ඌන පහසුකම්වලට එරෙහිව අග්නිදිග සරසවියේ ඉංජිනේරු සිසුන් අරගලයට පිවිසෙයි
ප්‍රදීප් රාමනායක සහ එස්. අජන්තන් විසිනි, 2016 ජනවාරි 25
2015 වසරේ බඳවා ගත් නවක ශිෂ්‍ය කාන්ඩය අනෙකුත් ඉංජිනේරු පීඨවල යලි අනුයුක්ත කරන ලෙසත්, සමස්ත පීඨයම කාර්මික නගරයකට ආසන්නව මනා කලමනාකරනයක් සහිතව ප්‍රතිස්ථාපනය කිරීම හෝ සියලු සිසුන් දැනට පවතින අනෙකුත් ඉංජිනේරු පීඨවලට මාරු කර යවන ලෙසත් ඉල්ලමින්, ඔලලුවිල් හි පිහිටි අග්නිදිග සරසවියේ ඉංජිනේරු සිසුහු දෙසැම්බර් 21 දා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අවට මාර්ගයන්හි වාඩිලාගෙන උද්ඝෝෂනයක නිරත වූහ.
දිගු කාලයක් පුරා විශ්වවිද්‍යාල පරිපාලනය වෙතින් කල ඉල්ලීම් කිසිවක් ඉටු නොවූ තතු තුල ගෙවුනු වසර අගදී සිසුහු පන්ති වර්ජනයක් ආරම්භ කලහ. ඉන් නොනැවතී නොවැම්බර් මස 26 වනදා සිය උද්ඝෝෂනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කරා ගෙන ගිය ඔවුහු ඉහත ඉල්ලීම් ඉටු කරදෙන ලෙස ඉල්ලමින් මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන රාජ්‍ය ඇමති මොහාන් ලාල් ගේ‍්‍රරෝ වෙත ආමන්ත්රනය කල ලිපියක් භාර දුන්හ.
ලිපියට පිලිතුරු වශයෙන්, සිසුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන් අනෙකුත් විශ්වවිද්‍යාල වලට මාරුකර යැවීමට හෝ පීඨය නව පරිශ්රයක ප්‍රතිස්ථාපනය කිරීමට පියවර ගන්නා බවට කිරිඇල්ල සිසුන්ට පොරොන්දු විය. සිසුන් දෙසැම්බර් 21 දා උද්ඝෝෂනයේ යෙදුනේ කිරිඇල්ලගේ පොරොන්දුව ඉටු නොවූ තතු යටතේය.
අනෙකුත් විශ්වවිද්‍යාලයන්හි ඉංජිනේරු පිඨයන්හි මූලික අවශ්‍යතා පවා සපුරාගත නොහැකිව තිබූ තතු තුල, 2013 වසර මැදදී මහින්ද රාජපක්ෂ රජය යටතේ, අග්නිදිග විශ්වවිද්‍යාලය තුල හදිසියේම ඉංජිනේරු පීඨයක් ආරම්භ කෙරිනි. එම හදිසි තීරනය ගනු ලැබුවේ 2011 වසරේ උසස්පෙල ප්‍රතිපල නිකුත් කිරීමේදී විභාග දෙපාර්තමේන්තුව විසින් සිදුකල මූලික සංඛ්‍යාන විද්‍යාත්මක වරදක් හේතුවෙන් ඇතිවූ “ඉසෙඩ් ස්කෝර් පටලැවිල්ල” හේතුවෙනි. අගතියට පත් සිසුන්, ඔවුන්ගේ දෙමාපියන් සහ සමස්ත මහජනතාව තුලින් මතුවූ බලවත් අප්‍රසාදය ඉදිරියේ සිය ජාම බේරාගැනීමට ගත් උත්සාහයකි එය.
ඉසෙඩ් ලකුනුවල ඇතිවූ අර්බුදය නිසා ඉංජිනේරු පීඨ සඳහා සුදුසුකම ඉල්ලා සිටීමේ අයිතිය ලැබෙන සිසුන්ගේ නම් ලැයිස්තුව තවත් 100 කින් පමන දිගුවිය. ඒ වනවිට පාඨමාලාව පැවති මොරටුව, පේරාදෙනිය, රුහුන යන විශ්වවිද්‍යාල වල එම සිසුන්ට සෑහෙන ඉඩක් නොපැවති බැවින් තමන් බලාපොරොත්තු නොවූ අවුලකට මැදිවුනු රජය කඩිමුඩියේ අටවාගත් උක්ත ඉංජිනේරු පීඨයට එම සිසුන් ඇතුලත් කරවන ලදී. එතැන් පටන් අනුක්‍රමික වසරවලදී දෙවන හා තෙවන ශිෂ්‍ය කාන්ඩ මෙම පීඨයට ඇතුලු කරගත් අතර ඉදිරි සති කිහිපය තුල සිව්වන කාන්ඩය ද ඇතුලු කරගැනීමට නියමිතය.
මෙම පීඨයට 2013 වසරේදී බඳවාගත් පලමු ශිෂ්‍ය කාන්ඩයේ එලිජා හූලේ ශිෂ්‍යයා 2015 ජනවාරි 5 වනදා කලම්බු ටෙලිග්රාෆ් හි පලකල ලිපියක සඳහන් වන පරිදි, ඔවුන් ඉංජිනේරු පාඨමාලාව සඳහා ඉල්ලුම් කරන මොහොතේදීවත් තමන්ට ඉල්ලුම් කලහැකි විශ්වවිද්‍යාල ලැයිස්තුවේ අග්නිදිග විශ්වවිද්‍යාලය සඳහන්ව තිබී නොමැත. රජය මෙම පීඨයට ඇතුලු කල සිසුන් පිලිබඳ කෙතරම් හෑල්ලුවෙන් සිතා කටයුතු කර ඇත්තේ ද කියතොත්, පීඨාධිපතිවරයා ද ඇතුලු අධ්‍යයන කාර්යමන්ඩලය බඳවාගෙන ඇත්තේ පලමු ශිෂ්‍ය කාන්ඩය ලියාපදිංචි කිරීමටත් පසුවය. එනයින් ගත් කල රජය මෙම ශිෂ්‍යයන්ගේ අනාගතය තුච්ඡ ලෙස පරදුවට තබා ඔවුන්ව ලියාපදිංචි කරවා ඇත්තේ ඒ මොහොත වනවිට “යථාලෝකය තුල නොපැවති” පීඨයකින් ලබාදෙන පාඨමාලාවකය.
පාඨමාලාවේ වත්මන් තත්වය පිලිබඳ එම ලිපියේ සඳහන් වන පරිදි පාඨමාලාවේ සියලු විෂය ආවරනයට අවශ්‍ය තරම් අචාර්යවරු නොමැති වීම හේතුවෙන් පීඨයේ අධ්‍යයන කටයුතු වැඩිවශයෙන් සති අන්තයේදී පැමිනෙන බාහිර ආචාර්යවරුන් මත රැඳී තිබේ. එමෙන්ම පරිගනක සහ විදුලි ඉංජිනේරු අංශ දැනටත් අංශ ප්‍රධානීන් රහිතව ක්‍රියාත්මක වන අතර නිසි සැලැස්මක් රහිත එම අංශවල අධ්‍යයන කටයුතු වල සමස්ත වගකීම අත්දැකීම් අඩු ආචාර්යවරුන් සහ පුහුනුවන අචාර්යවරුන් (demonstrators) කිහිප දෙනෙකුට භාර වී තිබේ.
පීඨය ආරම්භ කරද්දී පීඨය සතු වූයේ පීඨාධිපතිවරයා ද ඇතුලුව අචාර්යවරු 8 දෙනෙකු පමනි. ඔවුන් අතරින් ද ආචාර්ය පදවි සහිතව සිටියේ තිදෙනෙකු පමනි. අන් සියල්ලම පාහේ විශ්වවිද්‍යාලයක ඉගැන්වීමේ පූර්ව අත්දැකීමක් හෝ රහිත අයයි. පීඨය පවත්වාගෙන යාමේදී රජය එය නොතකා ඇති ආකාරය කොතෙක්ද යත් ගතවූ වසර දෙකහමාරක කාලය තුල වැඩිපුර සේවයට අනුයුක්ත කර ඇත්තේ ආචාර්යවරු තිදෙනෙකු පමනි.
කල් ඇදෙන විරාමයන් හේතුවෙන් අධ්‍යයන කටයුතු සඳහා වෙන්වන සතිගනන අඩු වීම නිසා සති පහලොවක කාලයකට සැලසුම් කර ඇති ඇතැම් විෂය කොටස් සති දෙක තුනක් තුල අසීරුවෙන් ඉගෙනීමට සිසුන්ට බල කෙරී ඇත. කාලය මදිවීම නිසා ඇතැම් ප්‍රායෝගික සැසි සම්පූර්නයෙන් අත්හැර දැමෙන්නේ පාඨමාලාවේ නිසි ගුනාත්මක භාවය සිසුන්ට අහිමි කරමිනි. ගනනින් කිසිසේත් නොසෑහෙන ආචාර්යවරුන් අතලොස්සක් මත දැරිය නොහැකි වැඩ ප්‍රමානයක් පැටවී ඇති බැවින් මේ වනවිට ලංකාවේ අනෙකුත් ඉංජිනේරු පීඨ වල සමාන්තර ශිෂ්‍ය කන්ඩායම් වලට වඩා අග්නිදිග ඉංජිනේරු සිසුන්ගේ අධ්‍යයන කටයුතු වසරකින් පස්සට ඇදීගොස් ඇත.
ලෝක සමාජවාදී වෙබ්අඩවියේ (ලෝසවෙ) වාර්තාකරුවන් සමඟ කතාකල යාන්ත්‍රික ඉංජිනේරු අංශ ප්‍රධානී ආචාර්ය අබ්දුල් මජීඞ් මුසාතික් ආචාර්යවරුන්ගේ හිඟය ගැන මෙලෙස අදහස් දක්වන ලදී. “දෙවන වසරේ දී අපි ශිෂ්‍යන්ගේ දක්ෂතා අනුව ඔවුන්ව විවිධ අංශ වලට බෙදිය යුතුයි. පලමු වසරේ සියල්ලන්ට එකට ඉගැන්වීම් කෙරෙද්දී සිටින ගුරුවරුන් ගනන ප්‍රමානවත් වුනත් දෙවන වසරේදී සිසුන් අංශවලට බෙදීමත් සමඟ ඒ ඒ අංශවලට ප්රවීනත්වයක් සහිත අචාර්යවරු අපට අවශ්‍ය වෙනවා. නමුත් දැනට සිටින ආචාර්යවරු කන්ඩායම ඊට ප්‍රමානවත් නැහැ.”
මෙම පීඨය ආරම්භ කිරීමේදී පරිපාලනය අධ්‍යයන වටපිටාව ගැන මෙන්ම සිසුන්ගේ සුබසාධන අවශ්‍යතා කෙරෙහිද දක්වා ඇත්තේ ඉතා අවම ආකල්පයකි. සිසුන් පවසන පරිදි පීඨය ආරම්භ කෙරී ඇත්තේ නේවාසිකාගාර තුල සිසුන් දෙදෙනෙකුට පමනක් ඉඩ පහසුකම් ඇති කුඩා කාමරයක් සිසුන් සිව්දෙනෙකුට බෙදාගැනීමට සිදුවූ අසීරු කොන්දේසි යටතේය. කෙසේ නමුත් නිසි සැලැස්මක් නොමැතිව පිහිටුවනු ලැබූ මෙම පීඨයේ ඉගෙනුම ලබන සිසුහු අද වන විට අධ්‍යයන කාර්යමන්ඩල හිඟය ප්රමුඛ අඩුලුහුඬුකම් මැද සිය වෘත්තීය ජීවිතය ආරම්භ වීමටත් ප්‍රථම කලකිරීම් සහගතව දැඩි ප්රශ්නාර්ථයකට මුහුනදී සිටිති.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සමගාමීව ම ආරම්භ කෙරුනු යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ද මෙවැනිම ආචාර්ය හිඟයකට මුනුන දී සිටියි. මෙලෙස ලංකාව පුරා සියලු රජයේ විශ්වවිද්‍යාල වල නානා විධ අධ්‍යයන සහ සුභසාධන ගැටලු වඩවඩාත් උග්‍ර වෙමින් පවතී.
පැවති රාජපක්ෂ තන්ත්රය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවෙන් විස්ථාපනය වුව ද රාජ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වන කප්පාදු ප්‍රතිපත්තිය නොවෙනස්ව ඉදිරියට යයි. අග්නිදිග සිසුන් ඇමතිවරුන්ට යැවූ ලිපියේම සඳහන් වන පරිදි: “2015 ජනවාරියේ දී නව ජනාධිපතිවරයෙක් සහ නව අගමැතිවරයෙක්, නව උසස් අධ්‍යාපන ඇමතිවරයෙක්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නව සභාපතිවරයෙක් සහ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයෙක් වැඩ බාරගෙන ඇතත්, අපේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබී නැත. සිදුව ඇත්තේ තත්වය තවත් නරක අතට හැරීම පමනයි.”
උසස්පෙල සඳහා පෙනී සිටින තුන්ලක්ෂයකට අධික ශිෂ්‍ය ප්‍රජාවක් අතරින් රජයේ විශ්වවිද්‍යාලවලට ප්‍රවේශය ලබන්නේ සියයට 10 කට අඩු ගනනකි. පසුගිය දශක දෙක පුරාවටම රජයේ විශ්වවිද්‍යාලයන්ට ප්‍රවේශ වන සිසුන් ප්‍රමානය වැඩිවී ඇත්තේ දෙගුනයකින් පමනි. එනමුත් එම ප්‍රමානය උසස්පෙලට පෙනී සිටින සිසුන්ගෙන් ප්‍රතිශතයක් ලෙස ගෙන සසඳන කල දශක දෙක පුරාම එම අගය එක තැන රැඳී ඇත.
රාජ්‍ය අධ්‍යාපනයේ ගැටලු විසඳන බවට බොරු පොරොන්දු දුන් කිරිඇල්ල ඇතුලු අනුප්‍රාප්තික ආන්ඩුවල සියලු බලධාරීන් සැබෑවටම කලේ රජයේ අධ්‍යාපනය කප්පාදු කිරීම සහ පෞද්ගලිකරනය තුලින් අධ්‍යාපනය ලාභ ගරාගැනීමේ කර්මාන්තයක් බවට පත් කිරීමේ වැඩපිලිවෙල වඩාත් වේගවත් කොට ඉදිරියට ගෙන යාමයි. ඇමති කිරිඇල්ල විසින්ම මෑතක ප්රකාශකල පරිදි රජයේ වෑයම පෞද්ගලික අංශයේ අධ්‍යාපන ආයතන ව්‍යාප්ත කිරීමයි.
2009 වසරේදී සිසුන් 25 දෙනෙකුගෙන් අරඹන ලද මාලඹේ සයිටෙම් පෞද්ගලික වෛද්‍ය පීඨයේ සිසුන් ගනන වසර හයකට පසු 800ක් දක්වා වර්ධනය වී ඇත. එය 1978 ආරම්භ කල යාපනය වෛද්‍ය පීඨයේ වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව මෙන් දෙගුනයකි.
තොරතුරු තාක්ෂන ඉංජිනේරු උපාධි සඳහා ප්‍රකට පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් වන ස්ලිට් ආයතනයේ සිසුන් ගනන 7000 ඉක්මවා ඇත. ඉංජිනේරු උපාධි ලබාදෙන ස්ලිට් ඇතුලු පෞද්ගලික ආයතනවලින් වසරකට පිටව යන උපාධිධරයින් සංඛ්‍යාව රජයේ සියලු ඉංජිනේරු පීඨ වලින් වසරකට පිටවයන උපධිධරයින් සංඛ්‍යාවේ එකතුවට වඩා සැලකිය යුතු වැඩි අගයක් ගනී.
මේ අයුරින් රජයේ අධ්‍යාපනය විනාශ කරමින් පෞද්ගලික අධ්‍යාපනය තරකිරීම ධනේශ්වරය පාලක පන්තිය මේ වනවිට ගෝලීය මට්ටමෙන්ම අනුයන ප්රතිපත්තියයි. ලෝක ධනේශ්වර පද්ධතිය පෙරලා දැමීම එල්ල කර ගත් අරගලයකින් තොරව, එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන සටනකින් තොරව, මෙම ප්රහාරයන් පරාජය කල නොහැක.
එනමුදු, අධ්‍යාපන ක්ෂේත්රයේ මෙම ප්රහාරයන්ට එරෙහිව අඛන්ඩව අරගලයට අවතීර්න වෙමින් සිටින සරසවි සිසුන්ගේ නායකත්වය මතට පැනගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) සහ ඊට ගුරුහරුකම් දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), බලපෑම් දැමීමේ විරෝධතා දේශපාලනය තුල සිසුන් සිර කොට ඔවුන් හති වට්ටමින් සිටී.
Follow us on