මැග්නා කාටාව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්

The Magna Carta and democratic rights

රිචඩ් හොෆ්මාන් හා මයික් හෙඩ් විසිනි, 2015 ජූනි 15

මැග්නා කාටාවෙන් වසර 800 පසු අද දින, ජාත්‍යන්තර කම්කරු පන්තිය තම අති මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ඓතිහාසික ප්‍රහාරයකට මුහුන දී සිටී

.

එංගලන්තයේ සමාජ හා දේශපාලන වර්ධනයේ ද, අත්තනෝමතික බලයට එරෙහිව නීතියේ ආධිපත්‍යය මතුවීම තුල ද ප්‍රමුඛ ඓතිහාසික සිද්ධියක් වූ මැග්නා කාටාවේ 800 වැනි සංවත්සරය ජුනි මස 15 වන දාට යෙදී ඇත.

වර්ෂ 1215 දී ඉංග්‍රීසි වංශවත්තු, ජෝජ් රජු විසින් බලය අපයෝජනය කිරීමට එරෙහිව කැරලිගසමින්, රනිමීඩ් හි දී මැග්නා කාටා ප්‍රඥප්තියට (මහා ප්‍රඥප්තියට) එකඟවීමට රජුට බල කලහ. ඔවුන්ගේ අරගලය මුල් බැස තිබුනේ වැඩවසම්වාදී සමාජයේ හා රජුගේ දේශපාලන බලයේ පදනම් යටින් බිඳිමින් ක්‍රියාත්මකව පැවති ප්‍රගාඪ ආර්ථික ක්‍රියාදාමයන් තුල ය.

කෘෂිකර්මාන්තයේ හා භූමි ඵලදායිතාවේ වර්ධනය වෙන කිසි තැනකට වඩා එංගලන්තය තුල දියුනු මට්ටමක පැවතුනි. තවමත් බොහෝ සේ ඒවායේ ලදරු වියේ පසු වූව ද (යුරෝපා) මහාද්වීපයට වඩා ලිහිල් සීමාවන් පැවති එංගලන්තය තුල ධනේශ්වර සම්බන්ධතා වැඩවසම්වාදයේ බන්දන තුලින් මතුවෙමින් පැවතුනි.

සාරභූතවම ඉඩම් හිමියන් වූ “නිදහස් මිනිසුන්ගේ” අයිතීන් සෑහෙන තරම් පෘථුල ලෙස මැග්නා කාටාව ලැයිස්තුගත කලේය. එහි වගන්ති 63, විශේෂයෙන් ම ආර්ථික පැවත්ම, දේපල හා නීතිමය පටිපාටීන් මත රජුගේ පරම බලය කෙරෙහි සීමාවන් පැනවීය. (බ්‍රිතාන්‍ය පුස්තකාල වෙබ් අඩවියේ ඇති පරිවර්තනයේ විදහා දැක්වෙන පරිදි ) ප්‍රඥප්තිය මෙසේ ප්‍රකාශයට පත්කලේ ය: “අප හා අපගේ උරුමක්කරුවන් වෙනුවෙන් අපගේ රාජධානියේ සියලු ම නිදහස් පුද්ගලයන්ට, ඔවුන් හා ඔවුන්ගේ උරුමක්කරුවන්ට, අප හා අපගේ උරුමක්කරුවන්ට භුක්ති විඳීමට හා පවත්වා ගෙන යාමට පහත සඳහන් සියලු ස්වාධීනතා අපි සදහට ම ප්‍රදානය කර ඇත්තෙමු.”

මහා ප්‍රඥප්තිය එල්ල කෙරුනේ ඉඩම් හිමියන් විසින් වඩා නිදහස් හා වඩාත් ඵලදායි ලෙස දේපල හිමිකම් භාවිත කිරීම දෙසට සහ ඉඩම් හා අනෙකුත් දේපල මත රජු හා ඔහුගේ රාජසභාව රාජකීය බලය යෙදීමට එරෙහිව ය. වෙලඳුන් විසින් නිදහසේ වෙලඳාම් කිරීමේ අයිතියට ද නිශ්චිත නීතිමය ආරක්ෂාවක් ලබා දුන්නේ භාන්ඩ ප්‍රමිතිකරනය හා නියාමනය සඳහා පදනම සමග ය. එහි 35වැනි හා 41වැනි වගන්ති මෙසේ ය:

35. රාජධානිය පුරා වයින්, ඒල්(බියර්) හා තිරිඟු සඳහා සම්මත මිනුම් (ලන්ඩන් කාර්තුව) තිබිය යුතු ය. ඩයි දැමූ අතින් වියූ දුප්පතුන්ට ඇඳීමට නියමවූ රෙදි, හා හබර්ජේට් නම් රෙදිවල ( වර්න මිශ්‍ර පූජක ලෝගු රෙදි-පරි.) සම්මත පලලක්, එනම් වාටි දෙක අතර එල් දෙකක් (සෙ.මී 115ක්-පරි.) තිබිය යුතු ය. ඒ ආකාරයෙන් ම බර ප්‍රමාන ද ප්‍රමිතිගත කල යුතු ය.

41. සියලු ම වෙලඳුන්ට, උපද්‍රවයකින් හා භීතියෙන් තොර ව එංගලන්තයට පැමිනීමට හෝ පිටවීමට ද, නැවතීමට හෝ ගොඩබිමෙන් හෝ ජලය හරහා එහි සංචාරය කිරීමට ද සියලු නීති විරෝධී ගාස්තු වලින් නිදහස් ව පෞරානික හා නීත්‍යානුකූල චාරිත්‍රානුකූලව වෙලඳාමේ යෙදීම සඳහා ඉඩ ඇත. කෙසේ නමුත් මෙය, යුද්ධ කාලයක දී අප සමග යුද්ධයෙහි නියැලි රටේ වෙලඳුන්ට අදාල නො වේ. යුද්ධයක් පුපුරා යෑමෙදී අප රට තුල දී සොයා ගැනුනු එවැනි කිසියම් වෙලෙඳුන්, එම රට අපගේ වෙලඳුන්ට සලකන ලද්දේ කෙසේ දැ යි අප හෝ අපගේ අග්‍රවිනිශ්චයකාරවරයා සොයා දැන ගන්නා තෙක් ඔවුන්ගේ ශරීරයට හෝ දේපලට හානියක් නො කර රඳවා තබා ගත යුතුය. අපගේ වෙලෙඳුන් ආරක්ෂිත නම් ඔවුන් ද ආරක්ෂා සහිත වනු ඇත.

ඉඩම් පරිහරන අයිතීන් හා වෙලඳාම පද්ධතිගත කිරීම හා ක්‍රමගත කිරීම හා සමගාමීව, ප්‍රඥප්තිය සඵල ලෙස ප්‍රකාශ කලේ රජු නීතියට යටත් විය යුතු බව හා නිදහස් මිනිසුන්ට දඩ ගැසීම, අත්අඩංගුවට ගැනීම, පාපොච්චාරනයට බල කිරීම, සිරගත කිරීම, පිටුවහල් කිරීම හෝ නිසි නීති ක්‍රියාමාර්ග වලින් හා සමානයන්ගේ විනිශ්චයට පාත්‍ර කිරීමෙන් තොර ව නිල බලයට යටත් නො කල යුතු බව ය. 38, 39 හා 40 වගන්ති ප්‍රකාශ කල පරිදි:

38. ඉදිරි අනාගතයේ දී කිසි ම නිලධාරියෙකු, එහි සත්‍යතාව පිලිබද විශ්වාස කල හැකි සාක්ෂිකරුවන් ඉදිරිපත් නො කර, ඔහුගේ ම ප්‍රතිෂ්ඨා රහිත ප්‍රකාශනය මත කිසිම පුද්ගලයෙකු නඩු විභාග සඳහා ඉදිරි පත් නො කල යුතුය.

39. ඔහුගේ සමානයන්ගේ නීත්‍යානුකූල විනිශ්චයක් මගින් හෝ රටේ නීතිය මගින් හෝ හැර, නිදහස් මිනිසකු අත්අඩංගුවට ගැනීම හෝ හිර කිරීම, ඔහුගේ අයිතීන් හෝ සන්තක දෑ පැහැර ගැනීම, හෝ නීති භ්‍රෂ්ටයකු කිරීම හෝ පිටුවහල් කිරීම, හෝ මොන යම් ආකාරයකින් හෝ ඔහුගේ තරාතිරම වියෝ කිරීම, ඔහුට එරෙහිව බලය යෙදීම හෝ එසේ කිරීමට අනෙකුන් යෙදවීම හෝ අපි නොකරන්නෙමු.

40. අයිතීන් හෝ සාධාරනත්වය අපි කිසිවෙකුටත් නො විකුනන්නෙමු, කිසිවෙකුටත් ප්‍රතික්ෂේප හෝ ප්‍රමාද නො කරන්නෙමු.

ඉංග්‍රීසි නීතියේ එක් පදනම් ලියවිල්ලක් වන ප්‍රඥප්තිය තුල ප්‍රකාශ කෙරුනු පරිදි, දේපල අයිතීන්ගේ නිදහස හා නීතිමය ක්‍රියාදාමය අතර අන්තර් සම්බන්ධතාව පැහැදිලි කලේ, නීතියේ පංතිමය ස්වභාවය හා ඓතිහාසීය සන්ධාරයයි, (අන්තර්ගතයයි). ප්‍රඥප්තිය මගින් ප්‍රකාශයට පත් කරන ලද හා ආරක්ෂා කරන ලද නිදහස් හා අයිතීන් දේපල හිමියන්ගේ අයිතිවාසිකම් වීය. සිය සාමිවරුන්ගේ කුරිරුකම්වලට යටත්ව සිටි ගොවි ජනතාව ගැන ලියවිල්ල නිශ්ශබ්ද විය. 1215 දී අකීකරුවීම උදෙසා, කිසිදු දන්ඩනයකින් මුක්තව, ගොවියකු ඝාතනය කර දැමීමේ බලය සාමිවරයෙකු සතුව තිබුනි.

මධ්‍යතන එංගලන්තයේ ම සන්දර්භය තුල, නිදහස් මිනිසුන්ගේ රූපික අයිතීන් හා ගොවි ජනතාවගේ දිගින් දිගටම කෙරුනු අරගල පිටුපස සමාජ යථාර්තය හෙලිදරව් කෙරුනේ, ප්‍රඥප්තියෙන් අවුරුදු 166කට පසු 1381 ගොවිජන කැරැල්ල තුල දී ය. වොට් ටයිලර් හා ජැක් ස්ට්‍රෝ විසින් නායකත්වය දෙන ලදු ව, ප්‍රවේනිදාස භාවය, (පල්ලිය සඳහා) දස භාග බද්ද හා ඇඟ බද්ද අහෝසි කිරීම ඉල්ලා ගොවීන් 60,000 ක් ලන්ඩනයට පෙලපාලියෙන් ගමන් කලහ. ගොවි ජනතාව එක්ව තාලයට ගැයුනු සටන් පාඨය වූයේ, “ආදම් පොලව කොටන කොට, ඒව නූල් කටින කොට , කොහෙ හිටිය ද මහත්තුරු?” වැන්නක්ය.

එසේ නමුත්, ප්‍රඥප්තිය තුල ප්‍රකාශිත රූපික අයිතීන් හා ස්වාධීනතා, හා අත්තනෝමතික බලය මත පැනවු සීමාවන් වඩා සර්වත්‍ර (පොදු) අන්තර්ගතයක්ද ඉසිලී ය. සාරභූත වශයෙන් ඒවා, 13 වැනි සියවසේ මුල් කාලයේ පැවතුන ඓතිහාසික යතාර්ථයන් හා පන්ති සම්බන්ධතාවන් තුල කොපමන දුරකට ආවශ්‍යයෙන්ම සීමාවුනු හා හැඩගස්වන ලද්දේ වූව ද මිනිසාගේ සහජ අයිතීන් පිලිබඳ මුල් (කාලීන) ප්‍රකාශනයක් විය. මෙම දේශපාලන අයිතිවාසිකම් එංගලන්තයේ, (යුරෝපා) මහාද්වීපයේ හා පසුව ඇමරිකාවේ දේපල හිමි පන්තීන්ට එරෙහිව මහජනතාව විසින් ගෙන යන ලද සියවස් ගනනාවක අරගලයන්ට ප්‍රස්තුත වී ය.

මින්පසු එලඹි ප්‍රමුඛ බුද්ධිමය වර්ධනයන් හා ඓතිහාසික ගැටුම්වලට ඉංග්‍රීසි සිවිල් යුද්ධය, බුද්ධි ප්‍රබෝධය, ප්‍රන්ස විප්ලවය, ඇමරිකානු විප්ලවය හා 19 වැනි සියවසේ චාටිස්ට් ව්‍යාපාරය ඇතුලත් විය. මෙම අරගලයන්ට සහභාගිවූ බොහෝ දෙනෙක් මූලික අයිතීන්ගේ මූලාශ්‍රය ලෙස ප්‍රඥප්තියේ පිහිට පැතූහ. ඔවුන් අතර, ලෙවලර්ස් හා ඩිගර්ස් නම් කන්ඩායම්, ඉංග්‍රීසි සිවිල් යුද්ධය තුල වඩාත් ම රැඩිකල් හා සමානතාකාමී ප්‍රවනතාවන්, ඇමරිකානු විප්ලවයේ තෝමස් ජෙෆර්සන් හා දේපල සුදුසුකම රහිත, ඡන්ද අයිතිය ඉල්ලා සිටි 19 වැනි සියවසේ එංගලන්ත චාටිස්ට්වාදීන් වූවෝය.

කෙසේ නමුත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඉදිරියට ගෙන යාම සඳහා මෙම සිදුවීම් වලින් ඉතාමත් වැදගත් වූයේ, පැරනි වැඩවසම්වාදී පර්යාය බිඳ දැමූ, බුද්ධි ප්‍රබෝධය හා ප්‍රන්ස විප්ලවය යි.

බුද්ධි ප්‍රබෝධය ආගමික විශ්වාසයන්ට ප්‍රමුඛ ප්‍රහාරයක් එල්ල කර ඒ මගින් දෙවියන් නොව මිනිසා, බුද්ධිමය විමර්ශනයේ කේන්ද්‍රය බවට පත් කලේ ය. පල්ලිය හා රාජාන්ඩුවට එරෙහි ප්‍රහාරය සමග බුද්ධි ප්‍රබෝධයේ ශ්‍රේෂ්ඨ චින්තකයින් සමානතාව පිලිබඳ කාරනාව ඉස්මතු කිරීම අනිවාර්ය විය. එහි මුදුනත රඳා පැවතුනේ, පල්ලිය හා කිරීටය සහිත වූ වැඩවසම් පද්ධතිය මිනිසාගේ ස්වභාවික අසමානතාවය පිලිබද අනභියෝගී ප්‍රස්තුතය මතය.

එහි චින්තකයින් ඇද ගැනුනේ තනිකර ම පාහේ ධනේශ්වරයෙන් ය යන කාරනය නොතකා බුද්ධි ප්‍රබෝධයේ බුද්ධිමය නැඹුරුව, සංකල්පමය වශයෙන් සර්වාර්ථ විය. ඔවුන් කතා කල මිනිසාගේ ස්වභාවික හා අන්සතු කල නො හැකි අයිතීන් වරප්‍රසාදිත පන්තියකට සීමා කිරීමට අදහස් නොකල අතර, ඊට වෙනස් ව වඩාත් යොමු කෙරුනේ සමස්ත මානව වර්ගයාගේ විමුක්තිය උදෙසා ය. ශ්‍රේෂ්ට බුද්ධි ප්‍රබෝධ චින්තකයින් අතරින් සමහර විට ඉතාමත් සංකීර්න හා විසංවාදී චින්තකයකයාවූ රූසෝ, මානව අසමානතාවයේ පදනම හා ඒ නිසා මිනිසාගේ (පැවැත්ම පිලිබඳ ) තත්වයේ කාලකන්නිකම හා දුඃඛිත භාවයේ හේතුව ලෙස, පුද්ගලික දේපලට පහර දුන්නේ, “පොලවේ ඵල සියල්ලන්ටය, පොලවම කාටවත් නො වේ” යයි පවසමිනි.

බුද්ධිප්‍රබෝධය මගින් නිර්මානය කරන ලද බුද්ධිමය වාතාවරනය ප්‍රන්ස විප්ලවය සඳහා දෘෂ්ටිවාදාත්මක ආයුධ සැපයී ය. එක් අතකින් පැරිස් ජනතාවගේ විප්ලවවාදී උද්යෝගය හා අනෙක් පසින් පෞරානික තන්ත්‍රයේ (1789 ප්‍රන්ස විප්ලවයට පෙර වැඩවසම්වාදී රාජාන්ඩුව) රුදුරු විරුද්ධත්වය, විප්ලවය ද ඒ හා සමග සර්වාර්ථ සංකල්ප හා මහජනතාවගේ ඉල්ලීම් ද තව දුරටත් වමට ඇද ගෙන ගියේ ය. මිනිසාගේ හා පුරවැසියාගේ අයිතිවාසිකම් පිලිබඳ 1789 ප්‍රකාශනය සංකල්පනය කෙරුනේ, සැම දා හා සැම තැනට ම වලංගු, පුරවැසියාගේ ස්වභාවික හා සර්වත්‍ර (පොදු) අයිතීන්ගේ ප්‍රකාශනයක් ලෙස ය.

කෙසේ නමුත්, 1789දී, ( රාජකීයන්, ප්‍රභූන් හා පූජකයින් හැරුනු විට සමාජයේ සියලු දෙනාගෙන් සමන්විත) තුන්වන සමාජ පන්ති‍යේ (විප්ලවය සිදු කෙරුනේ ඔවුන්ගේ නමිනි) පැවති තත්වය වූයේ, එක් අතෙකින් නැගී එන ධනේශ්වරය සහ අනෙක් අතින් කර්මාන්ත ශිල්පීන්, ගොවීන් හා සැන්ස් ක්‍යූ ලොට්ස් නමින් හැඳින්වුනු විප්ලවවාදීන්, පැරීසීයේ දේපල රහිත පහල පන්තියේ ජනතාවන්, ආදීන් අතර අවිභේදිතව ය. එලඹුන වසර 50 තුලදී, කාර්මීකරනයේ වර්ධනයත් සමග, වර්තමාන “නිර්ධනීන්” බවට පත්වූ නව කම්කරු පන්තිය ලෙසින් පීඩිත ජනතාව මතුව ආවේ, ධනේශ්වරයේ ලාභ උත්සුකතා හා නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සමග අතිමූලික ලෙස නොපෑහෙන සමාජ අයිතීන් -ජීවන හා සේවා කොන්දේසි වල ද සෞඛ්‍ය හා අධ්‍යාපනය තුල ද සමානතාව - දක්වා ප්‍රජාතන්ත්‍රවාදය පුලුල් කරන ලෙස බලකරමිනි.

1848 ප්‍රසිද්ධ කරන ලද, කොමියුනිස්ට් ප්‍රකාශනය තුල කාල් මාක්ස් හා ෆ්‍රෙඩ්රික් එංගල්ස් පැහැදිලි කල පරිදි වැඩවසම්වාදයේ නටබුන් අතරින් දලුලා වැඩුනු ධනේශ්වර සමාජය පන්ති ප්‍රතිඝතිතා නැති නො කලේ ය. ඊට වෙනස් ව, වැටුප් ශ්‍රමිකයන්ගේ පද්ධතිය “නව පන්ති, මර්දනයේ නව කොන්දේසි, අරගලයේ නව රූපාකාරයන්” ස්ථාපිත කලේ ය. සැබවින් ම එය “නව මහා සතුරු කඳවුරු දෙකකට, කෙලින් ම එකි නෙකාට මුහුනට මුහුන පිහිටි මහා පන්ති දෙකකට, එනම් ධනේශ්වරය හා කම්කරු පන්තිය ලෙසට” සමාජය බෙදා දැමී ය.

සිය සුප්‍රසිද්ධ විද්‍යාත්මක හා යුතෝපියානු සමාජවාදය නම් රචනය තුල, බුද්ධි ප්‍රබෝධයේ හා ප්‍රන්ස විප්ලවයේ උරුමය පිලිබඳව ලියමින් එංගල්ස් මෙසේ සඳහන් කලේ ය:

දැන්, පලමු වරට දිවා ආලෝකය, තර්කයේ රාජධානිය දිස් විය; මෙතැන් සිට මිත්‍යා විශ්වාස, අසාධාරනය, වරප්‍රසාද, හා මර්දනය; ස්වභාවධර්මය හා මිනිසාගේ පැහරගත නොහැකි අයිතීන් මත පදනම් වූ සමානතාව, සදාකාලික සත්‍යය, හා සදාකාලික සාධාරනය, විසින් අභිබවනය කිරීමට නියමිත විය.

තර්කයේ රාජධානිය යනු පරමාදර්ශනය කල ධනේශ්වරයේ රාජධානියට වඩා වැඩි දෙයක් නො වන බව ද; මෙම සදාකාලික සාධාරනය එහි සාක්ෂාත්කරනය සොයා ගත්තේ ධනේශ්වර අධිකරනය තුල බව ද; මෙම සමානතාව එය විසින් ම නීතිය ඉදිරියේ ධනේශ්වර සමානතාව බවට ලඝු කෙරුනු බව ද; ධනේශ්වර දේපල මිනිසාගේ මූලික එක් අයිතියක් බව ප්‍රකාශයට පත් කෙරුනු බව ද; තාර්කික බවේ ආන්ඩුව, එනම් රූසෝගේ කොන්ට්‍රෑට් සෝෂල් සත්තාවට (යථාර්තයට ) පැමිනියේ, හා සත්තාවට පැමිනිය හැකි ව තිබුනේ ප්‍රජාතන්ත්‍රවාදී ධනේශ්වර සමූහාන්ඩුවක් ලෙස බව ද; අද අපි දනිමු. 18වැනි සියවසේ ශ්‍රේෂ්ඨ චින්තකයන්ට, ඔවුන්ගේ පුරෝගාමීන්ට වඩා නො වැඩි ව, ඔවුන්ගේ යුගය විසින් ඔවුන් මත පටවන ලද සීමාවන් ඉක්ම විය නොහැකි විය.

එහෙත් වැඩවසම්වාදී ප්‍රභූවේ හා සමාජයේ සෙසු සියල්ලන් නියෝජනය කරන්නේ යයි කියා පෑ නාගරිකයින්ගේ ප්‍රතිඝතිතා (එදිරිවාදිකම්) සමග සමාන්තරව පැවතියේ, සූරාකන්නන්ගේ හා සූරා කැවෙන්නන්ගේ, පොහොසත් අලසයින්ගේ හා දුප්පත් කම්කරුවන්ගේ , පොදු එදිරිවාදිකමයි.

එංගල්ස් ගේ වචනවලින් නම්, කම්කරු පන්තියේ මතුවීම සමග “ සර්වත්‍ර විමුක්තිය” නූතන කම්කරු පන්තියේ ඓතිහාසික මෙහෙවර බවට පත් විය. පීඩා විඳින සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රකාශකයා ලෙස පෙරමුන ගැනීමට හැකියාව තිබු ධනේශ්වර පන්තිය, වැඩවසම්වාදී හා රදල වරප්‍රසාදවලට එරෙහි සටනේ දී කම්කරු පන්තියේ සමාජ ඉල්ලීම්වලට එකඟ වනවා වෙනුවට පෙල ගැසුනේ මිලිටරිවාදී හා ප්‍රතිගාමි බලවේගයන් සමග ය.

ධනේශ්වරය, තම ද්‍රව්‍යමය උත්සුකයන්ට පහලින් එල්ලවූ තර්ජනයන් හමුවේ, 1848 යුරෝපීය විප්ලවයන් හි දී කම්කරු පන්තියට එරෙහිව රාජ්‍ය යන්ත්‍රය ප්‍රචන්ඩකාරී ලෙස යොදා ගැනීම වෙත හැරුනි; එමෙන් ම 1871දී දේශපාලන බලය තමන් අතට ගැනීමට කම්කරු පන්තිය විසින් දරන ලද පලමු උත්සාහය වූ පැරිස් කොමියුනය, ම්ලේච්ඡ ලෙස මර්ධනය කලේ ය.

ත්‍රස්තවාදය හා කොමියුනිස්ට්වාදය තුල ට්‍රොට්ස්කි පැහදිලි කල පරිදි:

වැඩවසම්වාදයට එරෙහි රණ ඝෝෂාවක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඉල්ලීමට ප්‍රගතිශීලී ස්වභාවයක් තිබුනි. කෙසේ නමුත් කාලය ඉදිරියට යත්ම, ස්වභාවික නීතියේ පාර භෞතිකවාදය ( රූපික ප්‍රජාතන්ත්‍රවාදයේ න්‍යාය ධර්මය) එහි ප්‍රතිගාමී පැත්ත පෙන්වීම ඇරඹි ය.―වෙහෙසෙන කම්කරුවන්ගේ හා විප්ලවවාදී පක්ෂවල සැබෑ ඉල්ලීම් පාලනය කිරීමට පරමාදර්ශී ප්‍රමිතීයක් ස්ථාපිත කිරීම... සැබෑ ජීවන තත්වයන් තුල, ආර්ථික ක්‍රියාදාමය තුල, සමාජ සම්බන්ධතා තුල, හා ඔවුන්ගේ ජීවන රටාව තුල දි මිනිසා වඩ වඩා අසමාන බවට පත් විය; දිදුලන සමෘද්ධිය එක ධ්‍රැවයක ද, දරිද්‍රතාව හා අපේක්ෂාභංගත්වය අනෙක් ධ්‍රවයේ ද සමුච්චනය වුනි. එනමුත් රාජ්‍යයේ නීතිමය මන්දිරය පිලිබද ක්ෂේත්‍රය තුලදී මෙ‍ම දිදුලන ප්‍රතිඝතිතා අතුරුදන් වුනු අතර, ඒ තුලට කාන්දු වූයේ නොසැලකිය යුතු පරිමානයේ නීතිමය සෙවනැලි පමනී.

කම්කරු පන්තිය, සමාජවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය

විසිවැනි සියවස ආරම්භයත් සමග, ගෝලීය ධනවාදයේ වර්ධනය විසින් ජාත්‍යන්තර කම්කරු පන්තිය මෙන්ම ලෝක වෙලඳපොල, සම්පත් හා යටත්විජිත බෙදීගැනීම ප්‍රමුඛකරගෙන, ප්‍රධාන ධනේශ්වර ජාතික රාජ්‍යයන් වර්ධනය වන ගැටුම් කරා තල්ලු කිරීම ද නිර්මානය කර තිබුනි. ධනවාදයේ අතිමූලික ප්‍රතිඝතිතා - ධනේශ්වර‍ය මුල් බැස ගත් පැරනි ජාතික රාජ්‍ය පද්ධතිය හා ලෝක ආර්ථිකයේ වර්ධනය අතර, සහ නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය හා සමාජීය නිෂ්පාදනය අතර - පලමු ලෝක යුද්ධයේ ආරම්භයත් සමග මතුපිටට විදාරනය වූයේ, මානව ශිෂ්ටාචාරය පෙර නො වූ විරූ ව්‍යසනයකට ඇද දමමින් හා ට්‍රොට්ස්කි නිර්වචනය කල පරිදි “ධනවාදයේ මරලතෝනියේ” අරම්භය, එනම් යුද්ධයන්ගේ හා විප්ලවයන්ගේ නව අධිරාජ්‍යවාදී යුගයක උදාව, සංඥා කරමිනි. පරපුටු මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යය සමග “ඉහල සිට පහලට ම දේශපාලනික ප්‍රතිගාමිත්වය” අධිරාජ්‍යවාදයේ එක් ආවේනික ලක්ෂනයක් වූ බව ලෙනින් පැහැදිලි කලේ ය. පීඩිත ජාතීන් ම්ලේච්ඡ හා ප්‍රජාතන්ත්‍ර විරෝධී යටත්විජිත සූරාකෑමකට ලක්කිරීම රට තුල වඩ වඩා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන රූපාකාරයන්ට හැරීමත් සමග ඒකාබද්ධ කෙරුනි.

මෙම කොන්දේසි යටතේ, අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය වෙන් කල නො හැකි සේ බැඳී ඇත්තේ, අධිරාජ්‍යවාදී පර්යාය පෙරලා දැමීම සඳහා වන කම්කරු පන්තියේ සටන සහ එකී ඓතිහාසික කර්තව්‍යය සාක්ෂාත් කර ගැනීමට අත්‍යාවශ්‍ය විද්‍යාත්මක සමාජවාදී ඉදිරිදර්ශනය හා නායකත්වය වර්ධනය කර ගැනීම සමග ය. ධනේශ්වර පාලනය පෙරලා දමමින් සහ ආර්ථික හා දේශපාලන ජීවිතයේ සියලුම අංශ මත නිෂ්පාදකයින්ගේ ම (කම්කරුවන්ගේ ම) ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ස්ථාපනය කිරීම ආරම්භ කරමින්, ලෙනින් හා ට්‍රොට්ස්කි විසින් නායකත්වය දෙන ලද 1917 ඔක්තෝබර් රුසියානු විප්ලවය ඉදිරි මාවත පෙන්වා දුනි.

පසුකාලීනව ස්ටැලින්වාදී නිලධරය අතින් සෝවියට් සංගමය පරිහානියට පත්වීම, 1930 ගනන්වල මහා අවපාතයේ භීතීන් හා කොල්ලකාරී විනාශයන් (නොතකා ඒ) මැද්දේ වුව, ධනේශ්වර පන්තිය ෆැසිස්ට්වාදයට හා ඒකාධිපතිත්වයට හැරී‍ම හා තවත් ලෝක යුද්ධයකට රූටා යෑම (නොතකා ) ගෝලීය ධනවාදයට එහි පන බේරා ගැනීමට හැකි කලේ ය.

අද, දෙවැනි ලෝක යුද්ධයෙන් වසර 70කට පසු, මනුෂ්‍ය වර්ගයා නැවත වතාවක් මුහුන දෙන්නේ යුද්ධයේ තර්ජනයට, ඒකාධිපතිත්වයට හා මර්දනයට යි. පෞරානික තන්ත්‍රයේ පැවති මට්ටම් ඉක්මවන තැන් වලට ලඟා වී ඇති සමාජ අසමානතාවය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ ඡායාමාත්‍ර සමග පවා පරස්පර විරෝධී වී ඇත.

සිය ම්ලේච්ඡ න්‍යාය පත්‍රය පැටවීම සඳහා සෑම ධනේශ්වර ආන්ඩුවක්ම නීතිමය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ සම්පූර්න රාමුව ම ප්‍රතික්ෂේප කරමින් සිටී. ඒ අතරම, අනුකූල සංගත මාධ්‍යය විසින් ආධාර හා අනුබල දෙනු ලබන බටහිර ආන්ඩු කියා නිම කල නො හැකි කුහකත්වයකින් මැග්නා කාටාවේ 800වැනි සංවත්සරය සමරමින්, එහි උරුමයන් නියෝජනය කරන බව පවසා සිටිති. යතාර්ථයේදී, ප්‍රඥප්තියේ ප්‍රකාශ කෙරුනු කේන්ද්‍රීය අයිතීන් ලැයිස්තුව ලෝක ධනවාදයට එරෙහි අධිචෝදනා පත්‍රයක් ලෙස නැගී සිටී.

නඩු විභාගයකින් තොර ව රඳවා නොතබා ගැනීමේ මූලධර්මය වන හබයාස් කෝපුස්, ගුවන්තනාමෝ බොක්කේ සිට ඕස්ට්‍රේලියාවේ අමානුෂික සරනාගතයින් රැඳවීමේ කඳවුරු දක්වා සිදු කෙරන, අත්තනෝමතික හා බොහෝ විට දින නියමයක් නොමැති හිරගත කිරීම් වල නැවත ආගමනය මගින් උල්ලංඝනය කෙරී ඇත. වධ හිංසා හා බලෙන් කරවන “පාපොච්චාරන” ආන්ඩු පාලනයේ උපකරන ලෙස ආපසු පැමින ඇත්තේ නීතිවිරෝධී “රෙන්ඩිෂන්” (එක්සත් ජනපදය මූලිකත්වයෙන් සිදුකරනා වින්දිතයන් ‘රඳවා’ගැනීම සඳහා වඩා ‘පහසුකම්’ ඇති , එනම් සිරකරුවන් පිලිබඳ වඩා ලිහිල් නීති ඇති රටවල් කරා යැවීම) සමග ය. නිදහස් භාෂනය ප්‍රතික්ෂේප කරමින් දැවන්ත පරිමාන ඉලෙක්ට්‍රෝනික සෝදිසි කිරීම් පටවා ඇත. කම්කරු පන්තියේ හා තරුනයන්ගේ වඩාත් ම අනාරක්ෂිත කන්ඩායම්වලට එරෙහිව යොමු කල ස්ථාවර හමුදා ලෙස පොලිස් කන්ඩායම් පුහුනු කෙරෙමින් හා සන්නද්ධ කෙරෙමින් පවතී. (වැරදි බව ඔප්පු කිරීමට පූර්ව ව) අහිංසකත්වය පිලිබඳ පූර්වානුමිතිය හා නිශ්ශබ්දව සිටීමේ අයිතිය ඇතුලු රැකවරනයන් සහිත, ජූරියක් මගින් කෙරෙන සාධාරන විභාගයක් පිලිබඳ මූලික සංකල්පයම පිලිකෙව් කෙරෙමින් පවතී. නියමිත ක්‍රියා පටිපාටියේ ඡායාමාත්‍රයක් හෝ නොමැතිව ඇමරිකානු ජනාධිපති සතිපතා පදනම මත, පුරවැසියන්ගේ මෙන් ම පුරවැසියන් නොවන්නන්ගේ ද ඩ්‍රෝන් ඝාතන හා අනෙකුත් අධිකරන-බාහ්‍ය ඝාතන නියෝගකර සුපරීක්ෂනය කර යි.

නීතිමය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ මුරගල ලෙස සැලකෙන පුරවැසි අයිතීන්මත් බැහැර ලමින් පවතින්නේ “සාධාරන විනිශ්චයකින්” තොර ව “නීති භ්‍රෂ්ටයකු කිරීම හෝ පිටුවහල් කිරීම” නො කල යුතු ය යන මූලික අයිතිය ද ඉවත දමමිනි. බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියානු ආන්ඩු දෙකම නරුම ලෙස ප්‍රඥප්තියේ අධිකාරී බලය වෙලා ගැනීමට උත්සාහ කරනා අතරම පෙරට ගොස් ඇත්තේ, රාජකීය පරමාධිකාරයේ නූතන සාම්‍යය වන අමාත්‍ය විධායක ආඥා මගින්, පුද්ගලයන්ගෙන් පුරවැසිභාවය තුරන් කිරීමට ය.

සැලකිය යුතු ලෙස, මෙම ප්‍රහාරය සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ ඊනියා ප්‍රධාන “ප්‍රජාතන්ත්‍රවාදී” බලවතුන්, විශේෂයෙන් ම එක්සත් ජනපදය විසිනි. ඓතිහාසික ආර්ථික පරිහානියකට මුහුන දෙන අතරම, එහි ගෝලීය අධිකාරී බලය පවත්වා ගෙන යාමට අධිෂ්ඨාන සහගත වන වොෂින්ටනය, ලෝකය පුරා සිය තරඟකරුවන්ට හා තම රට තුලම කම්කරු පන්තියට එරෙහිව යුද්ධය ගෙන යමින් සිටින්නේ, “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ ” ව්‍යාජ කඩතුරාව යටතේ ය. මෙම ක්‍රියාදාමය තුල දී, රිපබ්ලිකානු හා ඩෙමොක්‍රටික් පාලනාධිකාරයන් දෙකම එක ලෙස විධායක බලය පිලිබඳ ව්‍යවස්ථාදායක හා නීතිමය සීමාවන් අත්හැර දමා, පොලිස් රාජ්‍යයක සැකිල්ල ගොඩ නගා ඇත.

අද මහා ප්‍රඥප්තියෙන් වසර 800කට පසු, කම්කරු පන්තිය මුහුන දෙන්නේ, දේශපාලන හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා වූ සියවස් ගනනාවක අරගලයන්‍ ගෙන් අත්කරගත් සමාජීය ජයග්‍රහන ආපසු හැරවීමට ය. අඩුම ගනනේ ඉතාම මූලික අයිතීන්වල ආරක්ෂාව සඳහා පවා ධනේශ්වරය තුල දායකත්වයක් කිසියම්ම හෝ තැනෙක ඇත්තේ නැත. එකම ප්‍රගතිශීලී විකල්පය වනුයේ රාජ්‍ය බලය දිනා ගැනීම සඳහා වන සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම යි. ජනගහනයේ අති මහත් බහුතරය වන කම්කරු පන්ති‍යේ විප්ලවවාදී මහජන අරගලයන්ගේ ක්‍රියාදාමය තුල දී මතුවන අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයේ නව රූපාකාරයන්, ලෝක සමාජවාදයට, එනම් සියල්ලන් සඳහා සාමය, සාධාරනත්වය හා සමාජ සමානතාවයට කැපවූ කම්කරුවන්ගේ ආන්ඩුවල පදනම් වෙනු ඇත.

Share this article: