රාජ්‍ය වධබන්ධන වලට නඩු දැමිය යුතු යයි නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත කියාසිටී
The New York Times calls for torture prosecutions
“වධකයන්ට ද උන් මෙහෙයවන්නන්ට ද නඩු පවරනු,” යන මැයින් සඳුදා නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පතේ පලවූ කතුවැකිය බුෂ් පාලනාධිකාරයේ අනුමැතියෙන් එක්සත් ජනපදයේ සිදු කරන ලද වධ බන්ධන පිලිබඳව සෙනේට් මන්ත්‍රී මන්ඩලයේ බුද්ධි කමිටුවේ වාර්තාව ප්‍රසිද්ධ කිරීමෙන් පුපුරාගිය දේශපාලන අර්බුදයේ අලුත් අවධියක් පෙන්නුම් කරයි.
බුෂ් පාලනාධිකාරය යටතේ සීඅයිඒ සංවිධානය රහසිගත සිරගෙවල සිදූකල වධ බන්ධන හෙලාදැකීම සඳහා මෙම කතුවැකිය යොදා ගත් මාතෘකාවේ තිබෙන්නේ කාවදින දැඩි වචනය.
එම ලිපියේ ඉතාවැදගත් කොටසක් මෙසේ ය:
ඇමරිකානුවෝ මෙම ක්‍රියා බොහොමයක් ගැන අවුරුදු ගනනාවක් තිස්සේ දැන සිටියෝය. එහෙත් සෙනේට් බුද්ධි කමිටු වාර්තාවේ පිටු 524 ක මෙම විධායක සාරාංශය එම ක්‍රියාවල කුපාඩි කමත් නීති විරෝධී බවත් පිලිබඳව කුමන සැකයක් වුව ඉතුරු නොකර අතුගා දමයි.
“ගුදයෙන් ආහාර අතුලුකිරීම” වැනි පරපීඩන කාමුක වධදීම් වලට අමතරව, වෝටර්බෝර්ඩ් කිරීම (මුහුන වැසූ රෙදිකඩකට දියෙහි ගිලෙන්නා සේ දැනෙන තෙක් ම දිගින් දිගට පැය ගනන් වතුර වත්කොට හුස්ම හිර කිරීම), දෑතේ මැනික් කටුවලින් ගැටගසා එල්ලා තැබීම, මිනීපෙට්ටිවල දින ගනන් සිරකර තැබීම, නින්ද වැලක්වීම , මරන තර්ජනය ඇතුලු මුර්ග පහර දීම් වලට දුසිම් ගනන් මිනිස්සු ගොදුරුකරන ලද්දෝය. කොන්ක්‍රීට් පොලවක බාවා දම්වැල්වලින් තදකොට බඳින ලද එක අයෙක් 2002 නොවැම්බර් මාසයේ දී “උෂ්න හීනතාව” නිසා මරනයට පත් වී යයි වාර්තා කරන ලදී.
මේවා වනාහි සරලව ම අපරාධ ය. සිතාමතාම “දැඩි ශාරීරික හෝ මානසික වේදනා සහ දුක්” පැමිනවීම යනුවෙන් වධදීම නිර්වචනය කරන ඇමරිකානු ෆෙඩරල් නීතිය ඒවා තහනම් කර ඇත; එසේම 1994 දී ඇමරිකා එක්සත් ජනපද ආන්ඩුව අත්සන් කල වධ දීම තහනම් කරන ගිවිසුමට එරෙහි ය.
ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදයේ වඩාත් ම බලපෑම් සහිත ටයිම්ස් පුවත් පත බුෂ් පාලනාධිකාරය අපරාධ කාරී ආන්ඩුවක් යයි ප්‍රකාශ කර තිබේ. එය මෙසේ ලියයි, “ඕනෑම විශ්වසනීය පරීක්ෂනයකට හිටපු උපජනාධිපති ඩික් චේනි ද චේනිගේ මාන්ඩලික ප්‍රධානී ඩේවිඩ් ඇඩිංටන්, හිටපු සීඅයිඒ අධ්යක්ෂ ජෝර්ජ් ටෙනට්, හා වධ බන්ධන ලියවිලි වශයෙන් හඳුන්වන දෑ කෙටුම්පත් කල, නීති කාර්යාලයේ ජෝන් යූ හා ජේ බයිබී ද යටත් කල යුතු වේ.”
කතු වැකිය ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් විත්ති කූඩුවට නග්ගා නඩු විභාගයට ලක් කල යුතු එකෙකු හැටියට නම් කරන්නේ නැත; එහෙත් එහි තර්කනය අනිවාරනීය ය. වධකයන්ගේ “ලොක්කන්” අතර මුල් ම තැන ගන්නේ බුෂ් ය. චේනි විසින් ම ප්‍රසිද්ධියේ කියා ඇති පරිදි සෙනේට් වාර්තාවේ විස්තර කරන ලද සීඅයිඒ ක්‍රියාකාරකම් සම්පුර්නයෙන්ම බුෂ්ට දැනුම් දෙන ලදී.
ටයිම්ස් පුවත් පතේ මෙම කතුවැකිය කෙසේ තේරුම් කල හැකි ද? නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පතේ ප්‍රකාශකයා ද කර්තෘ වරුන් ද දේශපාලන නොදරුවෝ නොවෙති. ඔවුන් කලින් නොදැන සිටි මොනයම් මැ දෙයක් හෝ සෙනෙට් වාර්තාවේ ඇත්තේ නැත. සැබවින් ම, බුෂ් පාලනාධිකාරයේ සාපරාධී ක්‍රියා සහ වධ බන්ධන වසන් කිරීමට නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත ඉටු කලේ වැදගත් භූමිකාවකි.
ටයිම්ස් පුවත් පත බුෂ් පලනාධිකරයේ ප්‍රධාන පුද්ගලයන් පිලිබඳව අපරාධ නඩු විමසීමක් කලයුතුයයි දැන් කියාසිටින්නේ හේතු කිහිපයක් නිසාය:
1. සෙනේට් වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ බුෂ් පාලනයේ සාපරාධී සහ ව්‍යවස්ථා විරෝධී වැඩකටයුතු වලින් අංශුවක් පමනක් බව ටයිම්ස් පුවත් පතේ කතුවරු දැන සිටිති.
2. බුෂ් පාලනාධිකාරය විසින් කර තිබෙන නීතිය කුප්‍රකට ලෙස උල්ලංඝනය කිරීම් මගින් ඇමරිකානු පිලිවෙතෙහි සුජාත භාවය ට බරපතල ලෙස වලකපා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ලෝක තත්වය දුබල කරනු ඇතැයි ඔවුහු බිය වෙති.
3. ව්‍යවස්ථාමය සහ ප්රජාතන්ත්ර ප්රතිමානයන් ඉවබව නැතිව පාගා දැමීම මගින්, තම ධනය සහ වරප්රසාදයන් රැඳී පවත්නා සමාජ පර්යායහි ස්ථාවර භාවය සහ සුජාතභාවයට මාරක විපාක ඇති වීමට ඉඩ ලැබෙතැයි ඔවුහු බරපතල ලෙස කනස්සලු වෙති.
කාටර් පාලනයේ පටන් දශක තුනකට අධික කාලයක් තිස්සේ එක්සත් ජනපද ආන්ඩුව ලෝකය පුරාම ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය සඳහා ප්‍රධාන ප්රාමානිකය ලෙස යොදා ගෙන ඇත්තේ මානව හිමිකම් ආරක්ෂා කිරීමය. සීතල යුද්ධ සමයේ ද ඉන් ඉක්බිතිව ද වොෂිංටනය අතිශයින් ම මෘග දක්ෂිනාංශික ඒකාධිපති පාලනයන් සමග - ෂා යටතේ ඉරානය , සෞදි අරාබිය , මුබාරක් යටතේ ඊජිප්තුව , සුහර්තෝ යටතේ ඉන්දුනීසියාව සහ ලතින් ඇමරිකාවේ නිමක් නැති ඝාතක තන්ත්රයන් සමග- පවත්වාගෙන ගිය කිට්ටු සම්බන්ධතාවයන් පෙන්නුම් කර ඇති පරිදි එම ප්රාමානිකය සෑම විටම ප්‍රෝඩාවක් විය. එසේ වුව ද , සෙනේට් වාර්තාවේ එලිදරව් කර තිබෙන වැඩකටයුතු හුදෙක් කුහක වංචනිකත්වය ඉක්මවා බොහෝ ඈතට ගමන් කරයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ආන්ඩුව , ජාත්‍යන්තර නීතිය නිර්ලජ්ජිතව උල්ලංඝනය කර තිබෙන බව සී අයි ඒ වධබන්ධන විසින් එලිදරව් කරනු ලැබ ඇත. එසේ උල්ලංඝනය කරනු ලැබූ නීතිවලට නුරෙම්බර්ග් අධිකරනයේදී කරන ලද එලිදරව්කිරීම් ද ඇතුලු නාසි ම්ලේච්ඡත්වය ට එරෙහිව පනවන ලද ජිනිවා සම්මුතීන් ද ඇතුලත් වේ. එන්න එන්න ම සංකීර්න සහ ඝට්ටන කාරී වන ලෝකයක් තුල මෙම එලිදරව්ව රැව්දෙයි. වොෂිංටන් පාලකයන් මුහුන දී සිටින්නේ රුසියාව සහ චීනය සමග දිගින් දිගට ම පවත්වාගෙන යන උන්ගේ එදිරිවාදුකමට පමනක් නොවේ; ජර්මානු අධිකාරය පැතිරුනු යුරෝපය ද, වඩ වඩාත් බලකාමී වෙමින් සිටිනා ජපානය ද ඉන්දියාව සහ බ්‍රසීලය වැනි නැගෙන බලයන් ද සමග උග්රවන ආතතියකින් යුක්ත වූ තතු තුලය.
පාලන තන්ත්රය ව්‍යවස්ථානුකූල මූලධර්ම එලිපිටම උල්ලංඝනය කිරීම වඩාත් දරුනු විපාක ඇතිකරන්නේ රට තුලමය. මන්ද යත් එමගින් ඇමරිකා එක්සත් ජනපදය තුල වසර 200ක් තිස්සේ තහවුරු කෙරුනු ධනේශ්වර පාලනයේ දේශපාලන අත්තිවාරම් වලට වල කැපෙන නිසාය. එක්සත් ජනපද ව්‍යවස්ථව වනාහි පාලක පන්තියේ දේපල සහ ධන සම්පත් සහතික කරන්නා වූ නීති සම්භාරයේ ද රාජ්‍ය තන්ත්රයේ ද පදනම සපයන පුලුල් නීති සම්භාරයක ද රාජ්‍ය තන්ත්රයේ ද පදනමයි.
බුෂ් පාලනාධිකාරය විසින් ක්‍රියාත්මක කොට දැන් ඔබාමා පාලනාධිකාරය විසින් උග්‍ර කොට ගෙන යනු ලබමින් පවත්නා ප්‍රකාර, ව්‍යවස්ථාමය නීතිමත් මුලුමනින්ම අතහැර දැමීමක් මගින් ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන ස්ථාවරත්වය බිඳහෙලනු ඇතැයි යන බියෙන් පාලක ප්රභුවේ කොටසක් වික්ෂෝභයට පත්ව සිටිති. ටයිම්ස් පුවත් පත නියෝජනය කරන්නේ එයයි.
එතකුදු නොව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත මෙ අයුරින් පුද්ගලයන් නම් කිරීමට තීන්දු කර ඇත්තේ ඒ අය කලින් වදබන්ධන වලට සම්බන්ධ ව සිටි නිසා ම පමනක් නොවන බව අප උපකල්පනය කර ගැනීම සහේතුක ය. චේනි මත අවධානය යෙදීම තියුනු ලෙස පෙන්නුම් කරන්නේ, මිලිටරියේ ද ඔත්තු සේවාවන්හි ද පුද්ගලයන් සම්බන්ධ වන බලගතු කල්ලියක මධ්‍ය අක්ෂය බවට ඔහු පත්ව ඇතැයි පාලක පැලැන්තියේ කොටස් තුල ඉමහත් උත්සුකයක් හටගෙන තිබීම ය. ඔවුන් ඇමරිකාව තුල යම් ආකාරයක අත්තනෝමතික ආඥාදායකත්වයක් ක්‍රියාත්මක කිරීම සඳහා අනවරතව වැඩකරන “රහසිගත ආන්ඩුවක්” ලෙස වැඩ කරති. මෙම කතුවැකිය පලකිරීමට නිශ්චිත හේතු මොනවා වුව ද , පාලක ප්රභුව තුල කටුක දේශපාලන ඝට්ටනයක් ඇවිල පවත්නා බව නම් නිසැකය.
බුෂ් පාලනාධිකාරයේ වධකයන්ට ද උන්ගේ ස්වාමිවරුන්ට ද නඩු පැවරිය යුතුයි කියාසිටීමෙන්, ටයිම්ස් පුවත් පත කර ඇත්තේ පැන්ඩෝරා පෙට්ටිවල පියන් ඇර දැමීමයි. යම් හෙයකින් මෙම චෝදනා විභාගයට ගනු ලැබුව හොත් , ඔබාමා පාලනාධිකාරය ඒ හා ඇදෙන නීතිමය දැලෙන් ද දේශපාලන ලේ නාගැනීමෙන් ද ගැලවෙනු නැත. සිරකරුවන් ට වධ දීම අපරාධයක් නම්, ඩ්‍රෝන් මිසයිල මගින් දහස් ගනන් ඝාතනය කිරීම ඊටත් වඩා ලොකු අපරාධයකි.
ටයිම්ස් පුවත් පත හෝ, ඒ හැටියට ගත හොත්, එය විසින් නියෝජනය කරනු ලබන පාලක පන්තියේ කොටස් හෝ, පාලනකර ගත නොහැකි ලෙස මෙම අර්බුදය දඟර හරිනු දකින්නට සුදානම් නැත. මෙහි දී අන් සියල්ලටමත් වඩා ඔවුන් බියවන්නේ එන්න එන්නම උග්රවන දේශපාලන අර්බුදය තුලට ජනතාව සැබවින් ම මැදිහත් වීම කෙරෙහි ය.
එනමුත් මහජනතාවගේ සැබෑ මැදිහත්වීමකින් මිස ප්රජාතන්ත්ර අයිතීන් රැක ගත හැකි අන් මගක් ඇත්තේ නැත. පාලක ප්රභුව තුල පවත්නා ඝට්ටනය වනාහි අවසාන විග්රහයේ දී උපාය පිලිබඳ වූ එකක් පමනි. ඝට්ටනය මෙම ප්රභුවට සීමාව පවතින තාක් ඉන් පැනනගිනු ඇත්තේ වඩා ප්රජාතන්ත්රවාදී විසඳුමක් නොව, ප්රජාතන්ත්ර පටිපාටින්ගෙන් වඩවඩා නිර්ලජ්ජිත ලෙස බිඳෙමින් ඒවා මුලුමනින්ම පොලිස්- මිලිටරි-ඔත්තු තන්ත්රයට යටත් කොට , අන්තිමේ දී කිසියම් ආකාරයක ඍජු මිලිටරි -පොලිස් ඒකාධිපතිත්වයකට මග පෑදීම ය.
කම්කරු පන්තියේ කර්තව්‍යය වන්නේ පාලක ප්රභුවේ කුමන පාර්ශවයක් සමග හෝ පෙලගැසීම නොවේ; ගෝලීය ධනේශ්වර ක්රමයේ පරිහානිය සහ අර්බුදය විසින් ප්රජාතන්ත්ර අයිතීන්ට එල්ල වන ප්‍රහාරය දුවවනු ලබන බව වටහාගනිමින් කම්කරු පන්තිය ස්වාධීනව අර්බුදයට මැදිහත් විය යුතු ය. මුදුනේ සුපිරි ධනපතියන් අතලොස්සක් ද දිවි ගැටගසා ගැනීමට වලිකන ඉමහත් මහාජනකාය ද වශයෙන් සමාජය දෙකඩ කොට දැමීමත් සමග ප්රගාමීව උග්රවන්නාවූ ආර්ථික අසමානතාවය පදනම් කරගත් ආර්ථික පර්යායකට පවත්වාගෙන යා හැකි කුමන රූපාකර හෝ වූ ප්රජාතන්ත්රවාදී පාලන රූපයක් ඇත්තේ නැත.
සෙනේට් වාර්තාවේ අන්තර්ගත කෘර ක්‍රියාවලට ද , දිගින්දිගටම පවත්වාගෙන යන සහ සීඅයිඒ “කලු අඩවි” (බ්ලැක් සයිට්ස්) වසා දමීමෙන් පසුව ද තව තවත් උත්සන්න කර ඇත්තාවූ ද ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධවලට වගකියයුතු සියලු දෙනාටම එරෙහිව නඩු විභාග කල යුතුය යන ඉල්ලීම කම්කරු පන්තිය තමන්ගේ අතට ගත යුතු ය. මෙයට ඇතුලත් විය යුතු වන්නේ එවක සිටි බුෂ්- චේනි පාලනාධිකාරයේ නායකයන් පමනක් නොවේ. බුෂ් පාලනාධිකාරයේ වධක තන්ත්රයේ කොටස්කරුවෙක්ව සිටි වත්මන් සීඅයිඒ අධ්‍යක්ෂක ජෝන් බ්‍රෙනන්, එන්එස්ඒ ( ජාතික ආරක්ෂක ඒජන්සියේ ) චරපුරුෂ නායකයන් සහ පෙන්ටගනයේ සහ ඔබාමා ගේ ධවල මන්දිරයේ යුද අපරධකායින් ද මීට ඇතුලත් ය.
පැට්රික් මාර්ටින් සහ ඩේවිඩ් නෝර්ත්
Follow us on