ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සදාචාර කුරුස යුද්ධය
ප්‍රදීප් රාමනායක සහ කේ. රත්නායක විසිනි, 2016 ජනවාරි 27
දෙසැම්බර් 20 දා එන්රිකේ ඉග්ලේෂස් නමැති ලතින් ඇමරිකානු ගායකයා මෙරටට ගෙන්වා කොලඹදී පැවැත්වූ සංගීත සංදර්ශනයකදී සිදුවූයේ යැයි කියන නොවැදගත් පුද්ගලික සිද්ධියක් අරබයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවැත්වූ ගෝරනාඩු කතාව ජන මාධ්‍ය හා සමාජ ජාල වෙබ් අඩවි තුල සංස්කෘතිය හා සදචාරය පිලිබඳ විවාදයක් අවුස්සා ඇත.
තමන් සංස්කෘතිය හා සදාචාරය රකින කුරුස යුද්ධයක මහා සෙන්පතියෙකු ලෙස පිම්බීගෙන ඔහු මෙම කතාව පවත්වන ලද්දේ දෙසැම්බර් 27 දා අම්පාර පැවති උත්සවයක් අමතමිනි. ඔහුගේ වාග් ප්‍රහාරයට ලක්වූ සිද්ධිය වූයේ, ලතින් පොප් ගායකයෙකු ලෙස ප්‍රකට ඉග්ලේෂස් ලෝකයේ රටවල් කිහිපයක පවත්වමින් යන සිය ”සෙක්ස් ඇන්ඩ් ලව්” ප්‍රසංගය කොලඹ දී ඉදිරිපත් කෙරුනු සංදර්ශනයක දී ය. එහිදී එක් පේ්රක්ෂිකාවක් ගායකයා වෙත සිය තනපටය ගලවා විසිකල බවත් තවත් කාන්තාවක් වේදිකාවට නැග ගායකයා වැලඳගත් බවත් කියැවේ. සිද්ධීන් දෙක ම අදාල කාන්තාවන්ගේ පුද්ගලික ප්රශ්නයකි.
සිය කතාවේදී සංස්කෘතික පොලිස්කාරයෙකු ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ, ”රටේ සංස්කෘතිය, සභ්‍යත්වය, සදාචාරය, අපේකම වනසන මෙවන් සංදර්ශන සංවිධානය කරන්නවුන්ට මඩු වලිගයෙන් තැලිය යුතු” බව ය. ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ ”රුපියල් සත සෙවීමේ එක ම පහත් අරමුන ඉදිරියේ මනුෂ්‍යත්වය විකිනෙන” බව යි.
බොහොමයක් සමාජ ජාල සහ වෙබ් අඩවිවල පලවූ අදහස්වල සාරාංශය වූයේ ජනාධිපතිවරයාගේ පසුගාමී ප්‍රකාශය විහිලු සහගත බවත්, රටේ දහසකුත් එකක් ප්‍රශ්න තිබියදී ඔහු නොවැදගත් දේ අල්ලාගෙන තප්පුලන බවත් ය. ජනාධිපතිවරයාගේ මෙවන් ප්‍රකාශ තුලින් ඉදිරියේදී තීව්ර කිරීමට ඉඩ ඇති වාරන ක්‍රියාමාර්ගයක සේයාවන් දිස්වන බව ඇතැමෙකුගේ අදහස විය. කෙසේ නමුත්, ජනාධිපතිවරයාට හා ආන්ඩුවට එරෙහිව ජනතාව තුල ගොනුවන විරෝධයක් එම අදහස් තුලින් පිට දැමුනු වග පෙන්නුම් කෙරින.
විවිධ මාධ්‍ය තුලින් තමන්ට එල්ල කෙරීගෙන යන විවේචන පිලිබඳව ජනාධිපතිවරයා නැවතත් දෙසැම්බර් 29 දා බත්තරමුල්ලේ පැවති උත්සවයක දී අදහස් දැක්වීය. කලින් සිදුකල කතාවට ම ඌන පූරනයක් එක් කරමින් ඔහු මෙසේ පැවසීය: ”විවිධ කන්ඩායම් විවිධ කතා කියමින් මාව අඹරන්න හැදුවත් ඇඹරෙන්නේ මා නෙවෙයි. ඇඹරෙන්නේ රටේ සංස්කෘතිය යි. මම වැඩකරන්නේ අපේ හැදියාව, සැකැස්ම හා හොඳ නරක අනුව යි.”
කොලඹ සංදර්ශනයේ හුවා දැක්වෙන සිද්ධීන් ගැන සිරිසේනගේ ප්‍රකාශ අහම්බයක් හෝ වැරදීමකින් කල ඒවා නොවේ. එම ප්‍රකාශ ගලා එන්නේ සිංහල පාලක පන්තිය හිසේ සිට දෙපතුල් දක්වා එරී සිටින චිර කාලීන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී දෘෂ්ටිවාදයෙනි. එම දෘෂ්ටිවාදය යොදා ගත්තේ සිංහල, දෙමල මුස්ලිම් කම්කරුවන් වාර්ගිකව බෙදා පන්ති පාලනය රැක ගැනීම සඳහා ය.
පාලක පන්තියේ කුහකත්වය සහ වංචනිකත්වය පෙන්නුම් කෙරෙන සිරිසේනගේ මෙම ප්‍රකාශවල ගැබ්ව ඇති පන්ති රේඛා හඳුනා ගැනීම අපහසු නැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ඇමතිවරයෙක්ව සිටි කාලයේ මෙන්ම ජනාධිපති වූ පසු සමයේ ද සිරිසේනගේ සදාචාරය පිලිබඳ වාර්තාව ඔහුගේ දෙඩවිල්ලට ඉඳුරාම පටහැනි එකකි.
දෙමල ජනයා දස දහස් ගනනින් ඝාතනය කෙරුනු එල්ටීටීඊයට එරෙහි යුද්ධය අවසාන වන තෙක් සිරිසේන ඊට සහයෝගය දුන්නේ ය. රාජපක්ෂ රටෙහි නොසිටි කිහිපවතාවකම වැඩබලන ආරක්ෂක ඇමති ලෙස තමන් වැඩ කටයුතු කල බව ද දරුනු යුද අපරාධ සිදු වූ බවට චෝදනා එල්ල කෙරෙන සිවිල් යුද්ධයේ අවසන් සති දෙක තුල එම නිලය දැරූ බව ද ඔහු ප්‍රකාශ කරන්නේ උජාරුවෙනි. ධනේශ්වර පාලක පන්තියේ හා එනයින් සිරිසේනගේ අත්වල ද යුද්ධයේ ලේ තැවරී ඇත. යුද්ධය හා යුද්ධයෙන් කෙරුනු විනාශය සිරිසේනගේ සදාචාරයට අඩංගු නැත. රාජපක්ෂට මෙන්ම සිරිසේනට ද එය ”සදාචාරය” සඳහා යුද්ධයකි.
සිය අධ්‍යාපන අයිතිය ඉල්ලා පෙලපාලි ගිය එච්එන්ඩීඒ සිසුන්ට කොලඹ දී පොලිසිය යොදා පහර දී ඔවුන්ගේ ඔලු පලද්දී, පිරිසිදු පානීය ජලය ඉල්ලූ බඳගිරිය ගොවීන්ට පොලිසිය පහර දෙද්දී සිරිසේනට සදාචාරය පිලිබඳ හාංකවිසියක් වත් තිබුනේ නැත.
මහා ධනපති ව්‍යාපාරිකයන්ගේ වේදිකාවලට නැගුනු කල සිරිසේන (හා ආන්ඩුවේ අනෙකුත් නායක කාරකාදීන්) ව්‍යාපාරවල ලාභ පොදි ගසා දීමට ගන්නා පියවර ප්‍රකාශ කරති, ඒ සඳහා ගතයුතු පියවර මොනවාදැයි විමසති. දුගී ජනයා අමතන වේදිකාවලට නැගුනු කල සිරිසේන අවධාරනය කරන්නේ ”අපේ කම, ගමේ කම, සිංහල-බෞද්ධ හැදියාව, අත්තකිලමථානුයෝගයේ වැදගත් කම” ආදී පසුගාමී හා ප්රතිගාමී සූත්‍ර අනුව ජීවත් වීමේ අරුමය යි.
ගෝලීය ආර්ථික අර්බුදයෙන් හා දේශපාලන අස්ථාවරත්වයෙන් අතිශය ආතතියක සිටින කොලඹ පාලන තන්ත්රයට මහජනයා අවමංගත කිරීම්, මිත්‍යාවන් හා භේද කිරීම යහමින් අවශ්‍ය වන්නේ පන්ති යුද්ධය සඳහා යි. මෙම පාලක පන්තියට කම්කරුවන්ගේ හා දුගීන්ගේ මොනම සමාජ ප්‍රශ්නයක් හෝ ප්රජාතන්ත්රවාදී කර්තව්‍යයක් හෝ විසඳීමට හැකියාවක් නැත.
සදාචාරය ගැන ඇදී ආ සාකච්ඡාවට කොලඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසූරිය, ජනවාරි 3 රාවය පුවත් පතට දීර්ඝ ලිපියක් ලියමින් මැදහත් වී ඇත.”සදාචාරය යන්න කුමක් ද” යන්න මාතෘකාව ලෙස යෙදූ ලිපියේ අරමුන, ”සදාචාරය” ගැන ජනාධිපති සිරිසේනට උපදෙස් දීම යි.
විජේසූරිය එම ලිපිය ලිවීම පුදුමයක් නොවේ. ඔහු සිරිසේන බලයට ගෙන ඒමට රාවය පුවත් පතින් එලි බස්වන ලද පුරවැසි බලය නැමැති ඉහල මධ්‍යම පන්තිකයන්ගේ සංවිධානයේ නායකයෙකි. රාජපක්ෂගේ පොලිස් පාලනයට හා ජීවන තත්වයන්ට පහරදීමට විරුද්ධව නැගී ආ කම්කරුවන්ගේ හා දුගීන්ගේ කෝපය, සිරිසේන ජනාධිපති ඡන්දයෙන් දිනවීමට හරවා යැවීම සඳහා පුරවැසි බලය අනෙකුත් ව්‍යාජ-වම්මු සමග රොද බැද ගත්තේ ය.
විජේසූරිය ඇතුලු ඔවුන් සියලු දෙනා දැනුවත්ව ම ආවරනය කලේ, සිරිසේන බලයට ගෙන ඒම සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදීන් තිරයට පිටුපසින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සහ එවක විපක්ෂ නායක දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ නායකයා ද වූ රනිල් වික්‍රමසිංහ සමග ක්‍රියා කල බව යි. එම දේශපාලන කුමන්ත්රනය එල්ල වී තිබුනේ චීනයට එරෙහි ඇමරිකාවේ භූ-දේශපාලන සැලසුම් සමග ලංකාව පෙල ගැස්වීමට යි.
සිරිසේනට හා අන් අයට සදාචාරය ගැන කියා දීමට විජේසූරියට ඇති සදාචාරාත්මක සුදුසුකමේ තරම එවැනි ය.
සිරිසේනගේ ”අදහස් දැක්වීම ගැඹුරින් කරුනු සලකා බැලීමකින් වියුක්තව සිදු කර ඇති බව” ඔහු කියා සිටී. ”රාජ්‍ය පාලකයා පවසන සෑම කරුනකම නෛතික රාමුවකට අයත් රාජ්‍ය තාන්ත්‍රික වටිනාකමක් තිබිය යුතු” යැයි ඔහු උපදෙස් දෙයි. හිටපු අගමැති සිරිමා බන්ඩාරනායකට හා හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට පරෙස්සමින් කතා කිරීම ගැන උපදෙස් දෙන අය සිටි බව ද මතක් කරන විජේසූරිය, සිරිසේනට ද එසේ උදව් කරන අයෙක් අවශ්‍ය යයි යෝජනා කරයි. සිරිසේනට සුදුහුනු ගාන මහාචාර්යවරයා අවධාරනය කරන්නේ, රාජ්‍ය තාන්ත්‍රික කපටිකම් හා බේගල් ඇදබෑමට ඔහු හොඳහැටි පුරුදුවීම අවශ්‍ය බව යි.
විජේසූරිය සහ සහචරයන් කම්පනයට පත්ව ඇත්තේ සිරිසේනගේ සදාචාරය රැකීමේ ප්‍රකාශ ඊනියා යහපාලනය පිලිබඳ ව්‍යාජ ප්‍රචාරය කීතු කරන තවත් අවස්ථාවක් වීම ගැන ය. සිංහල බෞද්ධ සංස්ථාපිතයට ගැටගැසුනු ආචාර්ය, මහාචාර්යවරුන් හා බොහෝ ජනමාධ්‍යකරුවන්ගේ දෙපිටකාට්ටු විවේචනවලට පිටින්, සිතන මතන කොටස්වල අප්‍රසාදයට සිරිසේන ලක්වීම, විජේසූරිය වැන්නවුන්ගේ කනස්සල්ලට හේතු වී ඇත.
”රාජ්‍ය පාලකයා යථාර්තවාදී දැක්මක් ඇති පුද්ගලයෙක් විය යුතු ය. ගතානුගතික දෘෂ්ටිවාද කරපින්නා නොගත්තෙක් විය යතු ය. අවිද්‍යාව බැහැර කල පුද්ගලයෙකු විය යුතු ය.” විජේසූරිය ඉල්ලා සිටින්නේ සිරිසේනට එවැන්නෙකු වන ලෙස යි. මේ වනාහි ආගමික ඇදහිලි කරපින්නා ගත් අයෙකුගේ යාඥාවන් ය.
ඉන් නොනවතින මහාචාර්යතුමා, ”මෛත්‍රීපාල සිරිසේන ගැඹුරින් ම පසක් කරගත යුත්තේ අද වන විට ලංකාවේ සමාජ සංස්කෘතික දේහයම කුනු වී තිබෙන බව යි.” ඒ බව ”පිලිනොගෙන රටේ සමාජ ජීවිතය වඩා යහපත් තත්වයකට පත්කල නො හැකි” යයි කියා සිටී.
”ලංකාවේ සමාජ සංස්කෘතික දේහය කුනු වී ඇති“ බව සත්‍යයකි. විජේසූරිය එය ප්‍රකාශ කරන්නේ වංචාවට ය. ඔහුට අනුව සිරිසේන හෝ වෙනත් ගැලවුම්කරුවෙක් ඒ පිලිගෙන ධනනපති ක්‍රමය තුල ම යහපත් තත්වය ඇති කල යුතු ය. ඒ සඳහා ඔහු මානව ධර්මතා වර්ධනය කිරීමට සමාජයට අධ්‍යාපනය ලබා දීම, ජාතිය එක්සේසත් කිරීම, දේශපාලන ප්රතිසංස්කරන ඇති කිරීම ක්‍රියාවට දැමිය යුතු න්‍යාය පත්‍රය ලෙස ඉදිරිපත් කරයි.
”සමාජ සංස්කෘතික දේහය කුනු වීම” ගැන විජේසුරිය කතා කරන්නේ, රාජපක්ෂ හෝ වෙනත් නපුරන් නිසා එය සිදු වූවා සේ ය. ඊට විපරීතව, මෙම කුනුවීම වනාහි ධනපති ක්රමයේ ද පන්ති පාලනයේ ද පරිහානිගත වීමේ ප්රකාශනයකි. ලංකාවේ ධනවාදයේ පරිහානිය ලෝක ධනවාදයේ අර්බූදයෙන් වෙන් කල නො හැකි ය. සිරිසේන, වික්‍රමසිංහ හා බන්ඩාරනායකලා ද ඇතුලුව--ලංකාවේ ධනපති පන්තියේ මොනයම් හෝ කොටසකට කිසි කවරදාක වත් ප්රගතිශීලි ක්රියාකලාපයක් ඉටු කිරීමට හැකියාවක් තිබුනේ නැත, හැකියාවක් ඇත්තේ ද නැත. කුනුවූ ධනපති පන්ති පාලනය හා එහි විෂකුරු ප්‍රතිවිපාක පෙරලා දැමිය හැක්කේ කම්කරු පන්තියේ සමාජවාදී විප්ලවයෙන් ම පමනකි.
ධනපති පන්තියට ඉහේ සිට දෙපතුලට ම ගැටගැසී සිටින සරත් විජේසූරියලාගේ පුරවැසි බලය, නව සම සමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආදී සංවිධාන සමාජවාදී විප්ලවයට සතුරු ය. එනිසා ඔවුහු ධනපති පන්තියට සේවය කරන ”සදාචාරය” ඒ හෝ මේ අයුරින් ප්‍රචාරය කරති. අධිරාජ්‍යවාදී හා පසුගාමී රටවල පාලකයන් සදාචාරයේ වැදගත්කම ප්‍රචාරය කිරීම පසුගිය දශකවල ජාත්‍යන්තරව ම ඉහල ගොස් ඇත්තේ, ධනපති ක්රමයේ අර්බුදය තුල කම්කරුවන් භේද කිරීමේ වාර්ගික වසවිෂ පෙවීමට යි.
ලියොන් ට්‍රොට්ස්කි ධනපති පන්තියේ හා එහි අවතේව කාරයන්ගේ ”සදාචාරය” ගැන දේශනාවේ අමු කුහක කම හා පන්ති මූලයන් පැහැදිලි කලේ ය. ”උන්ගේ සදාචාරය හා අපගේ සදාචාරය” නමැති මහාර්ඝ ලියවිල්ලේ ට්‍රොට්ස්කි මෙසේ ලීවේ ය:
”සිය පන්ති විඥානයේ පරිපූර්නත්වයෙන් ද සම්මුති විරහිත භාවයෙන් ද කම්කරු පන්තිය පරයා සිටින ධනේශ්වරය, සිය ආචාර විද්‍යාව සූරාකෑමට පාත්රව සිටින ජනතාව මත පැටවීමට ප්රානසම උනන්දුවක් දක්වයි. ධනේශ්වර ආචාර ධර්ම සංග්‍රහයේ සංයුක්ත සිකපද ආගම, දර්ශනවාදය හෝ ”ව්‍යවහාර ඥානය” යයි කියනු ලබන දෙමුහුම තුල සඟවනු ලැබ ඇත්තේ හරියට ම අන්න ඒ අරමුන උදෙසා ය. වියුක්ත සම්මතයන්හි එල්බීම වනාහි උදාසීන දාර්ශනික වරදක් නොව, පංති රැවටිල්ලේ යාන්ත්රනයේ අත්‍යවශ්‍ය අංගයක් වේ. අවුරුදු දහස් ගනනක සම්ප්රදාය කරගසාගෙන සිටින මෙම වංචාව හෙලිදරව් කිරිම වනාහි කම්කරු පන්තික විප්ලවවාදියෙකුගේ ප්‍රථම යුතුකම වේ.”
Follow us on