රටපුරා ගංවතුරෙන් තිස් ගනනක් මරුමුවට පත්ව ලක්ෂ ගනනක් අවතැන් වෙති
අපේ වාර්තාකරුවන් විසිනි, 2014 දෙසැම්බර් 31
පසුගිය සති දෙක තිස්සේ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර හා නායයාම් තත්ත්වයන් හේතුවෙන් තිස් දෙනෙකුට අධික සංඛ්‍යාවක් මරුමුවට පත්ව සිය දහස් ගනන් දෙනා අවතැන් ව සිටිති. ආපදා කලමනාකරන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආපදා කලමනාකරන මධ්‍යස්ථානයට අනුව ලංකාවේ දිස්ත්‍රික්ක 25න් 22ක් ම මෙම තත්ත්වයේ බලපෑමට ලක් ව ඇති අතර පවුල් 281,767කට අයත් මිලියන 1.11ක් දෙනා පීඩාවට පත්ව සිටිති. දෙසැම්බර් 29දා වනවිට ගංවතුර නිසා නිවාස 4,742ක් මුලුමනින් ම විනාශ වී තවත් 15,237කට හානි වී තිබුනි. බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක උතුර, මධ්‍යම, උතුරු මැද, වයඹ, නැගෙනහිර, බස්නාහිර හා සබරගමුව පලාත්වලට අයත් වෙති.
මරනවලට හේතු වූ අනෙක් කරුන වන්නේ නායයාම් ය. දෙසැම්බර් 26දා බදුල්ල නගරයේ සිට කිලෝමීටර 4ක් දුරින් පිහිටි රිල්පොල මැදගම සිදු වූ නායයාමක් හේතුවෙන් නිවාස 3ක් විනාශ වී තවත් නිවාස 6කට අර්ධ හානි සිදු වූ අතර 13 දෙනෙක් මරුමුවට පත්විය. සිරුරු සොයාගෙන ඇත්තේ 10 දෙනෙකුගේ පමනි. මියගිය අය අතරට විශ්ව විද්‍යාල සිසුහු දෙදෙනෙක් ද බදුල්ල රෝහලේ සේවය කල හෙදියක් ද අයත් වෙති. මෙම ප්‍රදේශයේ බෝර දමා කඳු ආශ්රිත ගල් කැඩීමෙන් බොහෝ දෙනෙක් ජීවිකාව සරිකර ගත්හ. එම ජීවිකාව ද නාය යාම කෙරෙහි බලපෑ බව ප්‍රදේශවාසීන්ගේ අදහස යි. වැසියන්ට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස දැනුම් දී තිබුනත් ආපදා කලමනාකරන මධ්‍යස්ථානය විසින් නිශ්චිත ස්ථානයක් දක්වා නැත.
වහාම පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති “උපදෙස්” දුන් බවත් ආපදාවට පත් වූ ප්‍රදේශවල ඔහු සංචාරය කල බවත් මාධ්‍ය වාර්තා පලවූ අතර යුද හමුදාව සඳහන් කලේ හමුදා භටයන් 20,000ක් පමන විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇති බවයි. එසේ වුව ද, අවතැන් කඳවුරුවල පදිංචිව සිටින ජනයා ඇතුලු විපතට පත්වූවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට පැවසූවේ තමන්ට ප්‍රමානවත් පහසුකම් සපයා නැති බවයි.
රිල්පොල ප්‍රජාශාලාවේ 200ක් පමන ද වැලිගෙමුල්ල පාසලේ 100ක් දෙනා ද තාවකාලික ව නවාතැන් ගෙන සිටිති. සඳහන් කල යුතු අනෙක් කරුන වන්නේ විපතට පත් වූවන්ට ප්‍රමානවත් සහනාධාර නො ලැබීම යි. තව ද ප්‍රමානවත් සනීපාරක්ෂක පහසුකම් නොමැත. එම තතු යටතේ තිබෙන ප්‍රමානවත් නො වන වැසිකිලි ආදිය පාවිච්චි කිරීමට අවතැන් වූවන්ට බලකෙරී පවතී.
වඩාත් ම හානිවලට මුහුන පා ඇති බදුල්ල දිස්ත්‍රික්කයේ දෙමෝදර උඩුවර හතේ කනුව ප්‍රදේශයේ සිදු වූ නාය යාමකින් නිවාස ගනනාවක් ඉරිතලා ගොස් තිබේ. බදුලු ඔය ඉස්මත්තේ පිහිටි නිවාස දෙකක් කඩාවැටීම හේතුවෙන් වයස අවුරුදු 10ක පිරිමි ලමයෙක් හා අවුරුදු 30ක පුරුෂයෙක් මරුමුවට පත් වූහ. දෙසැම්බර් 26දා මෙම සිද්ධිය සිදු වුව ද 28 දා වනතෙක් මියගිය දෙදෙනාගේ සිරුරු මුදා ගැනීමට ආන්ඩුවේ බලධාරින් නිසි පියවර ගෙන නැත. ගම්වැසියන්ගේ විරෝධතාවකින් අනතුරුව පැමිනි නිලධාරින් පසුව සිරුරු සොයාගෙන ඇත.
මෙම ස්ථානයේ නාය යාමක් සිදු විය හැකි බවට කිසිදු අනතුරු ඇඟවීමක් කර තිබුනේ නැත. පවුල් 32කට අයත් 200ක් පමන දෙනා උඩුවර දෙමල මහා විද්‍යාලයේ නවාතැන් ගෙන සිටිති. ලැබෙන වියලි ආහාර ඔවුහු ම පිස ගනිති. බොහෝ දෙනා වඩු කර්මාන්තයේ යෙදෙන හෝ කුලී වැඩ කරන දෛනික කම්කරුවෝ වෙති.
ලෝසවෙඅ වාර්තාකරුවන්ට එහි දී අදහස් දැක්වූ කම්කරුවෙක් මෙසේ පැවසීය: “අපිව බලන්න රජයේ නිලධාරීන් දැන් පැමිනියත් මෙවැනි [නායයාමේ] අනතුරක් සම්බන්ධයෙන් පූර්ව ඇඟවීමක් කර තිබුනේ නැහැ. ග්‍රාමසේවක හරහා ආහාර බෙදා දුන්නත් ඒවා ප්‍රමානවත් නැහැ, ඒ වගේ ම සමහර ආහාර කෑමට සුදුසුත් නැහැ. ජනාධිපතිතුමා කීවේ පදිංචියට හොඳ තැනක් හොයල දෙනකම් මේ විදිහට ඉන්න කියල යි.
“අපි පදිංචි වෙලා හිටපු ඉඩම්, ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයිති ඒවා. ඒකෙන් අපිට ඔප්පු දෙනව කියල කිවුවත් දුන්නේ නැහැ. රුපියල් 98,680කට පර්චස් 23ක් දුන්නා. ඒවා වගාකරන්න බැහැ. මේ අවුරුද්ද ඇතුලත ඒ මුදල ගෙවන්න බැරි වුනොත් මාසයක් ඇතුලත රුපියල් 10,000ක් (සියයට 10ක්) ගෙවන්න සිද්ධ වෙනව කියල අපිට කිවුව.”
ලෝසවෙඅ වෙත අදහස් දැක් වූ ගම්වාසීහු පැවසුවේ තමන්ට ජීවිතය ගත කිරීමට සිදු වී ඇත්තේ අවිනිශ්චිතතාවෙන් පෙලෙමින් බව යි. කිසිදු ආන්ඩුවක් තමන් විපතට පත් වන තෙක් තමන් දෙස ඇස් හැර බැලුවේ නැති බවත් දැන් විපතට පත් වීමෙන් පසුව ද තමන්ට අවශ්‍ය තරම් ප්‍රමානවත් පහසුකම් නො ලැබෙන බවත් ඔවුහු කීහ.
දැනට යන්තම් මාස කිහිපයතට පෙර ඊසාන දිග මෝසම් වැසි නො ලැබීම හේතුවෙන් නියඟයෙන් පීඩා විඳි ගොවි ජනතාව වෙසෙන පොලොන්නරුව, අනුරාධපුර ආදී දිස්ත්‍රික්කවල ජනයා දැන් ගංවතුරෙන් පීඩාවට පත්ව සිටිති. ආන්ඩුවෙන් නිකුත් කල සංඛ්‍යාලේඛනවලට අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නිවාස 250ක් ගංවතුරෙන් විනාශ වී තිබේ.
මාතලේ දිස්ති‍්‍රක්කයේ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කෝන්ගහවෙල ප්‍රදේශයේ කබරව, ගල්පෝරුගොල්ල, ඇලගමුව, ගනන්කැටපිටිය ආදී ගම්මාන රාශියක් අඹන් ගඟ පිටාර ගැලීමට ගොදුරුව ඇත.
නාඋල සිට කිලෝමීටර් 16ක් පමන දුරින් දුෂ්කර ප්‍රදේශයක පිහිටි මෙම ගම්මාන ඊසාන දිග මෝසම සකී‍්‍රය වන විට සෑම වසරකම අඹන්ගග පිටාර ගැලීමට ගොදුරු වීමෙන් දහස් ගනන් ජනයා පීඩා විඳිති.
මහවැලි යෝජනා ක්‍රමයට අයත් බෝවතැන්න ජලාශය ජලයෙන් පිරීමත් සමග එහි වාන් දොරටු ඇරීම සිදුවේ. මෙවර දෙසැම්බර 24 දින සවස වාන් දොරටු ඇර දැමූ බවත් ඒ සමග ගම්මාන 5ක පමන පිරිසක් මේ ව්‍යසනයට ගොදුරුවී ඇති බවත් ගම්වැසියෝ කියා සිටියහ. අඩි ගනනාවක් උසට ජල පහර ගමන් කරන අතර ඉහත ගම්මාන වලට ප්රවේශවීමට ඇති පාලම් ජලයෙන් වැසීයාම නිසා එම වැසියන්ගේ එදිනෙදා කටයුතු ඇනහිට තිබේ. පවුල් 2000ක 10,000ක් පමන ජනතාවක් එයට ගොදුරුව ඇත.
විපතට පත් වූවකු වන කේ. සුමනදාස ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ කරුනු දැක්වීය: “මේ පැත්ත මොරගහකන්ද ට [මොරගහකන්ද ගඟ අශි‍්‍රතව ගොඩ නැගෙන ජලාශය] යටවෙනවලු, අපිට යන්න කියල තියෙන්නෙ, වන්දිත් දෙනව, කොහොමත් අපිට මේක පුරුදුයි හැම අවුරුද්දෙම වෙනව නේ වතුර බැහල යනකන් ඒ ගම්වල අයට යන්න එන්න බෑ. මේවට විසඳුම් දෙන්නෙ නෑ. ඡන්දෙ ඉල්ලන්න නම් එනවා. අපි මරනෙත් එක්ක සටන් කරනවා. මෙහෙන් අලි ඇවිත් ගහනවා. ඊයෙ පෙරේදත් එක්කෙනෙක් මැරුනා. [ආන්ඩුවේ] කවුරුවත් මේවා බලන්නෙ නෑ.”
ලංකාවේ ඈත පිටිසර ගැමියන් පීඩා විඳින ප්‍රශ්න විදහා දක්වමින් එක් කාන්තාවක් මෙසේ පැවසුවාය. “යන්න එන්න හරිහමන් වාහන නෑ. මෙහෙන් අලි එනවා. වහිනකොට යටවෙනවා. දුප්පත් මිනිස්සුන්ට කිසිම සහනයක් නෑ. අපායක ඉන්නෙ යන්න කීවත් වන්දි දෙන්නෑ. බොරු කියන්නෙ. මේ කාලෙට අපට කරදර එනවා, කන්න බොන්න නෑ, ලාම්පුතෙල් ගේන්නෙ නාඋලට ගිහින් තව කිලෝමීටර් දෙක තුනක් යන්න ඕන, ලයිට් කනු කඩාවැටිලා ලයිට් නෑ. ඒ අය ඡන්ද සටනේ රජවෙන්න වලිකනවා. අපි ජීවිතෙත් මරනෙත් එක්ක සටනේ. දෙයියොම බලන්න ඕනෑ.”
ජනාධිපතිවරනය මධ්‍යයේ රාජපක්ෂ හා විරුද්ධ පක්ෂයේ අපේක්ෂක වන මෛතී‍්‍රපාල සිරිසේන විපතට පත් ප්‍රදේශවල මැදිහත් වන්නේ මහජනයාගේ අවධානය තම තමන් වෙත දිනා ගැනීමේ ව්‍යායාමයක් ලෙස පමනි. 1948න් පසුව බලයට පත් වූ අනෙක් ආන්ඩු මෙන් රාජපක්ෂගේ වත්මන් ආන්ඩුව හා එහි කොටස්කරුවෙකු වූ සිරිසේන ගංවතුරෙන් විපතට පත් වන ජනයා ගේ ප්‍රශ්න විසඳීමට කිසිවක කර නැත.
Follow us on