“මහා ආඛ්‍යානයේ” ප්‍රත්‍යාගමනය
The return of the “grand narrative”
ලෝක පරිමානව, සමාජ අරගලයේ නැග එන රැල්ලක් විසින් කම්කරු පන්ති අරගලයේ “මහා ආඛ්‍යානය” සහ සමාජ විප්ලවය අවලංගු වී ඇති බවට බුද්ධිමතුන් විසින් කරනු ලබන ප්‍රති-මාක්ස්වාදී නිවේදන නිෂ්ප්රභා කෙරෙමින් පවතී.
ජනාධිපති ප්‍රන්ශුවා ඔලන්ද් විසින් හදිසි නීති යොදාගෙන පසුගිය මාසයේ පාර්ලිමේන්තුවේදී සම්මතකොට ගැනුනු , “එල් කොම්රි” නම් කම්කරු නීති සංශෝධන පියවරවලට එරෙහි කම්කරුවන්ගේ හා තරුන ජනයාගේ වර්ජන සහ පෙලිපාලි තවත් සතියකට දිග්ගැස්සෙමින් පවතින තතු තුල, පන්ති ගැටුමේ ගෝලීය රැල්ල මේ මොහොතේ ප්රන්සය කේන්ද්‍රස්ථ කොට ගෙන පවතී.
ජාතික දුම්රිය සේවයේ එස්එන්සීඑෆ් කම්කරුවන් අඟහරුවාදා කඩින් කඩ වැඩ නතර කල අතර පැරිස් නගරය තුල දුම්රිය සහ උමං දුම්රිය කම්කරුවන් බ්‍රහස්පතින්දා හදිසි වැඩ වර්ජනයක නිරත වනු ඇත. රටේ බොහෝ ප්‍රදේශ වල ප්‍රවාහනය අඩාල කිරීමේ තර්ජනය ඉස්මතු කරමින් ප්රන්සයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සිකුරාදා වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටී. තෙල් පිරිපහදු සහ අනෙකුත් වැඩපොලවල් වල ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ වර්ජන මෙන් ම, මේ දක්වා දස ලක්ෂයකට වැඩි ජනතාවක් සහභාගි වූ පෙලපාලි වලින් පසුවය මෙය සිදුවන්නේ. කම්කරුවෝ සහ තරුනයෝ ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ නමින් මෙම වසර මුල දී ක්‍රියාවට දැමු හදිසි නීති තත්වය යටතේ බලමුලු ගන්වන ලද පොලිස් බල ඇනි සමග ගැටුනහ.
පාලක පන්තිය සහ එහි ප්‍රචාරකයන් විසින් නිශ්චිත සමාජ පන්තීන්ගේ පැවැත්ම පවා ප්‍රතික්ෂේප කිරීමට කලක් තිස්සේ උත්සාහ කරන ලද ඇමරිකා එක්සත් ජනපදය තුල, දස දහස් ගනනක් සන්නිවේදන කම්කරුවෝ පසුගිය මාසයේ දී වැඩ වර්ජනය කලහ. වෘත්තීය සමිති විසින් නතර කිරීමට බරපතල උත්සාහයක් දරනු ලබන ඔවුන්ගේ අරගලය පැන නැගුනේ, එක්සත් ජනපද මෝටර් රථ කර්මාන්තයේ සම්ප්‍රදායික පෙදෙස වන මිචිගන් ප්‍රාන්තයේ ෆ්ලින්ට් නගර යේ පදිංචිකරුවන් ජලයට විෂ මුසුවීමට එරෙහිව ද ඩිට්රොයිට් නගරයේ රාජ්‍ය අධ්‍යාපනය විනාශ කිරීමට එරෙහි ව ද විරෝධය මතුවීමෙන් පසුව ය. බොහෝ දෙනා විසින් සමාජවාදියෙකු යයි සිතාගෙන සිටින බර්නි සෑන්ඩර්ස්ගේ අපේක්ෂකත්වයට පලල් ව ලැබුන සහයෝගය පිලිඹිබු කරන්නේ ධනපති විරෝධී හැඟීමක වැඩීගෙන ඒමය.
මෙම අරගල හා ලෝකය පුරා රටවල තවත් බොහෝ අරගල පැන නගින්නේ සමනය නොවන ආර්ථික අර්බුදයක හා යුද්ධයක තර්ජනය බෙහෙවින් වැඩි දියුනුවීම සහ කම්කරු පන්තියේ සහ තරුනයන්ගේ මහත් කොටසක ජීවන තත්වයන් පිරිහී යන පසුබිමක් තුල ය.
පසුගිය අඩ සියවස පුරා පැවති සංකල්පයන් නිෂ්ප්රභා කරන මෙම සිද්ධීන්, ජනයාගේ පලල් ස්ථර අතර ප්රගාඪ දේශපාලනික හා න්‍යායික නව නැඹුරුවකට ගතිකය අනිවාර්යයෙන් ම සපයනු ඇත. ප්රන්සයේ 1968 මැයි-ජුනි වර්ජනය පශ්චාත්-යුද්ධ දේශපාලනය තුල වැදගත් හැරුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කල පරිද්දෙන්ම එරට වර්තමාන සිදුවීම් ද සුවිශේෂි අර්ථභාරයක් දරා සිටි.
යුරෝපා ඉතිහාසයේ විශාලතම මහ වැඩ වර්ජනය වන එම අරගලය, ගෝල්වාදී රජයේ පදනම් හෙල්ලුම් කවමින් ධනවාදය පෙරලා දැමීමේ ප්රශ්නය කෙලින්ම මතු කලේ ය. ප්රන්ස මහ වැඩ වර්ජනයෙන් ඉක්බිතිව සෘජුව රාජ්‍ය බලය පිලිබඳ ප්රශ්නය මතු කල පන්ති අරගල රැල්ලක් 1968-1975 අතර ලෝකය පුරා පැන නැගුනි. බ්‍රිතාන්‍ය කම්කරු පන්තියේ ටොරි-විරෝධී දැවැන්ත ව්‍යාපාරය, ඉතාලියේ සහ ලතින් ඇමරිකාවේ වර්ජන ව්‍යාපාර හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට එරෙහිව වියට්නාම් ජනතාවගේ අරගල මෙම කාල පරිච්චේදයේ දී දක්නට ලැබුනි.
ස්ටැලින්වාදයේ, සමාජ ප්රජාතන්ත්රවාදයේ සහ වෘත්තීය සමිතිවල පාවාදීම ට ස්තුති වන්නට සැලකිය යුතු දසක ගනනාවකට එයට නොනැසී පැවතීමට හා යලි තහවුරු වීමට ඉඩ ලද ධනවාදය මෙම කුනාටූවලට ඔරොත්තු දුන්නේ ය.
මෙම සිද්ධීන්ට බියෙන් හා දිරිසුන්ව ප්‍රතික්‍රියා දැක් වූ බුද්ධි ජීවී ස්ථරය ප්රචන්ඩ ලෙස මාක්ස්වාදයට සතුරුව සිටගත්තෝ ය. කම්කරු පන්තියට එහි නායකත්වයේ පාවාදීම පිලිබඳව දොස් පැවරූ මෙම උපාමාරුව මෙහෙය වුනේ, අන් සියල්ලටමත් වඩා කම්කරු පන්තිය කෙරේ පැවති භීතිය විසිනි. විප්ලවයේ ඉදිරි හැකියාව දුටු කල්හි , ඔව්හු, සිය වාම වෙස්මුහුනු පසෙක ලා පාලක පන්තියේ අත යටට පැනගත්තෝ ය.
සමහර විට මෙම සන්තතිය එහි පැහැදිලි ම ප්රකාශනය අත් කර ගත්තේ පශ්චාත් නූතනවාදය නමින් ප්‍රචලිත න්‍යායික සංකල්පයන් හා බැඳුනු ප්රන්සය තුල ය. 1917 රුසියානු විප්ලවය විසින් අරඹන ලද මහා විප්ලවවාදී අරගල රැල්ල ඉකුත් වූ අතීතයට අයත් දෙයක් යයි සැලකූ මෙම දාර්ශනික සහ දේශපාලනික ප්රවනතාවයේ මූලික තර්කය දැන් අවලංගු වී තිබේ.
ෂොන්-ප්‍රන්ශුවා ලියොතාද් විසින් 1979 රචිත, The Postmodern Condition: A Report on Knowledge (පශ්චාත්නුතන තත්වය : දැනුම පිලිබඳ වාර්තාවක්) නම් කෘතියේ දී “පශ්චාත් නුතනවාදය” යන පදයේ අර්ථය මෙසේ සම්පින්ඩනය කරමින් ලියොතාද් පශ්චාත්නූතනවාදීන් “මහාආඛ්යානයන් කෙරෙහි අවිශ්වාසයක්” ඇති කර ගත් බව ලියුවේ ය: “ආඛ්‍යාන කෘත්‍යය සිය කර්තෘන් , සිය මහා වීරයා, සිය මහා අනතුරු, සිය මහා චාරිකා හා සිය මහා අභිමතාර්ථයට අහිමි වෙයි”
ඇන්ඩ්‍රේ ගෝර්ස් ඊට වසරකට පසු ලියු ඔහුගේ Farewell to the Working Class (කම්කරු පන්තියට සමුදීම) නම් පොතේ, ලියොතාද්ගේ ප්රකාශනයේ සමාජ අන්තර්ගතය වඩාත් කඨෝර ලෙස මෙසේ සටහන් කලේ ය: “නිර්ධන පන්තියේ මාක්ස්වාදී න්‍යායේ පදනම සෙවීමට දරන කුමන උත්සාහයක් වුව කාලය කා දැමීමකි.”
ලියොතාද් ප්‍රතික්ෂේප කල “මහා ආඛ්‍යානය” කුමක් ද?
එය වනාහි මාක්ස් සහ එංගල්ස් විසින් සියල්ලට ම ප්‍රථම සහ ප්රමුඛව Communist Manifesto(කොමියුනිස්ට් ප්රකාශනය) තුල දී නිවේදනය කරන ලද “මෙතෙක් පැවති සියලු සමාජයන්ගේ ඉතිහාසය වනාහි පන්ති අරගලයේ ඉතිහාසයයි” ද කම්කරුවන්ට “සිය යදම් හැර අහිමි වන්නට වෙනත් දෙයක් නැත” යයි ද යනුවෙන් ප්‍රකාශ කරන ලද , “මහා ආඛ්‍යානය” යි.
එය වනාහි මාක්ස්ගේ Das Kapital(ප්රාග්ධනය) කෘතිය තුල ධනේශ්වර ක්‍රමය පිලිබඳව මෙසේ පෙර දක්නා ලද දෝශාභියෝගයි:
එන්න එන්නම අඩුවන ප්රාග්ධනයේ කුවේරයන් සංඛ්‍යාවක් මෙම පරිවර්තන සන්තතියේ සියලු වාසි අත්පත් කර ගනිමින් සිය ඒකාධිකාරයට යටත් කරගන්නා තතු තුල, දුක්ඛිතබවේ, පීඩනයේ, වහල්භාවයේ, අවමානයේ හා සුරාකෑමේ පරිමානය වැඩි වී යයි; එ නමුදු මේ සමග ධනපති නිෂ්පාදන සන්තතියේ යාන්ත්‍රනය විසින් ම විනයගත, එක්සත් හා සංවිධානාගත කරනු ලබන්නා වුද නිරතුරුව සංඛ්‍යාවෙන් වැඩෙන්නාවූ ද පන්තියක් වන කම්කරු පන්තියේ කැරැල්ල ද වර්ධනය වෙයි. ප්රාග්ධනයේ ඒකාධිකාරය, එය යටතේ සහ එය සමග සමුද්භවව හා සශ්‍රීක ව ඇති නිෂ්පාදන ක්‍රමයට විලංගුවක් බවට පත් වෙයි. නිෂ්පාදන මාධ්‍යයන්ගේ මධ්‍යගතකරනය හා ශ්‍රමයේ සමාජමය වීම අවසානයේ දී ඒවා සිය ධනපති පිටකටුවට නොසරිලන තැනකට එලඹෙයි. මෙම පිටකටුව කැබලිවලට පුපුරා යයි. ධනවාදී පෞද්ගලික දේපලෙහි මල බෙරය හැඬවේ. අස්වාමික කරන්නෝ අස්වාමික කෙරෙති.
රාජ්‍යය හුදෙක් ම පීඩිත පන්තීන් පීඩාවට පත්කිරීම හා යටත්කර ගැනීම සඳහා, අධිපති ධනපති පන්තියේ උපකරනයක් බව Origin of the Family, Private Property and the State(පවුල, පෞද්ගලික දේපොල හා රාජ්‍යයේ සම්භවය) නම් කෘතිය තුල ෆ්රෙඩ්රික් එංගල්ස් විසින් විලක්ශනය කරනු ලැබී ය:
රාජ්‍යය පැන නැංගේ පන්ති සතුරුකම් පාලනය කර තැබීමේ වුවමනාව නිසා වනහෙයින් ද , එහෙත් එය ඒ සමගම, පන්තිවල ගැටුම මැද පැන නැගි හෙයින් ද , නීතියක් ලෙසම, ආර්ථික ව අධිපති පන්තියේ රාජ්‍යය ද රාජ්‍යයේ මාධ්‍යය හරහා ම වඩාත් බල සම්පන්න වන්නාවූ දේශපාලනික ව අධිපති පන්තියේ රාජ්‍යය ද වන්නේය; එ මතු නොව එය, පීඩිත පන්තීන් යටත් කොට තබා ගැනීමේ සහ සුරාකෑමේ නව මාධ්‍යයන් අත්පත් කර ගන්නේ ද වේ.
එමෙන් ම,
රුසියානු විප්ලවවාදී ව්ලැඩිමීර් ලෙනින්ගේ ප්‍රකාශය යුද්ධයේ වත්මන් යුගයට ගැලපෙන වඩාත් ඍජු භාෂාවෙන් කතා කරයි.
අධිරාජ්‍යවාදය වනාහි , සෑම තැනකදී ම, නිදහස නොව, ආධිපත්‍යය පිහිටුවාගන්නා මුල්‍ය ප්‍රග්ධනයේ හා එකාධිකාරයේ යුගයය.
නමුත් අන් සියල්ලට ම ත් වඩා පශ්චාත් නූතනවාදීන්ගේ විෂ යොමු කෙරුනේ වචනයෙන් හා ක්‍රියාවෙන් දෙකෙන් ම මාක්ස්වාදී ඉදිරිදර්ශනයට සුපැහැදිලිම ප්රකාශනය ලබා දුන් විප්ලවවාදියාට එරෙහි ව ය: ලියොන් ට්‍රොට්ස්කි ඔහුගේ නොනවතින විප්ලව න්‍යායේ දී ප්‍රකාශ කලේ, “සමාජවාදී විප්ලවය ජාතික තලයේ ආරම්භවෙයි, එය ජාත්‍යන්තර තලයේ දිගහැරෙයි, සහ ලෝක තලය මත පරිපුර්නත්වයට පත් වෙයි.” යනුවෙනි. සිය History of the Russian Revolution(රුසියානු විප්ලවයේ ඉතිහාසය නම්) ඔහුගේ කෘතිය තුල දී ඔහු විප්ලවය නිර්වචනය කලේ, “මහ ජනතාව තමන්ගේ ම ඉරනම පාලනය කර ගැනීමේ රජදහන තුලට බලහත්කාරයෙන් කඩා වැදීම” යනුවෙනි.
සංක්ෂිප්තව කියතොත්, පලල් ඉහල මධ්‍යම පන්තික ස්ථරයේ ආසක්තයන් ප්‍රකාශයට පත් කරන- පශ්චාත්නුතනවාදී න්යයාඥයෝ - සමාජය පන්තිවලට බෙදී තිබෙන බව ද, රාජ්‍යය පන්ති පාලනයේ උපකරනයක් බව ද, සමාජ සහ ආර්ථික වර්ධනයේ වෛෂයික තර්කනය අවබෝධ කර ගත හැකි බවද, ධනවාදය මානව වර්ගයා විනාශය කරා ගෙන යන බව සහ මෙම බංකොලොත් සමාජ පර්යාය ලෝක පරිමාවකින් පෙරලා දැමීම හා සමානතාවය මත පාදක වූ සමාජයක් සඳහා පදනම් දැමීම විප්ලවවාදී පක්ෂය විසින් නායකත්වය සපයන කම්කරු පන්තියේ කර්තව්‍යය බව ද ප්‍රතික්ෂේප කරති.
මාක්ස්වාදය මියැදී වලදමා ඇති බවට ප්‍රති-මාක්ස්වාදී න්යායඥයන්ගේ ප්‍රකාශයන් ට ප්රතිකූලව, තරුනයන්, ශිෂ්‍යයන් හා කම්කරුවන් නව පරම්පරාවක් ජීවත් වන්නේ ආර්ථික බිඳ වැටීමේ, සමාජ ද්රවාන්ත ගත වීමේ, යුද්ධයේ හා ආඥාදායකත්වයේ “මහා ආඛ්‍යානය” තුල ය.. එලඹෙන මාස සහ වසර වල දී දස ලක්ෂ සංඛ්‍යාත ජනයා මාක්ස්වාදයේ ශ්‍රේෂ්ට ග්රන්ථ අධ්‍යයනය කරමින් කම්කරු පන්තිය තවමත් මුහුන දෙන මහා කර්තව්‍යයන් විසඳීමේ අත්‍යාවශ්‍ය මග පෙන්වීමක් ලෙස ඒවා උපයෝගී කර ගනු ඇත.
ඇන්ඩ්‍රි ඩේමෝන්
Follow us on