වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනය
විද්‍යාත්මක සාක්ෂි, දත්ත, තොරතුරු සහ නිගමන පිලිබඳ වාර්තාව

තුන්නාන “හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස්” කම්හලෙන් පරිසර දූෂනයක් සිදුව ඇත් ද යන්න පිලිබඳ විද්‍යාත්මක විමර්ශනය

පානි විජේසිරිවර්දන(සසප දේශපාලන කමිටු සාමාජික, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛක හා විශ‍්‍රාම ලත් ගුරුවරයෙකි.) 2014 ජූලි 20

ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරියේ පිහිටි වෙනිග්‍රොස් සහ තුන්නාන පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් සමාගම යන කර්මාන්ත ශාලාවන්ගෙන් විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හා ඊට එරෙහිව උද්ඝෝෂනය කල ජනතාවට එල්ල කල පොලිස් මිලිටරි ප‍්‍රහාර පිලිබඳව මාස 6ක පමන කාලයක් පුරා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිදු කල ස්වාධීන කම්කරු පරීක්ෂනයේ වාර්තා හා නිගමන 2014 ජුලි 20 දා ගම්පහ සනස ශාලාවේ දී ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කෙරිනි.
එම අවස්ථාවට මෙම ප‍්‍රදේශයන්හි පලාත්වාසීන්, කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් හා සසප නියෝජිතයන් ද ඇතුලු පිරිසක් සම්බන්ධ විය. මෙම පරීක්ෂනයේ “තුන්නාන “හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස්” කම්හලෙන් පරිසර දූෂනයක් සිදුව ඇත් ද යන්න පිලිබඳ විද්‍යාත්මක විමර්ශනය” මැයෙන් පානි විජේසිරිවර්දන ඉදිරිපත් කල දෙවෙනි වාර්තාව මෙහි දැක්වේ. අනුපිලිවෙලින් අනෙකුත් වාර්තා ද පලකරමු.

තුන්නානේ පරිසර දූෂනය පිලිබඳ ප‍්‍රදේශවාසීන්ගේ අවධානය යොමු වීම:

තුන්නාන ප‍්‍රදේශයේ වාතය, ජලය, පස හා ශබ්දය දූෂනය වීම පිලිබඳ ගැටලුව කෙරෙහි ප‍්‍රදේශවාසීන්ගේ අවධානය යොමුව ඇත්තේ වසර ගනනාවක සිට ප‍්‍රදේශයේ ලිං ජලය බීමට හා අනෙකුත් අවශ්‍යතා සඳහා භාවිතයට නුසුදුසු තත්වයට පත් වීමත් කුඹුරු හා අනෙකුත් වගා කටයුතු කල නොහැකි තත්වයට පත් වීමත් හේතුවෙනි. මේ පිලිබඳව ප‍්‍රදේශවාසීන් ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට පැමිනිලි කල පසු කරන ලද පරීක්ෂනවල දී හෙලි වී ඇත්තේ ප‍්‍රදේශයේ ජලය භාවිතයට ගත නොහැකි තත්වයට එහි ආම්ලිකතාව ඉහල ගොස් ඇති බව යි.

ආම්ලිකතාව ඉහල යාමට හේතුව හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් කම්හලෙන් පිට වන අපජලය බවට සැක කල ප‍්‍රදේශවාසියෙකු පාරිසරික හා ස්වාභාවික සම්පත් ඇමතිවරයා වෙත කරන ලද ලිඛිත පැමිනිල්ලක් මත මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2004 මැයි 10 දින කරන ලද පරීක්ෂනයෙන් කම්හලෙන් පිට කෙරුනු අපජලයේ ඇමෝනියා හා නයිට‍්‍රජන් සාන්ද්‍රනය උපරිම ධාරන සීමාව ඉක්මවා යන බව සොයා ගෙන ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය 2004 මැයි 10 දින කරන ලද පරීක්ෂනයෙන් පසු කම්හලේ මෙහෙයුම් කලමනාකරු වෙත යවන ලද ලිපියේ සඳහන්ව ඇත්තේ කර්මාන්ත ශාලාව තුල අපජලය පිරිපහදු කරන ජීව විද්‍යාත්මක ප‍්‍රතිකාරක පද්ධති දෙකක් හා රසායනික පිරිපහදු පද්ධතියක් ස්ථාපනය කොට තිබුනත් එක් ජීව විද්‍යාත්මක පිරිපහදු පද්ධතියක් අක‍්‍රියව ඇති බව යි. ක‍්‍රියාත්මකව පැවති ජීව විද්‍යාත්මක පිරිපහදු පද්ධතිය හා රසායනික පිරිපහදු පද්ධතිය ද නියමිත පරිදි ක‍්‍රියාකාරී නොවන බව ද එහි සඳහන් වේ. ලිපිය ලියන මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ අපජලයේ උපරිම ඇමෝනියා නයිට‍්‍රජන් ධාරන මට්ටම ලීටරයට මිලිග‍්‍රෑම් 50ක් වුව ද ජීව විද්‍යාත්මක පිරිපහදු පද්ධතියේ අපජලයේ එම අගය ලීටරයට මිලිග‍්‍රෑම් 160ක් හා රසායනික පිරිපහදු පද්ධතියේ එය ලීටරයට මිලිග‍්‍රෑම් 113ක් බවත් ය.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය කම්හලේ මෙහෙයුම් කලමනාකරුට දැනුම් දෙන්නේ කම්හලේ අපජලය පිරිපහදුවෙන් පසු පවතින වායු සාන්ද්‍රන මට්ටම් පරිසර ආරක්ෂන බලපත‍්‍රයේ කොන්දේසි කඩ කිරීමක් බව යි. එම තත්වය නිවැරදි කිරීමට පියවර ගන්නා තෙක් මෙම කර්මාන්ත ශාලාව පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් තමන් ආයෝජන මන්ඩලය සමග එකඟ නොවන බව ද මධ්‍යම පරිසර අධිකාරිය දැනුම් දී තිබේ. එහෙත් තත්වය යථාවත් කර ගැනීමට කම්හල් කලමනාකාරිත්වය පියවර ගත්තේ ද නැද්ද යන්න පිලිබඳ සාක්ෂියක් නැත.

කැලනි මිටියාවත පරිසරය සුරැකීමේ සංවිධානය

“කැලනි මිටියාවත පරිසරය සුරැකීමේ සංවිධානය” නම් වූ සංවිධානයක් කම්හලෙන් සිදු වන පරිසර දූෂනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරනය කරයි. එම සංවිධානය විසින් මෙම ගැටලුව විසඳීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන හරහා ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියක සඳහන් කෙරෙන්නේ කර්මාන්ත ශාලාවේ අපජලය පිරියම් ටැංකි හා පොලොවට යොමු කල නල මගින් පසට මුදා හැරීමෙන් භූගත ජලය හා මිශ‍්‍ර වීම නිසා ලිං ජලය බීමට නුසුදුසු තත්වයකට පත්ව ඇති බව යි. එම ලිපිය තව දුරටත් සඳහන් කරන්නේ ලිංවල පී.එච්. අගය අඩු වීමට අමතරව අපද්‍රව්‍ය නිසා භූගත ජලයේ බැක්ටීරියාවන් ද වර්ධනය වන බව පරීක්ෂන මගින් තහවුරු වී ඇති බව යි. එම පරීක්ෂන වාර්තා මගින් ප‍්‍රදේශයේ ජලය බීමට නො ගන්නා ලෙස ප‍්‍රදේශවාසීන්ට උපදෙස් දී තිබේ.

කර්මාන්ත ශාලාව තුල නිෂ්පාදනයේ දී භාවිතයට ගන්නා යන්ත්‍රෝපකරන හේතුවෙන් ඇති වන අධික ශබ්දය ඒ ආසන්නයේ පිහිටා ඇති නිවෙස්වල ජීවත් වන කුඩා දරුවන් හා වයස්ගත පුද්ගලයන් මෙන් ම අධ්‍යයන කටයුතුවල නිරත වන්නන් ද දැඩි ලෙස අපහසුතාවට පත් කරන බව ප‍්‍රදේශවාසීහු පරීක්ෂන කමිටුවට ප‍්‍රකාශ කලහ.

තව ද මෙම කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ අතිශය නාය යාමේ අවදානමක් ඇති ස්ථානයක බවත් 2014 වර්ෂය වන විට මෙම ස්ථානයේ නාය යාම් තුනක් සිදු වී එක් අයෙකු මිය ගොස් ඇති බවත් කැලනි මිටියාවත පරිසරය සුරැකීමේ සංවිධානය තම ලිපියෙන් පෙන්වා දෙයි. නාය යාම් හේතුවෙන් කර්මාන්ත ශාලාවේ ක්ලෝරීන් ගබඩා කර ඇති සිලින්ඩර පිපිරීමක් සිදු වුව හොත් දරුනු තත්වයකට මුහුන පෑමට සිදු වීමේ අවදානමක් පවතින බව ද ඔවුහු පෙන්වා දෙති.

කර්මාන්ත ශාලාව තුල වර්ග මීටර් 400ක භූමි ප‍්‍රමානයක එකිනෙකට ආසන්නයේ තනා ඇති නල ලිං 5ක් පවතී. එම නල ලිං භාවිතයට ගනිමින් ප‍්‍රදේශයේ උල්පත් ජලය නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගැනේ. එබැවින් කෙටි කාලීන නියඟයක දී පවා ප‍්‍රදේශයේ ලිංවල ජලය සිඳී යන බව ගම්මු පෙන්වා දෙති.

කර්මාන්ත ශාලාව තුල පවතින පැය 24 පුරා ක‍්‍රියාත්මක වන බොයිලේරුවලින් පිට වන කාබන් අංශු සහිත දුමාරය හේතුවෙන් විවිධ අවස්ථාවල දී මුලු ප‍්‍රදේශය ම කලු දුමකින් වැසී යයි. ඊට අමතරව අත්වැසුම් ක්ලෝරීනකරනයේ දී මුදා හැරෙන ක්ලෝරීන් හා ඇමෝනියා වායූන් අඩංගු වායු මිශ‍්‍රනයක් ද රාත‍්‍රියට පරිසරයට මුදා හැරේ. මේ හේතුවෙන් තම අසල්වැසියන් ශ්වසන අපහසුතා, පෙනහලු රෝග හා කැස්ස වැනි රෝගාබාධවලට ගොදුරු වී ඇති බව ප‍්‍රදේශවාසීහු පවසති.

හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක 2008 වසරේ කරන ලද සැඳහුම හා කර්මාන්ත ශාලා කලමනාකාරිත්වයේ ප‍්‍රතිචාරය:

මහජනතාවගේ නිරන්තර ඉල්ලීම හේතුවෙන් හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කොස්ගම සෞඛ්‍ය පරීක්ෂකවරයා සමග එක්ව 2008 අපේ‍්‍රල් 23 දින කර්මාන්ත ශාලාව පරීක්ෂා කොට එහි අපජලය අපරීක්ෂාකාරී ලෙස බාහිර පරිසරයට මුදා හැරෙන බවට නිරීක්ෂනය කර තිබේ. ඒ පිලිබඳව කර්මාන්ත ශාලා කලමනකාරිත්වය ගෙන්වා සාකච්ඡා කල පසු තත්වය නිවැරදි කොට ක‍්‍රමවත් අපජල පිරිපහදු ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරන බවට කලමනාකාරිත්වය පොරොන්දු වී තිබේ. එහෙත් ඉන් පසු 2008 ජූනි 5 දින නැවත කර්මාන්ත ශාලාව පරීක්ෂා කිරීමේ දී ද පොරොන්දු වූ පරිදි කම්හල් කලමනාකාරිත්වය ක‍්‍රියා කොට නොමැති බව නිරීක්ෂනය කර ඇති හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වෙත 2008 ජූනි 5 දින ම දැනුම් දී ඇත්තේ කර්මාන්තයක් පවත්වා ගෙන යාමේ දී ඉටු කල යුතු යැයි මධ්‍යම පරිසර අධිකාරිය නියම කරන පිලිවෙත් ක‍්‍රියාත්මක කිරීමට කර්මාන්ත ශාලා කලමනාකාරිත්වය අපොහොසත්ව ඇති බැවින් එහි වෙලඳ බලපත‍්‍රය අහෝසි කල යුතු බව යි.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය කරන ලද පරීක්ෂනවල දී වරද පිලිගෙන ඇති කම්හල් කලමනාකාරිත්වය වරද නිවැරදි කරනු වෙනුවට ප‍්‍රදේශවාසීන් අස්වැසීමේ උපායක් ලෙස ඔවුන්ට නල ජලය සපයා දීමට විශේෂිත කරාම 8ක් ස්ථාපිත කොට ඇත. මෙය එම ප‍්‍රදේශයේ ජල අවශ්‍යතාවන් සඳහා කිසි සේත් ප‍්‍රමානවත් නොවන අතර ම අපද්‍රව්‍ය කර්මාන්ත ශාලාවෙන් අපරීක්ෂාකාරීව මුදා හැරීම පිලිබඳ කිසිදු වගකීමකට කලමනාකාරිත්වය යටත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය හෝ ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය පියවර ගෙන නැත.

වාර්තා සහ නිගමන ඉදිරිපත් කල රැස්වීම - 2014 ජූලි 20

නිගමනය:

ශ‍්‍රී ලංකාවේ පවත්නා නීතිමය බාධාවන් ද රටේ පසුගාමිත්වය ද ආන්ඩුව හා කම්හල් කලමනාකාරිත්වය පොලීසිය ද යොදා ගෙන කරන අනවරත බාධාවන් ද හේතුවෙන් මෙම විමර්ශනයේ දී කර්මාන්ත ශාලාව වෙත ඇතුලු වී එහි නිෂ්පාදනය සිදු වන ආකාරය, පිරිපහදු පද්ධතිය ආදිය නිසි පරිදි නිරීක්ෂනය කිරීමට අවකාශ සැලසුනේ නැත. ප‍්‍රදේශවාසීන්ගෙන්, විවිධ පාරිසරික සංවිධාන හා අදාල ආයතනවල වාර්තා අනුව පෙනී යන්නේ මෙහි ක‍්‍රියාත්මක වන්නේ ද වැලිවේරිය වෙනිග්‍රොස් කම්හලේ මෙන් සාම්ප‍්‍රදායික ප‍්‍රතිකාරක පද්ධතියක් බව යි. ඒ සඳහා අවශ්‍ය කරන විශාල ඉඩකඩ අඩු මුදලකට ලබා ගැනීම සඳහා නගරයෙන් ඈත ගම් ප‍්‍රදේශයක කම්හල පිහිටුවා තිබේ. එහෙත් මධ්‍යම පරිසර අධිකාරිය 2004 වසරේ කරන ලද නිරීක්ෂනය ද හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා 2008 වසරේ කරන ලද සැඳහුම ද විශ්ලේෂනය කරන විට පෙනී යන්නේ මෙම ප‍්‍රතිකාරක පද්ධතිය වත් නිසි පරිදි ක‍්‍රියාත්මක නොවන බව යි. එම ප‍්‍රතිකාරක පද්ධතියෙන් මුදා හැරෙන ජලයේ ආම්ලිකතාව මෙන් ම ක්ලෝරීන්, නයිට‍්‍රජන් හා ඇමෝනියා වැනි විෂ වායු සාන්ද්‍රනවල අගයන් ද උපරිම ධාරන අගයන්ට වඩා ඉහල අගයක් ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරය 2004 වසර තරම් ඈත දී ම පෙන්වා දී තිබේ.

මේ අනුව පැහැදිලි වන්නේ හංවැල්ල තුන්නාන ප‍්‍රදේශයේ භූගත ජලය අපිරිසිදු වීමට හා වගා කටයුතු කල නොහැකි බවට පත් වීමට කර්මාන්ත ශාලාවෙන් මුදා හැරෙන නිසි පරිදි පිරිපහදු නොකල අපජලය හේතු වන බව යි. තව ද බලගතු පාරිසරික විනාශයක් දැනට ම මෙම කර්මාන්ත ශාලාව හේතුවෙන් සිදු වී ඇති අතර එය නොකඩවා සිදු වෙමින් පවතී. එබැවින් මෙම ප‍්‍රදේශයේ ජනයාට තවත් වසර ගනනාවක් යන තෙක් දැනට ම සිදුව ඇති ව්‍යසනයේ ප‍්‍රතිවිපාකවලට මුහුන දීමට සිදු වනු ඇති අතර කම්හල ධනේශ්වර ලාභ ගරන පද්ධතිය යටතේ පවතින තාක් කල් එම ප‍්‍රතිවිපාක ගැඹුරු වනු ඇත. ඉව බව නොමැතිව උපරිම ලාභ පසුපස හඹා යන මෙම යල් පිනූ ධනේශ්වර ක‍්‍රමයත් එම ක‍්‍රමයේ අවශ්‍යතා නියෝජනය කරන රාජපක්ෂ ආන්ඩුවත් සමස්ත ධනේශ්වර පන්තිය හා පාලක සංස්ථාපිතයත් ඒ සඳහා වගකිව යුතු වේ.

මතු සම්බන්ධයි

Share this article: