ආන්ඩුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිලිබඳ ප්‍රෝඩාකාරී පනත් කෙටුම්පතක් සම්මත කරයි
ප්‍රදීප් රාමනායක විසිනි , 2016 ජුලි 08
ජුනි 25 වනදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව “ප්රජාතන්ත්රවාදයේ ජයග්රහනයක්” ලෙස හුවා දක්වමින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිලිබඳ පනත් කෙටුම්පත ඒකමතික ලෙස සම්මත කරගත්තේය. ශ්‍රී ලංකාවේ ජන මාධ්‍යයන් ද පනත හුවා දැක්වූයේ එලෙස ය.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ඉදිරිපත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේ “ජනතා පරමාධිපත්‍යය සහ ප්රජාතන්ත්රවාදය තහවුරු කරන ‘තොරතුරු දැනගැනීමේ අයිතිය’ පිලිබඳ පනත් කෙටුම්පත තුලින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නායකත්වය උසුලන ජාතික ආන්ඩුව තොරතුරු දැනගැනීම පිලිබඳ මෙතෙක් නොපැවති විනිවිදභාවයක් පෙන්වා ඇති” බවයි. පනතින් දූෂනයට ඇති මං ඇහිරෙන බවට ද ඔහු හුරේ දැම්මේය.
මෙම පනතින් ඉතා සීමිත ලෙස ඇතැම් ක්ෂේත්රයන්හි තොරතුරු දැන ගැනීමට මහජනතාවට ඉඩ සැලසෙතත් අගමැතිගේ කතාවට ඉඳුරාම පටහැනි ලෙස රටේ තීරනාත්මක අංශයන්හි තොරතුරු දැනගැනීමට මං අහුරන සංශෝධන කිහිපයකින්ම එය තරවී ඇත. එවන් පනත් කෙටුම්පතක් සම්මත කරගැනීම තුලින් මහජනතාවගේ තොරතුරු වෙත ප්‍රවේශය වඩ වඩාත් පටු කෙරේ.
තමා ප්රජාතන්ත්රවාදයේ කප්පිත්තෙකු ලෙස හුවා දක්වමින් නව ආන්ඩුව ඉතා විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන බවට වික්‍රමසිංහ අද උදම් අනන නමුත් සිරිසේන ජනාධිපති කරවීම සඳහා පිඹුරුපත් සැකසීමට පවා ඔහු සම්බන්ධ වුනේ වොෂින්ටනය සමග තන්ත්ර මාරු කුමන්ත්‍රයක යෙදෙමින් මහජනතාවට හොරෙනි.
මාර්තු මාසයේ මුල්වරට ඉදිරිපත් කෙරුනු පනත් කෙටුම්පතේ “තොරතුරු වලට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප වීම” යටතේ අඩංගු කර තිබූ මුලික කරුනු කිසිවක් දෙවන වර ඉදිරිපත් කිරීමේදී වෙනස් කෙරී නැත. ඒ අනුව ජාතික ආරක්ෂාවට හෝ එහි භෞමික අඛන්ඩතාවයට අදාල තොරතුරු, ජාත්‍යන්තර ගිවිසුම් පිලිබඳ රහසිගත තොරතුරු, මූල්‍ය සහ ආර්ථික ප්‍රතිපත්ති පිලිබඳ තොරතුරු ආදිය හෙලි කිරීම “අගතිදායක වන” අවස්ථාවලදී එම තොරතුරු නිරාවරනය නොකෙරේ.
“ජාතික ආරක්ෂාව සහ භෞමික අඛන්ඩතාවය” යනු ලොව පුරා ධනේශ්වර ආන්ඩු මෙන්ම ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩුද තොරතුරු දැනගැනීමේ අයිතිය මැඩීමට මෙන්ම සිය රාජ්‍ය මර්දනය යුක්තිසහගත කරගැනීම සඳහා එකදිගට යොදාගත් වහන්තරාවකි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව ගෙනගිය වර්ගවාදී යුද්ධයේදී සිය විරුද්ධවාදීන් සිරභාරයට ගැනීම, වධබන්ධනයට ලක්කිරීම සහ ඝාතනය කිරීම ඒ යටතේ මුදාහල ප්රජාතන්ත්ර විරෝධී ප්රහාරයක කොටස්ය. යුද්ධය ගෙන ගියේ ද එම අපරාධ සිදු කෙරුනේ ද ජාතික ආරක්ෂාවේ හා භෞමික අඛන්ඩතාවය රැකීමේ නමිනි. සිරිසේන හා වික්‍රමසිංහ යන දෙදෙනාම පසුගිය ආන්ඩුවල නායකයන් ලෙස මානව හිමිකම් මැඩලීමේ කුප්‍රකට වාර්තාවන්ට හිමිකම් කියයි.
පනතේ තවත් අර්ථභාරී රේගුලාසියක් වන්නේ ජාත්‍යන්තර ගිවිසුම්වල රහස්‍යභාවයට හානි පමුනුවන තොරතුරු වෙත ප්රවේශවීම සීමා කිරීමයි. එවැනි තීරනයක් ගෙන ඇත්තේ ඇමරිකන් අධිරාජ්‍යවාදයේ යුද මූලෝපාය සමඟ ශ්‍රී ලංකාව වඩ වඩාත් ඒකාග්ර කෙරෙමින් පවතින සන්දර්භයක් තුල වීම නිසා එම තීරනයේ ඇඟවුම වඩා බරපතල වේ.
සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව රටේ පාලනය සියතට ගැනීමත් සමඟ එහි විදේශ ප්‍රතිපත්තිය බීජිනයෙන් ඉවතටත් වොෂින්ටනය දෙසටත් කැපී පෙනෙන ලෙස මාරු වී ගොස් තිබේ. දැනට සිදුවී ඇති වෙනස්කම් වොෂින්ටනයේ පැසසුමට ලක්වී ඇති අතර ඔවුන්ගේ වැඩිදුර උපදෙස්, දිවයින වඩ වඩාත් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මාරක යුද ගින්නට ලං කරවන ඒවාය. මූලික වශයෙන්ම ශ්‍රී ලංකාව ඉන්දියනු සාගරය මැද චීනයට එරෙහි වොෂින්ටනයේ උපක්රමික බිම්කඩක් බවට පත්කිරීමේ මිලිටරි ගිවිසුම් වලට අතගැසීම ඊට අඩංගුය.
ජාත්‍යන්තර ගිවිසුම් වලට අදාල තොරතුරු වල රහස්‍යභාවය රැකගැනීම සඳහා නව නීති සම්පාදනය කරගැනීමට ආන්ඩුවට අවශ්‍ය වී ඇත්තේ රටේ සමස්ත මහජනතාව දැවැන්ත ව්‍යසනයක් වෙත කැඳවාගෙන යමින් තිරය පිටුපස සුදානම් කෙරෙන එවැනි රාජ්‍යතාන්ත්‍රික උගුල් ජනතාවගෙන් වසන්කර තැබීමටය. කලාපය තුල තීව්ර කෙරෙමින් පවතින වොෂින්ටනයේ යුද සූදානම කම්කරුවන් සහ තරුනයන් අතර සාකච්ඡාවට ගැනෙන මාතෘකාවක් බවට පත් වීම සහ ඒ හරහා ඔවුන් අතරින් අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව විරෝධතා මතුවීම කෙරෙහි පාලක පන්තීහු නිසැකවම බියට පත්ව සිටිති.
තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේපිත අනෙක් ප්‍රධානම ක්ෂේත්රය වන්නේ ආන්ඩුවේ මුල්‍ය සහ ආර්ථික ප්රතිපත්තියයි. ඒ යටතේ විදෙස් නය, විදේශ වෙලඳ ගිවිසුම්, බදු පැනවීම ආදියෙහි සැලසුම් පිලිබඳ තොරතුරු මහජනතාවට අත පෙවියහැකි මානයේ තබා නැත. පනත් කෙටුම්පතේ මෙම ක්ෂේත්රය සම්බන්ධ සීමාකිරීම් ඉවත් කල යුතු බවට පාර්ලිමේන්තුව තුල නැගුනු අදහසක් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුනාතිලක විසින් යටපත් කරනු ලැබුයේ ඒ පිලිබඳ වෙනම පනත් කෙටුම්පතක් ඉදිරියේදී ගෙන එන බව කියමිනි.
බරපතල ගෙවුම් ශේෂ අර්බුදයකින් සහ විදේශ නය බරකින් මිරිකී සිටින ආන්ඩුවට කම්කරු පීඩිත මහජනතාව අන්තයටම තලා දමන කප්පාදු පියවරයන්ට පය තැබීම හැර විකල්පයක් ඇත්තේ නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) වෙතින් ලබාගත් සහ ඉදිරියේදී ලබා ගැනීමට බලාපොරොත්තු වන නය පොට්ටනියේ සමස්ත බර කම්කරු පීඩිත මහජනතාවගේ කරමත තැබීම ආන්ඩුව අතගසාගෙන සිටින රාජකාරියයි.
නය ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබීමට මේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග විවෘත හා රහස් ගිවිසුම් වලට, ලොව අන් ආන්ඩු මෙන්ම ලංකාවේ සිරිසේන-වික්‍රමසිංහ පාලනය ද ඇතුලු වනු ඇත.
පනත් කෙටුම්පතට අලුතින් එක් කෙරුනු සංශෝධන තුලින් රාජ්‍යයේ අධිකාරය වඩා ශක්තිමත් කරවන ආකාරයට තවත් ක්ෂේත්‍ර කිහිපයකම තොරතුරු දැනගැනීමට තහංචි පැනවී ඇත. අධිකරනයේ ඊනියා ස්වාධීනත්වයට හානිවිය හැකි තොරතුරු, අමාත්‍ය මන්ඩල සංදේශ තොරතුරු සහ රහසිගතව තැබීමට නියමකර ඇති මැතිවරන තොරතුරු ඊට අලුතෙන් ඇතුලත් කෙරී ඇති අතර, පාර්ලිමේන්තු වරප්රරසාද උල්ලංඝනය කෙරෙන තොරතුරු හෙලි නොකිරීම, පලාත්සභා වරප්‍රසාද උල්ලංඝනය කෙරෙන තොරතුරු හෙලිදරවු නොකිරීම දක්වා එය දීර්ඝ කර ඇත.
පනත් කෙටුම්පත සම්මත කරගැනීමේදී ධනපති පාලන තන්ත්රයේ ආසක්තයන්ට මුලුමනින් එකඟතාව පලකරමින් ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුන, දෙමල ධනපති ඇතුලු සියලුම කන්ඩායම් පනතට ඡන්දය දුන්හ.
“ප්රජාතන්ත්රවාදය ස්ථාපනය කිරීම” නමැති ප්‍රෝඩාකාරී බැනරය පසුපස ධනපති පාලක පන්තිය විසින් නව වටයකින් පෙල ගස්වන මෙවැනි වැඩකටයුතු තියුනු පන්ති ඇඟවුම් අඩංගු කරගනී. ධනපති පන්තියේ ප්‍රහාරයට එරෙහිව ලෝකය පුරා කම්කරු පන්තිය තුල හිස ඔසවන සටන්කාමීත්වය යටගැසීම අරමුනු කරගනිමින් නව වටයකින් පෙරට දමන මෙම මර්දන පිලිවෙත් නිසැකවම එල්ලවන්නේ කම්කරු පන්තිය සිය පන්ති විඤ්ඤානයෙන් සන්නද්ධවීම, එනයින් ධනේශ්වර ක්‍රමය මුලිනුපුටා දැමීමේ කම්කරු පන්තික ස්වාධීන වැඩපිලිවෙලක් කරා ප්රවේශවීම වැලැක්වීමටයි.
සිය මිනීමරු වැඩකටයුතු සැලසුම් කරගැනීම වෙනුවෙන් දිනපතා මහජනතාව ගැන ඔත්තු බලමින් දත්ත ගොනු පුරවන අධිරාජ්‍යවාදී පාලක පන්තීහු ඒවා එලිදරවු කිරීමට පෙරට එන සියල්ලන්ට “දේශද්‍රෝහී” ලේබලය අලවා ඔවුන් සිය දඩයම් ලැයිස්තුවට එක් කරන අතරේ උක්ත වර්ගයේ වංචනික නීති රීති සම්පාදනය කරමින් පූර්වයෙන් දැනගැනීමට කවර හෝ ඉඩක් නොතබා ම කම්කරු පීඩිත මහජනතාව සෑම වර්ගයේ අන්තරායකටම අභිමුඛ කරති.
ලෝක කම්කරු ව්‍යාපාරයේ වැඩීයාමත් සමඟ ප්රජාතන්ත්රවාදයේ ආරක්ෂකයන් ලෙස මතුවන ධනපති පාලක පන්තියේ ව්‍යාජ වෙස්ගැනීම විශ්ලේශනය කරමින් ලෙනින් මෙසේ ලිවීය:
“විප්ලවවාදී කම්කරු ව්‍යාපාරය සෑම රටක් තුලම වැඩී යනු දකින ධනපතියෝ සහ කම්කරු සංවිධානවල සිටින ඔවුන්ගේ ඒජන්තවරු සූරාකන්නන්ගේ පාලනය ආරක්ෂා කිරීමට උපයෝගී කරගත හැකි දෘෂ්ටිමය සහ දේශපාලන තර්ක සොයාගැනීම පිනිස ඉතා නොඉවසිලිමත් ලෙස යත්න දරති. [නිර්ධන පන්ති] ආඥාදායකත්වය හෙලා දකිමින් හා [ධනපති] ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරමින් ඉදිරිපත්කරන තර්කය මෙයින් විශේෂ තැනක් ගනී”. [ ලෙනින්, තෝරාගත්කෘති, වෙලුම 9, (ප්‍රගති ප්‍රකාශන, 1979)]
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිලිබඳ පනත කම්කරු පන්තියට ප්රජාතන්ත්රවාදී අයිතීන් ලබා දෙන්නේ නැත. මෙම ඇස්බැන්දුම් වලට යටින් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව මෙම නව නීති ද යොදා ගනු ඇත්තේ කප්පාදුවට සහ යුද්ධයට එරෙහිව නැගෙන කම්කරුවන්ගේ දුගීන්ගේ හා තරුනයන්ගේ අරගල මැඩීම සඳහා රාජ්‍ය යන්ත්‍රය ශක්තිමත් කිරීමටයි.
Follow us on