ලෝක ආධිපත්‍ය සඳහා වන ඇමරිකානු මූලෝපාය, රුසියාව හා චීනය ඉලක්ක කරයි
US military strategy for world domination targets Russia and China
අනාගත මිලිටරි මෙහෙයුම් සඳහා වන පෙන්ටගනයේ ඉදිරිදර්ශනය ගෙනහැර දක්වන, 2015 ජාතික මිලිටරි මූලෝපාය නම් පිටු 24ක ලියවිල්ල ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් 1දා ප්‍රසිද්ධියට පත් කලේය. ලියවිල්ල කියවන විට ඇඟ කිලිපොලා යයි.
“අනාගත ගැටුම් වඩා වේගයෙන් පැමින, වැඩි කාලයක් පැවතී, තාක්ෂනිකව වඩා අභියෝගාත්මක සටන් බිම්වල සිදුවනු ඇත. ඒවා ඇමරිකානු නිජබිමට වැඩෙන ඇඟවුම් සහිත වනු ඇත.” එහි පෙරවදනෙහි එසේ පවසා ඇත්තේ, ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් මාටින් ඩැම්ප්සි විසිනි.
ඇමරිකාවේ මිලිටරි ඉලක්කයන් බවට පත්විය හැකි රටවල් හතරක් සලකුනු කෙරේ. ඒ රුසියාව, ඉරානය, උතුරු කොරියාව හා චීනයයි. ඉන් තුනක් සතුව න්‍යෂ්ටික අවි ඇති අතර, රුසියාව හා චීනය ඇමරිකාවට පසුව විශාලතම අවි තොග සහිත දෙවැනි හා තුන්වන තැනට පත්වේ.
න්‍යෂ්ටික යුද්ධය පෙන්ටගන් සැලසුම් පොත්වල කොටසකි. එක් ඡේදයක මෙසේ සඳහන් වේ. “ප්‍රහාරයක් එල්ලවන අවස්ථාවකදී එක්සත් ජනපද මිලිටරිය, තවදුරටත් ආක්රමනකාරී විය නොහැකි තැනකට පත්කරමින් හෝ සතුරුකම් අත්හැරීමට සතුරාට බලකරන තරමේ හානියක් සිදුකරමින් ප්‍රතිචාර දක්වනු ඇත. ප්‍රධාන සතුරෙකුට විරුද්ධ යුද්ධයකදී ජාතික ශක්තියේ සියලුම මෙවලම් පූර්න ලෙස බලමුලුගැන්වීම අවශ්‍ය කෙරේ.” අවධාරනය ඈදින.
අවසාන වැකියෙන් යෝජනා කෙරෙන්නේ, රුසියාව හෝ චීනය සමග යුද්ධයකදී සටන් කිරීම සඳහා අවශ්‍ය කෙරෙන මිනිස් බලය බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීම තුලින් පියවා ගැනීමටයි.
වාර්තාව ආරම්භ කෙරෙන්නේ ලෝකයේ ජාතික රාජ්‍යයන් දෙවර්ගයකට බෙදාලමිනි: “ඇමරිකාව, එහි මිතුරන් හා කොටස්කරුවන්ගේ මෙහෙයවීමෙන් අද දිනයේ බොහොමයක් රටවල්, ගැටුම් වැලැක්වීමට, ස්වෛරිත්වයට ගරුකිරීමට හා මානව අයිතීන් සුරැකීමට කැපවුනු සංස්ථාපිත ආයතන වලට හා ක්‍රියාවලීන්ට සහයෝගය දෙති. කෙසේ වෙතත් සමහර රටවල්, ජාත්‍යන්තර පිලිවෙලේ මූලික අංග සංශෝධනය කිරීමට ද අපගේ ජාතික ආරක්ෂක අවශ්‍යතාවන්ට තර්ජනයක් වන ආකාරයෙන් කටයුතු කිරීමට ද උත්සාහ දරයි.”
රටවල් මෙසේ වර්ග කිරීම විකාරයකි. සිය අවශ්‍යතා පෙරට ගෙනයාමේදී වොෂින්ටනය, ජිනීවා සම්මුතීන් ද ඇතුලු ජාත්‍යන්තර නීතිය උල්ලංගනය කරන අතර ජාත්‍යන්තර ආයතනවල අධිකාරය නිරන්තරයෙන් බිඳ දමයි. “ගැටුම් වැලැක්වීමට, ස්වෛරිත්වයට ගරුකිරීමට හා මානව අයිතීන් සුරැකීමට” සම්බන්ධව ගත් කල, එය විමසිය යුත්තේ, ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ, සිරියාවේ, යේමනයේ, ලිබියාවේ හා නැගෙනහිර යුක්රේනයේ පීඩා විදි ජනතාවගෙනි. ඇමරිකානු ආක්රමනවල, බෝම්බ දැමීම්වල, ඩ්‍රෝන් ප්රහාරයන්හි හා වොෂින්ටනය විසින් උසිගන්වා සහායදී ඇති සීඅයිඒ ත්‍රස්තවාදී හා කුලීකාර යුද්ධ හා සිවිල් යුද්ධවල ප්‍රතිවිපාක ගැන ඔවුන්ගෙන් විමසිය යුතුය.
අධිකාරවත් ලෝක බලවතා වන ඇමරිකාවට අනුග්‍රහය දක්වන රටවල් හා ඇමරිකානු අධිරාජ්‍යවාදයට ඒ හෝ මේ ආකාරයෙන් විරුද්ධත්වය පෑමට උත්සාහ කරන රටවල් වශයෙන්, පෙන්ටගනය ලෝකය කඳවුරු දෙකකට බෙදයි.
රුසියාව, “සිය අසල්වාසීන්ගේ ස්වෛරිත්වයට ගරු නොකරන අතර සිය අරමුනු සපුරා ගැනීම සඳහා බලය යෙදවීමට මනාප වේ” යයි වාර්තාව පවසයි. ඉරානය, “න්‍යෂ්ටික හා මිසයිල් ගොඩනැගීමේ තාක්ෂනය හඹා යමින් ත්රස්තවාදයට රාජ්‍ය අනුග්‍රහය දක්වයි.” උතුරු කොරියාව, සිය අසල්වැසියන්ට තර්ජනය කරන්නේ, “න්‍යෂ්ටික අවි හා බැලිස්ටික් මිසයිල තාක්ෂනය උපයෝගීකර ගනිමින් ය.” චීනයේ කටයුතු, “ආසියා ශාන්තිකර කලාපයේ ආතතීන් වැඩිකරයි.”
කුහකත්වය මනස විකෘති කරන තරම්ය! චෝදනවට ලක්ව සිටින රටවල් එකක්වත් කිසිවෙකු සමග සැබවින්ම යුද්ධයක පැටලී නැත. එහෙත් ඇමරිකාව දැනට, ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ, සිරියාවේ යුද්ධවලට පැටලී සිටින අතර තවත් රටවල් ගනනාවක් තුල ඩ්‍රෝන් මිසයිල් ප්‍රහාර එල්ල කිරීමේ යෙදී සිටියි. එසේම ලෝකය පුරා රටවල් 100ට වැඩි ප්‍රමානයක මිලිටරි බලය යොදවයි.
පෙන්ටගන් වාර්තාව, “මේ කිසිදු ජාතියක් එක්සත් ජනපදය හෝ එහි මිතුරන් සමග සෘජු මිලිටරි ගැටුමකට පැටලීමට වෑයම් කරන බව විශ්වාස කල නොහැකි නමුත්, ඒ හැම රටක්ම බරපතල ආරක්ෂක උත්සුකයන්ට තුඩු දෙයි....” යනුවෙන් සඳහන් කරයි.
එය මෙම “උත්සුකයන්” ගේ අන්තර්ගතය වක්‍ර ආකාරයෙන් පෙන්වා දෙයි. එය මෙසේ සඳහන් කරයි. “එක්සත් ජනපදය ලෝකයේ බලවත්ම ජාතියයි, තාක්ෂනයේ, බලශක්තියේ, සන්ධානයන්ගේ හා හවුල්කාරිත්වයේ ද ජනවිකාශනයේ ද නියම වාසි භුක්ති විදියි. එහෙත් මෙම වාසිදායකත්වය අභියෝගයට ලක් කෙරෙමින් තිබේ.”
පෙන්ටගනය සාමය, ප්රජාතන්ත්රවාදය මානව අයිතීන් වැනි දෑ සමාන කරන්නේ ඒවා, “එක්සත් ජනපදය ඉදිරිපත් කරන පර්යායේ ජාත්‍යන්තර නිති රෙගුලාසි මත පදනම් විය යුතු බව” කියා සිටිමිනි. වොෂින්ටනය නීති රෙගුලාසි පනවන හා සියල්ලන්ම ඒවා අනුගමනය කරන, සමස්ත ලෝකය මත එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය වෙනත් ආකාරයකට කියා පෑමකි මෙය. එසේ නොවන්නේ නම් වෙනත් ආකාරයකටය.
ඇමරිකානු පාලක පන්තිය, සිය බලය එදිරිවාදී බලවතුන්ට, විශේෂයෙන්ම චීනයට, සාපේක්ෂව පිරිහෙමින් ඇති බව මනාව වටහාගෙන සිටිති. එසේම ඇමරිකාවේ මිලිටරි සුපිරි බලය ද ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පිරිහෙන ලෝක ආර්ථික තත්වය හා විදේශයන්හි මිලිටරි මැදිහත්වීම් පවත්වාගෙන යාම වඩා දුෂ්කර තත්වයට පත් කරන වැඩෙන අභ්‍යන්තර සමාජ කැලඹීම් හමුවේ තර්ජනයට ලක්ව ඇති බව ද ඔවුහු දැන සිටිති.
“අපි චීනයේ නැගීමට සහාය දෙන අතර වැදගත් ජාත්‍යන්තර ආරක්ෂාවේ හවුල්කරුවෙක් බවට පත්වීම දිරිමත් කරන්නෙමු” යයි පවසන අතරම වාර්තාව, එරට ආර්ථික වශයෙන් හා මිලිටරිමය වශයෙන් වැටලීමේ ඇමරිකානු මූලෝපාය ද ගෙනහැර දක්වයි. “ආසියා ශාන්තිකර කලාපය ප්‍රති තුලනය කිරීම සමග අපි ඉදිරියටම යන්නෙමු, එම වැදගත් රංග පථය තුල අපගේ දියුනුම ශක්‍යතා හා විශාල ධාරිතාව යොදවන්නෙමු. අපි ඕස්ට්‍රේලියාව, ජපානය හා දකුනු කොරියාව ද පිලිපීනය හා තායිලන්තය ද සමග අපගේ සන්ධාන ශක්තිමත් කරන්නෙමු. ඉන්දියාව සමග අපගේ ආරක්ෂක සබඳතා අපි ගැඹුරු කරන්නෙමු, නවසීලන්තය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය හා බංග්ලාදේශය සමග අපගේ හවුල්කාරිත්වය ගොඩනගන්නෙමු.”
පසුගිය දශකයේ ඇමරිකානු මිලිටරි මෙහෙයුම්, වාර්තාව නම්කරන “ප්රචන්ඩ අන්තවාදී ජාල” නැතිනම්, අයිසිස්, අල් කයිඩා, ඇෆ්ගන් තලිබාන් හා මැද පෙරදිග ද උතුරු අප්‍රිකාවේ ද විවිධාකාර අනෙකුත් ඉස්ලාමීය කන්ඩායම් ද ඇතුලු ත්‍රස්තවාදී කන්ඩායම් හඳුන්වන පෙන්ටගනයේ අලුත් යෙදීම වන වීඊඕ මත යොමුකර තිබුනි.
“එහෙත් අද හා දැකිය හැකි අනාගත කාලයකට අප දැඩි අවධානය යොමුකල යුත්තේ, රාජ්‍ය නලුවන් විසින් මතුකර තිබෙන අභියෝගයන්ටය.” එපමනක් නොව “රාජ්‍යයන් අතර අනාගතයේදී ඇතිවිය හැකි ගැටුම්, කල්තියා කිව නොහැකි, වියදම් අධික හා පාලනය කිරීම දුෂ්කර විය හැකිය.”
එය මෙසේ නිමා කරයි. “අද දිනයේ එක්සත් ජනපදය ප්රමුඛ බලවතෙකු සමග අන්තර් රාජ්‍ය යුද්ධයකට පැටලීමේ හැකියාව අඩු මට්ටමක පවතින බව කිවහැකි නමුත් එය වේගයෙන් වර්ධනය වෙයි. එවැන්නක් සිදුවුවහොත් ප්‍රතිවිපාක ඉමහත් වනු ඇත.”
චීනය හෝ රුසියාව සමග යුද්ධයක ශක්‍යතාව වැඩිවෙමින් තිබෙන බවට කරන ප්රකාශනයකි මේ. ඊට පැටලෙන රටවලට මෙන්ම න්‍යෂ්ටික වදවීයාම ද හමුවේ, සමස්ත මානව වර්ගයාටම එවන් යුද්ධයක ප්‍රතිපලය ව්‍යසනකාරී වුවත් තත්වය එයයි.
න්‍යෂ්ටික බලවතුන් අතර ලෝක යුද්ධයක පවා ශක්‍යතාව ඇති පෙන්ටගනය ගෙනහැර දක්වන ඉදිරිදර්ශනය, උමතු සහගත වුව ද එම පිස්සුව මුල්බැස ඇත්තේ සැබෑම වෛෂයික කොන්දේසි තුලය. ඒ වනාහි ධනේශ්වර ක්රමයේ ගෝලීය අර්බුදයේ ප්‍රතිපලයයි. එහි අතිශයින්ම විසකුරු ප්රකාශනය නම්, මිලිටරි මාධ්‍ය තුලින් සිය ලෝක අධිපතිවාදී තත්වය පවත්වාගැනීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය ගනු ලබන පියවරයන්ය.
එහෙත් එම අර්බුදයම, මානව ශිෂ්ඨාචාරයේම ඉරනම රඳා පවතින විසඳුම ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර කම්කරු පන්තියට කොන්දේසි නිර්මානය කරයි. එම විසඳුම නම් ලෝක සමාජවාදී විප්ලවයයි.
පැට්රික් මාටින්
Follow us on