Guantánamo Diary ග්වන්තනාමෝ දිනපොත: කියවිය යුතු පොතක්
Guantánamo Diary: A book that needs to be read
ටොම් කාටර් විසිනි, 2015 පෙබරවාරි 06
Guantánamo Diary(ග්වන්තනාමෝ දිනපොත), මහමදු ඖල්ඩ් ස්ලාහි විසිනි, සංස්කරනය: ලැරී සීම්ස් විසිනි, ලිට්ල් බ්‍රවුන් ඇන්ඩ් කොම්පැනි, 2015.
මහමදු ඖල්ඩ් ස්ලාහි විසින් ලියන ලද හා ලැරී සීම්ස් විසින් සංස්කරනය කරන ලද Guantánamo Diary (ග්වන්තනාමෝ දිනපොත), ඇමරිකාව තුල සහ ජාත්‍යන්තර වශයෙන් පුලුල්ම පාඨක ආකර්ෂනයකට හිමිකම් කියන සුවිශේෂී කෘතියකි.
කුප්‍රකට වධ කඳවුරක වත්මන් රැඳවියකු විසින් ලියන ලදුව මෑතකදී පලවුනු මෙම පොතෙහි, ඇමරිකානු බුද්ධි අංශ සහ ඔවුන්ගේ විදෙස් සහචරයන්ගේ ග්රහනය යටතේ, කතුවරයා මුහුනදුන් දරුනු වධබන්ධන පිලිබඳ ඔහුගේම අත්දැකීම් අඩංගු වී තිබේ. සෙනට් සභාවේ සංක්ෂිප්ත වාර්තාවකින් හෙලිදරව් කල, මධ්‍යම බුද්ධි අංශ සහ වෙනත් ඒජන්සි භාවිතා කල පරපීඩක විධික්රම කියවීම එකකි. ඊට ගොදුරුවූවන්ගේ ඇස්, කන්, නාසා, ස්නායු, උදර සහ මානසිකයන් මත පිහිටා ඒවා විඳ දරාගැනීම තවෙකකි.
මෙම පොත රහසිගත ඇමරිකානු වධදීම් වැඩසටහන පිලිබඳ ලොමුදැහැගන්වන හෙලිදරව්වකට වඩා වැඩි දෙයකි. අපූර්ව සාහිත්‍යමය පරිච්ඡේද අතර අමනොඥ පුද්ගල ප්රතිරූප සහ තම වදකයින් අතරදී ස්ලාහිට අභිමුඛ වූ අමනෝඥ චරිත හා සමාජ නියෝජිතයින් පිලිබඳ දුෂ්ඨ ප්රතිරූපයන්හි අමනුෂ්‍ය, ස්වයං විවේචනාත්මක, ප්රතිබිම්බන සහ අන්තර්ඥානය ද මානවවාදී, අපේක්ෂා බරිත සහ සංවේදී නැඹුරුවක් ද බලාපොරොත්තු රහිතව එයට අන්තර්ගතවී තිබේ. 2005 ගිම්හානයේදී ස්ලාහි ග්වන්තනාමෝ බොක්කේ “හුදකලා සිර කුටියක” සිට සිය සිව්වැනි බස වන ඉංග්‍රීසියෙන්, ඔහුගේම අත්අකුරින්, මෙය ලියුවේ යයි කෙනෙකු සිතන කල එය සියල්ලටත් වඩා උත්කෘෂ්ට වන්නේය.
ස්ලාහි (ඇතැම් විට “සලාහි” ලෙසද උච්චාරනය කරයි.) 1970 දී මොරිටේනියාවේදී උපත ලැබුවේය. කැපීපෙනෙන ශිෂ්‍යයෙකු වූ ඔහු 1988දී ජර්මනියේ ඩුයිස්බර්ග් හි ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට ශිෂ්‍යත්වයක් ලද්දේය. 1991 දී ඔහු මුජාහිදීන් ව්‍යාපාරයට එක්වීම සඳහා ජර්මනියේ සිට ඇෆ්ගනිස්තානය බලා ගිය අතර එහිදී අල්කයිඩා සංවිධානයට පක්ෂපාති වීමට සපථ කල බව කියැවේ. කෙසේ වෙතත් එරට මධ්‍යම රජය බිඳවැටුනු පසු ඔහු නැවත ජර්මනියට පැමිනි අතර ඉන් මතු අල්කයිඩා සංවිධානය සමග සම්බන්ධයක් නොපැවැත්වීය (ඔහු කියන පරිදි). පසුව ඔහු කැනඩාවේ මොන්ටි්රයෙල් හි විදුලි ඉංජිනේරුවෙක් ලෙස සේවය කලේය.
ඉනික්බිතිව ඔහුව කැනඩාව, මොරිටේනියාව, ඇමරිකාව සහ සෙනගාලය වැනි විවිධ රටවල බලධරයින් විසින් රඳවාගෙන ප්‍රශ්න කරන ලද නමුත් ඒ සෑම අවස්ථාවකදීම ඔහුට විරුද්ධව සාක්ෂි මඳ කමින් ඔහු නිදහස් කරන ලදී. කෙසේ වෙතත් 2001 නොවම්බර්හිදී, ප්‍රශ්න කිරීම සඳහා මොරිටේනියාවේ, නුඅක්ෂොට් හි පොලිස් ස්ථානයකට ස්වේච්ඡාවෙන් පැමිනෙන ලෙස ඔහුට පවසන ලදුව ඔහු එහි ගියේය. ඉනික්බිතිව ඔහු අතුරුදන්විය.
ස්ලාහි යනු ඇමරිකානු සීඅයිඒ සංවිධානය විසින් සැලසුම් කල රහසිගත නීතිවිරෝධී “අසාමාන්‍ය ප්‍රශ්නකිරීම්” “extraordinary rendition” සඳහා (මොරිටෙනියානු ව්‍යවස්ථාවට පටහැනිව) ජෝර්දානයට පැහැරගෙන ගිය අයෙකි. ඔහු අද දක්වාත් රැඳී සිටින හා වධ බන්ධනයන්ට ගොදුරු කරන, කුප්‍රකට ග්වන්තනාමෝ බොක්කේ කඳවුරට රැගෙන ඒමට පෙරාතුව, ඔහුගේ පවුලේ අයට ඔහු පිලිබඳ කවර හෝ හෝඩුවාවක් නොතබා, නීති විරෝධී “බ්ලැක් සයිට්” සීඅයිඒ වධබන්ධන ජාලය හරහා පැහැරගෙන, රටින් පිටමන් කරන ලද්දේය.
2010 මාර්තුවේදී ස්ලාහිගේ නීතිඥයන් විසින් ගොනුකල හබයාස් කෝපුස් පෙත්සමක් විභාගයට ගනිමින්, ඇමරිකානු ෆෙඩරල් උසාවියේ විනිසුරු ජේම්ස් රොබට්සන්, ස්ලාහිගේ දත්තගොනු විමර්ශනය කර රජයේ චෝදනාවලට ඔහු වරදකරු නොවන බවත්, වහාම ඔහු නිදහස් කල යුතු බවත් තීන්දු කලේය. කෙසේවෙතත් ඔබාමා පරිපාලනය මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනුකල අතර බුද්ධි අංශය ගැති, දක්ෂිනාංශික විනිසුරුවරුන් සමග දුෂ්ට ලෙස හවුල්වෙමින් දිස්ත්‍රික් සංචාරක උසාවිය එම තීන්දුව ඉවත දැමීය.
පොතේ සංස්කාරක ලැරී සීම්ස් පොත පිලිබඳ සිය හැඳින්වීමේ මෙසේ ලියයි. “මම විශ්වාස කරනවා මම කියවල තියෙනවා කියල ඔහුගේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්කර ඇති හැම දෙයක්ම. ඔහු ග්වන්තනාමෝ කඳවුර තුල සදහටම රඳවාගෙන ඉන්නේ ඇයි කියල මට තේරෙන්නේ නැහැ.” මෙම කරුන සම්බන්ධයෙන් ස්ලාහි විසින්ම දරන අදහස වන්නේ ඔහුගේ නිදහස් කිරීම තුලින් ඇමරිකානු බුද්ධි අංශයන්ට මෙන්ම නීතිවිරෝධී ලෙස රහසිගතව තමා රඳවා තැබීමට රුකුල් දුන් මොරිටේනියානු සහ ජෝර්දාන රජයන්ට මුහුනපාන්නට සිදුවිය හැකි දුෂ්කරතාවය හැරෙන්නට ඔහුව රඳවා තබාගැනීමට වෙනත් හේතුවක් නොමැති බවයි.
කෘතියේ සුවිශේෂි කොටසක් ඇමෙරිකානු බලධරයන් විසින් වාරනයට ලක්කර ඇත. ප්‍රකාශකයන්ට ස්තුති වන්නට රජය විසින් යොදා ඇති සියලු කලු පැහැ තීරු මුද්‍රිත පිටුමත ප්රතිනිර්මානය කර ඇති බැවින් පාඨකයාට සංස්කරනයන්ගේ ප්‍රමානය පිලිබඳ අදහසක් ලබාගත හැකිය. මෙම වාරනයන් බොහෝවිට අලස හා මුග්ධ ලෙසින් යොදා තිබුනි. තැනෙක වාරනය කර ඇති නමක් තවත් තැනක වාරනයකින් තොරව දක්නට ලැබේ. එක තැනෙක හිටපු ඊජිප්තු ජානාධිපති ගමාල් අබ්දෙල් නසර් (1918-1970) ගේ නම වාරනය කර ඇත. සිත්ගන්නා සුලූ කාරනයක් වන්නේ, කාන්තා වධකයෙකුට අදාලවන විට, “ඇය” සහ “ඇගේ” යන පද සෑමතැනම වාරනය කර ඇති අතර පිරිමි වධකයින්ට අදාලව “ඔහු” සහ “ඔහුගේ” යන පද වාරනයකින් තොරව තිබෙන්නට හැරීමයි. බොහෝ අවස්ථා වලදී සංස්කාරකගේ ප්‍රයෝජනවත් සටහන්, වෙනත් ප්‍රසිද්ධියේ ලබාගත හැකි මුලාශ්‍රයන්ගෙන් මගහැරෙන පාඨ ප්රතිනිර්මානය කර දෙයි.
2003 සහ 2004 වසර වලදී ස්ලාහි අල්ලාගත් ඇමරිකානු දඩයම්කරුවෝ, එවකට ආරක්ෂක ලේකම් වූ ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්ගේ අනුමැතිය ලත් “විශේෂ ප්‍රශ්න කිරීමේ සැලසුම” කට අනුකූලව ග්වන්තනාමෝ කඳවුරේදී ඔහුට වධ දුන්හ. දීර්ඝ කාලීනව හුදෙකලාකොට තැබීම්, අවමන් කිරීම්, නින්ද වැලැක්වීම් සහ කතුවරයා කියනපරිදි “නිමක් නැති ශාරීරික, මානසික හා ලිංගික අඩන්තේට්ටම්” වලින් මෙම වධහිංසා සමන්විත විය. වධකයන් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට හිරිහැර කරන බවට තර්ජනය කලහ, ඔහුව අධිශීතකරනයක දමා ශීත ජලය වක්කලහ. රොක් සංගීතයෙන් ඔහුගේ කන්අඩි පැලූහ. ලිංගික පහරදීම් කලහ. මරනයේ එලිපත්ත දක්වාම ඔහුට නොනවත්වා පහර දුන්හ.
ඔහු මුහුනදුන් වධබන්ධනයන් ගැන සවිස්තරාත්මක සඳහනක් කිරීමට මෙම විමර්ශනය තුල අවකාශ නැත. ඒ සඳහා පොත කියවිය යුතුය. එහෙත් ඇතැම් අමතක කලනොහැකි පරිච්ඡේදයන් කිහිපයක් ඉස්මතු කලහැකිය.
ග්වන්තනාමෝ කඳවුරේදී ආරක්ෂකයින් රැඳවියෙකුගේ ඊලඟ ප්‍රශ්න කිරීම දැනුම් දෙන්නේ ”රිසවේෂන්” යනුවෙන් හඬගෑමෙනි. සෑම රැුඳවියෙකුටම අංකයක් ලබාදී ඇත. “රිසවේෂන් 760!” යන්නෙහි අරුත නම් ඊලඟට ප්රශ්නකරන්නන් ස්ලාහි වෙත පැමිනෙන බවයි. “රිසවේෂන් කියන වචනය ඇහෙද්දී මගේ පපුව හයියෙන් ගැහෙන්න ගන්නවා. මොකද මම නිතරම බලාපොරොත්තු වෙන්නේ නරකම දෙය” ස්ලාහි එසේ සිහිපත් කරයි.
එක්වරම සොල්දාදුවන් තිදෙනෙක්ගෙන් සැදුම්ලත් කමාන්ඩෝ කන්ඩායමක් සහ ජර්මන් ෂෙපර්ඩ් සුනඛයෙක් අපේ ප්‍රශ්න කිරීමේ මැදිරියට කඩා පනිනවා. හැමදෙයක්ම ඔබ සිතනවාට වඩා ඉක්මනින් සිදුවෙනවා. [ඉවත්කර ඇත] මට මුනින් වැටෙනතුරු සාහසික ලෙස පහර දෙනවා.
“අම්මට හු** එකා , මං උඹට කිව්වා, උඹ ඉවරයි” [ඉවත්කර ඇත] ඔහුගේ සගයා මගේ සිරුරේ හැම අඟලක් ගානේ පහර දුන්නා. විශේෂයෙන් මගේ මුහුනට සහ ඉලඇට වලට. ඔහුත් හිසේ සිට දෙපතුල දක්වා ආවරනය කරගෙනයි සිටියේ. ඔහු වචනයක් හෝ කටින් පිට නොකර මට පහර දුන්නේ ඔහුව හඳුනාගන්නවට අකමැති නිසා. තුන්වැනි පුද්ගලයා මුහුනු ආවරන නොපැලඳ බල්ලාගේ කරපටියෙන් අල්ලාගෙන දොර අසල රැඳී සිටියේ ඌ මාවෙත කඩා පැන්නවීමට සූදානමින්.
“අම්මට හු..න එකා බලන්න හදයි. ඕකගේ ඇස් බැඳපන්”
කෙනෙක් වේගයෙන් මගේ මුහුන හරහා පාරක් ගැහුවා. එසැනින් මට ඇස් ආවරන සහ කන් ආවරන දමා මගේ ඔලූවට කුඩා බෑගයක් දැම්මා. කවුරු කුමක් කලා ද කියල මම දන්නේ නැහැ. ඔවුන් මගේ වලලූකර සහ මැනික්කටු වටා දම්වැල් දමා සිරකලා. පසුව ඉන් ලේ ගලන්න පටන් ගත්තා. මට ඇහුනේ “අරකට හු**න්, මේකට හු**න්” යනුවෙන් කෙරුනු [ඉවත්කර ඇත] සාප කිරීම් පමනයි. මම වචනයක් හෝ කිව්වේ නැහැ. මම බිරාන්ත වෙලා හිටියේ. මම හිතුවේ උන් මාව මරාදමන්න හදනවා කියලා.
වධදීම් නොගිනිය හැකි ස්වරූපයන්ගෙන් කෙරීගෙන ගියේය. එක පරිච්ඡේදයක සඳහන් වන පරිදි ආරක්ෂකයෝ ස්ලාහි විශේෂයෙන් සාදන ලද අධිශීත කුටියකට දැමූහ. “එය ආයුධ ගබඩා, ගුවන් යානා සහ ජෝර්ජ් බුෂ්ගේ ඡායාරූප ඇතුලු ඇමරිකානු පාරට්ටු සහිත රූපවලින් පිරී තිබුණා.” යාඥා කිරීම් තහනම් බව ආරක්ෂකයින් ඔහුට කියා සිටියා. “මුලු රැය පුරාම මට ඇමරිකානු ජාතික ගීයට සවන්දීමට සිදුවුනා. මම කොහොමටත් ජාතික ගී පිලිකුල් කරනවා. මට ඉන් මතක තිබුනේ නොනවත්වා ඇසුණු ‘ ඕ, සේ! කැන් යූ සී’ කියන එහි මුල් පේලිය පමනයි.”
පොත පුරාවටම ස්ලාහි සිය වධකයින්ගෙන් පුන පුනා අසන්නේ ”ඇයි මාව මෙහෙ තියාගෙන ඉන්නේ, මං මොනවද කරලා තියෙන්නේ” යනුවෙනි. ”ඒක උඹ කියපන් මට!” ඔවුහු එසේ පිලිතුරු දෙති.
එක් පරිච්ඡේදයක මෙසේ සඳහන් වේ. ස්ලාහි ජර්මන් බස කතාකරන බව දැනගන්නට ලැබීමෙන් ඉක්බිතිව එක් ප්‍රශ්න කරන්නෙක් (පොතේ සන්දර්භය තුල ඔහු ජර්මන් බුද්ධි අංශයේ අයෙක් බව ඇඟවේ) ඔහුට තර්ජනය කලේ, “Wahrheitmachtfrei [සත්‍යය ඔබව මුදවාලනු ඇත ]” යනුවෙනි. මෙය හොලොකොස්ට් වධ කඳවුරට යන මාර්ගයේ ඉදිකර තිබූ සංඥා පුවරු සිහිගන්වන කුප්‍රකට වැකියක විකෘතියකි; “Arbeitmachtfrei [වැඩකිරීම ඔබව මුදා ලනු ඇත]” වෙනත් වචනයෙන් කියතොත් ප්රශ්නකරන්නා නිසැකවම ඔහු නාසියෙකු ලෙස හඳුන්වා ඇත. “ඔහුගේ වචන ඇහෙද්දීම මම දැනගත්තා සත්‍යය මාව මුදා හරින්නේ නැති බව. මොකද ‘වැඩ කිරීම’ යුදෙව්වන් මුදාහැරියේ නැති නිසා.” ස්ලාහි ලියා ඇත.
මෙම පොතෙහි ලොමුදැහැ ගැන්වෙන පරිච්ඡේද අතරේ වුව ද ස්ලාහි එයට මුසුකිරීමට සමත්ව ඇති මානුෂීය වූ ද සියුම් වූ ද සාහිත්‍යමය ස්පර්ශය එහි ඇති ඇදහිය නොහැකි ලක්ෂනයයි. ඊලඟ වධදීමේ වාරය තෙක් රැඳී සිටින අතරවාරයේ (“වධදීම තෙක් බලා සිටීම වධ විඳීමට වඩා අපහසුය”) ඔහුගේ ජීවිතය ඔහු ජීවත් වුනු තැන්, ඔහු ආදරය කල අය සොයා ඔහුගේ මනස සැරිසැරීය. දිලිඳු භාවයට ඇද දමන ලද නුඅක්ෂොට් නගරයේ වැලි සහිත වාතය උදෑසන මුහුදු සුලඟින් ඉවත් කෙරෙයි. රාමදාන් සමයේ උදෑසනට දෙවරක් පල්ලියේ යාතිකා ගැයෙයි. සාම්ප්‍රදායික මොරිටේනියානු විවාහෝත්සවයක් සංකීර්න චාරිත්‍ර වාරිතයෙන් හා කුමන්ත්රන වලින් සමන්විත වෙයි. ඔහු සිය මව සමග උනු තේ කෝප්පයක රස විඳින අතර අල්ලාප සල්ලාපයේ යෙදෙන අයුරු සිහිකලේය. (ස්ලාහිගේ මව 2013 මාර්තු 27 මියගියේ ඇගේ පුතු ග්වන්තනාමෝ කඳවුරේ රඳවාගෙන සිටින අතරවාරයේය.)
යලි යලිත් පෙනන සිහිනයකදී ස්ලාහි ඔහුගේ පවුලේ සාමාජිකයින් දකියි. “මම ඇත්තටම ඔයාලත් එක්ක ද, නැත්නම් මේක නිකන්ම නිකන් හීනයක්ද?” ඔහු ඔවුන්ගෙන් අසයි. “නෑ ඔයා ඇත්තටම ගෙදර ඉන්නේ” ඔවුහු පිලිතුරු දෙති. “මාව අල්ලගන්න, මට ආයේ යන්න ඉඩතියන්න එපා”. ඔහු එසේ කියන නමුත් ඔහු අවදි වන්නේ මූසල, අඳුරු සිර කුටිය තුලමය. ඔහු නැවත නින්දට වැටී ඒ සිහිනයම දකින්නට තරම් සෑහෙන කාලයක් හාත්පස නෙත් හරවමින් සිටියි.
සිතාගන්නට අපහසු දුක්බර විස්තර මධ්‍යයේ ලේඛකයාගේ වෙනස් වූ ස්වරයක් ඉස්මතු වේ. ජෝර්දානයේ අම්මාන් වෙත නීතිවිරෝධීව තමන් පැහැරගෙන ගිය ගුවන් ගමනේ අවසානයේ සිදුවූ පහත සිදුවීම ස්ලාහි විස්තර කරයි.
හිනිමගට මඳක් ඔබ්බෙන් වූ ට්‍රක් රථයට ගොඩවීමට එක් ආරක්ෂකයෙක් මට නිහඬව උදවු කලා. ආරක්ෂකයින් පිටිපස අසුනේ මාව මැදි කරගෙන සිටි අතර ට්‍රක් රථය තුලදී මාව නිදහස් කලා. මට පහසුවක් දැනුනා. ට්‍රක් එක ඇතුලේ උනුසුම්, එන්ජිම වැඩි සද්දයක් නැහැ. රියදුරා වැරදීමකින් මෙන් රේඩියෝව ක්‍රියාත්මක කලා. චාටුකාර නිදිබර ගැහැනු ඩීජේ කටහඬක් මට ඇහුනා. දිගු, සීතල රාත්‍රියකට පසු සෙමෙන් නමුත් ස්ථිරව නගරය අවදිවෙමින් තිබුනා. රියදුරා වරෙක වේගය වැඩිකරමින්ද එක්වරම තිරිංග යොදමින්ද පසුවුනා.මොනතරම් නරක රියදුරෙක්ද? ඔවුන් ඔහුව බඳවගන්න ඇත්තේ ඔහුගේ මෝඩකම නිසාමයි. මාව රූකඩයක් වගේ ඉස්සරහට පස්සට තල්ලු වුනා.
ඇමරිකන් පතුල් ලෙවකන ජෝර්දානයේ සහ මොරිටේනියාවේ කුසීත, බලාපොරොත්තු විරහිත රහස් පොලිසි අරබයා ස්ලාහිගේ අවඥාව මතුකෙරෙන පරිච්ඡේද, ග්වන්තනාමෝ දිනපොත කෘතිය තුල හාස්‍ය පවා මතුකර ඇත. අරාබි රටවල්වල ‘රහස් පොලිසි’ පිලිබඳ හාස්‍යජනක දෙය නම්, ඔවුන් සාමාන්‍ය පොලිස් බලකායන්ටත් වඩා සාමාන්‍ය ජනතාවට නිරාවරනය වී තිබීමයි. මම හිතන්නේ අරාබි රටවල බලධරයින් “වඩාත් නිරාවරනය වූ පොලිසිය” වැනි අලුත් නම් පටබැඳීම ගැන සිතිය යුතුයි කියලයි.”
තමාගේ වධකයන් පිලිබඳ ස්ලාහිගේ සාහිත්‍යමය නිරූපනයන් සරල ලෙසම ඔවුන් වෙත නිර්දය විවේචනයක් එල්ල කරයි. “මෙම කාර්යය ඔහු සැලකිය යුතු කාලයක් තිස්සේ කරමින් සිටි බව දක්නට පුලුවන. ඔහුගේ මුහුනෙහි කිසිදු මනුෂ්‍ය ස්වභාවයක් දක්නට නැත. “අන් කිසිවෙකුත් ඔහුව පිලිකුල් කරනවාට වඩා ඔහු තමන්ව පිලිකුල් කරයි.” ස්ලාහි ඇමරිකන් වධකයෙක් පිලිබඳ එසේ සඳහන් කරයි.
ග්වන්තනාමෝ දිනපොත කෘතිය ඇමරිකානු බුද්ධි අංශ සහ ඔවුන්ගේ විදෙස් සහචරයින් ගැන අනාවරනය කරන්නේ පරපීඩක, ජාතිවාදී සහ මෝඩයින්ගේ ශෝචනීය එකතුවක් හැටියටයි. “උඹ දන්නව ද අපි ලඟ ඉන්නවා සමහර කලු අම්මට හු** එවුන්. උඹල වගේ ත්රස්තවාදීන්ට කිසිම කරුනාවක් නැති” ඔහු කිව්වා. ඔහු දිගටම ඔහුගේ කටින් පිටකලේ ජාතිවාදී වැකි. ‘මම මත් යුදෙව්වන් පිලිකුල් කරනවා’”
තවත් සිද්ධියක ස්ලාහි මෙසේ සිහිපත් කරයි. “අවලක්ෂන රෞද්‍ර මුහුනක් ආවේශ කරගත් එක් නිලධාරියෙක් මා වෙතට ආවා”
“උඹ ඉංග්‍රීසි කතා කරනවද?” ඔහු ඇහුවා.
“ඉංග්‍රීසි බෑ” මම පිලිතුරු දුන්නා.
“උඹ ඉංග්‍රීසි කතා කරනවට අපි කැමති නෑ. අපිට ඕනේ උඹ හෙමින් හෙමින් මැරිල යන්න” ඔහු කිව්වා.
“ඉංග්‍රීසි බෑ” මම දිගටම කිව්වා. ඔහු කියපු දේ මට තේරුනා කියන තෘප්තිය ඔහුට දෙන්න මට ඕන වුනේ නැහැ. “මම මහා අපතයෙක්” එක් වධකයෙක් ස්ලාහිට එසේ පැවසුවේය. “එහෙමයි මිනිස්සු මාව දන්නෙ. මට ඒකෙ ගැටලුවක් නැහැ.” න වචනය දිගටම භාවිත කල එක් ප්රශ්නකරන්නක් ස්ලාහිගේ ගර්හාවට ලක්වෙයි. “න***** කියන්නේ කල්ලෙක් කියන එක නෙවෙයි. න****** කියන්නේ මෝඩයි කියන එක”
මොවුන් වනාහි ජනාධිපති ඔබාමා විසින් “වීරයින්” සහ “දේශපේ‍්‍රමින්” ලෙස උත්කර්ෂයට නංවන ලද සුකුමාර පුද්ගලයන් පිරිසකි.
ස්ලාහි ග්වන්තනාමෝ වධකාගාරය වෙත පැමිනි මොහොතේ පටන් විදාරනය වුයේ, ඇමරිකන් මිලිටරියේ දුෂිත සහ පිරිහුනු සංස්කෘතියයි. වධකයින්ගේ වචනමාලාව මුලිකවම සැදුම් ගත්තේ හු* වචනයෙනි. කුප්‍රකට අබු ග්රයිබ් වධකාගාරයේ දසුන් ඇතුලත් ඡායාරූප සිහිගන්වමින්, කාන්තා වධකයින් ඔහු සහ අනෙකුත් රැඳවියන්ට අඩන්තේට්ටම් කල ආකාරය, ඔවුන් ලිංගිකව අවමානයට පත් කල ආකාරය සහ ඔවුන් සමග ලිංගිකව එක්වීමට උත්සාහ කල ආකාරය ස්ලාහි විස්තර කරයි. “කෙනෙක් සමග ලිංගිකව හැසිරීම වධ දීමක් කියල සලකන්නේ නැහැ”. එක් නිලධාරිනියක් අවඥා සහගතව පැවසුවාය. (අනාගත යුද අපරාධ විනිශ්චය මන්ඩලයක් මෙයට එකඟ නොවිය හැකියි.)
“බොහමයක් [ඉවත්කර ඇත] වටහා නොගන්න දෙයක් තමයි, බලහත්කාරයෙන් ලිංගික කාර්යකට යොදාගත්තොත් ගැහැනු වගේම පිරිමිත් වේදනාවට පත් වෙනවා කියන එක”. එක් හද කම්පාකරවන (තදින්ම වාරනය කෙරුනු) පරිච්ඡේදයක ස්ලාහි සඳහන් කරයි. පොතේ හැඳින්වීමේදී නිල වාර්තාවන්ගෙන් උපුටා දක්වමින් සංස්කාරකවරයා පෙන්වා දෙන්නේ, 2005 වසරේ පරිපාලන විමර්ශන මන්ඩල නඩු විභාගයේදී, කාන්තා නිලධාරින් අතින් තමන් ලිංගික අපයෝජනයට ලක්වූ ආකාරය පැහැදිලි කිරීමට උත්සාහ කරද්දී කම්පනයටත්, ව්යාකුලත්වයටත් පත්වූ වගක් ස්ලාහිගෙන් දර්ශනය වූ බවයි.
මේ පොතේ වඩා අන්ධකාර නිමේෂයන්හිදී ස්ලාහි සිය ප්‍රකෘති සිහිය රඳවා තබාගැනීමට පොර බදයි. කිසිදු ආයාසයකින් තොරව තමන්ට අවමන් කරන, තමන්ට අඩන්තේට්ටම් කරන පුද්ගලයින් ගැන බොහෝ අවස්ථාවලදී ඔහු ව්‍යාකුල හැඟීමක් සහිතව පසුවෙයි. පොතේ අවසාන භාගයේ හමුවන දැඩිවම වාරනය කර ඇති පරිච්ඡේදයන්හිදී ස්ලාහි, එහි ආරක්ෂකයන් සමහරක් සමග සම්බන්ධතා පැවැත්වූ බවක් පෙනෙන්නට තිබේ. එහෙත් එම ආරක්ෂකයින් සැබවින්ම ස්ලාහිට පක්ෂපාත වුයේ ද නැතහොත් එය ද හුදෙක් “ප්‍රශ්නකිරීමේ සැලස්මේ” කොටසක්දැයි කීම උගහටය. ස්ලාහි නිදහස ලැබ පීඩනයෙන් සහ වාරනයෙන් තොරව පොත ප්‍රකාශයට අවකාශ ලබන දිනය තෙක් පාඨකයා ඇඟිලි ගනිමින් සිටිනු ඇත.
ග්වන්තනාමෝ දිනපොත, “ත්රස්තවාදයට එරෙහි යුද්ධය” යයි කියාගන්නා මෙහෙයුමේ ව්‍යාජය පිලිබඳ තවත් තහවුරුවකි. පොතේ තැන් කිහිපයකදීම තමන් අල්ලාගත් අය ගැන සඳහන් කිරීමේදී “ඔවුන් මට ඔවුන් සමග වැඩ කිරීමට යෝජනා ගෙනාවා” යනුවෙන් සඳහන් කරයි. අනෙකුත් රැඳවියන්ටත් නිසැකවම ඉදිරිපත් කල මෙවන් ඉල්ලීම්වල අශෝභන ගම්‍යයන් ඇතැම්විට ස්ලාහි විසින් මුලුමුනින්ම ග්රහනය කර නොගන්නට ඇත. ඇමරිකාවේ නීච රහස නම්, 1980 දී ඇෆ්ගනිස්තානයේ අල් කයිඩාවෙන් ඇරඹී අද වන විට සිරියාවේ සහ ලිබියාවේ මෙන්ම තවත් බොහෝ තැන්වල ඉස්ලාමීය මූලධර්මවාදී කන්ඩායම් සමග ඔවුන්ගේ බුද්ධි අංශ සහ එහි විදෙස් සහචරයන් පවත්වාගත් දීර්ඝකාලීන සහයෝගිතාවයයි.
ස්ලාහිම පෙන්වාදෙන ආකාරයට, ඔහු ඇෆ්ගනිස්තානයේ සෝවියට් යුද්ධ සමයේ, අල්කයිඩාවට සහයදීමේ අපරාධය සම්බන්ධයෙන් වරදකරු වන්නේ නම්, ඔහු මෙන්ම ඇමරිකාව සහ එහි බුද්ධි අංශ ද මූලධර්මවාදී හමුදාවන්ට පූර්න සහය දැක්වූ දා පටන්ම වරදකරුවන් වන්නේය. ජනාධිපති රොනල්ඩ් රේගන් ඔවුන් “නිදහස් සටන්කරුවන්” ලෙස හඳුන්වාදුන්නේය.
ස්ලාහිගේ දේශපාලන අදහස් ග්වන්තනාමෝ දිනපොතෙහි දැකගත හැකිතාක් දුරට,1991දී අල්කයිඩා පුහුනු කඳවුරකට ගිය පුද්ගලයෙකු තුල ඒවාට වඩා වැඩි යමක් කෙනෙකුට බලාපොරොත්තු විය හැකි නොවේ. එවකදී “කොමියුනිස්ට්වාදීන්ට” එරෙහිව සටන් කිරීමේ සිය ආශාව ඔහු විස්තර කරයි. ඔහුගේ දැක්මට අනුව, කෙරීගෙන යන ඇමරිකාවේ “ත්රස්තවාදයට එරෙහි යුද්ධය” සරලවම ගත් කල මුස්ලිමුන්ට එරෙහි සමූල ඝාතක යුද්ධය සඳහා ව්‍යාජ හේතුවකි. (ඇමරිකානු අත්අඩංගුවේ සිටියදී ලැබුනු සැලකිල්ලට අනුව ඔහු එලෙස සිතීම ගැන ඔහුට දොස් පැවරීම අපහසුය.)
ස්ලාහිගේ ආගමික මනෝගතීන් ප්‍රබල ලෙසම කෘතිය තුල විද්‍යමාන වන අතර ඒවා ඔහුට අවංකවම දැනුනු ඒවා බවට කිසිවෙකු සැක නොකරයි. ඉතා දරුනු මනස්ථාපයන් ඇතිවූ අවස්ථාවලදී ඔහු සිය සාක්කු කුරානයට ඇලී ගැලී යාඥා කරයි. “මුලු ක්‍රියාවලිය පුරාවටම මට සිහිවූ යාඥාව වූයේ 'යා හයූ, යා කයුම්' යාඥාව පමනයි.” ආරක්ෂකයින් ඔහුගේ යාඥාව සරදමට ලක් කලහ. “අය්යෝ අල්ලා...මට උදවු කරනු මැන...අල්ලා මට කරුනාව දක්වනු මැන” ඔවුහු ඔහුගේ යාඥා අනුකරනය කරමින් පැවසූහ. “අල්ලා කෙනෙක් නැහැ. එයා උඹව දාල ගිහිල්ලා!”
අන් සියල්ල තිබියදී වුවත්, සියල්ලටම ඉහලින් ස්ලාහිගේ කරුනාබර මනෝගතීන් පාඨකයා ඔහු කෙරේ ඇද බැඳ තබයි. “මනුෂ්‍යයා ස්වභාවයෙන්ම තවත් මනුෂ්‍යයෙකු වධයට පැමිනවීම පිලිකුල් කරයි. ඇමරිකානුවන් ද එයින් වෙනස් නැත” ස්ලාහි කියයි. ඔහු ඇමරිකානු ජනතාවට කෙරෙන ප්‍රබල ආමන්ත්‍රනයකින් පොත අවසාන කරයි. “ඇමරිකානු ජනතාව සිතන්නේ මොනවාද? ඒ ගැන දැනගන්නට මං ගොඩක් උනන්දුයි. මං හිතනවා බහුතරයක් ඇමරිකානුවන්ට යුක්තිය ඉටුවනවා දකින්නට අවශ්‍ය ඇතුවා විනා අහිංසක මිනිස්සු හිරබාරයේ තබා ගැනීමට ආධාරදීම සඳහා කැමැත්තක් ඔවුන්ට නැතැයි කියලා.”
ඇත්ත වශයෙන්ම ස්ලාහිගේ පොත, කිසිවෙකුත් වගකීම බාරගෙන නැති, ඇමරිකානු සහ ජාත්‍යන්තර නීති බරපතල ලෙස උල්ලංඝනය කිරීම් පිලිබඳ වැඩිදුර සාක්ෂියකි. ස්ලාහිගේ ප්‍රශ්න කිරීම සහ ග්වන්තනාමෝ කඳවුරෙන් ඔහු නිදහස් කීරීම අවුරාලීම සම්බන්ධයෙන්, මුල්ම වරදකරුවන් වන බුෂ් සහ ඔබාමා පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලුව පොතෙහි කියවෙන ස්ලාහිට මුනගැසෙන සියලු චරිතවලට එරෙහිව අනාගත යුද අපරාද චෝදනා ගොනු කිරීමේදී ප්රමුඛ ප්‍රදර්ශන භාන්ඩයක් ලෙස ඉස්මතු වීමට ග්වන්තනාමෝ දිනපොත කෘතියට සුදුසුකමක් ඇත්තේය.
ඉතා දිරිමත් සංඥාවක් දල්වමින් කෘතිය, මේ වන විටත් නිව් යෝර්ක් ටයිම්ස්හි වැඩියෙන්ම විකිනෙන පොත් ලයිස්තුවේ දහහතරවන ස්ථානය දක්වා ඉහලට පැමින ඇත. ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය මෙම පොත මැඩලීමට හේතු පවතින අතර මෙම පොත කියවිය යුත්තේ ද උක්ත හේතු නිසාම ය.
Follow us on