යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා සටන<br>අධිරාජ්‍යවාදයට එරෙහිව කම්කරු පන්තියේ හා තරුනයින්ගේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනඟනු!- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා සටන
අධිරාජ්‍යවාදයට එරෙහිව කම්කරු පන්තියේ හා තරුනයින්ගේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනඟනු!

Socialism and the Fight Against War
Build an International Movement of the Working Class and Youth Against Imperialism!

2016 පෙබරවාරි 18, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය

1. ඇමරිකා එක්සත් ජනපදය, “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” දියත් කර 15 වසරකට පසුව, එන්ට එන්ටම ප‍්‍රසාරනය වන අධිරාජ්‍යවාදී ප‍්‍රචන්ඩත්වයේ මහා සුලිය තුලට සමස්ත ලෝකයම ඇදගනිමින් තිබේ. ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් සංවිධානය කරනු ලබන ආක‍්‍රමන හා මැදිහත්වීම් මගින් ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව හා සිරියාව වනසා දමනු ලැබ ඇත. රුසියාව සමග යුද්ධය සඳහා වන සූදානමේදී නේටෝව, දැවැන්ත ප‍්‍රතිසන්නද්ධ ව්‍යායාමයක නිරතව සිටියි. අපි‍්‍රකාව, ඇමරිකානු හා යුරෝපීය නව යටත් විජිත කුමන්ත‍්‍රනවල නිරන්තර ඉලක්කය වී ඇත්තේ ය. දේශසීමා ඝර්ෂන, නැගෙනහිර යුරෝපයේ, අන්තර් කොකේෂියාවේ, ඉන්දියානු උප මහාද්වීපයේ හා දකුනු ඇමරිකාවේ අසල් වැසි රටවල් අතර ආතතීන් හා කාකොටා ගැනීම් අවුලුවයි. නැගෙනහිර ආසියාවේදී ඔබාමා පාලනයේ “ආසියාවට හැරීම හරහා,” චීනයට එරෙහි ඇමරිකාවේ ගැටුම සමස්ත කලාපයම අලලා ගත්තක් කරයි.

2. අධිරාජ්‍යවාදයේ වංචනිකත්වය හා නිමක් නැති කුහකත්වය සමග තෙම්පරාදුවී ඇති “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය”, නොගිනිය හැකි මිලියන ගනනක් මනුෂ්‍යයන් භ‍්‍රාන්තියට, අංගවිකලත්වයට හා මරනයට පත් කර, දෙවන ලෝක යුද්ධයෙන් මෙපිට සිදු වූ දැවැන්තම සරනාගත අර්බුදය අවුලුවා ඇත. මිලියන හැටක් ජනතාව, සිය නිජභූමි තුලින් පලවා හැර ඇත. හසරක් නැතිව ජීවිතය පරදුවට තබා යෙදෙන ගමනින් පසුව, යුරෝපයට සේන්දු වීමට සමත් වන ලක්ෂ ගනනක් ජනයාට, රැඳවුම් කඳවුරු තුලට දක්කනු ලැබ අති දුෂ්කර කොනේදේසි යටතේ, ඔවුන් සතුව තිබූ සොච්චම් වත්කම් වලින් ද තොරව ජීවත් වීමට බලකරනු ලැබ පවතී. වැඩකරන ජනතාවන් අතර වර්ධනය වී ඇති සහයෝගය බිඳ දැමීම පිනිස, අධිරාජ්‍යවාදී ආන්ඩු, ධනපති දේශපාලන පක්ෂ හා ඔවුන්ගේ මාධ්‍ය ජාල, ජාතික ස්වෝත්තමවාදය හා වර්ගවාදී දේශමාමකත්වය වපුරවති. 1930 ගනන් වලදී යුදෙව්වන්, දේශපාලන ප‍්‍රතිගාමිත්වයේ ගොදුරු බවට පත් කර ගත්තේය. ඇමරිකාව යුරෝපය හා ඔස්ටේ‍්‍රලියාව තුල, රාජ්‍ය අනුග‍්‍රහය සහිත ව සිදු කෙරෙන වෙනස්කම් කිරීමට, වාර්ගික අඩම්තේට්ටමට මෙන්ම ෆැසිස්ට් ප‍්‍රහාරයන්ට ද ලක් කරනු ලැබ අද දවසේ මාධ්‍යයන්හි හෙලා දැකීමට ලක්ව ඇත්තේ, මුස්ලිම්වරුන්ය.

3. වසර 15ක “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයට” සම්බන්ධ අපරාධයන් පිලිබඳව, කිසිදු ආන්ඩුවේ හෝ මිලිටරි-ඔත්තු සේවා නිලධාරියෙකු වගවීමට ලක් කර නැත. පැහැරගැනීමේ, සිරගත කිරීමේ, වධදීමේ හා සැකකරුවන් කවර නීතිමය පටිපාටියකින් හෝ තොරව ඝාතනය කිරීමේ ”අයිතිය” කියා පාමින් ධවල මන්දිරය කටයුතු කරද්දී, ජාත්‍යන්තර නීතිය අභාවයට පත්ව තිබේ. ත‍්‍රස්තවාදයට එරෙහිව සටන්කිරීමේ කඩතුරාව, අධිරාජ්‍යවාදී රටවල් තුල තීරනාත්මක දේශපාලන මෙහෙවරක් සඳහා සේවය කරයි. නිතර රාජ්‍ය සුපරීක්ෂාකාරිත්වයට බඳුන් කෙරෙන ත‍්‍රස්තවාදී කටයුතු, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් කටුගා දැමීම සඳහා ගසාකති. බොස්ටන්, ෆර්ගියුසන් හා තවත් නගර වැටලීම, යුද නීතිය පැනවීම සඳහා වන පෙර සූදානමකට සමානය. 2015 නොවැම්බරයේ පැරිස් ප‍්‍රහාරයන්ගෙන් පසුව මුලූ ප‍්‍රන්සයම දැන් ”හදිසි නීතිය” යටතට පත් කර ඇත. මිලියන දුසිම් ගනනක් මිනිසුන්ගේ සුවිශාල දත්ත රැුස්කිරීම පිනිස කිසිදු පාලනයකින් තොරව ඔත්තු ආයතන, ඔත්තු බැලීමේ යෙදී සිටී. සමාජ අසමානතාව මගින් නිර්මානය කරන පුපුරන සුලූ ආතතීන් පාලනය කිරීමටත්, විරුද්ධ මතධාරීන්ට ස්ථාවර පොලිස් රාජ්‍ය මර්දනයකින් පිලිතුරු දීමටත් පාලක පන්තිය උත්සාහ දරන අතරතුර, කම්කරු පන්තික ප‍්‍රදේශවල පොලිසිය සිදු කරන මෘග ඝාතන දෛනික ක‍්‍රියාවලියක් බවට පත්ව ඇත.

4. ලෝකය එලඹ සිටින්නේ ව්‍යසනකාරී ගෝලීය ගැටුමක අද්දරට ය. ධනපති ආන්ඩුවල නායකයින්ගේ ප‍්‍රකාශ එන්ට එන්ටම යුදවාදී ස්වභාවයක් අත්කර ගනියි. යුකේ‍්‍රනයේ හා සිරියාවේ කුලීකාර යුද්ධ මගින් රුසියාව හා නේටෝව පූර්න පරිමාන ගැටුමකට සමීප කර තිබේ. නේටෝවේ සාමාජිකයෙක් වන තුර්කිය දැනටමත් රුසියානු යුද ගුවන් යානා වලට වෙඩි තබා ඇත. 2016 වසර ආරම්භයේදීම ප‍්‍රමුඛ ස්වීඩ්න් මිලිටරි ආඥාපතියෙකු වන මේජර් ජෙනරාල් ඇන්ඩර්ස් බ‍්‍රැන්ස්ට්‍රොම්, තමන් යටතේ ඇති හමුදාවන්ට පහත දැක්වෙන අනතුරු ඇඟවීම නිකුත් කලේය. “අප අත්දකිමින් සිටින ගෝලීය ස්වභාවය....වසර කිහිපයක් තුලදී යුද්ධයකට පැටලිය හැකිය යන නිගමනය කරා අප ගෙන යයි.” 1914 පලමු ලෝක යුද්ධයත්, 1939 දෙවන ලෝක යුද්ධයත් පුපුරා යාමට පෙර වසර වලදී මෙන් ම අද දින ද ප‍්‍රධාන බලවතුන් අතර යුද්ධයක් ඇතිවීමට තිබෙන ඉඩකඩ දුරස්ත නොවන බව ද එවැන්නක් සිදු වීමට ඇති ඉඩකඩ බෙහෙවින්ම වැඩි බව ද පමනක් නොව එවැන්නක් නොවැලැක්විය හැකි තත්වයකට එලඹ ඇතැයි ද යන නිගමනය කරා දේශපාලන නායකයෝ ද මිලිටරි සැලසුම්කරුවෝ ද නිගමනය කර ගෙන සිටිති.

5. එක් නිශ්චිත අවස්ථාවකදී එවන් මිලිටරි දෛවවාදයක්, යුද්ධය ඇවිල යාමට වැදගත් දායකත්වයක් සපයන සාධකයක් බවට පත්වේ. ජාත්‍යන්තර සබඳතා පිලිබඳ විශේෂඥයෙක් මෑතකදී ලියා ඇති පරිදි: “යුද්ධය නොවැලැක්විය හැකි යයි සලකන කල, නායකයින්ගේ හා මිලිටරි බලවේගයන්ගේ ගනන් බැලීම් වෙනස් වෙයි. තවදුරටත් ප‍්‍රශ්නය වන්නේ, යුද්ධයක් සිදුවනු ඇත් ද හා සිදුවිය හැකි ද යන්න නොවේ. වඩාත්ම වාසිදායක වන පරිදි යුද්ධයට යා හැක්කේ කවදා ද යන්නයි. යුද්ධය පිලිබඳව උනන්දුවක් නොදක්වන හා ශුභවාදී නොවන අය පවා, නොවැලැක්විය හැකි භාවයේ ආකෘතිය තුල ක‍්‍රියාත්මක වීමට පටන්ගන්නා විට, සටන් කරන්නේය.” ( The Next Great War: The Roots of World War I and the Risk of U.S.-China Conflict, ඊලඟ මහා යුද්ධය: පලමු ලෝක සංග‍්‍රාමයේ මූලයන් හා එක්සත් ජනපද-චීන ගැටුමක අවදානම, සංස්කරනය කලේ රිචඩ් එන්. රොසෙන්ක‍්‍රන්ස් හා ස්ටීවන් ඊ මිලර්, (කේම්බි‍්‍රජ්, එම්ඒ. මිට් පුවත්, 2015), 11 පිටුව)

6. යුද ධාවනය වනාහි, ප‍්‍රජාතන්ත‍්‍රවාදී විවාදයක මවාපෑමක්වත් නැතිව, ආන්ඩුවේ, මිලිටරි ඔත්තු සේවාවන්හි, සංගත මූල්‍ය කතිපයාධිකාරයේ හා දූෂිත දක්ෂිනාංශික මාධ්‍යයයේ ඉහල මට්ටම්වලදී සකසනු ලබන ධනපති ප‍්‍රභූවේ කුමන්ත‍්‍රනයකි. ලෝකය පුරා වැඩකරන ජන සමූහයන් අතර ඇත්තේ සාමය සඳහා වන ඉමහත් අභිලාශයකි. කෙසේ වෙතත් අධිරාජ්‍යවාදී යුද උන්මත්තකයින්ගේ ඉවබව නැති ප‍්‍රතිපත්ති වලට විරුද්ධ කිසිදු සංවිධිත ජාත්‍යන්තර දේශපාලන ව්‍යාපාරයක් තවමත් නැතිකමේ අඩුව පවතී.

7. එහෙත් තුන්වන ලෝක යුද්ධය කරා වන තල්ලුව නතර කල යුතුය. ධනවාදයටත් අධිරාජ්‍යවාදයටත් විරුද්ධව වැඩකරන ජන සමූහයන් හා තරුනයින් එක්සත් කරන, යුද්ධයට එරෙහි නව ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතුය. යුද්ධයේ උමතුව නිර්මානය කරන එම ධනපති අර්බුදයම, සමාජ විප්ලවය සඳහා ආවේෂය ද ඇති කරයි. කෙසේ වෙතත්, ලෝකය පුරා බිලියන සංඛ්‍යාත ජනතාවන්ගෙන් යුද්ධයට, සමාජ අසමානතාවට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි ප‍්‍රහාරයන්ට විරුද්ධව නැගී එන කෝපය හා ප‍්‍රතිරෝධය, නව දේශපාලන ඉදිරිදර්ශනයකින් හා ක‍්‍රියාමාර්ගයකින් මෙහෙයවිය යුතුය.

8. මෙම ප‍්‍රකාශනය සමග හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) යුද විරෝධී ව්‍යාපාරයක් සඳහා වන අත්‍යවශ්‍ය දේශපාලන පදනම ලෙස පහත සඳහන් මූලධර්ම ගෙනහැර දක්වයි:

x යුද්ධයට එරෙහි අරගලය, සමාජය තුල සිටින මහා විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පදනම් විය යුතුය. කම්කරු පන්තිය ජනගහනයේ අවශේෂ සියලු ප‍්‍රගතිශීලී ජනතාවන් තමන් පසුපස පෙලගස්වා ගන්නවා ඇත.

x නව යුද විරෝධී ව්‍යාපාරයක් ධනේශ්වර විරෝධී හා සමාජවාදී විය යුතුය. මක්නිසා ද යත්, මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආඥාපතිත්වයේ ද මිලිටරිවාදයේ ද යුද්ධයේ ද මූලික හේතුව වන ආර්ථික ක‍්‍රමය අවසන් කිරීමේ සටනකින් තොරව යුද්ධයට එරෙහි බැරෑරුම් අරගලයක් ගෙන යා නොහැකි බැවිනි.

x එබැවින් නව යුද විරෝධී ව්‍යාපාරය අවශ්‍යයෙන්ම, මුලුමනින්ම හා පැහැදිලිවම, ධනපති පන්තියේ සියලු දේශපාලන පක්ෂ හා සංවිධාන වලට සතුරු හා ඒවායින් ස්වාධීන විය යුතුය.

x අන් සියල්ලටත් වඩා, නව යුද විරෝධී ව්‍යාපාරය, ජාත්‍යන්තර විය යුතුය. එය කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය, අධිරාජ්‍යවාදයට එරෙහි එක්සත් ගෝලීය අරගලයක් තුල බලමුලු ගැන්විය යුතුය. ධනවාදයේ නොනවතින යුද්ධයට, කම්කරු පන්තිය නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනයෙන් පිලිතුරු දිය යුතුය. එහි මූලෝපායික එල්ලය වන්නේ, ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීම හා ලෝක සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැගීමයි. ගෝලීය සම්පත්, සහේතුක, සැලසුම්ගත සංවර්ධනයකට එමගින් කොන්දේසි සැකසෙන අතර එම පදනම මත, දුප්පත්කම තුරන්කර මානව සංස්කෘතිය නව ඉහලකට ඔසවා තබනු ඇත.

ලෝක ආර්ථිකය හා ජාතික-රාජ්‍ය අතර ප‍්‍රතිවිරෝධයෝ

9. ධනපති ස්වෝත්තමවාදී ප‍්‍රචාරනයෙන් නොමග නොයෑමට හා ව්‍යාකූල නොවීමට නම් කම්කරු පන්තියට, යුද්ධයේ වෛෂයික මූලයන් පිලිබඳ විද්‍යාත්මක වැටහීමක් අවශ්‍ය වන්නේය. සමාජවාදී හා ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක දේශපාලන ඉදිරිදර්ශනය, අධිරාජ්‍යවාදී මූලෝපායන් හා මහ බලවතුන් අතර ගැටුම් පිටුපස පවත්නා ආර්ථික හා පන්ති අවශ්‍යතා පිලිබඳ තක්සේරුවක් මත පාදක කල යුතුය. යුද්ධය සඳහා යුක්තිකරනයක් ලෙස සෑම රටකම පාලක පැලැන්තීන් හුවා දක්වන, “ජාතික ආසක්තයන්ට” එකහෙලා ප‍්‍රතිවිරුද්ධ, තමන්ගේම ස්වාධීන ක‍්‍රියාමාර්ගයක් කම්කරු පන්තියට වර්ධනය කල හැක්කේ මේ පදනම මත පමනි.

10. ලෝක ධනේශ්වර ක‍්‍රමයේ ගැඹුරට මුල් බැස ඇති ප‍්‍රතිඝතිතා තුල, යුද්ධයෙහි හා මිලිටරිවාදයෙහි සාරභූත හේතුව රැඳී පවතියි: 1. ගෝලීයව ඒකාග‍්‍රිත, අන්තර්-පරායත්ත ආර්ථිකය හා එය එකිනෙකට ප‍්‍රතිවිරෝධී ජාතික රාජ්‍ය අතර බෙදී පැවතීම 2. ගෝලීය නිෂ්පාදනයේ සමාජයීය ස්වභාවය හා නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික අයිතිය තුලින් පාලක ධනපති පන්තියේ පෞද්ගලික ලාභ සූරාකෑමේ අරමුනු වෙනුවෙන් එය යටත් කිරීම. බලගතු ධනේශ්වර බැංකු හා සංගත පෙල, ලාභ සමුච්ඡුකරනයේ ලා තීරනාත්මක වන අමුද්‍රව්‍ය, තෙල් හා ගෑස් නල මාර්ග, වෙලඳ මාර්ග හා ලාභ ශ‍්‍රම වෙලඳපොලවල පාලනය සඳහා, වානිජ්‍ය හා අවසානයේදී මිලිටරි අරගල දියත් කිරීම පිනිස “තමන්ගේ” රාජ්‍යය යොදාගනී.

11. යුද්ධය කරා දිවීම කේන්ද්‍රගතව ඇත්තේ, සිය ගෝලීය පරමාධිකාරී බලය පවත්වාගැනීම පිනිස ඇමරිකාව දරන ව්‍යායාමය තුලය. 1991දී සෝවියට් සංගමය විසුරුවා හැරීම දැකගනු ලැබුවේ, ලෝකය පුරා අනභියෝගී ඇමරිකානු ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ අවස්ථාවක් ලෙසය. අධිරාජ්‍යවාදී ප‍්‍රචාරකයින් එය උත්කර්ෂයට නැංවූයේ, එක්සත් ජනපදයේ අනභියෝගී බලය පෙරට ගෙන යමින් වෝල් වීදියේ අවශ්‍යතා ඉටුකරන, “නව ලෝක පර්යායක්” තුල, “ඉතිහාසයේ අවසානය” සලකුනු කරන “ඒක ධ‍්‍රැවීය මොහොතක්” නිර්මානය වීම ලෙසය. පෘතුවි ගෝලයේ දැවැන්ත පරාසයක විහිද ගිය සෝවියට් සංගමය, යුරෝපයේ නැගෙනහිර දේශසීමාවන්හි සිට ශාන්තිකර සාගරය දක්වා පැතිර තිබුනි. බෙලහීන කල රුසියාව හා අලුතෙන් නිදහස ලත් මධ්‍යම ආසියානු රටවල් විසින් අරක්ගෙන තිබුනු යුරේසියාවේ මහා භූ ස්කන්ධය, සංගතවල සූරාකෑම හා කොල්ලය සඳහා දැන් යලි “විවෘත” වී ඇත. චීන ස්ටැලින්වාදී තන්ත‍්‍රය, 1989දී කම්කරු පන්තියේ ප‍්‍රතිරෝධය මැඩීම පිනිස පොලිස්-රාජ්‍ය බලය යොදා ගැනීමත්, දැවන්ත ලාභ ශ‍්‍රම තටාකය අන්තර් ජාතික සංගත සඳහා විවෘත කල “නිදහස් වෙලඳ කලාප” විවෘත කිරීමත් හරහා එරට තුල ධනවාදය පුනස්ථාපනය කලේය.

12. විදෙස් පිලිවෙතේ වඩාත්ම බලගතු මෙවලම ලෙස යුද්ධය නීතියුක්ත කිරීම පිනිස, ලොව පුරා පාලක පන්තීන්, ඉරාකයට එරෙහිව 1991 ගල්ෆ් යුද්ධයේදී, ඇමරිකාව හා එහි සහචරයින් ලත් ජයග‍්‍රහනය වැලඳ ගත්හ. වෝල් ස්ටී‍්‍රට් ජර්නලය මෙසේ පැවසීය: “බලය වැඩ කරයි!” වසරකට පසුව පෙන්ටගනය, ඇමරිකාවේ අරමුන මිලිටරිමය වශයෙන් “අපගේ නායකත්වයට අභියෝග කිරීමෙන් හෝ පුලුල් කලාපීය, නැතිනම් ගෝලීය, ක‍්‍රියාකලාපයක් ඉල්ලා සිටීමෙන් දියුනු කාර්මික ජාතීන් අධෛර්යමත් කිරීම” බව ප‍්‍රකාශිත කල ආරක්ෂක මූලෝපායික ලියවිල්ලක් එලිදැක්වීය.

13. කෙසේ වෙතත්, 25 වසරක නිමක් නැති යුද්ධය, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරිහානිය නතර කිරීමට හෝ ගෝලීය සම්බන්ධකම් සඳහා නව පදනමක් දමා ගැනීමට හෝ සමත්වී නැත. ඒ වෙනුවට තියුනු අභ්‍යන්තර අර්බුද වලින් ඉරී ගිය, හිසේ සිට දෙපතුලටම සන්නද්ධ ඇමරිකාව, ජාත්‍යන්තර අස්ථාවරත්වයේ ප‍්‍රධානම සාධකය බවට පත්ව තිබේ. “නව ලෝක පර්යායක්” පිහිටුවීමේ තල්ලුව සමත්වී ඇත්තේ, ගෝලීය අස්ථාවරත්වය උග‍්‍ර කිරීමට පමනි. ඇමරිකාව විසින් දියත් කරන ලද සෑම යුද්ධයකම ප‍්‍රතිපලය, පෙර නොදක්නා ලද හා විනාශකාරී ප‍්‍රතිවිපාකයන්ය.

අධිරාජ්‍යවාදයේ භූදේශපාලනය

14. නිර්දය හා දුර දිග විහිදුනු ඇමරිකානු ඔත්තු සේවාවන්හි මෙහෙයුම් වනාහී, පෘතුවි ගෝලයේ කිසිදු අහු මුල්ලක් ඇමරිකානු ධනවාදයේ අවශ්‍යතා වෙතින් බැහැරව නොපවතින්නේය යන කාරනය පිලිබඳ ප‍්‍රායෝගික ප‍්‍රකාශනයයි. සෑම මහාද්වීපයක්ම හා සෑම රටක්ම දැකගන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආර්ථික හා භූදේශපාලනික අවශ්‍යතාවන්ගේ ප‍්‍රිස්මය තුලිනි. ඇමරිකානු පාලක පන්තිය, සෑම සැබෑ හා විභව අභියෝගයකටම මුහුන දිය හැකි මූලෝපායක් වර්ධනය කිරීම දෙසට හැරී සිටියි.

15. ඇමරිකාවේ ගෝලීය අධිකාරයට වඩාත්ම ප‍්‍රබල තර්ජනය වන්නේ චීනය බව වොෂින්ටනය විසින් හඳුනාගනු ලැබ ඇත. අන්තර්ජාතික ආයෝජන වලින් ද දැවැන්ත නිෂ්පාදන ධාරිතාවක් ගොඩනගා ගැනීම මගින් ද උත්තේජනය කල එම වර්ධනය විසින් ම, චීනය ගෝලීය ආර්ථිකයේ දෙවන විශාලම රට බවටත්, ලෝකයේ විවිධ රාජ්‍යයන්හි ප‍්‍රධාන වෙලඳ හවුල්කරුවා බවටත් පත්කර තිබේ. එරට ගෝලීය අනුහස වැඩෙත්ම බීජිනය, දැනට ඇමරිකාව විසින් අධිකාරය දරනු ලබන ආයෝජන හා වෙලඳාමේ ක‍්‍රියාමාර්ගයන්ට විකල්පයන් ප‍්‍රවර්ධනය කිරීමේ යෙදී සිටියි. ඒ සඳහා චීනය, වොෂින්ටනයේ යුරෝපීය හා ආසියානු සහචරයන්ගේ ද සහාය ලබා ගැනීමට උත්සාහ කරයි. චීනයේ ආසියානු යටිතල ව්‍යුහ ආයෝජන බැංකුව හා යුරේෂියාව තුල “සේද මාවත” ව්‍යාපෘතිය වැනි වැඩ සටහන් වර්ධනය වීම මගින් ලෝක ආර්ථිකයේ සිය තත්වයට බෙහෙවින් වල කැපෙනු ඇතැයි ඇමරිකාව බියට පත්ව සිටියි.

16. තව ද චීන රාජ්‍යය සම්පත් කරා පිවිසෙමින් මිලිටරි හා ගෝලීය පරිමාන විහිදුම් අත්කරගන්නා බව පෙන්වන දත්ත සහිතව, ඇමරිකානු අධිරාජ්‍යවාදී බුද්ධි මන්ඩල ගෙන හැර දක්වන්නේ, නොසලකා හැරියොත් ඒවා එලඹෙන දශක කීපයේදී ඇමරිකාවේ සතුරු බලවේග බවට පත්විය හැකිය යන අදහසයි. ස්ථාවර බලශක්ති හා අමුද්‍රව්‍ය සැපයුම් සඳහා වන චීනයේ ඉල්ලුම මගින්, ආසියාව, අප‍්‍රිකාව හා ලතින් ඇමරිකාව තුල ඇමරිකාවේ අනුහසට වෛෂයිකව වල කපන, දේශපාලන සම්බන්ධතා ගොඩනගා ගැනීමට බීජිනය මෙහෙයවා ඇත. මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය (සීඑස්අයිඑස්) “ආසියාවට හැරීම” හෙවත් “ආසියාව වෙත ප‍්‍රතිතුලනය” පිලිබඳව, පෙන්ටගනයේ අනුමැතියෙන්, මෑතකදී කල විමසුමකින්, නොසඟවන ලද සතුරු කමකින් අවධාරනය කරන්නේ, “කලාපයේ මිලිටරි බල තුලනය එක්සත් ජනපදයට එරෙහිව හැරෙමින් ඇති” බවයි.

17. “චීනයේ නැගීම” පිලිබඳ එවන් තක්සේරුවක පවතින්නේ, අධිරාජ්‍යවාදී අවශ්‍යතා මගින් අභිපේ‍්‍රරනය වූ සැලකිය යුතු අතිශයෝක්තියකි. රුදුරු සූරාකෑම හා කල් පවතින පසුගාමිත්වය පසෙකින් දැවැන්ත ධන සම්භාරයක් ගොඩගැසී තිබීම ද අර්ධ යැපුම් කෘෂිකර්මය පසෙකින් අති නවීන කාර්මික සංකීර්න හා නූතන නගර පැනනැගී තිබීම ද සමග පුපුරන සුලු සමාජ ප‍්‍රතිඝතිතාවන් මගින් දැදුරුවී ගිය රටකි, චීනය. ඇමරිකානු ඔත්තු සේවාවන් හොඳින් දැන සිටින හා ගසා කෑමට උත්සාහ කරන, චීනය තුල ඇති ප‍්‍රාදේශීයවාදී හා කන්ඩායමික බෙදීම් පැන නගින්නේ, එරට නව ධනපති පන්තියේ එදිරිවාදී කොටස් අතර, ධනය හා වරප‍්‍රසාද මුල්කරගත් කාකොටැගැනීම් තුලින්ය. චීනය තුල, නිල වශයෙන් හඳුනාගත්, වාර්ගික සුලු ජන කොටස් 55ක් ඇත. ආර්ථික වර්ධනය තිබියදීම චීනය තුල ධනවාදයේ පුනස්ථාපනය, එරට, ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ පීඩනයට බෙහෙවින් නිරාවරනය කර ඇත.

18. “ප‍්‍රතිතුලනයේ” යොමුව ලෙස පවතින්නේ, චීනයේ පැසිෆික් වෙරලබඩ, ජනගහන ඝනත්වය වැඩි, කාර්මික මධ්‍යස්ථාන වලට එරෙහිව විනාශකාරී ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමේත්, එරට ආර්ථිකය රැඳී සිටින හා තීරනාත්මක දකුනු චීන මුහුදු මාර්ග අවහිර කිරීමේත් නිරන්තර තර්ජනය එල්ල කරන, ඇමරිකාවේ හා එහි සහචරයන්ගේ මිලිටරි බලය ස්ථානගත කිරීමය. පෙන්ටගනයේ “ගුවන්සාගර සටන” ලෙස කැටිකොට තිබෙන “හැරීමේ” මිලිටරි පරිමාව, චීනය, ඇමරිකාවේ ආර්ථික අනසකට හිස නැමිය යුතු බවට බල කිරීම වෙත යොමුවී ඇත. අන්තර්-ශාන්තිකර හවුල්කාරිත්වයේ කොන්දේසි හා “21 වන සියවසේ වෙලඳාම පිලිබඳ නීති ලිවිය යුත්තේ ඇමරිකාව යි, චීනය නොවේ.” යන ජනාධිපති ඔබාමාගේ ප‍්‍රකාශය ද කැටිකර දක්වන්නේ, වෝල් වීදියේ බැංකු හා සංගතවල කොල්ලකාරී අවශ්‍යතාය.

19. “ආසියාවට හැරීම” මුලු කලාපයම මිලිටරීකරනයට ලක්කර ඇති අතර ඇමරිකාවෙන් ද දැවැන්ත සම්පත් ඇද ගනු ඇත. කෙසේ වෙතත්, විවිධ ඇමරිකානු මූලෝපායික කව, ඒවා පවා නොසෑහෙන්නේ යයි ප‍්‍රතික්ෂේප කරති. චීන තන්ත‍්‍රය, ප‍්‍රාග්ධනය ආයෝජනය කරන බවට පොරොන්දුවී ඇති “එක් තීරුවක්, එක් මාවතක්” යන, මැද පෙරදිග සම්පත් හා බටහිර යුරෝපයේ වෙලඳපොලවල් යා කරන ගොඩබිම් හා නව නාවික මාර්ග ගොඩනැගීමේ හා පැරනි සෝවියට් මධ්‍යම ආසියානු සමූහාන්ඩු, රුසියාව හා නැගෙනහිර යුරෝපය හරහා දිවෙන, ප‍්‍රවාහන හා බලශක්ති ජාලයන් පිලිබඳ ඇමරිකානු මිලිටරියේ අනුකම්පාවක් නැත. එවන් අභිලාෂයන් සාක්ෂාත් කිරීම, බෙහෙවින් අවිනිශ්චිත දේශපාලන, මූල්‍යමය හා තාක්ෂනික සාධක රාශියක් මත රඳා පවතින්නේවී නමුත් වොෂින්ටනය ඒවා දැක ගන්නේ, තමන් මුහුනපා සිටින තර්ජනයක් ලෙසය.

20. රුසියාව හා චීනය අතර දේශපාලන හා මිලිටරි සන්ධානයක් තහවුරු කරමින්, ඒ දෙරට, යුරේෂියාවේ ආධිපත්‍ය දරනු ඇති හා අනෙකුත් බලවතුන් ද ඇද ගත හැකි තත්වයක් එවන් ආර්ථික වර්ධනයන් තුලින් නිර්මානය වීමේ හැකියාව ගැන සීඑස්අයිඑස්හි මෑත වාර්තාවකින් සමපේක්ෂනය කර ඇත. “ක්‍රෙම්ලිනය අවසන් වශයෙන් චීනය සමග අතිනත ගැනීම හෝ තමන්ගේ වඩාත් බලගතු අසල්වැසියාට එරෙහිව තුලනය වීමට උත්සාහ කිරීම, දුරදිග යන ප‍්‍රතිවිපාක ජනනය කරනු ඇති” බව එය සඳහන් කරයි. මොස්කෝවේ වත්මන් පාලනයත්, නැගෙනහිර යුරෝපයේ, මධ්‍යම ආසියාවේ හා මැද පෙරදිග අනභියෝගී ඇමරිකානු බල මෙහෙයුමට නොපිලිගත හැකි පරිදි, පැරනි සෝවියට් සංගමයෙන් උරුමව ඇති මිලිටරි බලය පවත්වාගෙන යාමත්, මගින් බාධක මතු විය හැකි බව ගැන දැනටමත් ඇමරිකානු පාලක පැලැන්තියේ සැලකිල්ල යොමුව ඇත.

21. ඇමරිකානු විදෙස් පිලිවෙත සූත‍්‍රගත කරන මිලිටරි හා මූලෝපායික විශ්ලේෂකයින් අතර, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී මූලෝපායඥ හැල්ෆර්ඩ් මැකින්ඩර්ගේ (1861-1948) රචනා පුලුල් වශයෙන් සාකච්ඡාවට බඳුන්ව ඇත. මෑත වසරවල පලවී තිබෙන නානා ප‍්‍රකාර ශාස්ත‍්‍රාලික සඟරාවන්හි ලිපි හා පොත් වල, ජර්මනියේ නැගෙනහිර දේශ සීමාවේ සිට චීනයේ බටහිර දේශසීමාව දක්වා විහිදෙන, මැකින්ඩර් විසින් “හදබිම” ලෙස හඳුන්වන ලද භූමි භාගය, ඇමරිකානු හා එහි බටහිර සහචරයින්ට මූලෝපායිකව තීරනාත්මක වැදගත් කමක් දරන බවට අදහස් පලවී ඇත.

22. පූර්ව දෙවන ලෝක යුද්ධ අවධියේ සිටි දක්ෂිනාංශික ආඥාදායකයෙක් වන ජෝසෆ් පිල්සුඩ්ස්කිගේ “ඉන්ටර්මාරියම්” සැලැස්ම වැනි තවත් සංකල්ප ද කරලියට පැමින තිබේ. “මුහුදු අතර” යන අර්ථය සහිත ඉන්ටර්මාරියම් හි අරමුන, සෝවියට් සංගමය අස්ථාවර කිරීම පිනිස, එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, පෝලන්තය හා යුකේ‍්‍රනය ද ඇතුලු බෝල්ටික් මුහුදු කලාපයේ සිට කලු මුහුද දක්වා දිවෙන, අධිරාජ්‍යවාදීන්ගේ අනුග‍්‍රහය ඇතිව පිහිටුවනු ලබන දක්ෂිනාංශික රාජ්‍යයන්ගේ සන්ධානයකි. මෙම න්‍යායන්හි එක් සමකාලීන උපදේශකයෙක් 2011දී මෙසේ ලිවීය: “යුරේෂියාවට බටහිර මැදිහත් විය යුතු ය. ඊට අවශ්‍ය වන්නේ, විශේෂයෙන්ම යුකේ‍්‍රනය, බෙලාරුස් හා කොකේෂියානු රටවල් ද මධ්‍යම ආසියානු රටවල් ද සමග ‘කුඩා යුරේසියානු රටවල්’ සහිත ‘නව නැගෙනහිර යුරෝපීය’ රාජ්‍යයන්හි මැදිහත් වීමය. මේ ආකාරයෙන් බටහිරට, රුසියාවේ සුමුදු යටි බඩ හා චීනයේ පස්සා දොර අතර, ප‍්‍රමුඛ යුරේෂියානු බලවතුන්ට එරෙහි තාප්පයක් නිර්මානය කිරීමට හැකි වන්නේය. (ඇලෙක්සැන්ඩ්‍රොස් පීටර්සන්, The World Island: Eurasian Geopolitics and the fate of the West, ලෝක දිවයින: යුරේෂියානු භූදේශපාලනය හා බටහිර ඉරනම, (සැන්ටා බාබරා: පේ‍්‍රජර්), පි. 114.)

23. එවන් භූමූලෝපායික සැලසුම් යොදාගැනීම, යුරෝපයේදී මෙන්ම ආසියාවේදී ද පැහැදිලිව දැක ගත හැකිය. යුකේ‍්‍රනය හා බෝල්ටික් රටවල අන්ත ජාතිකවාදී පාලකයින්ට මිලිටරි සහයෝගය ලබාදෙන බවට ඇමරිකාව දෙන පොරොන්දු වලට හා නැගෙනහිර යුරෝපය තුල නේටෝ මිලිටරි තරකිරීම් වලට, රුසියාව මුහුනදී සිටින අතර චීනයට එරෙහිව ඉන්දු පැසිෆික් කලාපයේ ක‍්‍රමානුකූලව ගොඩ නගන ඇමරිකානු හා සහචර මිලිටරිවල වැටලීම් සිදුවෙමින් තිබේ. ඇමරිකානු පාලක පන්තිය, න්‍යෂ්ටික බලවතුන් වන රුසියාව හා චීනය, ප‍්‍රමාදවී නොව, ඉක්මනින්ම දනගැස්විය යුතුය යන නිගමනය කරා එලඹ සිටිති. වොෂින්ටනයේ අරමුන, ඒ දෙරට අර්ධ යටත් විජිත රටවල තත්වයට ඇද දමා, “හදබිමේ” පාලනය සියතට ගෙන ලෝකය පාලනය කිරීමයි.

24. යුරේෂියාව හා පෘතුවි ගෝලය පාලනය කිරීමේදී ඇමරිකානු අධිරාජ්‍යවාදී මූලෝපායේ තීරනාත්මක කොටසක් වන්නේ, දකුනු ආසියාව හා ඉන්දියානු සාගරයයි. සියවස ආරම්භයේ පටන්ම ඇමරිකාව, ඉන්දු උපමහාද්වීපය පුරා සිය මිලිටරි මූලෝපායික මැදිහත්වීම පුලුල් කිරීමට නිර්දය ලෙස කටයුතු කර ඇත. දැන් 15 වසරක් දිග්ගැස්සී ඇති ඇෆ්ගනිස්ථානය වඩිලා ගැනීම, මිලිටරි බැඳීම් පුලුල් කිරීම ද සම්බන්ධ ඉන්දියාව සමග “ගෝලීය මූලෝපායික හවුල්කාරිත්වයක්” ගොඩනගා ගැනීම හා වොෂින්ටනයට වඩාත් යටත් ආන්ඩුවක් ඇටවීම පිනිස 2015 ජනවාරියේ දියත් කල ශ‍්‍රී ලංකාවේ තන්ත‍්‍ර මාරුව ද ඊට ඇතුලත්ය. යුද්ධයක් අවස්ථාවේදී හෝ යුද අර්බුදයකදී, ආර්ථික වශයෙන් චීනය වැටලීමේ නාවික තොන්ඩුව සිරකිරීමේ ඇමරිකානු සැලසුම් රඳා පවතින්නේ, ඉන්දියානු සාගරය පුරා ආධිපත්‍යය තරකිරීම මතය. එසේම, නැගෙනහිර අප‍්‍රිකාව හා මැද පෙරදිග තුල ඇමරිකානු මිලිටරි බල සැලසුම් ද පවතියි. අවසාන, එහෙත් වැදගත්කම අතින් අනූන, නැගෙනහිර ආසියාව, මැද පෙරදිග, අප‍්‍රිකාව හා යුරෝපය සම්බන්ධ කරන මුහුදු මාර්ග මත දඬු අඬුවක් වැනි බන්ධනයක් තබා ගැනීම පිනිස, වොෂින්ටනයට අවකාශ ලබා දෙන බැවින්, ඉන්දියානු සාගරයේ පාලනය අත්‍යවශ්‍ය යයි සැලකේ. වෙනත් ආකාරයෙන් කියතොත්, ඇමරිකානු මූලෝපායඥ ආර්. ඩී. කැප්ලාන්ගේ වචන වලට අනුව, “ලෝකයේ ප‍්‍රධාන බලශක්ති හා වෙලඳාමේ නියුතු අන්තර් රාජ්‍ය මුහුදු මාර්ග” මත ග‍්‍රහනය පවත්වා ගැනීම සඳහායි.

25. ඉන්දියාව හා සමස්ත දකුනු ආසියාවම සිය කොල්ලකාරී මූලෝපායික අභිලාෂයන්ට බැඳ ලීමේ ඇමරිකානු ව්‍යාපාරය මගින්, දැනටමත් පුපුරන සුලු භූදේශපාලනික, ජාතික-වාර්ගික හා ජතිවාදී ගැටුම් වලින් පුපුරු ගසන කලාපය ගිනි අවුලුවයි. වඩාත්ම ඇදුම් කන්නේ, න්‍යෂ්ටික අවි දරන රටවල් දෙකක් වන ඉන්දියාව හා පකිස්ථානය අතර බල තුලනය බිඳ දැමීමය. එය දකුනු ආසියාවේ අවි තරගය තීව‍්‍ර කරයි. සීඑස්අයිඑස්, 2013 නිකුත් කල වාර්තාවකින්, දකුනු ආසියාව තුල ඇමරිකාවේ ආක‍්‍රමනික කටයුතුවල ඇවිලෙන සුලු බලපෑම කෙරෙහි වොෂින්ටනයේ නොතකන සුලු ආකල්පය ගෙන හැර දක්වයි. වාර්තාව සඳහන් කරන්නේ, ඉන්දියාව හා පකිස්ථානය අතර න්‍යෂ්ටික යුද්ධයකින් මිලියන සිය ගනනක් නොවේ නම් දුසිම් ගනනක් මිය ගිය ද එය “අවශ්‍යයෙන්ම බරපතල මහා මූලෝපායික ප‍්‍රතිවිපාක ඇති නොකරයි.” ඇමරිකාව සඳහා එය “සමහරවිට වාසිදායක ද වනු ඇත.”

26. ගෝලීය යුද සැලසුම්කරනයේ නියමු කුටිය ඇමරිකානු අධිරාජ්‍යවාදයයි. එහෙත් එය ලෝක ක‍්‍රමයක් ලෙස ධනවාදයේ පාලනය කල නොහැකි අර්බුදයෙහි වඩාත්ම සංකේන්ද්‍රිත ප‍්‍රකාශනයයි. එවැනිම අභ්‍යන්තර හා බාහිර ප‍්‍රතිවිරෝධයන්ට මුහුනපා සිටින, යුරෝපීය හා ජපන් අධිරාජ්‍යවාදය අනුගමනය කරන්නේ, තමන්ගේ පාලක පන්තීන්ගේ ඊට නොඅඩු ප‍්‍රතිගාමී හා කොල්ලකාරී අවශ්‍යතාවන්ය. සියල්ලන්ම උත්සාහ කරන්නේ, ඇමරිකානු බඩජාරී කම ගසා කමින්, ලෝක ආර්ථික හා දේශපාලන බලය යලි බෙදාගැනීමේ උග‍්‍ර පොරය තුල ගිලී ගොස් ඇති සිය පංගුව බේරා ගැනීමටයි. ජර්මනිය ඇමරිකාවේ සහචරයා ලෙස සිටිනු ඇද් ද නැතිනම්, යලි වතාවක්, යුරෝපීය මහාද්වීපයේ එහි පරම සතුරා බවට පත්වන්නේ ද? ඇමරිකාව හා බි‍්‍රතාන්‍ය අතර හැම විටම පලදු වී ඇති “විශේෂ සම්බන්ධකම” පාර අද්දර වැටෙනු ඇත් ද? දිගහැරෙමින් ඇති ගෝලීය ගැටුම හමුවේ, අධිරාජ්‍යවාදී ආන්ඩුවල අනාගත සන්ධාන ගැන නිශ්චිතව අනාවැකි කීම අපහසුය. පලමු ලෝක යුද්ධය අවධියේදී ලෙනින් පැහැදිලි කල පරිදි, අධිරාජ්‍යවාදී බලවත්තු, “එකිනෙකා සමග, තම සහචරයින් සමග හා තම සහචරයන්ට විරුද්ධව රහසිගත ගිවිසුම් ජාලයක පැටලී සිටිති.

27. හිට්ලර්ගේ තුන්වන රීකය වැටීමෙන් වසර 70ට පසුව ජර්මානු පාලක පන්තිය, යලි වතාවක් ඉල්ලා සිටින්නේ, යුරෝපයේ බලවතෙක් ලෙස මෙන්ම ලෝක බලවතෙක් ලෙස ප‍්‍රමුඛත්වය තම රාජ්‍යයට ලැබිය යුතු බවය. ජර්මානු ජනතාව තුල ගැඹුරටම මුල් බැස ඇති යුද විරෝධී මානසිකත්වය හමුවේ බර්ලිනය, මැද පෙරදිග හා අප‍්‍රිකාවේ සිය අවශ්‍යතා අවධාරනය කිරීම පිනිස මිලිටරි බල ඇනි යොදවා තිබේ. ප‍්‍රති සන්නද්ධ කිරීමේ වැඩසටහන් වෙනුවෙන් දැවැන්ත මුදල් කන්දරාවක් යොදවමින් ආන්ඩුව, ජර්මානු අධිරාජ්‍යවාදී අභිලාෂයන් පුනර්ජීවනය කිරීම යුක්ති සහගත කිරීමේ අරමුනෙන්, දේශපාලන සංස්ථාපිතය, මාධ්‍ය හා ශාස්ත‍්‍රාලිකය පුරා, නාසි තන්ත‍්‍රයේ ක්ෂමාලාපකයින් වැඩට බස්සවා ඇත.

28. තමන්ගේ පාර්ශවයෙන් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය, තවමත් ලන්ඩනය පදනම් කරගත් මූල්‍ය හා බැංකු සමාගම්වල සැලකිය යුතු ගෝලීය ක‍්‍රියාන්විතයන් ප‍්‍රසාරනය කිරීම පිනිස, ඇමරිකාවේ පරිහානිය අවස්ථාවක් කර ගැනීමට වෙහෙසෙයි. ප‍්‍රන්සය, වයඹ දිග අප‍්‍රිකාව තුල සිය පැරනි යටත් විජිත ආධිපත්‍යය යලි අත්කර ගැනීම පිනිස මෙහෙයවී ගනියි. ඉතාලියට සිය බල පරාක‍්‍රමය පෙර පරිදි ලිබියාව තුල යලි පිහිටුවා ගැනීමට අවශ්‍යව තිබේ. මතුපිටින් පෙනෙන පරිදි විශේෂ ඇමරිකානු සහචරයා වන බි‍්‍රතාන්‍යයේ නායකත්වය යටතේ, සියලු ප‍්‍රමුඛ යුරෝපීය බලවත්තු, තමන් වොෂින්ටනයේ අන නොතකන බව ප‍්‍රදර්ශනය කරමින්, පසුගිය වසරේදී, චීනය විසින් පිහිටුවීමට සූදානම් වන ආසියානු යටිතල ආයෝජන බැංකුවට සම්බන්ධ වූහ. ඒ අතරම, යුරෝපීය බලවතුන් අතරම මතභේද වැඩෙමින් තිබේ. විශේෂයෙන්ම ජර්මනිය අවධාරනය කරන ප‍්‍රමුඛත්වය ගැන සතුරුකම් දක්වන බි‍්‍රතාන්‍යය හා ප‍්‍රන්සය, යුරෝපීය සංගමය කැබලි කරමින් සිටිති. මහාද්වීපය, ධනේශ්වර සම්බන්ධතාවන්ගේ පදනම මත එක්සත් කල හැකිය යන මිත්‍යාව සුන්වී ගොසිනි. බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් පිටවන්නේ ද යන්න මත වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනමත විමසුම, යුරෝපා සංගමය මුලුමනින්ම බිඳ වැටීම හා ලෝක යුද්ධ දෙකකට තුඩු දුන් නොවිසඳුනු ජාතික ප‍්‍රතිවිරෝධතා, යුරෝපීය දේශපාලනයේ හරි මැදට, කඩා වැදීම සිදුවිය හැකිය.

29. ඇමරිකාව අධිකාරය දරන ලෝක පර්යායට සිය පූර්න බැඳීම ගැන දිව්රන නමුත්, ජපානයේ පාලක ප‍්‍රභූව, එරට ස්වාධීන අධිරාජ්‍යවාදී භූමිකාව මත පනවා ඇති පශ්චාත් යුද්ධ සීමා ප‍්‍රතික්ෂේප කරමින්, තමන්ගේ අභිලාෂයන් ප‍්‍රචන්ඩ ලෙස පෙරට ගෙන යාමේ මිලිටරි සූදානම ඇතිකර ගනිමින් සිටියි. 1941දී ආසියාව පාලනය කරන්නේ කුමන බලවතා ද යන ප‍්‍රශ්නය මත, ඇමරිකානු හා ජපන් අධිරාජ්‍යවාදීන් යුද්ධයක පැටලුනි. කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව හා නවසීලන්තය වැනි අඩු මට්ටමේ අධිරාජ්‍යවාදී බලවතුන්, ඇමරිකානු අධිරාජ්‍යවාදයට සහාය දීමේ කාරනය, වර්තමානයේ තම ආර්ථික හා මූලෝපායික අවශ්‍යතාවන්ට වඩාත්ම ගැලපෙන්නේ එයයි යන කුලීකාර තීන්දුවෙන් ගලා එයි. එසේම, ඇමරිකානු අධිරාජ්‍යවාදය, ඉන්දියාව, බ‍්‍රසීලය, ඉරානය හා ඉන්දුනීසියාව වැනි, දෙවන ලෝක යුද්ධය අවසානය දක්වා තමන්ගේ ගනන් බැලීම් වලට හසු නොවූ රටවල තත්වය හා මිලිටරි වටිනාකම සැලකිල්ලට ගෙන තිබේ.

අධිරාජ්‍යවාදය හා ධනවාදයේ බිඳ වැටීම

30. එදිරිවාදී ජාතික රාජ්‍යයන් අතර ආතතීන් හා ගැටුම්, ධනපති ක‍්‍රමයේ ගෝලීය බිඳවැටීම මගින් ගිනි අවුලුවයි. ස්ටැලින්වාදීන් විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීම, ධනවාදයේ ජයග‍්‍රහනයක් නොව, සලකුනු කරනුයේ, ධනවාදයේ පශ්චාත් දෙවන ලෝක යුද්ධ පර්යායට මුක්කුව දුන් එම තීරනාත්මක දේශපාලන යාන්ත‍්‍රනයේම බිඳ වැටීම බව, කියා සිටියේ ජාත්‍යන්තර කමිටුවම පමනි. 1991දී, සෝවියට් සංගමය විසුරුවා හැරීම, එක්සත් ජනපදයේ ආර්ථික පරිහානියත්, ප‍්‍රමුඛ ධනපති බලවතුන් අතර ලෝක යුද්ධ දෙකක් ඇති කල එම ආවේනික ප‍්‍රතිඝතිතා සාමකාමී ලෙස යටපත් කිරීමට වොෂින්ටනයට පැවති හැකියාවේ නොවැලැක්විය හැකි අවසානය සමගත් සම්පාත විය.

31. සෝවියට් සංගමය විසුරුවාලීමෙන් පසුව, “නිදහස් වෙලඳපොලේ” ඇතිවුනා යයි කිවූ අවසන් ජයග‍්‍රහනයට පටහැනිව, පසුගිය 25 වසර තුල දැක ගත හැකි වූයේ, නිමක් නැති අර්බුද මාලාවකි. 1997-98 ආසියානු ආර්ථික අර්බුදය පිටුපසින්, රුසියාව නය පැහැර හැරීම හා දිගු කාලීන ප‍්‍රාග්ධන කලමනාකරන සංගතය 1998 බංකොලොත්වීම ද 2001 ඩොට් කොම් බුබුල පිපිරී යාම ද දැකගත හැකිවූ අතර, එය කුලුගැන්වුනේ, ඇමරිකානු අවමුඛ උකස්කර වෙලඳපොලේ බිඳවැටීමෙන් හා 2008 අවසන් භාගයේ ඇතිවූ ලෝක පරිමාන මූල්‍ය අර්බුදයෙනි.

32. පසුගිය වසර 7 පුරා, ලෝකයේ මධ්‍යම බැංකු, ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුවේ මූලිකත්වය යටතේ, බැංකු හා මූල්‍ය සමාගම්වල තත්වය නගා සිටුවීම පිනිස, ඩොලර් ටි‍්‍රලියන 12ට වැඩි මුදල් නෝට්ටු කන්දරාවක් නිකුත් කර තිබේ. කොටස් අගය හා සුපිරි ධනවතුන්ගේ නාමික වත්පොහොසත්කම පිම්මේ ඉහල නැගුන ද ගෝලීය නයේ ප‍්‍රමානය ඩොලර් ටි‍්‍රලියන 57න් තරම් වැඩි වෙද්දී පවා, නිෂ්පාදන කටයුතු එක දිගට පල්වෙමින් තිබේ. නයෙන් දිරිගැන්වුන උත්තේජක ප‍්‍රතිපත්ති මගින්, චීනයේ වර්ධනය පවත්වාගෙන ගිය නමුත් දැන් එය, කාර්මික අමුද්‍රව්‍ය මිල ගනන් පහතට ඇද දමමින් තියුනු ලෙස මන්දගාමී වෙයි. සව්දි අරාබිය, රුසියාව, දකුනු අප‍්‍රිකාව, බ‍්‍රසීලය, වෙනිසියුලාව හා කැනඩාව හා ඕස්ටේ‍්‍රලියාව පවා ඇතුලත්, අමුද්‍රව්‍ය අපනයනය මත රඳා පැවති රටවල්, ආර්ථික අවපාතයකට ඇදී යමින් තිබේ.

33. වඩාත් විනාශකාරී ගෝලීය මූල්‍ය අර්බුදයක් ලඹ දෙමින් තිබේ. නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රයට අනුව, “2008 මූල්‍ය අර්බුදයේ පටන් අක‍්‍රිය නය, ආර්ථික කටයුතු මත පැටවුනු බරක් විය. චීනය තුල පමනක් ඇති අක‍්‍රිය නය ප‍්‍රමානය, රටේ වාර්ෂික ආර්ථික නිමැවුමෙන් හරි අඩක් පමන වන, ඩොලර් ටි‍්‍රලියන 5 ඉක්මවා ඇත.” එය තවදුරටත් අනතුරු ඇඟවූයේ, 2008 පටන් ගෝලීය ආර්ථික වර්ධනයේ ප‍්‍රධාන එංජිම වූ චීනයේ, “අක‍්‍රිය නය,” ටි‍්‍රලියන 4.4ක තරම් මූල්‍ය අලාභ සිදුකල හැකි බවය. අනෙකුත් විශ්ලේෂකයින් ද අනතුරු අඟවන්නේ, ලෝක මූල්‍ය ක‍්‍රමය, ඩොලර් ටි‍්‍රලියන ගනන් නය හිමිකරගෙන සිටන, අසාර්ථකවී ඇති බලශක්ති සංගතයන්ට, නිරාවරනය වී ඇති බවටය.

34. දශකයකට පසුව, දෙවන ලෝක යුද්ධය පැන නැගීමට තුඩු දුන් භූදේශපාලන ආතතීන් මුදා හල 1929 වෝල් වීදිය බිඳ වැටීම පරිද්දේන්, 2008 කඩා වැටීම, අධිරාජ්‍යවාදී මිලිටරිවාදය ගිනියම්කර ඇත. පසුගිය සත් වසර අත්විඳ තිබෙන්නේ, එදිරිවාදී අන්තර්ජාතික සංගත අතර වෙලඳපොලේ පංගුව පහත වැටීම හා ලාභ අරබයා පැතිරගිය හා වඩ වඩාත් දැඩි වන කටුක සටන්ය. ඇමරිකාවේ උපදේශක සමාගමක් වන මැකින්සි ග්ලෝබල් ආයතනය, මෑතකදී පල කල වාර්තාවකින්, ගෝලීය පසුබෑම, උග‍්‍රවන තරගය හා කම්කරු පන්තිය වැඩි වැටුප් සඳහා යොදන බලපෑම් යන සියල්ල නිසා, ව්‍යාපාරවල ලාභදායකත්වය පිලිබඳ “ස්වර්නමය යුගය” අවසන් වීම ගැන ඇමරිකානු කනස්සල්ල පලකර ඇත. 1980-2013 අතර ලෝක දල දේශීය නිෂ්පාදිතයයෙන්, ලාභයේ පංගුව, සියයට 7.6 සිට සියයට 10 දක්වා ඉහල නැගී ඇති නමුත්, ඉදිරි දශකය තුල තත්වය රැඩිකල් වෙනසකට භාජනය වනු ඇති බව ඔවුහු කියා සිටිති. ස්ථාපිතව ඇති සමාගම්, විශේෂයෙන්ම චීනය වැනි “නැගී එන වෙලඳපොලවල” පදනම් වන සමාගම්, අභියෝගයට මුහුනපා සිටියි. කම්කරු පන්තියේ ප‍්‍රතිරෝධය නැගී ඒම, දශක ගනනාවක් පවත්වාගෙන ගිය ශ‍්‍රම වියදම් පහත දැමීමේ ක‍්‍රියාවලියට හරස්ව පිහිටයි. මැකෙන්සි වාර්තාව මෙසේ නිගමනය කරයි. “වේගයෙන් වෙනස්වන මෙම වාතාවරනය තුල, සාපේක්ෂව කල් පවතින වාසි සහගත තත්වයක් ගොඩනගා ගැනීමෙහි අර්ථය කුමක් ද වැනි අලුත් ප‍්‍රශ්න වලට ලෝකය පුරා ආන්ඩු මුහුන දෙනු ඇත. සාපේක්ෂ වාසිදායකත්වය” අත්කර ගැනීමේ එක් මාධ්‍යයක් ලෙස පාලක පන්ති, මිලිටරි බලය ගැන අවධානය යොමු කරති.

අධිරාජ්‍යවාදය, ඒකාධිකාරය හා මූල්‍ය කතිපයාධිකාරය

35. ප‍්‍රථම ලෝක සංග‍්‍රාමයේ ව්‍යසනය මැද, අධිරාජ්‍යවාදය පිලිබඳව, ව්ලැඩිමීර් ලෙනින්ගේ ශ්‍රේෂ්ඨතම රචනාව පලවීමේ ශත සංවත්සරය, 2016 වසරට යෙදී ඇත. ලෙනින් පැහැදිලි කල පරිදි, අධිරාජ්‍යවාදය, හුදු ප‍්‍රතිපත්තියක් නොව ලෝක ධනවාදී වර්ධනයේ නිශ්චිත අදියරකි. “අධිරාජ්‍යවාදය වනාහි, ඒකාධිකාරී ධනවාදයයි; පරපුටු හෝ දිරාපත් වන ධනවාදයයි; මියෑදෙන ධනවාදයයි.” එය සංලක්ෂිතව ඇත්තේ, “නිදහස් තරඟය” ඒකාධිකාරය මගින් විස්ථාපනය කිරීම හා යෝධ සංගත හා බැංකු මගින් සමස්ත ලෝක වෙලඳපොලම හැසිරවීම, යුද්ධය මගින් ඒවා යලි බෙදාගන්නා තුරු එය ‘මිත‍්‍ර ශීලීව’ තමන් අතර බෙදාගැනීම මගිනි. අධිරාජ්‍යවාදය මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආඥාදායකත්වයයි, “එය පෙනී සිටින්නේ ආධිපත්‍යය සඳහා මිස නිදහස සඳහා නොවේ” ලෙනින් එසේ ලිවීය.

36. ලෙනින් සිය ලිපි රචනා කලේ, පසුගිය සියවස පුරා ප‍්‍රමානාත්මකව වර්ධනයවූ ක‍්‍රියාවලියක ආරම්භක අදියරයන්හිදීය. ධනේශ්වර නිෂ්පාදනයේ ගෝලීයකරනයත් සමග අන්තර්ජාතික සංගත, සමස්ත ග‍්‍රහ ලෝකයම පාලනය කරන තැනට නැගී ගියේය. එය දැවැන්ත නිෂ්පාදන ජාල හා සැපයුම් මාර්ග ගොඩනගමින්, ලෝකය පුරා කම්කරුවන්ගේ ශ‍්‍රමය සූරාකෑම සංවිධානය කලේය. මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආඥාදායකත්වය දැවැන්ත පරිමාවන් කරා ඉහල ගියේය. තාක්ෂනය පිලිබඳ ස්විස් ෆෙඩරල් ආයතනයක පරියේෂකයන් විසින් සිදුකරනු ලැබූ අධ්‍යයනයකට අනුව, ප‍්‍රධාන අන්තර්ජාතික සංගත 43,060න් 1,318ක්, ලෝකයේ විශාලතම නිෂ්පාදන සමාගම් බහුතරයක් හිමිකරගෙන සිටියි. ඒවා, ලෝක ආදායමෙන් සියයට 60ක් නියෝජනය කරයි. බොහෝකොටම ඇමරිකාව, බටහිර යුරෝපය හා ජපානය තුල පැලපදියම්වී ඇති බැංකු හා ආයෝජන අරමුදල් වලින් සමන්විත එම සමාගම් ජාලයට අන්තර්ගත වන සංගත 1,318න් 147ක්, සමස්ත ධනයෙන් සියයට 40ක් පාලනය කරයි.

37. 2008 ආර්ථික අර්බුදයෙන් පසුව, සංගත සංකේන්ද්‍රන ක‍්‍රියාවලිය උත්සන්නවී ඇතුවා පමනි. සමාගම්, ඒකාබද්ධවීම් හා අත්පත්කර ගැනීම් රැල්ලක් තුලින් ගමන් කරයි. 2015 වසර, එම ක‍්‍රියාවලියේ උපරිමය සලකුනු කලේය. එය කලින් පැවති (2007) ටි‍්‍රලියන 4.6ක වාර්තාගත මට්ටම ඉක්මවා ටි‍්‍රලියන 4.9ක අගයක් කරා ලඟා විය.

38. ලෙනින් මෙසේ ලිවීය, අධිරාජ්‍යවාදය යටතේ, “ප‍්‍රාග්ධනයේ සියලු රූපාකාරයන් මත, මූල්‍ය ප‍්‍රාග්ධනයේ අධිකාරය ස්ථාපිත වීමෙහි අර්ථය වන්නේ, පොලී කාරයා හා මූල්‍ය කතිපයාධිකාරයාගේ ආධිපත්‍යයයි; ‘බලගතු’ රටවල් සුලු සංඛ්‍යාවක් අන් සියල්ලන්ටම ඉහලින් නැගී සිටීම බවයි.” ආර්ථික හා සමාජ ජීවිතයේ සියලු අංශයන්ට ඉහලින් “පොලී කාරයා”, නැතිනම් සමපේක්ෂකයාගේ ආධිපත්‍යය නිරූපනය කරන මූල්‍යකරනය වෙත ඇති ප‍්‍රවනතාවය, ඇමරිකාව තුල තරම් අන් කවර තැනකවත්, එතරම් ප‍්‍රමානයකින්, ක‍්‍රියාත්මක වන්නේ නැත. 1980දී අමරිකානු ව්‍යාපාරික ලාභයෙන් සියයට 6ක් පමනක් උරා ගත් මූල්‍ය ක්ෂේත‍්‍රය, අද සියයට 40කටත් වැඩි ප‍්‍රමානයක් හිමිකර ගනියි.

39. ලෝක ජනගහනයෙන් අතලොස්සක් අත එක්රැස්වී ඇති ධනයේ ප‍්‍රමානය ද අදහාගත නොහැකි තරම් ය. නොමග යවන සුලුය. ධනවත්ම පුද්ගලයින් 62ක්, සමාජයේ පතුලෙහි සිටින සියයට 50කට නැතිනම් මිනිසුන් බිලියන 3.7ට හිමි පංගුවට වැඩි කොටසක් සතුකර ගනියි. ඇමරිකාවේදී “ආර්ථික සුවවීම” වාසිදායක වී ඇත්තේ ධනපති පන්තියට පමනි. ඉහලම සියයට 0.1ට හිමිවන ධනයේ පංගුව, 2007දී තිබුන සියයට 17 සිට 2012දී සියයට 22 දක්වා වැඩිවී ඇත. ඒ කාලය තුලම, සාමාන්‍ය කුටුම්භයකට ලැබුන ආදායම සියයට 12කින් පහත ගියේය. මේ වසරේදී ලෝක ජනගහනයේ ඉහලම සියයට 1 පහලම සියයට 99ට වැඩි ධනයක් හසුරුවනු ඇති බවට ගනන් බැලේ.

40. මිලිටරිවාදය දෙසට හැරීම, සමාජ අසමානතාව බෙහෙවින් පුලුල් කර පන්ති විරසකයන් උත්සන්න කර ඇත. නිමක් නැති මිලිටරි පිරිවැය පියවා ගන්නේ, කම්කරුවන්ගේ සමාජ අයිතීන්ගේ වියදමෙනි. ගෝලීය මිලිටරි වියදම්, දැනටමත් ඩොලර් ටි‍්‍රලියන 1.7ඉක්මවා ඇති අතර ඉන් බිලියන 600ක්ම කොල්ලකා ගන්නේ ඇමරිකා රාජ්‍යය මගිනි.

කම්කරු පන්තිය හා අධිරාජ්‍යවාදයට එරෙහි සටන

41. ධනපති ජාතික රාජ්‍ය පද්ධතියේ අර්බුදය, එකිනෙකට සතුරු ඉදිරිදර්ශන දෙකක් මතු කරයි. අධිරාජ්‍යවාදය, ධනපති ජාතික රාජ්‍ය පද්ධතියට ආවේනික ආර්ථික හා භූමූලෝපායික අවශ්‍යතාවන්ගේ ගැටුම ජයගැනීමට උත්සාහ කරන්නේ, අන් සියලු එදිරිවාදීන් මතින් ලෝකයේ එක් අධිපතියෙකු ජයග‍්‍රහනය කරවීමෙනි. අධිරාජ්‍යවාදී භූමූලෝපායික ගනන් බැලීමේ අරමුන මෙය වන අතර, එහි අනිවාර්ය ප‍්‍රතිපලය ගෝලීය යුද්ධයයි.

42. ධනපති පන්තියේ භූදේශපාලනයට එරෙහිව, ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනයට මහජන පදනම වෛෂයිකව නිර්මානය කරන සමාජ බලවේගය වන්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තියයි. එය සනිටුහන් කරන්නේ, සමස්තයක් ලෙස ජාතික රාජ්‍ය පද්ධතියේම අවසානය හා ගෝලීය ආර්ථිකය, සමානතාවයේ හා විද්‍යාත්මක සැලසුම් කරනයේ පදනම මත පිහිටුවීමය. අධිරාජ්‍යවාදය, ධනපති පර්යාය රැක ගැනීමට උත්සාහ කරන්නේ යුද්ධය තුලින්ය. කම්කරු පන්තිය, ගෝලීය අර්බුදය විසඳීමට උත්සාහ කරන්නේ සමාජ විප්ලවය තුලින්ය. විප්ලවවාදී පක්ෂයේ මූලෝපාය වර්ධනය කරන්නේ, අධිරාජ්‍යවාදී ජාතික රාජ්‍යයේ භූදේශපාලනය නිෂේධනය කරමිනි. ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි, විප්ලවවාදී පක්ෂය අනුගමනය කරන්නේ, “යුද්ධයේ සිතියම නොව පන්ති අරගලයේ සිතියමයි.”

43. මාක්ස්වාදය පැහැදිලි කරන ආකරයට, ධනවාදය තමන්ගේම මිනී වල හාරන්නා නිර්මානය කරයි. ධනවාදයේ අර්බුදය උත්සන්න කර ඇති, නිෂ්පාදනයේ ගෝලීයකරනය, ජාත්‍යන්තර කම්කරු පන්තිය දැවැන්ත ප‍්‍රමානයකින් වැඩි කර ඇත. 1980 සිට 2010 වන තෙක්, ලෝකයේ ශ‍්‍රම බලකාය බිලියන 1.2 සිට දල වශයෙන් 2.9 දක්වා වැඩී ගොස් ඇත. කම්කරුවන් මිලියන 500ක් චීනයෙන් හා ඉන්දියාවෙන් පමනක් ඊට එක්වී ඇත. කම්කරු පන්තියේ වර්ධනය, ආසියාවෙන්, ලතින් ඇමරිකාවෙන් හා අප‍්‍රිකාවෙන් පැමිනි, අලුත් කම්කරුවන් මිලියන සිය ගනනක් නිසා පමනක් නොව, අධිරාජ්‍යවාදී රටවල පුලුල් ජන කොටස් නිර්ධනීකරනය වීම ද නිසාවෙන් සිදුවී ඇත. සමස්ත පෘතුවි ගෝලයම, නිෂ්පාදන බලවේග හිමි හා පාලනය කරන ජනගහනයේ තුනී ස්ථරයක් හා සිය ශ‍්‍රම ශක්තිය වෙලඳපොලේ අලෙවි කිරීමට බලකෙරී ඇති අති මහත් බහුතරයක් අතර බෙදී ගොසිනි.

44. කම්කරු පන්තිය, අනිවාර්යයෙන්ම විප්ලවවාදී පරිමානයන් අත්කරගන්නා අරගල තුලට තල්ලු කෙරෙනු ඇත. සෑම තැනකම පාලක පන්තීන්ට, තම තත්වය රැක ගැනීමට බල කෙරෙනු ඇත්තේ, කම්කරුවන්ගෙන් නිමක් නැති “කැපකිරීම්” උදුරා ගැනීමෙනි. එය සිදු වන්නේ, ඔවුන්ගේ “දේශය” වන ජාතික රාජ්‍ය තුල, මහජන විරැකියාවේ, කප්පාදු හා ජීවන තත්වයන් කාබාසීනියා වීමේ ක‍්‍රියාවලිය තුලිනි. සමස්ත තරුන පරම්පරාවකටම අනාගතය අහිමිකර තිබේ. දැවැන්ත සම්පත්, මිලිටරි වියදම් වෙනුවෙන් කොල්ල කයි. අත්‍යවශ්‍ය සමාජ යටිතල ව්‍යූහය දිරාපත්වේ. දුප්පත්කම වැඩී යන අතර සංකීර්න පාරිසරික ගැටලු විසඳීමකින් තොරව දිග් ගැස්සෙන්නට ඉඩ හැර තිබේ.

45. දශක ගනනාවක් තිස්සේ ගොඩනැගී ඇති සමාජ ආතතීන්, මතුපිටට පුපුරා ඒමේ පැහැදිලි ලකුනු දක්නට ලැබේ. 2011දී ඊජිප්තුව තුල කම්කරුවන්ගේ හා තරුනයින්ගේ මහජන ව්‍යාපාරය සලකුනු කලේ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලයන්හි නව අවධියක ආරම්භයයි. ඉන් පසුව, කම්කරු පන්තියේ බලගතු පෙලගැසීම්, අසමානතාවයට හා සංගත සූරාකෑමට විරුද්ධව, රටක් රටක් පාසා පැන නැගුනි. ඒවා, යුරෝපයේ කප්පාදු විරෝධී නැගිටීම් ද චීනයේ, රුසියාවේ හා දකුනු අප‍්‍රිකාවේ වැඩවර්ජන වර්ධනය වීමේ පටන් ඇමරිකාව තුල මෝටර් රථ හා අනෙකුත් කම්කරු කොටස් අතර කැරලිකාරී මනෝගතීන් පහලවීම දක්වා දිව යයි.

අධිරාජ්‍යවාදයේ ව්‍යාජ වාම සංවිධාන

46. ජාත්‍යන්තරවම, කම්කරුවන් හා තරුනයින් අතර යුද්ධය කෙරෙහි ඇත්තේ ගැඹුරු විරුද්ධත්වයකි. බොරු මත වාරු වෙමින්, බුෂ් ආන්ඩුව, ඉරාකය ආක‍්‍රමනය කිරීමට සූදානම් වෙද්දී 2003 වසරේ, මිලියන ගනන් සම්බන්ධවූ මහජන පෙලපාලි ලෝකය පුරා පැවැත්වුනි. එම මනෝ භාවය අතුරුදහන්වී නැත. එසේ නම්, පසුගිය දශකය පුරා, යුද්ධයට එරෙහි සියලු වර්ගයේ විරෝධතා යටපත්වීම යටින් පවතින හේතු කවරේ ද?

47. පිලිතුර ඇත්තේ, ව්‍යාජ “වම” ලෙස පෙනී සිටින ධනේශ්වර ගැති හා අධිරාජ්‍ය ගැති දේශපාලනය තුලය. වියට්නාම් යුද්ධය අවධියේ පැවති යුද විරෝධී ව්‍යාපාරය බොහෝකොටම පදනම් වූයේ, රැඩිකල්වූ මධ්‍යම පන්තික කොටස් මතය. පසුගිය දශක හතර තුල, මේ ස්ථරයන් ප‍්‍රගාඪ සමාජ හා දේශපාලන පරිවර්තනයකට බඳුන්වී ඇත. කම්කරුවන්ගේ වැටුප් හා සහන මත එක දිගටම පටවන ලද සීමා, සූරාකෑමේ අනුපාතය ඉහල නැංවීම හා කම්කරු පන්තියෙන් වඩ වඩාත් අතිරික්ත වටිනාකම් මිරිකා ගැනීමෙන් පෝෂනය කල කොටස් වටිනාකම්වල දැවැන්ත නැගීම, මධ්‍යම පන්තියේ වරප‍්‍රසාදිත කොටස් වලට, පෙර කල සිය වෘත්තීය ජීවිතයේදී සිතාගැනීමට පවා නොහැකිවූ තරම් ධන සම්පත් වෙත ප‍්‍රවිෂ්ටයක් අත්කර දුන්නේය. දිග් ගැස්සුනු කොටස් වෙලඳපොල උත්පාතය මගින්, ඉහල මධ්‍යම පන්තික කොටස් අතරින් නව හා කැපවූ සේනාංකයක් බඳවා ගැනීමේ හැකියාව, අධිරාජ්‍යවාදයට ලබා දුන්නේය. මෙම බලවේගයන් හා ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ප‍්‍රකාශනයක් ලබා දුන් දේශපාලන සංවිධාන, තමන් සතු සියලු බලය යොදාගත්තේ, යුද්ධය කෙරෙහි විරුද්ධත්වය මැඩීමට පමනක් නොව, කොල්ලකාරී අධිරාජ්‍යවාදී ක‍්‍රියාන්විතයන් යුක්තිසහගත කිරීමටය.

48. ව්‍යාජ වාම සංවිධාන වල ද ඔවුන්ගේ අනුගාමිකයන්ගේ ද දේශපාලන කටයුතු, විශේෂයෙන්ම යොමු කරනු ලැබුවේ, බෝල්කන්හි, ලිබියාවේ හෝ සිරියාවේ මැදිහත්වීම යුක්ති යුක්ත කිරීම පිනිස, ඇමරිකාව හා එහි සහචරයින් යොදාගත් මුසාවාද වසං කිරීමටය. ඒ “මානව අයිතීන්” රැකීම පිලිබඳ ප්‍රෝඩාකාරී තර්ක ඉදිරිපත් කරමිනි. ව්‍යාජ වාම නායකයෝ “ප‍්‍රතීක අධිරාජ්‍ය විරෝධය” (“knee-jerk anti-imperialism”) හෙලා දුටුවෝය. ඒ පෙන්ටගනය විසින් සැලසුම් කරන ලද ”ආරක්ෂා කිරීමේ අයිතිය” : (“Right-to-Protect”) පිලිබඳ එක් හෝ තවත් මෙහෙයුමක් පිටුපස පෙල ගැසීමටය. ගිල්බර්ට් ආච්කා වැනි ප‍්‍රමුඛ ව්‍යාජ වාම නායකයෝ, අධිරාජ්‍යවාදී මූලෝපායික සැසිවාරයන්ට සහභාගී වන තරම් දුර ගමන් කලහ. තෙමේම හුවාදක්වා ගන්නා මහාචාර්ය ජුආන් කෝල්, ලිබියාවේ අධිරාජ්‍යවාදී යුද්ධයේ සොල්දාදුවෙක් ලෙස සේවය කිරීමට ප‍්‍රසිද්ධියේම ඉදිරිපත් විය. සුලු ධනපති ශාස්ත‍්‍රාලිකයින්, ආගමික නායකයින් හා විවිධ අධිරාජ්‍යවාදී පක්කලියන් විසින්, සදාචාරාත්මක උද්ධච්ඡකමෙන් යුක්තව නරුම ලෙස, තම ආන්ඩුවල සාපරාධී ක‍්‍රියාන්විතයන් යුක්තිසහගත කිරීමට ඉදිරිපත් වීමේ කිසිදු නැවුම් බවක් ඇත්තේ නැත. 20 සියවස ආරම්භය තරම් ඈතදී, අධිරාජ්‍යවාදය පිලිබඳ ලිබරල්වාදී විවේචකයෙක් වූ ජෝන් ඒ හොබ්සන්, ආක‍්‍රමන හා ඈඳාගැනීම් වසං කිරීමේ (“ආත්මයේ බොරුව” : "lie of the soul”) ඉටුකල ක‍්‍රියාකලාපය වෙත, අවධානය යොමුකරවීය. හොබ්සන් මෙසේ ලිවීය, එවන් බොරු වල ප‍්‍රතිපල වශයෙන්, “ජාතියේ සදාචාරාත්මක මට්ටම දූෂනය කලේය.”

49. යම් ආකාරයක දේශපාලන හා න්‍යායික යුක්තිකරනයක් සහිතව, පෙන්ටගනයේ මූලෝපායඥයින් සමග සිය දුෂ්ඨ සන්ධානය රැකගැනීමේදී ව්‍යාජ වාම සංවිධානවල පුලුල් කොටසක්, රුසියාව හා චීනය “අධිරාජ්‍යවාදී” බලවතුන් යයි කියා සිටිති. එහෙන් මෙහෙන් අහුලාගත් උපුටාගැනීම් සහිත, මේ අර්ථකථනය, ඉදිරිපත් කෙරෙන්නේ යන්තම් වසර 25කදී, නිලධාරිවාදී ලෙස පිරිහුනු හා විකෘති කම්කරු රාජ්‍යයන්ගේ සිට අධිරාජ්‍යවාදී බලවතුන් බවට රුසියාව හා චීනය පරිවර්තනය කල, ඓතිහාසික ක‍්‍රියාවලිය පැහැදිලි කිරීමේ කිසිදු උත්සාහයක් නොමැතිවය.

50. බීජිනයේ හා මොස්කෝවේ පාලන තන්ත‍්‍රයන් කෙරෙහි හුදු දේශපාලන විරුද්ධත්වය පල කිරීමේ කාරනයක් ලෙස ගතහොත් පවා, “අධිරාජ්‍යවාදය” යන නම්පටබැඳීමක් ඊට අවශ්‍ය කෙරෙන්නේ නැත. ජාත්‍යන්තර කමිටුව, කම්කරු පන්තිය විසින් රුසියාවේ හා චීනයේ ධනේශ්වර රාජ්‍යයන් පෙරලා දැමීම ඉල්ලා සිටින්නේ, ලෝක සමාජවාදී විප්ලවයේ අත්‍යවශ්‍ය කොටසක් ලෙසය. එය කියා සිටියේ, රාජ්‍යයන් දෙකම, අවසානයේ ධනවාදය පුනස්ථාපනය කල, 20 වන සියවසේ සමාජවාදී විප්ලව පාවාදුන්, ස්ටැලින්වාදයේ නිර්මානයන් බවය. රුසියානු ආන්ඩුව වනාහි, සෝවියට් රාජ්‍යය බිඳ විසුරුවා හැරීමෙන් ද ජනසතු දේපොල සම්බන්ධකම් අහෝසි කිරීමෙන් ද පසුව ස්ටැලින්වාදී නිලධරය කෙරෙන් මතුවී ආ කතිපයාධිකාරයේ නියෝජිතයෙකි. මාක්ස්වාදී ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගය ප‍්‍රචන්ඩ හා ප‍්‍රතිවිප්ලවවාදී ලෙස ප‍්‍රතික්ෂේප කිරීමක් වූ, ස්ටැලින්වාදයේම ආන්තික ප‍්‍රතිපලය ලෙස, ඔවුහු, “මහා රුසියානු” ජාතිකවාදය හුවා දක්වති. චීන කොමියුනිස්ට් පක්ෂ තන්ත‍්‍රය, 1980 ගනන්වල සිට වැඩී ආ ධනේශ්වර ප‍්‍රභූව හා පොලිස්-රාජ්‍ය නිලධරය නියෝජනය කරයි. ඔවුන් ධනවත් වූයේ, චීන ජනතාව සංගතවල සූරාකෑමට යටත් කිරීම සඳහා සේවය කිරීම තුලිනි.

51. චීනය හා රුසියාව විස්තර කිරීමේදී, “අධිරාජ්‍යවාදය” යන වචනය එකතු කිරීම මගින් සේවය කරන දේශපාලන අරමුන කුමක් ද? ප‍්‍රායෝගික දේශපාලන අර්ථකථනයට අනුව, එය නිශ්චිත කටයුතු වෙනුවෙන් අදාල වන්නේය. පලමුව එය, ඇමරිකානු, යුරෝපීය හා ජපන් අධිරාජ්‍යවාදයේ ප‍්‍රාථමික හා තීරනාත්මක ගෝලීය ප‍්‍රතිවිප්ලවවාදී භූමිකාව සාපේක්ෂ කරනය කොට, ඒ අනුව, බොඳ කර හරියි. අසාද් තන්ත‍්‍රයට රුසියාවේ පිටුබලය ලැබෙන, සිරියාව වැනි තැන්වල, ඇමරිකාවේ තන්ත‍්‍ර මාරු මෙහෙයුම් සමග ක‍්‍රියාශීලී ලෙස එක්වීමට, මේ මගින් ව්‍යාජ වම්මුන්ට අවස්ථාව සැලසෙයි. දෙවැනුව, හා ඊටත් වඩා වැදගත් කාරනය වන්නේ, රුසියාව හා චීනය අධිරාජ්‍යවාදී යයි හංවඩු ගැසීම මගින්, වාර්ගික, ජාතික, භාෂාමය හා ආගමික සුලුතරයන් මඩින යටත් විජිත බලවතුන් ලෙස එම රටවල් ගෙනහැර දැක්වීමෙන්, ඒවායේ දේශසීමා තුල, “වර්න විප්ලව” හා “ජාතික විමුක්ති” අරගල වලට අධිරාජ්‍යවාදී පිටුබලය සැපයීමේදී, ඊට සහාය දීමට ව්‍යාජ වම්මුන්ට අවස්ථාව සැලසෙයි.

52. විදේශයේදී අධිරාජ්‍යවාදයට සහාය දීම සලකුනු කරන්නේ, රට තුල මූල්‍ය වංශාධිපතිත්වයේ අනසකට යටත් වීමයි. ග‍්‍රීසිය තුල 2015 ජනවාරියේ බලයට පැමිනි සිරිසාව, (“රැඩිකල් වමේ සභාගය”) තමන් විරුද්ධ යයි කියා සිටි එම කප්පාදු පිලිවෙත්ම ක‍්‍රියාත්මක කිරීම දෙසට හැරුනු අසාමාන්‍ය වේගය, ව්‍යාජ වමේ ස්වභාවය හා භූමිකාව ජාත්‍යන්තරවම හෙලිදරව් කලේය. එම කටයුත්තම, ජර්මනියේ වාම පක්ෂය, ප‍්‍රන්සයේ නව ධනේශ්වර විරෝධී පක්ෂය, බි‍්‍රතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂය හා ඇමරිකාවේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය හා සමාජවාදී විකල්පය වැනි කන්ඩායම් විසින් ද ඉටුකරනු ලැබෙයි. බි‍්‍රතාන්‍ය තුල, ජෙරමි කෝබින්ගේ කම්කරු පක්ෂ ව්‍යාපාරය හෝ ඇමරිකාවේ බර්නි සෑන්ඩර්ස්ගේ ඩිමොක‍්‍රටික් පක්ෂ මැතිවරන ව්‍යාපාරය හුවාදැක්වීමේදී, මෙම සංවිධානවල අරමුන වන්නේ, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමක් වැලැක්වීමයි. වර්ගය, ලිංගිකත්වය හා ලිංගික නැඹුරුව පිලිබඳව කෙරෙන, ඔවුන්ගේ නිමක් නැති අනන්‍යතා දේශපාලනය හුවා දැක්වීම මගින් ඔවුන්, ශාස්ත‍්‍රාලිකය, වෘත්තීන්හි, වෘත්තීය සමිතිවල හා රාජ්‍ය නිලධරය තුල වරප‍්‍රසාදිත හා ඉහල ආදායම් ලබන තනතුරු දරන්නන් කරා සමීපවීමට මග සලසාගෙන ඇත. ඔවුහු දහස් සංඛ්‍යාත නූල්පට වලින් මූල්‍ය වංශාධිපතිත්වයේ කබා මැස්මට බැඳී සිටින අතර කම්කරු පන්තියට ගැඹුරෙන්ම සතුරු වන්නාහ.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනගනු!

53. අප එලඹෙමින් සිටින්නේ, 1917 ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරයටයි. පලමු සමාජවාදී විප්ලවය හා කම්කරු රාජ්‍යය නිර්මානය කල, ලෝක ඉතිහාසයේ මෙම යුග කාරක සිදුවීම, පලමු ලෝක යුද්ධයට අශමනීය ලෙස විරුද්ධවූ ලෙනින් හා ට්‍රොට්ස්කි විසින් නායකත්වය සපයන ලද මාක්ස්වාදී ජාත්‍යන්තරවාදීන් විසින් සූදානම් කරන ලද්දකි. පසුව, ස්ටැලින්වාදී නිලධරය විසින් මෙහෙයවන ලද, ඔක්තෝබර් විප්ලවයේ ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගය හා මූලධර්ම පාවාදීම, අවසානයේදී, සෝවියට් සංගමය විසුරුවා හැරීමට මග සැලසීය. එහෙත් සෝවියට් සංගමයේ ඛේදජනක ඉරනම නොතකාම, කල් පවතින ඓතිහාසික සාධක තුනක් ස්ථාපනය වී තිබේ. පලමුවැන්න, 1917 ඔක්තෝබර් විප්ලවය, කම්කරු පන්තියේ විප්ලවවාදී ක‍්‍රියාකලාපය හා විප්ලවවාදී පක්ෂයක් විසින් දැනුවත්ව සම්පාදනය කරන ඉදිරිදර්ශනයක හා නායකත්වයක අවශ්‍යතාව සනාථ කිරීමයි. දෙවැන්න, සෝවියට් සංගමය තුලත් ඉන් පිටතත්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් ගෙන ගිය අරගලය පෙන්නුම් කලේ, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගයක පදනම මත ස්ටැලින්වාදී තන්ත‍්‍රයේ නිලධාරිවාදී පරිහානියට විකල්පයක් පැවතුනේය යන්නයි. සෝවියට් සංගමය විසුරුවා හැරීම නොවැලැක්විය හැකි වූයේ නැත. තෙවැන්න, 1914 පලමු ලෝක යුද්ධය ද 1917 සමාජවාදී විප්ලවය ද නැගී ඒමට තුඩු දුන්, ධනවාදයේ අති ප‍්‍රමුඛ ආර්ථික සමාජ හා භූදේශපාලනික ප‍්‍රතිවිරෝධතා ජයගෙන නොතිබීම ය.

54. පසුගිය සියවස නිස්කාරනේ ගතවී ගියා නොවේ. ලෝකය පුරා කම්කරුවන්ගේ හා තරුනයින්ගේ විඤ්ඤානයට, දශක ගනනාවක නිමක් නැති යුද්ධ හා ආර්ථික අර්බුද වලින් ප‍්‍රගාඪ ලෙස බලපෑම් සිදුව තිබේ. “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” නාමයෙන්, පිරිහෙන ජීවන තත්වයන්ට, සමාජ සහනයන්ට ප‍්‍රහාර එල්ලවීමට, පුලුල් වන සමාජ අසමානතාවයට හා ප‍්‍රජතන්ත‍්‍ර අයිතීන්ට පහර දීමට එරෙහි නැගී එන අරගලයන්ගේ ප‍්‍රවාහයක් පවතී. තීරනාත්මක කර්තව්‍යය වන්නේ, මෙම අරගල තුලට, අධිරාජ්‍යවාදී යුද්ධය තුල එහි අතිශයින්ම අන්තරායකාරී ප‍්‍රකාශනය අත්කර ගන්නා, සමස්ත ධනවාදයේ අර්බුදය පිලිබඳ වැටහීම ගෙන යාමයි. කම්කරු පන්තිය තුල, වෙන් වෙන් අරගල එක්සත් කර, සමාජවාදී විප්ලවය තුලින් සමස්ත සමාජආර්ථික පද්ධතිය පෙරලා දැමීම පිනිස පදනම දමන, දේශපාලන නායකත්වයක් ගොඩනැගීම අත්‍යවශ්‍යය.

55. ලෝක ආර්ථිකය හා ලෝක දේශපාලනය නව අදියරකට පිවිස ඇත. නැගෙනහිර යුරෝපය තුල ධනේශවර පුනස්ථාපනය සමග ආරම්භවී, ස්ටැලින්වාදය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් කුලුගැන්වුනු, ධනපති විජයග‍්‍රහනවාදයේ අවධිය නිමාවී ඇත. පාලක පන්තිය විසින් සහතික කෙරුනු පරපුටු ධන රාශිකරනයේ සමපේක්ෂන කඩදාසි නිවස බිඳවැටෙයි. ඇද වැටෙන කොටස් වෙලඳපොලවල වටිනාකම්, ඒ ක්ෂේත‍්‍රවල හුලං බස්සනවා පමනක් නොව, ධනේශ්වර ගැති න්‍යායඥයින් හා දේශපාලන නායකයන් පිලිබඳ වාර්තාව හා විශ්වාසනීයත්වය ද කුඩු පට්ටම් කරයි.

56. පාලක ප‍්‍රභූවේ අන්දමන්දකම හා බිය, තරුනයින්ගේ හා කම්කරුවන්ගේ වැඩෙන රැඩිකලීකරනය, ඉක්මනින්ම සමාජවාදී යොමුවක් ගනු ඇතැයි යන වැටහීම මගින්, තවත් දැඩි කරයි. එහෙත් සමාජවාදය කෙරෙහි වන මෙම ආරම්භක හැඟීම, දේශපාලනිකව වර්ධිත විප්ලවවාදී විඥානයට සමාන කිරීම මුලුමනින්ම වැරදිය. එහෙත්, දේශපාලන වර්ධනයේ ක‍්‍රියාවලිය, එනම්, ධනපති අසාධාරනයට එරෙහි මහජන කෝපයේ ආරම්භක ප‍්‍රකාශනය, ධනවාදය පෙරලා දමා එය ලෝක සමාජවාදයෙන් විස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය පිලිබඳ වැටහීම ඇති කරවයි.

57. ආරම්භයේ පවතින දේශපාලන ව්‍යාකූලත්වයේ වාසිය ගසා කෑ පක්ෂ හා පුද්ගලයෝ, ගෝලීය අර්බුදය විසින් පෙරට තල්ලු කෙරෙන යෝධ සමාජ බලවේග මගින් ගිල දැමෙනු ඇත. 2015 ජනවාරියේ සාර්වත‍්‍රිකව ප‍්‍රකාශයට පත්වූ හා ජූලියේදී තවත් සනාථ කෙරුනු සිරිසාවේ හා එහි නායක සිප‍්‍රාස්ගේ ඉරනම, අනෙකුත් දේශපාලන වංචනිකයින් හා බොරුකාරයින් මතට ද කඩා පාත්වනු ඇත. එහෙත්, ද්‍රෝහීන් ඔහේ එලිදරව් වන තෙක් නිකරුනේ බලා නොසිටිය යුතුය. කම්කරු පන්තිය මුහුනපාන කර්තව්‍යයන්ට ගැලපෙන, අව්‍යාජ විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමේ කටයුත්තට අත ගසා ගැනීම අවශ්‍යය.

58. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි දේශපාලන දූත මෙහෙවර මෙයයි. අපගේ සියලු දේශපාලන සතුරෝ, ජාත්‍යන්තර කමිටුව “කට්ටිවාදී” යයි හෙලා දකිති. දශක ගනනක් තිස්සේ මාක්ස්වාදීන්ට එරෙහිව, සෑම වර්ගයකම සුලු ධනපති අවස්ථාවාදීන් හා දේශපාලන ද්‍රෝහීන් මේ වර්ගයේ හැඳින්වීමක් යොදාගෙන තිබේ. ඒ ලිබරලුන්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්, ලේබර් ක‍්‍රියාකාරිකයින්, වෘත්තීය සමිති ක‍්‍රියාකාරිකයින්, ව්‍යාජ වම්මු හා තමන්ගේම සෙවනැල්ලට පවා බිය වන සංශෝධනවාදීන්ය. “කට්ටිවාදීන්” යන නමෙන් ඔවුන් සැබවින්ම අදහස් කරන්නේ, සමාජවාදී මූලධර්මයන්ට කැපවන, පාලක පන්තිය සමග දේශපාලන සන්ධානයන්ට එලඹීම ප‍්‍රතික්ෂේප කරන, ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය වෙනුවෙන් සම්මුති විරහිතව සටන් වදින අයයි. එවන් හෙලා දැකීම් ට්‍රොට්ස්කිට නුපුරුදු දේ නොවීය. ඔහු මෙසේ ලිවීය:

ඔබින පරිදිම හතරවන ජාත්‍යන්තරය, දැනටමත් ස්ටැලින්වාදීන්ගේ, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ, ධනේශ්වර ලිබරලුන්ගේ හා ෆැසිස්ට්වාදීන්ගේ වෛරයට පාත‍්‍රවී ඇත. කබායේ නූල් මෙන් ධනවාදයට ගැටගැසී ඇති සියලූ දේශපාලන කන්ඩායම් වලට එරෙහිව, එය සම්මුති විරහිතව සටන් වදියි. එහි කර්තව්‍යය, ධනවාදයේ ආධිපත්‍යය අහෝසි කිරීමයි. එහි අරමුන සමාජවාදයයි. එහි විධි ක‍්‍රමය කම්කරු පන්ති විප්ලවයයි. (ධනවාදයේ මරලතෝනිය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ, සංක‍්‍රමනීය ක‍්‍රියාමාර්ගය)

59. හජාජාක, මෙම ප‍්‍රකාශනය තුල ඉදිරිපත්කර තිබෙන විශ්ලේෂනය පිලිබඳ, පුලුල් සාකච්ඡාවක් සඳහා කැඳවුම් කරයි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ දස දහස් සංඛ්‍යාත පාඨකයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ, මෙය හදාරන ලෙසත්, පුලුල් වශයෙන් බෙදාහැරීමට මැදිහත්වන ලෙසත්ය. මෙම ප‍්‍රකාශනයේ ගෙනහැර දක්වා තිබෙන මූලධර්ම, නව ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ පදනම ලෙස යොදාගන්නා මෙන්, අපි ඉල්ලා සිටිමු. අප යලිත් අවධාරනය කරන මේ මූලධර්ම වනාහි:

x යුද්ධයට එරෙහි අරගලය, සමාජය තුල සිටින මහා විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පදනම් විය යුතුය. කම්කරු පන්තිය ජනගහනයේ අවශේෂ සියලු ප‍්‍රගතිශීලී ජනතාවන් තමන් පසුපස පෙලගස්වා ගන්නවා ඇත.

x නව යුද විරෝධී ව්‍යාපාරයක් ධනේශ්වර විරෝධී හා සමාජවාදී විය යුතුය. මක්නිසා ද යත්, මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආඥාපතිත්වය හා මිලිටරිවාදය ද යුද්ධය ද සඳහා වන මූලික හේතුව වන, යල් පිනූ, ආර්ථික ක‍්‍රමය අවසන් කිරීමේ සටනකින් තොරව, යුද්ධයට එරෙහි බැරෑරුම් අරගලයක් ගෙන යා නොහැකි බැවිනි.

x එබැවින්, නව යුද විරෝධී ව්‍යාපාරය අවශ්‍යයෙන්ම, මුලුමනින්ම හා පැහැදිලිවම ධනපති පන්තියේ සියලු දේශපාලන පක්ෂ හා සංවිධාන වලට සතුරු හා ඒවායින් ස්වාධීන විය යුතුය.

x සියල්ලටත් වඩා නව යුද විරෝධී ව්‍යාපාරය, ජාත්‍යන්තර විය යුතුය. එය කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය, අධිරාජ්‍යවාදයට එරෙහි එක්සත් ගෝලීය අරගලයක් තුල බලමුලු ගැන්විය යුතුය. ධනවාදයේ නොනවතින යුද්ධයට, කම්කරු පන්තිය, නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනයෙන් පිලිතුරු දිය යුතුය. එහි මූලෝපායික එල්ලය වන්නේ, ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීම හා ලෝක සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැගීමයි. ගෝලීය සම්පත් සහේතුක හා සැලසුම්ගත සංවර්ධනයකට එමගින් කොන්දේසි සැකසෙන අතර, එම පදනම මත, දුප්පත්කම තුරන්කර මානව සංස්කෘතිය නව ඉහලකට ඔසවා තැබෙනු ඇත.

60. වත්මන් ලෝක තත්වය තුලින් පැන නගින මහා ඓතිහාසික ප‍්‍රශ්න, පහත සඳහන් පරිදි සූත‍්‍රගත කල හැක: ලෝක ධනවාදයේ අර්බුදය විසඳිය හැක්කේ කෙසේ ද? ධනපති පද්ධතිය දෙදරවා ඇති ප‍්‍රතිවිරෝධයන්, ලෝක යුද්ධයෙන් නැතිනම් ලෝක සමාජවාදී විප්ලවයෙන් අවසන් වනු ඇත් ද? අනාගතය, ෆැසිස්ට්වාදයට, න්‍යෂ්ටික යුද්ධයට හා නොවැලැක්වියහැකි පරිදි ම්ලේච්ඡත්වයට තුඩු දෙනු ඇත් ද? නැතිනම්, ජාත්‍යන්තර කම්කරු පන්තිය, විප්ලවයේ මාවත ගෙන, ධනේශ්වර ක‍්‍රමය පෙරලා, ලෝකය සමාජවාදී පදනම් මත ප‍්‍රති නිර්මානය කරනු ඇත් ද? මානව වර්ගයා හමුවේ ඇති සැබෑ විකල්පයන් නම් මේවාය.

61. හජාජාක හා එහි ශාඛාවන්, යුද්ධයට එරෙහි ජාත්‍යන්තර මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමේ දැවෙන අවශ්‍යතාව හඳුනාගත්, ලොව පුරා සිටින දේශපාලන ප‍්‍රවනතාවන් හා පුද්ගලයින් සමග, මෙම ප‍්‍රකාශනයේ විස්තාරනය කෙරෙන මූලධර්මයන්ගේ පදනම මත, අව්‍යාජ සාකච්ඡාවක් සාදරයෙන් පිලිගනියි.

x ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත්කම සඳහා !

x ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ආරක්ෂා කරනු !

x සමානතාවය හා සමාජවාදය සඳහා !

x ලෝක සමාජවාදී විප්ලවයේ ක‍්‍රියාමාර්ගය ඔස්සේ, ලෝක යුද්ධය කරා වන අධිරාජ්‍යවාදී තල්ලුව නතර කරනු !

x ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකත්වය වැඩි කරනු !

x විප්ලවවාදී සමාජවාදී ජාත්‍යන්තරවාදී මූලධර්ම වලින් කම්කරුවන්ගේ හා තරුනයින්ගේ නව පරම්පරාවක් අධ්‍යාපන ගත කරනු !

x හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි නව ශාඛා ගොඩ නගනු !

Share this article: