ශ්‍රී ලංකා ජනාධිපති ඉන්දියාව සමග සබඳකම් තරකර ගැනීමේ උත්සාහයක
Sri Lankan president seeks improved relations with India
එස්. ජයන්ත් විසිනි, 2014 ජුනි 4
හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය මහා මැතිවරනය ජයගැනීමෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඉන්දියාව සමග සම්බන්ධකම් දැඩි කර ගැනීම කෙරෙහි සිය උනන්දුව පෙන්නුම්කර ඇත. මැයි 26දා අනෙකුත් දකුනු ආසියානු නායකයන් සමග රාජපක්ෂ, අගමැති නරේන්ද්‍ර මෝඩිගේ සමාරම්භක උත්සවයට සහභාගීවීම සඳහා නව දිල්ලියට ගිය අතර අගමැති සමග කෙටි සාකච්ඡාවකට අවස්ථාව සලසා ගෙන ඇත.
බෙදුම්වාදී එල්ටීටීඊයේ පරාජයේ පසු ගෙවී ගිය වසර පහ තුල නව දිල්ලියේ කලින් පැවති කොන්ග්රස් පක්ෂ නායකත්වයෙන් යුතු ආන්ඩුව සමග සම්බන්ධතා අඩාලවී තිබුනි. උතුරු නැගෙනහිර දෙමල ප්රභූව සමග බලය බෙදාගැනීමේ වැඩපිලිවෙලක ස්වරූපයෙන් යුද්ධයට “දේශපාලන විසඳුමක්” සඳහා ඉන්දියාව කල ඉල්ලීම් රාජපක්ෂ දිගට ම මගහැර තිබුනි. සිය කලාපීය එදිරිවාදියෙකු ලෙස සැලකෙන බීජීනය සමග කොලඹ ආන්ඩුවේ වැඩෙන ආර්ථික, දේශපාලන හා මිලිටරි බැඳීම්වලට ද නව දිල්ලිය විරුද්ධ ය.
මෝඩි ආන්ඩුවේ ආස්ථානය, කොලඹ සැලකිය යුතු මාධ්‍ය සමපේක්ෂනයක මාතෘකාව වී ඇත. පාලක පන්තියේ නිසැක චකිතය ප්‍රකාශ කරමින් මැයි 25දා සන්ඩේ ටයිම්ස් පත්‍රයේ කතුවැකිය, ශ්‍රී ලංකාව පිලිබඳ ඉන්දියානු ප්‍රතිපත්තියේ “සැලකිය යුතු වෙනසක්” බලාපොරොත්තු නොවන අතර “ඵලදායි නැඹුරුවක් හා දැඩි අවධාරනය කිරීමක්” අපේක්ෂා කල හැකි බව සඳහන් වන විශ්ලේෂකයකුගේ සටහනක් උපුටා දැක්වී ය.
නව දිල්ලියට පිටත්වීමට ඔන්න මෙන්න කියා තිබිය දී “මිත්‍රත්වයේ” සංඥාවක් ලෙස රාජපක්ෂ, නීති විරෝධී ලෙස “ශ්‍රී ලංකා මුහුදු සීමාවට” පිවිසීම හේතුවෙන් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටි දකුනු ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමට නියෝග කලේ ය. මෑත වසරවල දී දෙරටේම නාවුක හමුදා ඔවුන්ගේ කලාපීය මුහුදු සීමාවන්ට ඇතුලුවීම හේතුවෙන් ධීවරයන් අත්අඩංගුවට ගනු ලැබීය. එය පලදු වූ සම්බන්ධතාවන් පිලිබඳ තවත් එක් සලකුනක් විය.
සිය ආන්ඩුව දෙමල ප්රභූව සමග යහපත් සම්බන්ධතාවන් පවත්වා ගෙන යන බව පෙන්වීම සඳහා රාජපක්ෂ, උතුරු පලාත් සභා මහ ඇමති සී.වී.විග්නේශ්වරන් ද සංචාරයට එකතු කර ගැනීමට උත්සාහ කලේ ය. දෙමල ජාතික සන්ධානයට අයත් විග්නේශ්වරන් ඉල්ලීම ප්‍රතික්ෂේප කල අතර උතුරු පලාත් සභාවට දිය යුතු ඉඩම් හා පොලිස් බලතල සඳහා ඉල්ලීම පුනුරුච්චාරනය කලේ ය.
මෝඩි සමග සාකච්ඡාවේ දී රාජපක්ෂ, ඉන්දියාව සමග සාම්පූර් ගල්අඟුරු බලාගාරය ක්‍රියාත්මක කිරීමට හා ආර්ථික හා වානීජ සහයෝගය පුලුල් කිරීමට පොරොන්දු විය. සාම්පූර් බලාගාරය සඳහා ගිවිසුම වසර පහකට පෙර අත්සන් කෙරුන ද ඉන්දියානු විරෝධී ස්වෝත්තමවාදී විසින් එය ක්‍රියාත්මක කිරීමට යලි යලිත් බාධා පමුනුවා ඇත. එය ද නව දිල්ලියේ නො සතුටට හේතුවක්ව තිබුනි. ආපසු කොලඹ පැමිනි විගස රාජපක්ෂ බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිපතිට නියෝගකලේ ය.
ජනාධිපති, මෙරටට පැමිනෙන ලෙස ඉන්දියානු අගමැතිට ආරාධනයක් ද කල අතර මෝඩි එය පිලිගත්තේ ය.
කෙසේ නමුත්, රාජ්‍යතාන්ත්‍රික හොඳහිත පිටුපසින් තියුනු ආතතින් පවතී. නායකයින් දෙදෙනා අතර කතාවලින් පසුව “එක්සත් ශ්‍රී ලංකාවක් තුල සමානත්වයේ, සාධාරනත්වයේ, සාමයේ හා ගෞරවනීය ජීවිතයක් සඳහා වන දෙමල ප්‍රජාවගේ අපේක්ෂාවන්” සහතික කිරීමට “ජාතික සංහිඳියාවේ ක්‍රියාමාර්ගයක්” ගැන මෝඩි කෙලින් ම අවධාරනය කර ඇතැ යි ඇඟවුම් කරමින් ඉන්දියානු විදේශ කටයුතු ලේකම් ප්රකාශනයන් නිකුත් කලේය. ප්රකාශනය අනුව මෝඩි සඳහන් කර ඇත්තේ, “13වැනි සංශෝධනය සම්පූර්නයෙන් ක්‍රියාත්මක කිරීම හා ඉන් ඔබ්බට යාම මෙම ක්‍රියාදාමය සඳහා පිටුවහලක් වනු ඇති” බව යි.
ව්‍යවස්ථාවේ 13වැනි සංශෝධනය, එවක සිටි ජනාධිපති ජයවර්ධන හා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් 1987දී අත්සන් කල ඉන්දු-ලංකා ගිවිසුමේ කොටසක් විය. එල්ටීටීඊය නිරායුද කිරීමේ දී ඉන්දියානු සහයෝගයට හිලව් වශයෙන් කොලඹ ආන්ඩුව, දෙමල ප්රභූවට පලාත් මට්ටමින් සීමිත ස්වාධීනත්යක් පොරොන්දු විය. සිංහල වර්ගවාදී කන්ඩායම්වල උග්‍ර විරෝධය හේතුවෙන් අනුක්‍රමික කොලඹ ආන්ඩු මෙම සංශෝධනය සම්පූර්නයෙන් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කලේ ය. මෙරට බලය බෙදීමේ ගනදෙනුවක් සඳහා මෝඩි යොදන බලපෑම, සාමාන්‍ය දෙමල ජනතාගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සමග මෙලොව සම්බන්ධයක් නැත. මෝඩි “දෙමල අයිතීන්” පිලිබඳ ප්රශ්නය පාවිච්චි කරන්නේ, තමිල්නාඩු ප්‍රාන්ත ආන්ඩුව සැනසීම සඳහා මෙන්ම මෙරට සම්බන්ධයෙන් සිය ආනුභාවය පැවැත්වීමේදී වැඩි ඉඩ ප්‍රස්ථාවක් ලබාගැනීම සඳහා රාජපක්ෂ ආන්ඩුවට පීඩනය යෙදීමට ය.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය යොදන පීඩනය ලිහිල් කිරීම සඳහා රාජපක්ෂට ඉන්දියානු සහයෝගය අවශ්‍ය බව නව දිල්ලිය මැනවින් දැන සිටියි. එල්ටීටීඊයට විරුද්ධ යුද්ධයේ අවසාන මාසවල දී සිදුකල මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳව සොයා බැලීමට පරීක්ෂනයක් ආරම්භ කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස් වෙත බලය පැවරෙන එක්සත් ජනපදයේ අනුග්‍රහය ලත් යෝජනාවක් මාර්තුවේ දී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් රැස්වීම තුල සම්මත විය.
ඒ වන විටත් එක්සත් ජාතීන්ගේ විශේෂඥ කන්ඩායමක් ඇස්තමේන්තු කර ඇත්තේ, සටනේ අවසාන කාලපරිච්ඡේදය තුල, ප්‍රධාන වශයෙන් ම මිලිටරියේ ඉවක් බවක් නැති ෂෙල් වෙඩි දැමීම හා ගුවන් ප්‍රහාර මගින් සිවිල් වැසියන් 40,000ට වඩා මියගොස් ඇති බව යි. කෙසේ නමුත්, වොෂින්ටනය දැන් මෙම යුද අපරාධ යොදා ගනු ලබන්නේ චීනය සමග බැඳීම් අවසන් කිරීමට කොලඹ ආන්ඩුව මත පීඩනය යෙදීමට ය. මෙය කලාපය පුරා චීන බලපෑම යටපත් කිරීමට හා එය මිලිටරි වශයෙන් වැටලීමට ඉලක්ක කෙරුනු ඔබාමා පාලනාධිකාරයේ “ආසියාවට හැරීමේ” කොටසකි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාවට ඉන්දියාව ඡන්දය දීමෙන් වැලකුනේ රාජපක්ෂ ආන්ඩුව මත පීඩනය අඩුකිරීමට නො ව, ඉන්දියාව ද අනාගතයේ දී ඒ සමාන ම මැදිහත්වීමකට මුහුන දෙනු ඇති බවට පවතින උත්සුකය නිසාය. කෙසේ නමුත් සිය සහයෝගය සඳහා හිලව් වශයෙන් ඉන්දියාවට ද මිලක් ඇත. කොලඹ බීජීනයෙන් ඈත්වීම ඉන්දියාවේ ද අවශ්‍යතාවකි. තම මැතිවරන ව්‍යාපාරය තුල දී මෝඩි හා අනෙකුත් බීජේපී නායකයෝ, චීනය සම්බන්ධයෙන් මෘදු පිලිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් කොන්ග්රස් ආන්ඩුවට චෝදනා කල අතර තමන් වඩා ආක්රමකාරී ප්‍රතිපත්තියක් අනුයනු ඇති බවට ඉඟි කලහ.
1999-2004 කාලයේ මීට පෙර බීජේපීය නායකත්වය දුන් ආන්ඩුව යටතේ ඉන්දියාව එක්සත් ජනපදය සමග වර්ධනය කල වඩා කිට්ටු සම්බන්ධතා කොන්ග්රසය නැවත පත්වීමත් සමග තවත් ඉදිරියට ගියේ ය. “හැරීමේ” කොටසක් ලෙස ඔබාමා පාලනාධිකාරය මෝඩිගේ ආන්ඩුව යටතේ ඊටත් වඩා කිට්ටු සම්බන්ධකම් වර්ධනය කර ගැනීමට උනන්දුවෙන් සිටියි.
13වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ගැන මෝඩිගේ අවධාරනය ප්‍රසිද්ධ කරමින් ඉන්දීය විදේශ ලේකම් සිං නිකුත් කල ප්රකාශනය, රාජපක්ෂ ආන්ඩුව අපහසු තාවට පත්කර ඇත. කැබිනට් අමාත්‍ය හා ආන්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නිමල් සිරිපාල ද සිල්වා මාධ්‍ය සමුලුවකට මෙසේ පැවසී ය: “අප යටත් කිරීමට කිසිවකුටත් හැකි වන්නේ නැත. අප රටේ අපේ ම ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීම අපගේ වගකීම යි.”
ආන්ඩුව තුල ම සිටින කොටස් ද ඇතුලු සිංහල වර්ගවාදීන් අස්වැසීම සිල්වාගේ ප්‍රකාශයෙහි අරමුන විය. ආන්ඩුව ඉන්දියාව සමග රාජ්‍යතාන්ත්‍රික “ගැටුමක්” ආරම්භ කිරීමට සූදානමක් නැති බව ද ඒ වහා ම ඔහු පැවසීය.
මානව හිමිකම් හා යුද අපරාධ පිලිබඳව වොෂින්ටනයෙන් එල්ලවන වැඩිවෙන පීඩනයට කොලඹ ආන්ඩුව මුහන දී සිටියදී, මෝඩිගේ ආන්ඩුව එහි ඉල්ලීම් දැඩි කරනු ඇතැ යි රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව පැහදිලිව ම කනස්සල්ලට පත්ව සිටියි.
Follow us on