කතෝලික පල්ලියේ අර්බුදය වැලක්වීමට දැරූ උත්සාහය තුල, නව පාප්වරයා තෝරා ගත්තේය

New pope elected as Catholic Church tries to stem crisis

පැටි‍්‍රක් ඕ කොනර් විසිනි, 2013 මාර්තු 14

2013 මාර්තු 14 දින ලෝසවෙඅ (wsws.org) පලවූ මෙම ලිපිය කාලීන වැදගත්කම මත සිංහල භාෂාවෙන් පලකරනු ලැබේ.

***

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි හිටපු කාදිනල්වරයා වන ජෝජ් මාරියෝ බෙර්ගොග්ලියෝ කතෝලික පල්ලියේ නව ප‍්‍රධානියා ලෙස 2013/3/13වැනි දින පත්කරන ලදී.

“ෆ‍්‍රැන්සිස් පාප්” දිව්‍ය සත්ප‍්‍රසාද තලයට ගෙන ඒම, හුස්ම නොවැටෙන තරමේ මාධ්‍ය ආවරනයක් ලබා ගෙන තිබූ අතර ලෝකය පුරා රාජ්‍ය නායකයන් විසින් නමස්කාර කරනු ලැබ ඇත. දූෂන, ලිංගික අපචාර හා ඒවාට සම්බන්ධ සෝලිවල අතිවිශාල පිපිරීමකින් පසු කතෝලික පල්ලියේ පැවත්ම සහතික කිරීම පිනිස, ජාත්‍යන්තර වැටහීමකින් යුත් පල්ලිය හා පාලක පැලැන්තියේ එහි සහචරයන්, අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන තිබේ.

පසු ගිය මාසයේ ජෝශප් රැට්සින්ගර් (16වැනි බෙනඩික් පාප් වරයා - පරි) පෙර නො වූ විරූ පරිදි පාප් පදවියෙන් ඉල්ලා අස්වීම, ප‍්‍රතිගාමිත්වයේ, බුද්ධි විරෝධයේ හා මර්දනයේ ආක්ෂක ප‍්‍රාකාරය ලෙස වසර දෙදහසක් මුලුල්ලේ ක‍්‍රියාත්මක වී ඇති ආයතනයක් වන පල්ලිය තවත් අර්බුදයකට ඇද දැමී ය.

බෙර්ගොග්ලියෝ අවුරුදු 1200ක කාලය තුල යුරෝපීය නොවන පලමුවැන්නා ද පලමු ජෙසුයිට් නිකායික පාප් වරයා ද වෙයි.

තම පූජක වෘත්තියේ වැඩි කාලයක් රෝමයේ පල්ලි සංවිධානවල ගත කර තිබූ කලින් සිටි පාප්වරයා වූ රැට්සින්ගර් මෙන් නොව බෙර්ගොග්ලියෝ, මීට පෙර වතිකානුවේ වෙනත් ශඛාවක සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබූ නමුත් ඊට පෙර කිසි දිනක වතිකානුවේ වැඩ කර නො තිබුනි. නො පැහදිලි මූල්‍ය විධිවිධාන හා වංචාකාරී මුදල් ගනුදෙනු ද සමලිංගික කටයුතු පිලිබඳව හෙලිදරව් කරන බවට ජ්‍යෙෂ්ට පූජක කන්ඩායම් වලට එල්ල කෙරුනු තර්ජන ඇතුලත් ඊනියා “වැටිලීක්ස්” (කාන්දු වුනු වතිකානු ලියවිලි පිලිබඳ සෝලිය - පරි) සිද්ධිය මධ්‍යයේ, පල්ලියේ ජ්‍යෙෂ්ට කාදිනල්වරුන් පාප් වරයා ලෙස ෆ‍්‍රැන්සිස්ගේ නම යෝජනා කිරීම තුලින් “පිටස්තරයෙකුට” ආයතනය යලි ප‍්‍රතිසංවිධානය කල හැකි වනු ඇතැයි, පැහැදිලිවම බලාපොරොත්තු වන්නට ඇත.

දැන් පැහදිලි වන පරිදි රැට්සින්ගර්ගේ ඉල්ලා අස්වීම කඩිනම් කෙරුනේ මෙම සෝලි මගිනි. ප‍්‍රකාශිත කාරනය “සෞඛ්‍යය හේතු” වූව ද 2005දී පාප්වරයා බවට පත්වන අවස්ථාවේ රැට්සින්ගර්ගේ වයසට වඩා අවුරුදු දෙකකින් පමනක් අඩු 76 වන වියේ පසුවූ අයෙකු පාප්වරයා ලෙස පත්කර ගැනුනි. ගැටවරයෙකු ව සිටි අවධියේ පෙනහැල්ලක් ඉවත් කරනු ලදුව ඔහුට දැන් ඇත්තේ එක් පෙනහැල්ලක් පමනි.

ආර්ජන්ටිනියානු පාප්වරයෙකු පත්කර ගැනීමට පල්ලිය ගෙන ආ යෝජනාවේ ඉලක්කය වන්නේ, එහි ජාත්‍යන්තර කීර්තිය ඔසාවා තැබීම ය. යුරෝපයේ ක‍්‍රියාකාරී කතෝලිකයන් සංඛ්‍යාව වේගයෙන් පිරිහෙමින් ඇති අතර ආසියාව, අප‍්‍රිකාව හා ලතින් ඇමරිකාවෙන් පූජකයින් ගෙන්වා නොගන්නා තතු යටතේ දැනට තිබෙන කෝරල පවත්වාගෙන යාමට පූජක ශ්‍රේනිවලට එකතු වන තරුනයින් සංඛ්‍යාව අප‍්‍රමානවත් ය. ලෝකයේ කතෝලිකයින්ගෙන් ඇස්තමේන්තු ගත සියයට 40ක් මධ්‍යම හා දකුනු ඇමරිකාවේ සිටිය ද එක් අතකින් එහි තරගකාරී එවැන්ජලික කන්ඩායම් හා අනෙක් අතින් සියලු ම ආගම් ප‍්‍රතික්ෂේප කරන තරුනයින්ගේ සංඛ්‍යාව වැඩිවීම නිසා එහි පල්ලිය ද පවතින්නේ පීඩනය යටතේ ය. උදාහරනයක් වශයෙන් ගත හොත් ආජන්ටිනාවේ නිතිපතා පූජාවට සහභාගීවන්නේ එහි කතෝලික ජනගහනයෙන් සියයට 10ත් අඩු සංඛ්‍යාවක් පමන කි.

ඒ අතර ම බෙර්ගොග්ලියෝ ඔසවා තැබීම පිටුපස නිශ්චිත දේශපාලන ගනන් බැලීම් පවතී. ලතින් ඇමරිකාව තුල කම්කරුවන්ගේ හා පීඩිත ගොවීන්ගේ වාමාංශික ව්‍යාපාරයන්ට එරෙහිව පල්ලිය, ඇමරිකානු අධිරාජ්‍යවාදයට බැඳුනු ඉතා ප‍්‍රතිගාමී දේශපාලන බලවේගයන් සමග අත්වැල් බැඳනිමින් වැඩ කලේ ය. පසු ගිය දශක තුන තිස්සේ ජනතාවගේ පුලුල් ස්ථරයක් දරිද්‍රතාවට ඇද දමා ඇති බොහෝ රටවල නිදහස් වෙලඳපොල ආර්ථික ප‍්‍රතිපත්තිවලට එල්ල වන දැවැන්ත විරෝධය හා දැවන්ත සමාජ අසමානතාව මගින් මෙම මහාද්වීපය විනාශයට ඇද වැටී ඇත. ආර්ජන්ටීනියානු පාප්වරයෙකුගේ අතිරේක අධිකාරිත්වය සමග පල්ලිය දැන්, සමාජ විප්ලවයේ තර්ජනයට එරෙහිව නැවත වතාවක් සුදානම් වෙමින් සිටී.

“දුප්පතුන්ගේ හා අප අතර සිටින බෙහෙවින් නිරාවරනය වන කොටස් වල වීරයා” ලෙස ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා ෆ‍්‍රැන්සිස් පාප්වරයාට ආචාර කලේය. ඔහු පැවසුවේ, “ඇමරිකාවන් අතරින් පත්වන පලමු පාප්වරයා ලෙස එතුමාගේ තෝරා ගැනීම, වඩ වඩාත් අපගේ ලෝකය හැඩගස්වන කලාපයක ශක්තිය හා වැදගත්කම පෙන්නුම් කරන බවයි.”

ලෝක මාධ්‍යය වාතිකානුවේ ගුප්ත හා මධ්‍යතන ඡන්ද ක‍්‍රියාදාමයේ ඉතා සුලු තොරතුරු පවා පැය ගනනක් තිස්සේ ප‍්‍රචාරය කල අතර අසීමිත පුවත්පත් අවකාශයක් ඒ වෙනුවෙන් කැප කලහ. බෙර්ගොග්ලියෝ තෝරා පත්කර ගැනීම නිවේදනය කිරීමෙන් පසු නව පාප්වරයාගේ නිහතමානීබව හා දයාව ගැන වෘත්තාන්ත සම්බන්ධ කරන පුංචි උත්සාහයක් හෝ අපතේ නො හරින ලදී. බුවනෝස් අයර්ස් හි කාඩිනල් වරයා වශයෙන් මහජන ප‍්‍රවාහනය පාවිච්චි කල, පූට්ටු නිවාසයක ජීවත් වූ හා තමන්ගේ ම ආහාර පිසගත් පුද්ගලයා පිලිබඳ වාර්තා මෙයට එකතු කර ඇත.

ඇමරිකානු හා ජාත්‍යන්තර මාධ්‍ය සංගත 1976 හා 1983 අතර මිලිටරි පාලන කාල පරිච්ඡේදයේ දී පල්ලිය තුල බෙර්ගොග්ලියෝගේ ක‍්‍රියාකලාපය පිලිබඳව ආර්ජන්ටිනාව තුල මතු කෙරී තිබුන බැරෑරුම් ප‍්‍රශ්න විශාල වශයෙන් නො සලකා හැර ඇත. මෙම කාලපරිච්ඡේදයේ දී ඇමරිකාවේ අනුග‍්‍රහය ලත් “අසාධාරන යුද්ධයේ දී” වාමාංශික විරුද්ධවාදීන් 30,000ක් “අතුරුදහන් කෙරුනු බවට ගනන් බලා ඇත.” බලය අල්ලා ගැනීමට සූදානම් වීමේ දී හා ජුන්ටා පාලනය යටතේ ආර්ජන්ටිනාවේ කතෝලික පල්ලිය මිලිටරිය සමග ඉතා සමීප සම්බන්ධතා පවත්වා ගත්තේ ය.

1969 බෙර්ගොග්ලියෝ පූජක ධුරයට ඇතුලත් කෙරුනි. 1980 හා 1986 අතර සැන් මිගෙල් හි දාර්ශනික හා දේවධර්ම පීඨයේ ප‍්‍රධාන දේවගැතියා වීමට පෙර, 1973 හා 1979 අතරතුර ආර්ජින්ටිනාව සඳහා ජෙසුයිට් නිකායික ආච්බිෂොප් (නිකායේ තෝරා ගත් නායකයා) ලෙස සේවය කලේ ය. 1990 ගනන්වල දී තුන්වැනි ජුවාන් පාවුලු පාප්වරයා විසින් ඔහු පල්ලි ධුරාවලියේ ඉහලට ඔසවා තැබුනි.

සිය ජෙසුයිට් නිකාය තුල, “විමුක්ති දේවධර්මයට” එරෙහිව වතිකානුවේ ධර්මාඥා සවිබල ගැන්වීමට බෙර්ගොග්ලියෝ ජුන්ටා පාලනය යටතේ වැඩ කලේ ය. 1960 ගනන්වල ලතින් ඇමරිකානු පල්ලිය තුල ප‍්‍රතිසංස්කරනවාදී කන්ඩායම් විසින් මෙම ව්‍යාපාරය ආරම්භ කර තිබුනේ මහාද්වීපය පුරා කම්කරු පන්තියේ දේශපාලන රැඩිකලීකරනය මධ්‍යයේ පල්ලියේ තත්වය පවත්වාගෙන යාමේ මාධ්‍යයක් ලෙස දුප්පතුන්ගේ දුර්දශාව වෙතට අවධානය යොමු කිරීමට උත්සාහ ගනිමිනි.

1976දී, ඔර්ලැන්ඩෝ යොරියෝ හා ෆ‍්‍රැන්සිස්කෝ ජැලික්ස් නම් ජෙසුයිට් පූජකයින් දෙදෙනෙකුට විමුක්ති දේවධර්මය දේශනා කිරීම නතර කර ඔවුන් වැඩ කරමින් සිටි මුඩුක්කුවලින් ඉවත් වන ලෙස බෙර්ගොග්ලියෝ බල කලේ ය. ඔවුන් එය ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසු බෙර්ගොග්ලියෝ ඔවුන් නිකායෙන් නෙරපා හැරියේය. ඊට පසු මිලිටරිය විසින් මෙම පුද්ගලයන් දෙදෙනා පැහර ගෙන වදහිංසා පමුනුවන ලදී. ඇසෝසියේටඩ් ප‍්‍රවෘත්ති සේවයට අනුව “තමා ඔවුන්ගේ වැඩ අනුමත කල බව ජුන්ටා පාලනයට දැනුම් දීම ප‍්‍රතික්ෂේප කිරීම තුලින් තමා ඝාතක කල්ලිවලට බාරදීම සම්බන්ධයෙන් යොරියෝ චෝදනා කලේ බෙර්ගොග්ලියෝට ය.”

ආර්ජන්ටීනියානු මාධ්‍යවේදියෙකු වන හොරේසියෝ වෙර්බිට්ස්කි මෙම කාරනය ආවරනය කරමින් 2005දී El Silencio: de Paulo VI a Bergoglio: las relaciones secretas de la Iglesia con la ESMA නමින් පොතක් ලිව්වේ ය. ඔහු එහි මෙසේ සඳහන් කර යි: “ඔහු (ජෙසුයිට්) සමාජයේ ආරක්ෂාව පූජකයන්ගේ ආරක්ෂාවට ඉහලින් තැබී” යයි වෙර්බිට්ස්කි චෝදනා කලේ ය.

2005දී මානව හිමිකම් නීතිඥයෙකු විසින් මෙම කාරනය ආජන්ටීනා අධිකරනය හමුවට ගෙන එන ලද නමුත් මේ දක්වා එයට විසඳුම් ලැබී නැත. “මඩ ගැසීම්” යැයි වෙර්බිට්ස්කිට දොස් නගමින් බෙර්ගොග්ලියෝ චෝදනාව ප‍්‍රතික්ෂේප කලේය. ඔවුන් අත්අඩංගුවට ගත් පසු පූජකයන් දෙදෙනා වෙනුවෙන් පුද්ගලිකවම ජුන්ටාව වෙත කරුනු දැක්වූ බව ඔහු තරයේ කියා සිටි යි.

කුප‍්‍රකට එස්මා නාවික වද කඳවුරේ සිර කර සිටි කතෝලික ගෘහස්ථ සේවිකාවක වන මරීයා එලේනා ෆ්‍යුනෙස්, ප‍්‍රන්ස පූජකවරියන් වන ඇලිස් ඩොමොන් හා ලියෝනී ඩූක්වට් අතුරුදහන් වීම සම්බන්ධව සාක්ෂි දෙමින්, පූජකවරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුනේ බෙර්ගොග්ලියෝ ඔවුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමෙන් පසුව යයි පැවසූ විට, බෙර්ගොග්ලියෝ සාක්ෂි සඳහා කැඳවන ලදී.

හිටපු ජාතික නියෝජිතයෙකු හා නඩුවේ නීතිඥයෙකු වන ලුයිස් සැමෝරා බෙර්ගොග්ලියෝගේ සාක්ෂිය “තුෂ්නිම්භූත” යැයි විස්තර කලේ, “යමෙකු තුෂ්නිම්භූත වන විට ඔවුන් බොරු කියනවා, ඔවුන් සත්‍යයේ කොටස් සඟවනවා” යැයි පවසමිනි.

තවත් සිදුවීමක දී, තම පවුලේ පස්දෙනෙකු ජුන්ටාව විසින් විනාශ කරන ලද පවුලක් උපකාර සඳහා කල ආයාචනය නොසලකා හැරීම පිලිබඳව බර්ගොග්ලියෝට චෝදනා එල්ල වී තිබුනි. මේ අය අතර පැහැරගෙන ගොස් 1977දී මරා දමන විට, පස් මසක ගැබිනියක වූ තරුනියක ද වූවා ය. බෙර්ගොග්ලියෝ නඩුවට කනිෂ්ට සහකරුවකු පත් කල බවට චෝදනා නැගී තිබුනි. පසුව තරුන කාන්තාවක අත්අඩංගුවේ සිටින අතර දරුවකු ප‍්‍රසූත කර සිටි බව හා දරුවා “වැදගත්” පවුලකට බාර දී තිබුන බව සඳහන් කරමින් කර්නල්වරයෙකු එම පුද්ගලයාට සටහනක් දී තිබුනි. මෙම සිද්ධියට ඔහුගේ සම්බන්ධය නොතකා බෙර්ගොග්ලියෝ, ඒකාධිපතිත්වය බිඳ වැටෙන තුරුම සොරා ගැනුනු දරුවන් ගැන ඔහු දැන නො සිටි බවට 2010දී සාක්ෂි දුන්නේ ය.

මිලිටරි පාලනයේ අවසානයෙන් පසු ෆ‍්‍රැන්සිස් පාප්වරයා සන්නද්ධ හමුදාවල අපරාධකරුවන් වසං කිරීමට වැඩ කලේ ය. ජුන්ටා පාලනය අතරතුර දී සිදු කරන ලද අපරාධයන් සඳහා නඩු විමසීමෙන් සර්වග‍්‍රාහී මුක්තිය ඉල්ලමින් හිටපු මිලිටරි හා දක්ෂිනාංශක කන්ඩායම් විසින් සංවිධානය කරන ලද පෙලපාලියට 2006දී ඔහු අනුමැතිය දුන්නේ ය. 2012දී සාමාන්‍ය ආර්ජන්ටීනියානුවන් අතර වැඩෙන අසහනයට ප‍්‍රතිචාර දක්වමින්, “අසාධාරන යුද්ධය” අතරතුර දී පල්ලියේ “අසාර්ථකත්වය” වෙනුවෙන් නිල වශයෙන් සමාව අයැදිමින්, රටේ බිෂොප්වරයන් වෙනුවෙන් බෙර්ගොග්ලියෝ ප‍්‍රකාශයක් නිකුත් කල අතර ප‍්‍රචන්ඩතා වෙනුවෙන් මිලිටරියට මෙන් ම වාමාංශික විරුද්ධවාදීන්ට ද එක සමාන ලෙස දෝෂාරෝපනය කලේ ය.

බුවනෝස් අයර්ස් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පිලිබඳ හිටුපු පීඨාධිපති ෆෝචුනේටෝ මල්ලිමැකි “ඉතිහාසය ඔහු ගර්හාවට ලක් කර යි” යන කියමන රොයිටර් පුවත් සේවය වාර්තා කලේ ය. “එය පෙන්වන්නේ ඔහු පල්ලිය තුල සියලු නවීකරනයන්ට විරුද්ධ වූ බව යි, සියල්ලට ඉහලින් එය පෙන්වන්නේ, ඒකාධිපතිත්වය අතරතුර දී ඔහු මිලිටරිය සමග බොහෝ සුහද සම්බන්ධකම් පැවැත්වූ බව යි.”

Share this article: