යුදෙව් විරෝධය හා රුසියානු විප්ලවය - පලමු වන කොටස

Anti-Semitism and the Russian Revolution- Part one

ක්ලාරා වයිස් විසිනි, 2014 අපේ‍්‍රල් 29

වසර පහකට පෙර බර්ලින් මෙට්‍රොපෝල් වර්ලැග් ප‍්‍රකාශන ආයතනය, උල්ර්ච් හර්බෙක් විසින් රචිත Das Feindbild vom „jüdischen Bolschewiken “ : Zur Geschichte des russischen Antisemitismus vor und während der Russischen Revolution, (“යුදෙව් බොල්ශෙවිකයන්ගේ” අමාරුකාරයා: රුසියානු විප්ලව සමය හා ඊට පෙර රුසියානු යුදෙව් විරෝධයේ ඉතිහාසය ගැන) (1) නම් ඓතිහාසික අධ්‍යයනයක් පල කලේ ය. එම කෘතිය සාර් රජ යුගයේ පටන් සිවිල් යුද්ධය අවසන් වූ 1922 දක්වා සමය තුල රුසියානු යුදෙව් විරෝධයේ ඉතිහාසයට අවධානය යොමු කරයි.

මෙම අධ්‍යයනය යුදෙව්-විරෝධය හා විසිවන ශතවර්ෂයේ සමාජවාදී කම්කරු ව්‍යාපාරයට එරෙහි ප‍්‍රතිගාමිත්වය අතර සමීප ඓතිහාසික සබඳතාව හෙලිදරවු කරයි. දෛනික හා විශේෂඥ මාධ්‍යය තුල බොහෝ සෙයින් නො සලකා හැර ඇති හර්බෙක්ගේ අධ්‍යයනය 1918 සිට 1922 දක්වා සිවිල් යුද්ධයේ දී සෝවියට් ආන්ඩුවට විරුද්ධව අධිරාජ්‍යවාදී බලවතුන් පාදක කරගත් ෆැසිස්ට් බලවේගයන්හි ඉතිහාසය ලේඛනගත කරයි. මෙම බලවත්තු දෙවන ලෝක යුද්ධයේ දී නාසීන් සමග සහයෝගී වූහ. එක්සත් ජනපදය හා ජර්මනිය අද යුක්රේනය තුල සිය අධිරාජ්‍යවාදී සංහාරය පදනම් කරන්නේ එම බලවේගයන්හි දේශපාලනික උරුමක්කාරයින් මත ය.

1917ට පෙර රුසියානු යුදෙව්-විරෝධය

දහනව වන ශතවර්ෂයේ ආරම්භයේ පටන් සාර්වාදී රාජ්‍ය තන්ත‍්‍රය තුල යුදෙව්-විරෝධය, බුද්ධි ප‍්‍රබෝධයට හා ප‍්‍රන්ස විප්ලවයට එරෙහි දේශපාලන ප‍්‍රතිගාමිත්වය සමග බැඳී තිබුනි. ප‍්‍රන්ස විප්ලවය ප‍්‍රථම වරට ප‍්‍රන්සය තුල හා නැපෝලියන් විසින් පසුව යටත් කරගත් භූමි ප‍්‍රදේශ තුල යුදෙව්වන්ට පූර්න ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් ප‍්‍රදානය කිරීමට මග හෙලි කලේ ය. “යුදෙව්-මැසෝනික් කුමන්ත‍්‍රනයක්” ය යන 1789 විප්ලවයට පිටුපසින් පැවති න්‍යාය සාර්වාදී පාලක කවයන් හා රුසියානු සාම්ප‍්‍රදායික පල්ලිය දැඩිව වැලඳ ගත්තේය.

යුදෙව්වන්ට එරෙහි රාජ්‍ය වෙනස්කම් කිරීම ආර්ථික සාධක තුල ද මුල් ඇද තිබිනි. දහඅට වන ශතවර්ෂයේ වැඩි කාලයක් පුරා යුදෙව්වන් රුසියාවට ඇතුල් වීම තහනම් කර තිබුනි. එහෙත් මහා කැතරින් (රැජින) 1791 දී යුදෙව්වන්ට රුසියාවේ පදිංචි වීමට අවසර දෙන ආඥාවක් නිකුත් කල ද ඔවුන්ට මොස්කෝවේ පදිංචි වීම තහනම් විය. එම පිලිවෙත ප‍්‍රධාන කොටම සැලසුම් කරන ලද්දේ මොස්කව්හි වෙලෙන්දන්ට තර්ජනයක් ලෙස සැලකුනු යුදෙව් වෙලෙන්දන්ගෙන් එල්ල වන තරගය වැලැක්වීමට ය. ඒ අනුව යුදෙව්වන්ට සුවිශේෂී වසයෙන් නම් කරන ලද “සීමා කරන ලද (දිස්ත‍්‍රික්ක) ජනපද” තුල ජීවත් වීමට බල කෙරුනි. 1794 පටන් රටේ අනෙක් පුරවැසියන් මෙන් දෙගුනයක බදු ඔවුන්ගෙන් අයකර ගන්නා ලදී.

ඔවුන්ගේ සමාජ-ආර්ථික තත්ත්වයේ විශාල පරිවර්තනයක කොටසක් ලෙස, ප‍්‍රධාන වසයෙන් 1870 ගනන්වල දී යුදෙව්වෝ රුසියාවේ විප්ලවවාදී ව්‍යාපාරය සමග සම්බන්ධ වූහ. යුදෙව්වන් ජනතාවගේ හතුරන් ලෙස සැලකීමට හේතුවූ සාධක පිටුපස පැවති සමාජ කොන්දේසිවලට හර්බෙක් යොමු කරන්නේ අඩු අවධානයකි. එහෙත් යුදෙව්-විරෝධය හා එහි දේශපාලන භූමිකාව අවබෝධ කරගැනීමට ඒ දේ අතිමූලික ය.

හර්බෙක් අවාසනාවන්ත ලෙස උපුටා දැක්වීමට අසමත් වන, යුදෙව් ප‍්‍රශ්නය පිලිබඳ ට්‍රොට්ස්කිවාදී ඒබ‍්‍රහම් ලියොන්ගේ විචක්ෂන අධ්‍යයනයේ දී ඔහු සාර්වාදී අධිරාජ්‍යය තුල යුදෙව් ජනයාගේ සමාජ තත්ත්වය කෙරෙහි 1863 ඉඩම් ප‍්‍රතිසංස්කරනවලින් පසු ධනවාදයේ ඇතිවූ වර්ධනය කෙසේ බලපෑවේ ද යන්න අවධාරනය කරයි. වැඩවසම් සමයේ යුදෙව් ජනයාගෙන් බහුතරය වෙලෙන්දන් හා අත්කම් ශිල්පීන් ලෙස කටයුතු කලහ. ජනගහනයේ වඩාත් ම පීඩිත ජන කොටසක් බවට ඉක්මනින් ම පත්වූ යුදෙව් ශිල්පීන් විශේෂයෙන් ම ක්ෂනික නිර්ධනීකරනයකට භාජනය කිරීමට ධනවාදය හේතු විය.

දහස් ගනන් යුදෙව්වන්ට ඔවුන්ගේ කුඩා නගර හා ගම්මාන අතහැර විශාල නගරවලට සංක‍්‍රමනය වීමට බල කෙරුනි. ඔවුන්ගේ සමාජ පරිහානිය මගින් බටහිර යුරෝපයට හා එක්සත් ජනපදයට මහා පරිමානයෙන් සංක‍්‍රමනය වීමට බල කෙරුනි. 1870 ගනන්වල දී සාමාන්‍යයෙන් ගමේ සිට නගර කරා විතැන් වීම සමග සිය ගම්බිම් හැර ගියේ 8,000 සිට 10,000ක් දක්වා වූ යුදෙව්වන් පිරිසක් වුව ද 1881 හා 1914 අතර නැගෙනහිර යුරෝපයේ සිට පිටරටවලට සංක‍්‍රමනය වූ යුදෙව්වන් ගනන වසරකට 50,000-60,000 සිට 150,000-160,000 ප‍්‍රමානයක් දක්වා නැගුනි (2).

1881 පටන් යුදෙව්-විරෝධී සංහාර යලි යලිත් ක‍්‍රියාත්මක විය. ඒවා අවලුවන ලද්දේ තුන්වන සාර් ඇලෙක්සැන්ඩර් ඝාතනයට වගකිව යුත්තේ “යුදෙව් විප්ලවවාදීන්” ය යන කටකතාව මගිනි. 1887 පටන් යුදෙව්වන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා සීමා විය. කීයෙව්, මොස්කව් හා ඔරෙල් වැනි ප‍්‍රධාන නගරවලින් ඔවුන් තොග පිටින් නෙරපා හැරීම ද ඒ හා සමග ඇරඹුනි.

රුසියාවේ හා බටහිර යුරෝපයේ සමාජවාදී ව්‍යාපාරය ඒ සමයේ දී යුදෙව්-විරෝධය දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කරන ආස්ථානයක් ගත්තේ ය. කම්කරුවන් ද විශේෂයෙන් ම ගොවීන් ද ඇතුලු සාර්වාදී අධිරාජ්‍යයේ සෑම තරාතිරමකම සමාජ ස්ථරයන් අතර යුදෙව් විරෝධය පැතිරී තිබුනේ යයි හර්බෙක් යලි යලිත් අවධාරනය කරනු ලැබුව ද ඔහු එම ප‍්‍රපංචය විස්තර නො කරයි. 1880 ගනන්වල දී තවමත් තාරුන්‍යයේ පසුවූ රුසියානු කම්කරු පන්තිය පැවත ආවේ ගොවීන් අතරින් ය. පහල මධ්‍යම පන්තීන් හා ගොවීන් අතර වැඩවසම් යුගයේ පැවති යුදෙව්-විරෝධී අගතීන් තවමත් බලපැවැත්වූ අතර වෙලෙන්දන්, පොලීකාරයින් හා පුහුනු ශිල්පීන් ලෙස යුදෙව්වන්ගේ සමාජ තත්ත්වය නිසා ඔවුන්ට නිතරම පාහේ සලකන ලද්දේ පොලීකරුවන් හා පිලිකෙව් කල යුතු තරගකරුවන් ලෙස ය.

වේගයෙන් වර්ධනය වන, ආන්තිකව පරිපීඩිත කම්කරු පන්තිය හා කෲර ලෙස සූරාකෑමට ලක්වන ගොවීන්ගේ කෝපය වෙනතකට හරවා එය යුදෙව්වන්ට එරෙහිව යොමු කිරීමට සාර්වාදය, ශතවර්ෂ ගනන් පැරනි මෙම අගතීන් ගසා කෑවේ ය. 1903 දී කිෂිනෙව් සංහාරය පිලිබඳව “කිෂිනෙව් සංහාරය සහ යුදෙව් ප‍්‍රශ්නය” නම් ලිපියක් ලියූ කාල් කෞට්ස්කි යුදෙව්වන්ගේ විමුක්තිය විප්ලවීය කම්කරු ව්‍යාපාරයේ සාර්ථකත්වය මත රැඳී පවතින බව අවධාරනය කලේ ය.

එහෙත් විප්ලවවාදී මනෝගතීන් හා විමුක්තිය ලබාගැනීමේ අභිලාෂය සහිත යුදෙව්වන්ගේ අවශ්‍යතා අතර මෙම සමීප සම්බන්ධය සමහර වෙනත් ආන්ඩුවලින් මෙන් රුසියානු ආන්ඩුවේ අවධානයෙන් ගිලිහී නො තිබිනි. එබැවින් විප්ලවවාදී ප‍්‍රවනතාවන් තරමට ම යුදෙව්වන්ට ද වෛර කරන හා පීඩා කරන ආන්ඩුව සාමාන්‍ය ජනයා අතර යුදෙව්වන් කෙරෙහි වෛරය ඇවිස්සීමට හා ඇවිලවීමට තමන්ගේ බලය යටතේ හැකි සෑම දෙයක් ම කලේය. පාලකයින් මෙම වෛරය පැතිරවූයේ හා රැකගත්තේ හුදෙක් ජනතාවගේ ජීවිතය නව අර්ථයකින් පුරවාලන කිසිදු ආකාරයක ප‍්‍රබෝධයක් අහිමි කිරීම සඳහා පමනක් නොවේ: යුදෙව්වන් හා යුදෙව් නො වන ජනයා අතර මොනම සම්බන්ධතාවකට හෝ බාධා කල එම ආන්ඩුව, ඔවුන් අතර සම්මිශ‍්‍රනය වලක්වමින් යුදෙව්වන් මානව ප‍්‍රජාවෙන් පිටස්තර බවත් ඔවුන්ට අයිතිවාසිකම් හිමි නැති බවත් ඕනෑම කෙනෙකුට නතු කරගත හැකි බවත් ජනයාට ඒත්තු ගැන්වීය.

මහජනයා වේදනාවට හා අතෘප්තියට ඇද දමනු ලැබ එම පීඩාවන් ප‍්‍රචන්ඩ ලෙස පිපිරී යන තත්ත්වයට ගමන් කරන කල සාර්ගේ අන්තේවාසිකයෝ එම පිපිරීම් යුදෙව් ආගම වෙතට යොමු කලහ. ඒකාධිපතිත්වයේ හිස්වලට ඉහලින් එක්රැස් වන කුනාටුවල අකුනු යෂ්ටිය ලෙස යුදෙව්වන් භාවිතා කලහ. රුසියානු අධිරාජ්‍යය තුල අවසර දෙන ලද එකම මහජන ව්‍යාපාරය වන්නේ යුදෙව්වන්ට හිංසා පීඩා කිරීම, ඔවුන් කොල්ල කෑම හා මරා දැමීම යි.

සාර් නිකොලොස් II

සමාජ පෙරලිකාරීත්වයේ මෙම අවධිය තුල පරිනාමය වුනු වෛරයේ බීජයක් ලෙස “යුදෙව් විප්ලවවාදය,” සමාජවාදී ව්‍යාපාරයට එරෙහිව සාර්වාදය විසින් යොදාගත් වැදගත් ආයුධයක් වීම අහම්බයක් නො වේ. 1905 විප්ලවයේ අවධිය වනවිට යුදෙව්වන් දඩමීමුන් ලෙස යොදා ගැනීම ජනතාව අතර තදින් මුල්බැස තිබුනි. හර්බෙක් මෙම සිද්ධීන් දෙක අතර සම්බන්ධය අවධානයට ලක් නො කලත් එය අතිශය වැදගත් කාරනයකි.

1905 දී ප‍්‍රථම වතාවට කම්කරු පන්තිය විප්ලවයක නායක භූමිකාව හිමිකර ගත්තේ ය. 1871 පැරිස් කොමියුනය මර්දනයෙන් ඉක්බිත්තේ හටගත් එම වසරේ සිද්ධීන්, සන්ධිස්ථානයක් සලකුනු කලේය. ජර්මනිය, බෙල්ජියම හා ප‍්‍රන්සය ඇතුලුව යුරෝපය පුරා හඹාගිය මහ වැඩවර්ජන හා විප්ලවවාදී අරගල රැල්ලක් එම සිදුවීම් සමගින් ආරම්භ විය. පෙට්රොග‍්‍රෑඩයේ ප‍්‍රථම සෝවියට් සභාවට තෝරා පත්කර ගත් නායකයා වූ ලියොන් ට්‍රොට්ස්කි, 1917 ඔක්තෝබර් විප්ලවයේ දී බොල්ශෙවිකයන්ගේ ඉදිරිදර්ශනය තීන්දු කල නො නවතින විප්ලව න්‍යාය ඉදිරිපත් කලේ ද එම වසරේ (1905) දී ය.

කම්කරුවන්ගේ හා ගොවීන්ගේ විප්ලවවාදී ව්‍යාපාරයට සාර් තන්ත‍්‍රය ප‍්‍රතිචාර දැක්වූයේ, කෝපාවිෂ්ට යුදෙව්-විරෝධී ප‍්‍රචාරයකින් හා අන්ත දක්ෂිනාංශික සංවිධාන හමුදාවට බඳවා ගැනීමෙනි. කුප‍්‍රකට “සියොන් වැඩිහිටියන්ගේ සිරිත් විරිත්” යන කෘතිය සාර්වාදී ආන්ඩුව පුලුල් හා ක‍්‍රමානුකූල ලෙස පතුරුවා හැරියේය. ශතවර්ෂයේ මුවවිටදී සර්ජි නයිල්ස් විසින් ලියන ලද “සිරිත් විරිත්” කෘතිය, ක‍්‍රිස්තියානි දහමට විරුද්ධ “යුදෙව් කුමන්ත‍්‍රනයක්” පිලිබඳ න්‍යායයක් හා ආසන්න මහා ව්‍යසනයක තර්ජනයක් ඉස්මතු කලේ ය. එම කෘතිය පසුව නාසීන් විසින් ද සිය ප‍්‍රචාරන කටයුතු සඳහා භාවිතා කලේය. හුදෙක් වඩාත් ම ප‍්‍රතිගාමී පුද්ගලයෙක් ලෙස පමනක් නොව වඩාත් ම මුග්ධ පාලකයෙක් ලෙස ද ඉතිහාසයේ පතුලට යාමට නියමිතව සිටි දෙවන සාර් නිකොලොස් “සිරිත් විරිත්” කියවීමේ දී පසුව පහත දැක්වෙන ආන්තික සටහන ලීවීය.

චින්තනයේ කොතරම් නම් ගැඹුරක් ද! කොතරම් දුරදැක්මක් ද! වැඩපිලිවෙල ක‍්‍රියාවට දැමීමේ දී කොතරම් නිරවද්‍ය බවක් ද! අපගේ 1905 සිදුවීම් මෙහෙයවූයේ මෙම වැඩිහිටියන් විසින් යයි පෙනෙන්නට ඇතත් එය අවසන් වී ඇත. සත්‍ය වශයෙන්ම ඔවුන් පැවැත්නා බව ගැන කිසිදු සැකයක් තිබිය නො හැක. සෑම තැන ම යුදෙව් ආගමේ ඉදිරිපෙලේ විනාශකාරී හස්තය පවතී (3).

1905 ඔක්තෝබරයේ පෙට්රොග‍්‍රෑඩ් සෝවියට් සභාව විසින් නායකත්වය දෙන ලද මහා වැඩවර්ජනයට සාර් ප‍්‍රතිචාර දැක්වූයේ, 1905 විප්ලවය පිලිබඳ සිය ලේඛනයන්හි එක් පරිච්ඡේදයක ලියොන් ට්‍රොට්ස්කි පසුව විස්තර කල පරිදි, සාර් තම ආන්ඩුවට යුදෙව්-විරෝධී සංහාරයන්ට පෙලඹවීම් කර දිරිමත් කිරීම සඳහා උපදෙස් දීමෙනි. ආසන්න වසයෙන් නගර 50 පමන කැරලි හටගැනුනු අතර යුදෙව්වන් දහස් ගනනක් ඝාතනය කෙරුනි (4). 1905 ඔක්තෝබරය හා 1906 අපේ‍්‍රල් මාසය අතර පමනක් 48,000කගේ ජීවිත බිලිගත් ප‍්‍රතිවිප්ලවයේ ආරම්භය මෙම සංහාරයන් මගින් සනිටුහන් කලේය (5).

1905 විප්ලවය සමයේ බ්ලැක් හන්ඩ‍්‍රඩ් (කලු සියය) ව්‍යාපාරයේ පෙලපාලියක්

පසුව එලැඹුනු වසර කිහිපයේ, රුසියානු ජනතා සංගමය (SRN—Soyuz Russkovo Naroda) වැනි ගනන් නැති යුදෙව්-විරෝධී සංහාරවල නිරත වුන “බ්ලැක් හන්ඩ‍්‍රඩ් ව්‍යාපාරයේ” දක්ෂිනාංශික පක්ෂ සාර්වාදී තන්ත‍්‍රය විසින් දිරිමත් කලේ ය. ඊට අමතරව, ආන්ඩුවේ ප‍්‍රවෘති බලධාරීන් විසින් අනුමත කරන ලද, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පාර්ශවීය වසයෙන් අරමුදල් සැපයූ යුදෙව්-විරෝධී ලියවිලිවල පිටපත් මිලියන 14.3කට වැඩි ප‍්‍රමානයක් 1905 හා 1916 අතර බෙදාහරින ලදී (6).

අන්ත දක්ෂිනාංශය සමීපව සබඳතා පැවැත්වූ රුසියානු සාම්ප‍්‍රදායික පල්ලිය (Orthodox Church) එලිපිටම යුදෙව්-විරෝධී ප‍්‍රචාරනයේ යෙදුනි. 1908 දී සයිනොඩ් නිකාය, පූජකයන් එස්ආර්එන්හි සාමාජිකත්වය ලබාගැනීම ප‍්‍රසිද්ධියේම අනුමත කලේ ය. එස්ආර්එන්හි කටයුතු වලට ආශීර්වාද කිරීම සඳහා සයිනෝඩය ප‍්‍රාදේශීය රදගුරුවරුන්ට ආරාධනා කරන ලදී (7).

1911 සිට 1913 දක්වා, එනම්, පලමු ලෝක යුද්ධයේ මුවවිට දී, කුප‍්‍රකට බෙයිලිස් නඩුව විභාග කරන ලදී. පල්ලියේ හා බ්ලැක් හන්ඩ‍්‍රඩ් ව්‍යාපාරයේ බලපෑම යටතේ මැන්හෙම් මෙන්ඩල් බෙයිලිස් නම් යුදෙව් කම්කරුවෙකුට විරුද්ධව නිශ්චිත සාක්ෂි නැති තතු යටතේ පවා 12 හැවිරිදි රුසියානු පිරිමි ලමයෙකු ඝාතනය කලේ යයි චෝදනා ගොනු කෙරුනි. නඩුව අවසානයේ බෙයිලිස් නිදහස් කරනු ලැබුව ද උසාවිය, ව්‍යාජ-නෛතික තර්ක යොදාගනිමින් යුදෙව්වන්ට එරෙහි අගතීන්ගේ හා වෙනස්කම් කිරීමේ නරක ම තත්වයකට ඉඩ සැලසූ, චාරිත‍්‍රානුකූල ඝාතනයට ඔහුගේ සම්බන්ධය පිලිබඳ සැකය තහවුරු කලේය.

රුසියානු සොල්දාදුවන් මිලියන 2ක් ඝාතනයට ලක්ව තවත් මිලියන 5ක් තුවාල ලද පලමු ලෝක යුද සමය තුල රාජ්‍ය අනුග‍්‍රහය සහිත යුදෙව්-විරෝධය නව මුදුනකට ලඟා විය. රුසියානු හමුදා නායකත්වය, යුද්ධය කෙරෙහි සොල්දාදුවන් හා සාමාන්‍ය ජනයා අතර වැඩෙන විරුද්ධත්වය, දක්ෂිනාංශික මාවත් ඔස්සේ අපසරනය කිරීම සඳහා දැනුවත් පිලිවෙතක් අනුගමනය කලේ ය.

හර්බෙක් මෙසේ සටහන් කරයි: “යුදෙව්වන්ට එරෙහි චර පුරුෂ චෝදනා හා ඒ යටතේ නඩු ඇසීම්, යුදෙව් ජනයා ප‍්‍රාන ඇපයට ගැනීම්, යන්තම් පැය 24ක පූර්ව දැනුම් දීමකින් පසුව යුද පෙරමුනට සමීප ප‍්‍රදේශවලින් යුදෙව්වන් පලවාහැරීම් සහ අවසානයේ ඔවුන් සංහාරය කිරීම, හමුදා නායකත්වයේ යුදෙව්-විරෝධී පිලිවෙත්වල ප‍්‍රකාශනය හා විපාකය විය” (8). 1916 වනවිට මිලියන 3.3ක ජනකායක් ඔත්තු බැලීමේ චෝදනා යටතේ බලහත්කාරයෙන් පලවාහැර තිබුනු අතර ඊට යුදෙව්වන් 600,000ක් ඇතුලත් විය (9).

ඒ අතර වැඩි වසයෙන් කොසැක්වරුන්ගෙන් සැදුම්ලත් මිලිටරි ඒකක විසින් ගිනිය නො හැකි ප‍්‍රචන්ඩ ක‍්‍රියා සිදු කරන ලදී: “සංහාරයන් කොල්ලකෑම්වලට සීමා නො වීය. වැරදි යයි සලකන ලද හැසිරීම සඳහා චූදිතයන්ට නිතර ‘දඬුවම්’ කරන ලදී. ඔවුන්ට පරිභව කොට, වධබන්ධනයට ලක්කොට, කාන්තාවන් දූෂනය කරන ලදී. බොහෝ අවස්ථාවල දී ඊට ගොදුරුවූවන් ඝාතනය කරන ලද නමුත් එම සංඛ්‍යාව පසු කාලීන සිවිල් යුද්ධයේ දී මරා දැමුනවුන් ගනනට වඩා අඩු ය” යි හර්බෙක් ලියයි. මෙම පලවාහැරීම් හා සංහාර විශේෂයෙන් බලපෑවේ ගැලීෂියාවේ, ලිතුවේනියාවේ, බෙලරුසියාවේ, යුක්‍රේනයේ හා ශතවර්ෂ කාලකට පමන පසු හොලෝකෝස්ටයේ ප‍්‍රචන්ඩත්වයට ද මුහුන පෑමට සිදුවූ පෝලන්තයේ යුදෙව්වන්ට ය.

මෙම රාජ්‍ය අනුග‍්‍රහය සහිත යුදෙව්-විරෝධය අවසානයකට ගෙනෙන ලද්දේ 1917 පෙබරවාරි විප්ලවය විසින් සාර් බලයෙන් පහ කල පසුව පමනි. සමකාලීන ලෝක යුදෙව් ජනගහනයෙන් විශාල අනුපාතයක් වූ රුසියානු යුදෙව්වන් මිලියන 6කට ප‍්‍රථම වරට පූර්න සිවිල් අයිතිවාසිකම් හිමි විය.

මතු සම්බන්ධයි.

සටහන්

1) Das Feindbild vom „jüdischen Bolschewiken: Zur Geschichte des russischen Antisemitismus vor und während der Russischen Revolution, (යුදෙව් බොල්ශෙවිකයන්ගේ” අමාරුකාරයා: රුසියානු විප්ලව සමය හා ඉන් පසුව රුසියානු යුදෙව්-විරෝධයේ ඉතිහාසය ගැන), බර්ලින්, 2009

2) ආබ‍්‍රහම් ලියොන්, Die jüdische Frage. Eine marxistische Darstellung, යුදෙව් ප‍්‍රශ්නය: මාක්ස්වාදී අර්ථදැක්වීමක්, (එසන්, 1995,* පිටුව -137

3) හර්බෙක්, 2009, 157 පිටුව

4) එම., 60 පිටුව

5) මැන්ෆ්‍රෙඞ් හිල්ඩමේයර්: Die Russische Revolution 1905-1921 (රුසියානු විප්ලවය 1905-1921*, ෆ්රැුන්ක්ෆර්ට් ඇම් මේන්, 1988, 90 පිටුව.

6) හර්බෙක්, 2009, 62 පිටුව

7) එම., 64 පිටුව

8) එම., 91-92 පිටු

9) එම., 93 පිටුව

10) එම., 96 පිටුව

Share this article: