ශ්‍රී ලංකාවේ ජනාධිපති බෞද්ධ අන්තවාදී සංවිධානයේ ඉල්ලීම් ඉටු කිරීමට පොරොන්දුවෙයි
සුජීව අමරනාත් විසිනි, 2013 ජුලි 08
ගව ඝාතනය නතර කිරීම, 13 වන ආන්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම හා බෞද්ධයන් අන්‍යාගම්වලට හැරවීම නතර කිරීමේ පනත් කෙටුම්පත වහා ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආදී ඉල්ලීම් මත සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී සිහල රාවය දින 11ක් පුරා පැවැත්වූ පාගමන කෙලවර කෙරුනේ ජුනි 26 දා කොලඹ අරලියගහ මන්දිරයේ දී එහි නායකයන් ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමෙනි. රාජපක්ෂ දෙමසක් ඇතුලත දී තම ඉල්ලීම් ඉටු කිරීමට පොරොන්දු වුයේ යයි සිහල රාවය නායකයෝ පුවත්පත් වලට පැවසූහ.
එදිනම අධ්‍යාපනය පුද්ගලීකරනය හා ශිෂ්‍ය මර්දනය නතර කිරීම ඉල්ලා ජනාධිපති වෙත සන්දේශයක් භාර දීමට පැමිනි ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට නුගේගොඩ මංසන්දිය අසලදී මුහුන දීමට සිදු වූයේ තමන් මැඩලීමට පෙල ගස්වා තිබු කැරලි මර්දන පොලීසියටයි. සිහල රාවයට උනසුම් පිලිගැනීමක් ලබා දෙද්දී සරසවි සිසුන්ට එරෙහිව අවි අමෝරා ගැනීමෙන් ප්‍රදර්ශනය කෙරුනේ මේ ආන්ඩුව වර්ගවාදීන්ගේ සහාය ගොනු කර ගනිමින් තම අයිතීන් සඳහා සටන් කරන කම්කරුවන්, තරුනයන් හා දුගීන් මැඩීමට පේවී සිටින ආන්ඩුවක්ම බවයි.
ජුනි 15 දා කතරගම කිරි වෙහෙර අසලින් ඇරඹුනු සිහල රාවයේ ඊනියා අධිෂ්ඨාන පාගමන මුල පටන් ම මුස්ලිම්වරුන්ට එරෙහි ප්රකෝපකාරිත්වය ඇවිලවීම ඉලක්ක කරගත් එකක් විය. ඔවුන්ගේ පාගමන අතර මග තංගල්ලේ දී මහ දවල් පොලීසිය අනුමැතියෙන් බලා සිටිය දී මුස්ලිම් ජාතිකයෙකුට අයත් හරක් මස් කඩයකට පහර දෙන ලදී.
එම පහර දීම පිලිබඳව පොලීසිය කිසිදු පියවරක් නො ගත් තතු යටතේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලීසිය විසින් නීතිය නොතකා හැරීම හෙලා දකිමින් හා වහා ම නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් පොලිස්පතිවරයාට ලිවීය. සිංහල බෞද්ධ ස්වොත්තමවාදීන්ට සහාය දෙන පොලීසිය, ආන්ඩුව ද ඔවුන්ට උඩගෙඩි දෙන බව දනී. සාමාන්‍ය මහජනයා සම්බන්ධයෙන් පොලීසිය හැසිරන්නේ මීට ඉඳුරාම පටහැනි ලෙසයි. පොලිස් අත්අඩංගුවේ සිටිය දී මරනයට පත් වූ තැනැත්තන්ගේ ඥතීන් හා ගම්වාසීන් පොලීසිවලට විරෝධය පලකරන විට "නීතිය අතට ගැනීමට මහජනයාට නො හැකි යි" පවසමින් පොලීසිය මුර්ග ලෙස ඔවුන්ට පහර දුන් අවස්ථා එමටය.
ජුනි 19දා කොලඹ බම්බලපිටියට පැමිනි පොලීසිය, සිහල රාවය පාගමන සතියකින් පමන එම ප්‍රද්ශය පසුකරමින් යන නිසා "අනවශ්‍ය කලබලයක්” ඇතිවීම වැලැක්වීමට එම දිනවල මස්කඩ වසා තබන ලෙස දැනුම් දුන්නේය. ලංකාවේ හරක් මස් වෙලඳාමේ යෙදෙන අයගෙන් බහුතරයක් මුස්ලිම් ව්‍යාපාරිකයන් වන තතු තුල ගව ඝාතනයට එරෙහි උද්ඝෝෂන මුස්ලිම් ජනයා ඉලක්ක කරගත් ඒවා වේ.
සිහල රාවය හා එවැනි සංවිධාන වන බොදු බල සේනා හා රාවනා බලකාය මුස්ලිම් ජන කන්ඩායමට එරෙහිව අඛන්ඩ ප්රකෝපකාරීත්වයන් අවුස්සන අතරම 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම මුල් තැනට ගෙන ඇත්තේ ආන්ඩුවේ ද ආධාර ඇතිව ඉන්දියානු විරෝධයක් ඇවිස්සීම ද දෙමල ජනයාට එරෙහි වර්ගවාදය උත්සන්න කිරීම ද සඳහා ය.
දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ 1987 ජූලි මාසයේ ලංකාවේත් ඉන්දියාවේත් ආන්ඩු අතර අත්සන් කෙරුනු ඉන්දු-ලංකා ගිවිසුම අනුවයි. මෙම ගිවිසුමෙන් අදහස් කෙරුනේ උතුරු-නැගෙනහිර දෙමල ජනයා අතර කොලඹ ආන්ඩුවේ වර්ගවාදී යුද්ධයට එරෙහිව පැන නැගුනු විරෝධය මැඩීම හා බෙදුම්වාදී එල්ටීටීඊය නිරායුධ කිරීම සිදු කරන අතරම දෙමල ධනපති පන්තියට සීමිත බලය බෙදීමකින් දේශපාලන සම්මුතියක් ඇති කර ගැනීමයි. ඒ සඳහා ඉන්දීය හමුදා ගෙන ඒමෙන් කොලඹ ආන්ඩුවට දකුනු පලාතේ ජවිපෙ සිංහල වර්ගවාදී කැරලි මැඩීමට හා ඒ මුවාවෙන් රැඩිකලීකරනය වූ ගම්බද තරුනයන් ලේ විලක ගිල්ලීමට ද ඉඩ සැලසුනි.
ඉන්දු-ලංකා ගිවිසුමේ මුලික ඉලක්කය වුයේ ලංකාවේ ධනපති රාජ්‍ය රැකීමයි. සිංහල ධනපතියන්ගේ ද අනුප්‍රාප්තික ආන්ඩුවල ද 13 වන ව්‍යවස්ථාවට විරුද්ධත්වය දෙමල ධනපතියන්ට මොනම සහනයක් වත් දීමට එරෙහිවය. 1988 දී උතුරු පලාත් සභාව පිහිටුවා දෙවසරකින් කොලඹ එවක පැවති එජාප ආන්ඩුව එය විසුරුවා හැරියේය.
සිවිල් යුද්ධය අවසන් වී වසර හතරකට අධික කාලයක් ගත වී ඇතත් තවමත් උතුරු පලාතේ ඇත්තේ මිලිටරි පාලනයකි. දැන් එහි සැප්තැම්බර් මාසයේ ඡන්දය පවත් වන්නට යන්නේ දෙමල ජනයාට ප්රජාතන්ත්රවාදී අයිතියක් දීමට නොව ඉන්දියාවේ හා ඇමෙරිකාවේ බල කිරීම මතය. මෙම මහා බලවතුන්ට ඕනෑ චීනයට එරෙහිව කලාපය තුල තම බලපෑම තර කර ගැනීමට මිස මේ රට තුල ප්රජාතන්ත්රවාදය පිහිටු වීමට නම් නොවේ.
අන්‍යාගම්වලට හැරවීම නතර කිරීමේ පනත කලකට පෙර ආන්ඩුව ගෙන ඒමට තැතනු ප්රජාතන්ත්ර විරෝධී නීති පනතකි. පැතිරී ගිය විවේචන නිසා ආන්ඩුවට එය අකුලා ගැනීමට සිදුවිය. එම පනතට උද්ඝෝෂනය ඇරඹීමෙන් යලිත් ප්‍රදර්ශනය කෙරී ඇත්තේ වර්ගවාදී සංවිධාන වල ප්රජාතන්ත්ර වාදී අයිතීන් කෙරේ පවත්නා හතුරුකමයි.
බෞද්ධ අන්තවාදීන් ක්‍රියාත්මක වන්නේ හුදෙක් මුස්ලිම්වරුන්ට හා දෙමල ජනයාට එරෙහිව පමනක් නො වේ. ජුනි 17දා මුල්ලේරියාව නගරයේ දී බෞද්ධ භික්ෂුවක් ඇතුලු සිංහල රාවයේ ක්‍රියාකාරීන් පිරිසක් යෙහෝවාගේ සාක්ෂිකාරයෝ නමැති ගතානුගතික කතෝලික ආගමිකයන් පිරිසකට "දරුනු ප්‍රතිවිපාක” පිලිබඳව තර්ජනය කොට ඔවුන්ව පොලීසියට ගෙනයන ලදී.
ජුනි 21 දා කලුතර මග්ගොන දී බොදු බල සේනා සාමාජික කන්ඩායමක් සාන්ත වින්සන්ට් වැඩිහිටි නිවාසයට යන පාර අසල පිහිටි සාන්ත මරියා පිලිමයක පාමුල තිබූ සඳකඩ පහනක් බලහත්කාරයෙන් ගලවා ඉවත් කරගෙන ගියේ සඳකඩ පහන වනාහි සිංහල වාස්තු විද්‍යාත්මක උරුමයක් බවත් කතෝලික ඉදිකිරීම්වලට එය අයත් නො වන බවත් පවසමිනි.
බොදු බල සේනා සංවිධානය ජුනි 25දා ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්රතිගාමී තවත් ප්රකෝපකාරීත්වයක යෙදුනේය. "බොරු ආගමික මතවාද පැතිරවීම සඳහා වැට පනින මූලධර්මවාදී පිසාචයන්ට විරුද්ධව ඉලපත අතට ගන්න" යි බෞද්ධ උපාසක උපාසිකාවන්ගෙන් ඉල්ලන බවට බොබසේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව එහිදී විසකුරු කතා ඇද බෑවේය. රටේ ආන්ඩුක්රම ව්‍යවස්ථාවෙන් ප්‍රශ්න ඇති වී තිබෙන්නේ බෞද්ධ ජනතාවට පමනකැ’යි ද මූලධර්මවාදීන්ට බඩ පිනුම් ගැසීමට එමගින් ඕනෑ තරම් ඉඩකඩ සැලසී ඇතැ’යි ද ඥානසාර පචයක් දෙසුවේ වත්මන් ආන්ඩුක්රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත්කරමින් එය රැකීම හා පෝෂනය කිරීම ආන්ඩුවේ වගකීමකැයි ව්‍යවස්ථාගත කර තිබිය දී ය.
ඇසල පෝයට කලින් මේ ප්‍රශ්නවලට විසඳුම් දීමට පාලකයන් අසමත් වුවහොත් බොබසේ සාමාජිකයන් නිල නො වන පොලීසිය ලෙස වැඩ අරඹනු ඇති බව ඥානසාර තර්ජනය කලේ ය.
මෙම අන්තවාදී සංවිධානවල පැන නැගීම කම්කරු පන්තිය බැරෑරුම්ව සැලකිල්ලට ගත යුතු ය. ඒවායේ සැබෑ අරමුන වන්නේ කම්කරු පන්තිය වාර්ගික හා ආගමික රේඛා ඔස්සේ භේද බින්න කොට ආන්ඩුවේ ප්‍රහාරවලට විරුද්ධව ඒකාබද්ධ ප්‍රතිප්‍රහාරයක් දියත් කිරීමෙන් වලක්වා ධනපති පන්ති පාලනය ආරක්ෂා කිරීම සඳහා ෆැසිස්ට් පන්නයේ ප්‍රහාර සුදානම් කිරීමය. මේ සූදානම ආන්ඩුවේ පොලිස් රාජ්‍ය පියවර සමග එකට සම්බන්දය.
Follow us on