සිරිසේන‐වික්‍රමසිංහ ආන්ඩුව මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් 135 ක් දොට්ට දමයි
ඩබ්ලිව්.ඒ.සුනිල් , 2015 අප්‍රේල් 18
මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්රාත්් සේවකයන් 135 දෙනෙකු මාර්තු 6 දා සිට සේවයෙන් නෙරපා ඇත. මොවුන් අතර කලමනාකාර සහකාර, පර්යේෂන සහකාර, මුදල් අයකැමි, රියදුරු ඇතුළු වෘත්තීන් ගනනාවකට අයත් සේවකයෝ සිටිති. පැවති රාජපක්ෂ ආන්ඩුවේ අවසාන භාගයේ, එනම් පසුගිය වසරේ ඔක්තෝම්බර්- නොවැම්බර් මාස වලදී ඔවුන් සේවයට බඳවා ගෙන ඇත්තේ වසරක කොන්ත්‍රාත් පදනම මත ය.
“ක්රියාකාරිත්වයන් සහ අවශ්‍යතාවයන්“ මත ඔවුන්ගේ සේවය දීර්ඝ කිරීමට සලකා බලන බව ද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්ගේ අත්සනින් යුතු ව නිකුත් කොට ඇති පත්වීම් ලිපියේ සඳහන් වේ. එහෙත් 2015 පෙබරවාරි 6 දාතමැති ලිපියක් මගින් ඔවුන්ගේ සේවය තව දුරටත් “අනවශ්‍ය“ බවත් මාර්තු 6 දා සිට බල පවත්වන පරිදි සේවය අත් හිටුවන බවත් දැනුම් දී ඇත.
2015.03.16 දාතමින් මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනයෙන් මෙම රැකියා අහිමි කිරීම සාධාරනීකරනය කෙරෙන්නේ ඊනියා යහපාලනයට මුවා වෙමින් පසුගිය ආන්ඩුවට වරද පටවමිනි. “පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ රජයේ චක්‍රලේඛන උල්ලංඝනය කරමින් විධිමත් පටිපාටියකින් තොරව තමන් පසුගිය ආන්ඩුවෙන් රැකියාවට බඳවා ගෙන තිබූ“ බැවින් ඔවුන්ගේ සේවය අවසන් කිරීමට කටයුතු කල බව නිවේදනයේ සඳහන් වෙයි. කෙසේ නමුදු මෙය දේශපාලන පලි ගැනීමක් බව දොට්ට දැමූ කම්කරුවෝ අවධාරනය කරති.
මාර්ග සංවර්ධන අධිකාරිය තුල එවන් පුරප්පාඩු නොමැති බැවින්, ඉවත් කල කම්කරුවන්ගේ සුදුසුකම් සොයා බලා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයට අයත්ව තිබූ නිපුනතා සංවර්ධන අංශයේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට සූදානම් කර තිබූ පවසන මාධ්‍ය ලේකම් දැන් එම අංශය වෙනම අමාත්‍යංශයක් යටතට ගෙන ඇති බැවින් ලැබුනු ඉල්ලුම්පත් එම අමාත්‍යංශයට යොමු කොට ඇති බව පවසමින් රැකියා අහිමිවූවන් සම්බන්ධයෙන් තම අමාත්‍යංශයට ඇති වගකීමෙන් නරුම ලෙස අත සෝදා ගනී.
රැකියා යලි ලබා ගැනීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමති කබීර් හසීම් හමු වීමට දරු උත්සාහයන් ව්‍යර්ථ වූ පසු අමාත්‍යංශයේ ලේකම්වරුන් මුන ගැසුනු කම්කරුවන්ට පවසා ඇත්තේ අදාල ගැටලුව ගැන අධිකාරිය විසින් තමන් දැනුවත් කර නැති බව යි.
යලි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා මාර්තු 2 වන දා සෙත්සිරිපායේ ගොඩනැගිල්ල තුල කම්කරුවෝ උපවාසයක් ආරම්භ කලහ. මාර්තු 5 දා මහින්ද අමරවීර, ඩිලාන් පෙරේරා, පියසේන ගමගේ, ජගත් පුෂ්පකුමාර ඇතුළු ඇමතිවරුන් කිහිප දෙනෙකු පැමින ජනාධිපති දැනුවත් කර ප්රශ්නය “විසදන“ බවට පොරොන්දු වී කපටිකමින් කම්කරුවන් ගොඩනැගිල්ලෙන් බිමට බස්සවා ඇත. එහෙත් මේ දක්වා පොරොන්දුව ඉටු වී නැත.
මාර්ග සංවර්ධන අධිකාරියේ රැකියා අහිමි වූවන්ගේ සංගමය නමින් සංවිධානයක් පිහිටුවා ගෙන ඇති රැකියා අහිමිවූ කම්කරුවෝ දැන් සෙත්සිරිපාය පරිශ්‍රයෙන් පිටත අටවා ගත් කූඩාරමක මාස දෙකකට ආසන්න කාලයක් දිවා රාත්‍රී උපවාසයක නිරතව සිටිති. ඔවුන් එදිනෙදා යැපෙන්නේ මහමග යනෙන්නන්ගේ ආධාර උපකාර මත ය.
මාර්ග සංවර්ධන අධිකාරිය තුල පවතින වෘත්තීය සමිති ඇතුලු සියලුම වෘත්තීය සමිති, මෙම අරගලය හුදකලා කොට කම්කරුවන් දුර්මුඛ කර පරාජයට ඇද දැමීමේ නරුම භූමිකාවක නිරතව සිටිති. “ඒ ගොල්ල කිසිකෙනෙක් අපිව බලන්න ආවේ නැති“ බව උපවාසයේ නිරත කම්කරුවෝ කීහ. කම්කරු පන්තියට එරෙහිව ආන්ඩුවේ උපකරන ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිතිවල මෙම ද්‍රෝහී ක්‍රියා කලාපය අරුමයක් හෝ අහම්බයක් නොවේ.
මොවුන්ගෙන් බහුතරය ගම්බද දුගී පවුල්වල රැකියා විරහිත ව සිටි තරුන තරුනියෝ ය. අවුරුදු 23-40 අතර වයස්වලට අයත් ඔවුන් අතර සාමාන්‍ය පෙල හා උසස් පෙල සමත් අය මෙන් ම උපාධිධාරීන් කිහිප දෙනෙක් ද සිටිති. ආර්ථික දුෂ්කරතා නිසා සාමාන්‍ය පෙල සහ උසස් පෙල අධ්‍යාපනයෙන් පසු පාසල් හැර ගිය මොවුන්ට වසර 5-10 හෝ ඊටත් වැඩි කාලයක් රැකියා විරහිතව කල් ගෙවා ඇත.
“අපි රක්ෂාවට ආවේ මැති ඇමති වරුන්ගේ ලිස්ට් වලින් නෙමෙයි. සම්මුඛ පරීක්ෂනවලට පෙනී ඉඳල නියමිත් සුදුසුකම් මත. ඉස්කෝලෙන් අස්වුනේ 2004 දි. අවුරුදු ගනනාවක් රක්ෂාවක් නැතිව හිටියා. සුදුසුකම් වලට අනුව විවිධ ඇබෑර්තු වලට ඉල්ලුම් කලත් පලක් වුනේ නැහැ අවුරුදු 10 කට පස්සේ මේ රක්ෂාව ලැබුනේ,“ කලමනාකරන සහකාරිනියක් ලෙස සේවය කල අගුනකොළපැලැස්සේ තරුනියක් පැවසුවා ය.
“පහුවෙලා රක්ෂාවක් ලැබුන එක ගැන ලොකු සතුටක් දැනුනා. ඒ සතුට මාස හයක් යන්නත් පෙර අපෙන් උදුරා ගත්තා. රක්ෂාවක් ලැබිල එලැඹෙන පමුවන සිංහල අලුත් අවුරුද්දේ දෙමව්පියන්ට සහ සහෝදර සහෝදරියන්ට තෑගි-භෝග අරගෙන යන්න හිටියෙ. ඒ සිහිනය බොඳවෙලා ගියා. රැකියාවක් නැතිකම නිසා මෙතන ඉන්න හුඟ දෙනෙකුගේ විවාහය ප්‍රමාදවෙලා. මම විවාහ ගිවිසගෙන හිටියේ. නමුත් දැන් විවාහ මංගල්‍යය කරන්න විදිහක් නැහැ. රක්ෂාව නැති වුන නිසා ඒක තවත් පරක්කු වෙයි,“ ඇය වැඩි දුරටත් පැවසුවා ය.
මෙම කොන්ත්‍රාත් සේවකයන්ගේ මුලික මාසික වැටුප රුපියල් 11,930 ත් 13,450 ත් අතර වේ. අතිකාල සහ සෙසු දීමනා සමග රුපියල් 30,000 හෝ 40,000 ආසන්න මාසික වැටුපක් ඔවුන්ට ලැබුනි. අර්ථසාධක සහ අනත් සහ වැන්දඹු අරමුදල් සඳහා අඩු කිරීමෙන් පසු අතට ලැඛෙන මුදල ඊට වඩා අඩු ය. ඉන් නවාතැන්, ආහාර සහ ගමන් වියම් සදහා ඔවුන් සෑහෙන මුදලක් වියදම් කල යුතු ය.
කාර්යාල කම්කරුවෙකු ලෙස සේවයේ යෙදී සිටි දිලුම් සාගර මෙසේ පැවසීය: “මම විවාහකයෙක්. මගේ වයස අවුරුදු 34 යි. දරුවෝ දෙන්නෙක් ඉන්නවා, දුව පාසල් යනවා. තව දරුවෙක් ලැඛෙන්න ඉන්නවා. බිරිඳට රක්ෂාවක් නැහැ. ලැබුන වැටුපත් ජීවත් වෙන්න මදි. සියලු ම දීමන සහ අතිකාල සමග රුපියල් 33,000 ක් පමන මාසික වැටුපක් ලැබුනේ. අඩු කිරීම් වලින් පස්සේ 25,000 ක් පමන අතට එන්නේ. ඌරුබොක්කේ ඉඳල මාතරට කිලෝ මීටර් 65 යන්න එන්න දවසකට රුපියල් 200 අවශ්‍යයි. මේ රක්ෂාව ලැබෙන්න කලින් විදුලි කාර්මිකයෙක් විදිහට එදිනෙදා වැඩකරලයි ජීවත් වුනේ.
“මේක ස්ථිර රක්සාවක් වෙයි කියල හිතේ ලොකු සතුටක් තිබුනා. අපිට ගෙයක් තිබුනේ නැහැ. ගෙයක් හදන්න පටන් ගත්තා. ඒකෙන් 1/4 වත් ඉවර කර ගන්න බැරි වුනා. දැන් ඒ ගැන හිතන්නවත් බැහැ. වෙනත් කිසිම ආදායම් මාර්ගයක් නැති අපි වගේ අයට මේ විදිහට කරන එක හරිම අසාධාරන යි. යහපාලනය යටතේ දේශපාලන පලිගැනීම් නොකරන බව කිව්වත් ඒක බොරුවක් බව දැන් තේරෙනවා. මේක ද යහපාලනය?“
Follow us on