නිමක් නැති කප්පාදුවේ දේශපාලන ආර්ථිකය- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

නිමක් නැති කප්පාදුවේ දේශපාලන ආර්ථිකය

The political economy of endless austerity

නික් බීම්ස් විසිනි , 2016 මාර්තු 31

චාන්සලර් ජෝර්ජ් ඔස්බෝන්ගේ නවතම අයවැය ආසන්නයේ, මේ මස මුල දී පල කරන ලද බ්‍රිතාන්‍යයේ අයවැය පිලිබඳ වගකීමේ කාර්යාලයේ (ඕබීආර්) වාර්තාව, කැමරන් ආන්ඩුවේ කප්පාදු පියවර හා එම වැඩපිලිවෙලට ජෙරමි කෝබින්ගේ ලේබර් පක්ෂය දක්වන සහයෝගය පිටුපසින් පවතින ආර්ථික ගාමක බලවේගයන් මත ඇස් අරවන ආලෝකයක් හෙලයි.

2008 ගෝලීය මූල්‍ය අර්බුදය පුපුරා යාමෙන් අට වසරකට පසුව බ්‍රිතාන්‍යය තුල හා ජාත්‍යන්තර ව කම්කරු පන්තිය මත ප්‍රහාර එල්ල කිරීම අඛන්ඩ ව සිදු වන්නේ මන් ද හා කවර හෝ ආර්ථික වර්ධනයක් සිදු වුව ද එය නො තකා අනාගතයේ දී එම ප්‍රහාර ගැඹුරු වනු ඇත්තේ මන් ද යන්න එමගින් පැහැදිලි කරයි.

ඉහල යනු ඇතැයි පුරෝකථනය කල ද කම්කරුවකුගෙන් ලබා ගන්නා නිමැවුම් මට්ටම මනින ඵලදායිතාව ඉහල නැංවීම, එක දිගට ඇනහිට ඇතැයි වාර්තාව සඳහන් කලේ ය. ඕබීආර් සභාපති රොබට් චෝට් පවසන පරිදි 2015 දී අපේක්ෂා සහගත සංඥා තිබුනේ වුවත් එය ද “තවත් ව්‍යාජ හිමිදිරියක් වූ බව" පෙනේ.

“අර්බුදයෙන් පසු ව දුර්වල ඵලදායිතාව පවතින කාලය අඛන්ඬව දිග්ගැස්සෙද්දී, අනාගත හැකියාවන් සඳහා විශ්වාසවන්ත මාර්ගෝපදේශයක් ලෙස අපි එය මත ඉමහත් බරක් තැබුවෙමු" යි වාර්තාව සටහන් කලේ ය. එම තක්සේරුවේ ගම්‍යයන් චෝට් විසින් සඳහන් කරනු ලැබී ය: “අපේක්ෂාවන්ට සාපේක්ෂ ව ආර්ථික වර්ධනයන් බලාපොරොත්තු කඩවීමක් වෙලා තියෙනවා. ඒ අතර ම ආර්ථික හා රාජ්‍ය මුදල් පිලිබඳ දැක්ම බොහෝ සෙයින් දුර්වල යි."

ආර්ථික අර්බුදයට පෙර සියයට 2.75ක් වූ බ්‍රිතාන්‍ය ආර්ථිකයේ වර්ධන රේට්ටුව, මේ වසරේ සියයට 2.1 වෙතැයි ඕබීආර් තක්සේරු කර ඇති අතර, ආර්ථිකය එකතැන පල්වන තතු යටතේ සෞඛ්‍යය, විශ්‍රාම වැටුප් හා සමාජ සේවාවල රාජ්‍ය වියදම් සම්පත් නැතැයි යන කාරනය මත තව දුරටත් කපා හරිනු ඇත.

වැටුප් සම්බන්ධ ගම්‍යයන් ද වැදගත්කම අතින් අඩු නො වේ. එක් තක්සේරුවකට අනුව, අඩු වසයෙන් මූල්‍ය අර්බුදයෙන් වසර 12ක් ගතවන 2020-21 සමය දක්වා, සාමාන්‍ය වැටුප් අර්බුද පූර්වයෙන් පැවති මට්ටමට ආපසු නො එනු ඇත.

සමස්ත තත්ත්වය සංලක්ෂිත වී ඇත්තේ, “පහත වැටුනු තෙල් මිලෙන් වාසි සැලසුන ද 2015 පුරා ආර්ථික වර්ධනයේ ගාමකය මන්දගාමීව පැවතීම " මඟින් යයි චෝට් කීවේ ය.

“බ්‍රිතාන්‍ය ජනතාවගේ ආර්ථික අපේක්ෂා කෙරෙහි බලපාන වඩාත් ම වැදගත් අවිනිශ්චිත සාධකය" ඵලදායිතා දර්ශකය යයි ඕබීආර් තක්සේරුව පිලිබඳ ව ලියූ චර්තාවක ෆයිනෑන්ෂල් ටයිම්ස් තීරු ලිපි රචක මාටින් වුල්ෆ් ලිවී ය.

දීර්ඝ කාලීන තත්ත්වයන් වෙත අවධානය යොමු කරමින් ඔහු මෙසේ කියයි: “නවතම පුරෝකථනයට අනුව එක්සත් රාජධානියේ 2020හි පවතිනු ඇති ඵලදායිතා මට්ටම්, 2010 ජුනි මස බලාපොරොත්තු වූවාට වඩා සියයට 6.2 ද 2014 මාර්තුවේ පැවති මට්ටමට වඩා සියයට 2.5 ද අඩුවනු ඇතැයි ඕබීආර් අපේක්ෂා කරයි. එහෙත් සියල්ල අතරින් විශාලතම බාල්දුවපෙන්වන්නේ අර්බුදයට පෙර පැවති සුභවාදයට සාපේක්ෂ ව ගත්විට ය. ඕබීආර්හි අලුත් ම පුරෝකථනයට අනුව, විභව නිමැවුම 2008 මාර්තුවේ භාන්ඩාගාර පුරෝකථනයට වඩා සියයට 15ක් පහලින් පිහිටයි. එක්සත් ජනපද නිල පුරෝකථනවල ද මේ හා සමාන බාල්දුවක් සිදු ව ඇත.

එය ද එක්සත් ජනපදයට පමනක් සීමා නොවේ. බ්‍රිතාන්‍ය ආර්ථිකය ගැන ඕබීආර් වාර්තාව කැටිකොට දක්වන වර්ධනය, යුරෝපය මෙන් ම ජපානය හා ඕස්ට්‍රේලියාව වැනි රටවල්වලට ද යෙදේ. එක් සමයක දී සිදු වූ පරිදි ආයෝජනය හා යටිතල පහසුකම් මත වියදම් ආර්ථිකයේ නැග්මට හේතු වූ නමුත් දැන් එසේ නොවන චීනයේ ද එය දැකගත හැක.

මෙම වර්ධනයන් ද ඒවායේ ආර්ථික හා දේශපාලන ගම්‍යයන් ද පිලිබඳ ව තක්සේරු කිරීමේ දී, ධනේශ්වර ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය ආවරනය කරනු ලැබ තිබෙන ගූඪකරනයන් විනිවිද යාම අවශ්‍යය.

මෙම ගූඪකරනයන්ගේ පදනම වන්නේ, ආර්ථික වර්ධනයන්, නිෂ්පාදන මාධ්‍යයන්ගේ හා මුදලේ පුද්ගලික අයිතිය හා පුද්ගලික ලාභය සඳහා නිෂ්පාදනය කරන නිශ්චිත සමාජ හා ආර්ථික පර්යායක නිෂ්පාදිතයක් නො ව, “ස්වාභාවික" ආර්ථික වර්ධනයේ විපාකයක් ය යන්න යි. එබැවින් විවිධ ආර්ථික පන්ඩිතයන්, විශ්ලේෂකයන් හා අටුවාකරුවන්ගේ ද සහයෝගය ලබන ආන්ඩුවල නායකයන් තොරොම්බල් කරන ආස්ථානය වන්නේ, පහල ඵලදායිතාවේ නිශ්චිත අර්ථය වනාහි, සමාජ සේවාවන් පවත්වාගෙන යාමට සම්පත් නොමැති නිසා ඒවා මත කරන රාජ්‍ය වියදම් කපා දැමීම බව යි. අවශ්‍ය තරම් මුදල් නොමැති නිසා විශ්‍රාම වැටුප් හා දීමනා තවදුර අඩුකොට අධ්‍යාපන පිරිවැය කපා වැඩිදුරටත් පටි තද කරගත යුතු ය.

මිලිටරි වියදම් සඳහා ඩොලර් බිලියන ගනන් ද ආර්ථික අර්බුදයට පලමුවෙන්ම හේතු කාරක වූ, සමපේක්ෂනයේ යෙදුනු, ලාභ පිපාසිත බැංකු හා මූල්‍ය සංගතවල ක්‍රියාකාරීත්වයට මුක්කුව දීම සඳහා සීමාවකින් තොර ව මුදල් පොම්ප කිරීමට මහ බැංකු සතුව ඇති තරම් මුදල් පවතින තතු තුල, මෙම කරුනු දැක්වීම් වංචනිකය.

එහෙත් මෙය කතාවේ ආරම්භය විනා අවසානය නො වේ. නො නවතින කප්පාදු ක්‍රියාවේ යොදවනු ලබන්නේ ආන්ඩු, මහ බැංකු හා මූල්‍ය බලධාරීන් වුව ද ඒවායේ දේශපාලන, ආර්ථික මූලයන් පවත්නේ ධනේශ්වර ආර්ථිකයේ ම පදනම්වල ය.

නිෂ්පාදනයේ ධනේශ්වර මාදිලිය එක්තරා “ස්වාභාවික" ආර්ථික පර්යායක නිෂ්පාදිතයක් නො වේ. මානවයා එක්වර ම ගස් වල සිට අප්‍රිකාවේ තන බිම් වලට බැස වේතන කම්කරුවන්, කම්හල් හිමියන් හා බැංකුකරුවන් ලෙස බෙදී ගියා නො වේ. ඒ වෙනුවට එය, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය ද ලාබ ආත්මසාත් කරගැනීම සඳහා නොනැවතී සිදුවන තල්ලුව ද මත පදනම් වන, ඓතිහාසික ව නීර්නිත සමාජ-ආර්ථික පර්යායකි. ලාබ ආත්මසාත්කරනයේ මූලික මිනුම වන්නේ ලාබ අනුපාතිකය යි. එම අනුපාතය නීර්නය කරන්නේ ලාභය උපුටා ගැනීමට වැයකල සමස්ත පිරිවැය සමස්ත ප්‍රාග්ධනයට දක්වන සබඳතාවෙනි.

තනි තනි සමාගම් වෙනුවට, සමස්ත ධනේශ්වර ආර්ථිකය පිලිබඳ පුලුල් දෘෂ්ටියකින් ගන්නා කල, ලාභ අනුපාතිකය සාධක දෙකක කොන්දේසිවලට යටත් වේ. පලමුවැන්න ලාභ අනුපාතිකය සමස්තයක් ලෙස ජාතික ආදායම බෙදීයාම -එනම්, එක් අතකින් ලාබය ද අනෙක් අතින් වැය නො කලහොත් ප්‍රාගධන හිමියන් සතුවන ධනය වන, වැටුප් හා සමාජ සේවා සඳහා දැරෙන පිරිවැය ද අතර බෙදීයාමෙන් තීන්දු වීම යි.

දෙවන මූලික සාධකය වන්නේ, නව කම්හල් හා උපකරන වෙනුවෙන් වැයකරන ප්‍රාග්ධනය හා එහි ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය මඟින් ජනනය වන ජාතික ආදායම අතර සබඳතාව යි. ඵලදායිතාවේ නැඟීමක් අර්ථවත් කරන්නේ, දෙන ලද ආයෝජනයක්, කම්කරුවකුගෙන් වඩා වැඩි නිමැවුමක් උත්පාදනය කරමින් ජාතික ආදායම වැඩි කරන බව යි.

එහෙත් එවැනි ආයෝජන නීර්නය කරන්නේ ලාබය සඳහා වන තල්ලුවෙන් මිස සමාජ අවශ්‍යතාවෙන් නො වේ. ලාබ අනුපාත පහත වැටෙන්නේ නම් නව ආයෝජන කපා දමනු ඇත. කම්කරුවකුගෙන් උකහාගනු ලබන නිමැවුම මඟින් මැනෙන ඵලදායිතාව අඩු වෙමින් ආර්ථිකය එක්කෝ එකතැන පල් වේ, නැතහොත් හැකිලේ.

2008 පටන් සියලු ප්‍රධාන ආර්ථිකයන්වල එක දිගට පවතින තත්ත්වය මෙය වන අතර, යුරෝපයේ ආයෝජන අනුපාතය අර්බුදයට පෙර සමයට වඩා සියයට 25ක් තරම් පහල ගොස් තිබේ. එහි විපාක වසයෙන් ආයෝජන තවදුර අඩු කිරීමට තුඩු දෙමින්, ඵලදායිතා අනුපාත වඩ වඩා පහත වැටෙමින් තිබේ. දුෂ්ට චක්‍රයක් ඇරඹී ඇත. පහල ලාබ අනුපාත, ආයෝජන කප්පාදුවටත් ඵලදායිතාවේ වර්ධනය පහත හෙලීමටත් ඒ අනුව ලාබ අනුපාතය තව තවත් අඩු කිරීමටත් හේතු වේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස තමන් උකහා ගන්නා ලාබ යලි ආයෝජන කිරීම වෙනුවට සමාගම් සිදු කරන්නේ, තමන් සතු මුදල්, මූල්‍ය වෙලඳපොලවල සමපේක්ෂන කටයුතුවලට ද මහ බැංකු විසින් අතිශය ලාබයට සපයන මුදල් යොදා ගෙන සමාගම් අතර ඒකාබද්ධ වීම් හා අත්පත්කර ගැනීම් ද කොටස් යලි මිලට ගැනීම් ද දේපොල වෙලඳපොලවල ආයෝජන වෙනුවෙන් ද භාවිතා කිරීම යි. එවැනි පරපෝෂිත භාවයක්, තනි සමාගමේ මූලික තත්ත්වය ඉහල නැංවීමට හේතු වුව ද අවසානයේ එමඟින් සිදු වන්නේ, සැබෑ ආර්ථිකය සමස්තයක් ලෙස එක තැන පල්වීම යි.

කප්පාදු සඳහා නිර්දය තල්ලුව පවත්නේ මෙහි ය. ආයෝජන කැපීමට හා සැබෑ ආර්ථිකය එක තැන ලැගීමට හෝ හැකිලීමට පවා හේතු වෙමින්, ලාබ ඉපැයීමේ පද්ධතියෙහි නියම ක්‍රියාකාරිත්වය ඉස්මතු වන කොන්දේසි යටතේ ධනේශ්වර ආන්ඩු අවධාරනය කරන්නේ, සමාජ සේවාවන් සඳහා “මුදල් නැති" බව යි. ඔවුන්ගේ නො නවතින මන්ත්‍රය වන්නේ “රට, තමන්ට ලැබෙන දෙයින් ජීවතත් වීමට ඉගෙන ගතයුතු" ය යන්න යි.

එහෙත් ගූඪකරන ඉරා දැමූ විට සැබෑ ක්‍රියාදාමයන් එලිමහනට පැමිනෙයි. අප කලින් සඳහන් කල පරිදි ලාබ අනුපාතය නීර්නය කරන්නේ සාධක දෙකක් විසිනි. එනම්, ආයෝජන මඟින් ජනනය කරන ජාතික ආදායමේ නැගීම සහ ප්‍රාග්ධන හිමියන් හා ධනයේ නිෂ්පාදකයන් වන කම්කරු පන්තිය අතර එම ආදායම බෙදී යාම විසිනි.

ආයෝජන කපාහැරීමේ ද එහි ප්‍රතිඵලය ලෙස ඵලදායිතාව මෙන් ම ජාතික ආදායම ද පිරිහීමට පත් වෙද්දී, ලාබ අනුපාත තිරසාර කල හැක්කේ ද වැඩි කල හැක්කේ ද සමාගම් හා මූල්‍ය ආයතන වෙත ගලා යන ජාතික ආදායමේ පංගුව වැඩි කිරීමෙන් පමනි. එය ඉෂ්ඨ කර ගත හැක්කේ, වැඩ කරන ජනතාව වඩ වඩාත් දුප්පත් කමට ඇද දැමීම තුලින් ය.

මෙම නො නවතින කප්පාදු, “ස්වාභාවික" සංසිද්ධියක් නො වේ. එයට හේතුව, සමාජයේ එක් කොනක අතිමහත් ධනයක් ද අනෙක් කොනේ දරිද්‍රතාව හා කාලකන්නිකම නිර්මානය කරන්නාවූ ලාභ පද්ධතියේ නිර්දය තර්කනයයි.

එම තර්කනය ධනේශ්වර ආර්ථික පදනමේ ම පවතින තතු හමුවේ, “ප්‍රතිසංස්කරන" සඳහා ආයාචනා කිරීම මඟින් එය සමහන් කල නො හැක. එය පරාජය කල හැකි එක ම ක්‍රමය, මාක්ස් අවධාරනය කල පරිදි, නිෂ්පාදන බලවේග හා මූල්‍ය සම්පත්වල පුද්ගලික අයිතිය කෙලවර කොට, ප්‍රජාතාන්ත්‍රීය පාලනය යටතේ පොදු අයිතිය තහවුරු කොට, මානව අවශ්‍යතා මත පදනම් වන සැලසුම් ගත සමාජවාදී ආර්ථිකයක් පිහිටුවාලීමෙන් පමනි.

Share this article: