ශ්‍රී ලංකාවේ නාය යාම් පිලිබඳ අන්තරාය වැඩිවේ
Growing danger of landslides in Sri Lanka
විජිත් සමරසිංහ විසිනි, 2015 මැයි 22
මෝසම් වැසි ආරම්භවීමත් සමගම නැවත වරක් ආන්ඩුව, මධ්‍යම කඳුකරයේ නාය යාම් පිලිබඳව අනතුරු අඟවා ඇත. අප්‍රේල් 20 දා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ දැවැන්ත නාය යාමක් සිදු විය. එය සිදුවූයේ මෙරට ඉතිහාසයේ සිදු වූ දරුනුම නාය යාමක් වන පසුගිය ඔක්තෝබරයේ මීරියබැද්දට වැඩි ඈතකින් නොවේ.
තිස් හත් දෙනකුට මරු කැඳවූ මීරියබැද්ද නාය යාමෙන් මිය ගිය සියලු දෙනා ලයින් කාමර වල ඉතා දුෂ්කර තත්වයන් යටතේ ජීවත් වූ වතු කම්කරුවන්ය. වාසනාවකට මෙන් හල්දුම්මුල්ල නාය යාමෙන් කිසිවෙකුටවත් හානියක් සිදු වී නොමැත.
භූ විද්‍යාඥයින් මෙම ප්‍රදේශ අන්තරායකර ප්‍රදේශ ලෙස හැඳිනගෙන දැන් වසර පනහකටත් වැඩිය. මෙම කාලය පුරාම කඳුකර ප්‍රදේශ වල ජීවත් වන ජනතාව දිනෙන් දින වැඩෙන නාය යාම් අනතුරට මුහුන දී සිටී. ඇත්ත වශයෙන්ම කිවහොත් මධ්‍යම කඳුකරයට අමතරව වඩාත් කුඩා කඳු පිහිටි රත්නපුර, කෑගල්ල, කලුතර, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්ක වල ද නාය යාම් අනතුර දැඩි ලෙස වර්ධනය වී තිබේ. ජාතික ගොඩනැගිලි පරියේෂන සංවිධානය පවසන ආකාරයට පසුගිය වසර පනහක කාලය තුල පන්සීයයකට වැඩි පිරිසක් ඍජුවම නාය යාම් වලින් මරනයට පත් වී ඇත.
මීරියබැද්ද ව්‍යසනයත් සමග එවකට පැවති රාජපක්ෂ ආන්ඩුව, “මෙම පුද්ගලයන්ට නිවාස සාදා ගැනීම සඳහා විකල්ප ඉඩම් ලබා දෙන” බව පවසමින්, ආපදාවේ වගකීම විපතට මුහුන දුන් ජනතාව වෙතම පැටවීමට උත්සාහ දැරීය. මෙය සංපූර්නයෙන්ම සාවද්‍ය ප්‍රකාශයකි. අවදානම් පිලිබඳව ජනතාවට හරියාකාරව අනතුරු අඟවා නොතිබුනාක් මෙන්ම, එම නිවාස අයත් මස්කෙලිය වතු සමාගම ද ජනතාවගේ ආරක්ෂාව සඳහා කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොතිබුනි.
නාය යාම්, භුමි කම්පා, සුනාමි හා ගංවතුර වැනි උවදුරු ස්වභාවික සංසිද්ධීන් බව සැබෑවක් නමුත් නිවැරදි විද්‍යාත්මක සැලසුම් කරනය තුලින් ඒවායෙන් සිදු විය හැකි විනාශය වලක්වා ගැනීම හෝ අවම කරගැනීම් සිදුකර ගත හැක. නාය යාම් සම්බන්ධයෙන් ගත් කල, වතු සමාගම් හා පැවති සියලු ආන්ඩු සිදු කර නොමැති දෙය ද මෙයමය.
මධ්‍යම කඳුකරය හා සබරගමුව වැනි ප්‍රදේශ ඒවායේ භූවිද්‍යාත්මක ලක්ෂන නිසාවෙන් ස්වාභාවිකම නාය යාම් සිදුවිය හැකි ප්‍රදේශ වුව ද අද එම ප්‍රදේශ වල ජනතාව මුහුන දී ඇති දරුනු ආපදා තත්වය, වතු ආර්ථිකය නැගී ඒමත් සමග උග්‍රවී ඇත.
බ්‍රිතාන්‍ය පාලනය විසින් කිසිඳු සැලසුමකින් තොරව තේ හා වෙනත් භෝග සඳහා කඳුකර බිම් හෙලි කිරීම නිසා එම ප්‍රදේශ වල වන වැස්ම ඉවත් වී, ජල වහන රටා වෙනස් වී, නාය යාම් වලට පහසුවෙන් ලක්විය හැකි පරිසරයක් ඇතිව තිබේ.
1880 සිට 1950 දක්වා සිදු වූ වතු ආර්ථිකය ප්රසාරනය වූ අවධියේ මෙරට වනාන්තර වැස්මෙන් සියයට 40ක් විනාශ විය. 1930 වන විට ඉහල ගංගාධාර ප්‍රදේශ වලින් සියයට 55 ක් තේ වගාව සඳහා හෙලි පෙහෙලි කර තිබුනු අතර එමගින් එම ප්‍රදේශ වලින් වසරකට පස් ටොන් 100,000 ත් 800,000 ත් අතර ප්‍රමාණයක් ඛාදනය වෙමින් නාය යාම් අනතුර දැඩි ලෙස වර්ධනය වීමේ තත්වයක් උදා විය.
මෙම භූමිය හෙලි කිරීමට සමාන්තරව, බ්‍රිතාන්‍ය පාලකයින්, ඉන්දියාවෙන් ලක්ෂ ගනනක් වතු කම්කරුවන් ගෙන්වා නාය යාම් බහුල ප්‍රදේශ වල පදිංචි කරන ලදී. එම කාලය තුලම වතු ව්‍යාපෘති නිසා තම සම්ප්‍රදායික ගම් බිම් අහිමි වූ දහස් ගනන් ජනයාටද ආපදා සහිත ප්‍රදේශ වල පදිංචි වීමට සිදු විය.
1949 පුරවැසි පනත යටතේ ඉන්දියානු සම්භවයක් සහිත වතු කම්කරුවන් ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම ඔවුන්ගේ නිවාස, සුරක්ෂිත බව හා ජීවන තත්වය නොසලකා හැරීම සහතික කලේය.
තවමත් දහස් ගනන් වතු කම්කරු ජනතාව, වතු සමාගම් වලට අයත්, අබලන් වූ වතු ලයින් නිවාස තුල ජීවත් වෙති. මීරියබැද්ද ව්‍යසනයෙන් විනාශ වූ නිවාස ද 2013 වසරේ පමනක් රුපියල් බිලියන 35 කට අධික ලාබයක් ලැබූ රිචඩ් පීරිස් වතු සමාගමට අයත්ව ඇත.
පරිසර අමාත්‍යංශයේ හා භූ-විද්‍යා හා පතල් කාර්යාංශය වැනි නියාමන ආයතනවල වාර්තා වලට අනුව, පසුගිය දශක තුනක පමන කාලය තුල ඉහල ගංගාධාර ප්‍රදේශ වල අවිධිමත් ලෙස සිදුවන මැනික් ගැරීම, නාගරීකරනය හා කුඩා පරිමාන ආර්ථික භෝග වගාවන් නිසා ද නාය යාම් අනතුර වැඩි වී ඇත.
ගෝලීය දේශගුනික විපර්යාස ද නාය යාම් අනතුර වඩාත් තීව්ර කරයි. මෙරට දේශගුනික විපර්යාස පිලිබඳ ලේකම් කාර්යාලය නිකුත් කල දෙවැනි ජාතික සන්නිවේදන වාර්තාවට අනුව, දිවයින තුල වියලි කාලයන් දීර්ග වී ඇති අතර, වැසි කාල වලදී කෙටි හා ඉතා තද වැසි කඩාහැලීමේ ප්රවනතාවක් පෙන්නුම් කරයි. මෙය කඳු බෑවුම් වල ස්ථාවරත්වය දුර්වල වීමට බෙහෙවින් හේතු වන තත්වයකි. මෙම වාර්තාව, ශ්‍රී ලංකාවේ නාය යාම් වල මෑත කාලීන වර්ධනය දේශගුනික විපර්යාස වලට යම් තරමකින් හෝ සම්බන්ධ බව සඳහන් කරයි . 2000 -2010 අතර කාලයේ පමනක් නාය යාම් 600ක් පමන සිදු වී ඇත.
2008 වසරේ ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානයේ ජ්‍යෙෂ්ට විද්‍යාඥ සුනිල් ජයවීර විසින් පල කල වාර්තාවක සඳහන් වෙන්නේ, ඉහල ගංගාධාර ප්‍රදේශ වල සිදු කෙරෙන වතු වගාව, කෘෂිකර්මය, නාගරීකරනය හා පතල් කැනීම් වැනි කටයුතු නිවැරදි විද්‍යාත්මක සැලසුම් කරනයකට යටත් කිරීම මගින් එම ප්‍රදේශ වල නාය යාම් නිසා ඇතිවන විපත් හා මරන විශාල වශයෙන් අඩු කර ගත හැකි බවයි.
කුඩා බෑවුම වල ඇතිවිය හැකි සුලු නාය යාම් සරල ඉංජිනේරුමය ක්‍රියා මාර්ග මගින් පහසුවෙන් වලක්වා ගත හැක. භූ විද්‍යාත්මක හේතුන් නිසා ඇතිවන වඩාත් ගැඹුරු නාය යාම් බොහෝ විට කල්තියා හඳුනා ගත හැකි අතර, මිනිසුන්ගේ ජීවිත හා දේපල ආරක්ෂා කර ගනීමට අවශ්‍ය කටයුතු හා ජනතාව ආරක්ෂිත ප්‍රදේශ වල නැවත පදිංචි කිරීම පෙර සූදානම් සහිතව සිදු කර ගත හැක. මෑත කාලීනව වර්ධනය වී ඇති චන්ද්‍රිකා දත්ත ලබාගැනීම හා පරිඝනක ආශ්‍රිතව එම දත්ත ස්වභාවික ආපදාවන් ඇති වීමේ හැකියාව විශ්ලේෂනය කිරීමට යොදාගැනීමේ තාක්ෂනයන් නිසා නාය යාම් ඇති විය හැකි ප්‍රදේශ කල් තියා හඳුනා ගැනීමේ හැකියාව බෙහෙවින් වර්ධනය වී ඇත.
මෙවැනි විද්‍යාත්මක මෙවලම් හා දැනුම තිබියදී පවා, ආන්ඩු විසින් මේ දක්වා නාය යාම් නිසා ඇතිවන සමාජීය බලපෑම් අවම කර ගැනීම සඳහා කිසිදු විධිමත් හෝ දීර්ග කාලීන ක්‍රියා මාර්ගයක් ගෙන නොමැත. ජාගොපස සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාව තුල දරුනු නාය යම් අනතුර පවතින ස්ථාන 3760 හඳුනාගෙන ඇත. නමුත්, දැවැන්ත නාය යාම් ව්‍යසනයන් සිදුවූ අවස්ථා කීපයක සිදුකල අතලොස්සක් වූ සහන සැලසීම් හැරුනු කොට,මේ දක්වා නැවත පදිංචි කිරීමේ සංවිධිත වැඩ සටහනක් නාය යාම් අනතුර පවතින ප්‍රදේශ සඳහා සිදුකර නැත.
මෙරට ධනවාදය, රටේ විදේශ විනිමය ඉපයීම් වලින් සියයට 15ක් ලබා දෙන වතු ආර්ථිකය තුල තවමත් දැඩි ලෙස රැඳී සිටියි. මෙහි ප්‍රතිපලය වශයෙන් ඉහල ගංගාධාර ප්‍රදේශවල වන වැස්ම යලි ස්ථාපිත කිරීම හෝ වතු සමාගම් වලට එරෙහිව මොනම පියවරක්වත් ගැනීම හෝ නාය යාම් වලක්වා ගැනීමේ අවම පියවර ගැනීම වත් මෙතෙක් සිදු වී නොමැත.
මේ සම්බන්ධව කිසිඳු පියවරක් නොගැනීම, සෑම ආන්ඩුවක්ම ධනවාදී ලාභ ක්‍රමය ආරක්ෂා කිරීම සමග ඍජුවම සම්බන්ධය. නාය යාම් ආපදා අවම කරනු වෙනුවට කොලඹ පාලනය සිදු කර ඇත්තේ කෙටි කාලීන ලාභ උපයන විවිධ ව්‍යාපාරික කටයුතු වලට බදු හා වෙනත් මූල්‍ය සහන සපයමින් ස්වභාවික ආපදා තවත් තීව්ර කිරීමය.
Follow us on