනය ලෙස පැහැදිලි කල සුවිශිෂ්ට න්‍යායික විදාරනයට හාත්පසින්ම වෙනස් එකකි. මාක්ස් භාන්ඩ අභිවන්දනය ලෙස පෙන්වා දුන්නේ, වෙලඳභාන්ඩ නිෂ්පාදනය කරන ධනපති සමාජය තුල (භාන්ඩ නිෂ්පාදනයේ) සමාජ සම්බන්ධතා භාන්ඩ අතර සම්බන්ධතාවයක් ලෙස දිස්වීමයි. භාන්ඩ හුවමාරුව සඳහා මුදල් භාවිතාව මෙම සමාජ සම්බන්ධතා ගුඪකරනය කරයි. මාක්ස්ගේ මෙම සොයා ගැනීම ධනවාදය තුල සැඟවී තිබෙන සැබෑ සමාජ සබඳතා හෙලි පෙහෙලි කලේය. පෙසප "භාන්ඩ අධි වන්දනාව” යන්න නරුම ලෙස යොදා ගෙන ඇත්තේ කම්කරු පන්තියට ගැරහීම සඳහා ය.
පෙසප කම්කරු විරෝධයෙන් නලියන සංවිධානයකි. ඉහත කී සාකච්ඡාවට බෙදා හැර ඇති "පක්ෂය හා විප්ලවීය මහජන ව්‍යාපාරය” නමැති තවත් ලියවිල්ලක මෙසේ සඳහන්ව ඇත; "1953 දී හාල් සේරුව ශත 25කින් වැඩි කල විට, වහා නැගිටීමක් සිදු කල ජනතාවක් දැන් දූෂනය, යුද්ධය හා මිලිටරි මැදිහත්වීම් ආදී ඉන් එහා ප්රහාරයන්ට මුහුන දීත් ‘ඒවාට එරෙහිව විටින් විට නැගෙන විරෝධතාවන් නොසලකා සිටින්නේ එම ජනතාවගේ බහුතරය රාජපක්ෂ හෙජමොනිය සමග ඇතිකර ගෙන තිබෙන සහමතික බැඳීම නිසා ය.’”
මෙම ප්‍රකාශ නිකුත් වන්නේ, රාජපක්ෂ පාලනය පොලිස් රාජ්‍යයක් වර්ධනය කිරීමට ජවිපෙ තුලින් සහයෝගය දෙමින් සිට ඉන් ඉවත් වූ පුද්ගලයන්ගෙන් ය. තව ද පෙසප එසේ ප්‍රකාශ කරන්නේ අනෙකුත් ව්‍යාජ වම්මු හා වෘත්තීය සමිති ද ධනපති කන්ඩායම් ද සමග එකතුව රාජපක්ෂ ආන්ඩුවට හා ධනපති ක්‍රමයට එරෙහිව සමාජවාදී ක්‍රියාමාර්ගය මත දේශපාලන අරගලයක් කිරීමට එරෙහි පරම සතුරන් ලෙස සිටින ගමන් ය.
රාජපක්ෂ ආන්ඩුව නිසා තමන්ගේ කොටස අහිමිව යූඇන්පිය ද ඉහල මධ්‍යම පන්තිකයන්ගේ කොටස් ද මෙලෙස කම්කරුවන්ට නිතර බැන වදිති. කම්කරුවන් හා අනෙකුත් ජන කොටස් ව්‍යාකුල කොට ආන්ඩුවේ අත ශක්තිමත් කිරීම ගැන වග කිව යුත්තේ පෙසප ඇතුලු ව්‍යාජ වම්මු හා වෘත්තීය සමිති ය. කම්කරුවන් හා සිසුන් අරගලයට ආ කල ඔවුන් දුර්මුඛ කර ආපසු හරවා යැව් වේ මොවුන් ය.
මෙම ලියවිල්ලට අනුව ආන්ඩුවේ මංකොල්ලකාරිත්වය "අබිබවා යමින්” ජනයා "ප්රතිධ්රැවය” වෙතට ඇදේ. "එහෙත් ප්රතිධ්රැවය බෙල හීන ය... වමේ කියන බලවේග ද සිටින්නේ බලපෑමක් කිරීමේ හැකියාවෙන් දුරස්ථව ය.” එසේ නම්, පෙසපට අනුව කල යුත්තේ කුමක් ද? "ලාංකීය විප්ලවීය පොදුජන අරගල ව්‍යාපාරය ගොඩ නැගීම අන් වාමාංශික පක්ෂ හා සංවිධානවල එකතුවෙන් ම සිදුවිය යුත්තකි.” එනම් පෙසප මෙහෙයුම ධනේශ්වර පන්ති පාලනය රැකීමට කැපවූ සංවිධාන එක බුරුත්තට පෙල ගස්වා ගැනීම යි. දක්ෂිනාංශික යූඇන්පිය සමග පෙරමුනක සිටින නව සම සමාජ පක්ෂය ඉන් එකකි. රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව යකා සමග එක් වුවත් කමක් නැතැයි කියමින් යූඇන්පියට හේත්තුවී සිටින එක්සත් සමාජවාදී පක්ෂය තව එකකි.
පෙසප මෙම තතු තුල, ග්‍රීසියේ ව්‍යාජ වම්මුන් හා ධනපති කොටස් වල සභාගයක් වන සයිරිසා සංවිධානයට ආකර්ෂනය වීම ද ඊට මුලුමනින් ම සහයෝගය දෙන ජිජෙක් තම ගුරෙකු ලෙස ගැනීම ද පුදුමයක් නොවේ. පෙසප සයිරිසා සංවිධානයේ "නැගීම පිලිබඳ අධ්‍යනය කිරීම” ප්රමුඛ කටයුත්තක් ලෙස නිවේදය කර තිබේ. සයිරිසා ග්‍රීක ධනපති ක්‍රමයට ද යුරෝපා සංගමයට ද කැපවූ සංවිධානයකි. සයිරිසා ආරම්භයේ පටන්ම ඔජවැඩවූ ජිජෙක් මැයි මාසයේ ක්රොඒසියාවේ ෂබ්රෙග්හි දී සයිරිසා නායක අලෙක්ෂිස් සිප්රාස් සමග පැවැත්වූ විවාදයකදී මෙසේ උපදෙස් දුන්නේය: "යුරෝපීය දේශපාලන ප්රභූවට සිය පාලනය කිරීමේ හැකියාව කෙමෙන් නැතිවී යයි. සයිරිසාව ඉදිරියේ ඇති කාර්යය උමතු රැඩිකල් පියවර ගැනීම නොව, සරලවම... තත්වය ස්ථාවර කිරීමයි.”
ජිජෙක් තමන්ව හඳුන්වා ගෙන ඇත්තේ මෙසේ ය: "මේ අහන්න, මම මාක්ස්වාදියෙක් මි, නමුත් කොමියුනිස්ට්වාදයේ පැරැනි දෘෂ්ටියට අප යා යුතුයැයි මම සිතන්නේ නෑ. විප්ලවය ඉවරයි; එය අසාර්ථක වුනා. ඇත්තෙන් ම අවිස්වාස නොකට යුතු ලෙස ම, ධනවාදය, මොනවා හෝ හේතුවක් නිසා, මේ සියවසේ පැහැදිලි දෘෂ්ටිවාදාත්මක ජයග්රාහියා යි....” ජිජැක් දර්ශනය පෙසපට ඇති තරම් සමීප ය. පෙසප, ජිජෙක් පමනක් නොව ඒ හා සමාන ප්රතිමාක්ස්වාදී ප්රවනතා අනුව යන්නකි.
කම්කරු පන්තිය විප්ලවවාදී බලවේගයය යන මාක්ස්වාදී අස්ථානයට වල කැපීම සඳහා පෙසප තවත් ඉදිරියට යයි. දැන් තවත් බලවේග ඊට එකතු කර ගත යුතුය යන කඩතුරාවට මුවාවී එම අදහස ඉදිරිපත් කෙරේ. නව ලිබරල්වාදී ප්‍රතිපත්ති යටතේ "පන්ති සංයුතියේ වෙනස්කම් සිදුවී ඇතැයි” මෙම පක්ෂය පවසන්නේ එයයි. ස්වයං විවේචනය මෙසේ සඳහන් කරයි: "කම්කරු පන්තික කොටස් ප්රමුඛ වැටුප් ශ්‍රමික බලවේගයේ ප්‍රමුඛතාව පිලිබඳ අදහසේ වෙනසක් අප තුල නොමැති නමුත් ඊට එක්කර ගත යුතු නව බලවේගයන්ගේ ස්වාභාවයන් - ද්‍රව්‍යමය හා සමාජ විඤ්ඤානයට අදාල ශක්‍යතාවන් අප හඳුනා ගත යුතු ය.” ජයග්රහනයන් අත්කර ගැනීමට නම්, "වත්මන් ධනවාදයේ ලීවරයන් සැනින්-එසැනින් අකි‍්‍රය කලහැකි බලවේගයන්ගේ බහුතරය දිනා ගැනීම අවශ්‍ය ය.”
පෙසප මෙම බලවේගයන් නම් කර නැත. පෙසප කම්කරු පන්තියට එකතු කර ගතයුතුයයි යෝජනා කරන නව "බලවේගයන්” නම් නිෂ්පාදනයේ ගෝලීයකරනයත් සමග සශ්‍රීකව මතු වී ඇති කලමනාකාර කොටස් හා වෘත්තීයවේදීන් ය. කම්කරු පන්තිය මොවුන්ගේ අධිකාරයට යටකර දැමීම පෙසප ඉලක්කයයි.
පෙසප නියෝජනය කරන්නේ ධනේශ්වර ප්රභූව සහ අධිරාජ්‍යවාදීන් වෙතට හැරුනු ඉහල මධ්‍යම පන්තික කන්ඩායම්ය. නිෂ්පාදනයේ ගෝලීයකරනය සමග හා පසුගිය සමයේ වඩවඩාත් නිෂ්පාදනයෙන් ඉවත්ව වැඩී ඇති මුල්‍ය කතිපයාධිකාරයට සමාන්තරව අනෙකුත් රටවල මෙන්ම ලංකාවේ ද කොටස් වෙලඳපොල සමපෙක්ෂනයට, වානිජ හා බැංකු ඇතුලු මුල්‍ය ක්ෂේත්රයේ හා වෘත්තියවේදයන්ට සම්බන්ධිතව පලල් මධ්‍යම පන්තික කන්ඩායමක් බිහිව ඇත. සමාජ අසාධාරනයන් විවේචනය කරමින්, සමාජ පාරිශුද්ධත්වය හා යහපාලනය දේශනා කරන, බොහෝවිට විදෙස් මුදලෙන් යැපෙන, රාජ්‍ය නොවන සංවිධාන රොත්තක් ද ඉහත වර්ධනයන් සමග මතුවී ඇත. බොහෝ වෘත්තීය සමිති නිලධරයන් ද අධිරාජ්‍යවාදී රටවල රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙයි.
ඉහල මධ්‍යම පන්තිය හා ධනේශ්වරයේ සැලකිය යුතු කොටසක් රාජපක්ෂ ප්රමුඛ පාලක කල්ලිය රට ආන්ඩු කිරීම ගැන කලකිරීමට හා අතෘප්තියට පත්ව සිටිති. ඊට හේතුව, රාජපක්ෂ කල්ලිය ආර්ථිකයේ විශාල කොටසක ඒකධිකාරය අත්කර ගෙන, එහි ප්රතිලාභ තම දේශපාලනික හා ව්‍යාපාරික ඥාතීන් සමග බෙදා හදා ගැනීම යි. දේශපාලනිකව කි‍්‍රයාකාරී මධ්‍යම පන්තික කන්ඩයාම්වල ආන්ඩු විරෝධී පදනම එය යි. ඔවුන්ගෙන් සෑහෙන කොටසක් තමන්ගේ ව්‍යායාමයට ඇමෙරිකාව ප්රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ ආධාරය පතා සිටිති. පෙසප අධිරාජ්‍යවාදය, වෙසෙසින් ඇමෙරිකානු අධිරාජ්‍යවාදය මහත් බලවන්තයෙක් ව ඇතැයි පිලිගත් සංවිධානයකි.
ඉහල මධ්‍යම පන්තිය මත පදනම් වූ පෙසප ඇතුලු ලංකාව තුල ව්‍යාජ වම්මුන්ගේ මූලික ම ලක්ෂනය නම් මාක්ස්වාදයට හා කම්කරු පන්තියේ නායක විප්ලවවාදී කි‍්‍රයාකාරිත්වයට සතුරුකම යි. පෙසප ඇතුලු මෙම කන්ඩායම් මාක්ස්වාදය සඳහා අරගලයේ ඓතිහාසික අඛන්ඩතාව නියෝජනය කරන ට්‍රොට්ස්කිවාදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට හා එහි ලංකා ශාඛාව වන සමාජවාදී සාමානතා පක්ෂය (සසප)ට ද මුලුමනින් ම සතුරු ය.
පෙසප ව්‍යාජ වම්මුන්ගේ කාන්ඩ ගැසීමක් සූදානම් කරන්නේ ලෝක ධනවාදයේ බිඳ වැටීම තුල ජාත්‍යන්තරව වර්ධනය වන විප්ලවවාදී අරගලයන් ලංකාව තුල පුපුරා ඒම මැඩලා දැමීමට ධනපති පන්තියටත් අධිරාජ්‍යවාදයටත් සහයෝගය දීම සඳහා ය. කම්කරුවන් තරුනයන් හා බුද්ධිමතුන් සමාජවාදී විප්ලවයට නායකත්වය දීම සඳහා සසප ගොඩනැගීමට එක්වීම හදිසිභාවයකින් යුතුව මතු වී තිබේ. ජාත්‍යන්තර සමාජවාදය සඳහා ඉදිරි දර්ශනයට දකුනු ආසියාව තුල සටන් කරන්නේ සසප පමනි.
Follow us on