ශ්‍රී ලංකාවේ ජනාධිපති, යුද්ධයෙන් හානියට පත් උතුරේ සංචාරය කරයි
இலங்கை: யுத்தத்தினால் சீரழிக்கப்பட்ட வட மாகாணத்துக்கு ஜனாதிபதி விஜயம் செய்தார்
By Subash Somachandran, 22 February 2013
ජනාධිපති මහින්ද රාජපක්ෂ, පෙබරවාරි 05- 06 දිනවල යුද්ධයෙන් හානියට පත් යාපනයේ සංචාරයක නිරත විය. සංවර්ධන ව්‍යාපෘතීන් විවෘත කිරීම හා නිරීක්ෂනය සඳහා කෙරුනු සංචාරයක කොටසක් ලෙස වාර්තා කරනු ලැබුව ද එහි අරමුන තවමත් එහි පවත්වාගෙන යන මිලිටරි පාලනය වසං කිරීම හා දෙමල ජනතාව කෙරෙහි බොරු කරුනාවක් පෙන්වීම ය.
ආරක්ෂක හමුදා ආඥාපතීන් ද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ යන ජනාධිපති දෙබෑයෝ ද සංචාරයට එක්ව සිටියහ.
බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය පරාජය කල 2009 මැයි මාසයෙන් පසුව හා දෙමල ජනතාවගේ ''විමුක්තිය'' ප්‍රකාශ කල තැන් පටන් සිව් වසරකට ආසන්න කාලයක් ගත වී ඇත ද දිවයිනේ උතුරු හා නැගෙනහිර පලාත් තවමත් ඇත්තේ සිවිල් පරිපාලනය ද සියතට ගෙන ඇති මිලිටරිය යටතේ ය.
රාජපක්ෂගේ සංචාරය වෙනුවෙන් යොදා තිබුනු ආරක්ෂක පියවරයන් සිහියට නඟන්නේ කුරිරු යුද්ධයේ අවතාරය යි. යාපනයේ සිට කිලෝ මීටර් 150ක් දුරින් පිහිටි ප්‍රධාන මුර පොල වන ඕමන්තෙයිහි දී හැරුනු කල උතුරට ඇතුලු වන වාහන තවත් ස්ථාන ගනනාවක දී පරීක්ෂාවට ලක් කෙරුනි. යාපනය නගරයේ නව මාර්ග බාධක ඉදිකොට තිබුනු අතර යාපනය අර්ධද්වීපය තුල තවත් ආරක්ෂක ඒකක ද පිහිටුවා තිබුනි. සමහර ස්ථාන පරීක්ෂා කල ආරක්ෂක හමුදා සාමාජිකයෝ සාමාන්‍ය වැසියන් බියගැන්වීම පිනිස මුහුනු ආවරන පැලඳ සිටියහ.
පෙබරවාරි 05දා රාජපක්ෂ විදුලිබල ස්ථානයක් විවෘත කල අතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකට ද සහභාගී විය. පසු දින නාගදීප පන්සලට යාම සඳහා නව බෝට්ටු රැඳවුම් ස්ථානයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වූ ඔහු, තවමත් අබලන් තත්වයේ පවතින යාපනයේ ශික්ෂන රෝහල සඳහා නව ගොඩනැඟිල්ලක් ද විවෘත කලේ ය.
මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කමිටුවේ දී (යූඑන්එච්ආර්සී) නව යෝජනාවකට මුහුන දීමට ආන්ඩුවට සිදුව ඇති තත්වය තුල ජාත්‍යන්තර වශයෙන් මිලිටරියේ යුද අපරාධ පිලිබඳව නැගී ඇති චෝදනාවන්ට සුදුහුනු ගෑම රාජපක්ෂගේ සංචාරයෙහි එක් අරමුනකි. එලඹෙන සැප්තැම්බරයේ දී උතුරේ පලාත් සභා ඡන්දයක් පැවැත්වෙන බව නිවේදනය කර ඇති තත්වය තුල ආන්ඩුවේ අනුචර කන්ඩායමක් වන අතුරු හමුදා අනුඛන්ඩයක් ද ඇතිව ක්‍රියා කරන ඊලම් මහජන ප්රජාතන්ත්රවාදී පක්ෂයේ (ඊපීඩීපී) හා පාලක හවුලේ මැතිවරන පදනම සවිමත් කිරීම ගමනේ තවත් අරමුනකි.
ආන්ඩුවේ ඊනියා සංවර්ධන ව්‍යාපෘතිය, ප්‍රධාන කොට ම යොමු වී ඇත්තේ, සංචාරක කර්මාන්තය සංවර්ධනය හා ආයෝජකයින් කැඳවා ගැනීමේ අරමුන ඇතිව මාර්ග අලුත්වැඩියාව, විදුලි බල සැපයුම හා හෝටල් ඉදිකිරීම වෙත ය. තිස් අවුරුදු යුද්ධය අවධියේ සිය දේපල විනාශ වූ ජනතාවගේ ජීවන තත්වයන් නගා සිටුවීමට සැලකිය යුතු කිසිදු පියවරක් ගෙන නැත. යලි පදිංචි කරන ලද අවතැන් වූ දස දහස් ගනන් ජනතාව තවමත් ජීවත් වන්නේ, ජලය, විදුලිය හා ප්‍රවාහනය වැනි මූලික පහසුකම් නොමැති වන්නියේ ඉදිකර ඇති කූඩාරම් වැනි නිවාස තුල ය. විශේෂයෙන් ම, වන්නියේ නව මිලිටරි කඳවුරු ඉදිකෙරෙමින් තිබේ.
දස දහස් ගනනක් මරා දමමින් ද ඔවුන්ගේ දේපොල පොලොවට සමතලා කරමින් ද උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගෙන ගිය වර්ගවාදී යුද්ධයෙන් දෙමල ජනතාවගේ ජීවිතවල ඇතිව තිබෙන විනාශකාරී තත්වය පිලිබඳව රාජපක්ෂ පුද්ගලිකව ම ද වගකිව යුතු ය. එහෙත් ගරු කටයුතු තාපසයෙකු ලෙස පෙනී සිටිමින් රාජපක්ෂ සංවර්ධන කමිටුව අමතා ප්‍රකාශ කලේ, ''යාපනයේ ජනතාව මුහුන දෙන දුෂ්කර කොන්දේසි පිලිබඳව තමන්ට කවුරුත් කියා දිය යුතු නැති" බව ය.
එම ධාර්මික ජවයෙන් ම රාජපක්ෂ මෙසේ ද පැවසීය: ''අපට දීමට හැකිවී තිබෙන ලොකු ම තෑග්ග නම්, යලි වතාවක් මිනිසුන්ට නිදහසේ ජීවත් වීමේ අවස්ථාව සැලසීම ය. අපගේ මහඟු සම්පත අපගේ දරුවන් ය. තම දරුවන්ගේ ආරක්ෂාව පතා ඔවුන් සඟවා තැබීමට දෙමව්පියන්ට සිදුව තිබුනු කාලයක් ද විය. අප සියලු දෙනා මේ නිදහස රැක ගැනීමට වැඩ කල යුතු ය."
ඔහුට අවශ්‍ය වුනේ බෙදුම්වාදී එල්ටීටීඊයට චෝදනා නගමින් ප්රමුඛ වශයෙන් ම වගකිව යුත්තේ මිලිටරිය, අතුරු සන්නද්ධ කන්ඩායම් හා පොලිසිය ය යන කාරනය වසං කිරීමට ය. පසුගිය නොවැම්බරයේ සිට මිලිටරිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් 4 දෙනෙක් හා පුද්ගලයින් 45 දෙනෙක් පමන කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තැබූ අතර මහජන විරෝධතා හමුවේ ආන්ඩුවට පසුව සිසුන් දෙදෙනෙක් මුදාහැරීමට බල කෙරුනි.
යාපනය රැස්වීමේ දී රාජපක්ෂ, රජය විසින් කලමනාකරනය කල තවත් ලාභ පියවරක් ගනිමින් අනෙක් සිසුන් දෙදෙනා ද නිදහස් කලේ ය. රැස්වීමේ දී එක් මවක් තම පුතා නිදහස් කරන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා සිටියා ය. තම පුතා ආරක්ෂා කර ගැනීමට හැකි ද යනුවෙන් රාජපක්ෂ මවගෙන් විමසුවේ ය. එහි අර්ථය දේශපාලනයේ නොයෙදීම යි. මව තමන්ට හැකි බව කියා සිටීමෙන් පසුව රාජපක්ෂ ඔවුන් නිදහස් කරන ලෙස පොලිස් ප්‍රධානියාට අන කලේ ය.
සැඟවුනු තර්ජනයක් සහිතව රාජපක්ෂ තමා යටතේ ප්‍රජාතන්ත්‍රික අයිතීන් සුරක්ෂිත බව කියා සිටි හුස්මෙන් ම මෙසේ ද පැවසීය: ''දෙමව්පියන් ද තම දරුවන්ගේ හැසිරීම පිලිබඳව සුපරික්ෂාකාරී විය යුතු ය. ලමයින් විශ්ව විද්‍යාලවලට යන්නේ තම අධ්‍යාපනය සපුරා ගැනීමට ය. ඉන් පසුව ඔවුන් උපාධි ලබා රටට යහපතක් වන යමක් කල යුතු ය."
දෙමල ප්රභූවේ ටීඑන්ඒ හෙවත් දෙමල ජාතික සන්ධානය පසෙකට ලෑමේ උත්සාහයක දී ආන්ඩුව, ටීඑන්ඒ විසින් පාලනය කරන පලාත් පාලන අයතනවලට වෙන්කර තිබූ රුපියල් මිලියන 560 ඉවත් කරගන්නා ලදි. හිටපු හමුදා ආඥාපතියෙකු වන උතුරු පලාත් ආන්ඩුකාර ජී. ඒ. චන්ද්‍රසිරි විසින්, උතුරේ පලාත් පාලන සහකාර කොමසාරිස් පී. ජයකරන් මෙම ප්රවෘත්ති මාධ්‍ය වෙත ලබා දුන්නේ ය යන චෝදනාව එල්ල කරමින් වහා ම මාරුකර හරින ලදි.
රාජපක්ෂ නව රෝහල් ගොඩනැඟිල්ලක් විවෘත කරන ලද නමුත් එහි අවශේෂ තත්වය පහත් අඩියක පවතියි. යාපනයේ ශ්‍රී ලංකා හෙද සේවා සංගමයේ නිලධාරීන්ට අනුව, එහි අලුතින් ඒකක 40ක් විවෘත කර ඇති නමුත් 1986න් මෙපිට කිසිවෙකුත් අලුතෙන් සේවයේ යොදවා නැත. රෝහලට හෙද සේවකයින් 1513 අවශ්‍ය වන නමුත් ඇත්තේ, යාන්තම් 390ක් පමනි. අමතර රාජකාරි වෙනුවෙන් හෙද සේවකයින් දිනකට පැය 18ක් සේවය කල යුතු ය.
යාපනය ද සමස්තයක් වශයෙන් උතුරු හා නැගෙනහිර ද පවතින ප්‍රධාන ප්රශ්නය වන්නේ, දෙමල ජනතාවට හිමි ඉඩම්වල මිලිටරිය වාඩිලාගෙන සිටීම යි. ආන්ඩුවේ ඊනියා යලි පදිංචි කිරීමේ වැඩසටහනේ මේ ප්රශ්නය සඳහා කිසිදු විසඳුමක් ඇත්තේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ වාඩිලෑම තවත් පුලුල් කිරීම ය. යාපනයේ උතුරු වලිකාමම් සිට ග්‍රාම නිලධාරි වසම් 24ක 28000ක් දෙනා දශක දෙකකට අධික කාලයක් ජීවත් වන්නේ කඳවුරු තුල හා ඥාතීන්ට අයත් නිවාසවල ය. යාපනයේ තවමත් සරනාගත කඳවුරු 13ක් ඇත.
සංවර්ධන කමිටු රැස්වීම සඳහා ටීඑන්ඒට ආරාධනා කර නොතිබුනි. දෙමල මාධ්‍යවේදීන් ද වැද්ද ගත්තේ නැත. කෙසේ නමුදු, ජනතාව යලි පදිංචි කරන ලෙසට කරන ඉල්ලීමක් ඇතුලත් ලිපියක් රාජපක්ෂ වෙත භාරදීම පිනිස ටීඑන්ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ විනායගමූර්ති රැස්වීම් ශාලාවට ඇතුලු විය. එහි ඉහල පෙලේ පරිපාලන නිලධාරීන් සිටිය නමුත් රාජපක්ෂ ලිපිය ''පරීක්ෂා කිරීම" පිනිස යොමු කලේ යාපනයේ ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ වෙත ය. එය සිවිල් පරිපාලනයේ දී මිලිටරිය ප්‍රමුඛත්වය ගන්නා බව සංකේතාත්මකව ඇඟවුම් කිරීමකි.
මිලිටරි වාඩිලෑම ශක්තිමත් කිරීමේ කොටසක් ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, යාපනය මධ්‍යයේ නව මිලිටරි මධ්‍යස්ථානයක් හා පලාලි අධි ආරක්ෂිත කලාපය තුල මිලිටරි හෝටලයක් ද විවෘත කරන ලදි.
පූර්වයෙන් එල්ටීටීඊයේ හොරනෑව ලෙස කටයුතු කල ටීඑන්ඒ, දෙමල ජනතාවගේ ප්‍රශ්න විසඳීම පිනිස රාජපක්ෂ මත බලපෑම් කල හැකි ය යන මිත්‍යාව වපුරවයි. ටීඑන්ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, රාජපක්ෂ මුලිකත්වය ගත් සංවර්ධන කමිටු රැස්වීම සඳහා තමන්ට ආරාධනා නොකිරීම පිලිබඳව වැලපුනේ ය.
දෙමල ධනේශ්වරය නියෝජනය කරමින් ටීඑන්ඒ, එක්සත් ජනපදය හා ඉන්දියාව ඇතුලු ප්‍රධාන බලවතුන්ගේ සහාය ඇතිව කොලඹ පාලක පැලැන්තිය සමග බලය බෙදාගැනීමේ සම්මුතියක් අපේක්ෂා කරති. මෙම මංමුලාසහගත උත්සාහයේ කොටසක් ලෙස ටීඑන්ඒ, එලැඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල රැස්වීම හා රාජක්ෂ ආන්ඩුව තමන්ගේ ම උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කල යුතු යයි සීමිත බලපෑමක් කරන එක්සත් ජනපදයේ අනුග්‍රහය සහිත යෝජනාව කෙරේ විශ්වාසය පල කරති. මෙම කොමිසම යුද අපරාධ චෝදනාවන්ට සුදුහුනු ගා තිබේ.
කම්කරුවන්ට, ගොවීන්ට හා අනෙකුත් පීඩිතයින්ට මෙම මහ බලවතුන් කෙරෙහි ටීඑන්ඒ තබා ඇති විශ්වාසය ගැන බිංදු මාත්‍රයක හෝ බලාපොරොත්තුවක් තැබිය නොහැක. ඔවුන් උනන්දු වන්නේ, කලාපයෙහි තමන්ගේ අවශ්‍යතා පෙරට ගෙන යාම පිලිබඳව පමනි. රාජපක්ෂ ආන්ඩුව උතුරේ මිලිටරි වාඩිලෑම සවිමත් කරමින් සිටියි. ටීඑන්ඒ උත්සුකය ඇත්තේ දෙමල ධනපති පන්තියේ වරප්‍රසාද ගැන පමනි. දෙමල ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සුරක්ෂිත කිරීමට ද වෙනස්කම් කිරීම අවසන් කිරීමට ද හැකි එකම සමාජ බලවේගය රාජපක්ෂ හෝ ටීඑන්ඒ නොව සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරු පන්තිය යි.
දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් පිහිටුවීමේ සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පිහිටා වාර්ගික හා ආගමික බෙදීම්වලට ඉහලින් කම්කරු පන්තිය එක්සත් කිරීමට සටන් වදින එක ම සංවිධානය සමාජවාදී සමානතා පක්ෂය පමනි.
Follow us on