පලාත් සභා මැතිවරනයට එරෙහි ස්වෝත්තමවාදී උද්ඝෝෂනයට ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් බැකිම දෙයි
Sri Lankan defence secretary backs chauvinist campaign against provincial election
වසන්ත රූපසිංහ සහ කේ. රත්නායක විසිනි, 2013 ජූනි 4
උතුරු පලාත් සභාව සඳහා යෝජිත මැතිවරනයට ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රසිද්ධියේ විරුද්ධත්වය පලකර තිබෙන අතර ආන්ඩුව මුහුන දී ඇති උභතෝකෝටිකය ඉන් පිලිබිඹු වෙයි.
වසර ගනනාවක් තිස්සේ ගාටමින් සිටීමෙන් අනතුරුව, ඉන්දියාව හා එක්සත් ජනපදය ඇතුලු බටහිර බලවතුන්ගේ පීඩනය යටතේ එලැඹෙන සැප්තැම්බර් මස මැතිවරනය පැවත්වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ පොරොන්දු විය. ඒ අතර ම, ඔහුගේ ආන්ඩුව පය ගසා ගෙන සිටින්නේ දෙමල ප්රභූවට මොනයම්ම හෝ සුලු සහනයක් වත් දීමට අතිශයින් විරුද්ධත්වය පාන මිලිටරිය හා සිංහල ස්වෝත්තමවාදී බලවේගයන් මත ය.
මැයි 23 වෙනි දින අයිලන්ඩ් පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී, පලාත් පාලන මැතිවරනය දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ජයග්‍රහනය කලොත් ඇතිවන "බියකරු ප්‍රතිවිපාක" පිලිබඳ ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට අනතුරු ඇඟවුවේ ය. බෙදුම්වාදී දෙමල ඊලම් රාජ්‍යයක් ස්ථාපිත කිරීමට මෙය මෙහෙය විය හැකියැයි ඔහු කියා පෑවේ ය.
ආරක්ෂක ලේකම්ගේ උක්ත ප්‍රකාශ, 2009 මැයි මස බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) පරාජය කල තැන් පටන් නැගෙනහිර පලාත් සභාව පාලනය කිරීම හා එම පලාත තුල දැන් පවතින අනවරත මිලිටරි වාඩිලා සිටීම යුක්ති සහගත කිරීම පිනිස වාර්ගික එදිරිවාදිකම් ඇවිස්සවීමට දැරූ අධම වෑයමකි.
දිවයිනේ දිග්ගැස්සුන සිවිල් යුද සමයේදී එල්ටීටීඊ යේ හොරැනෑව ලෙස ක්‍රියාත්මක වූ ටීඑන්ඒ, බෙදුම්වාදී රාජ්‍යයක් වෙනුවෙන් කල ඉල්ලීම අත්හැර දමා ඒ වෙනුවට සීමිත බලය බෙදීමක් මත පදනම් වූ බලය-බෙදීමේ වැඩපිලිවෙලක් පිලිබඳ අපේක්ෂාවෙන් සිටී.
ආරක්ෂක ආමත්‍යාංශයේ ඉහලතම නිලධාරියා වන ජනාධිපතිගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ ඡන්දයෙන් තේරී පත් නො වූ නිලධාරියෙකු වන අතර ආන්ඩුවේ නිල කොටස්කරුවෙකු ද නො වේ. ආන්ඩුවේ ප්‍රකාශක අනුර ප්‍රියදර්ශන යාපාට සෘජුව ම එරෙහි වෙමින් දේශපාලනය වෙතට කල ඔහුගේ විවෘත මැදිහත්වීම දිවයිනේ දේශපාලන ජීවිතය තුල මිලිටරියේ බලගතු භූමිකාව මැනවින් පැහැදිලි වෙයි.
මැයි 23 දින පැවැති කැබිනට් තීරන දැනුම් දීමේ පුවත්පත් සාකච්ඡාවේ දී උතුරු නැගෙනහිර පලාත් සභා මැතිවරනය, ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය අනුව පැවැත්වීමට ආන්ඩුව තීරනය කර ඇති බව යාපා නිවේදනය කලේ ය. යාපා මෙම අදහස් ප්‍රකාශ කලේ පලාත්සභාවන් පිහිට වූ 13 වෙනි සංශෝධනයට සංශෝධන ගෙනෙන්නැයි කෙරෙන ඉල්ලීම් පිලිබඳ ඉන්දියානු විදේශ ඇමැති සල්මන් කුර්ෂිඩ් උත්සුකතාවන් මතුකිරීමෙන් අනතුරුව ය.
පාලක සන්ධානයේ සිංහල ස්වෝත්තමවාදී පක්ෂ දෙකක් 13 වන සංශෝධනයට එරෙහිව උද්ඝෝෂනයේ නිරතව සිටිති. පලාත් සභා ක්‍රමය අහෝසි කරන්නැයි ජාතික හෙල උරුමය (ජාහෙඋ) ඉල්ලා සිටින අතර පලාත් සභාවලින් පොලිස් හා ඉඩම් බලතල ඉවත් කිරීමට ජාතික නිදහස් පෙරමුනට (ජානිපෙ) අවශ්‍යවී තිබේ. තවත් සිංහල අන්තවාදී පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ද පලාත්සභා අහෝසි කරන්නැයි කියා සිටී.
1987 ජූලි මාසයේදී කොලඹ හා නවදිල්ලිය අතර ඇති කර ගත් ඉන්දු-ලංකා ගිවිසුමේ කොටසක් ලෙස එය ක්‍රියාත්මක කරන විට 13වන සංශෝධනයට මෙම දේශපාලන බලවේග සියල්ලම එරෙහි වූහ. එල්ටීටීඊ ය නිරායුධ කිරීම, උතුරු පලාත තුල ඉන්දියානු සාම-සාධක භටයන් ගොඩබැස්සවීම සහ ඒකාබද්ධ කරන ලද උතුරු-නැගෙනහිර පලාතක් තුල දෙමල ප්රභූවට සීමිත බලතල පිරිනැමීම ගිවිසුමෙන් යෝජනා කෙරින.
කම්කරුවන්, වෘත්තීය සමිති ක්‍රියාධරයින් හා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ඇතුලු ජවිපෙ ප්රතිගාමී දේශප්‍රේමී උද්ඝෝෂනයට එරෙහි දේශපාලන විරුද්ධවාදීන් එල්ලකර ජවිපෙ ෆැසිස්ට් ප්‍රහාරයක් දියත් කලේ ය. ශ්‍රී ලංකා ධනපති රාජ්‍යයේ එක්සත්භාවයේ දෘෂ්ටිකෝනයෙන් නො ව, දිවයින මත ධනේෂ්වර පාලනය පිම්ඹීමට වලිකන කොලඹ හා නවදිල්ලි පාලන යාන්ත්රනයන්ට එරෙහි සිංහල හා දෙමල කම්කරුවන් ඒකාබද්ධ කිරීමේ ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ඉදිරිදර්ශනය මත ගිවිසුමට එරෙහි වූ එකම පක්ෂය විකොස යි.
1988 දී උතුරු-නැගෙනහිර පලාත් සභාව ස්ථාපිත කලත් ගිවිසුම බිඳවැටීමෙන් හා යුද්ධය යලි ආරම්භ වීමෙන් පසු කෙටිකලක් ඇතුලත ක්ෂනිකව එය විසුරුවා හැරින. පසුකලෙක, ජවිපෙ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් පදනම් කරගත් උසාවිය උතුරු හා නැගෙනහිර පලාත් සභා යලි දෙකඩ කරමින් දේශපාලන තීන්දුවක් නිකුත් කලේ ය.
එල්ටීටීඊ යේ පරාජයෙන් අනතුරුව එකිනෙකා තමන්ගේ ම අරමුනු වෙනුවෙන් ඉන්දියාව හා බටහිර බලවතුන් යුද්ධයට "දේශපාලන විසඳුමක්" වසයෙන් 13 වන සංශෝධනය යටතේ උතුරු පලාත් සභාවක ඡන්දය පැවත්වීම කෙරෙහි අවධාරනය කරන්නට විය. ලංකාව තුල දෙමල ජනයාට සලකන ආකාරය පිලිබඳව දකුනු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තය තුල පැතිර පවත්නා මහජන වෛරය වෙනතක හැරවීම පිනිස දෙමල ජනයාගේ ආරක්ෂකයෙක් වසයෙන් ඉන්දියාව ව්‍යාජ ලෙස පෙනී සිටී. ජනාධිපති මහින්ද රාජපක්ෂ චීනය සමග තිබෙන සමීප සබඳතා අවසන් කරන්නැයි ඔහු මත පීඩනය දැමීමට එක්සත් ජනපදය මෙම ප්රශ්නය ගසා කයි.
කෙසේනමුත්, මෙම පීඩනයට හිස නැමීම පිලිබඳ ගෝඨාභය රාජපක්ෂ විවෘතවම අවඥාව පල කරයි. මැයි 26 දා, දෙමල භාෂාවෙන් පලවන සුඩර් ඔලි පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පලාත්සභාවලට බලය බෙදීම පිලිබඳව ඔහු දක්වන විරුද්ධත්වය ඉන්දියාව කෝපයට පත් කරනු ඇති ද නැති ද යන්න ඔහුගෙන් විමසන ලදි. "ඉන්දියාව හෝ වෙනත් රටක් තරහ වන නිසා අපේ රටට යහපත් වන දේ කිරීමෙන් වැලකීසිටීමට අපට හැකියාවක් නැත,"යි ඔහු සඳහන් කලේ ය.
ආන්ඩුවේ අධිකාරිවත් බලතල හීන කර නොගැනීම සඳහා තර්ක කරමින් "ඉඩම් හා පොලිස් බලතල එයින් උදුරාගෙන ලංකාවේ ප්රමුඛ විධායකය දුර්වල කිරීම වෑයම් කරන, නිල පත් කිරීම් සිදුකිරීමට ස්වාධීන කොමිෂන් සභා පත්කරන ලෙස ඉල්ලන සහ ස්වාධීන අධිකරනයක් පිලිබඳ අදහස් වගාදිගා කරන බලවේගවලට" ආරක්ෂක ලේකම් විරුද්ධත්වය පල කලේ ය.
ආන්ඩුවේ ප්‍රචාරය අනුව යමින් "දේශීය තැරැව්කරුවන් හරහා මෙහි සාමය හා ස්ථාවරත්වය බිඳ දැමීමට බලගතු බාහිර බලවේග වෑයම් කරමින් සිටිතැ"යි කියමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කුමන්ත්රනයකට මුහුනලා සිටින බව ගෝඨාභය රාජපක්ෂ පුනරුච්ඡාරනය කලේ ය. සන්නද්ධ හමුදා ස්ථානගත කිරීම දේශපාලන ප්‍රශ්නයක් හෝ මොනයම්ම හෝ පිටස්තර ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා කාරනයක් නොවිය යුතුයැයි ඔහු අවධාරනය කලේ ය.
ජනාධිපති රාජපක්ෂ හෝ ආන්ඩුවේ කිසිදු නායකයෙක් ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශ පිලිබඳ කිසිදු සඳහනක් නොකිරීම පෙන්නුම් කරන්නේ ඔහුගේ ප්‍රකාශ ගැන මූලික නො එකඟතාවක් ඔවුන්ට නැති බවයි.
ආන්ඩුව උපාමාරු දමමින් සිටී. අනවරත මිලිටරි වාඩිලා සිටීම සහ දෙමල විරෝධී වෙනස්කම් කිරීම හා මර්දනය කෙරෙහි පැතිර පවත්නා වෛරය සැලකූ කල සිය මිතුරු පාර්ශවයන්ට මැතිවරන ජයග්රහනයක් ලබා ගැනීමට පවතින්නේ ලේශමාත්ර ශක්‍යතාවක් පමනක් බව දැනදැනම ය, ආන්ඩුව පලාත්සභා මැතිවරනය පැවැත්වීමට සූදානම් වන්නේ. වර්ෂ හෝ දශක කිහිපයට පෙරාතුව උතුරෙන් පලාගිය ජනයාට ඡන්ද ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි ඡන්ද ලියාපදිංචි පනතක් ඉදිරිපත් කර තිබේ. එමෙන් ම මැතිවරනයක් පැවත්වෙන තත්වයකදී, ඡන්ද මගඩි සිදුකිරීමට හා බලපෑම් කිරීමට පාලක පක්ෂ නිසැකව ම සූදානම් වෙමින් සිටී.
ඒ අතරම, ආන්ඩුව එලිපිටම සහානුභූතිය පලකරන මැතිවරනයට එරෙහි සිංහල ස්වෝත්තමවාදී ප්‍රචාරය ඡන්දය ප්‍රමාද කිරීමට හෝ අත්හිටුවීමට ක්ෂමාලාපයක් සම්පාදනය කිරීමේ ශක්‍යතාව පවතී. ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශ වාර්ගික අන්තවාදීන් පනගස්වා තිබේ. පසුගිය සතියේ ජාහෙඋ ප්‍රකාශ කලේ, 13 වන සංශෝධනය අහෝසිකිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් එය විසින් ඉදිරිපත් කරන බවයි. උතුරු පලාත්සභා මැතිවරනය පැවැත්වීමට තමන් ඉඩ නොදෙන බව පවසමින් නව ස්වෝත්තමවාදී සංවිධානයක් වන බොදු බල සේනා සංවිධානය ද විෂකුරු ප්‍රචාරයකට මුලපුරා තිබේ.
කෙසේනමුත්, ආරක්ෂක ලේකම්ගේ දේශපාලන මැදිහත්වීමට පුලුල් ඇඟවුම් පවතී. උතුරේ මිලිටරි වාඩිලා ගැනීම බලාත්කාරයෙන් පවතිනු ඇති බවට ඔහු කල අවධාරනය හා ආන්ඩුවේ සංකේන්ද්‍රිත හා ඒකාධිකාරී බලතල ඔහු විසින් ආරක්ෂා කිරීම කම්කරු පන්තියට කෙරෙන අනතුරු ඇඟවීමකි. රාජපක්ෂ ආන්ඩුවේ ගොරතර කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමට විරුද්ධව පුපුරා එන කම්කරුවන්ගේ හා තරුනයින්ගේ නියත අරගල මර්දනය කිරීම පිනිස දිවයිනේ 30 -අවුරුදු සිවිල් යුද්ධය අතරතුර වර්ධනය කරන ලද පොලිස්-රාජ්‍ය පිලිවෙත් ශක්තිමත් කරමින් තිබේ.
Follow us on