පුද්ගලික අංශයේ වැටුප් පනතට හාම්පුතුන්ගේ විරෝධය
අපේ වාර්තාකරුවන් විසිනි, 2015 ජූනි 12
පුද්ගලික අංශයේ මාසික වැටුප රුපියල් 2500 කින් වැඩි කිරීම නීති ගත කිරීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බව කම්කරු ඇමති එස්.බී. නාවින්න පසුගිය මාසයේ නිවේදනය කලේය. යෝජිත පනතට හාම්පුතුන් සිය බරපතල විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. පනතක් මගින් පුද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම නීති ගත කිරීම “විනාශකාරී” ප්‍රතිපල ජනනය කරනු ඇතැයි ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය ආන්ඩුවට අනතුරු අඟවා තිබේ.
“විවිධ ධාරිතාවයන් සහිත පුද්ගලික අංශයේ හාම්පුතුන් මත එකසමාන වැටුප් වැඩිකිරීමක් හඳුන්වා දීම ප්‍රතිවිරුද්ධ ප්‍රතිවිපාක ඇති කරනවා පමනක් නොව, සමහර ව්‍යාපාරයන් වැසීයාමට එය තුඩුදිය හැකි” බව යෝජිත වැටුප් වැඩිකිරීම සම්බන්ධව පසුගිය සතියේ මහ බැංකුවේ කාර්ය මන්ඩල පුහුනු මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී ලංකා හාම්පුතුන්ගේ සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරි රවී පීරිස් ප්‍රකාශ කලේය.
හදිසි පඩි වැඩිවීම් පුද්ගලික අංශයට ලබාදීමට ආන්ඩුව ඍජුව මැදිහත් වීමේ ඇඟවුම් “විනාශකාරි” බව ඔහු වැඩිදුරත් සඳහන් කලේය. පුද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමේ මුලික පදනම විය යුත්තේ හාම්පුතාගේ “ධාරිතාවය සහ වෙලඳපොල බලවේග” බව පීරිස් අවධාරනය කලේ ය. එහි තේරුම වැඩිවන ජීවන වියදමට අනුව වැටුප් වැඩිකිරීමට ප්රතිවිරුද්ධව, ගැඹුරුවෙමින් පවතින ලෝක ධනවාදයේ අර්බුදය විසින් නිර්නය කරන ආකාරයට වැටුප් වැඩිකිරීම් තීන්දු කල යුතු බවයි. වෙනත් වචනවලින් කිවහොත් කම්කරුවාගේ ජීවන තත්වයට වඩා ධනපතියාගේ ලාභය සැලකිල්ලට ගතයුතු ය.
මැයි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර වැටුප් පනත සම්මත කරන බවට කම්කරු ඇමති නාවින්න පම්පෝරි ගැසූ නමුත් හාම්පුතුන්ගේ විරුද්ධත්වය මධ්‍යයේ දැන් එය පසෙකින් තබා ඇත. වැටුප් පනත ඉදිරිපත් කිරීමේ අරමුන වූයේ පුද්ගලික අංශයේ කම්කරුවන්ට සාධාරන වැටුප් වැඩි වීමක් ලබා දීම නොවේ. ඊට විපරීතව පිරිහෙන ජීවන තත්වයන්ට එරෙහිව පුද්ගලික අංශයේ කම්කරුවන් අතර වැඩෙන අතෘප්තිය සහ කෝපය සමනය කිරීමය.
කෙසේවුව ද, ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බුදය මධ්‍යයේ අපනයන පහත වැටීමට සහ ලාභ කඩා වැටීමට මුහුන දී සිටින කර්මාන්තකරුවන් සහ මහා ව්‍යාපාරිකයන් යොමු වී සිටින්නේ පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ වැටුප් සහ දීමනාවන් වැඩි කිරීමට නොව කප්පාදු කිරීමටය.
යෝජිත පනතට අනුව පුද්ගලික අංශයේ කම්කරුවන් සඳහා මෙම වසරේ මැයි වැටුප රුපියල් 1500 කින්් සහ 2016 ජනවාරි මාසයේ රුපියල් 1000 කින් වැඩිකල යුතු අතර මාසික අවම වැටුප් රුපියල් 10,000 සහ දෛනික කම්කරුවෙකුගේ අවම වැටුප රුපියල් 400 විය යුතුය. මෙම සොච්චම් වැටුප් වැඩි වීම පිම්මේ ඉහල යන ජීවන වියදම සමග කිසිසේත් නො ගැලපෙයි.
මෙම ප්‍රෝඩාවට උඩගෙඩි දෙමින් හා ඉහල යන ජීවන විදමට සරිලන යථා වැටුප් වැඩිවීමක් සඳහා පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ අරගලයක් වර්ධනය වීමට ඇබ ගැසීමේ ව්‍යායාමයේ කොටසක් ලෙස ඇන්ටන් මාකස් ගේ නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා කම්කරු සංගමය සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ට සම්බන්ධ අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස) ඇතුලු පුද්ගලික අංශයේ වෘත්තීය සමිති 16 ක් පනත සම්මත කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටිති.
මුලින් රුපියල් 5,000 වැටුප් වැඩිවීමක් පුද්ගලික අංශයට ඉල්ලා සිටි මෙම සමිති නායකයන් ආන්ඩුවේ යෝජනාවට එකඟ වෙමින් සිය ඉල්ලීම හරි අඩකින් කප්පාදු කර ඇත. පසුගිය වසර කිහිපය පුරාමත් සමිති නායකයන් කලේ කම්කරුවන් අතර නොසන්සුන්කම වර්ධනය වන විට එය වාෂ්ප කිරීම සඳහා පුහු විරෝධතා උද්ඝෝෂන සංවිධානය කර පසුව ඒවා අතහැර දමා කම්කරුවන්ගේ අරගල පාවා දීමයි.
මෙම සමිති ධනපති හාම්පුතුන්ගේ සහ ධනපති රාජ්‍යයේ දැනුවත් උපකරනය. ධනපති රාජ්‍යය සහ ධනපති පක්ෂ කෙරෙහි කම්කරුවන් තුල විශ්වාසයක් ජනනය කිරීමට ඔව්හු හැමවිටම කි‍්‍රයා කරති. ව්‍යාජ වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ජනරළ පුවත්පත මැයි 10 වෙනිදා පලකල සම්මුඛ සාකච්ඡාවකදී නිවෙක හා පොසේසේසං නායක ඇන්ටන් මාකස් ඔහුට ධනපති ආන්ඩුව, එහි මැති ඇමතියන් සහ ධනපති පක්ෂ කෙරෙහි පවතින විශ්වාසය වමාරා තිබුනේ මේ ආකාරයටයි.
“විපක්ෂයේ ගොඩාක් පක්ෂ ඉන්නවනේ. මේ වගේ පනතකට හැමෝම සහයෝගය දෙන්න එපායැ. මොකද කම්කරුවන් කියන කොටසට පෞද්ගලික අංශයේ සේවකයනුත් අයත් වෙනවා. අනික අපි හිතන්නෙ නෑ ආන්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු වුනත් මේ පනතට විරුද්ධ වෙයි කියලා.”
කම්කරුවන්ගේ විරෝධය යටපත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ආන්ඩුව 2005 දී පුද්ගලික අංශයේ කම්කරුවන් ගේ වැටුප රුපියල් 1000 න් වැඩිකිරීමේ පනතක් සම්මත කලේ ය. පුද්ගලික අංශයේ වෘත්තීය සමිති එය මහත් ජයග්රහනයක් ලෙස හුවා දැක්වූ නමුත් බොහොමයක් කර්මාන්තකරුවෝ එය ගෙවීම පැහැර හැරියහ. එහෙත් රාජපක්ෂ ආන්ඩුව ඔවුන්ට විරුද්ධව කිසිදු නීතිමය පියවරක් ගත්තේ නැත. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ගේ සහ රනිල් වික්‍රමසිංහ ගේ ආන්ඩුවේ පිලිවෙත ඊට වඩා වෙනස් නොවේ.
මෙම සමිති නායකයෝ මාර්තු 16 දාතමින් අගමැති රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් කල ආයාචනයේදී රුපියල් 2500 ක වැටුප් වැඩිවීම ලබා නොදීම නිසා තමන් “බලාපොරොත්තු සුන් වූ” තත්වයට පත් වී ඇති බවත් පනත් සම්ම්මත කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටියහ.
පෙබරවාරි මස අන්තර් කාලීන අයවැය ඉදිරිපත් කල අවස්ථාවේ රුපියල් 2500 ක වැටුප් වැඩි වීමක් දෙන ලෙස පුද්ගලික අංශයේ හාම්පුතුන්ට මුදල් ඇමති රවී කරුනානායක ආයාචනා කල නමුත් වැටුප් වැඩිකරන ලෙස ඔවුන්ට බල කලොත් කර්මාන්ත වැසී යනු ඇතැයි ඔහු කීවේය. වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ධනපති හාම්පුතුන්ගේ සහ ධනපති ආන්ඩුවේ ආකල්පය දෙකක් නොව එකක් බව මින් පැහැදිලිවේ.
යෝජිත පනතෙන් නිර්දේශිත වැටුප් වැඩිවීම ඉහල යන ජීවන වියදමට අලගු තැබීමටවත් නොසැහෙන බැව් සංඛ්‍යාලේඛන වලින් මැනැවින් පැහැදිලි වෙයි. ආන්ඩුව නිල වසයෙන් ප්‍රකාශයට පත් කර ඇති සංඛ්‍යා අනුව 2012-2013 වර්ෂයේ හතර දෙනෙකුගෙන් යුත් පවුලක මාසික වියදම රුපියල් 40,887 කි. එහෙත් ජීවන වියදමේ නැගීමට සමානුපාතිකව වෙනත් ආර්ථික විශ්ලේෂකයන්ට අනුව පවුලක මාසික වියදම රුපියල් 50,000 ක ට ආසන්න වේ.
පුද්ගලික අංශයේ කර්මාන්ත සහ සේවා යන දෙ අංශයේ ම කම්කරුවෙකුගේ නුපුහුනු, අර්ධ පුහුනු සහ පුහුනු මාසික වැටුප පිලිවෙලින් රුපියල් 6,500-7,500 ක් ද, 7,000-8,000 ද, 7,500-9,500 ක් වෙයි.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග වැටුප් වැඩි කිරීම පිලිබඳව අදහස් දැක්වූ කටුනායක නිදහස් වෙලද කලාපයේ (නිවෙක) කම්කරුවෝ ප්‍රකාශ කලේ 2500 ක වැටුප්් වැඩි වීම ජීවන වියදමට මුහුන දීමට කොහෙත්ම ප්‍රමානවත් නොවන බව හා 2500 ක වැඩි කිරීම පිලිබඳව හෝ විශ්වාසයක් නොමැති බවයි. පුද්ගලික අංශයේ වැටුප් පිලිබඳව සලකා බැලෙන වැටුප් මන්ඩල හා ජාතික කම්කරු කවුන්සිලය වැනි ආයතන කම්කරුවන් වෙනුවෙන් කටයුතු කර නැති බව කම්කරුවෝ ප්‍රකාශ කරති.
කටුනායක නිවෙකයේ පිහිටි මිරායි ආයතනයේ සේවය කරන ඩබ්ලිව්. පි‍්‍රයන්ත මෙසේ අදහස් දැක්වීය. “මගේ සේවා කාලය අවුරුදු 10 ක් වෙනවා. බිරිඳත් මමත් මාසයම නිවාඩු ගන්නේ නැතුව වැඩ කලොත් දෙන්නගේම වැටුප රුපියල් 40,000 ක් විතර වෙනවා. දරු දෙන්න ගලේවෙල දෙමපියෝ ලඟ. දෙන්නම පාසල් යනවා. දරු දෙන්නගේ වියදම්, අපේ බෝඩින් ගාස්තු දරාගෙන හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මමයි බිරිඳයි විතරක් නෙමේ මෙහෙ බෝඩින් වෙලා රැකියා කරන කිසිම කෙනෙක් හොඳට කාලා නෙමේ ඉන්නේ. එහෙම වියදම් කලොත් අපේ දරුවන්ගේ වැඩ කරන්න ලැබෙන්නේ නෑ. මාසයකට සැරයයි දරුවෝ දෙමාපියෝ බලන්න ගමේ යන්නේ. අපි ජීවත්වන විදිහ ගැන මේ ආන්ඩුවලට වැඩක් නෑ. මොන ආන්ඩුව ආවත් අපිට සෙතක් නෑ. වෘත්තිය සමිති, ජනතා විමුක්ති පෙරමුන මේ කිසිවක් ගැන අපිට විශ්වාසයක් නෑ. කම්කරුවෝ තනි වෙලා කිසිම මාවතක් නැතිව ඉන්නේ.”
ස්මාර්ට් ෂර්ට් ආයතනයේ සේවය කරන චාමර හා සකුන්තලා මෙසේ ප්‍රකාශ කලෝ ය: “අපේ මූලික වැටුප රුපියල් 15,000 යි. බෝඩින් ගාස්තු, කරන්ට් බිල් හා අපේ කෑම වියදම් දරලා අමාරුවෙන් දෙන්නම ගෙවල්වලට මාසයට රුපියල් 5,000 ක් විතර යවනවා. අපි ගෙදරින් හාල් ගේන නිසා තමයි මේ මුදලවත් ඉතුරු වෙන්නේ. අපි විවාහ වෙලා අවුරුදු 3යි. මේ තත්වය යටතේ දරුවෙක් හදන්න බෑ. ඒ නිසා තමයි අපි අමාරුවෙන් මුදල් ටිකක් ඉතුරු කරන්න බලන්නේ. නමුත් ඒක හරිම දුෂ්කර කාර්යයක්. අපේ ෆැක්ටරියේ සේවක සභා තියෙනවා අපෙන් සාමාජික මුදල් ගන්නව නමුත් අපිට කිසිම සෙතක් නෑ. බලයට එන ආන්ඩු එකකින්වත් අපිට සහනයක් නෑ.”
කර්මාන්ත සහ සේවා යන අංශ දෙකේම මිනිස්බල සමාගම් හරහා ශ්‍රම සුරා කෑම තවත් උග්‍ර කර තිබේ. මිනිස් බල සමාගම්වලින් රැකියාවලට අනුයුක්ත කරන කම්කරුවන්ගේ රැකියා ස්ථීර කිරීමක් සිදු නොකෙරෙන අතර දැනට කම්කරු පන්තිය විසින් අරගල මගින් දිනාගෙන තහවුරු කරගෙන ඇති කිසිදු අයිතියක් ඔවුන්ට නැත. දෛනික පදනමේ සේවයේ යොදවන මෙම කම්කරුවෙකුගේ දෛනික වැටුප් රුපියල් 900 ක් පමන වේ.
කටුනායක නිවෙක බ්‍රැන්ඩෙක්ස් ඇඟලුම් කම්හලේ වැඩකරන මදුසංක එවැනි කම්කරුවෙකි. ඔහු තම දුෂ්කර සමාජ සහ සේවා කොන්දේසි මෙසේ පැහැදිලි කලේ ය. “අපිට ගම්වල ඉඳලා මෙවැනි රැකියාවක් හෝ සොයා ගන්න බෑ. අපිට තාත්තලාගේ හේන් ගොවිතැන් කරන්නත් බෑ. ගෙදර කන්නවත් ප්‍රමානවත් ඵලදාවක් ඒකෙන් ලැබෙන්නේ නෑ. රැකියාව ස්ථීර නැති වුනාට දවසකට 900 ක් ලැබෙන නිසා වැඩ කරනවා. වැඩ තියෙන දවස්වලට රෑදවල් දෙකම වැඩ කරලා වැඩිපුර කීයක් හරි හොයා ගන්නවා.”
ෆින්ටෙක්ස් ෆැක්ටරියේ රැකියාවේ නියුතු තරුන කම්කරුවෙක් ආන්ඩුව, වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ කෙරෙහි දැඩි වෛරයෙන් කතා කලේ ය. “වෘත්තීය සමිතියි, ජවිපෙයි හැම තැනම බොරු විරෝධතා දක්වනවා කම්කරුවෝ රවට්ටන්න. මට නම් මේවා දැන් තේරෙනවා. ඒ අය ආන්ඩුව එක්ක ඉඳන් බොරු විරෝධතා දක්වනවා. ඇත්තටම නම් එයාලා ආන්ඩුව එක්ක එකතු වෙලා අපිට විරුද්ධවයි වැඩ කරන්නේ. අය-වැයට කලින් ලොකු ගනන් ඉල්ලනවා. පස්සේ සොච්චමකට බොරුවට දැන් කෑගහනවා. මේ ආන්ඩුවේ යහපාලනය අපිට තේරෙනවා. බඩු මිල අහස උසට ගිහින් අපිට කිසිම සහනයක් නෑ. මේ පාර ඡන්දයකින් මිනිස්සු මේ කාටවත් ඡන්දේ දෙන එකක් නෑ.
Follow us on