යුද්ධයට ගොදුරු වූ නැගෙනහිර වැසියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතාකරති
අපේ වාර්තාකරුවන් විසිනි, 2016 මාර්තු 2
රාජපක්ෂ ආන්ඩුව යටතේ 2006දී නැවත යුද්ධය ආරම්භ කෙරුනේ නැගෙනහිර පලාතෙනි. කොලඹ හමුදාවන් ගුවන් ප්‍රහාර සහ බර අවි යොදා ගනිමින් එම ප්‍රදේශවල බලය තහවුරු කරගත්හ. එම ප්‍රදේශවල කාන්තාවන් හා ලමුන් ඇතුලු දහස් ගනන් ජනයා එක කඳවුරකින් තවත් එකකට පලා යමින් දිවි රැකගැනීමට උත්සාහ කල අතර මිය ගිය ජනයා පිලිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛන නැත. නිවාස, දේපල සහ ජීවනෝපාය ආදී සියල්ල අහිමි කෙරුනු තතු තුල ඔවුහු යුද්ධය විසින් සිය ජීවිත මත හෙලන ලද මහත් වූ පීඩනය කරපින්නාගෙන සිටිති.
මඩකලපු දිස්ත්‍රික්කයේ මන්මුනෛපත්තු ප්‍රාදේශීය සභාවට අයත් ආරයම්පදි ගම්මානය පවුල් 1000 කට ආසන්න දෙමල ජනතාවක් වෙසෙන ප්රදේශයකි. යුද්ධය පැවති සමයට ප්‍රථම එම ප්‍රදේශවල ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය ලෙස පැවතියේ කලපු ආශ්රිත ධීවර කර්මාන්තයයි. නමුත් අද වන විට එම ප්‍රදේශය තුල කිසිඳු අයුරකින් සක්‍රීය ලෙස ධීවර කර්මාන්තය සිදු නොකෙරේ. ප්‍රදේශයේ ප්‍රධානතම මාලූ වෙලඳපොල සම්පූර්නයෙන්ම පාහේ අත්හැරදමා ඇත.
සිය අදායම් මාර්ග ඇහිරුනු ධීවරයින් කන්ඩායමක් තමා මුහුනදී සිටින අභාග්‍ය සම්පන්න ඉරනම පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට කරුනු දක්වන ලදී.
එක් වයෝවෘද්ධ ධීවරයෙක් මෙලෙස සිය අත්දැකීම් විස්තර කලේය: “මම ධීවර රැකියාවට එනකොට අපේ පවුලේ පරම්පරා තුනක් ඒ රැකියාව කරලා තිබුන. මම රැකියාව පටන් අරන් ටික කාලෙකින් යුද්දෙ පටන් ගත්ත. ඒකාලේ මුහුදේ වගේම කලපුවෙත් ගොඩක් ප්‍රදේශ තහනම් කලාප බවට පත් කරලයි තිබුනේ. ඉතින් අපි ටික ටික රැකියාවට යාමට අධෛර්ය වුනා. දැන් යුද්දේ ඉවර වුනත් අපිට ආයෙ පුරුදු රස්සාව කරන්න බැහැ. අපට ආම්පන්න නැහැ. අලුත් පරම්පරාවට මේ ගැන දැනුමක් ඇත්තේ නැහැ.”
“අපේ ගම්වල මුහුදු ගිය බොහොමක් අය ආපසු ආවේ නැහැ. ඒ අය ගැන අදටත් කිසිම තොරතුරක් නැහැ. ඉස්සර අපේ අය කලපුවට ගියාම කල්ලඩි හමුදා කඳවුරෙන් ඇවිත් වටකරලා කඳවුරට අරන් යනවා. අදටත් අපි හමුදා නිල ඇඳුම් දැක්කම බයෙන් ගැහෙනවා.” සාකච්ඡාවට මැදිහත් වුනු තවත් ධීවරයෙක් සිය කටුක අත්දැකීම් එසේ විස්තර කලේය.
දුෂ්කරතා මධ්‍යයේ ධීවර රැකියාව කරගෙන යන එක් තරුන ධීවරයෙක් පවසා සිටියේ යුද සමය තුල බලහත්කාරී ලෙස හමුදාව විසින් කොටුකරගත් ප්‍රදේශවල විවිධ සමාගම් මහා පරිමානයෙන් ඩයිනමයිට් යොදා මත්ස්‍ය අස්වැන්න ලබාගැනීම නිසා ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට සිය සාම්ප්‍රදායික ජීවනෝපායට යම් අයුරකින් හෝ ප්‍රවිෂ්ට වීමට ඇති සියලු ඉඩකඩ ඇහිරී ඇති බවයි. ධීවර කර්මාන්තයේ යෙදී සිටි පිරිස් මේ වනවිට විවිධ විකල්ප රැකියාවන් වෙත යොමු වී ඇතත් එම රැකියා බොහොමයක් දෛනික කුලී පදනමට යටත්ව සිදුකෙරෙන ඒවා වන අතර ඉන් ලැබෙන ආදායම් අප්රමානවත් මෙන්ම ස්ථිර නොවන බව ඔහු තවදුරටත් පැවසීය.
තමන් මුහුන දී සිටින මෙම දුක්ඛිත තත්වය පිලිබඳ දෙමල දේශපාලන පක්ෂවල මැදිහත්වීම ගැන ධීවරයින්ගෙන් කල විමසීමකදී ධීවරයෙක් දැඩි කෝපයකින් මෙසේ පවසා සිටියේය: “මුල් පලාත් සභා ඡන්දයේදී අපි පිල්ලෙයාන්ට (ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්) ඡන්දය දුන්නා. එයා අපේ ඡන්දවලින් මහා ඇමති වුනා. අන්තිමට එයයි එයාගේ ගෝල බාලයොයි සල්ලි පොදිගහගත්ත මිසක් අපි වෙනුවෙන් කිසිම දෙයක් කලේ නැහැ. පහුගිය ජනාධිපතිවරනයේදි දෙමල ජාතික සන්ධානය (දෙජාස) අපිට කිව්වේ රාජපක්ෂ පරාද කලොත් අපේ ප්‍රශ්න ඉවරයි කියල. ඉතින් අපි සිරිසේනට ඡන්දය දුන්නා. මහ මැතිවරනයේදි දෙජාස ට ඡන්දය දුන්නා. දැන් දෙජාස නායක සම්බන්දන් විපක්ෂ නායකකම අරගෙන ඔක්කොම වරප්‍රසාද භුක්ති විඳිනවා. අපිට ඔවුන් ගැන අන්තිම කලකිරීමක් තියෙන්නේ.”
ගම්වැසියන් සමඟ කල සාකච්ඡාවේදී හමුදා නිලධාරීන් විසින් සාමාන්‍ය ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති ආකාරය හෙලිදරව් විය. ඔවුන් සඳහන් කල ඇතැම් සිදුවීම් අතර ඉඩම් හිමියා ඝාතනය කර ඉඩම් අත්පත් කරගත්තේ යැයි සැක පලකෙරෙන සිදුවීම්ද ඇතුලත් විය.
එලෙස බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම්. කනගරත්නම්: “යුද්ධ සමයේදී ආන්ඩුව දෙමල මිනිස්සුන්ට අයිති ප්‍රදේශවල හමුදා කඳවුරු ඉදිකලා. අධි ආරක්ෂක කලාප ඉදි කලා. මිනිස්සු හමුදාවට බයේ එම ඉඩම් වලින් ඉවත් වුනා. පසුව හමුදාව බොරු ලිය කියවිලි හදලා ඒ ඉඩම් අත්පත් කරගත්තා. සල්ලි බාගේ තිබුනු අය පස්සේ කාලේදී නීති ක්‍රියාමාර්ගවලට ගියත් බහුතරයකට එහෙම කරගන්න විධියක් නැහැ. හමුදාවේ මේජර්වරයෙකුට එරෙහිව දැනට මගේ මිත්‍රයෙකුගේ එවැනි නඩුවක් පොතුවිල් උසාවියේ විභාග වෙමින් පවතිනවා.”
වාලච්චේන ප්‍රදේශයේ කල මැදිහත්වීමකදී නැගෙනහිර පලාතේ උග්‍ර ලෙසම යුද්ධය පැවති ප්‍රදේශවලින් ඉවත්ව පැමින අන්ත දරිද්‍ර ජීවන රටාවක එරී සිටින පිරිසක් සමඟ සාකච්ඡා කිරීමට ලෝසවෙඅ වාර්තාකරුවන්ට හැකි විය.
එම ප්‍රදේශයේ අඩක් වැඩ නිමවා තිබූ කුඩා නිවාස කිහිපයක් ද සෙවිලි තහඩු කිහිපයකින් පමනක් ආවරනය කර තිබුනු කූඩාරම් වැනි නිවාස රාශියක් ද දක්නට ලැබුනි. එම කූඩාරමක වෙසෙන කාන්තාවක් සමඟ කල සාකච්ඡාවකදී යුද්ධය විසින් සාමන්‍ය ජනජීවිත වනසා දමා තිබෙන ආකාරය පිලිබඳ කම්පා සහගත වාර්තාවක් සැපයින. “අපි කලින් අපේ ගම්බිම් වල ගොවිතැන් කරගෙන හිටියා. යුද්දෙන් අපේ ගෙවල් දොරවල් ගොවිතැන් විනාස වුනාට පස්සේ අපි සරනාගත කඳවුරු වලට මාරු වෙවී හිටියා. අවුරුදු පහකට පමන පෙර තමයි මෙහෙට ආවේ. මගේ සැමියා කරන්නේ මේ ඉදිකෙරීගෙන යන ගෙවල් වල අයිතිකාරයින්ගේ හරක් බලාගන්න එක. මේ ගෙවල් දීලා තියෙන්නේ කරුනාගේ (විනයාගමූර්ති මුරලිදරන්) හිතවතුන්ට.”
ගෙබිමට කිසිත් අතුරා නැති පිහිටි පොලොවේ පැදුරු එලාගෙන ඔවුහු ඉතා කටුක නින්දක් ලබති. වැසි දිනයන්හිදී තත්වය වඩාත් උග්‍ර අතට හැරේ. වැසිකිලි පහසුකම් රහිතකමින් ශරීර කෘත්‍ය සඳහා අසල ලඳු කැලෑ වලට යන බවත්, පානීය ජලය අසල ඇල කන්ඩියේ හෑරූ වලවල් වලින් ලබාගන්නා බවත් ඔවුහු පැවසූහ.
යුද්ධය මධ්‍යයේ රජයේ හමුදාවන් අතින් දෙමල කාන්තාවන් අතවරයට ලක්වූ සිද්ධීන් පිලිබඳව ද ප්‍රදේශවාසීහු විස්තර කලහ. ඔවුන් පවසන පරිදි සිය ස්වාමිපුරුෂයන් මියයාම නිසා ආර්ථිකව අසරන භාවයට පත් කෙරුනු කාන්තාවන් සිය දරුවන් සමඟ දිවි රැකගැනීම උදෙසා ගනිකා වෘත්තියට යොමුවීම සුලභ වී තිබේ.
Follow us on