ශ්‍රී ලංකා ජනාධිපති මැතිවරන අයවැයක් ගෙන එයි
Sri Lankan president brings down election budget
සමන් ගුනදාස විසිනි, 2014 ඔක්තෝබර් 30
රටෙහි මුදල් ඇමති ද වන ජනාධිපති මහින්ද රාජපක්ෂ, පසුගිය සිකුරාදා 2015 සඳහා අයවැය ඉදිරිපත් කරමින්, ඉක්මන් ජනාධිපතිවරනයකට තම සූදානම නිසැක බව ප්‍රකාශ කලේය. මැතිවරනය අවසානයේ අතුගා දැමෙන හිස් පොරොන්දු ගනනාවකින් එය සමන්විතය.
තම ධුරකාලය අවසන් වන්නට වසර දෙකකට පෙර, එනම් ලබන ජනවාරියේදී ජනාධිපතිවරනයක් පැවැත්වීම සඳහා යාන්තමින් වසන් කල සැලසුම් අනුව යමින්, රාජපක්ෂ අයවැය කතාව සති කීපයකින් පෙරට ගත්තේය. 2022 දක්වා තනතුරෙහි රැඳී සිටීමේ ඉලක්කය අනුව තුන්වන වතාවටත් ඉදිරිපත් වීමට ඔහු සැලසුම් කරයි.
රාජපක්ෂගේ මෙම සූදානම, නව ගෝලීය මූල්‍ය අස්ථාවරත්වය සහ සෑම ප්‍රධාන ආර්ථිකයක්ම එක දිගට පහත වැටීම සම්බන්ධව පවතින තිගැස්ම මැද, පාලන බලය මත තම ග්රහනය දැඩිකර ගැනීමේ උත්සාහයකි. දරුනු නය අර්බුදයක පැටලී ඇති කඩාවැටෙන සුලූ මෙරට ආර්ථිකය මතට දැඩි කප්පාදු වැඩපිලිවෙලක් පනවන්නට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අතිවිශාල පීඩනයක් එල්ල වෙමින් තිබේ.
තුන්වන වාරයක් සඳහා ඡන්ද දිනාගැනීම ඉලක්ක කර ඇතත්, රාජපක්ෂගේ අයවැය යෝජනා ඉතා සීමා සහිත වේ. 2006 පටන් නියම වැටුප් කැටිකිරීමක් යටතේ පැවතුනත්, රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැටුප් ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම ඔහු නොනවත්වා කර ගෙන ගියේය. ඔහු වැටුප් වැඩිකිරීම් ගනනාවක් ගැන සඳහන් කලත්, 2015 ජූලි වනතුරු, එනම් මැතිවරනයෙන් මාස හයක් ගතවන තෙක් ඒ කිසිවක් පටන් ගැනෙන්නේ නැත.
රාජ්‍ය අංශය සඳහා, අවම මාසික වැටුප රැපියල් 15,000 (එජඩො 114.50) දක්වා ඉහල දැමීමට රාජපක්ෂ පොරොන්දු වූ අතර එමගින් අවම වැටුප රුපියල් 25,000 කට ලඟා වනු ඇත. එම අගය ලබා ගැනීමටත්, දැනට ගෙවනු ලබන සියලු දීමනා (රුපියල් 7,800) එකතු කොට ඊට අමතර රුපියල් 2,200 ක ජීවන වියදම් දීමනාවක් ගෙවන ව්‍යාජයක් ඔහු යෝජනා කලේය.
ලබන වසරේ පොරොන්දු වූ වැඩිවීම ලැබෙන තුරු, සොච්චම් අස්වැසිල්ලක් ලෙස, ලබන මාසයේ සිට අතුරු දීමනාවක් හැටියට, රාජ්‍ය අංශ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට රුපියල් 3,000 හා රුපියල් 2,500 ක් පිරිනමා තිබේ.
පුද්ගලික අංශයට, වැදගැම්මකට නැති රුපියල් 500 ක ඉහලයාමක් සමග, රුපියල් 10,000 ක අවම වැටුපක් යෝජනා කලේය. පුද්ගලික අංශ සේවකයන්ගේ විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලට සේව්‍යයාගේ දායකත්වය, යාන්තම් සියයට 2 කින්, ඉහල නංවන්නට ඔහු යෝජනා කලේය.
මෙම යෝජනා වැඩකරන ජනතාවගේ තත්වය තවත් පහත හෙලනු ඇත. 2012-13 සඳහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දියත් කල ගෘහස්ත ආදායම් හා වියදම් සංගනනයේ නිගමනය වූයේ මූලික මාසික වියදම පියවා ගන්නට පුද්ගලයන් 4 කින් සමන්විත පවුලකට රුපියල් 41,444 ක් අවශ්‍ය බවයි.
රාජපක්ෂ, දුම්රිය කම්කරුවන්ගේ වැටුප් විශමතා විසඳා දීමටද තැපැල් සේවකයන්ට සහ ගුරුවරුන්ට සහනදායී ක්‍රමයක් යටතේ නය සහ යතුරු පැදි ලබාදෙන බවටද පොරොන්දු විය. මීට ඉහතදී දැනූම් දුන් තෙල්, ගෑස් සහ විදුලිබිලෙහි සුලු අඩුකිරීම් වලට අමතරව, අයවැයෙන් වතුර බිල ද සොච්චමකින් පහල දැමීය. පසුගිය වසරේදී මෙම මිල ගනන් උග්‍ර ලෙස ඉහල දැම්මේ ද රාජපක්ෂ ආන්ඩුවමය.
ගොවියන් සඳහා වී සහතික මිලෙහි හා පොහොර සහනාධාරයේ සුලු ඉහලදැමීමක් ද ඇත්තටම අක්‍රීයව පවතින විශ්‍රාම වැඩපිලිවෙලට අරමුදල් සැපයීමට ද. රාජපක්ෂ යෝජනා කලේය.
වෙනත් පොරොන්දු අතර, කොල්ලකාරී බහුජාතික සමාගම් විසින් හඳුන්වා දෙන විෂ කෘෂි රසායනිකවල ගොදුරු බවට පත්ව සිටින බොහොමයක් දුගී ගොවීන් වන වකුගඩු රෝගීන් සඳහා රුපියල් 3,000 ක මාසික ගෙවීමක් ඇතුලත් විය.
විශ්ව විද්‍යාල සහ කාර්මික විශ්ව විද්‍යාල සිසුනට කුඩා දීමනාවක් හෝ දීමනා ඉහල දැමීමක් ද ලබා දී තිබේ. මේවා, අඩු පහසුකම්වලට සහ නිදහස් අධ්‍යාපන ක්රමයේ සෝදාපාලුවට එරෙහිව නිරන්තර විරෝධතාවල නියැලෙන සිසුනට ලබා දුන් කැරට් අල බව පැහැදිලිය.
පසුගිය මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල විසර්ජන පනතින් අධ්‍යාපනය සඳහා, 2014 ට වඩා සුලු ප්‍රතිපාදන ඉහල දැමීමක් සහිතව රුපියල් බිලියන 88 ක් වෙන් කර තිබේ. මිලිටරිය හා පොලීසිය සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 290 හා සැසඳීමේදී, අධ්‍යාපනයට හා සෞඛ්‍යයට යන සමස්ත වියදම් වෙනුවෙන් වෙන් කර ඇති රුපියල් බිලියන 137 ඉතා කුඩා අගයකි.
2015 සඳහා වෙන්කල සමස්ත ඇස්තමේන්තුගත වියදමින් සියයට 16 කට නොඅඩු ප්‍රමානයක් හමුදා සහ පොලීසි සඳහා වෙන් කොට ඇත. මෙය, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි වර්ගවාදී යුද්ධයේ අවසන් වසරේදී, එනම් 2009 දී වෙන් කල මුදලට වඩා රුපියල් බිලියන 90 කින් වැඩිය. මේ දැවැන්ත ආරක්ෂක අයවැය, කම්කරු පන්තියෙන් එල්ලවන කිසියම් හෝ විරෝධතාවක් මැඩපවත්වන්නට මැතිවරන සූදානම පිටුපසින් සකස්වෙමින් ඇති රුදුරු සැලසුම් පිලිබඳ නිසැක සංඥාවකි.
රටෙහි සමස්ත නය දැන් රුපියල් ටි්රලියන 7.19 ඉක්මවා තිබෙන අතර රජය වැඩි වැඩියෙන් ඉහල පොලී අනුපාතයන්ට යටත්ව නය ලබා ගනිමින් සිටිද්දී, 2016 දී අයවැය හිඟය දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 3.8 දක්වා අඩුකර ගත යුතු බවට වන ජාමූ අරමුදලේ ඉල්ලීමට රාජපක්ෂ මුහුන දිය යුතුය. වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් තුලට තවදුරටත් කඩාවදින බව එහි අර්ථයයි.
නය ආපසු ගෙවීම් එකතුව රුපියල් බිලියන 840 ක් වීමත් සමග, වර්තමාන අයවැය හිඟය රුපියල් බිලියන 521 ක් වේ. 2015 සඳහා දල නය ලබාගැනීම අති විශාල රුපියල් බිලියන 1,780 කි.
තම ඡන්ද පදනම සියයට 21 කින් ඇදවැටුනු පසුගිය මස පැවැත් වූ ඌව පලාත් සභා මැතිවරනයේදී මුහුනදුන් සැලකිය යුතු පරාජයට පසු, ජනාධිපතිවරනය ජය ගැනීම සඳහා රාජපක්ෂගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-ප්රමුඛ ආන්ඩුව මංමුලා සහගත උත්සාහයක නිරතව සිටී.
ඒ සමගම, මහා ව්‍යාපාර දිගටම හොඳින් රැක බලා ගන්නා බව රාජපක්ෂ පැහැදිලි කලේය. ආයතනික බදු සහනාධාර පවත්වාගෙන යන අතර දීර්ඝ කර තිබේ. “ව්‍යාපාරික ප්‍රජාව” බදු ගනුදෙනු “වර්ධනය සඳහා යහපත්” යයි සාදරයෙන් බාර ගත් බවට සන්ඬේ ටයිම්ස් වාර්තා කලේය.
විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ප්‍රකාශකයෙක් වන එරාන් වික්‍රමරත්න, ඡන්ද දායකයන් අමනාප නොකර ගනිමින්, අයවැය ඉතා ලිහිල් ආකාරයට විවේචනය කලේය. රාජපක්ෂගේ 10 වන අනුක්‍රමික අයවැයෙන් ආර්ථිකය දුවවන නවතාවයකින් යුතු යෝජනා කිසිවක් අඩංගු නොවන බවට කනගාටුවෙන් ප්‍රකාශ කලේය.
පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සේම, වෙලඳපොල-ප්රමුඛ ප්‍රතිව්‍යුහගතකිරීම් ක්‍රියාත්මක කිරීම් ගැන දිගු වාර්තා සහිත එජාපය ද මහා ව්‍යාපාර ගැති පක්ෂයකි. ”නවතාවයකින් යුතු යෝජනා” නොමැති වීම සම්බන්ධව වික්‍රමරත්නගේ යොමුවීම, රට මුහුන පාන අස්ථිර ආර්ථික අනාගතය හා කම්කරුවන් මත නව බර පැටවිය යුතු බවටත් ආයතනික කවවල පවතින මනෝගතිය පෙන්නුම් කෙරේ.
දිවයිනෙහි ප්‍රධාන ව්‍යාපාරික කන්ඩායම්වලින් එකක් වන ලංකා වානිජ මංඩලය වඩාත් කෙලින් කථා කරයි. ආර්ථික “පරිවර්තනය” සාක්ෂාත් කරගැනීමට, “සහනාධාර හා සුභසාධක කටයුතු මත වර්තමානයේ යොදන දැඩි-අවධාරනය” අවසන් කල යුතු බව එය කියා සිටියි. පශ්චාත්-මැතිවරන වැඩපිලිවෙල ඉඟි කරමින් කරන මෙවන් ප්‍රකාශ, රාජපක්ෂ සේවය කරන පාලක ප්රභූවේ නියම හඬය.
Follow us on