විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනයේ පාඩම්
පානි විජේසිරිවර්ධන විසිනි, 2016 අගෝස්තු 16
වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් හතක් මත විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් පසුගිය ජූලි 27 දා ආරම්භ කල වර්ජනයට, දශක තුනක යුද්ධයෙන් ඇති කෙරුනු වාර්ගික අපසරනයන් නොතකා, උතුරු සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයන් ද ඇතුලු රජයේ විශ්වවිද්‍යාල 14 ම නියෝජනය කරමින් 13,000ක් පමන සහභාගි වූහ.
ආන්ඩුවේ තර්ජනයන් සහ වෘත්තීය සමිති නිලධරයේ පසුපසට ඇදීම් නොතකා සති දෙකකට ආසන්න කාලයක් අඛන්ඩව වර්ජනයේ නිරත වූ අනධ්‍යන කම්කරුවෝ, ධනපති ආන්ඩුව තම ජීවන තත්වයන්ට සහ ප්රජාතන්ත්රීය අයිතීන්ට එල්ල කරන ප්රහාරයන්ට එරෙහිව සටන් කිරීම සඳහා සමස්ත කම්කරු පන්තිය තුල පොදුවේ වැඩෙන සූදානම සහ අධිෂ්ඨානය ගැඹුරින්ම පෙන්නුම් කලහ.
සාමාජිකත්වයෙන් එල්ල කෙරුනු බලගතු පීඩනය හමුවේ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වර්ජනය කැඳවුම් කල ද, ඉල්ලීම් ඉටු කරන බවට ආන්ඩුවෙන් ලබා ගන්නා ව්‍යාජ පොරොන්දුවක් මත වර්ජනය අත්හැර දැමීමට සමිති නිලධරය ආරම්භයේ සිටම මාන බලමින් සිටියහ. ජනාධිපති, උසස් අධ්‍යාපන ඇමති, මුදල් ඇමති සහ විශ්වවිද්‍යාල පරිපාලනය සමග සමිති නිලධරය පැවැත්වූ සාකච්ඡා මාලාවක දී එවන් ලිඛිත පොරොන්දුවක් ලබා දීම දිගටම ප්‍රතික්ෂේප කෙරුනු තතු යටතේ, අවසානයේදී, ඉල්ලීම් ලබාදීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2017 අය-වැයෙන් වෙන්කර දෙන බවට මුදල් ඇමතිවරයා පොරොන්දු වූ බව ප්‍රකාශ කෙරෙන ලිපියක් උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබාගත් නිලධරය, ඉල්ලීම් ඉටු කෙරුනු බව සාමාජිකත්වයට පවසමින් අගෝස්තු 8 වන දා වර්ජනය අත්හිටවූහ.
සමිති නිලධරයේ ද්‍රෝහී භූමිකාව
ආන්ඩුවේ ප්රහාරයන්ගෙන් බැටකන අනෙකුත් කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන් තම අරගලය වටා ඒකාග්ර කෙරෙන පිකටින්, පෙලපාලි හෝ රැස්වීම් වැනි කාර්මික ක්‍රියාවන් වර්ජනයට සමගාමීව සංවිධානය කල යුතුය යන බහුතර අනධ්‍යන සේවකයන්ගේ අදහස මුලුමනින්ම නොතකා හැරි නිලධරය, ඒ වෙනුවට වර්ජිත කම්කරුවන්ට කියා සිටියේ, සෑම දිනකම විශ්වවිද්‍යාලයට පැමින තමන් සපයා ඇති පැමිනීමේ ලේඛනයට අත්සන් තබා දවස ගත කරන ලෙසයි.
අවශේෂ කම්කරු පන්තිය සමග ඇතිකර ගන්නා එවන් එකමුතුවක් ආන්ඩුවටත් ධනේශ්වර පද්ධතියටත් එරෙහි දේශපාලනික අරගලයක් දෙසට වර්ධනයවීමේ හැකියාව සම්බන්ධයෙන් බියපත් සමිති නිලධරය මුල සිටම කියා සිටියේ, මෙම වර්ජනය කවර ලෙසකින් හෝ “දේශපාලනික සටනක් නොවන” බවයි.
මෙලෙස කම්කරුවන් දේශපාලනිකව නිරායුධ කොට යටත් කිරීම සඳහා ද්‍රෝහී වෘත්තීය සමිති නිලධරය විසින් ඉටු කරන භූමිකාව පැහැදිලි කරමින් අවශ්‍ය දේශපාලනික ආරම්භකත්වය ගැනීම සඳහා කම්කරුවන් යොමු කිරීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) වර්ජනය ආරම්භයේ සිට අවසානය දක්වා මැදිහත් විය.
වර්ජනය මධ්‍යයේ, “විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක අරගලයට සමාජවාදී ක්‍රියා මාර්ගයක්” යන හිසින් නිකුත් කෙරුනු සසප ප්‍රකාශයේ මෙසේ සඳහන් කෙරුනි: “අනධ්‍යන සේවක අරගලයට ආන්ඩුව දක්වා ඇති ප්‍රතිචාරය සමස්ත කම්කරු පන්තියට කෙරෙන බරපතල අනතුරු ඇඟවීමකි. ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමත්, වර්ජනය බිඳීම සඳහා හොරිකඩයන් සංවිධානය කිරීමත් ආන්ඩුවේ ආර්ථික කප්පාදු හා මර්දනකාරී දේශපාලන පිලිවෙත් වල කොටසකි. එහෙයින් ධනපති ආන්ඩුවට එරෙහිව කරන දැනුවත් දේශපාලන අරගලයකින් තොරව අනධ්‍යන හෝ කම්කරු පන්තියේ කවර හෝ කොටසකට සිය ඉල්ලීම් හා අයිතීන් දිනා ගත නොහැකිය.”
මෙම ප්‍රකාශය අනධ්‍යන සේවකයන් අතර බෙදා හරිමින් සසප කල අරගලයට එරෙහිව සමිති නිලධරය විසින් සිදු කල නොයෙකුත් ප්ර්රජාතන්ත්ර-විරෝධී බාධාවන් සහ තර්ජනයන් නොතකා, සිතන මතන කම්කරුවෝ සසප සාමාජිකයන් සමග ඉහත සමාජවාදී ක්‍රියා මාර්ගය පිලිබඳව දීර්ඝ සාකච්ඡාවන්හි නිරත වූහ.
“අවසන් නිවේදනය” සහ සමිති නිලධරයේ ප්‍රතිචාරය
අගෝස්තු 4 වන දා, ආන්ඩුව විසින් වර්ජිත කම්කරුවන් වෙත තර්ජනාත්මක අවසන් නිවේදනයක් නිකුත් කිරීමත් සමග ආන්ඩුවට එරෙහි දේශපාලනික අරගලයකින් තොරව වර්ජනයට ඉදිරියට යා නොහැකි බව වඩාත් පැහැදිලි විය.
අගෝස්තු 5 වන දා වන විට සේවයට වාර්තා නොකරන පරිවාස සීමාවේ සේවකයන් සේවය අත්හැර ගියා සේ සලකන බවත්, තව දුරටත් වර්ජනයේ යෙදෙන ස්ථිර සේවකයන්ගේ වැටුපෙන් වර්ජිත දින ගනනට අදාල වැටුප කපා හරින බවත් “අවසන් නිවේදනයේ” සඳහන් විය.
ආන්ඩුවේ අවසන් නිවේදනයට එරෙහි විය යුතු යැයි සාමාජිකත්වයෙන් එල්ල වූ පීඩනය හමුවේ අගෝස්තු 5 දා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවක් කැඳවීමට සමිති නිලධරයට සිදු විය. කම්කරුවන් බලමුලු ගැන්වීමට කවර හෝ සංයුක්ත පියවරක් නොගෙන ක්ෂනිකව කරන ලද මෙම කැඳවුමට තුන් දහසකට අධික කම්කරු පිරිසක් සහභාගි වී තම අරගලය ඉදිරියට ගෙනයාම සඳහා ඔවුනගේ ඇති අධිෂ්ඨානය යලිත් පෙන්නුම් කලහ. ඒ ඒ විශ්වවිද්‍යාල ඉදිරිපිට රැස්වූ සිය ගනන් කම්කරුවෝ ආන්ඩුවේ නියෝගයට එරෙහිව විරෝධතා දැක්වූහ.
ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවති විරෝධතාව අමතමින් ඒකාබද්ධ කමිටුවේ සමසභාපති ඩයස් විජයකුමාර මෙසේ පැවසීය: “ජනාධිපතිතුමා විදේශ සංචාර කීපයකින් පසු නැවත ලංකාවට පැමින සිටින්නේ ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් අත්පත් කර දෙමින්. අපේ ඉල්ලීම් ලබා නොදුනහොත් අපි ජිනීවා යනවා. එවැන්නක් සිදුවීමට ඉඩ සැලසීමෙන් ආන්ඩුවේ කීර්තිය නැතිකර ගන්න එපා.”
ආන්ඩුවේ “කීර්තිය” යනුවෙන් විජයකුමාර ඔජ වඩවන්නේ, 2015 ජනවාරි ජනාධිපතිවරනයෙන් පසු ගෙවීගිය මාස 20 පුරා ඇමරිකා එක්සත් ජනපදයේ මිලිටරි සහ ආර්ථික මූලෝපායන්ට ශ්‍රී ලංකාව වඩවඩාත් ඒකාග්ර කිරීමට හිලව් වශයෙන්, එක්සත් ජනපදය ප්රමුඛ අධිරාජ්‍යවාදීන් විසින්, සිරිසේන-වික්‍රමසිංහ තන්ත්රය යලි ප්රජාතන්ත්රවාදය තහවුරු කරමින් සිටින බවට වගුරවන ව්‍යාජ කීර්ති ප්රශංසාවන් ය.
අධිරාජ්‍යවාදීන් විසින් මෙසේ සුදුහුනු තවරන්නේ, උතුරේ දෙමල ජනයාට එරෙහි මිලිටරි ග්රහනය දිගටම පවත්වා ගෙන යන, අධ්‍යාපන සහ ප්රජාතන්ත්රීය අයිතීන් වෙනුවෙන් සටන් වදින සිසුන්ට එරෙහිව රුදුරුම ආකාරයේ පොලිස් ප්රහාරයන් එල්ල කරන සහ නව පනත් ගෙන එමින් මාධ්‍ය නිදහස අහෝසි කරන, ප්රජාතන්ත්ර-විරෝධී ආන්ඩුවකටය.
අනෙක් අතට, ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වනාහි ලෝක මහජනතාවගේ ප්රජාතන්ත්රීය අයිතීන් ආරක්ෂා කිරීමේ ආයතනයක් නොව, එක්සත් ජනපදය ප්රමුඛ අධිරාජ්‍යවාදීන් විසින් තම මූලෝපායික අවශ්‍යතාවන් සඳහා විවිධ රටවලට මැදිහත්වීමේදී, මානව හිමිකම් පිලිබඳ කඩතුරාවන් සපයාගැනීමට යොදා ගන්නා ඔවුන්ගේ ඒජන්සියකි. මෙම ඒජන්සිය හරහා යුක්තිය ඉටුකර ගත හැකිය යන්න, ලොවපුරා සමිති නිලධරයන් සහ ව්‍යාජ වම්මුන් විසින් කම්කරු පන්තිය නොමග යැවීම සඳහා වපුරන ප්රලාපයකි.
ආන්ඩුවේ අවසන් නිවේදනය සහ එහි ඇඟවුම්
දීර්ඝ කාලයකට පසු, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවක වර්ජනයකට මෙවන් තර්ජනාත්මක අවසාන නිවේදනයක් නිකුත් කල ප්‍රථම අවස්ථාව මෙයයි. එයින් යලිත් තහවුරු කෙරෙනුයේ, තම ජීවන කොන්දේසිවලට සහ ප්රජාතන්ත්රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්රහාරයන්ට එරෙහිව අරගලයට පිවිසෙන කවර හෝ කම්කරු-පීඩිත ජන කොටසක් රුදුරුම ආකාරයෙන් මර්දනය කිරීමට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව තීන්දු කොට ඇති බවයි.
එමෙන්ම මෙම අවසන් නිවේදනය සමස්ත කම්කරු පන්තියට එල්ල කිරීමට නියමිත පූර්න ප්රහාරයක පෙර ඇඟවුමකි. මේ සම්බන්ධයෙන් ඓතිහාසික අත්දැකීමක් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය සතුය. 1977 දී බලයට පත් ජේ.ආර්. ජයවර්ධන ආන්ඩුව, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්රාග්ධනය සඳහා වන ලාභ ශ්‍රම වහල් කඳවුරක් බවට පරිවර්තනය කිරීමේ තම සැලසුම් ආරම්භ කරනවාත් සමග එයට එරෙහිව රාජ්‍ය සේවකයන් අතරින් පැන නැගි 1980 ජූලි මහ වැඩ වර්ජනය මැඞීම සඳහා, මෙවැනිම අවසන් නිවේදනයක් නිකුත් කලේය. එය නොතකා අඛන්ඩව වර්ජනයේ නියුතු වූ කම්කරුවන් ලක්ෂයක් රැකියාවලින් නෙරපා දමමින් වර්ජනය බිඳ දැමූ ජයවර්ධන ආන්ඩුව, කම්කරු පන්තියට එරෙහිව රුදුරුම ප්‍රහාරයක් ආරම්භ කලේය.
ද්‍රෝහී සමිති නිලධරය, ලංකා සම සමාජ පක්ෂය, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය සහ එවක මාධ්‍යමික සංවිධානයක් වූ නව සම සමාජ පක්ෂය මෙම ප්‍රහාරයට එරෙහිව කම්කරු පන්තියේ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සූදානම් කිරීම වලකා ලූ තතු තුල, 1983 දී දියත් කෙරුනු වර්ගවාදී යුද්ධයෙන් එය කුලු ගැන්වීමට ජයවර්ධන ආන්ඩුව වගබලා ගත්තේය.
ලෝක ආර්ථිකයේ ගැඹුරුතම අර්බුදයකින් නිර්නිත සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ පිලිවෙත් වලින් ගලා එන අවසන් නිවේදනය, ජයවර්ධන ආන්ඩුවේ ප්‍රහාරය කීප ගුනයකින් පරයා යන සමාජ ප්රතිවිප්ලවීය ප්රහාරයක පෙර ඇඟවුමකි. මේ යටතේ කම්කරු පන්තිය මෙතෙක් භුක්ති විඳි සියලු සමාජයීය සහ ප්රජාතන්ත්රීය අයිතීන් උදුරා ගැනීමට නියමිතය.
වර්ජනයේ තීරනාත්මක පාඩම්
2008 න් ඇරැඹී අවපාතයක් දෙසට වර්ධනය වන ලෝක ආර්ථික අර්බුදය මධ්‍යයේ ලොවපුරා පාලක පන්තීහු, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු සමස්ත සුබසාධන ක්ෂේත්රයම කපා හෙලමින් අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාවගේ උර මත පැටවීම තම පිලිවෙත්වල අත්‍යන්ත කොටසක් බවට පත් කර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ආන්ඩුව ද අනධ්‍යන සේවක ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ට එරෙහිව රුදුරු මර්දනයක් දිගේලි කලේ එබැවිනි.
පාලක පන්තීන්ගේ මෙම පිලිවෙත් වලට එරෙහි දැවැන්ත පරිමාන පන්ති අරගල ජාත්‍යන්තර පරිමානව යලි වර්ධනය වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක අරගලය එහි ප්රකාශනයකි.
1991 දී සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ලොව පුරා ව්‍යාජ-වාම පක්ෂ හා වෘත්තීය සමිති විසින් කෘතිම ලෙස යටපත්කර ගෙන සිටි පන්ති අරගල, වසර 25 කට පසු යලි මතු වීමේ දී ඒවායේ සුවිශේෂී ලක්ෂනය වන්නේ, කම්කරු පන්තිය වමට හැරෙත්ම වෘත්තීය සමිති වඩවඩාත් දකුනට හැරීමයි. අනධ්‍යන සේවක අරගලය තුල ද මෙය ඉතා පැහැදිලිව ප්‍රකාශයට පත්විය.
මෙම තතු තුල වර්ජනයේ මූලික තීරනාත්මක පාඩම වන්නේ, ආන්ඩුවේ සහ සමස්තයක් ලෙස පාලක පන්තියේ මෙම පිලිවෙත්වලට එරෙහි දේශපාලනික අරගලයකින් තොරව කම්කරුවන්ට තම ඉල්ලීම් දිනාගත නොහැකි බව යි.
මෙම දේශපාලනික අරගලයට මුලුමනින්ම සතුරු, රාජ්‍යයේ සහ සංගත කලමනාකාරිත්වයේ හස්තයන් බවට පත්ව ඇති, වෘත්තීය සමිති හරහා කම්කරුවන්ට තමාගේ කවර හෝ ඉල්ලීමක් සාක්ෂාත් කල නොහැකි බව වර්ජනයේ අනෙක් පාඩමයි.
සමාජවාදී ක්‍රියා මාර්ගය
අනධ්‍යන සේවක අරගලයේ මෙම තීරනාත්මක පාඩම් මගින් යලි යලිත් තහවුරු කෙරෙන්නේ ඉහත ප්‍රකාශයෙන් සසප ඉදිරිපත් කල සමාජවාදී ක්‍රියා මාර්ගය සඳහා සටන් කිරීමේ දැවෙන අවශ්‍යතාවයයි.
අපි මෙසේ සටහන් කලෙමු.
“අනධ්‍යන සේවක ඉල්ලීම් ඇතුලු කම්කරු පන්තියේ සමාජමය සහ ප්රජාතන්ත්රීය ඉල්ලීම්, අර්බුද ග්රස්ත ධනේශ්වර ආන්ඩුවට බලපෑම් දැමීමෙන් ලබාගත නොහැක. ලොවපුරා කම්කරු පන්තිය තම අත් දැකීමෙන්ම පසක් කර ගනිමින් සිටින්නේ එයයි. තමාට එරෙහි ප්‍රහාරයේ මූලය වන අර්බුදයට පත් ධනේශ්වර පද්ධතිය, ලෝක පරිමානව සැලසුම් කෙරුනු සමාජවාදී නිශ්පාදන ආර්ථිකයකින් විස්ථාපනය කෙරෙන දේශපාලන අරගලයක් සඳහා කම්කරු පන්තිය පෙරට පැමිනිය යුතුය.
“ද්‍රෝහී සමිති නිලධරයෙන් බිඳී වෙන්වීම ඒ සඳහා පූර්ව කොන්දේසියකි. කම්කරුවන් තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින්, දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක ස්වරූපයෙන් කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වැදිය යුතුය.
“එම ආන්ඩුව, මහා සමාගම් ද වතු ද බැංකු ද කම්කරුවන්ගේ ප්රජාතන්ත්ර පාලනයක් යටතේ ජනසතු කිරීම ඇතුලු සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නගමින් සමාජයේ බහුතරයකගේ අවශ්‍යතා වෙනුවෙන් නිෂ්පාදනය තර්කාන්විත ලෙස සංවිධානය කරනු ඇත.
“එය සියලු විදේශ නය අහෝසි කරනු ඇත. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය හා ශුභ සාධන සේවා ද කම්කරුවන්ගේ හා නාගරික, ග්‍රාමීය පීඩිත ජනතාවගේ සමාජ හා ප්රජාතන්ත්ර අයිතීන් රැකගත හැක්කේ එවන් පදනමක් මත පමනි.”
Follow us on