යූඑස්ඒ නෙට්වර්ක් හි Mr. Robot (රොබෝ මහතා): ප්රකෝපකාරී ඇරඹුමක්, නමුත් ගමන කොහිබටද?
USA Network’s Mr. Robot: A provocative start, but where will it go?
ක්‍රිස්ටීන් ෂොෆෙල්ට් සහ ඩේවිඩ් වොල්ෂ් විසිනි, 2015 ජූලි 17
යූඑස්ඒ නෙට්වර්ක් රූපවාහිනී නාලිකාව මගින් නිෂ්පාදනය කෙරුනු, සෑම් එස්මයිල් රචනා කර අධ්‍යක්ෂනය කල, දැනටමත් එහි දෙවන විකාශන සමයේ ද වැඩ කටයුතු ආරම්භ කෙරුනු, Mr. Robot නොහොත් රොබෝ මහතා ටෙලි කතා මාලාව ජූනි මස අග සිට විකාශනය කරන්නට පටන් ගැනුනි. දැනට එහි කොටස් හතරක් විකාශනය වී ඇත. කතා මාලාව, දිවා කාලයේ සයිබර්-ආරක්ෂන ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන රාත්‍රියේ දී තමන් විසින් ම හඳුන්වා ගන්නා පරිදි “නිදිවර්ජිත හැකර්කරුවෙක්” බවට පත්වන, එලියට් ඇල්ඩර්සන් (රැමී මලෙක්) වටා ගෙතෙන්නකි.
එලියට් ගේ ආරම්භක පසුබිම් කථනය ඇමරිකානු රූපවාහිනිය තුල අපට නිතර හමු නොවන ආකාරයේ එකකි: “මම දැන් කියන්නට යන කතාව අතිශය රහසිගත එකක්. එය අපි සියලු දෙනාට ම වඩා විශාල කුමන්ත්රනයක්. අප නොදන්නා මුත්, ලෝකය රහසිතගත ව පාලනය කරන බලසම්පන්න මිනිසුන් කන්ඩායමක් ඉන්නවා. මම කතා කරන්නේ කිසි ම කෙනෙකු නො හඳුනන පිරිසක් ගැන, අදෘශ්‍යමාන පිරිසක් ගැන. ඉහල ම සියයට එකේත් ඉහලම සියයට එක ගැන. එනම්, අවසරයක් නැති ව දෙවියන් ගේ භූමිකාව රඟන පිරිස ගැන.”
පොදුවේ ගත් කල, Mr. Robot පිටුපස සිටින නිර්මානකරුවන් මෙම ටෙලි නාට්‍යයේ ප්‍රචාරන කටයුතු සිදු කර ඇත්තේ බැංකුවලට, සමාගම්වලට, අන්තර්ජාතික සංගතවලට, හා ආන්ඩුවේ ඔත්තුකරුවන්ට එරෙහි ව පවතින මහජන විරෝධය වෙත ආයාචනා කරමිනි. ප්රකෝපකාරී වෙලඳ දැන්වීම්වලින්, උදාහරනයක් වශයෙන් කියැවුනේ, “පද්ධතිය ම මකබෑ වී පලයන්,” “වෝල් වීදිය මකබෑ වී පලයන්,” සහ “සමාජය ම මකබෑ වී පලයන්” යනුවෙනි. “අපේ ප්රජාතන්ත්රවාදය හැක් කර ඇත,” “අපේ මුදල් බැංකු විසින් අත්පත් කර ගෙන ඇත,” “සමාජ මාධ්‍යයන් අප ගේ මානව සම්බන්ධතාවන් අත්පත් කර ගෙන ඇත,” සහ “සමාගම් අප ගේ සිත් සතන් අයිති කරගෙන සිටී” වැනි ප්‍රකාශනවලින් එහි ප්රචාරක වැකි සමන්විත විය. පෙර නො වූ විරූ අන්දමේ බලපෑමක් ඇති කල හැකි කිසියම් දෙයක් ගැන පෙන්නුම් කල පොරොන්දුවක් මත මිලියන දෙකක ජනයා කතා මාලාවේ පලමුවන කොටස් හතර ම නැරඹීමට පොලඹවාලූයේ ය. කෙසේ වුව ද, Mr. Robot ලබා දෙන පොරොන්දුවත් එහි සැබෑ හරයත් අතර හිඩැසක් තිබෙන්නේ ද?
කෙනෙකු සතු අනතුරු ඇඟවීමේ අභ්‍යන්තර පද්ධතිය ක්‍රියා විරහිත වීමට වැඩි වේලාවක් ගත වන්නේ නැත. “ඉහල ම සියයට එක තුලත් ඉහල ම සියයට එක” යන එලියට් ගේ ආරම්භක පසුබිම් කථනය අවසන් වූ සැනින් කතාව එක්තරා ආකාරයක පුද්ගලවාදී ආරක්ෂන ක්රියාවාදයක් වෙත ගමන් කරයි. එලියට් කෝපි අවන්හල් ජාලයක අයිතිකරු හමු වී, තමන් විසින් ඔහු ගේ පරිගනකය හැක් කර ලබා ගත් තොරතුරුවලට අනුව, ලමා ලිංගික චිත්‍රපට නිශ්පාදනයට ඔහුට පවතින සම්බන්ධතාවන් මත ඔහුට අභියෝග කරයි. ඉන් පසු ව ඔහු ගේ ඉලක්ක බවට පත්වන්නේ කිසිදු අපරාධයක් නො කරන නමුත් පරදාර සේවනයේ යෙදෙන ස්වාමි පුරුෂයෙකු සහ සාහසික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි.
සමස්තයක් වශයෙන් මලෙක් විසින් ඉතා හොඳින් නිරූපනය කෙරෙන එලියට් නමැති චරිතය, සමාජ විරෝධීභාවය ව්‍යාධියක් වශයෙන් පිහිටා ඇති සුපිරි බුද්ධිමතුන් ගේ දීර්ඝ සහ එන්න එන්න ම වැඩිවන ලැයිස්තුවේ තවත් එක් සාමාජිකයෙකි. කතා මාලාව ඇතුලතින් දිවෙන ස්වයං කථනයක් හරහා නරඹන්නා කෙලින් ම අමතන ඔහු, යුක්තිය හා සාධාරනත්වය සම්බන්ධ ව ඔහු ගේ හැඟීම, මෝෆීන් මත්ද්‍රව්‍යය කෙරෙහි ඔහු ගේ ඇබ්බැහිය, සහ අනෙක් මිනිසුන් ගේ පුද්ගලික පරිගනක වාර්තා ඇතුලට රිංගා ගැනීමට ඔහු භාවිතා කරන උපක්‍රම ගැන විස්තර කරයි. ඔහු අනෙක් මනුෂ්‍ය වර්ගයා වෙත සමීප වන එක ම ක්‍රමය ඔවුන් ගේ පරිගනක යන්ත්‍ර හැක් කිරීම යි. කතා මාලාවේ නිර්මාතෘ සෑම් එස්මයිල් මෙන් ම මලෙක් ද ඊජිප්තු පෙලපතකින් පැවත එන්නෙකි. තම චරිත නිරූපනය තුල, දුෂ්කර ආර්ථික හා පුද්ගලික තත්ත්වයන් හි ගිලී, අනාගතය ගැන කිසිදු හෝ බලාපොරොත්තුකින් සුන් ව ජීවත්වන එක්සත් ජනපදයේ තරුන කොටස් බුරුතු පිටින් පාගා දමන පහත් මට්ටමේ මනෝ-පීඩනය හෙවත් විෂාදය සම්බන්ධ ව කිසියම් පනිවිඩයක් ඉදිරිපත් කිරීමට මලෙක් සමත් වෙයි. උමං දුම්රිය මාර්ග තුල සහ නාගරික පටු මංමාවත් හරහා එලියට් චින්තාපර ව හොර ගමනින් යන සමහර දර්ශන තුල සුවිශේෂී සිත් සසල කරවන බවක් ගැබ් වී ඇත.
ක්‍රිස්ටියන් ස්ලේටර් රොබෝ මහතා ගේ චරිතයට පන දෙයි. රොබෝ මහතා, පැහැදිලිව ම අනෙක් කන්ඩායම් අතුරින් Anonymous (නිර්නාමිකයෝ) නමැති කන්ඩායම මත පාදක වුනු, F-society (එෆ්-සමාජය) ලෙස තමන් හඳුන්වා ගන්නා කන්ඩායමේ සාමාජිකයෙකි. එලියට් සේවය කරන AllSafe (ඕල්සේෆ්) නමැති සයිබර් ආරක්ෂන සමාගමේ සේවා දායකයෙකු වන E Corp (ඊ කෝප්) සමාගම වෙත එල්ල කරන DDOS (ඩීඩොස්) ප්‍රහාරයක්, එනම් සේවය ප්‍රතික්ෂේප කිරීමේ ව්‍යාප්ත සයිබර් ආක්රමනයක්, හරහා රොබෝ මහතා සහ එලියට් අතර සම්බන්ධතාවය ගොඩ නැගේ. “ Evil Corp” එනම් “දුෂ්ට සමාගම” ලෙස එලියට් විසින් හඳුන්වනු ලබන සියලු ක්ෂේත්‍ර තුල තම අනසක පතුරුවා ගෙන සිටින තාක්ෂන සමාගමක් වන ඊ කෝප් සමාගමට එරෙහි ව ගෙන යන පුලුල් කුමන්ත්රනයකට රොබෝ මහතා එලියට්ව ද පටලවා ගනී.
එලියට් ගේ පසුබිම් කථනය හරහා අප හට ශිෂ්‍ය නය, සංස්ථාපිත බලය, ලෙහෙසියෙන් හැක් කිරීමට ලක් වන පුද්ගලික තොරතුරු ඇතුලු සමාජ නරකාදියක් මුන ගස්වයි. ඔහු ගේ කලබලකාරී ලැයිස්තුවට සමගාමී ව මෑත කාලීන සිදුවීම්වල - වෝල් වීදිය අල්ලා ගැනීම, චෙල්සී (බ්රැඞ්ලී) මැනිං, වර්ධනය වන අසමානතාවය පිලිබඳ පුවත්පත් සිරස්තල - ඡායාරූප සහ රූප රාමු පෙලක් දිස් වේ. මුල් ස්වයං කථන බොහොමයක් තුල, කෙසේ වුව ද, සමස්ත මහජනතාව කෙරෙහි අවඥාවක් පිලිබිඹු වේ. එනම්, ජනතාව “නිදා සිටින්නේ ය” යන මතය ප්රමුඛ ව මතු කෙරේ.
පෙන්නුම් කර ඇති පරිදි, කතා මාලාවේ පලමුවන විකාශන සමය පුරාවට ප්රමුඛ ස්ථානය ලැබිය හැකි ඊ කෝප් සමාගම සමතලා කිරීමේ රොබෝ මහතා ගේ සහ එෆ්-සමාජයේ සැලසුම නරඹන්නා වෙත ඉදිරිපත් කෙරෙන්නේ “විප්ලවයක්” ලෙස ය. ඊ කෝප් නොහොත් “දුෂ්ට සමාගම” සහ එය දරා සිටින සියලු නය (බොහොමයක් ශිෂ්‍ය නය), එම නය ගිවිසුම්වල දෘඩ පිටපත් ද ඇතුලු ව, වනසා දැමීමේ ප්රයත්නය කිසිදු සැකයකින් තොර ව ආකර්ෂනය දිනා ගනී.
එසේ ම, බොහෝ නරඹන්නන් එලියට් මෙන් ම මුදල් ප්රශ්නවල කරවටක් ගිලී සිටින ඇන්ජෙලා (පෝටියා ඩබ්ල්ඬේ) සහ බරපතල ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින ශයිලා (ෆ්රැන්කී ෂෝ) ඇතුලු ඔහුව වට කර ගෙන සිටින මිතුරු කැල මුහන දෙන ඛේදවාචකය හඳුනාගෙන ඒ දෙස අනුකම්පා සහගත ව බලනු ඇත. මෙම සියලු චරිත අඩු හෝ වැඩි වශයෙන් යථාර්ථයේ ජීවත්වන මනුෂ්‍යයින් ගෙන් සමන්විත ය. එසේ ම නිරූපිත සමහර අවස්ථාවන් කිසිදු අර්ථයක් නොමැති ව ගලා ගෙන යන එදිනෙදා ජීවිතය තුල ගැබ් වුනු ආතතියත් සමස්තයක් ලෙස අවමංසහගත භාවයේ හැඟීමත් පිලිබිඹු කරන අතර මෙම ලක්ෂන නරඹන්නා කතාව වෙත ඇද බැඳ තබා ගැනීමට සමත් වෙයි.
වෙනත් ආකාරයකින් කියතොත්, Mr. Robot තුල කුතුහලය ජනනය කරන ලක්ෂන ගැබ් වී ඇත. කෙසේ වුව ද, එයට සමගාමී ව අනේකවිධ ප්‍රශ්නාර්ථයන් ද පැන නගී. පලමු ව, අපට කතාව තුල සුලභ අච්චුවලට ඔබ්බවන ලද චරිත සහ අවස්ථා හමු වේ. ටයිරල් වෙලික් (මාටින් වෝල්ස්ට්රොම්) ගේ වේශයෙන් අපට මුනගස්වන සමාගම්වාදී දුෂ්ට අවතාරය, එනම් ඊ කෝප් සමාගමේ තාක්ෂනය පිලිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති ගේ චරිතය, කතාවට සාධනීය උදව්වක් නො කරයි. සමස්තයක් වශයෙන්, කතාව තුල නිරූපිත ව්‍යාපාරික සාහසිකත්වය නරඹන්නා ගේ මානසික පවුරු පදනම් බිඳ නො දමනවා මෙන් ම නරඹන්නා තුල බුද්ධිමය පිබිදීමක් ද ඇති නො කරයි. ක්රියාවේ යෙදී පවත්නා වෛෂයික ගාමක බලවේග පල ගන්වන්නා වූ ද ඒවා හෙලිදරවු කරන්නා වූ ද, නූතන සමාගම් ජීවිතය හා භාවිතය ගැන වාර්තාවක් වඩාත් සාධනීය වනවා මෙන් ම අතිශයින් අසාමාන්‍ය වනවා ද ඇත. (කතාව තුල අපට කිසිසේත් ම ප්‍රකෘති තත්ත්වයට පත් කල නොහැකි අන්දමේ විකෘතිතාවලින් සමන්විත භයානක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හමු වීමත් බුද්ධිමය වශයෙන් අලස කලාපයන් පිලිබඳ ඉඟි කරවයි.)
කෙසේ වුව ද, නිසැකව ම ලොකු ම ප්රශ්නය වන්නේ නොතකා සිටිය නොහැකි තරම් වන මට්ටමේ සමාගම් සාපරාධිත්වය සහ සමස්ත සමාජ ක්‍රියාකාරිත්වයේ ඇනහිටීම පිලිබඳ නිරූපනය කරන චිත්‍රය එක් අතකිනුත්, අනෙක් අතින් එයට විකල්ප වශයෙන් කතා මාලාවේ නිර්මාපකයින් ඉදිරිපත් කරන සමාජ ප්‍රතිචාරවල දුර්වල බවත් අතර පවතින බරපතල පරස්පර විරෝධතාවය යි.
“විප්ලවය” සහ “විප්ලවවාදීන්” පිලිබඳ ව Mr. Robot ඉදිරිපත් කරන අදහස හාස්‍යජනක ය. එක් දැවැන්ත සමාගමක ලිපි ලේඛන සහ වාර්තා සියල්ල විනාශ කිරීම “ලෝකය විසින් මෙතෙක් අත් දුටු සුවිශාල ම විප්ලවයට” තුඩු දෙන බව කියන මතය සලකා බැලීමට තරම් වත් නොවටී. සමස්තයක් වශයෙන් පෙනී යන්නේ, කතා මාලාව තුල අසමානතාවය ගැන කරන ප්‍රකාශ තිබියදීත් එයට මහජනතාව ගේ පුලුල් ස්ථරයන් ගේ ජීවන තත්ත්වයන් කෙරෙහි උනන්දුවක් නැතිවා පමනක් නොව පවතින කොන්දේසි වෙනස් කිරීමේ ක්‍රියාවලියට මහජනතාව බුරුතු පිටින් සහභාගී වනු ඇත යි කිසිදු වැටහීමක් පවා නැති බවකි. කතාවට අනුව, මෙම “විප්ලවය” සිදු කරන්නේ අසහනයට පත් ව සිටින පරිගනක ඉංජිනේරුවන් සහ අනෙකුත් වෘත්තිකයින් ස්ථරයක් විසිනි. (එමෙන්ම, පෙනී යන පරිදි එම “විප්ලවය” සේවය කරන්නේ ද මෙම ස්ථරයට ම පමනි.)
ස්ලේට් පුවත්පත සමග සිදු කල සම්මුඛ සාකච්ඡාවක් තුල සෑම් එස්මයිල් සමහර කරුනු හෙලිදරවු කලේ ය. අරාබි වසන්තය සිදු වූ ඉක්බිත්තෙහි ඔහු ඊජිප්තුවේ සිටි බවත්, එයින් දැඩිලෙස ආවේශය ලැබූ බවත්, එලියට් ගේ චරිතය නිර්වචනය කෙරෙන එක් ලක්ෂනයක් නම් එස්මයිල් ගේ ඥාති සහෝදරයින් තුල දුටු විප්ලවවාදී ජීවගුනය බවත්, එම තරුන කොටස් තාක්ෂනික දැනුමෙන් පිරිපුන් මෙන් ම පවත්නා තත්ත්වයට එරෙහි ව තම ද්වේෂය යොමු කිරීම සඳහා තාක්ෂනය තම වාසියට හරවා ගෙන ඒ හරහා තම ජීවිත වඩාත් හොඳ අතට හරවා ගැනීමට උත්සාහ කරන කන්ඩායමක් බවත් සෑම් ප්‍රකාශ කලේ ය. තමන් විශ්වාස කරන “සමාජ විපර්යාසය” පිලිබඳ ව එස්මයිල් යම් අදහසක් ඉදිරිපත් කරයි. ඔහු පවසන ආකාරයට, “කතා මාලාව ස්ථානගත කර ඇත්තේ තාක්ෂන ලෝකයක් තුල ය. ඒ, මා විශ්වාස කරන අන්දමට තාක්ෂනය යනු වෙනසක් ඇති කිරීම සඳහා තරුන කොටස්වලට උපයෝගී කරගත හැකි මෙවලමක් නිසා ය. උදාහරනයක් වශයෙන්, සමලිංගිකයින්, ද්වි ලිංගිකයින්, හා අන්තර් ලිංගිකයින් ගේ ප්‍රජාව දෙස බැලූ විට විවාහ සහ අන්තර් ලිංගිකයින් පිලිබඳ ප්‍රශ්න වඩාත් ප්‍රසිද්ධ හා විවෘත වීම පිලිබඳ ව ගත් කල පවා කොතරම් විශාල වෙනස්කම් සමාජය තුල සිදු වී ඇත්ද?”
තවදුරටත් එස්මයිල් පවසන ආකාරයට, “අපේ රටේ පවතින මිශ්‍ර ආර්ථික ක්‍රමය දෙදරා ගොස් ඇත. එයින් අපේක්ෂිත කාර්යය ඉෂ්ට වන්නේ නැත. එනම්, හොඳ ම සමාගම් මගින් නිෂ්පාදිත හොඳ ම වෙලඳ භාන්ඩවලට නියමිත වටිනාකම ලබා දීම එමගින් සිදු වන්නේ නැත.” මෙය, කෙටියෙන් කිවහොත්, අතිශයින්ම දුර්වල කතාවකි.
එසේ ම, කිසිදු දෙයකින් නොසැලෙන “විප්ලවවාදීන්” ලෙස අපට මුනගස්වන හැකර්කරුවන් ගේ නිරූපනය සම්බන්ධ ව බිය පල කිරීමට කෙනෙකුට අයිතියක් ද ඇත. ස්ලේටර් ගේ Mr. Robot පැහැදිලිව ම සිත් ඇදගන්නා සුලු නොවේ. එය පුද්ගලික මට්ටමේ දී විධානකාරී හා විනාශකාරී වේ. එය විටෙක (පිපුරුමට ගොදුරු වන මනුෂ්‍යයින් හුදු “අමතර හානි” වශයෙන් දක්වමින්) සැලසුම වෙනුවෙන් මිනිසුන් මරා දැමීමට වුව ද කැමැත්ත ප්‍රකාශ කර සිටී. ඩාලීන් (කාලි චයිකින්) ගේ චරිතය අසමබර මෙන් ම වදකාර එකකි. පුද්ගල පෞරුෂයන් පැත්තකට දැමූ කල, අනුකම්පා විරහිත හෝ විපිලිසර මිනීමරුවන් බවට ඕනෑම අවස්ථාවක පත් විය හැකි චරිත ලෙස මෙම පුද්ගලයින් නිරූපනය කිරීම ම ඔවුන් ගේ විරුද්ධවාදී ඉලක්ක වන සමාගම්වල ඉහල ම ස්ථරයන් ගෙන් ඔවුන්ව වෙන් කොට හඳුනා ගැනීම වෙනුවෙන් ඉටු කරන්නේ ඉතාමත් සුලු සේවයකි.
Mr. Robot ක්‍රමයෙන් තැන්පත් වී වැදගත් කතාවක් කියාවි දැයි කාලය විසින් තීරනය කරනු ඇත. එලියට් තුල ජීවත් වන එතරම් සාධනීය නොවන ආත්මීය “යක්ෂයින්” සහ ඊ කෝප් සමාගමට එරෙහි ව විශ්වාසය තැබිය නොහැකි සැලැස්ම මත කේන්ද්‍ර වූ කතා මාලාවේ හතරවන කොටස බලාපොරොත්තු දල්වාලීමට අසමත් විය. මෙම යූඑස්ඒ නෙට්වර්ක් කතා මාලාව විසින් ඉල්ලා සිටීමට සැරසෙන්නේ හුදු ධනවාදයේ ම “මුල සිට නිවැරදි ව නැවත ක්‍රියාත්මක කිරීමක්” සහ වඩාත් ප්‍රතිපත්තිගරුක ව්‍යාපාරිකයින් ගෙන් සමන්විත පිරිමින් හා ගැහැනුන් ගේ කන්ඩායමක් විසින් බලය අත්පත් කරගෙන වත්කම් ස්වල්ප වශයෙන් නැවත බෙදා දීමක් පමනක්ද? ඒ ගැන දැන් ම ප්රත්යක්ෂ විය නොහැකි නමුත්, කෙනෙකුට එය එසේ සිදු නොවේ යැයි සිතීමට ඕනෑවටත් වඩා හේතු පවතී.
Follow us on