ඩෙංගු රෝගයෙන් ශිෂ්‍යාවක් මියයාම කොලඹ සරසවියේ පරිහානිගත කොන්දේසි වල විපාකයක්
සුරංග සිරිවර්ධන විසිනි, 2013 ජූලි 3
කොලඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් ජූනි 5 දා ඩෙංගු උන රෝගය වැලඳීමෙන් මරනයට පත්විය. විශ්වවිද්‍යාල නව කලාගාර ගොඩනැගිල්ලේ ඉහල මහලේ ඩෙංගු මදුරු කීටයන් බහුල වශයෙන් බෝවී තිබූ ස්ථානයක් කොලඹ මහ නගර සභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයා ගනු ලැබීමත් සමග රෝගය වැලඳීමට හේතුව විශ්ව විද්‍යාල පරිශ්‍රයේ අයහපත් සෞඛ්‍ය කොන්දේසි බව සනාථ කෙරී පවතී.
දෙවන වසර නීතිපීඨ ශිෂ්‍යාවක් වූ නිසංසලා සමරසිංහ කොලඹ ජාතික රෝහලේදී වෙනත් සැත්කමකට භාජනය වෙමින් සිටිය දී මෙසේ මියගිය අතර මරනයට හේතුව ඩෙංගු රෝගය වැලඳී තිබීම බව වෛද්‍යවරුන් විසින් සහතික කිරීමෙන් අනතුරුව මෙම පරීක්ෂන සිදු කෙරී ඇත.
මෙය මෙතෙක් පැවති සියලු ආන්ඩු විසින් රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය නොතකා හරිමින් එහි තත්ත්වය ඉහල නැංවීම පිනිස මුදල් යෙදවීම කප්පාදු කිරීමත්, මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් එය වඩාත් තීව්ර කොට ඉදිරියට ගෙන යමින් සමස්ථ අධ්‍යාපන ක්ෂේත්රයටම එල්ල කෙරෙමින් පවතින ප්‍රහාරයේ සෘජු ප්‍රතිපලයකි.
ගුනාත්මක හා සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපන කොන්දේසි තහවුරු කිරීමට නම් ඒ සඳහා ප්‍රමානවත් මුල්‍ය ප්‍රතිපාදන සම්පාදනය අත්‍යවශ්‍ය කරුනකි. නමුත් පසුගිය වසරේ අධ්‍යාපනය සඳහා ආන්ඩුව විසින් වෙන් කරනු ලැබුවේ දල ජාතික නිශ්පාදිතයෙන් සියයට 1.8 ක් තරම් වූ සොච්චමකි. මේ තත්ත්වය නිශ්චිතව ම ශිෂ්‍යයන් විශ්ව විද්‍යාලය තුල මුහුන දෙන ප්‍රශ්න සමග ගැට ගැසී පවතී.
කොලඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය සඳහා යෝග්‍ය සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ඇත්තේ නැත. විශ්වවිද්‍යාල භූමියේ බොහෝ ස්ථාන වල වතුර පිරී ගිය මඩ වලවල් ය. ශිෂ්‍යයන් ක්‍රීඩා කටයුතු වල නිරත වන ගොඩනැගිල්ලෙන් ගලවා ඉවත් කොට තිබූ වැහි පීලි නීතිපීඨ ගොඩනැගිල්ල පිටුපස අපරීක්ෂාකාරී අන්දමින් ගොඩගසා තිබුනි.
දහවල් කාලයේ ආපන ශාලා පිරී ඉතිරී යයි. එමෙන්ම එවායේ පවිත්‍රතාවය ද වැටී ඇත්තේ ඉතාම පහල මට්ටමකට ය. එමෙන්ම දේශනශාලා තුල කැඩී බිඳී ගිය පුටු මෙන්ම දූවිලි පිරී ගිය පුටු දැකගත හැක. ඇතැම් ස්ථාන වවුලන් ගේ අසූචි වලින් පිරී පවතී.
වසර 115 ක පමන ඉතිහාසයකින් යුතු පීඨ 7ක් හා අධ්‍යයන අංශ 43 කින් සමන්විත සිසුන් 10,000 කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන කොලඹ විශ්ව විද්‍යාලයේ පවත්නා තත්ත්වය ගැන සිසුහු ද ලෝක සමාජවාදී වෙබ් අඩවියට විස්තර කලහ.
"අපේ සහෝදරියක් ඩෙංගු හැදිලා මැරුනට පස්සේ තමයි සේරම සුද්ධ කරන්න මතක් වුනේ”යයි කොලඹ විශ්ව විද්‍යාලයේ තෙවන වසර නීති පීඨ ශිෂ්‍යයෙකු පැවසීය. "ඒත් තව කොච්චර තැන් තියනවාද මදුරුවන් බෝවෙන්න පුලූවන් තැන්. දැන් බලන්න අර ගහ යට මඩ ගොහොරුවක්, එතන වතුර ලේසියෙන් හිඳෙන්නේ නෑ. අතනත් මඩ වලක්. ඩෙංගු මදුරුවෝ හිටියොත් විතරද සුද්ධ කරන්නේ”යයි ඔහු ප්‍රශ්න කලේය.
ශාස්ත්‍ර පීඨයේ අවසන් වසර ශිෂ්‍යාවක් සරසවි පරිශ්‍රය පිරිසිදු කිරීමේ ස්වභාවය පිලිබඳව කතා කලේ දැඩි කෝපයෙනි. "නීති පීඨයේ ශිෂ්‍යාව මැරුනු දවසේ ඉඳලා අපිට දවස් පහයි නිවාඩු දුන්නේ. හොස්ටල් නම් පිරිසිදු කරලා තිබුනා. ඒත් මදුරුවන්ගෙන් නම් අඩුවක් නෑ. මේ දවස්වල විභාගෙත් තියන නිසා අපි බයටම ගෙදර ඉඳලා තමයි විභාගෙට එන්නේ.”
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනුයේ මෙම වසරේ ජූනි මස දක්වා රට පුරා ඩෙංගු රෝගීන් 13,900ක් වාර්තා වී ඇති බවයි. පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දිනට පමනක් ඩෙංගු රෝගීන් 220 දෙනෙකු මරනයට පත්වූ අතර සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවීය.
වගකීමෙන් නිදහස් වනු වස් ආන්ඩුව උත්සාහ කරමින් සිටින්නේ මෙය කම්කරු පීඩිත මහජතාවගේ කර මතින් යැවීමට ය. ඩෙංගු රෝගය උත්සන්න වීමට මූලිකම හේතුව රාජ්‍ය ආයතන සහ මහජනතාව මේ සම්බන්ධයෙන් නොතකා හැරීම බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඩෙංගු මදුරු මර්දනය සඳහා කියුබාවෙන් බීටීඅයි බැක්ටීරියාව ආනයනය කිරීම පිනිස අමාත්‍ය මන්ඩල අනුමැතිය පැතුව ද එය ඉතා මිල අධික බව පවසමින් කැබිනට්මන්ඩලය එයට විරුද්ධ විය. ඒ වෙනුවට ආන්ඩුව සිදුකරනුයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ද සහයෝගය ඇතුව රට පුරා පාසල්, රාජ්‍ය ආයතන සහ නිවෙස්වලට යමින් ජනතාව වැරදි කරුවන් කොට ඔවුන්ව දඬු ගැසීමට ය.
ආන්ඩුව සමස්ථ රාජ්‍ය අධ්‍යාපන පද්ධතියම කාබාසිනියා වීමට ඉඩ හැර තැබීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත මෙහෙයවෙමින් අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුලු සමාජ සුභසාධන සේවාවන් කප්පාදු කොට පුද්ගලීකරන ක්‍රියාදාමය වේගවත් කිරීමේ ආන්ඩුවේ වැඩ පිලිවෙල සමග බැඳී ඇත. මේ තත්ත්වය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ වධකාගාර බවට පත් කෙරී ඇත.
"මට නම් දැන් විශ්ව විද්‍යාලෙ ඉන්න එකත් එපා වෙලා” කොලඹ විශ්වවිද්‍යාලයට අයත් කිත්‍යාකාර නේවාසිකාගාරයේ සිටින පලමු වසර ශාස්ත්‍ර පීඨ ශිෂ්‍යයෙකු වන මනෝජ් සිය නේවාසිකාගාරයේ පවත්නා තත්ත්වය පිලිබඳ අදහස් දැක්වූයේ දැඩි කලකිරීමෙනි. "එක පොඩි කාමරයක 12 දෙනෙක් ඉන්නවා. තුන් දෙනෙකුට වඩා පාඩම් කරන්නත් බෑ. ඒ හින්දා පාඩම් කරන්නේම නැති තරම්. අඩු ගනනේ අපේ බඩු තියාගන්නවත් තැනක් නෑ” යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දැක්වීය.
විශ්වවිද්‍යාලයේ ඌන පහසුකම් සම්බන්ධයෙන් අදහස් දක්වමින්, "ආර්ට් ෆැකල්ටි එකේ ලෙක්චර් හෝල් වල කිසිම පහසුකමක් ඇත්තේ නැහැ. සමහර ඒවායේ පුටු කැඩිලා. තියන පුටුවල ඉන්නත් දේශනයක් ඉවර වෙනකම් ඉඳගෙන ඉන්නත් බෑ. ඒවායේ තියාගෙන සටහන් ලියාගන්නත් හරිම අමාරුයි” යනුවෙන් අවසන් වසර සිසුවියක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසීය. ඇය වැඩිදුරටත් කියා සිටිේ විභාග පවත්වන පරන පුස්තකාල ගොඩනැගිල්ලේ ඒ සඳහා කිසිදු පහසුකමක් නොමැති බවයි.
2012 වර්ෂයේ අගෝස්තු වන විට සාමාන්‍ය පවුලක ජීවන වියදම් සඳහා වැය වන මුදල රු46,396ක් ලෙස ගනන් බලා ඇති අතර වසර 2005 දී පමන එය රු.25,000 කට ආසන්න අගයක පැවතුනි. වේගයෙන් ජීවන වියදම් ඉහල ගියද ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා උපකාරයක් ලෙස ගෙවන මහපොල ශිෂ්‍යාධාර අරමුදල 2006 මාර්තු මාසයෙන් පසු මේ දක්වා වැඩි කිරීමට ආන්ඩුව කටයුතු කර නොමැති අතර තවමත් ඒ වෙනුවෙන් ගෙවනුයේ රු.2,500 තරම් වූ සොච්චම් මුදලකි.
මෙම පහසුකම් වර්ධනය කිරීම සඳහා අමතර සතයක් නොයොදවන රාජපක්ෂ ආන්ඩුව "දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති” ගනනාවකට මුදල් පොම්ප කරමින් සිටී. කොලඹ විශ්වවිද්‍යාලය ආසන්න භූමි භාගයට ගියහොත් යමෙකුට දකින්නට ලැබෙන්නේ ඉහලපෙලේ සාප්පු සංකීර්න විවේක පරිශ්‍ර, ව්‍යායාමයට දිවීම සඳහා වෙන් කෙරුනු මංපෙත් ආදී පහසුකම් බිලියන ගනන් මුදල් වැය කර ඉදි කෙරෙමින් තිබෙන සැටියි. මේ කිසිවක් දුගීන්ගේ පහසුකම් තකා කෙරෙන ඒවා නොවේ. ඉහල පැලැන්තිය සඳහා සුඛෝපභෝගී පහසුකම් තනනා අතර කම්කරුවන් හා දුගීන්ට උන්හිටි තැන් නැති කිරීම ද අධ්‍යාපනය සෞඛ්‍ය සේවා කපා හෙලීම ද වේගවත් කෙරී ඇත.
රාජ්‍ය විශ්ව විද්‍යාල පිරිහෙලන ආන්ඩුව පෞද්ගලික විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ඇති කරමින් අධ්‍යාපනය ලාභ ගරන කර්මාන්තයක් බවට පත් කරමින් සිටී. මාලඹේ ස්ථාපනය කල පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මේ වන විට වෛද්‍ය උපාධිය පිරිනමන අතර ආන්ඩුව එවන් පෞද්ගලික අධ්‍යාපන ආයතන ගනනාවක් බිහි කිරීමට සැලසුම් කරමින් සිටී.
මෙම ප්රහාරයන්ට එරෙහිව අරගලයට පිවිස ඇති සිසුන් මර්දනය කිරීමට ආන්ඩුව පොලිස් හා මිලිටරි බලයට අමතරව මැර බලය මත වාරුවෙමින් සිටින අතර එයට සමගාමීව නවක වදය වැලැක්වීමේ පනත වැනි අනපනත් ද සම්මත කරගනිමින් වැඩට බැස සිටී.
අරගලයට පිවිසෙන සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කරමින් සහ ශිෂ්‍ය සංගම් තහනම් කරමින් නොනැවතී ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට ද ආන්ඩුවේ පූර්න පිටුබලය සහිතව විශ්වවිද්‍යාල පාලනාධිකාරීන් කටයුතු කරයි. මේ වන විට සබරගමුව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුලු ශිෂ්‍ය සංගම් 5ක් තහනම් කොට 47 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවා ඇත. ජයවර්ධනපුර කැලනිය වැනි විශ්ව විද්‍යාලවල තත්ත්වය ද මෙබඳු ම ය. කොලඹ විශ්ව විද්‍යාලයේ දැන් වසර ගනනාවක සිට මහා ශිෂ්‍ය සංගමය තහනම් කර ඇත.
Follow us on