දෙවන ලෝක සංග්‍රාමය පිලිබඳ විශිෂ්ට සෝවියට් චිත්‍රපටියක්
තවත් නම් යුද්ධ එපා!The Cranes Are Flying"කොක්කු ඉගිලෙති (1957)" චිත්‍රපටියේ යුද විරෝධී පනිවිඩය
No more war! The anti-war message of The Cranes Are Flying (1957)
ඩොරොටා නිමිට්ස් විසිනි,2014 ජූනි 19
මිනිස් ඉතිහාසයේ වඩාත් ම ලේ වැකි යුද්ධය වන දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන්වී 70 වසරකට පසු ලෝකය යලිත් වරක් මහා පරිමාන හමුදා ගැටුමක අනතුරට මුහුන දෙමින් සිටී.
තමා ද, සිය පූර්වගාමීන් ද "සාමය සහ සංහිඳියාවේ අභිවෘද්ධිය වෙනුවෙන් දශක හයක් පුරා දායකත්වය ලබාදී ඇතැයි" යන පදනම මත යුරෝපා සංගමය 2012 නොබෙල් සාම ත්‍යාගය නිර්ලජ්ජිතව භාර ගත්තේය. මෙය ඇති තතු ඔලුවෙන් හිටවීමකි.
ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ ද ඇතුලුව ලොව පුරා ආන්ඩු පෙරලා දැමීම් හා අපරාධකාරී යුද්ධ ගනනාවකට ආධාර දීමේ 62 වසරක ඉතිහාසයක් යුරෝපා සංගමය සතුය. මෑතක දී එය, ලේ වැකි සිවිල් යුද්ධයක් ඇතිවන පරිදි හා තවත් න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාව සමඟ ගැටුමක තර්ජනය ඉස්මතු වන පරිදි, යුක්රේනය තුල අන්ත දක්ෂිනාංශික හමුදා කුමන්ත්රනයක් කරලියට නැංවීමට සිය එක්සත් ජනපද අනුචරයා සමඟ හවුලේ ක්‍රියා කලේය.
අඳුරු හාස්‍යයක් දනවන මෙම "සාම ත්‍යාගය" හා මහ බලවතුන්ගේ කුහකත්වයට කොහෙත්ම පාහේ අභියෝගයක් එල්ල නොකල ගානය. යුද්ධය සඳහා වූ තල්ලුවට එරෙහිව එකදු හඬක් හෝ ප්රමුඛ පෙලේ මාධ්‍ය තුලින් නැඟුනේ නැත. එපරිද්දෙන් ම, අධිරාජ්‍යවාදී යුදවාදයට එරෙහිව විරෝධය දැක්වෙන එකදු චිත්‍රපටයක් හෝ මෑතක දී තැනුනේ නැත. බැරෑරුම් චිත්‍රපට රසිකයෙකුට හැඟෙන්නේ, තවදුරටත් අපේ ජීවිතවල වත්මන් යථාර්ථය යම් වැදගත් ආකාරයකින් නියෝජනය නොකරන චිත්‍රපට කර්මාන්තයේ මෙන් ම සමස්තයක් ලෙස සංස්කෘතියේමත් පවත්නා අතිමහත් රික්තයකි.
"යුද්ධය එපා", යැයි කීමට අලුත් චිත්‍රපට නොපවතින තතු යටතේ, කවදා හෝ නිර්මානය කෙරුනු යුද විරෝධී චිත්‍රපට අතරින් විශිෂ්ටතම එකක් ලෙස තමාට හැඟී යන, සෝවියට් සංගමයේ නිපදවුනු "කොක්කු ඉගිලෙති (1957)" යන චිත්‍රපටය වෙත යලි පිවිසීමට මෙම විචාරිකාවට සිත් විය. 1958 කෑන්ස් චිත්‍රපට උලෙලේ දී පිරිනැමෙන ඉහලම සම්මානය වන පාම් ඩෝ සම්මානයෙන් පිදුම් ලද මෙම චිත්‍රපටය එම සම්මානය දිනා ගත් එකම සෝවියට් චිත්‍රපටය වෙයි. 1960 මාර්තුවේ ප්‍රදර්ශනය සඳහා මුදා හැරුනු කල්හි එය එක්සත් ජනපදය ද ඇතුලුව බටහිර රටවල පුලුල් ප්‍රේක්ෂක අවධානයකට පාත්‍ර විය.
'කොක්කු ඉගිලෙති' හි එන්නේ, ආදරයෙන් බැඳී විවාහාපේක්ෂාවෙන් පසුවන යෞවනයෞවනියන් දෙදෙනෙකු, එනම්, බෝරිස් (ඇලෙක්සේ බටලොව්) හා වෙරෝනිකා (තත්යානා සමොයිලෝවා) පිලිබඳ කථා පුවතයි. 1941 දී ජර්මානු හමුදා සෝවියට් දේශය ආක්රමනය කල කල්හි ඔවුන්ගේ විවාහ සැලසුම් කල් දමන්නට සිදු වෙයි. ශිෂ්ට සම්පන්න හා ආත්මාර්ථකාමී නොවන තරුනයකු වන බෝරිස් සෝවියට් හමුදාවට බැඳී යුද්ධයට පිටත් ව යයි. පසුව ඔහු යුද්ධයේ දී අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. බෝම්බ හෙලීමක දී සිය දෙමව්පියන් ද අහිමි වන වෙරෝනිකාට කිසිවිටෙක සිය පෙම්වතා අමතක නොවන නමුත්, වංචනික ලෙස හමුදාවට බඳවා ගනු ලැබීමෙන් වැලකී, බෝරිස් ඈ අසල නොමැති මුලු කාලය පුරා ඇය පසුපස එන බෝරිස්ගේ ඥාති සොහොයුරු මාක් සමඟ විවාහ වීමට ඇයට සිදුවෙයි.
වික්ටර් රොසොව්ගේ 'සදාකාලිකව ජීවමානය' යන නාට්‍යය මත පදනම් වූ 'කොක්කු ඉගිලෙති', යුද්ධය සහ එය පිරිවරා සිටින අසංඛෙය වූ දුක් වේදනාවන් හා චිත්ත පීඩාවන් විසින් සිය ජීවිතයට ඇති අයිතියට කුරිරු බාධා පමුනුවන ලද්දා වූ මනුෂ්‍යයන් පිලිබඳ සංකීර්න හා සත්‍යවාදී කථා ප්රවෘත්තියකි.
1953 දී සිදු වූ ස්ටැලින්ගේ මරනය නොවන්නට 'කොක්කු ඉගිලෙති' නිර්මානය නොවන්නට බොහෝ විට ඉඩ තිබුනි. ජෝර්ජියාවේ ටිබලිසිහි උපත ලද සෝවියට් චිත්‍රපට අධ්‍යක්ෂක මිඛායෙල් කලටොසොව් (1903 - 1973) ඔහුගේ වඩාත් ප්‍රසිද්ධියට පත් චිත්‍රපටය වන මෙය නිර්මානය කලේ 1958 වසරේ, සෝවියට් සංගමයේ ඉතිහාසය තුල 'ත්සෝ කාල පරිච්ඡෙදය' ලෙස කියනු ලබන කාල වකවානුව තුලය. ස්ටැලින්ගේ අභාවයෙන් පසු, 1956 පැවැති කොමියුනිස්ට් පක්ෂයේ 20වන සම්මේලනයේ දී පක්ෂයේ ප්‍රධාන ලේකම් නිකිතා කෘෂෙව් ස්ටැලින් හෙලා දකිමින් හා ඔහුගේ අපරාධවලින් කොටසක් හෙලිදරව් කරමින් සිය සුප්‍රකට "රහස් දේශනය" පැවැත්වීය. මෙය පක්ෂයේ නිලතල බෙදී යාමේ ප්රමුඛ වෙනස්කම්වලට හේතුකාරක වූ අතර එමඟින් සෝවියට් සමාජයේ යම් නිශ්චිත වෙනස්කම්වලට පාර කැපුනි. ඒ අතර වූ එක් වෙනස්කමක් වූයේ භාෂනයෙහි ලා වඩාත් වැඩි නිදහසක් ලැබීමයි.
කෘෂෙව්ගේ දේශනය හා සමස්තයක් ලෙස ගත් කල 'ත්සෝ'ව, කලාව කෙරේ, විශේෂයෙන් ම චිත්‍රපටකරනය කෙරේ මහත් බලපෑමක් ඇති කලේය. මූල්‍ය සම්පත් සම්පාදනයත්, වාරනය ලිහිල් කිරීමත් මේ තතු කෙරේ බලපෑ ප්‍රධාන සාධක විය. 'කොක්කු ඉගිලෙති' චිත්‍රපටය තැනූ, රටේ විශාලතම චිත්‍රාගාරය වූ මොස්ෆිල්ම්ස් චිත්‍රාගාරය වැනි රජය මඟින් පාලිත චිත්රාගාරවලට නව නිර්මාන සඳහා අරමුදල් ලබා දෙන ලදී. ඓතිහාසික චිත්‍රපට - විශේෂයෙන් ම ඔක්තෝබර් විප්ලවය හා දෙවන ලෝක සංග්‍රාමය පිලිබඳ චිත්‍රපට - නිපදවීම දිරිමත් කෙරිනි.
'1917 - 1972 කාල පරිච්ඡෙදයේ සෝවියට් සිනමාවේ සංස්කෘතික, දේශපාලනික සම්ප්රදායයන් හා වර්ධනයන්' නම් 1974 දී ලියැවුනු සිය පොත තුල ලුවී හැරිස් කොහෙන් මෙසේ සඳහන් කරයි: "පෞරුෂයේ ලබ්ධිය' ලෙස හඳුන්වනු ලැබූ ස්ටැලින්ගේ සමය පරයා යාමේ මඟ සිනමාවේ විශාරදයන්ට පෙන්වා දෙන ලදී. ලෙනින්වාදී 'පාටිනොස්ට්' (පක්ෂ සාරයේ ) ප්රතිමානයන් ප්‍රතිස්ථාපනය කෙරුනු අතර ජාතියේ සංස්කෘතික දේශපාලනික ජීවිතය සක්‍රිය කිරීම හා වැඩි වර්ධනය කිරීම සඳහා වූ ආයතන වැඩි කිරීමට කටයුතු කරන ලදී."
දෙවන ලෝක යුද්ධය පිලිබඳ ඉහත දී තැනුනු සෝවියට් චිත්‍රපටවල දී, සෝවියට් යුද ප්රයත්නය පිලිබඳ ස්ටැලින්වාදී ප්රචාරයේ අවශ්‍යතාවනට ඒවා ගැලපිය යුතු වූ හෙයින් ඓතිහාසික සත්‍යය විකෘති කොට තිබිනි. ඒවාට අනුව සෝවියට් යුද ප්රයත්නය සෑම විටෙකම ජයග්‍රාහී හා දේශමාමක එකක් විය. එය සෑමවිටම ඒකමාන ද වීරෝදාර ද විය. මිඛායිල් චෞරෙලිගේ 'ෆෝල් ඔෆ් බර්ලින්' (1950) (බර්ලින් නගරයේ ඇදවැටීම) වැනි චිත්‍රපටවලදී යුද්ධය ජය ගැනීම ස්ටැලින් පෞද්ගලික වගකීමක් යයි පෙන්වා දෙන ලදී. කොක්කු ඉගිලෙති එම සම්ප්‍රදායෙන් මිදී නිර්මානය කෙරුනු ප්‍රථම චිත්‍රපටයයි.
කලටෝසොව්ගේ චිත්‍රපටය අපේ දෑස් ඉදිරියේ දිග හරින්නේ බෝම්බ ප්‍රහාරවලට ගොදුරු වූ ගොඩනැඟිලි, බිඳුනු විදුරු කැබලිති, ත්‍රස්ත වූ ජනයා, හඬන දරුවන් හා හුදෙකලා වූ අනාථයන්, ඇස්, අත්, පා නැති තුවාල වූ සෙබලුන් හා සටන් බිමේ අපවිත්‍ර හා මඩ වැකි දර්ශනයන්ගෙන් සමන්විත වූ වාර්තා චිත්‍රපටයක දැක්වෙන ආකාරයේ දසුන් ය. කොක්කු ඉගිලෙති චිත්‍රපටය යුද විරෝධී සිනමාවේ අග්‍රගන්‍ය කෘතියක් වනුයේ එය සන්නද්ධ හමුදා අතර ඝට්ටනය, යුද්ධයේ විනාශකාරී බලයේ බියකරු සුලියට හසු ව සිටින එහි සැබෑ ගොදුරු වන සාමාන්‍ය ජනයාගේ ඇසින් දකින නිසා ය.
චිත්‍රපටය නිමවා ඇත්තේ කලු සුදු සිනමා පටයක් ලෙසය. බොහෝ විට එසේ කිරීමට හේතු වන්නට ඇත්තේ කුරිරු යථා තතු ගෙන හැර දැක්වීමෙහි ලා එහි ඖචිත භාවය මෙන්ම වාර්තා චිත්‍රපටයක් හා සැසඳෙන පරිදි එය ඉදිරිපත් කිරීමට අවශ්‍ය වීම ද විය හැක. එහි එන කලු සුදු දර්ශනවල සුන්දරත්වය ප්‍රේක්ෂකයා මවිතයෙන් මුසපත් කිරීමෙහි සමත්ය. ග්රිගෝරී චුක්රේගේ හතලිස් එක්වැන්නා (1956) මෙන් ම කලටෝසොව්ගේ ම මම කියුබාව වෙමි (1964) කෘතීන්හි කැමරාව මෙහෙයවීමෙන් කීර්තියට පත් වූ සර්ජි උරුසේව්ස්කි මෙහි කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කෙතරම් අග්‍රගන්‍ය දෘශ්‍යමය නිර්මානයක යෙදී ඇත්දැයි කිවහොත්, ප්රතිබිම්බයෝ නිරතුරුවම දෙබස්වල කාර්යය ඉටු කිරීමෙහිලා සමත් වෙති.
නිහඬ චිත්‍රපට නිර්මානය කරමින් සිය වෘත්තියමය ජීවිතය ආරම්භ කල කලටෝසොව්, මුහුන මඟින් ප්‍රකාශන රැසක් ලබා දෙන අත්‍යුත්කෘෂ්ට සමීප රූපවලට ද, (බොහෝ විට කැමරාව අතෙහි රඳවා ගනිමින් කෙරෙන) යුහුසුලු හා ක්ෂනික කැමරා සංචලනයන්ට ද, දෘශ්‍ය කෝනය ශිග්‍ර ලෙස වෙනස් කිරීම්වලට ද, භීතියේ හා සන්ත්‍රාසයේ මනෝ භාවයන් නිරූපනය කරනු වස් කෙටි දර්ශන භාවිත කිරීමට මෙන්ම චිත්ත සන්තාපයන් දැක්වීම සඳහා දීර්ඝ දර්ශන භාවිත කිරීමට ද උරුසේව්ස්කිට ඉඩ හරිමින් නිහඬ චිත්‍රපට යුගයේ ශිල්පිය ක්‍රම භාවිතයට ගනී.
වගුරක් තුල සිදුවන බෝරිස්ගේ මරනය එකිනෙක හා එතී ගිය බර්ච් ගස්වල ප්‍රතිරූපය තුලින් පෙන්වා දෙන අයුරු හුදෙක්ම ලොමුදහැගන්වන සුලුය - යමෙකු ඇද වැටී මියයන්නේ හරියටම මෙපරිද්දෙනැයි අපේ සිතේ මැවී යාම නොවැලැක්විය හැකිය. දිවි නසා ගැනීමේ තැතක යෙදෙතැයි සිතිය හැකි පරිද්දෙන් වෙරෝනිකා වියරු ලෙස දුම්රිය පාර දිගේ දිවයන දර්ශනයේ දී ඇගේ සන්ත්රාසය, කෙටි ආශ්වාස ප්‍රශ්වාසයන්, ආන්තිකව උත්සන්න වූ චිත්ත වේගයන් නිසා නිපන් ක්ලාන්ත ස්වභාවය හා මරනය පැමිනවිමට තරම් තීව්ර වූ ආතතිය ද අපට දැනේ.
සර්ජි අයිසන්ස්ටයින්ගේ සම්ප්රදාය අනුව යමින් බෝරිස් ජීවිතය හා ප්‍රීතිය කරා වෙරෝනිකා පසුපස දිව යන තරප්පු පෙල පසු අවස්ථාවක දී බෝම්බ ප්‍රහාරවලින් විනාශ වී ඇති අයුරු විලක්ෂනය කොට දැක්වේ. සිය දෙමාපියන් ශේෂයක් නොතබාම අතුරුදහන් වී ඇති බවට වන සිත් කම්පා කරවන සුලු අනාවරනය කරා වෙරෝනිකාට මඟ පෙන්වනු ලබන්නේ එම බිඳුනු තරප්පු පෙල විසිනි. ගුවන් ප්‍රහාරයෙන් පසු ඔවුන්ගේ නිවසේ ඉතිරිව ඇති එකම දෙය වන්නේ, සැර ටික්ටික් හඬක් නංවන බිත්ති ඔරලෝසුව පමනි. තමාට වන අතිමහත් විපත නොතකා ජීවිතය තවදුරටත් දිගහැරෙන බව එය අතිශය වේදනාකාරී ලෙස ඇයට සිහිපත් කර දෙයි.
කලටෝසොව්ගේ චිත්‍රපටය අපේක්ෂාව ද ගැබ් කොට ගත්තකි. ත්‍රිකෝනාකාර 'වී' හැඩයකට මොස්කව් නඟරයට ඉහලින් පියාසර කරන කොකුන් රංචුවකින් නව ජීවිතයක් යලි උපත ලැබීම පිලිබඳ අපේක්ෂාව සංකේතවත් කෙරෙයි.
අධිරාජ්‍යවාදී යුද්ධ දෙකක කටුක පාඩම් අමතක නොකල යුතුය. එමෙන්ම, දෙවන ලෝක යුද්ධයත්, ඉන් සිදු වූ අතිමහත් මිනිස් ජීවිත විනාශයත් දායාද කොට දුන් ස්ටැලින්වාදයේ පාවාදීම්වල පාඩම් ද අමතක නොකල යුතුය.
යුක්රේනයේ වත්මන් අර්බුදය වූ කලී සෝවියට් සංගමයේ ඇදවැටීමට පාර කැපූ එම ස්ටැලින්වාදී පිලිවෙත්වලම ප්රතිවිපාකයයි.
වඩ වඩාත් වේගවත් වෙමින් පවත්නා යුදවාදයට හා නව ලෝක යුද්ධයක් කරා වන තල්ලුවට එරෙහිව සටන් වැදීමේ හදිසි අවශ්‍යතාවයක් පවතී. එය කල හැක්කේ ලාභය මත පදනම් වූ කුරිරු සමාජ ක්‍රමය අහෝසි කිරීම මඟිනි. මක්නිසාදයත්, "යුද්ධය යනු නොකල හැක්කක් බවට පත්වනු ඇත්තේ, අප හුදු එක් රටක පමනක් නොව, මුලු ලෝකයේ ම ධනපති පංතීන් පෙරලා දමා, අවසාන වශයෙන් ඔවුන් අභිභවනය කොට, ඔවුන්ගේ දේපල පැහැර ගත් කල පමනක්" වන නිසාය.
ඉහත වචන, කොක්කු ඉගිලෙති චිත්‍රපටයේ බෝරිස්ගේ ලියන මේසය මත සාඩම්බරව වැජැඹෙන කුඩා ප්‍රතිමූර්තියෙන් දැක්වෙන ව්ලැඩිමීර් ඉලීච් ලෙනින්ගේය.
මෙම චිත්‍රපටය හා එහි යුද විරෝධී පනිවුඩය එය මුලින් ම මුදා හල අවස්ථාවේ තරමටම බලගතු ලෙස හා අර්ථවත් ලෙස අද්‍යතන ප්‍රේක්ෂකයාට ද දැනී යනු ඇතැයි විචාරිකාව අපේක්ෂා කරයි. කොක්කු ඉගිලෙතිහි දැක්වෙන යුද්ධයේ අතිබිහිසුනු දසුන් යලි කවර හෝ දිනක දකින්නට නොසිදුවේවා යයි අපි ප්‍රාර්ථනා කරමු. චිත්‍රපටයේ අවසාන දර්ශනයේදී බෝරිස්ගේ මිතුරු ස්ටෙෆාන් දුම්රිය ස්ථානයේ ජනයා අමතා කරන කථාව උපුටා දක්වමින් අපි මෙම ලිපිය සමාප්ත කරමු:
"කාලය ගත වනු ඇත.
නගර ගම් යලි ඉදිවනු ඇත.
අපේ තුවාල සුව වී යනු ඇත.
එහෙත් යුද්ධය කෙරේ අපේ ඇති සැඩ ද්වේශය කිසිදා හීන වනු නැත.
අද සිය දයාබරයන් මුන ගැසීමට අසමත් සියල්ලන්ගේ ශෝකයට අපිදු කොටස්කරුවෝ වෙමු.
යලි කිසි දිනෙකත් යුද්ධයෙන් වෙන් කරනු නොලැබීම, මවුවරුන් සිය දරුවන්ගේ ජීවිත පිලිබඳව යලි කිසිදා බියෙන් පසු නොවීම, යලි කිසිවිටෙකත් පියවරුන්ට කඳුලු සඟවා ගැනීමට හා ඉකිය සිරකර ගැනීමට නොසිදුවීම සහතික කරනු වස් කල යුතු සියල්ල අපි කරන්නෙමු.
අපි ජය ලැබීමු. අප ජීවත්වන්නේ කිසිවිටෙකත් විනාශ කිරීම සඳහා නොව, නව ජීවිතයක් ගොඩනැඟීම සඳහා ය."
තව දුරටත්, මෙම විචාරය, 80 විය සපුරා 2014 මැයි 5 දින අභාවප්‍රාප්ත වූ විශිෂ්ට රුසියානු නිලි තත්යානා සමොයිලොවාට ගෞරව පිනිස පුදකරමු.
මෙම චිත්‍රපටය 11881 ඇමසන් වෙතින් හා ක්‍රයිටීරියන් කලෙක්ෂන් . වෙතින් ලබා ගත හැකිය.
Follow us on