මැයි දිනය 2016: ඉන්දියානු උපමහාද්වීපයේ කම්කරුවන් සහ පීඩිතයින් ඉදිරියේ ඇති දේශපාලන කර්තව්‍යයෝ
May Day 2016: The political tasks facing the workers and toilers of the Indian sub-continent
විජේ ඩයස් විසිනි, 2016 මැයි 03
මෙහි පහත පලවන්නේ ජාත්‍යන්තර අන්තර්ජාල මැයිදින රැලියට ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස් විසින් කරන ලද කථාවයි.
ඉන්දියානු උප මහාද්වීපයේ කම්කරුවන් හා පීඩිතයින්, ලොව පුරා සිටින සිය පන්ති සහෝදරයින් සමග එක්ව, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලයේ පෙරමුන ගැනීම මේ මැයි දිනයේ අරමුන විය යුතු ය.
ඇමරිකාව, කිසි දා පැහැදිලි කර නැති, 2001 සැප්තැම්බර් 11 සිදුවීම්, ඇෆ්ගනිස්ථාන ආක්රමනය පිනිස ගසාකෑ තැන් පටන්, දකුනු ආසියාව හා ඉන්දියානු සාගර කලාපය, පෙර නොවූ විරූ පරිද්දෙන්, අධිරාජ්‍යවාදී භූ-දේශපාලන හා මහ බලවතුන්ගේ ගෝලීය බල අරගලයේ වා සුලිය තුලට ඇද ගනිමින් තිබේ.
ඇමරිකානු අධිරාජ්‍යවාදී මූලෝපායඥයින්ගේ ආස්ථානයට අනුව, බලශක්තියෙන් පෙහොසත් මැද පෙරදිග හා මධ්‍යම ආසියාව ද හිමාල කඳුවැටි හරහා චීනය දක්වා ද වන යුරේසියානු කලාපයේ ඇමරිකානු බලය තහවුරු කර ගැනීමේදී දකුනු ආසියාව එහි යටිබඩ ලෙසින් පවතින්නේය.
වත්මන් ඇමරිකානු නාවික යුද පාසැලේ අධ්‍යයනයකට අනුව ඉන්දියානු සාගරය, “ලෝක වෙලඳාමේ මූලික පථය ලෙස උතුරු අත්ලාන්තික් වෙලඳ මාර්ගය” විස්ථාපනය කර ඇතැයි යන්න, ඇමරිකාවේ ගෝලීය ආධිපත්‍යය සඳහා හැරීමේදී පෙන්ටගනයේ යුද සැලසුම්කරුවන්ගේ සැලකිල්ලට ලක්ව ඇත. මක්නිසා ද යත්, පලමුව හා ප්‍රධානකොට ම, යුද්ධයේදී හෝ යුද අර්බුදයකදී, චීනය මත ආර්ථික බාධක පැනවිය හැකි මූලෝපායික “ගෙල හිරකරන” තැන් සහිත සාගර කලාපය ඇමරිකානු සැලසුම්වල හරි මැද පිහිටා තිබීම යි. එසේ ම ඉන්දියානු සාගරය, මැද පෙරදිග හා නැගෙනහිර අප්‍රිකාවේ ඇමරිකානු මිලිටරි මෙහෙයුම් සඳහා ද අත්‍යවශ්‍ය යයි සලකනු ලබයි.
කලාපය පුරා සිය මිලිටරි මූලෝපායික අවශ්‍යතා පුලුල් කිරීමේ වොෂින්ටනයෙහි තල්ලුව, කුඩා දිවයින් රාජ්‍යයක් වන මාලදිවයිනේ සිට එදිරිවාදී න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙක් වන ඉන්දියාව හා පකිස්ථානය දක්වා වන දකුනු ආසියාවේ සෑම රටකම, අභ්‍යන්තර දේශපාලන ජීවිතය මෙන්ම පන්ති ගතිකය තීරනය කිරීමේදී දැන්, දැවැන්ත සාධකයක් බවට පත්වී තිබේ.
ඇමරිකාව, ඇෆ්ගනිස්ථානය සිය මිලිටරි ග්රහනයට නතු කර ගෙන දැන් වසර පහලොවක් ගතවී තිබේ.
වොෂින්ටනයේ දිරිගැන්වීම හා ආශීර්වාදය ඇතිව පකිස්ථානු මිලිටරිය, යලි වතාවක් රටේ ආන්ඩුව පසෙකට තල්ලු කර, රටේ ගෝත්‍රික ප්‍රදේශ තුල යුද්ධයක් ගෙන යමින්, කරච්චි අගනුවර සිය පාලනයට ගෙන, රටේ වඩාත් ම ජනාකීර්න පලාත වන පන්ජාබයේ මිලිටරි මෙහෙයුම් දියත් කර ඇත.
පසුගිය වසරේදී, එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ, වොෂින්ටනයේ පිටුබලයලත් තන්ත්ර මාරුවක ගොදුර බවට පත් විය. රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් ව සිටි මෛත්‍රිපාල සිරිසේන එලියට බස්සවා, පසුව ඊනියා පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස කරලියට ගෙනාවේ ඇමරිකාව විසිනි. රාජපක්ෂ රටේ සුලුතර දෙමල ජනතාවට විරුද්ධව සිවිල් යුද්ධය ගෙන ගිය අවධියේ ඇමරිකාව ඔහුට පූර්න සහාය ලබා දුන්නේය. ඔහු වොෂින්ටනය හා බීජිනය අතර තුලනය වීමට දරපු උත්සාහය ඔවුන්ට දිරවාගත නොහැකි විය. රාජපක්ෂ බලයෙන් පහ කර මාස කිහිපයක් තුල ජෝන් කෙරී, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙක් මෙරටට පැමිනි පලමු අවස්ථාව විය. එතැන් පටන් කොලඹ ආන්ඩුව ඇමරිකා-ශ්‍රී ලංකා හවුල්කාර සාකච්ඡාවන්ට එකඟ විය.
එහෙත්, ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමරිකානු තල්ලුවේ දී දකුනු ආසියාව ඊට අමුනා ගැනීමේ කඩඇනය ඉන්දියාව යි. කවර මිනුමක් අනුව වුවත් ඉන්දියාව දුප්පත් රටකි. එරට ජනගහනයෙන් හතරෙන් තුනක්ම පන ගැට ගසාගන්නේ දවසකට ඩොලර් දෙකක ආදායමකිනි. ඒත් වොෂින්ටනයට එය “මූලෝපායික ත්‍යාගයකි.”
“ඉන්දියාව එක්ක ඇතිකරගන්නා මූලෝපායික හවුල්කාරිත්වය නිසා (ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ට) විවෘතව තිබෙන අවස්ථා මගින් තමන් පිස්සු වැටී සිටින” බව ඇමරිකාවේ ශාන්තිකර කලාපයේ නාවික ආඥාපති අද්මිරාල් හැරී හැරිස්, මෑතකදී පැවසුවේය. ඉක්බිතිව ඔහු දකුනු චීන මුහුදේ, ඇමරිකානු-ඉන්දීය ඒකාබද්ධ නාවික මුර සංචාර සඳහා කැඳවුමක් කලේය.
වොෂින්ටනයට ඉන්දියානු ධනේශ්වරයෙන් මනා සහායක් ලැබී ඇත. ඇමරිකානු සහචරයෙකු ලෙස සේවය කිරීම තුලින් බලවතෙකු වීමේ තමන්ගේම අභිලාශයන් ඉටුකර ගැනීමට දූෂිත ඉන්දියානු ධනේශ්වරය බලාපොරොත්තු වෙයි.
දෙවසරක් වයසැති නරේන්ද්‍ර මෝඩි ආන්ඩුවත් ඔහුගේ හින්දු අධිපතිවාදී බීජේපීයත්, චීනයට එරෙහි ඇමරිකානු යුද ධාවනයේ පෙරටු රාජ්‍යයක් බවට ඉන්දියාව පරිවර්තනය කරමින් සිටී. ඉන්දියාව පුනරුච්ඡාරනය කරන්නේ, දකුනු චීන මුහුදේ ආක්රමනිකයා චීනයයි යන වොෂින්ටනයේ වැරදි අර්ථදැක්වීමයි, ඉන්දියාව පෙන්ටගනය සමග එක්ව නව අවි පද්ධතීන් ගොඩනැගීමට පටන්ගෙන ඇත, එසේම ඔවුන් පැසිෆික් කලාපයේ ප්රමුඛ ඇමරිකානු සහචරයින් වන ජපානය හා ඕස්ටේ්රලියාව සමග ද්විපාර්ශවික හා ත්‍රෛපාර්ශවික සබඳතා ගොඩනගමින් සිටී.
වොෂින්ටනය සමග “මූලධර්මයක් ලෙස එකඟත්වය” පිලිබඳ සිය ගිවිසුම පසුගිය මාසයේදී බීජේපී ආන්ඩුව නිවේදනය කලේය. එමගින් ඇමරිකානු ගුවන් යානා වලට හා නාවික යාත්‍රා වලට ඉන්ධන පිරවීමේ, යලි සැපයීමේ සහ අලුත්වැඩියා කිරීමේ පහසුකම්, ඉන්දියානු මිලිටරි කඳවුරු වලින් හා වරාය වලින් සැපයෙනු ඇත.
ලොව පුරා මෙන්ම දකුනු ආසියාවේ ද ඇමරිකානු අධිරාජ්‍යවාදය අතිශය නොබැරෑරුම් ආකාරයකින් කටයුතු කරන අතර එය, වාර්ගික, ජාතික හා කුල ගැටුම් වලින් ගිනිගෙන තිබෙන කලාපයට තෙල් වැක්කිරීමකි. එය වනාහි යටත් විජිත පාලනයේ ද, උප මහාද්වීපය හින්දු ඉන්දියාව හා මුස්ලිම් පකිස්ථානය ලෙස ලේ වැකි හා වාර්ගික ලෙස බෙදා වෙන්කිරීමේ ද කටුක උරුමයයි. 1947දී හින්දු හා මුස්ලිම් ධනපතියන් අතර කා කොටා ගැනීම් එවන් තත්වයකට තුඩු දුන්නේ ය.
වොෂින්ටනයේ සහයෝගය නිසා දිරිමත්ව සිටින මෝඩි ආන්ඩුව, නේපාලය මත මාස පහක සම්බාධක පනවමින් ද ඉන්දියාව තමන්ගේ “වඩාත් වැදගත් සගයා” බව කියා සිටින ලෙස මාලදිවයිනට බලකරමින් ද අසමානවූ හානි සිදුකල බවට චෝදනා එල්ලවන දේශසීමා උල්ලංඝනය කිරීම් වෙනුවෙන් වන්දි ගෙවීමට පකිස්ථානයට බල කිරීම පිනිස මිලිටරියට උපදෙස් දෙමින් ද කලාපීය අධිපතියා වීමේ දිගුකාලීන ඉන්දියානු හඬතැලීම කරයි.
අවි පද්ධතීන් හා අවි සම්පාදනය මගින් ඇමරිකාව කලාපයේ බල තුලනය වෙනස්කර ඇති බවට තමන්ගේ පැත්තෙන් පකිස්ථානය යලි යලිත්, ඉන්දියාවට අනතුරු අඟවයි. වොෂින්ටනය මේ අනතුරු ඇඟවීම් ගනන් නොගන්නා තත්වය තුල පකිස්ථානය දැන්, උපායික හෝ න්‍යෂ්ටික යුද අවි ස්ථානගත කිරීමේ යෙදී සිටියි.
අවශේෂ ලෝකයේ වගේම දකුනු ආසියාවේත් ජනතාව අතර යුද විරෝධී මනෝ ගතිය පුලුල් ලෙස පවතින මුත් යුද විරෝධී ව්‍යාපාරයක් ඇත්තේ නැත. ඇමරිකාවේ තන්ත්ර මාරු මෙහෙයුමට සහාය දැක්වූ ලංකාවේ ව්‍යාජ වම්මු, අවසන් සති කීපය දක්වා ම රාජපක්ෂගේ ගැත්තෙකු ලෙස සිටි සිරිසේන, ප්රජාතන්ත්රවාදයේ නියෝජිතයාය යන බොරුව තොරොම්බල් කලහ.
වේගයෙන් ප්රසාරනය වන කම්කරු පන්තිය දේශපාලනිකව මැඩලීමේ තීරනාත්මක කාර්ය භාරය, ඉන්දියානු ස්ටැලින්වාදීහු ඉටු කලහ. පසුගිය විසිපස් වසර පුරා කොමියුනිස්ට් පක්ෂ හා ඒවායේ වාම පෙරමුන, ඉන්දියාව ලෝක ධනවාදය සඳහා ලාභ ශ්‍රම මධ්‍යස්ථානයක් හා වොෂින්ටනයේ “මූලෝපායික හවුල්කරුවෙකු” බවට පත්කිරීමේ න්යායපත්රය මත වැඩ කල ආන්ඩු වලට සහාය දුන්හ.
බීජේපී ආන්ඩුවේ වාර්ගික ප්රතිගාමිත්වය හා ඇමරිකානු කඳවුරු ගිවිසුම කරපින්නා ගැනීම ඇතුලු අපරාධ යොදාගන්නේ, කම්කරු පන්තිය තව තවත් ඉන්දියානු ධනේශ්වරයට හා රාජ්‍යයට යටත් කිරීමේ ක්ෂමාලාපයක් ලෙසය. කොන්ග්රස් පක්ෂය සමග වඩා විවෘත සන්ධානයක් සඳහා ඔවුහු තර්ක ගොතති. ඉන්දියානු ධනේශ්වරයේ සම්ප්‍රධායික කොන්ග්රස් පක්ෂ ආන්ඩුව පසුගිය විසිපස් වසර පුරා කලේ ආයෝජන ගැති ප්රතිව්යුහකරන සඳහා පදනම සකස් කිරීම හා ඇමරිකානු-ඉන්දීය සන්ධානය ඇටවීමත් ය.
පසුගිය සියවසේ සමස්ත දකුනු ආසියානු ඉතිහාසයම දෙස් දෙන්නේ, ධනේශ්වරයේ ඊනියා ප්රගතිශීලී හෝ ප්රජාතන්ත්රවාදී කොටස් සමග අටවා ගන්නා ලද එවන් සියලු සන්ධානයන්හි තරයේම ප්රතිගාමී ස්වභාවයත්, කම්කරු පන්තිය නොනවතින විප්ලවයේ ක්‍රියාමාර්ගය මත පිහිටා ගැනීමේ දැවෙන අවශ්‍යතාවත් ය. අධිරාජ්‍යවාදී මර්දනය, උග්‍ර දරිද්‍රතාවය, කුල හා වාර්ගික වෙනස්කම් කිරීම වැනි කිසිවකට විසඳුම්, කම්කරු පන්තිය නායකත්වය ගන්නා සමාජවාදී විප්ලයකින් තොරව සම්පාදනය කල නොහැකිය.
සමාජ ප්‍රතිරෝධය වැඩෙමින් තිබේ. පසුගිය සතියේ ප්රමුඛ ඉන්දියානු පුවත්පතක්, බැංගලෝරයේ අඩු වැටුප් ගෙවන ඇඟලුම් කම්කරුවන්ගේ හදිසියේ පැන නැගි විරෝධතාවක් පිලිබඳව බිය පල කලේය. එම පත්‍රයේ ප්‍රකාශකයා එතරම්ම බියට පත් කලේ, මෙම සටන්කාමී විරෝධතාව හටගත්තේ පවත්නා වෘත්තීය සමිති හා දේශපාලන ව්‍යුහයට පිටින් නිසා වෙනි.
තීරනාත්මක ප්රශ්නය වන්නේ, ලෝකය පුරා කම්කරුවන්ගේ නැගී එන කැරලිකාරිත්වය, ගෝලීය පන්තියක් ලෙස ඔවුන්ගේ වෛෂයික අවශ්‍යතා සපුරාලන, සූරාකෑමෙන් හා යුද්ධයෙන් තොර නව සමාජ ක්‍රමයක් ගොඩනැගීමේ ඉදිරිදර්ශනය හා ක්‍රියාමාර්ගය තුලට යොමු කර ගැනීමයි.
මෙම ශ්‍රේෂ්ඨ කර්තව්‍ය සඳහා අප සමග එක් වන ලෙස මේ මැයි දිනයේදී දකුනු ආසියාවේ හා ලෝකය පුරා කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් මම ඉල්ලා සිටිමි.
Follow us on