අක්ෂය වෙබ් අඩවියේ ලෙනින්ගේ ඉගැන්වීම් විකෘත කරමින් පල කෙරුනු ලිපියකට පිලිතුරක්
කේ. රත්නායක විසිනි, 2016 දෙසැම්බර් 8
රමිඳු පෙරේරා නමැති ලියුම්කරුවෙකු විසින් ලියන ලද “ලෙනින් ඉක්මවා යන හැටි ලෙනින් ගෙන් උගනිමු” යන මාතෘකාවකින් යුත් ලිපියක් අක්ෂය වෙබ් අඩවියේ ප්රමුඛව පල කර ඇත.
පෙරේරා බක පන්ඩිත මාතෘකාවක් ලිපියට දමා ගෙන ඇත්තේ ලෙනින් ගැන හෝ ලෙනින් උගැන්වූ කිසියම්ම දෙයක් හෝ දැනගෙන ද යන්න ප්රශ්නයකි. කෙසේවෙතත් ඔහුගේ ලිපියේ අරමුන ලෙනින් ගේ අරගලයට පහර දෙන පශ්චාත් නූතනවාදීන්ගේ ප්‍රති මාක්ස්වාදී පිලිවෙතක් ලංකාව තුල විකිනීම ය. තමන්ගේ ගුරන් අනුව යමින්, කම්කරු පන්තියේ විප්ලවවාදී කි‍්‍රයා කලාපය, විප්ලවවාදී පක්ෂය හා සමාජවාදී විප්ලවය පිලිබඳ ලෙනින් ගේ විශිෂ්ට ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන පෙරේරා, ලෙනින් මාක්ස්වාදය සඳහා කල අරගලය පාච්චල් කිරීමේ පාන්කඩ කතා ලියා ඇත.
පෙරේරා කොලඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි ඇතුලු පශ්චාත්නූතනවාදී නඩයක් විසින් උගන්වා මෑතකදී එලියට දමනු ලැබූවන් අතරින් එක් අයෙකි. ඔහු මෑත කාලයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඇතුලු තවත් මධ්‍යම පන්තික කව තුල ද කරක් ගැසුවේ ය. දැන් පෙරේරා අක්ෂය වෙබ් අඩවියට සම්බන්ධවී මාක්ස්වාදයට පහර ගැසීම වෘත්තීය කරගනිමින් සිටියි. ඔහුගේ දේශපාලන රස්තියාදුව යොමුවී ඇත්තේ සිරිසා බඳු පෙරමුනක් ඇටවීමටයි.
එහි කොටසක් වන පෙරේරාගේ ඉහත කී ලිපිය එල්ල කර ඇත්තේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) මාක්ස්වාදය සඳහා ගෙනයන අරගලයට විරුද්ධවයි. එම අරගලය විකෘත කිරීමේ තැතක යෙදෙමින් පෙරේරා සිය ලිපිය තුල, සසප හා ජනතා විමුක්ති පෙරමුන එක ගොඩට දමා පක්ෂ දෙකම බෝල්ෂෙවික්වාදීන් තමන් බව ප්‍රකාශ කරමින් නිකායවාදී දේශපාලනයක යෙදී සිටින බව කියා ඇත.
ජවිපෙ, මාක්ස්වාදය හා බෝල්ෂෙවික්වාදය සමග කිසිදු සම්බන්දයක් නැති, කැස්ත්‍රෝවාදය හා මාඕවාදය සිංහල වර්ගවාදය සමග කලතා මිශ්‍ර කර ගත් දේශපාලනයකින් පටන්ගෙන අද වන විට ධනේශ්වර දේශපාලන සන්ස්තාපිතයේ පක්ෂයක් බවට පත්ව ඇති සංවිධානයකි. වාම පෙරමුනක් තැනීමේ තැනට ව්‍යාජ වාම කන්ඩායම් මෙන්ම ජවිපෙ ද තල්ලු කර ගැනීමේ යාදිනියක යෙදෙන පෙරේරා, එම පක්ෂය 1971 සිදු කල සුලුධනපති නැගිටීමේ හා 1989-1990 ගෙන ගිය සිංහල වර්ගවාදී කැරැල්ලේ “නිර්භීතකමට” සිය ලිපියෙන් අචාරය පුද කර තිබේ.
සමාජවාදී සමානතා පක්ෂය --එහි පෙර ගමන් කරු විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයයි-- පදනම් වන්නේ මාක්ස්වාදයේ අඛන්ඩතාව නියෝජනය කරන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අරගලය මතයි.
ලෙනින්ට පහර දීම
ලෙනින්ගෙන් තමන් ඉගෙන ගත්තේ යයි කියන දෙය පෙරේරා සිය ලිපියේ අවසන් ඡේදවල දිග හැර ඇත්තේ මෙසේය:
“මීට ශත වර්ෂයකට පමන පෙර ව්ලැඩිමීර් ලෙනින්ට තිබූ අභියෝගය වූයේ නිදහස් තරඟ ධනවාදය අධිරාජ්‍යවාදය දක්වා පොලා පැන තිබූ යුගයක විප්ලවය පිලිබඳ අදහස ප්රතිපරිකල්පනය කරන්නේ කෙසේද යන්නය. විප්ලවය පිලිබඳ අලුතින් කල්පනා කිරීම සඳහා ව්ලැඩිමීර් ලෙනින් තැබූ පලමු පියවර වූයේ දෙවැනි ජාත්‍යන්තරයේ යාන්ත්‍රික මාක්ස්වාදයෙන් කැඩී වෙන් වීමය.”
ඔහු මෙසේ ඊට එකතු කරයි: “වෙනස් වූ ලෝක සන්දර්භයක් තුල විප්ලවය පිලිබඳව අලුතින් කල්පනා කිරීමට නම් ලංකාවේ සමකාලීන වාමාංශය ගත යුතු පලමු පියවර වන්නේ මෙරට දැනට ජනපි‍්‍රයව පවතින යාන්ති‍්‍රක ලෙනින්වාදයෙන් ස්ථිර වශයෙන්ම කැඩී වෙන්වී ගැනීමය.”
ලෙනින් දෙවන ජාත්‍යන්තරයේ යාන්ති‍්‍රක භෞතිකවාදය තුල ගැලතී සිට ඉන් කැඩී වෙන්වූයේය යන ප්‍රලාපය පෙරේරා අහුලාගෙන ඇත්තේ ලෙනින් ගෙනගිය සමස්ත අරගලය පිරිහෙලීමට හා විකෘත කිරීමට ඇතැම් ධනපති බුද්ධිමතුන් හා ප්‍රති-මාක්ස්වාදීන් විසින් ගොතනු ලැබ ඇති ‘විශ්ලේෂන’ වලිනි. ඔවුන්ට අනුව, ලෙනින් 1914 පලමුවන ලෝක යුද්ධය පුපුරා එන තෙක් මෙම යාන්ත්‍රික මාක්ස්වාදයේ හෝ යාන්ති‍්‍රක භෞතිකවාදයේ ගිලී සිට ඉන් බිඳී වෙන් වුනේය. ඔවුන්ගෙන් ඇතැමෙක් “ලෙනින්ගේ යාන්ති‍්‍රක භෞතික වාදයට” උදාහරන ලෙස ලෙනින් ලියු මාහැඟි භෞතිකවාදය හා අනුභූතිවාද විචාරය (Materialism and Empirio Criticism) නැමති කෘතියට ඇඟිල්ල දික් කරති.
පශ්චාත් නූතනවාදීන්ගේ ප්‍රධාන ගුරෙක් ලෙස මෙකල වැජඹෙන ස්ලැවෝජ් ජිජෙක් මෙම ප්‍රචාරය ගෙනයනවුන් අතර ප්රමුඛයෙකි. ලෙනින් 1914 දී දෙවැනි ජාත්‍යන්තරයේ “විකාශනවාදී ඓතිහාසිකවාදයෙන්” බිඳී විප්ලවයට පවතින අවස්ථාව සොයා ගත්තේයයි ඔහු කියයි. අනෙක් ලේඛකයන් යොදාගත් “ලෙනින් යාන්ත්‍රික භෞතිකවාදයෙන් බිඳීම” හා “යාන්ත්‍රික මාක්ස්වාදයෙන් බිඳීම” යන පද වෙනුවට ජිජෙක් යොදාගෙන ඇත්තේ “විකාශනවාදී ඓතිහාසිකවාදයෙන් කැඩීම” නම් වූ පදයයි.
ජිජෙක් ඔහුගේ Repeating Lenin (ලෙනින් පුනරුච්චාරනය) යන ලියවිල්ලේ මෙම ප්‍රලාපය ලියා ඇත්තේ මෙසේය:
“1914 අවසාන කාලයේ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂ ‘දේශපේ‍්‍රමී පිලිවෙත’ වැලඳ ගත් කල ..... ඇතිවූ ව්‍යසනය තුල මුලූ ලෝකයම අන්තර්ධාන වීම, ....ලෙනින් තුල ඇති කල කම්පනය සිහිපත් කරන්න. ලෙනින්ට (කල යුත්තේ කුමක් ද? නම් වූ ලෙනින්ට) තමා පය ගසා සිටි බිම අහිමි විය. ... මෙම ව්‍යසනය ලෙනින්වාදී සංසිද්ධියට, දෙවන ජාත්‍යන්තරයේ විකාශනවාදී ඓතිහාසිකවාදයෙන් බිඳීමට අවස්තාව විවෘත කලේය...” එනිසා ඔහුට රුසියානු විප්ලවය කිරීමට හැකි විය.
ලෙනින් කරා ආපසු යාමේ ඉලක්කය ලෙස පවතින්නේ භාවාත්මකව “යහපත් පැරනි විප්ලවවාදී කාලයන්” පුනරුච්චාරනය කිරීම වත් පැරනි කි‍්‍රයාමාර්ගය “නව කොන්දේසිවලට” අවස්ථාවාදී-තත්කාර්යවාදී ලෙස ගැලපීම වත් නොවේ” යයි ප්‍රකාශ කරන ජිජෙක් මෙසේ කියයි: “ලෙනින් 1914ට කල දෙය අප 1990ට කල යුතුය.” එනම්, ඔහු කියන ආකාරයට 1914 දී “ලෙනින් දෙවන ජාත්‍යන්තරයේ විකාශනවාදී ඓතිහාසිකවාදයෙන් බිඳීමට” තීන්දු කලාක් මෙන් 1990 ට පසු කාලයේ ජීවත්වන අප කල යුත්තේ ලෙනින් වාදයෙන් බිඳීම ය.
ලෙනින් පුනරුච්චාරනය යන්නෙන් ජිජෙක් අදහස් කරන්නේ ලෙනින් අත්හැරීම ය. පෙරේරා ඒ සමානවම පලිප්පු දමා වමාරන්නේ ජිජෙක් ප්‍රකාශ කරන අයුරු ලෙනින්ගෙන් ඉගෙන ගත යුත්තේ ලෙනින් අත්හරින සැටි බවයි!
නව කොන්දේසි ඇතිව තිබෙන කාලය පෙන්වීමට ජිජෙක් 1990 කඩ ඉමක් ලෙස ගන්නේ 1989-1991 නැගෙනහිර යුරෝපයේ සහ සෝවියට් සංගමයේ බිඳවැටීම සමාජවාදයේ බිඳ වැටීමක් ලෙස සාවද්‍ය ලෙස අනන්‍ය කරමින් හා ගෝලීය ධනවාදය ලෝක අධිකාරිත්වය ලබා ගත්තේයැයි පිලිගනිමින් ය. ඔහුගේ ආස්ථානයෙන් පෙන්නුම් කෙරන්නේ ලෝක ධනවාදයේ අධිපතිත්වය පිලිගත් පශ්චාත් නුතනවාදීන්ගේ තවත් දකුනට පැදීමකි. පෙරේරා “වෙනස් වූ ලෝක සන්දර්භයක් ලෙස” හඳුන් වන්නේ ද සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු “ධනවාදයේ ජයග්‍රහනය” ගැන මවන ප්රතිගාමී මායාවයි.
ජිජෙක් සිය ප්රතිගාමී ආස්ථානයන්ගේ සිට, පසුගිය සියවසේ විශිෂ්ඨතම මාක්ස්වාදී නායකයෙකු වූ ලියොන් ට්‍රොට්ස්කි ගෙන ගිය අරගලයට රුදුරු ලෙස සතුරුව සිටී. එනිසාම ඔහු, සිය ලියවිල්ල තුල “ට්‍රොට්ස්කි 1990ට පුර්වයෙන් හෝ 1990ට පසු සමයේ හෝ ධනේශ්වර විශ්වය තුල තැනක් නැති අයෙක්”, ලෙස හඳුන්වයි. ජිජෙක්ගේ මෙම සතුරු කමට හේතුව, ස්ටැලින්වාදයේ විනාශකාරී ප්‍රතිවිපාක පෙන්වා දෙමින් මාක්ස්වාදී කි‍්‍රයාමාර්ගය සුරක්ෂිත කිරීමේ අරගලයට ට්‍රොට්ස්කි විසින් නායකත්වය දෙනු ලැබීම හා ඔහුගේ අරගලය හතරවන ජාත්‍යන්තරය තුලින් අද දින පෙරට යාම ය.
ලෙනින්ගේ අරගලය
ලෙනින් 1914 සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂවල පාවාදීම දැක ලෝකයම අතුරුදහන් වුවෙකු බවට පත්වී එතෙක් ඔහු ගිලී සිටි යාන්ති‍්‍රක වාදයෙන් කැඩී ගිය බව කිව හැක්කේ ඔහුගේ දේශපාලන හා න්‍යායික අරගලය ගැන මුග්ධත්වය නිසා හෝ ඊට පරිපූර්න සතුරුකම නිසා ය. ජිජෙක් මෙන්ම, පෙරේරා ද ඒ දෙකෙන්ම අනූන වූවන් ය.
ලෙනින්ගේ අරගලය මීට හාත්පසින්ම වෙනස්ය. ඔහු ඇතුලු මාක්ස්වාදියෝ ලෝක යුද්ධයක පෙර නිමිති දැක කල්තියාම ඊට මුහුන දීමට ජාත්‍යන්තර කම්කරු පන්තිය සුදානම් කිරීමේ අරගලයක නිරත වූහ. ඔහු දෙවන ජාත්‍යන්තරය තුල, එහි ප්රමුඛ පක්ෂය වූ ජර්මානු සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය (එස්පීඩී) හා ප්රන්සයේ කම්කරු ජාත්‍යන්තරයේ ප්රන්ස ශාඛාව (එස්එෆ්අයි ඕ) යුද අයවැයට චන්දය දෙමින් කල පාවාදීම අතීත අවස්ථාවාදය සමග බැඳී පැවතියේ කෙසේ ද යන්න පෙන්නුම් කලේ, ඊට එරෙහිව සිය අරගලයේ වාර්තාවක් ද සහිතව මෙන්ම පාවාදීමේ වෛෂයික මූලයන් විභාග කරමින් ඉදිරි අරගලය සඳහා ඉදිරිදර්ශන හා කි‍්‍රයාමාර්ගය සකස් කිරීමට ද පියවර ගනිමිනි.
1914 සැප්තැම්බර් මුලදී යුරෝපියානු යුද්ධය තුල විප්ලවවාදී සමාජ ප්රජාතන්ත්රවාදීන්ගේ කර්තව්‍යයෝ යනුවෙන් යෝජනාවක් ලෙස ඉදිරිපත් කල ලියවිල්ල තුල යුද්ධයේ ධනේශ්වර හා අධිරාජ්‍යවාදී ස්වභාවය සටහන් කරමින් ලෙනින් මෙසේ සඳහන් කලේය: “දෙවන ජාත්‍යන්තරයේ (1889-1914) බොහෝ නායකයන් විසින් සමාජවාදය පාවාදෙනු ලබීමෙන් සලකුනු කෙරන්නේ ජාත්‍යන්තරයේ දෘෂ්ටිවාදාත්මක සහ දේශපාලන බංකොලොත්කමයි. මෙම බිඳ වැටීම ප්‍රධානකොට ම සිදු කෙරී ඇත්තේ එතුල සුලුධනේශ්වර අවස්ථාවාදය, ධනේශ්වර ස්වභාවය සැබවින්ම පැතිර පැවතීමයි. සෑම රටකම විප්ලවවාදී නිර්ධන පන්තියේ හොඳම නියෝජිතයන් විසින් මෙම අන්තරාය බොහෝ කලකට පෙරදීම පෙන්වා දෙනු ලැබුහ.” (අවධාරනය අපේ). සමාජවාදය පාවාදුන් ජාත්‍යන්තරයේ නායකයන්ට එරෙහිව සෑම රටකම කම්කරු පන්තියේ විප්ලවවාදී විඥානයට ආමන්ත්රනය කල යුතු යයි එම යෝජනාවෙන් ලෙනින් ඉල්ලා සිටියේය.
එතැන් පටන් ලියැවුනු අති විශාල ලිපි හා කෘති සංඛ්‍යාවට සමාජවාදී ජාත්‍යන්තරයේ ආස්ථානය හා කර්තව්‍යයෝ, කාල් මාර්ක්ස්, දෙවන ජාත්‍යන්තරයේ බිඳ වැටීම ඇතුලත්වි ය. ඔහු අධිරාජ්‍යවාදය: ධනවාදයේ උච්චතම අවධිය යන කෘතිය 1916 දී රචනා කල අතර 1917 පෙබරවාරි විප්ලවය පුපුරා ඒමෙන් පසු, සමාජවාදී විප්ලවයට නායකත්වය දීම සඳහා බෝල්ෂෙවික් පක්ෂය හරවා ගැනීම සඳහා එහි සම්මේලනයට අපේ‍්‍රල් ප්‍රවාද ඉදිරිපත් කලේය. පක්ෂය ඔක්තෝබර් විප්ලවයට සුදානම් කිරීමේ තවත් වැදගත් පියවරක් වුයේ ඊට මාස හතරකට පමන පෙර රජය හා විප්ලවය ලිවීමයි. අන් සියල්ලටමත් වඩා, මෙම කාලය තුල ලෙනින්ගේ වැදගත්ම මැදිහත්වීම වූයේ තුන්වන ජාත්‍යන්තරය සඳහා කල කැඳවීමයි. ලෙනින් 1914ට පෙරාතුව නායකත්වය දුන් අවස්ථාවාදයට එරෙහි සටනේ අඛන්ඩතාවය නියෝජනය කල මෙම අරගලය රුසියාවට සීමාවූ එකක් නොවේ.
ලෙනින් යාන්ත්‍රික මාක්ස්වාදයේ ගිලී සිට ඉන් බිඳුනේ, 1914 යුද්ධයේ ගිනි රස්නයට හසුව හෙගල් හැදෑරීමෙන් බවට කෙරෙන ප්‍රකාශ ප්රලාපයන් ය. ලෙනින්ගේ දර්ශනවාදී සටහන් පොත්වලින් පෙන්නුම් කෙරෙන පරිදි හේගල් ගැඹුරු ලෙස හැදෑරීමෙන් නියෝජනවන්නේ 1908 ඔහු ලියු භෞතිකවාදය හා අනුභූතිවාදී විචාරය කෘතියෙහි ‘ග්‍රාම්‍ය’ භෞතිකවාදය නිෂ්ප්රභා කිරීමක් යයි පශ්චාත් නුතනවාදී මහාචාර්ය නීල් හාර්ඩින් ලෙනිනිස්ම් කෘතියේ කල එබඳු ප්‍රකාශයක් ගැන සඳහන් කරමින් ඬේවිඞ් නෝර්ත්* මෙසේ පිලිතුරු දී ඇත:
“එබඳු ඇගයීම් පදනම් වන්නේ භෞතිකවාදය හා අනුභූතිවාදී විචාරය ගැඹුරින් නොකියවීම මතය. ලෙනින්ගේ දාර්ශනික සටහන්පොත් වලින් නියෝජනය වන්නේ, ඔහුගේ න්‍යායික වැඩකටයුතු වලින් මුලුමනින් වෙන්වූ නව සන්ධිස්ථානයක් නොව සිය දේශපාලන කි්රයාකාරිත්වයේ ආරම්භක අවධීන්හි පටන් ලෙනින් යෙදී සිටි දාර්ශනික හා විධික්‍රමාත්මක කටයුතුවල අඛන්ඩතාවය, සමාලෝචනය සහ ගැඹුරු කිරීම යි. විධික්රමය ගැන ලෙනින්ගේ පරිකථනයන්ගෙන් සොයා ගත හැකි එක් තේමාවක් වන්නේ මාක්ස්වාදය වියුක්ත ක්රමානුරූපයකට හැරවීම සඳහා දැරුනු කවර හෝ ප්රයත්නයක් කෙරෙහි ඔහු දැක්වූ විරුද්ධත්වයයි.” (David North, The Frankfurt School Postmodernism and the Politics of Pseudo-left, 12 පිටුව)
‘යාන්ත්‍රික ලෙනින්වාදයෙන් බිඳීමට' පෙරේරා යෝජනා කරන්නේ, ලෙනින් ඔක්තෝබර් විප්ලවය සිදු කලේ හුදෙක් රුසියාවට සීමාවූ එකක් ලෙසින් යැයි දැක්වෙන ග්‍රාම්‍ය ආස්ථානයක පිහිටා ගෙනය. ඔක්තෝබර් විප්ලවය වනාහි ඊට පෙරාතු දශක කීපය තුල ලෙනින් හා ට්‍රොට්ස්කි ද ඇතුලු මාක්ස්වාදීන් කම්කරු පන්තිය සමාජවාදී විප්ලවයේ කර්තව්‍යයන්ට සූදානම් කිරීම සඳහා ගෙනගිය සුවිශිෂ්ට න්‍යායික දේශපාලන අරගලයක අග්‍ර ඵලයකි. ලෙනින් රුසියාව ලෝක ධනවාදයේ දුර්වලම පුරුකෙන් බිඳී යාම ලෙස අර්ථ ගැන්වූයේ ලෝක ආර්ථිකයේ බිඳ වැටීමේ කොන්දේසි වලින් විප්ලවය සඳහා තත්වය නිර්මානය වීමද රුසියානු විප්ලවය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් බව ද පෙන්නුම් කිරීම සඳහා යි. ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක සමාජවාදී විප්ලවය සඳහා වන මාක්ස්වාදී ඉදිරි දර්ශනයේ ඓතිහාසික සක්‍යතාව ඔක්තෝබර් විප්ලවයෙන් ප්‍රදර්ශනය කෙරුනේ එදා ද අද ද එහි වලංගුතාව ගැන ප්‍රශ්න කරන, නාහෙන් එහාට නොදකින වුන්ට බලගතු පිලිතුරක් සපයමිනි.
කම්කරු පන්තියේ විප්ලවවාදී ක්‍රියා කලාපය
පෙරේරාගේ ප්‍රකාශ ගලා එන්නේ මුග්ධ, ප්‍රති මාක්ස්වාදී මූලාශ්‍ර වලිනි. ඒ අනුව ඔහු යෝජනා කරන්නේ, “යාන්ත්‍රික ලෙනින්වාදයෙන්” බිඳීම, නමින් මාක්ස් වාදයෙන් බිඳී අප කලයුතු වන්නේ ජිජෙක් ඇතුලු පශ්චාත් නූතනවාදීන් හා ව්‍යාජ වම්මුන් යෝජනා කරන පරිදි “තනි පක්ෂයක සුපර් මෑන් බලය වෙනුවට බහුත්වවාදී වාමාංශය (plural left) පිලිබඳ සංකල්පනය ප්‍රවර්ධනය කිරීමය.”
ලෙනින් කල යුත්තේ කුමක්ද කෘතියෙන් විස්තාරනය කර ඇති ආකාරයේ විප්ලවවාදී පක්ෂයක්, තනි පක්ෂයක සුපර් මෑන් බලය ලෙස පෙරේරා විසින් තුච්ච ලෙස ගර්හාවට ලක් කරයි. එයින් ප්‍රකාශයට පත්වන්නේ, එවන් විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම කෙරෙහි මෙන් ම සමාජවාදී විප්ලයට නායකත්වය සම්පාදනය කිරීමට කම්කරු පන්තියට ඓතිහාසිකව නිර්නිතව ඇති විප්ලවවාදී කාර්ය භාරය කෙරෙහි ව්‍යාජ වම්මුන් හා පශ්චාත් නුතනවාදීන් දක්වන වෛරය යි.
තමන්ගේ මෙම ආස්ථානය ගිල්ලවීමට පෙරේරා “විප්ලවය පිලිබඳව” ඊනියා විකල්පයක් යෝජනා කරයි: “විප්ලවය යනු එක් පක්ෂයක කාර්යයක් නොව සමාජයේ විවිධ කොටස් විසින් විවිධ තලවල සිදු කරනු ලබන බහුවිධ අරගල දීර්ඝ කාලයක් තිස්සේ එක මත එක කි‍්‍රයා කිරීම හරහා සමාජයක් ඉදිරියට තල්ලු වීමකි. එනම් ගුනාත්මක වසයෙන් සමාජයේ සිදුවන රැඩිකල් පිම්මකි.”
කිසිදු මාක්ස්වාදියෙක් විප්ලවය තනි පක්ෂයක කි්රයාවක් බවක් කියා නැත. එවන් තර්කයක් පෙරේරා ආදේශ කරන්නේ තමන්ගේ කුතර්ක තොරොම්බල් කිරීමට ය. මෙවැනි දේශපාලන අඟුටුමිට්ටන්ට එරෙහිව, ලෙනින් සමග එක්ව 1917 ඔක්තෝබර් විප්ලවයට සම නායකත්වය දුන් ලියොන් ට්‍රොට්ස්කි විප්ලවයක් යනු කුමක් ද යන්න පිලිබඳව කල හැඳින්වීම උපුටා දැක්වීම අවශ්‍ය ය:
“විප්ලවයක අතිශයෙන් නිසැක ලක්ෂනය වනුයේ ඓතිහාසික සිද්ධීන් තුලට කෙරෙන්නා වූ ජනතාවගේ ඍජු මැදිහත් වීමයි.... පැරනි ක්‍රමය ජනතාවට තවදුරටත් නොඉවසිය හැකිවන එම තීරනාත්මක අවස්ථාවන්හී දී, ජනතාව තමන්ව දේශපාලන වේදිකාවෙන් වෙන්කොට තබන බාධකයන් කඩා බිඳ දමති; සාම්ප්‍රදායික නියෝජිතයන් අතුගා දමති. තමන්ගේම මැදිහත් වීම සඳහා නව පාලනයක් සඳහා වන මූලික පදනම සකසති.......අපට නම් විප්ලවයක ඉතිහාසය වූකලී අන් සියල්ලටමත් පෙර ස්වකීය ඉරනම සම්බන්ධව පාලනයේ රාජධානිය තුලට කෙරෙන්නාවූ ජනතාවගේ බලහත්කාරී ප්‍රවේශය පිලිබඳ ඉතිහාසය වන්නේය,” (රුසියානු විප්ලවයේ ඉතිහාසය, සිංහල පරිවර්තනය, හැඳින්වීම, පිටුව xvi). ට්‍රොට්ස්කි මෙම පැහැදිලි කිරීමෙන් පසුව විප්ලවය, එනම්, “පාලනයේ රාජධානිය තුලට කෙරෙන්නාවූ ජනතාවගේ බලහත්කාරී ප්රවේශයේ” වෛෂයික මූලයන් පැහැදිලි කරයි.
විප්ලවවාදී පක්ෂයේ කාර්ය භාරය වන්නේ ට්‍රොට්ස්කි සඳහන් කලාක් මෙන් දේශපාලන වේදිකාවට සපැමිනෙන කම්කරු පන්තිය ප්රමුඛ මහ ජනතාවන්ට නායකත්වය සම්පාදනය කිරීමයි.
පෙරේරාගේ විප්ලවය මීට හාත්පසින්ම වෙනස්ය. එය “සමාජයේ විවිධ කොටස් විසින් විවිධ තලවල සිදු කරනු ලබන බහුවිධ අරගලවල” එකතුවකි. ඒවා පැන නැංවීමට තුඩුදෙන ගාමක බලයක් නැත. ඔහු දක්වන “සමාජයේ විවිධ කොටස්” නිර්-රුපී ය, ඒවාට පන්ති ස්වභාවයක් නැත. ඔහු කියන සමාජ වෙනසට ද පන්ති ස්වභාවයක් නැත. ඔහු සමාජ කන්ඩායම් ලෙස හඳුන්වන කොටස්වල පන්ති ස්වභාවය හිතාමතාම යට ගසන්නේ පන්ති අරගලය ප්‍රතික්ෂේප කරන පශ්චාත් නුතනවාදීන්ගේ හරසුන් මත ප්‍රචලිත කිරීමටය.
මෙවැනි නොගැඹුරු, මතුපිට තලයේ දකින සිද්ධීන් හුවා දැක්වීමේ විධික්රම වලට එරෙහිව විප්ලව ද ඇතුලු මානව වර්ගයාගේ ඓතිහාසික ප්රගමනයේ වෛෂයික පදනම් පිලිබඳව විශිෂ්ට පැහැදිලි කිරීම කලේ මාක්ස්ය. එය මෙසේය:
“තමන්ගේ පැවැත්ම සඳහා කෙරෙන සමාජ නිෂ්පාදනයේ දී, මිනිසා අනිවාර්යයෙන්ම, තමන්ගේ කැමැත්තෙන් ස්වාධීනවූ, නිශ්චිත සම්බන්ධතාවලට. එනම්, ස්වකීය ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේගයන්ට අනුරූප වූ නිෂ්පාදන සම්බන්ධතාවලට, එලඹෙති. මෙම නිෂ්පාදන සම්බන්ධතාවල සමස්තය සමාජයේ ආර්ථික ව්‍යූහය සංස්ථාපනය කරයි... සමාජයේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේග ඒවායේ වර්ධනයේ නිශ්චිත අවධියක දී පවත්නා නිෂ්පාදන සම්බන්ධතා සමග ගැටෙති. ... වෙනත් වචනවලින් කියන්නේ නම් ඒවා මේ දක්වා ක්‍රියාකාරී වූ දේපොල සම්බන්ධතා සමග ගැටෙති. මෙම සම්බන්ධතා නිෂ්පාදන බලවේගවල වර්ධනයේ රූපාකරයන්ගේ සිට ඒවායේ විලංගු බවට පත්වෙයි. එවිට සමාජ විප්ලවයේ අවධියක් ඇරඹේ....” (පෙරවදන, Contribution to the Chritique of of Political Economy)
යුගකාරක විප්ලවයන්ගේ මෙන්ම මනුෂ්‍ය පැවැත්මේ හා විඥානයේ මෙම ද්‍රව්‍යමය පදනම ප්‍රතික්ෂේප කල කල්හි එකිනෙකට අසම්බන්ධිත “බහුවිධ අරගල” එකතු කිරීමේ ද ධනපතිවාදයට බලපෑම් දමා විසඳුම් ලබාගැනීමේ ද ගොඩවෙදකම් තොරම්බල් කිරීමේ අවස්ථාවාදයට කඩා වැටේ. එම ආස්ථානයන් කි‍්‍රයාත්මක වන්නේ ධනවාදය ආරක්ෂා කිරීමටයි.
1789 ප්රන්ස විප්ලවය තමන් ප්‍රකාශ කරන ආකාරයේ “විවිධ සමාජ කන්ඩායම්වල” ක්‍රියාවලියක ප්‍රතිපලයක් බව පෙරේරා උදාහරන ලෙස දක්වයි. ඔහු ආවරනය කරන්නේ, ප්රන්ස විප්ලවයේ ගාමකය වුයේ පැරනි වැඩවසම්වාදී නිෂ්පාදන සම්බන්ධතා හා නිෂ්පාදන බලවේගවල නව වර්ධනය අතර පරස්පරවිරෝධය බවත් පැරනි නිෂ්පාදන සම්බන්ධතා බිඳ ධනේශ්වර නිෂ්පාදන සම්බන්ධතා තහවුරු කිරීමට එම විප්ලවයෙන් පදනම දැමුනු බවත් ය. පන්තීන් අතර ඇතිවූ අරගලය හා පන්ති හැසිරීම් ආවරනය කිරීමට ඔහු විප්ලවය “සමාජ කන්ඩායම්” අතර ඇතිවූ ගැටුමකට සිඳවා දමයි. ද්‍රව්‍යමය පදනම් වලින් ගලවාලූ එවන් හැඳින්වීම් පෙන්නුම් කරන්නේ ඉතිහාසය වෙත ආත්මීය විඥානවාදී ප්රවිෂ්ටයකි.
ධනේශ්වර රාජ්‍යය
දැන්, පෙරේරා මේ යුගයේ විප්ලවය කල හැකි ආකාරය ගැන කතා කරන්නේ ද එම ප්රවිෂ්ටයෙන්ම ය. ඔහු මෙසේ සඳහන් කරයි: “මේ යුගයේ විප්ලවය යනු ආයුධ ගෙන රාජ්‍යයට පහර දී රාජ්‍යය යටත් කරගැනීමෙන් කල හැක්කක් නොවේ....විශේෂයෙන්ම නියෝජිත ප්රජාතන්ත්රවාදයෙන් සංලක්ෂිත වූ ධනේශ්වර ප්රජාතන්ත්රවාදය දියුනු වී තිබෙන සමාජවල රාජ්‍යය එලෙස යටත් කරගැනීමට සිතීම ද විහිලුවකි.”
“ආයුධ ගෙන රාජ්‍යයට පහර දී රාජ්‍යය යටත් කරගැනීමක්” මේ යුගයේ විප්ලවය බව කී මාක්ස්වාදියෙක් නම් නැත. එය පෙරේරා වැන්නවුන්ගේ ගෞරවයට පාත්රවී සිටින සුලුධනපති ගරිල්ලාවාදීන්ගේ ආස්ථානයයි. මාක්ස් හා ට්‍රොට්ස්කි විප්ලවය ගැන දැක්වූ විශිෂ්ට අදහස් අපි ඉහත සාකච්චා කලෙමු.
පෙරේරා “මේ යුගයේ විප්ලවය” ගැන කතා කරන්නේ විප්ලවයේ ස්වභාවය මුලුමනින්ම යට ගසමිනි. ඔහුගේ ලිපියේ කිසිම තැනෙක “සමාජවාදී විප්ලවය” යන වචන දෙක සඳහන් නොවීම පුදුමයක් නොවේ. පෙරේරා හා ඔහුගේ ප්‍රති මාක්ස්වාදී ගුරාලා මේ යුගයේ විප්ලවය, සමාජවාදී වන්නේ යයි ගුනාංගීකරනය කිරීමට මුලුමනින් ම සතුරුය. එය සමාජවාදී විප්ලවයක්ම වන්නේ, සමාජීයකරන වූ නිෂ්පාදනය ධනපති හිමිකමේ විලංගුවලින් මුදාගෙන සමාජීය ලෙස ප්‍රතිසංවිධානය කල හැක්කේ කම්කරු පන්තිය බලය ගැනීමෙන්ම පමනක් වන හෙයිනි.
ඔහුගේ ධනපති ගැති ආස්ථානය නම්, “නියෝජිත ප්රජාතන්ත්රවාදයෙන් සංලක්ෂිත වූ” ධනේශ්වර රටවල විප්ලවය කල නොහැකි බවයි. එය ඔහු වමාරන්නේ හුදු ආයුධ සන්නද්ධ අරගලයකින් රාජ්‍යය යටත්කර ගත නොහැකිය යන සුත්‍රයකට මුවාවී ගෙනය.
මන්ද යත්, ඔහුට අනුව, ඒවායේ අධිපත්‍යය පවතින්නේ, “ඍජු බලහත්කාරයේ ස්වභාවයෙන් නොව හෙජමොනික ස්වභාවයෙන්” නිසාය. මෙය වනාහි ධනේශ්වර ප්රජාතන්ත්රවාදයෙන් වශී වී ඇත්තෙකුගේ ප්‍රකාශයකි. ධනපති රටවල පන්ති පාලනය පවත්නා බලහත්කාරී ස්වභාවය, එහි අර්බුදයේ කාල පරිච්චේද වලදී මෙන් සශී‍්‍රක සාමකාමී කාලවල පෙරේරා වැනි මතුපිට අත ගාන්නන්ට නොපෙනීම පුදුමයක් නොවේ.
ලෙනින් රජය හා විප්ලවය පිලිබඳ කෘතියේ සඳහන් කල පරිදි “නියෝජිත ධනේශ්වර ප්රජාතන්ත්රවාදය” වනාහි ධනපති පන්ති පාලනයේ එක රූපාකාරයක් පමනකි. “‘නියම’ රාජ්‍ය කටයුතු කෙරෙන්නේ පිටුපසය. එම කටයුතු කරනු ලබන්නේ දෙපාර්තමේන්තු, නිලධාරි මන්ඩල, සහ හමුදා ප්‍රධාන මන්ඩල විසිනි.” එය අදත් එසේය. වෙනසකට ඇත්තේ රාජ්‍ය බලහත්කාරය අතිශය විසකුරු වීමයි.
විප්ලවයක් තුලදී සන්නද්ධ නැගිටීමක් පිලිස්තීනු ලෙස හෙලා දැකීම පෙරේරාගේ ප්‍රකාශවල සඟවා ඇත. ඉතිහාසයේ කිසිම විප්ලවයක් තුලදී පැරනි පාලක පන්තියේ රාජ්‍ය බලහත්කාරයට එරෙහිව සනද්ධ නැගිටීමක් අභව්‍යයක් නොවීය, අවශ්‍ය විය. මතුවට ද එසේමය. මන්ද යත්, ට්‍රොට්ස්කි සඳහන් කලාක් මෙන් “කිසිදු පාලක පන්තියක් බලය සාමකාමීව අත් හරින්නේ නැති” හෙයිනි. “සාදා නිම කල රාජ්‍යය” කම්කරු පන්තියට පාවිච්චි කල හැකි නොවේ. කම්කරු පන්තිය ධනේශ්වර රාජ්‍යය බිඳ තමන්ගේ රාජ්‍ය බලය පිහිටුවා ගත යුතුය.
ලක්ලාවූ-මුෆෙගේ පශ්චාත් නුතනවාදී සංකල්ප ගිලගැනීම
පෙරේරා සඳහන් කරන්නේ දියුනු රටවල ධනේශ්වර ආධිපත්‍යය පවතින්නේ “හෙජමොනියක ස්වභාවයෙන්” බවයි. එහෙයින් එම රටවල “විප්ලවය යනු, පාලක පන්තීන් සහ පන්ති සන්ධානයන් විසින් අභ්‍යාස කරන බුද්ධිමය හා සදාචාරමය ආධිපත්‍යය විකල්ප බුද්ධිමය හා සදාචාරමය ආධිපත්‍යයක් මගින් විස්ථාපනය කොට දැමීම පිලිබඳ” අරගලයකි. මොනතරම් මනස්කාන්ත විප්ලවයක් ද?
පෙරේරා, විප්ලවය පිලිබඳව ඉහත සඳහන් කරන අදහස ප්‍රධාන කොටම ඉදිරිපත් කලේ පශ්චාත් මක්ස්වාදීන් ඇතුලු පශ්චාත් නුතනවාදීන් හා නව-ග්රාම්ස්කිවාදීන් ලෙස පෙනී සිටිනවුන්ය. ඔවුහු, ඉතාලියේ කලෙක මාක්ස්වාදී නායෙකයෙකුව සිටි ඇන්ටෝනියෝ ග්‍රාම්ස්කි ඉදිරිපත් කල “බුද්ධිමය හා සදාචාරමය නායකත්වය” ඇතුලු සංකල්ප, ධනවාදයට අනුගතවූ තමන්ගේ සංකල්ප ගෙතීමට අපයෝජනයේ යෙදූහ. අර්නෙස්ටෝ ලක්ලාවූ හා චන්ටාල් මුෆෙ විසින් 1985 රචිත හෙජමොනි ඇන්ඩ් සොෂලිස්ට් ස්ට්‍රැටජී Hegemony and Socialist Strategy) හා ඉන් පසුව ඔවුන් ලියු කෘති යෙදවුනේ ඒ සඳහා ය.
සමාජවාදය සඳහා අරගලයේ කම්කරු පන්තියේ නායක කාර්යභාරය ම ප්‍රතික්ෂේප කරමින් “හෙජමොනි ඇන්ඩ් සෝෂලිස්ට් ස්ට්‍රැටජී” සඳහන් කලේ විප්ලවය සඳහා “ඒජන්ත පන්තියක්” හෝ “විශ්වීය පන්තියක්” නැති බවයි. එමෙන්ම ලක්ලාවූ හා මුෆෙ පන්ති අරගලය පිලිබඳ සංකල්පය එකහෙලා ප්‍රතික්ෂේප කලහ. තැනිය යුත්තේ “සමාජ ව්‍යාපාරයන්” ය. විප්ලවවාදී පක්ෂයේ කි‍්‍රයාකලාපය ඒ මත ප්‍රතික්ෂේප කෙරුනි. ආර්ථික නිර්නයවාදය පිලිබඳ මාක්ස්වාදී සංකල්පය ග්‍රාම්‍ය ප්රවර්ගයක් ලෙස හෙලා දකින ලදී. ලක්ලාවූ හා මුෆෙ එය සිදු කලේ ඔවුන් මාක්ස්වාදී ප්‍රවර්ග “විසංයෝජනය” (deconstruction) ලෙස දැක්වූ ප්‍රති මාක්ස්වාදී අභ්‍යාසය තුලයි.
“වමේ කර්තව්‍ය” ගැන එම කෘතියේ මෙසේ ලියා ඇත: “ධුරාවලි සමාජයක් ප්රතිනිර්මානය කිරීමේ ව්‍යාපෘතිය අභිමුව, වමේ විකල්පය සමන්විත විය යුත්තේ ප්රජාතන්ත්රවාදී විප්ලවයේ ක්ෂේත්රය තුල මුලුමනින්ම ස්ථානගතවීම හා පීඩනයට එරෙහි විවිධ අරගලයන් අතර සාම්‍යයන් දාමය ප්රසාරනය කිරීම ලෙසයි. වමේ කර්තව්‍යය එහෙයින්, ලිබරල්-ප්රජාතන්ත්රවාදී දෘෂ්ටිය නිෂ්ප්රභා කිරීමක් විය නොහැකිය, ඊට විපරීතව රැඩිකල් සහ බහුත්ව ප්රජාතන්ත්රවාදයක් ගැඹුරු කිරීමක් සහ ප්රසාරනය කිරීමක් විය යුතුය,” (හෙජමොනි ඇන්ඩ් සෝෂලිස්ට් ස්ට්‍රැටජී, 176 පිටුව).
පෙරේරාගේ අදහස් පසුගිය දශක දෙකේ මෙම සංකල්ප තවත් දකුනට ගමන් කිරීමෙන් කැලතුනු ඒවාය. මුෆෙ මෑත දී දුන් සම්මුඛ සාකච්චාවක දී එම සංකල්ප සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් පසු ධනපතිවාදයට ගැලපෙන ලෙස තවත් දකුනට පැද ඇති සැටි පැන්නුම් කරමින් මෙසේ සඳහන් කලාය: “අප මෙම කෘතිය [ හෙජමොනි ඇන්ඩ් සෝෂලිස්ට් ස්ට්‍රැටජී ] ලියන විට පැහැදිලිව තිබුනේ නව සමාජ ව්‍යාපාරයන්හි -ස්තී්රවාදයේ සිට පරිසර හා සම ලිංගික අරගල දක්වා- ඉල්ලීම් ඒකාබද්ධ කරගත හැකි ආකාරයට සමාජවාදය ගැන යලි සිතා බැලිය යුතු බවයි. .. අද වාම හා දක්ශිනාංෂික ව්‍යාපෘති අතර ඉමහත් වෙනසේ මූලය නම් කුමන ආකාරයකින් හෝ ප්රජාතන්ත්රවාදය රැඩිකලිකරනය කල හැක්කේ පලමු වැන්නට (වාම ව්‍යාපෘතියට) පමනක් වීමයි.” (Left populism and taking back democracy, 2016 මාර්තු 21)
එක් “බුද්ධිමය හා සදාචාරමය ආධිපත්‍යයක්” තවත් එවැනිම විකල්පයකින් විස්ථාපනය කිරීම විප්ලවය යයි පෙරේරාගේ නම් කිරීම, ද්‍රව්‍යමය පදනමෙන් ගලවා දමා විප්ලවය පිලිබඳව කරන ආත්මීය විඥානවාදී ගුනාංගී කරනයකි. එය පිටුපසින් ඇත්තේ, ධනපති “ප්රජාතන්ත්රවාදය රැඩිකලිකරනය” කිරීමේ ව්‍යාපෘතියේ නිරර්ථක ව්‍යායාමයට මහජනයා කොටුකිරීමේ උත්සාහයයි.
ඔහුට අනුව දැන් පැන නැගී ඇති ප්‍රශ්න නම් “සමාජ බල සැකැස්ම සමාජයේ පහල පාන්තික හා නිර්ප්‍රභූ ජනකොටස්වල කාරකත්වයෙන් ප්‍රතිසංවිධානය කරන්නේ කෙසේද? සමාජයේ බුද්ධිමය සහ සදාචාරමය නායකත්වය එම රැඩිකල් ව්‍යාපෘතිය වෙත දිනාගන්නේ කෙසේද?” යන්නයි.
“සමාජය වෙනස් කිරීමේ කි‍්‍රයාවලිය තනි පක්ෂයක කටයුත්තක් නොව පුලුල් සමාජ ව්‍යාපාරයක කටයුත්තක් බව ද ‘සමාජ ව්‍යාපාරය’ පක්ෂයට වඩා විශාල වූවක්” බව ද ඔහු කියා ගෙන යයි. එය කම්කරු පන්ති ව්‍යාපාරය, ගොවීන්ගේ හා ධීවරයින්ගේ ඉල්ලීම්, ශිෂ්‍ය ව්‍යාපාරය, පීඩිත ජාතීන්ගේ විමුක්ති අරගල, ස්තී‍්‍ර විමුක්ති අරගල, පරිසර ආරක්ෂක ව්‍යාපාර, ලිංගික ශ්‍රමිකයන් ආදී මෙකී නොකී ව්‍යාපාර වල එකතුවකි.
මෙය වනාහි, විප්ලවවාදී කම්කරු පන්තියේ අරගලයට එරෙහිව ලක්ලාවූ හා මුෆෙ විසින් බහුවිධ සමාජ අරගල ලෙස අහස උසට ඔසවා තැබුනු තට්ට අනන්‍යතා දේශපාලනය වැලඳ ගත්තෙකු ගේ යෝජනාවකි. පෙරේරාගේ යෝජනාව අනන්‍යතා මත ගොඩ නැගුනු, සමහර විට වාම වෙස් ගත්, මධ්‍යම පන්තික ව්‍යාපාරවල පෙරමුනක් හැදීමයි.
මෙම ලිපියේ සඳහන් කර නැතත්, පෙරේරා වහ වැටී සිටින, එබඳු ඓයිතිහාසික මූලයන්ගෙන් ගලා එන, “බහුත්වවාදී ව්‍යාපාර” නම් ගී්රසියේ සිරිසා (රැඩිකල් වමේ ව්‍යාපාරය), ස්පාඤ්ඤයේ පොඩෙමොස් (අපට පුලුවන්) ආදී සංවිධාන හා බි්රතාන්යයේ ධනපති ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබින්, එක්සත් ජනපදයේ ඩිමොක්රටික් පක්ෂයේ බර්නි සෑන්ඩර්ස් ආදීන් වටා ගොනුවූ ව්‍යාපාරයන් ය.
සිරිසා නායක සිප්රාස් බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ ඉගැන්වූ ලක්ලාවූගේ ගෝලයෙකි. පොඩෙමොස් නායක පැබ්ලෝ ඉග්ලිසියාස් තම ආචාර්ය උපාධිය සඳහා හෙජමොනි ඇන්ඩ් සොෂලිස්ට් ස්ට්‍රැටජී හැදෑරු බව උජාරුවෙන් පවසයි. ජිජෙක් සිරිසා නායක සිප්රාස් උඩුමහලේ තැබූ අතර පොඩෙමොස් වටා රැලිවන ලෙස ‘බුද්ධිමතුන්’ ප්‍රසිද්ධ කල ආයාචනයට අත්සන් තැබූ එක පුද්ගලයෙකි. (ජිජෙක් ඇමරිකානු ජනාධිපතිවරනයේ දී දක්ෂිනාංශික ඩොනල්ඩ් ට්‍රම්ප් පිටුපස ගාල්වූවෙකි.)
මෙම ව්‍යාපාරවල ඓතිහාසික කි‍්‍රයා කලාපය ඇති තරම් පැහැදිලිවන වෛෂයික අත්දැකීම් කම්කරුවන් හා සමාජවාදයට ලැදි ජනයා මේ වන විට කටුක ලෙස අත්විඳිමින් සිටිති. වාම වෙස් ගත් සිරිසා සිප්රාස් නායකත්වයෙන් 2015 ජනවාරියේ බලය ලබා ගත්තේ යුරෝපා සංගමය විසින් පැටවූ ප්රහාරයන්ට එරෙහිව කම්කරුවන් හා අවශේෂ ජනයාගේ විරුද්ධත්වය ගසා කමිනි. දැන් එය ධනවාදයේ අර්බුදය මහජනයා මත පටවන පොලිස් පාලනයක් බවට පත්ව ඇත. සෑන්ඩර්ස්, සමාජවාදය හා දේශපාලන විප්ලවයක් පිලිබඳ ව්‍යාජ කතා දෙසාබාමින්, අපකීර්තියට පත්ව ඇති ඇමරිකාවේ දේශපාලන සංස්ථාපිතයට එරෙහිව නැගී සිටින කම්කරුවන් හා තරුනයන් නොමග යැවුවේ එම විරෝධය ඩිමොක්රැටික් පක්ෂය තුලටම හරවා යැවීමට කි‍්‍රයා කරමිනි. දැන් ඔහු ජනාධිපති ලෙස තේරී සිටින අර්ධ-ෆැසිස්ට් ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඇතැම් පිලිවෙත් වලට සහයෝගය දීමට ද කැමැත්ත ප්‍රකාශ කර ඇත.
සිරිසා, පොඩෙමොස් හා කෝබින්ගේ මෙන්ම සෑන්ඩර්ස්ගේ කි‍්‍රයාකලාපය නම් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට වල කපා ධනේශ්වර පන්ති පාලනය රැකීමයි.
පෙරේරා සඳහන් කරන “සමාජ බල සැකැස්ම සමාජයේ පහල පාන්තික හා නිර්ප්‍රභූ ජනකොටස්වල කාරකත්වයෙන් ප්‍රතිසංවිධානය කිරීම” යන්නෙන් ප්‍රායෝගිකව අදහස් වන්නේ කුමක්දැයි සිරිසාවේ කි‍්‍රයාකාරිත්වයෙන් පැහැදිලිවේ. පෙරේරාගේ ප්‍රකාශය අතිශයින් අර්ථභාරීය. එහි තේරුම නම්, ප්‍රභූ පැලැන්තියට පහලින් ඉන්නා “නිර්ප්‍රභූ” ධනවතුන් හා ඉහල මධ්‍යම පන්තිකයන්ගේ ව්‍යාපාරවලට කම්කරුවන් හා දුගීන් යටත් කර ගැනීමයි. ජනගහනයෙන් සියයට එකක් වන ප්‍රභූ පැලැන්තිය සමග මෙම “නිර්ප්රභූනට” ඇති විරසකය නම් ජාතික ධනයෙන් අතිවිශාල කොටස ඔවුන් විසින් ඩැහ ගැනීමයි. මෙම ඉහල මධ්‍යම පන්තිකයන්ගේ සමාජ ආර්ථික වෛෂයික උවමනාව නම් තමන්ගේ පංගුව හා වරප්‍රසාද තරකර ගැනීමයි. එම අවශ්‍යතා සපුරා ගත හැකි ධනපති පාලනයකට ඇතුලු වීමට ද ඔවුහු සුදානම්ව සිටිති.
විප්ලවවාදී පක්ෂය
මෙම කන්ඩායම්වල ප්‍රහාරයේ මූලික ඉලක්කයක් වන්නේ, අපගේ යුගයේ සමාජ විප්ලවයට නායකත්වය දිය හැකි, කම්කරු පන්තිය එම කර්තව්‍යය සඳහා සූදානම් කිරීමේ අරගලය කරන විප්ලවවාදී පක්ෂය යි. “බුද්ධිමය හා සදාචාරමය ආධිපත්‍ය” ලෙස පෙරේරා හඳුන්වන්නේ කම්කරු පන්තිය එම කර්තව්‍යයෙන් ඉවතට හරවන ධනේශ්වර දෘෂ්ටියයි. මධ්‍යම පන්තිය හරඹ කරන “විකල්ප” එහිම කොටසකි. කම්කරු පන්තියට විප්ලවවාදී පක්ෂය අවශ්‍ය වන්නේ එම දෘෂ්ටිමය බන්ධනයන් කපා හරිමින් විප්ලවවාදී කර්තව්‍යය සඳහා එය සුදානම් කිරීමටය. ලෙනින්ගේ කල යුත්තේ කුමක්ද කෘතියේ මධ්‍ය අක්ෂය වන්නේද එවන් අරගලයක් දියත් කිරීම හා ඒ සඳහා අවශ්‍ය පක්ෂය සංවිධානය කිරීමයි.
“තමන් ජීවත් වන පද්ධතියෙහි සමාජ ප්රතිවිපාකයන්ට කෙතෙක් අකමැති වුව ද කම්කරුවා සිටින්නේ, එම පද්ධතියෙහි සම්භවය හෝ එහි අභ්‍යන්තර ප්රතිවිරෝධයන් හෝ එහි පැවැත්මේ ඓතිහාසික සීමාසහිත බව, තම ආසන්න අත්දැකීම්වල පදනම මත ග්රහනය කර ගත හැකි තත්වයක නො වේ. ධනේශ්වර මාදිලියේ නිෂ්පාදනයේ ප්රතිවිරෝධතා ද ප්රාග්ධනය හා වැටුප් ශ්‍රමය අතර පවත්නා සූරා කෑමේ සම්බන්ධතාව ද පන්ති අරගලයේ නො වැලැක්විය හැකි ස්වභාවය හා එහි විප්ලවවාදී ප්‍රතිවිපාක ද පිලිබඳ අවබෝධය විකසිත වූයේ සැබෑ විද්‍යාත්මක වැඩ කොටසක පදනම මත ය. එම වැඩ කොටස සමග මාක්ස්ගේ නාමය සදාකාලික ව බැඳී පවතිනු ඇත. මෙම විද්‍යාව තුලින් ලබා ගත් දැනුම සහ එම දැනුම අත් කර ගැනීමේ හා විස්තාරනය කිරීමෙහි ලා උපයෝගී වූ විශ්ලේෂන විධික්රමය කම්කරු පන්තියට හඳුන්වා දිය යුතු ය. විප්ලවවාදී පක්ෂයේ කර්තව්‍ය වන්නේ එය යි.” (ඬේවිඞ් නොර්ත්, රුසියානු විප්ලවය සහ නොනිමි විසිවන සියවස, 271 පිටුව).
විවිධ සමාජ ව්‍යාපාර නමින් කම්කරු පන්තියට හසුකර ගැනීම සඳහා ඇටවෙන දේශපාලන මර උගුල් හෙලිදරවු කරමින් මාක්ස්වාදී විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීමේ අවශ්‍යතාව අද දින හදිසි භාවයකින් මතුව ඇත. පෙරේරා හා ඔහු වැනි පශ්චාත් නූතනවාදය වැලඳගත්තන් හා ව්‍යාජ වම්මුන් ලෙනින්ට පිලිස්තීනු ප්‍රහාර එල්ල කරන්නේ, ඔහු ට්‍රොට්ස්කි ද සමග නායකත්වය දුන් 1917 ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරය මුව විටය. කලක් තිස්සේ ධනය ගසා කමින් තරවූ ස්ටැලින්වාදී නිලධරයේ අවසන් දේශපාලන ලාදුරුවන් 1991 සෝවියට් සංගමය දිය කර දැමූවිට “ධනවාදයේ විජයග්රහනය” ගැන ධනපති පන්තිය හතර අතින් ගෙන ගිය ප්රතිගාමී හඬ තැලීම් සමග ඔවුහු අනුගත වූහ.
අවුරුදු 25කට පසු අද ඔවුන්ට මේ “විජයග්රහනය” ගැන කියන්ට ශේෂවී ඇත්තේ කුමක්ද?
අධිරාජ්‍යවාදය දැන් ඓතිහාසික බිඳවැටීමක් තුලින් යලිත් ගමන් කරයි. අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයක අන්තරාය මානව වර්ගය ඉදිරියේ මතුවී ඇත. සෝවියට් සංගමය බිඳවැටීමත් සමග තම ලෝක ආධිපත්‍යය පිහිටුවා ගැනීමට පසුගිය අවුරුදු 25 තුල එන්න එන්නම ගනනින් වැඩිවන යුද්ධ දියත් කර ඇති එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තුන්වන ලෝක යුද්ධයක් ඇවිලවීමේ ප්රමුඛ ප්රකෝපකාරියා වී සිටී. පලල් මහජන විරෝධයක් පවතිද්දීම, අන්ත දක්ෂිනාංශික ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ලෙස තේරී පත්වීම සලකුනු කර ඇත්තේ, මධ්‍යම පන්තික කල්ලි විසින් ඔජ වැඩවූ එක්සත් ජනපද ප්රජාතන්ත්රවාදයේ බිඳ වැටීමයි. මෙම දේශපාලන අර්බුදය දියුනු නොදියුනු සෑම රටක්ම අලලා ගෙන ඇත.
මෙම සන්දර්භය තුල එකම සක්ය ඓතිහාසික විකල්පය ලෙස ලෝක මහජනතාවන් ඉදිරියේ ඇත්තේ 1917 රුසියාවේ ජයග්රාහිවූ විප්ලවයෙන් සලකුනු වූ ලෝක සමාජවාදය සඳහා සටන් කිරීමයි.
ජාත්‍යන්තරව මෙන්ම ලංකාව තුල ද පශ්චාත්-නුතනවාදීන් හා ව්‍යාජ වම්මුන් ඉදිරිපත්වී ඇත්තේ කම්කරුවන්, තරුනයන් හා සමාජවාදයට ලැදි බුද්ධිමතුන් එම විකල්පය වෙත හැරීම වලහන උගුල් ඇටවීමටයි.
ස්ටැලින්වාදයට, සංශෝධනවාදය ඇතුලු අවස්ථාවාදයේ විවිධ රූපාකාරයන්ට හා ධනවාදයේ වත්මන් ඒජන්තයන්ට එරෙහිව ලෝක සමාජවාදයේ විකල්පය ආරක්ෂා කරගනිමින් සටන් කලේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලංකාව ඇතුලු රටවල් ගනනාවක එහි ශාඛා ලෙස කි‍්‍රයාත්මක සමාජවාදී සමානතා පක්ෂ පමනකි. එහි ජාත්‍යන්තර ප්රකාශනය ලෝක සමාජවාදී වෙබ් අඩවියයි.
මෙම කෘති කියවන්න:
රුසියානු විප්ලවය සහ නොනිමි විසිවන සියවස, ඩේවිඩ් නෝර්ත්,
ව්‍යාජ වමෙහි න්‍යායික සහ ඓතිහාසික සම්භවයෝ, ඩේවිඩ් නෝර්ත්,
ග්‍රීසිය තුල සිරිසා කල පාවාදීමේ දේශපාලන පාඩම්, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය.
යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා සටන, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය, 2016 පෙබරවාරි 18.
* ඩේවිඩ් නෝර්ත් වර්තමානයේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති සහ එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ සභාපති ය. ඔහු හතලිස් වසරකටත් වැඩි කාලයක් ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ නායක කාර්ය භාරයක් ඉටුකරමින් සිටී.
Follow us on