වැලිවේරිය මිලිටරි ප්‍රහාරයෙන් වසරකට පසු
විලානි පීරිස් විසිනි, 2014 අගෝස්තු 13
වැලිවේරිය වෙනිග්‍රොස් කම්හලේ අපජලය හේතුවෙන් ප්‍රදේශයේ භූගත ජලය දූෂනය වීමට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් පසුගිය වසරේ අගෝස්තු 01 දා වැලිවේරිය නගරයේ පැවැත් වූ විරෝධතා උද්ඝෝෂනයට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව මිලිටරිය යොදවා එල්ල කල ප්‍රහාරයෙන් පසු පුරා වසරක් ගතව ඇත. කම්හල් පාලකයන්, ආන්ඩුව හා සියලු ධනපති පක්ෂ, කම්හල වසා දැමීමෙන් පසු ප්රශ්නය විසඳී ඇති බව පවසන නමුදු මහජනයා මුහුන දුන් ප්‍රශ්න කිසිවක් විසඳී නොමැත.
සිසුන් දෙදෙනෙකු හා තරුන කම්කරුවෙකු වෙඩි තබා ඝාතනය කරමින් සහ 40 කට පමන තුවාල සිදු කරමින් එල්ල කල එම මිලිටරි ප්‍රහාරය කම්කරු පන්තියට කරන ලද බරපතල අනතුරු ඇඟවීමක් බවත් සමස්ත කම්කරු පන්තිය ඉන් පාඩම් ඉගෙන ගත යුතු බවත් සමාජවාදී සමානතා පක්ෂය (සසප) එක දිගටම අවධාරනය කලේය.
ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්ඩුවට එරෙහිව පැන නැගුනු මහජන විරෝධය යටපත් කරනු වස්, සිද්ධිය පිලිබඳ හමුදා පරික්ෂනයක් ආරම්භ කෙරුනි. ඒ සමගම ප්‍රදේශයේ ජල දූෂනය පිලිඳ පරීක්ෂා කොට වාර්තාවක් සපයන ලෙස ජනාධිපති රාජපක්ෂ රජයේ කාර්මික හා තාක්ෂනික ආයතනයට (අයිටීඅයි) නියෝග කලේය.
ප්‍රහාරයේ වගකීමෙන් ආන්ඩුව නිදහස් කරනු වස්, සිද්ධියේ දී හමුදාව “පමන ඉක්මවා” ගොස් ඇතැයි හමුදා පරික්ෂනයෙන් නිගමනය කෙරින. නමුදු ජීවිත තුනක් බිලිගත් මෙම “පමන ඉක්මවා” යාම සම්බන්ධයෙන් වගකිව යුත්තෙක් ප්‍රකාශයට පත් නොවීම පරීක්ෂනය යට ගැසිනි.
එමෙන්ම කාර්මික හා තාක්ෂනික ආයතනය පරීක්ෂනයක් ආරම්භ කල බවට වාර්තා පල වුවද එයද යටපත්වුනි. පසුව දැන ගැනීමට ලැබුනේ පරීක්ෂනයේ කවර හෝ තොරතුරක් හෙලි නොකරන ලෙස අයිටීඅයි ප්‍රධානියා විසින් තම කාර්ය මන්ඩලයට නියෝග කල බවයි.
මේ අතර, ගම්පහ මහේස්ත්‍රාත් අධිකරනය විසින් මධ්‍යම පරිසර අධිකාරියට, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලයට හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ට නිකුත් කෙරුනු නියෝගයක් මත, එම ආයතන විසින් ප්‍රදේශයේ ජල දූෂනය පිලිබඳව වාර්තා ඉදිරිපත් කෙරින. කම්හල් පාලකයන් ආරක්ෂා කිරීම සඳහා එම වාර්තාවන් සකස් කෙරී තිබුනේ වුව ද ජල දූෂනයට හේතු කාරක වන අපජලය කම්හලෙන් පරිසරයට මුදා හැර ඇති බව සනාථ වන සීමිත, එනමුදු වැදගත් සාක්ෂි හා තොරතුරු රස පරීක්ෂක වාර්තාවෙන් එලි මහනට පැමිනියේය.
සසප විසින් පසුගිය නොවැම්බර් අගභාගයේ දී වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනය ආරම්භ කලේ මෙම යටගැසීම්වලට විරුද්ධවයි. වෙනිග්‍රොස් කම්හලේ අපජලය හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ හා කම්කරුවන්ගේ සෞඛ්‍ය කෙරෙහි මතු කෙරෙන තර්ජනය, කම්හලේ වැඩකරන කම්කරුවන් මුහුනපා සිටින සූරාකෑමේ සේවා කොන්දේසි, අගෝස්තු 01දා ඝාතනයන්ට වගකිවයුත්තෝ කවරහු ද? ප්රදේශවාසින්ගේ මෙන්ම කම්කරුවන්ගේ ද සෞඛ්‍යයට තර්ජනයක්ව ඇති කාර්මික දූෂනයේ පීඩාවට විසඳුම කුමක්ද? යන කරුනු විමර්ශනය කිරීම පරීක්ෂනයේ අරමුන විය.
වැලිවේරිය ප්‍රහාරයෙන් මාස ගනනක් ඇතුලත, එනම් පසුගිය මාර්තු 16 දින, වෙනිග්‍රොස් කම්හල හිමි ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමටම අයත්, හංවැල්ල තුන්නානේ පිහිටි හංවැල්ල රබර් ප්‍රඩක්ට්ස් කම්හලෙන් සිදු කෙරෙන පරිසර දූෂනයට එරෙහිව උද්ඝෝෂනය කල ප්‍රදේශයේ මහජනතාවට එරෙහිව ආන්ඩුව විසින් පොලීසිය මෙහෙයවා එල්ල කල ප්‍රහාරයෙන් දුසිම් ගනනකට තුවාල සිදු කෙරින. අනතුරුව, පසුගිය අපේ‍්‍රල් මාසයේදී, තුන්නාන ප්‍රදේශයට ද තම කටයුතු පුලුල් කිරීමට පරීක්ෂන කමිටුව තීරනය කලේය.
කෙසේ නමුදු, පරීක්ෂනය ඇරඹූ තැන් පටන් එහි වැඩ කටයුතු කඩාකප්පල් කිරීමට රාජ්‍යය හා කම්හල් පාලකයන් නිරන්තරව මැදිහත් විය. පරීක්ෂනය සඳහා සාක්ෂි රැස් කරමින් තුන්නාන ප්‍රදේශයේ උද්ඝෝෂනයේ යෙදුනු සසප සාමාජිකයන් නීති විරෝධී ලෙස රඳවා ගත් පොලීසිය ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගත්හ. පොලීසිය විසින් හිමිකරු බිය වද්දා ශාලාව ලබා දීම වැලැක්වූ බැවින්, පරීක්ෂනයේ නිගමන ප්‍රකාශ කිරීම සඳහා පසුගිය ජූනි 29 දා වැලිවේරියේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම අවලංගු කිරීමට කමිටුවට සිදුවිය. කෙසේ නමුදු, පසුගිය ජූලි 20 දා, ගම්පහ සනස ශාලාවේදී තම නිගමන ඉදිරිපත් කිරීමට කමිටුව සමත් විය.
වෙනිග්‍රොස් කම්හල් අපජලය හේතුවෙන් ප්‍රදේශයේ ජලය හා පරිසරය දූෂනය වී ඇති බව ද, නිරායුද උද්ඝෝෂනයට එරෙහිව ආයුධ සන්නද්ධ හමුදාව යොදවන ලද්දේ ආන්ඩුව විසින් සිතාමතා ගන්නා ලද දේශපාලනික තීන්දුවක් මත බව හා ප්‍රහාරයට ආන්ඩුව මුලුමනින්ම වගකිවයුතු බවද පරීක්ෂනයෙන් නිගමනය කෙරින.
“තුන්වන බලවේගයක්” උද්ඝෝෂකයන් අතර සිටි බවත් හමුදාව “ආත්ම ආරක්ෂාවට” වේඩි තැබූ බවත් ආන්ඩුව පැවසුවද, නිරායුද උද්ඝෝෂනයකට එරෙහිව ආයුධ සන්නද්ධ හමුදාව යෙදවීමට ආන්ඩුව විසින් එදින උදෑසන ගත් තීන්දුව හේතුවෙන් මෙම ඝාතන සිදුව ඇති බව කමිටුව තහවුරු කලේය.
තම ඉල්ලීම් වෙනුවෙන් උද්ඝෝෂනයේ යෙදුනු කටුනායක නිදහස් වෙලඳ කලාප කම්කරුවන්ගේ සහ හලාවත ධීවරයන්ගේ විරෝධතාවන්ට පොලීසිය යොදවා වෙඩි තබා කම්කරු තරුනයෙකු සහ ධීවරයෙකු ඝාතනය කිරීමෙන් ද, අධ්‍යාපන කප්පාදු වලට එරෙහිව නොකඩවා අරගලයට අවතීර්න වෙමින් සිටින විශ්ව විද්‍යාල සිසුන්ට එරෙහිව ගෙනයන රුදුරු මර්දනයෙන්ද පෙන්නුම් කෙරෙන්නේ, කවර හෝ වියදමකින් විදේශීය හා දේශීය ආයෝජකයන් ආරක්ෂා කිරීම රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙත බවයි. වැලිවේරිය හමුදා ප්‍රහාරය සඳහා ගත් තීන්දුව එම පිලිවෙතින් නිර්නය කෙරී ඇති බවද කමිටුව නිගමනය කලේය.
වැලිවේරිය ප්‍රහාරයෙන් වසරක් ගතවු තැන, ජල දූෂන ප්‍රශ්නයට අමතරව ප්‍රහාරය හේතුවෙන් ඇති වූ අමතර ප්‍රශ්න වලින් ප්‍රදේශවාසීහු මිරිකී සිටිති. මියගිය සිසුන් දෙදෙනාගේ සහ තරුන කම්කරුවාගේ මරන පරීක්ෂන නඩුවේ අවසන් තීන්දුව මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත. මේ අතර තුවාල ලැබූ බොහොමයක් දෙනා අබ්බගාත තත්වයට පත්ව රැකියාව පවා කර ගැනීමට නොහැකි තත්වයට ඇද වැටී තිබේ. කම්හල වසා දැමූවද මෙතෙක් ඉන් සිදු වූ පරිසර දූෂනයේ ඵල විපාක තවත් වසර ගනනාවක් පුරා අත් විඳීමට ප්‍රදේශවාසීන්ට සිදුවනු ඇත.
මේ අතර, කොන්ත්‍රාත් පදනමේ සිටි කම්කරුවන් සිය ගනනකගේ රැකියාවන් අහිමි වීමට අමතරව ස්ථිර කම්කරුවන්ගේ රැකියා අහෝසි කිරීමේ ප්රයත්නයක කම්හල් පාලකයෝ යෙදී සිටිති. ඉන් එක් කම්කරුවෙකු කමිටුවට වාර්තා කල පරිදි බියගම කම්හලට අනුයුක්ත කොට ඇත්තේ ස්ථිර කම්කරුවන් 37ක් පමනි. ඔවුනගේ වැටුප ද කප්පාදු කෙරී පවතී. තවත් ස්ථිර කම්කරුවන් 8 දෙනෙකුට දන්වා ඇත්තේ සමාගමට අයත් කොට්ටාව හෝ තුන්නාන කම්හල් වලට අනුයුක්ත වන ලෙසය. එසේත් නැතිනම් සේවය කල කාලය අනුව වන්දියක් ගෙන ඉල්ලා අස්වන ලෙස බල කෙරෙයි.
අනෙක් අතට, වැලිවේරිය කම්හලේ යන්ත්‍ර යොදා ගනිමින් බියගම නිදහස් වෙලඳ කලාපයේ නව කම්හලක් ආරම්භ කර ඇතත්, වැලිවේරියේදී මෙන්ම නිසි ප්රතිකාරක පද්ධතියක් නොමැතිව රසායනික ද්‍රව්‍ය පාවිචිචි කිරීමෙන් එම පලාතේ මහජනයාද මෙම අනතුරට මුහුන දී සිටිති.
ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමේ (ඩීපීඑල්) සභාපති ඒ.එම්. පන්ඩිතගේ හා අධ්යක්ෂ අයි.එම්. රනසෝම ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් මෑතක දී කියා සිටියේ වැලිවේරිය කම්හල වසා දැමීමෙන් පසු සමාගමේ ලාභය පහල ගිය බවයි. අනාගතයේදී ලාභය ඉහල දමා ගැනීමට උත්සුක වන පාලකයන් නිසැකවම එය සිදු කරනු ඇත්තේ කම්කරුවන්ගේ වියදමෙනි.
ආන්ඩුව හා කම්හල් පාලකයන් කම්කරුවන් හා මහජනයා මත රුදුරු කොන්දේසි පටවනු ලබන්නේ ව්‍යාජ වාම පක්ෂවල උදව් ඇතිවය. නව සමසමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) සමග එක්ව මිලිටරි ප්‍රහාරයට එරෙහිවයයි කියමින් උද්ඝෝෂනයක් ආරම්භ කලේ මෙම මහජන අරගලය කම්කරු පන්තියේ නායකත්වය යටතේ බලමුලු ගැන්වීම වලකා එජාපය යටතට තල්ලු කිරීමේ අරමුනෙනි.
සසප දිගින් දිගට පෙන්වා දුන් පරිදි, එජාප යට සම්බන්ධ, ප්‍රමිත හෙට්ටිආරච්චිගේ ජලය සුරකීමේ ව්‍යාපාරය උද්ඝෝෂනය කරන ලද්දේ කම්හලේ සේවකයන් හා ගම්වාසීන් එකිනෙකාට එරෙහිව පිහිටුවීමටය. කම්හල වසා දමන ලෙස මෙම සංවිධානය ඉල්ලා සිටියේ කම්කරුවන්ගේ රැකියාවන් අහිමිවීම තඹයකට නොතකමිනි. මෙම තත්වය ගසා කෑ පාලකයන් කම්කරුවන් කීපදෙනකු යොදා ගනිමින් මහජන උද්ඝෝෂනයට එරෙහිව පෙලපාලි පවා සංවිධානය කොට ගම්වාසීන් සහ කම්කරුවන් අතර ගැටුම් ඇති කිරීමට මාන බැලීය.
වැලිවේරිය ප්‍රහාරයට වසරක් පිරීම නිමිත්තෙන් තම නිල පුවත්පත වන රතු තරුව ජූලි කලාපයේ ලිපියක් පලකල එක්සත් සමාජවාදී පක්ෂය (එසප) කියා සිටියේ අරගලය මෙහෙයවීමට “වමේ නායකත්වයක්” නොතිබුන නිසා වැලිවේරිය ජල ප්රශ්නය මෙතෙක් නොවිසඳී ඇති බවයි.
“1950-60 ගනන් වල මොන අඩුපාඩු මැද වුනත් තිබූ ප්‍රබල සමසමාජ හා කොමියුනිස්ට් ව්‍යාපාරයට කම්කරු අරගල හා බහු සටන් මෙහයවීමේ මනා පරිචයක් මෙන්ම නායකත්වය දීමේ හැකියාවකුත් තිබුනා” යයි ද ලිපිය කියා සිටියි.
එසප මෙලෙස වගවර්නනා කරන්නේ ඒ වන විටත් කම්කරු පන්තියේ ශක්තිය සිඳ දැමීමට දැනුවත්ව කටයුතු කරමින් සිටි පක්ෂ දෙකක් සම්බන්ධයෙනි. කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කෙරුනේමත් ජාත්‍යන්තර සමාජවාදයට එරෙහිව “තනිරටේ සමාජවාදය” නම් වූ ප්රතිගාමී න්‍යාය තොරොම්බල් කල ස්ටැලින්වාදය මත පදනම් වෙමිනි.
ට්රොට්ස්කිවාදීයැයි කියා ගත් ලසසපය, 1960 ගනන් මුල ශී‍්‍ර ලංකාවේ කම්කරු පන්තිය තුල ඇතිවූ රැඩිකලීකරනයේ ප්‍රතිඵලයක් ලෙස 1963 දී පැන නැගි “ඉල්ලීම් 21 සටන” පාවා දී, 1964 දී ධනපති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නායකත්වය දුන් හවුල් ආන්ඩුවට ඇතුලුවී කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය සම්පූර්නයෙන්ම පාවා දුන්නේය.
ජාත්‍යන්තර සමාජවාදයේ අතිමූලික පදනම්, එනම් ජාත්‍යන්තරවාදය සහ කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය හැරපියා යාම හුදෙක් “අඩුපාඩු” ලෙස නම් කරන එසප, නව “වමේ බලවේගයක්” ගොඩ නැගිය යුතු බව කියයි. එසප මේ වලිකන්නේ ඔවුන් දැනටමත් එජාපය සමග එක්ව තනා ඇති ධනපති පන්තියේ “වම” යටතට කම්කරුවන් ගාල් කර දීමටයි.
ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව නිගමන ඉදිරිපත් කරමින් පැහැදිලි කල පරිදි, පරිසර අයිතීන් ඇතුලු අනෙකුත් සමාජ හා ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා, කම්කරුවන් අවශේෂ පීඩිතයන් තමා වටා බලමුලු ගන්වා ගනිමින් සියලු ධනේශ්වර පක්ෂයන්ගෙන්ද ව්‍යාජ වාම පක්ෂයන්ගෙන්ද ස්වාධීනව ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවල යටතේ සටන් වැදිය යුතුය.
Follow us on