එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව විවේචනය කරයි
UN High Commissioner criticises Sri Lankan human rights
සම්පත් පෙරේරා විසිනි, 2013 සැප්තැම්බර් 10
මානව අයිතීන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නාවි පිල්ලේ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව ගෙන ගිය, 2009 මැයි මාසයේදී අවසන්වූ යුද්ධය අවධියේ මානව හිමිකම් උල්ලඝනය කිරීම් පිලිබඳ සොයා බැලීමට ආන්ඩුව විසින් පත් කල උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසම හෙවත් එල්එල්ආර්සීයේ නිර්දේශ ක්රිසයාත්මක කිරීම පිලිබඳව විමර්ශනය කිරීම පිනිස, පසුගිය මාසයේදී මෙරට සංචාරයක යෙදුනා ය.
අගෝස්තු 31දා පැවැත්වූ මාධ්‍ය හමුවක දී අඛන්ඩව සිදුවන මානව අයිතීන් කඩකිරීම් පිලිබඳව පිල්ලේගේ සීමිත විවේචන මගින් ඇය, සිය බලතල ඉක්මවා ගොස් ඇති බවට චෝදනා නැඟූ ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ දෝෂදර්ශනයට ලක්ව ඇත. පිල්ලේගේ සංචාරය, පසුගිය මාර්තු මාසයේදී එජා මානව හිමිකම් කවුන්සිලය හෙවත් යූඑන්එච්ආර්සීය මගින් සම්මත කල එක්සත් ජනපදයේ පිටුබලය ලත් යෝජනාවකට අනුකූලව සිදු විය.
ආන්ඩුව චීනයෙන් ඈත්කර තැබීම සඳහා වොෂින්ටනය විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිලිබඳ ප්රශ්නය ගසාකනු ලබයි. එත්සත් ජනපදය එල්ටීටීඊයට එරෙහිව වර්ගවාදී යුද්ධය යලි ඇරඹීමට 2006 වසරේදී රාජපක්ෂ ගත් තීන්දුවට පූර්න අනුබලය දුන් අතර එල්ටීටීඊයේ පරාජය නොවැලැක්විය හැකි බව පෙනී යන තෙක් මිලිටරියේ යුද අපරාධ නොදැක්කා සේ සිටියේ ය. එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ගනන් බලා ඇති ආකාරයට යුද්ධයේ අවසන් අදියරේ දී අඩුම තරමින් සිවිල් වැසියන් 40,000ක් මිලිටරිය විසින් ඝාතනය කර තිබේ.
යුද්ධය හෝ මිලිටරිය පිලිබඳව තමන්ට මූලික මතභේද නොමැති බව පිල්ලේ සිය මාධ්‍ය ප්‍රකාශයෙන් පැහැදිලිව කියා ඇත. “ත්‍රස්තවාදය” පරාජය කිරීමෙන් පසුව මෙරටට පැමිනීමට ලැබීම ගැන සතුටට පත්වන බව ඇය කියා ඇත. යටිතල ව්‍යූහයේ හා යලි පදිංචි කිරීමේ ප්‍රගතිය “ප්‍රසංශනීය” බව ද ඇය කියා සිටියා ය. “පැහැදිලිව ම මිලිටරියට සමහර කඳවුරු අවශ්‍ය” බව කියමින් ඇය මිලිටරිය දිවයිනේ උතුර අරක්ගෙන සිටීමට විරුද්ධ නොවූවා ය.
එහෙත් ශ්‍රී ලංකාව තුල, “පුද්ගල නිදහස හා මානව අයිතීන් සීමා කිරීම හා උල්ලංඝනය කිරීම හෝ එක දිගට පවත්නා දන්ඬමුක්තියට ගැටගැසී තිබීම හා නීතියේ පාලනය අසාර්ථකවීම” අඛන්ඩව පවත්නා බව මහකොමසාරිස්වරිය පැවසුවාය. එය “අනාගත අසමගියේ බීජ වැපිරීමක් වනු ඇතැයි” ඇය අනතුරු ඇඟවූවා ය. ඇය එල්එල්ආර්සීයේ සීමිත යෝජනා ප්රසංශාවට ලක් කල ද කොමිසම යුද අපරාධ පිලිබඳ ප්රශ්නය “මඟහැර ඇතැයි” සඳහන් කලාය.
තමා හමුවීමට පැමිනි බොහෝ අයට තමා හමුවීමට පෙර හෝ පසුව පොලීසිය හා මිලිටරිය විසින් අඩන්තේට්ටම් කොට හා බියගන්වා ඇති බවට පිල්ලේ චෝදනා නැඟුවාය. “යුද්ධය අවසන්ව ඇතුවා විය හැකිය. එහෙත් ඒ අතර වාරයේ ප්රජාතන්ත්රවාදය වල පල්ලට ගොස් නීත්‍යානුකූල (යහ) පාලනය ඛාදනයට ලක්ව ඇතැයි” පැවසූ ඇය රට, “වඩ වඩාත් අධිකාරීවාදී දිශාවකට ගමන් කරමින් ඇති” බව කියා සිටියා ය.
පිල්ලේ ප්‍රසිද්ධියේ කල විවේචන නිසා තිගැස්මට පත්වූ ආන්ඩුව, ඇය තම බලතල “පැහැදිලිව ම අතික්රමනය” කර ඇතැයි චෝදනා නඟමින් ඇගේ ප්‍රකාශ “දේශපාලනික” යයි හංවඩු ගැසීය.
රාජපක්ෂ පිල්ලේගේ සංචාරයට ඉඩ හලේ, වොෂින්ටනය හා බීජිනය අතර තුලනය වීමට සිය ආන්ඩුව දරන උත්සාහයෙහි කොටසක් ලෙස, එක්සත් ජනපදය සතුටු කිරීමට පමනි.
යුද්ධය අවධියේ දී රාජපක්ෂ ආන්ඩුව, අවි ආයුධ, මුදල් හා දේශපාලන සහයෝගය වෙනුවෙන් දැඩිව ම රැඳී සිටියේ චීනය මත ය. එල්ටීටීඊයේ පරාජයෙන් පසුව, යූඑන්එච්ආර්සීයේ ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂනයක් සඳහා ඉල්ලීම් බැහැර කිරීම පිනිස කොලඹ ආන්ඩුව බීජිනය මත රැඳී සිටියේ ය. ඒ අතර ම ආන්ඩුව, එල්ල විය හැකි යුද අපරාධ චෝදනා මඟහැරීමේ කොටසක් ලෙස එක්සත් ජනපදය සමග සබඳතා වර්ධනය කර ගැනීමට වෙහෙස දැරීය.
සතියක් පුරා පැවති පිල්ලේගේ සංචාරයෙහි නිමාවත් සමග ආන්ඩුව සමග පවතින ආතතීන් පැහැදිලි විය. ඇය සමග පැවති සිය රැස්වීමේදී රාජපක්ෂ, එක්සත් ජාතීන් පක්ෂග්රාහී බව මෙරට ජනතාව විශ්වාස කරන බව පැවසීය. යූඑන්එච්ආර්සීයට යොමුකරන “ඔබගේ වාර්තාව (ශ්‍රී ලංකාව ගැන) පූර්ව විනිශ්චයක් බව ඔවුහු විශ්වාස කරති.”
ජනාධිපතිගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, “ශ්‍රී ලංකාව ඉලක්ක කර යෝජනාවක් සම්මත කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක්” එක්සත් ජනපදයට ඇත්තේ නැතැයි තමන් පිල්ලේට පැවසූ බව මාධ්‍යක හමුවේ කියා සිටියේය.
සැප්තැම්බර් 20දා යූඑන්එච්ආර්සී සැසියට වාචික වාර්තාවක් පිල්ලේ විසින් ඉදිරිපත් කිරීමට නියමිත ය. එලඹෙන මාර්තුවේදී ඇය, යූඑන්එච්ආර්සී යෝජනා ක්‍රියාත්මක කිරීමේ ලා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිලිබඳ සවිස්තරාත්මක ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කරනු ඇත.
ආන්ඩුව මෑත මාස වලදී යෝජනාවට අනුකූල වන පියවර ගනනාවක් ගෙන තිබේ. මේවා අතර, උතුරේ පලාත් සභා ඡන්දය පැවැත්වීම, ත්රීකුනාමලයේදී පාසැල් සිසුන් පස් දෙනෙක් ඝාතනය කිරීම පිලිබඳ ප්‍රෝඩාකාරී පරීක්ෂනය, උතුරු පලාතේ මිලිටරිය අත්පතකර ගෙන තිබූ සමහර පෞද්ගලික දේපොල නිදහස් කිරීම හා උතුරු නැගෙනහිර පලාත්වල අතුරුදහන්වීම් පරීක්ෂා කිරීම පිනිස කොමිසමක් පත් කිරීම ද වේ.
නොවැම්බරයේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මන්ඬලයේ රාජ්‍ය නායක සමුලුවේ සත්කාරක කොලඹ පාලනය, යූඑන්එච්ආර්සී වෙතින් සතුටුදායක ප්‍රතිචාරයක් ලබා ගැනීමට ද මංමුලා සහගතව සිටියි. විශේෂයෙන්ම ඉන්දියාව ද ඇතුලු ප්‍රධාන රටවල රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වය තහවුරු කර ගැනීම ද ආන්ඩුවේ උත්සුකයක්ව පවතියි.
සිය සංචාරය අතරතුර පිල්ලේ, එක්සත් ජාතික පක්ෂය හා දෙමල ජාතික සන්ධානය ඇතුලු විරුද්ධ පක්ෂ සමග ද සාකච්ඡා කලාය. වොෂින්ටනය වෙත දිශානුගතව සිටින එජාපය, තම දේශපාලන අරමුනු සඳහා මානව හිමිකම් ප්රශ්නය ගසාකෑමට උත්සාහ දරයි. එහි නායක රනිල් වික්‍රමසිංහ, “පරිපූර්න ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක” නොවන රට තුල “පූර්න ප්රජාතන්ත්රවාදී ව්‍යූහයක්” පිලිබඳව තම පක්ෂය උනන්දු වන බව පැවසී ය.
දිවයිනේ දිග්ගැස්සුනු වර්ගවාදී යුද්ධය දියත් කල එජාපය, සිංහල වර්ගවාදයේ ගිලී සිටින, දක්ෂිනාංශික ධනපති පක්ෂයකි. තමන්ට වංචනික ප්රජාතන්ත්රවාදී අක්තපත්‍ර පිලිගන්නවා ගැනීම පිනිස එජාපය, නව සමසමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි ව්‍යාජ වාම සංවිධාන වෙත වාරුවී සිටියි. පිල්ලේගේ සංචාරය එලඹෙමින් තිබිය දී මෙම ව්‍යාජ වම්මු, ආන්ඩුව “ජාත්‍යන්තර ප්‍රජාවට” ලබාදුන් පොරොන්දු ක්‍රියාවට නැඟිය යුතුයයි කියා සිටිමින් එජාපය හා ටීඑන්ඒ සමග උද්ඝෝෂනවල නිරත වූහ.
නසසප නායක වික්‍රමබාහු කරුනාරත්න, දෙමල ජනතාවට “ප්‍රමානවත් දේ කර නැතැයි” පිල්ලේ විවේචනය කල නමුත් උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ යෝජනා ක්‍රියාවට නැඟීම පිලිබඳව එක්සත් ජාතීන් “දැඩි ලෙස උනන්දුවන්නේය” යන පිල්ලේගේ ප්‍රකාශය ගැන උද්දාමයට පත්ව ඩේලි මිරර් පුවත්පතට ලිවීය. එය වනාහි, “බලය බෙදාගැනීමේ එකමුතුවක් සඳහා ආරම්භක ලක්ෂ්‍ය ය” විය හැකි ය.
එල්එල්ආර්සී යෝජනාවල මූලික කාරනය යුද්ධය අවසන් කිරීම සඳහා “දේශපාලන විසඳුමක්” ඉදිරිපත් කිරීම යි. නසසප හා එසපයේ පිටුබලය සහිතව ටීඑන්ඒ, උතුරේ දෙමල ප්රභූව හා කොලඹ තම සිංහල අනුචරයින් අතර බලය බෙදාගැනීමේ ගිවිසුමක් වන පලාත් මට්ටමෙන් සීමිත බලය බෙදාගැනීමක් සඳහා වෙර දරමින් සිටියි. මෙයට සිංහල වේවා දෙමල වේවා වැඩකරන ජනතාවගේ ප්රජාතන්ත්ර අයිතීන් සුරක්ෂිත කිරීම සමග මෙලොව සම්බන්ධයක් ඇත්තේ නැත. ටීඑන්ඒ සමග එක්ව නසසප හා එසප, ශ්‍රී ලංකාව තුල එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ගෙන යන ප්‍රෝඩාකාරී මානව හිමිකම් ව්‍යාපාරය විවෘතව ම වැලඳගෙන සිටිති.
Follow us on