රතු හමුදාව අවුෂ්විට්ස් නිදහස් කර ගැනීමේ තැන් පටන් හැත්තෑ වසරක්

Seventy years since the liberation of Auschwitz by the Red Army

ක්ලාරා වීස් විසිනි, 2015 පෙබරවාරි 16

රතු හමුදාව (සෝවියට්) අවුෂ්විට්ස් මුදා ගැනීමේ 70වැනි සංවත්සරය පසුගිය ජනවාරි 27දාට යෙදී තිබුනි. දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ තැන් පටන් අවුෂ්විට්ස්, ෆැසිස්ට්වාදයේ දුෂ්ටතම කෲරත්වයේ සංකේතය වී ඇත.

යුකේ‍්‍රන පෙරමුනේ 60වැනි හමුදාවේ කොටසක් එලෙස ගොඩනගන ලද රතු හමුදාවේ 322වැනි රයිෆල් බලකාය (බිර්කෙනාවු වෙත ලඟා වූ විට දකින්නට ලැබුනේ බියකරු දර්ශනයකි. කඳවුර බේරාගත් රතු හමුදා සොල්දාදුවන්ගේ අයෙකු වන නිකොලායි පොලිටනෝව් පසුව මෙසේ එය මතකයට නැගුවේ ය:

“සැබෑ කඳවුර පෙනුනේ අපිරිසිදු වදකාගාරයක් ලෙස යි. සැර ගඳක් වාතය කාගෙන පැතිර තිබුනි... අප එහි වඩා අභ්‍යන්තරයට යන විට, මාංශ පිලිස්සෙන දුර්ගන්ධය වඩ වඩා දැඩි විය. අහසින් අපිරිසිදු කලු අලු අප මත ඇද හැලුනේ හිම තට්ටු අඳුරු කරමිනි... ගිලී ගිය මුහුනු හා මට්ට හිස්ගෙඩි සහිත හෙම්බත් වූ ඉතා අවාසනාවන්ත මිනිස්සු බැරක්කවලට පිටතින් සිටිගෙන සිටියහ. අප පැමිනෙමින් සිටින බව ඔවුහු දැන නො සිටියහ. තිගැස්ම ඔවුන් බොහෝ දෙනා ක්ලාන්තයට පත් කලේ ය. එය දකිනා සෑම අයෙකු ම දුර්මුඛ කරන්ට ඉඩ තිබුනු දසුනකි. දුර්දශාව භයංකර විය. (ආදාහනාගාරයේ) පෝරනු තවමත් රත්වී තිබුනු අතර අප ඒවා ලඟට යන විට සමහරක් ඒවන විටත් දැල්වෙමින් තිබුනි... අප සිටිගෙන සිටියේ කවයක් තුල ය. සෑම දෙනා ම නිශ්ශබ්ද ය. බැරක්කවලින් සාගින්නේ පෙලුනු, ඇටසැකිලිවලට ක්ෂය වී කඩමාලුවල එල්ලාගත් ලමුන් තව තවත් මතුවී ආවේය. කුහුඹුවන් මෙන් ඔවුන් විශාල කන්ඩායම් ලෙස රැස්වුනේ විශාල පාසැල් පිට්ටනියක සිටිනවාක් මෙන් ඝෝෂා කරමිනි. දිගු කරගත් දෑත් සහිතව ඔවුහු නැවතී බලා සිටියහ. ඔවුන් පාන් ඉල්ලා කෑගැසූ අතර කෙඳිරිගාමින් බලාපොරොත්තු සහිතව උන්හ. ඔවුහු අපේක්ෂාභංගත්වයෙන් ලතෝනි දෙමින් හා .. කඳුලු පිස දමමින් උන්හ. මෙහි රජකලේ මරනය පමනි. එහි මරනයේ දුර්ගන්ධය පැතිර තිබුනි.”(1)

රතු හමුදාව අවුෂ්විට්ස් නිදහස් කරගැනීමෙන් ඉක්බිතිව යුදෙව් නිවුන්නු. වෛද්‍ය ජෝශප් මැන්ගල්ගේ වෛද්‍ය පර්යේෂන සදහා යොදා ගනු පිනිස මෙම ලමයි පන පිටින් තබා ගැනුනි

අවුෂ්විට්ස් සැදුම් ලත් කඳවුරු පරීක්ෂා කිරීමේ දී රතු හමුදාව, මිලියනයක් ඇඳුම් කඩමාලු, 45,000ක් සපත්තු කුට්ටම්, හා බොහෝ දෙනා ගෑස් කාමරවලට යවන ලද ගැහනු සිරකරුවන්ගේ, ටොන් 7.7ක මිනිස් හිසකෙස්, සොයා ගත්හ.

රතු හමුදාව අවුෂ්විට්ස්වලට ලඟාවීමට යන්තම් දින කිහිපයකට පෙර, සෝවියට් හමුදාවන්ගේ වේගවත් ඉදිරි ගමන ආරංචිවූ එස්එස් හමුදාව (නාසි හමුදාව) පන බේරා ගෙන සිටි කඳවුරේ රැඳවියන් 60,000ක්, “මරනයේ පා ගමන” ලෙස ප‍්‍රකට ගමනකට දක්කා තිබිනි. කඳවුරුවල ඉතුරු වූයේ පුද්ගලයන් 7,500ක් පමනි. අඩු වශයෙන් 300ක් වෙඩි තබා මරා දමා තිබුනි. ක‍්‍රමානුකූල ඝාතනයක් වැලකී ගියේ රතු හමුදාවේ ඉදිරි ගමන නිසා විය යුතුය. මුදා ගැනීමෙන් පසුව තවත් සිය ගනනක් අධික වෙහෙස නිසා මිය ගියහ. සමහරුන් මිය ගියේ එස්එස් හමුදා විසින් වස කවා තිබූ ආහාර ගැනීම නිසාය.

අනෙකුත් සමූලඝාතන හා වඳකඳවරු තුලදී මෙන් ම නාසි අවුෂ්විට්ස් හි දී ද විපතට පත්වූවන්ගේ සම්පූර්න සංඛ්‍යාව කිසි දා පැහැදිලිව තහවුරු කල නො හැකි විය. ඇස්තමේන්තු සඳහන් කර ඇත්තේ, සයික්ලෝන් බී (සයනයිඩ්වල වෙලඳ නාමය - පරි) විෂ වායුව යෙදීමෙන් යුදෙව්වන් 900,000 ද ඇතුලුව මිලියන 1.1 සිට මිලියන 1.5ක සංඛ්‍යාවක් ඝාතනය කරන ලද බව යි. අඩු වශයෙන් පෝලන්ත ජාතිකයින් 140,000ක්, රොමානි හා සින්ටි (සංචාරක ජන කොටස් - පරි) 20,000ක් හා සෝවියට් යුද සිරකරුවන් 10,000ක් සහ සමලිංගිකයින් සිය ගනන් හා ජොහොවා සාක්ෂි කරුවන් නම් නිකායික කොටස් අවුෂ්විට්ස්වලට පිටවාහල් කර තිබුනි. ඔවුන්ගෙන් දහස් ගනනකට ද විෂවායුව යොදා ඇත. තවත් බොහෝ සංඛ්‍යාවක් රෝගාබාධ, වසංගත, වෙහෙස, වදහිංසා හා බලහත්කාර ශ‍්‍රම කඳවුරුවල සාගින්නෙන් මියගියහ.

අවුෂ්විට්ස් යනු, ශ‍්‍රම කඳවුරුවල හා ප‍්‍රධාන කඳවුර නමින් ද ප‍්‍රසිද්ධ, ගෑස් කාමර පිහිටුවා තිබූ මූලෝත්පාටන කඳවුරේ (වෙර්නික්ටුන්ග්ලාගර්) දැවන්ත සංකීර්නයකි. මෙය පිහිටියේ දකුනු පෝලන්තයේ ඔස්වීසිම් නගරය ආසන්නයේ ය. එය 1939 සැප්තැම්බර් පලමුවෙනිදා පෝලන්ත ආක‍්‍රමනයෙන් පසුව, තුන්වැනි රයිකය විසින් ඈඳා ගන්නා ලද භූමි භාගයකි. එය එක්ව ගත් විට කිලෝමීටර් 7ක් පුරා විහිදුනු කඳවුරු පද්ධතියේ විශාලත්වය නිසා, කඳවුරු නිදහස් කර ගැනීමේ දී අඩු වසයෙන් රතු හමුදාවේ සේනාංක හතරක් ඊට සම්බන්ධ වූහ. සියල්ල කටුකම්බිවලින් වට කර තිබුනි. අවුෂ්විට්ස්හි ප‍්‍රධාන අනදෙන නිලධාරියා වූ රුඩෝල්ෆ් හෝබ්, පසුව අවුෂ්විට්ස් හැඳින්වූයේ “මානව ඉතිහාසයේ විශාලත ම මරන කම්හල” ලෙස යි.

1941 වසර මැද පලමු වරට අවුෂ්විට්ස් හි සිරකඳවුරක් සඳහා සැලැසුම් සාකච්ඡා කල අවස්ථාවේ දී, බලාපොරොත්තු වූයේ, සෝවියට් යුද සිරකරුවන් හා අනෙකුත් සිරකරුවන් සඳහා ශ‍්‍රම කඳවුරක් ලෙස එය ගොඩනැගීමටය. කෙසේ නමුත්, සෝවියට් සංගමයට එරෙහි නාසි යුද්ධය දිග්ගැස්සීමත් සමග ජන සංහාරයේ පදනම මත, යුදෙව් ප‍්‍රශ්නයේ “අවසාන විසඳුම” සැලැසුම් කිරීම දෙසට නාසි නායකත්වය හැරී ගත්තේය. එය යුරෝපීය යුදෙව්වන් කාර්මික පරිමානව විනාස කිරීම සඳහා කඳවුරු සංකීර්නය හැරවීම සඳහා අවුෂ්විට්ස් සැලැසුම් වෙනස් කරන ලදී. අවුෂ්විට්ස් අවට පිහිටවනු ලැබූ කඳවුරු තුලින්, ජර්මානු සමාගම් හා නාසි යුද ව්‍යායාමය සඳහා බලහත්කාර ශ‍්‍රම සැපයුම අඛන්ඩව සිදු විය.

පෝලන්තයේ ස්ථානගත කෙරුනු කඳවුරු හයෙන් එකක් වූ සමූලඝාතන කඳවුරට ගෑස් කාමර හතරක් හා 1942දී ගොඩනගා තිබුනු ආදාහනාගාරයක් ද අයත් වුනි. මෙම ස්ථාන හතරේ සෑම එකකට ම දිනකට පුද්ගලයන් 1,000ක් මරා පුලුස්සා දැමිය හැක. අවුෂ්විට්ස් හි පුද්ගලයන්ට විස වායු යෙදීමේ පලමු උත්සාහය, 1941 පසු භාගයේ දී ආරම්භවූ අතර එයට ගොදුරු වූයේ සෝවියට් යුද සිරකරුවන් ය. 1942 අපේ‍්‍රල් හෝ ජූනි මාසයේ දී මහා පරිමාන වශයෙන් යුදෙව්වන්ට විෂ වායු යෙදීම අරඹන ලදී. ඊ ලඟ වසර දෙක හමාර තුල දී පුද්ගලයන් මිලියනයක් පමන ගෑස් යොදා මරා දඅමුනි. ඔවුන්ගෙන් 400,000ක් හංගේරියන් යුදෙව්වන් වූ අතර 1944 ගිම්හානයේ සති දෙකක් ඇතුලත ඔවුන් ඝාතනය කරන ලදී.

අවුෂ්විට්ස්හි ප්‍රධාන කදවුරට ඇතුලු වන දොරටුව. © Bundesarchiv B 285 Bild-04413 Stanislaw Mucha CC-BY-SA

අවුෂ්විට්ස් II නැතහොත් බිර්කෙනාවූ කලී, “වැඩ කිරීමට යෝග්‍ය”යැයි සැලකුනු යුදෙව්වන් මෙන් ම දේශපාලන සිරකරුවන්, සමලිංගික හා විවිධ රටවල යුද සිරකරුවන් රඳවා සිටි බලෙන් වැඩ ගත් ශ‍්‍රම කඳවුරකි. කඳවුරේ විශේෂ අංශයක්, එනම් බී 2ඊ කොටස සූදානම් කෙරුනේ රොමානි ජනයා සඳහා ය. අවුෂ්විට්ස්්වලට පිටුවාහල් කරන ලදැයි සැලකෙන යුදෙව්වන් 22,600න් 19,300ක් මිය ගියේ කුස ගින්න, රෝගාබාධ හා ෂයික්ලෝන් බී හේතුවෙනි. සමස්තයක් වසයෙන් නාසීහූ හා ප‍්‍රාදේශීය ෆැසිස්ට්වාදීහූ දෙවැනි ලෝක යුද්ධය අතරතුර දී අඩ මිලියනයක් දක්වා සින්ටි හා රොමා ජනයා ඝාතනය කලහ.

අවුෂ්විට්ස් III නැතහොත් මොනෝවිට්ස් මෙන් ම බූනා කඳවුර ලෙස ද ප‍්‍රසිද්ධ කඳවුර ස්ථාන ගත කලේ, එවකට ලෝකයේ විශාලතම රසායනික ව්‍යාපාරික සමූහය වූ අයිජී ෆාර්බෙන් නම් ජර්මානු සමාගමකට අයත් භූමිභාගයක ය. එහි කටයුතු අනුව සමාගම විසින් ම එය හැඳින්වූයේ “අයිජී අවුෂ්විට්ස්” ලෙස ය. 1941දී බලහත්කාර ශ‍්‍රමයෙන් ගොඩනගන ලද කඳවුර 1942දී විවෘත කරන ලදී. කර්මාන්තයේ හිනිපෙත්තේ දී එය 11,000ක් පමන වහල් සේවකයින් වැඩෙහි යෙදවී ය. මුලුමනින් ම රැඳවියෝ 35,000ක් එහි වැඩ කලෝ ය. අඩු වසයෙන් 25,000ක් මියගියේ කුසගින්න, රෝගාබාධ හා වෙහෙස නිසාවෙනි.

සිරකරුවෝ අවුෂ්විට්ස්හි අයිජී පාබන් කදවුර දෙසට ගමන් කරති. © Yad Vashem

කෘප් හා සීමන්ස් වැනි අනෙකුත් ප‍්‍රධාන ජර්මානු සමාගම් අවුෂ්විට්ස් ආසන්නයේ කම්හල් ගොඩනැගූහ. ඒවායින් බොහොමයක් නිෂ්පාදනය කලේ ජර්මානු යුද මෙහෙයුම් සඳහා ය. පූර්න වශයෙන්, දුසිම් කීපයක සිට දහස් ගනනාවක් දක්වා සිරකරු ගහනයක් සහිතව පරිවාර කඳවුරු 45ක් එහි පිහිටුවා තිබුනි.

යුරෝපයේ හැම දෙසින් ම අවුෂ්විට්ස් ඝාතන කඳවුරේ ගොදුරු බවට පත් වූ අය, කඳවුර වෙත ප‍්‍රවාහනය කලේ ගව කරත්තවලිනි. අන්තිම නරක අඩියේ පැවති ගව කරත්තවල වතුර නො වීය, සනීපාරක්ෂක පහසුකම් නො වීය, පිටුවහලුන් සියගනන් මිය ගියේ අවුෂ්විට්ස්්වලට ගෙන යන අතරතුර දී ය.

(කඳවුරට) පැමිනෙන පිලිවෙලට අනුව, සිරකරුවන් තේරීම සඳහා ඊනියා වේදිකාවකට ගාල් කරන ලදී: නාසි වෛද්‍යවරු හා එස්එස් නිලධාරීහු ඔවුන්ගේ අදහසට අනුව “වැඩට යෝග්‍ය” වූ හා “වැඩට යෝග්‍ය නො වූ” අය තේරූහ. දෙවැනුව සඳහන් කාන්ඩයට වැඩිහිටි පුද්ගලයෝ, ගර්භනී කාන්තාවෝ හා මව්වරු, ලමයි හා ලෙඩ්ඩු ඇතුලත් වූහ. “වැඩට යෝග්‍ය” යි තෝරා ගන්නා ලද අය වහල් කඳවුරුවලට යවන ලදී. සෙස්සෝ ගෑස් කාමරවලට යවන ලදී.

වේශ්‍යා වෘත්තියට ඇද දමා එස්එස් හමුදාවට වැඩ කිරීමට සලස්වන ලද, හෝ වෛද්‍ය පර්යේෂන සඳහා යොදා ගැනුනු ඇතම් කාන්තාවන් සඳහා සාමාන්‍ය නීතියට වෙනස් ව කටයතු කරන ලදී. වහල් වැඩට හා වෛද්‍ය පර්යේෂන සඳහා තෝරා ගැනුනු අයගේ දකුනු අග‍්‍ර බාහුවේ අංකයක් සහිතව පච්චයක් කොටනු ලැබී ය. අංකය කඳවුර තුල දී ඔවුන් හඳුනාගැනීමට උදව් විය.

පොදුවේ, අවුෂ්විට්ස්වල දිවි රැක ගත් බොහෝ දෙනා එසේ කලේ එස්එස් හෝ ගෙස්ටාපෝවට ඍජුව හෝ වක‍්‍රව වැඩ කිරීමෙන් හෝ පුහුනු ශ‍්‍රමය වැනි අනෙකුත් හැකියාවන් යොදාගැනීමෙනි. බේරුනු ලමුන්ගේ අති විශාල බහුතරය වෛද්‍ය පර්යේෂනවල ගොදුරු වූහ. ඉතා කුප‍්‍රසිද්ධ පර්යේෂනයන් වෛද්‍ය ජෝසෙෆ් මෙන්ගෙලේ යටතේ සිදු විය. නිවුන්නු පිලිබඳ ම්ලේච්ඡ පර්යේෂනවල විශේෂඥයෙකු වූ ඔහුගේ බොහොමයක් පර්යේෂන අවසන් වූයේ ඔහුට ගොදුරුවූ අය මුහුනපෑ වේදනාකාරී මරනයෙනි.

හංගේරියානු යුදෙව්වන් කන්ඩායමක් ගෑස් කාවර සහ අංක 2 හා 3 දරන ආදාහනාගාර වෙත ගමන් කරයි, 1944 මැයි 27

ජර්මානු කර්මාන්ත විසින් යම් ආකාරයකින් හෝ උපයෝගී කර නො ගත්තේ නම්, මෙම ලක්ෂ ගනන් මිනිසුන් විනාස කිරීමට වෙනත් ආකල්පයක් නො තිබුනි. පිටුවාහල් කිරීමට පෙර, යුදෙව්වන්ගේ බඩුමුට්ටු, නිවාස, සාප්පු හා ඉතිරි කිරීම් කොල්ල කෑ ජර්මානු රජය, යුදෙව් දේපල, සමාගම් හා බැංකුවලට පැවරුවේ ය.

අවුෂ්විට්ස් හා අනෙකුත් මූලෝත්පාටන කඳවුරුවලට අවශ්‍ය වූ ෂයික්ලෝන් බී බෙදාහරින ලද්දේ ඩෙගූසා හා අයිජී ෆාර්බෙන් නම් රසායනික හා ලෝහ සමාගමේ අතිරේක සමාගමක් වන ඩෙගූස් විසිනි. ජන සංහාරයෙන් පසු, ගෑස් යෙදූ අයගේ අලු පාරවල් ඉදිකිරීම සඳහා යොදා ගන්නා ලදී. මලවුන්ගේ අලු අතරින් එකතු කරගත් රත්තරන් දත් සමාගම්වල පරීක්ෂාවට ලක් විය... උදාහරනයක් වසයෙන්, යුද්ධය අතරතුර දී යුදෙව් වාසස්ථාන හා වද කඳවුරුවලින් පැහැරගෙන තිබූනු, අඩු වසයෙන් පිරිසුදු රත්තරන් ටොන් 5ක් ද පිරිසිදු රිදී ටොන් 100ක් ද ඩෙගූසා සමාගම විසින් පිලිසකසන ලදී. ඩෙගූසා මින් රයික් මාර්ක් මිලියන 2ක දල ලාභයක් අත්කර ගත්තේ ය.(2) මැරුනු අයගේ ඇඳුම් හා හිසකෙස් ද එස්එස් හමුදා විසින් එකතු කර, පුරුදු පරිදි සමාගම්වලට විකුනන ලදී. ඝාතනය කරන ලද සිරකරුවන්ගේ හම්වලින් සමාගම්, ලාම්පු ආවරන නිෂ්පාදනය කරන ලද අවස්ථා ද වාර්තා වුනි.

1945 මැයි මාසයේ යුද්ධය අවසන් වන විට නාසි සමූලඝාතනය තුල දී යුරෝපීය යුදෙව්වන් මිලියන 6ක් මරා දමා තිබුනි. මේ අයගෙන්, සෑම යුදෙව්වන් හයදෙනෙකුට එක් අයෙක් අවුෂ්විට්ස් හි දී විෂ වායු යොදා මරා දමන ලදී. යුරෝපයේ වැඩිම යුදෙව් ජනගහනයක් සිටි පෝලන්තයේ මිලියන 3.3 සිට මිලියන 3.5ක් වූ යුදෙව් ජනාවාස සමග ලැට්වියා, බෙලාරුස්, යුකේ‍්‍රන්, ජර්මනිය, ප‍්‍රන්සය, ග‍්‍රීසිය, හංගේරියාව, බෙල්ජියම, ඉතාලිය, නෙදර්ලන්තය හා යුගෝස්ලාවියාවේ යුදෙව් සමාජ එකක් නෑර පමනක් නොව, සියවස් ගනනාවක් යුරෝපය හැඩගැස්වීමට උදව් කල සංස්කෘතියක් ද ඔවුන් සමග මූලෝත්පාටනය කරන ලදී.

යන්තම් දස දහස් ගනනක් පමනක් වහල් කඳවරුවලදී දිවි රැකගත් හ. තවත් දහස් ගනන් මිනිසුන් සැඟවී දිවි රැකගත්හ. කෙසේ නමුත්, හොලොකෝස්ටයෙන් බේරුනු බොහෝ යුදෙව්වෝ සෝවියට් සංගමයට පලා ගියහ. 1939දී පෝලන්තය, ස්ටැලින් හා හිට්ලර් අතර බෙදාගැනීමෙන් හා නාසීන් එරට ආක‍්‍රමනය කිරීමෙන් පසුව, යුදෙව්වෝ සියදහස් ගනනක් සෝවියට් පෝලන්තයට ද පසු ව තවදුරටත් රුසියාව තුලට ද පලා ගියහ. ඔවුන්ගෙන් බොහෝ දෙනා පසු ව එන්කේවීඩීය (සෝවියට් ඔත්තු සේවාව - පරි) විසින් පෝලන්ත වැසියන් ලෙස ඔවුන් සයිබීරියාවට හෝ මධ්‍යම ආසියාවට පිටුවහල් කරන ලදී. සමස්තයක් වසයෙන්, හොලොකෝස්ටයෙන් බේරුනු බවට ගනන් බැලූ පෝලන්ත යුදෙව්වෝ 300,000ක් සෝවියට් සංගමය තුල යලි පදිංචි වූහ.

යුදෙව් විරෝධයේ සමාජ - ආර්ථික හා දේශපාලන මූලයන් ඉවත් කර නො තිබූ බැවින් යුද්ධයේ අවසානයත් සමග යුදෙව් ශෝඛාන්තය අවසන් නො වීය. අඩු වසයෙන් 1946 අවසානය දක්වා පෝලන්ත සිවිල් යුද්ධය අතරතුර හොලොකෝස්ටයෙන් දිවි ගලවා ගත් අය ඉලක්ක කෙරෙමින් නොයෙකුත් යුදෙව් විරෝධී ජන සංහාර සිදුවුනි. වඩාත් කුප‍්‍රකට නිදසුන ෂෝආහ්වලින් බේරුනු අය සඟවා තැබුනු නිවසක් 1945 ගිම්හානයේ දී 16දෙනෙකු ඝාතනය කරමින් පුපුරුවා හැරීමයි.

එය පසු පස පැමිනියේ 1946 ජූලියේ සිදුවූ කියෙල්සි සංහාරය යි, මෙයින් අඩු ගනනේ යුදෙව්වන් 42දෙදෙනෙකු මියගොස්, තවත් 40ට තුවාල සිදු කලේ ය. ඇමරිකාව හා බි‍්‍රතාන්‍ය විසින් සහාය දෙන ලද කොමියුනිස්ට් විරෝධී කඳවුරට හැමවිට ම බැඳී සිටි යුදෙව්, දිවිගලවාගත් යුදෙව්වන් ආපසු පෝලන්තයට රැගෙන සෝවියට් සංගමයේ සිට පැමිනෙන දුම්රියවලට පහර දුන්හ. එක්ව ගත් විට, 1944 සිට 46 දක්වා පෝලන්ත යුදෙව් විරෝධීන් විසින් යුදෙව්වන් කීප සියයක් මරා දමන ලදී.

බටහිර ජර්මනිය තුල යුදෙව් විරෝධය නො වෙනස් ව ඉදිරියට ගියේය. අවස්ථා සුලු ගනනකදී හැරෙන්නට නාසි ආර්ථික, දේශපාලන හා බුද්ධිමය පැලැන්තියට ඔවුන්ගේ වෘත්තීන් ඉදිරියට ගෙන යාමට අවසර ලැබී තිබුනි. සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදී නිලධරය, මහා රුසියානු ජාත්‍යෝන්මාදයේ තුච්ඡ සම්ප‍්‍රදායන් කරා අපසු හැරෙමින්, 1940 පසු භාගයේ හා 1950ස් ගනන්වල යුදෙව් විරෝධී විරේක කිරීම් සමග යුදෙව් විරෝධය මෙලවූ හ.

හොලොකෝස්ටයෙන් දිවි ගලවා ගත් බොහෝ දෙනා, 1948දී පිහිටුවන ලද ඊස්රායලයට හෝ අවුරුදු ගනනාවක පොරොන්දු හා විරේක කිරීම්වලින් පසු බොහෝ දෙනා 1950ස් ගනන්වල පදිංචි කරවන ලද එක්සත් ජනපදයට පලා ගියෝ ය. යුදෙව් ජාතික රාජ්‍යයක් යුදෙව් ජනතාවගේ ගැලවීම විය හැකි ය යන ප‍්‍රතිගාමී සියොන්වාදී සංකල්පය මත ගොඩ නැගූ ඊස්රායල් රාජ්‍යය, එහි පැවත්මේ පලමු දිනවල සිටම යුද්ධයේ නියලී ඇත.

දිවි ගලවා ගත් අය ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි කාලය ගතකලේ හංවඩු වැදුනු මිනිසුන් ලෙස ය. බොහෝ අය පසුව සිය දිවි නසා ගත්හ. තමන් විඳ දරා ගත් අපාය ගැන කතා කිරීමට හා ලිවීමට හැකියාව ලැබීමට පෙර හොලොකෝස්ට් දිවි ගලවා ගත් අයට, දශක ගනනාවක් ගෙවන්නට සිදුවුනි. ඒ ඔවුන් විඳ තිබූ බියකරු මානසික තිගැස් ම නිසා පමනක් නො ව, ක්ෂනික පශ්චාත් යුද කාල පරිච්ඡේදය තුල ධනවාදය පුනස්ථාපනයට පසු හා සීතල යුද්ධයේ ප‍්‍රතිගාමී දේශපාලනික පසුබිම තුල නාසීන්ගේ දරුනු ම අපරාධවලින් බොහොමයක් (බටහිර ජර්මනිය තුල පමනක් නො ව) වසන් කරන ලදී.

සිය සොයුරිය සමග අවුෂ්විට්ස්වලින් බේරුනු ඇනීටා ලැස්කර් -වෝල්ෆිස්ක් මෑත සම්මුඛ සාකච්ඡාවක දී මෙසේ පැවසුවා ය:

“අපගේ නිදහසින් පසු (මගේ සහෝදරිය) රෙනේට් හා මා සිතුවේ ලෝකය දැන් වෙනස් විය හැකි බව යි. නමුත් ඊට පසු වසරවල දී කිසිවෙකුත් කිසි ම ප‍්‍රශ්නයක් ඇසුවේ නැත, කිසිවෙකුට කිසිදෙයක් දැන ගැනීමට අවශ්‍ය වූයේ ද නැත. අවුෂ්විට්ස්වලින් පසු පැමිනියේ මහා නිශ්ශබ්දතාව යි.” [3]

අවුෂ්විට්ස්වල වැඩ කල එස්එස් හා ගෙස්ටාපෝ රහස් පොලීසියේ 7,000ක් යයි සලකන නිලධාරීන් සුලු කොටසකගෙන් පමන යි යම් විටක නඩු අසන ලද්දේ. නඩු අසන ලද බොහෝ දෙනා නිතර ම ලැබුවේ අවුරුදු 1 සිට 4 දක්වා වූ හාස්‍යජනක ලෙස සැහැල්ලු සිරදඬුවම් ය.

පලමු හා ඉතාමත් විස්තීරන නඩුව අසන ලද්දේ, 1947දී යුද්ධයේ ක්ෂනික ඉක්බිත්තේ පෝලන්තයේ දී ය. අවුෂ්විට්ස් ප‍්‍රධාන අනදෙන නිලධාරී රුඩෝල්ෆ් හෝබ් එල්ලා මැරීමට තින්දු කරන ලදී. එමෙන් ම අවුෂ්විට්ස්වල තවත් ප‍්‍රධාන නිලධාරීන් 20දෙනෙකුට ද එම තීන්දුව දෙන ලදී. තවත් දොලොස්දෙනෙක් වසර 15ක හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබූහ.

ජර්මනිය තුල, නාසීන්ගේ අනෙකුත් අපරාධ මෙන් ම අවුෂ්විට්ස් අපරාධ ද 1960 වන තුරු සාකච්ඡා නො කල තරම් ය. රාජ්‍ය සංවිධානවල දැවන්ත විරෝධයට එරෙහිව, සියල්ලටත් වඩා, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නීතිඥ ෆ‍්‍රිට්ස් බෝයර්ගේ උත්සායන් නිසා ගෙන ඒමට හැකිවූ 1963 - 1965 ෆ‍්‍රැන්ක්ෆර්ට් අවුෂ්විට්ස් නඩුවේ දී, පන රැකගත් සියගනනක්, පලමු වරට ඔවුන්ගේ දුක් පීඩා ගැන ප‍්‍රසිද්ධියේ කතා කලහ.(4) ගෙස්ටාපෝ සාමාජිකයින් 22ක්, එස්එස් නිලධාරීහු, නාසි වෛද්‍යවරු හා අනෙකුත් කඳවුරු නිලධාරීහු පරීක්ෂාවට භාජනය කෙරුනි. 1945ට පසුව නඩුව ඇරඹෙන තෙක්, සාර්ථක වෘත්තීන් යලි ආරම්භ කර තිබූ ඔවුන්ගෙන් බොහෝ දෙනා පශ්චාත් යුද ජර්මනිය තුල සාමකාමී ජීවිතයක් ගත කර තිබුනි.

ඔවුන් අතර අවුෂ්විට්ස් උප අනදෙන නිලධාරී රොබට් මුල්කා හා ගෙස්ටපෝ කඳවුරේ සාමාජික විල්හෙල්ම් බෝගර් ද වූහ. යුදෙව්වන් “මැරීමට දැක්වූ කැමැත්ත” ඔප්පු කල නො හැකි වී යැයි උසාවිය තර්ක කිරීමෙන් පසුව මුල්කා, වසර 14ක සිරදඬුවමට යටත් කරන ලදී. 1967දී ඔහු නිදහස් කරන ලද අතර වසරකට පසු මිය ගියේ ය.

අවුෂ්විට්ස් හි වධහිංසා සඳහා යොදාගත් ඉතා දුෂ්ට උපකරනයක් වන “බෝගර් - ඔංචිල්ලාවේ” නිර්මාතෘ විල්හෙල්ම් බෝගර් ජීවිතාන්තය දක්වා සිරයට නියමිත වූ අතර 1977දී හිරගෙදර දී මිය ගියේ ය.

නාසි තන්ත‍්‍රයට සේවය කල වෛද්‍යවරුන්ගේ නරක ම අපරාධ සමග අනන්‍යවී සිටි වෛද්‍ය ජෝසප් මෙන්ගෙලේට කිසි දා නඩු නො පැවරුනි. පශ්චාත් යුද කාල පරිච්ඡේදය පුරා ඔහු ජර්මානු ඔත්තු සේවාවේ ආරක්ෂාව භුක්ති විඳි අතර 1979දී පිටුවහලේ දී මිය ගියේ ය. නීතියක් ලෙස ජර්මානු උසාවිය, පැනෙව්වා පමනක් නො ව, නාසි යුද අපරාධ කරුවන්ට කිසියම් දඬුවමක් පැමිනවූවා නම් පවා ඒ සැහැල්ලු දඬුවම් ය. ඔවුහු ජීවත්ව සිටින සාක්ෂි කරුවන් ද බිය ගැන්වූහ.

වෛද්‍ය ජෝශප් මැන්ගල් 1956 දී ආජන්ටිනාවේ පිටුවාහලේ සිටිය දී

අවුෂ්විට්ස් හි සිදු කෙරුනු අපරාධවලට සම්බන්ධ හා ඒවායින් ලාභ ගැරූ සමාගම්වලට අත නො තැබුනි. බහුතරය දැඩි ලෙස ඒත්තු ගැන්වුනු නාසීන් වූ ඩෙගූසා අධ්‍යක්ෂ මන්ඩලය, 1945දී සිය වෘත්තීන් නැවත ඇරඹුවේ කිසි දෙයක් සිදු නොවුනු ලෙසට ය. න්‍යුරෙම්බර්ග් නඩුවල දී ඇල්ප‍්‍රඩ් කෘප් හා ඔහුගේ ප‍්‍රධාන කලමනාකරුවන් දශ දෙනෙකු වසර 12ක සිර දඬුවමකට යටත් කෙරුනු නමුත් යන්තම් වසර හතරක් හිරේ ලැගීමෙන් පසු 1952දී නිදහස් කරන ලදී.

අවුෂ්විට්ස් හා අනෙකුත් නාසි වඳ කඳවුරුවල අපරාධ සමග වඩාත් කිට්ටුවෙන් සම්බන්ධ සමාගමක් වූ අයිජී ෆාර්බෙන් කලාමනාකරනය කල් ගත කලේ ඊටත් වඩා හොඳිනි. 1947දී නඩුවට ඉදිරිපත් කෙරුනු කලමනාකරුවන් 23දෙනාගෙන් වරදකරුවන් වූයේ දහදෙනෙකු පමනි. අවසන් අයිජී ෆාර්බෙන් කලමනාකරුවා 1951දී හිරෙන් නිදහස් කරන ලදී. ඔවුන් සියලු දෙනාම වාගේ ඉක්මනින්ම බටහිර ජර්මනියේ ප‍්‍රධාන සමාගම්වල තනතුරු ලැබූහ. අද, බීඒඑස්එෆ් හා බේයර් වැනි අයිජී ෆාර්බේන් අනුගාමී සමාගම් ලෝකයේ වඩාත් ම ලාභදායී හා විශාල ම සමාගම් ලෙස ශ්‍රේනි ගත කෙරේ.

20වැසි සියවසේ ඉතාමත් බියකරු අපරාධවල සංකේතය ලෙස අවුෂ්විට්ස්, කම්කරු පන්තියේ කේන්ද්‍රීය මානසික කම්පනය පවතී. හොලොකෝස්ටය ලඟින් හෝ යන නමක් සොයා ගැනීම අපහසු වනවාක් මෙන්ම යුරෝපීය යුදෙව්වන්ගේ ම්ලේච්ඡ වධබන්ධනය හා සමූලඝාතනයට වඩා ඓතිහාසික අශුභවාදයක් ඇති කර ඇති 1930ස් ගනන්වල සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදී අපරාධ ලඟින් තැබිය හැකි කුමන හෝ විනාසයක් ගැන ඒ සමානව ම සිතා ගත නො හැක. විප්ලවයක් ක‍්‍රියාවට නැංවීමට හා අධිරාජ්‍යවාදයේ භීෂනයන් පරාජය කිරීමේ ලා කම්කරු පන්තියේ හැකියාව ගැන ගැඹුරු අශුභවාදයෙන්, 1945න් පසු බුද්ධිමය වාතාවරනය පසාරු කෙරුනේ කිසිසේත් අවුෂ්විට්ස් නිසාම නොවේ.

ඉතිහාසඥයින් හා දේශපාලයින් විසින් ප‍්‍රචාරනය කරන ලද පොදු සූත‍්‍රය වූයේ අවුෂ්විට්ස් හි සිදු කරන ලද අපරාධ, අවසාන විග‍්‍රහයේ දී තේරුම් කල නො හැකි බව යි. මෙම ආස්ථානය ගමන් කරනු ඇත්තේ මනුෂ්‍යත්වයේ ඉරනම ගැන අපේක්ෂා භංගත්වයට පමනී. අවුෂ්විට්ස් හි සිදු කරන ලද භයංකර අපරාධ තේරුම් කල නො හැකි නම්, ඒවායින් ඉගෙන ගත හැකි දෙයක් නැත. ඒවායින් කිසි දෙයක් ඉගෙන ගත නො හැකි නම් අවුෂ්විට්ස් පුනරාවර්තනය වැලක්විය නො හැක.

මෙම තර්කය යටින් පවතින්නේ, 20වැනි සියවසේ පලමු භාගයේ පන්ති අරගලය හා කම්කරු ව්‍යාපාරයේ ඉතිහාසයේ සන්දර්භයෙන් බැහරව, අවුෂ්විට්ස් හා ෆැසිස්ට්වාදයේ අනෙකුත් අපරාධ දෙස බලන ප‍්‍රවේශයකි. 1920 හා 1930 ගනන්වල ජර්මානු හා ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඛේදවාචක හා ස්ටැලින්වාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදීන්ගේ අරගලයෙන් බැහර කොට, අවුෂ්විට්ස් වටහා ගත නො හැක. ජීවත්වන්නන්ගේ මොල මත දුස් ස්වප්නයක් ලෙස අවුෂ්විට්ස් බර තබන්නේ, යුරෝපීය කම්කරු පන්තිය විසින් එය නො වලක්වන ලද හෙයින් හා මෙම අසාර්ථකත්වයේ මූලයන් අද දක්වා මහජනයාගේ බහුතරය විසින් අවබෝධ කර ගෙන නොමැති නිසා ය.

රුසියාවට හා චීනයට එරෙහිව අධිරාජ්‍යාවාදී බලවතුන්ගේ කුරිරු ප‍්‍රකෝප කිරීම් මගින් උසි ගන්වන ලද තුන්වැනි ලෝක යුද තර්ජනය සෑම දිනක ම වර්ධනය වෙමින් පවතින හෙයින් මෙම ප‍්‍රශ්නය අතිශයින් ම වැදගත් ය. අවුෂ්විට්ස් හා වඩා පොදුවේ ෆැසිස්ට්වාදයේ සමාජ - ආර්ථික හා දේශපාලනික මූලයන් වහංකර තිබෙන තාක් දුරට ධනේශ්වරය, ජර්මනිය තුල විශේෂයෙන් ම, හොලොකෝස්ටය සඳහා කම්කරු පන්තිය මත දෝෂාරෝපනය තබමින්, දෘෂ්ටිමය වශයෙන් අධිරාජ්‍යවාදයේ නව අපරාධ යුක්තිසහගත කිරීමට, නාසිවාදයේ භීෂනයන් යොදා ගැනීමට උත්සාහ කර ඇත.

යථාර්ථයේ දී යුරෝපීය යුදෙව්වන්ගේ සමූලඝාතනය, ධනේශ්වර පද්ධතියේ පරිහානියේ ප‍්‍රතිඵලය විය. 1944දී අවුෂ්විට්ස් හි දී ඝාතනය කරන ලද පෝලන්ත - බෙල්ජියානු ට්‍රොට්ස්කිවාදියෙකු වූ ඒබ‍්‍රහම් ලියොන් පැහදිලි කල පරිදි:

“අපගේ යුගයේ යුදෙව්වාදයේ බෙහෙවින් ඛේදනීය තත්වය පැහදිලි කරනු ලබන්නේ එහි සමාජ හා ආර්ථික තත්වයේ අන්ත අඩමාන බව මගිනි. පලමුවැන්න පරිහානියට පත්වන වැඩවසම්වාදය මගින් තුරන් කර දැමීමට නියමිත ය, යුදෙව්වෝ ද මියයන ධනවාදයේ ප‍්‍රකම්පනය මගින් පලමුව ප‍්‍රතික්ෂේප කිරීමට නියමිත වූහ. පරිහානියට යන වැඩවසම්වාදයේ කිනිහිරය හා කුනුවෙන ධනවාදයේ මිටිය අතර තමන් ම ද තැලෙන බව යුදෙව් ජනතාව විසින් ම සොයා ගනු ලබති.”(5)

මේ ආකාරයෙන් යුදෙව් ජනතාවගේ ගැලවීම රඳාපවතින්නේ, ධනවාදය පෙරලා දමන කම්කරු පන්තිය මත ය. ෆැසිස්ට්වාදී ව්‍යාපාරය සම්බන්ධයෙන් ගත් විට, යුදෙව් විරෝධය සේවය කලේ සමජවාදී කම්කරු පන්ති ව්‍යාපාරයට එරෙහිව සුලූධනේශ්වර ස්ථර බලමුලු ගැන්වීමේ මාධ්‍යයන් ලෙස ය. “යුදෙව්වාදී බොල්ෂෙවික්” බිය ඇතිකරන්නා, හොලොකෝස්ටය තුල මෙන් ම නාසි හා නැගෙනහිර යුරෝපයේ ඔවුන්ගේ ෆැසිස්ට් සහචරයන්ගේ ද සංකල්පය තුල වැදගත් කාර්යභාරයක් ඉටු කලේ ය.

කෙසේ නමුත්, හොලොකෝස්ටය ලෝක ධනේශ්වර පද්ධතියේ මර ලතෝනියේ අනිවාර්ය ප‍්‍රතිඵලය නො වේ. බලය ගැනීමෙන් කම්කරු පන්තිය වලක් වන ලද ස්ටැලින්වාදය ඉටු කල විනාසකාරී කාර්යභාරය නොමැති ව හිට්ලර් බලයට පැමිනීම හා ඊට පසු ෆැසිස්ට්වාදයේ සියලුම අපරාධ සිදු නොවිය හැකි වන්නට තිබුනි.

නාසිවාදයේ තර්ජනයට එරෙහිව හා ජර්මනිය තුල සමාජවාදී විප්ලවයක් සඳහා සූදානම්වීමේදී ඒකාබද්ධව සටන් කිරීමට කොමියුනිස්ට්වාදී කම්කරුවන් හා තවමත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ (එස්පීඩී) බලපෑම යටතේ වූ අයගේ එක්සත් පෙරමුනක් සඳහා සටන් කරනවා වෙනුවට, “සමාජ ෆැසිස්ට්වාදී” ලෙස නම් කෙරුනු එස්පීඩීය, (සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය) කොමියුනිස්ට් ව්‍යාපාරයේ ප‍්‍රධාන හතුරා බවට පත්කල ප‍්‍රතිපත්තියක් සමගින් ජර්මානු කොමියුනිස්ට් පක්ෂය, (කේපීඩී) ජර්මානු කම්කරු පන්තිය භේද භින්න කල අතර දේශපාලනිකව අබ්බගාත කලේ ය.

මෙම ප‍්‍රතිපත්තිය අන කරන ලද්දේ, පලමු කම්කරු රාජ්‍යයේ ජාත්‍යන්තර හුදකලාවේ කොන්දේසි යටතේ මතුව ආ සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය විසිනි. “තනිරටක සමාජවාදය” නම් සංශෝධනවාදී ක‍්‍රියාමාර්ගයේ පදනම මත ස්ටැලින්වාදී නිලධරය සම්පූර්න තුන්වැනි ජාත්‍යන්තරය ම (කොමින්ටර්නය) සඳහා අවස්ථාවාදී වංකගිරියක් වර්ධනය කලහ. තුන්වැනි ජාත්‍යන්තරය 1920 හා 1930 ගනන්වල දී කම්කරු පන්තියේ අතිවිශාල පරාජයන්ට මග පෑදී ය. ජර්මනිය තුල මිලියන 6ක කම්කරුවන්ගෙන් සැදුම්ලත්, ෆැසිස්ට්වාදය පරාජය කිරීමේ එකම බලවේගයෙන් සමන්විත, සංවිධානගත කම්කරු ව්‍යාපාරය කුඩු කිරීමට එය නාසීන්ට පාර කැපී ය.

ජර්මානු කම්කරු පන්තියේ ඓතිහාසික පරාජයෙන් අවශ්‍ය නිගමන උකහා ගනිමින් හා එලඹෙමින් තිබුන මාසවල විනාසය සාකච්ඡා කිරීමට පවා කොමින්ටනය අසමත් ය යන කරුන යටතේ ට්‍රොට්ස්කි, අලුතින් හතරවැනි ජාත්‍යන්තරය ගොඩනැගිය යුතු බව කියා සිටියේ ය. කොමින්ටනය කම්කරු පන්තියේ සමාජ අවශ්‍යතා නො ව, සෝවියට් සංගමයේ ප‍්‍රතිවිප්ලවවාදී නිලධරයේ අවශ්‍යතා ඉදිරියට ගෙන යාමේ උපකරනය වී තිබුනි.

කෙසේ නමුත්, ස්ටැලින්වාදයේ අපරාධ ඉන් අවසන් නො වීය. ආරම්භයේ දී ම සෝවියට් සංගමයට එරෙහිව යුද්ධය න්‍යාය පත‍්‍රයට ඇතුලු කරගත්, යුරෝපයේ වැඩි වන ෆැසිස්ට්වාදී තර්ජනයට ස්ටැලින්වාදී නිලධරය ප‍්‍රතිචාර දැක්වූයේ, පෙනෙන හැටියට නම් ෆැසිස්ට්වාදයට එරෙහිව ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකීමට, ධනේශ්වර පක්ෂ සමග සන්ධානයකට හැරීම මගිනි. ප‍්‍රන්සයේ හා විශේෂයෙන් ස්පාඤ්ඤය තුල විප්ලවවාදී අරගලයන්ට ඇද ගැනුනු කම්කරුවන් මහජන පෙරමුනුවලට යටත් කලේ, කොමියුනිස්ට් පක්ෂ ජාතික ධනේශ්වරය සමග සන්ධානයන්ට එලඹෙමිනි.

එලෙස, ඊනියා “ප‍්‍රජාතන්ත‍්‍රවාදී” යුරෝපයේ ෆැසිස්ට් භීතිකාව පැරදවීමට හා එයින් ම ජර්මනිය තුල හිට්ලර්ට වලකැපීම මගින් ධනේශ්වර ක‍්‍රමය විප්ලවවාදීව පෙරලා දැමීමට බාධා කරන ලදී.

ඒ සමගම, ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සංගමය තුල භීතිය මුදා හලේ, සියලු අව්‍යාජ කොමියුනිස්ට්වාදීන් හා සමාජවාදීන් ඉලක්ක කරමිනි. සැබවින් ම, 1917 ඔක්තෝබර් විප්ලවයේ සම්පූර්න නායකත්වය සමග 300,000 පමන ට්‍රොට්ස්කිවාදීහූ හා බොහෝ අත්දැකීම් සහිත රතු හමුදාවේ ජෙනරාල්වරු හා අනදෙන්නෝ ස්ටැලින්ගේ අලූගෝසුවන් විසින් ඝාතනය කරන ලදී.

1939 අගෝස්තුවේ දී, ක්‍රෙම්ලින් නිලධරයේ අසීමිත නරුමත්වය හා ජාත්‍යන්තර කම්කරු පන්තිය කෙරෙහි සතුරුකම ප‍්‍රදර්ශනය කෙරුනු ක‍්‍රියාවක දී ස්ටැලින් මාවත ආපසු හරවමින්, හිට්ලර් සමග ආනාක‍්‍රමනික ගිවිසුමක් ගැසුවේ, දින නවයකට පසු පෝලන්තයේ නාසි ආක‍්‍රමනයකට මාවත පාදමින් සහ ලෝකය පුරා සමාජවාදීන් අවමංගත කරමින් හා අධෛර්යමත් කරවමිනි.

දියුනු කම්කරුවන්ගේ බහුතරය තවමත් නායකත්වය සඳහා බලාපොරොත්තු තැබූ අය විසින් ක‍්‍රියාත්මක කරන ලද ස්ටැලින්ගේ අවස්ථාවාදී හා දේශපාලනිකව සාපරාධී ප‍්‍රතිපත්ති, 1930 ගනනන්වල ෆැසිස්ට්වාදය හා දෙවැනි ලෝක යුද්ධ තර්ජනය අභිමුවෙහි ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරය අබ්බගාත කලේ ය.

කෙසේ නමුත්, ස්ටැලින්වාදයේ අපරාධ 1918දී ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ ගොඩනගන ලද රතු හමුදාවේ ඓතිහාසික ජයග‍්‍රහන හීන නො කලේ ය. රතු හමුදාව 1944 - 1945 අතරතුර යුරෝපයේ බොහෝ කොටස් ෆැසිස්ට්වාදයෙන් මුදා ගත්හ. දෙවැනි ලෝක යුද්ධය තුල රතු හමුදාවේ කාර්යභාරය රතු හමුදාව මතු වී ආ රුසියානු විප්ලවයේ ප‍්‍රගාඪ ප‍්‍රගතිශීලී ස්වභාවය තහවුරු කිරීමකි. 1941 අගෝස්තුවේ හතරවැනි ජාත්‍යන්තරය සඟරාව සඳහන් කල පරිදි:

“ඔක්තෝබර් විප්ලවය නැවත වතාවක් ලෝකයට ප‍්‍රදර්ශනය කරන්නේ එය තුල තැන්පත් වුනු පෙර නො වූ විරූ ශක්තිය හා සම්පත් ය. සෝවියට් - නාසි යුද්ධයේ සති හත තවමත් ගෙන එන්නේ, 1917දී බලය ගැනීමට රුසියානු ජනතාව මෙහෙයවීම හා ඉතිහාසයේ ප‍්‍රථම කම්කරු රාජ්‍ය ගොඩනැගීම තුල ලෙනින්, ට්‍රොට්ස්කි හා බෝල්ෂෙවික්වාදීන් කොතරම් නිවැරදි ද යන්න පිලිබඳ තවත් අති ප‍්‍රබල සනාථනයකි.”

“වර්තමාන යුද්ධය අධිරාජ්‍යවාදීන්ගේ ප‍්‍රහාරයට හා අභ්‍යන්තර ප‍්‍රතිවිප්ලවයට එරෙහි සෝවියට් සංගමයේ දෙවැනි අරගලය යි.(...)

“ඔක්තෝබරය විසින් ස්ථාපිත කරන ලද පදනම මත සෝවියට් මහජනතාව දිනාගත් මෙම ... ආර්ථික සාර්ථකත්වයන් අද සටන් පෙරමුන තුල ප‍්‍රදර්ශනය වෙමින් තිබේ. මෙලෙස, ඉතාමත් අවාසි සහගත කොන්දේසි යටතේ, ස්ටැලින්වාදය විසින් බෙලහීන කරන ලද්දා වූ ද ජර්මානු මිලිටරිවාදයේ සම්පූර්න ප‍්‍රහාරක ශක්තියට නිරාවරනය කරන ලද්දා වූ ද එමෙන් ම ජර්මනියට ඉතාමත් වාසිදායක කොන්දේසි යටතේ ගෙල හිර කෙරුනු විප්ලවය ලෝකයාට පෙන්වමින් සිටින්නේ එය තවමත් ජීවත් වන බව යි.” (6)

අවුෂ්විට්ස් නිදහස් කර ගැනීමේ 70වැනි සංවත්සරයේ නිල සමරු උලෙල පූර්වාසන්නයේ දී කඳවුර නිදහස් කරන ලද්දේ රතු හමුදාව නො වේ ය යයි පැවසූ පෝලන්ත විදේශ ඇමති ග්‍රෙසගෝරස් ස්ෂෙටීනා මෑත දී කරන ලද ප‍්‍රකාශ, කොමියුනිස්ට් විරෝධය හා රුසියාවට එරෙහිව වර්තමාන යුද සූදානම ප‍්‍රචාරය කරන ප‍්‍රතිගාමී ගජභින්න ලෙස ප‍්‍රතික්ෂේප කල යුතු ය. (බලන්න: අවුෂ්විට්ස් නිදහස් කර ගැනීමේ 70වැනි සංවත්සරය)

සෝවියට් සොල්දාදුවෝ අවුෂ්විට්ස්හි මිනිස් කෙස් තොග සොයා ගනිති © Yad Vashem

සැබවින් ම, 1930ස් ගනන්වල හා ක්ෂනික පශ්චාත් යුද කාලපරිච්ඡේදය තුල ක්‍රෙම්ලිනයේ අතිඝෝර පාවාදීම් නො තකා, නිශ්චිතව ම පශ්චාත් යුද කාලපරිච්ඡේදය තුල ඔවුන්ගේ කීර්තියේ සමහරක් නැවත අත්පත් කරගැනීමට සෝවියට් සංගමය හා ස්ටැලින්වාදී පක්ෂ සඳහා ප‍්‍රධාන පදනම සකස් කලේ, ෆැසිස්ට්වාදයට එරෙහි රතු හමුදාවේ වීරෝදාර අරගලයම ය.

මනුෂ්‍යත්වය නැවත වතාවක් ෆැසිස්ට්වාදයේ හා ලෝක යුද්ධ තර්ජනයට මුහන දෙන්නේ නම්, එහි ප‍්‍රධාන වගකීම පවතින්නේ, කෘතහස්ත නායකයින් ඝාතනය කරමින් හා අවස්ථාවාදී හා ප‍්‍රතිවිප්ලවවාදී ප‍්‍රතිපත්ති තුලින් අප‍්‍රමාන සංඛ්‍යාවක් අරගල කඩාකප්පල් කරමින් ජාත්‍යන්තර කම්කරු පන්තිය අවමංගත කර ඇති ස්ටැලින්වාදයට ය. 1989 - 91දී ස්ටැලින්වාදී නිලධරය නැගෙනහිර යුරෝපයේ විකෘති කම්කරු රාජ්‍යයන් විනාස කිරීමට වැඩ කරමින් හා සෝවියට් සංගමය ම විසුරුවා හරිමින් එහි ඓතිහාසික පාවදීම් සම්පූර්න කලේ, මෙම කලාපවල ධනවාදය පුනස්ථාපනය කරමින් හා ඒවා අධිරාජ්‍යවාදී කොල්ලකෑමට විවෘත කරමිනි.

යුද්ධය සඳහා අලුත් කෙරුනු තල්ලුවක කොන්දේසි යටතේ, අවුෂ්විට්ස් නිදහස් කර ගැනීමේ 70වැනි සංවත්සරය අතිමූලික දේශපාලන ප‍්‍රශ්න මතු කර යි. කම්කරු ව්‍යාපාරය තුල ජාතිකවාදී ආධිපත්‍යය හා සියල්ලට ම ඉහලින් සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී පරිහානිය නොමැතිව අවුෂ්විට්ස් ශඛ්‍ය වන්නට ඉඩ නො තිබුනි.

අවසාන විග‍්‍රහයේ දී ෆැසිස්ට්වාදයේ ප‍්‍රචන්ඩත්වය යනු, කම්කරු ව්‍යාපාරයේ නිලධරවාදී නායකත්වය විසින් කරන ලද පාවාදීම් වෙනුවෙන් යුදෙව් ජනතාව හා කම්කරුවන් ජාත්‍යන්තරව ගෙවන ලද මිල යි. කම්කරුවන් හා තරුනයන් අවුෂ්විට්ස් හි පාඩම් උකහා ගත යුත්තේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය හදාරමින් හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ලෙස හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනගමිනි.

සටහන්:

(1) නිකොලායි පොලිටනෝව්: (“අපි අපගේ දෑස් විශ්වාස නො කෙලෙමු”) ස්පීගල් ඔන්ලයින්, 2008 ජනවාරි 26. http://www.spiegel.de/einestages/holocaust-a-949074.html

(2) පීටර් හේස්: එන්එස් පද්ධතිය තුල ඩෙගූසා මැදිහත්වීම Die Verstrickung der Degussa in das NS-System [The involvement of Degussa in the NS system], in: Jürgen Lillteicher (ed.): Profiteure des NS-Systems? Deutsche Unternehmen und das “Dritte Reich” [ Profiteers of the NS-system? German Companies and the “Third Reich” ], Berlin 2006, p. 36.

(3) අවුෂ්විට්ස් කෙටුම්පත්. ඇනිටා - ලැස්කර් වෝල්ෆිෂ් සමග සාකච්ඡාව Die Auschwitz Protokolle. Gespräch mit Anita-Lasker Wallfisch“ [„The Auschwitz protocols. Conversation with Anita-Lasker Wallfisch“], in: Der Spiegel, Nr. 5 (24.01.2015), p. 60. Translation by the author.

(4) සොයා ගත හැකි සාක්ෂියක ජර්මානු දෘෂ්‍ය පටිගත කිරීම් හා ලිඛිත පිටපත http://auschwitz-prozess.de/.

(5) ආබ‍්‍රහම් ලියොන්:The Jewish Question යුදෙව් ප‍්‍රශ්නය ගැන, මාක්ස්වාදී විශ්ලේෂනයක් https://www.marxists.org/subject/jewish/leon/ch7.htm

(6) ජෝන් ජී. රයිට්: “සෝවියට් සංගමය යුද්ධය තුල” ලිපියෙනි, Fourth International හතරවැනි ජත්‍යන්තරය, වෙළුම 2. අංක. 7 (1941 අගෝස්තු) https://www.marxists.org/history/etol/writers/wright/1941/08/su-war.htm

Share this article: