ශ්‍රී ලංකාවේ අයවැය කප්පාදු උග්‍ර කෙරේ
Sri Lankan budget deepens austerity offensive
සමන් ගුනදාස විසිනි, 2016 නොවැම්බර් 15
සමාජ වියදම් කපා හැර බදු ගනනාවක් ඉහල දැමූ 2017 අයවැය, කම්කරු පීඩිත ජනතාවගේ සමාජ තත්වයන්ට එල්ල කල සෘජු ප්රහාරයකි.
මුදල් ඇමති රවි කරුනානායක විසින් ගිය සතියේ නිවේදනය කල අයවැය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග සමග හොඳින් ගැලපේ. 2017 දී අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.7 තෙක් කපා හැරීම එහි එක් නිර්දේශයකි. වර්තමාන අයවැය හිඟය සියයට 5.4 කි. 2020 දී එය සියයට 3.5 තෙක් අඩු කිරීමට ජාමූඅ ට අවශ්‍ය ය.
ඊලඟ මාස 12 පුරා රාජ්‍ය වියදම් රුපියල් ට්‍රිලියන 1.94 සිට ට්‍රිලියන 1.8 (එජ ඩොලර් බිලියන 12 ක් පමන) තෙක් අඩු කරන අතරේ බදු ආදායම සියයට 27 කින් ඉහල දමා ගත යුතුය.
අයවැය ඉදිරිපත් කිරීමට දින 10 කට පෙර ආන්ඩුව, අගය මත එකතු කිරීමේ බද්ද (වැට්) සියයට 11 සිට 15 තෙක් ඉහල දමන ලද අතර වැඩ කරන ජනතාව විසින් පාවිච්චියට ගන්නා බොහෝ භාන්ඩ හා සේවා මත මෙම බද්ද පනවන ලදී. මසකට රුපියල් මිලියන 1 (ඩොලර් 6,800) පිරිවැටුමක් සහිත ව්‍යාපාර වැට් බද්දට ඇතුලත් වන ලෙස බදු දැල පුලුල් කර ඇත.
මෙම මස මුලදී, රජය සිගරැට් මත බද්ද ද රුපියල් 7 කින් ඉහල දැමීය. වැට් ඉහලයාමත් ඇතුලත්ව සිගරැට් මත පැන වූ සමස්ත බදු අනුපාතය සියයට 90 කට ආසන්නය.
අයවැයට පහත දේ ද ඇතුලත් වේ.
x අන්තර්ජාල පාවිච්චිය මත සියයට 25 ක නව බද්දක් (මෙයත් සමග අන්තර්ජාල භාවිතාකරන්නන් මත බද්ද සියයට 45 දක්වා දැවැන්ත ලෙස ඉහල යයි.)
x නව ජංගම දුරකථන සිම් පතක් සක්‍රිය කිරීමේදී රුපියල් 200 ක බද්දක්
x ජංගම දුරකථන හරහා මුදල් හුවමාරුවේදී සියයට 0.05 ක බද්දක්
x ලොතරැයි ටිකට් පත් මත රුපියල් 5 ක බද්දක්
x ගුවන් ගතවීමේ බද්ද රුපියල් 4,500 සිට 7,500 දක්වා වැඩි කෙරේ.
x රථවාහන වායු විමෝචන (කාබන්) බද්ද සියයට 50 සිට සියයට 100 ට වැඩි කෙරේ.
අනෙකුත් නිර්දේශයන් අතර බීඩි, මධ්‍යසාර ස්ප්‍රීතු (එතනෝල්), හා රූපවාහිනී නාට්‍ය මත බදු වැඩිකිරීම් ඇතුලත්ය. අධිකරනයේ නඩු පැවරීමකදී නව බද්දක් පනවා තිබේ. මාර්ග නීති උල්ලංඝනය කිරීමක දී පැවති අවම දඩය රුපියල් 20 සිට රුපියල් 2,500 දක්වා ඉහල නංවා තිබේ.
දෙසැම්බර් 1 දා සිට ජල ගාස්තු සියයට 30 කින් ඉහල නංවන බව ද ආන්ඩුව නොවැම්බර් 12 දා නිවේදනය කලේය.
නොවැම්බර් 1 දා සිට ක්‍රියාත්මක වැට් බදු ඉහල දැමීමත් නව බදු පැනවීමත් සමග අත්‍යාවශ්‍ය භාන්ඩ හා සේවා මිල ගනන් හා සමස්ත ජීවන වියදම සීඝ්‍රව ඉහල යනු ඇත. පසුගිය මාසයේ කොලඹ උද්ධමන අනුපාතය සියයට 4.3 කින් ඉහල ගොස් තිබුනි.
ආන්ඩුවේ වැඩ පිලිවෙල නිසා ඇතිවන සමාජ බලපෑමෙන් අවධානය ඉවතට හැරවීමට කපටි උත්සාහයක් දරමින්, සමහර අත්‍යාවශ්‍ය ආහාර වර්ග කීපයක මිල රුපියල් 67 කින් අඩුකල බව කරුනානායක පැවසුව ද ජීවන වියදමට එමගින් කිසිදු බලපෑමක් ඇති නොවේ.
ඊට අමතරව, අයවැයෙන් මේ වසරේ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන වියදම් රුපියල් බිලියන 185 සිට බිලියන 76 කට, එනම් සියයට 60 කින් කපා හැර තිබේ. පුලුල්ව පැතිරුන විවේචනය මගහැරීමට, තමන් රුපියල් බිලියන 17 කින් පමන ප්‍රතිපාදන ඉහල නංවන බව කරුනානායක පැවසුව ද සමස්ත කපාහැරීම හා සැසඳීමේදී එය ඉතා සුලු වැඩිවීමකි.
මේ වසරේ රුපියල් බිලියන 38 ක් වූ විශ්ව විද්‍යාල අධ්‍යාපන ප්‍රතිපාදන රුපියල් බිලියන 5 කින් කපා හැර ඇති අතර මේ වසරේ රුපියල් බිලියන 174 ක් වූ සෞඛ්‍යය අරමුදල්, 2017 දී බිලියන 167 දක්වා එනම් බිලියන 13 කින් කප්පාදු කර තිබේ.
මුදල් ඇමතිගේ කතාව අධ්‍යාපන පුද්ගලීකරනය පුලුල් කිරීමේ ආන්ඩුවේ සැලසුම් මත ප්‍රධාන ලෙසම යොමු විය. “රටෙහි රාජ්‍ය නොවන උපාධි ලබාදෙන ආයතන වැඩිකිරීමට අප පහසුකම් සැලසිය යුතුය”යි පැවසූ ඔහු, පෞද්ගලික උසස් අධ්‍යාපනය තව දුරටත් ධෛර්මත් කිරීමට සිසුන් සඳහා රුපියල් 800,000 ක බැංකු නයක් ලබාදෙන බව නිවේදනය කලේය.
“දේශපාලනිකව මෙහෙයවන කන්ඩායම්වල බෝඩ් ලෑලි උස්සාගත් කීප දෙනෙකු විසින් රටෙහි සංවර්ධනය ප්‍රාන ඇපයට ගැනීමට දරන උත්සාහයට ඉඩ දෙන්නට බෑ”යැයි ප්‍රකාශ කරමින් අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව විශ්ව විද්‍යාල සිසුන් ගෙන යන උද්ඝෝෂන ඔහු හෙලා දැක්කේය.
රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපට තවත් විශාල ප්‍රහාරයක් එල්ල කිරීමට ආන්ඩුව පිඹුරුපත් සකසමින් සිටී. “රජයේ අරමුදල් නොමැති විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පිපිරීමට නියමිත කාල බෝම්බයක්” බව ප්‍රකාශ කල මුදල් ඇමති ආන්ඩුවේ “දායකත්වය ඇති විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය” ක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව පැවසීය. වෙනත් වචනවලින් පැවසුව හොත්, දායක මුදල් සේවකයාගේ වැටුපෙන් අඩුකර ගනු ඇත.
රාජ්‍ය ආයතන “භාන්ඩාගාරය හිස් කරන” බව පවසමින් කරුනානායක ඒවාට ද පහර ගැසීය. ලංකා විදුලිබල මංඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මංඩලය සහ ලංකා ඛනිජතෙල් සංස්ථාව ට ආන්ඩුව අරමුදල් සැපයීම නවතන ලෙස ද ඒවායේ වියදම් හා පාඩු පියවා ගැනීමට බිල්පත් ගාස්තු ඉහල නංවන ලෙස ද ජාමූඅ නියෝග කර ඇත.
අයවැයෙන් අධ්‍යාපනයට, කෘෂිකර්මයට හා අපනයන ව්‍යාපාර වලට බලපාන සහනදායී ආයතනික බදු සියයට 2 න් හා රැඳවුම් බද්ද සියයට 2.5 කින් ඉහල දැමීමට යෝජනා කරන අතර විශාල ආයෝජන සඳහා ඩොලර් මිලියන 100 ක බදු සහන සපයා තිබේ.
සුඛෝපභෝගී තට්ටු නිවාස මිලදී ගන්නා විදේශිකයන් සඳහා සියයට 40 දක්වා දේශීය බැංකු නය ඇතුලු බොහෝ දිරි දීමනා මුදල් ඇමති යෝජනා කලේය. ඊට අමතරව, ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති බහුජාතික සමාගම්වල මූලස්ථාන ආයතනික බදු වලින් නිදහස් කර ඇත.
මෙම බදු සහන විදේශ ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීමට හා දැවැන්ත ගෙවුම් ශේෂ අර්බුදය මගහරවා ගැනීමට ගන්නා ආන්ඩුවේ මංමුලා සහගත උත්සාහයකි. ගෝලීය ආර්ථික පසුබෑමෙන් පහර වැදී ඇති තතු හමුවේ, 2016 පලමු මාස හත තුල අපනයන පහල ගිය අතර සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 339 දක්වා සියයට 37න් වැටී තිබේ.
කලුතර, රත්නපුර, පුත්තලම හා වව්නියාවේ නව නිදහස් වෙලඳ කලාප (නිවෙක) හතරක් පිහිටුවන බව කරුනානායක නිවේදනය කලේය. මෙම අඩු වැටුප් කලාප පුද්ගලික අංශය විසින් මෙහෙයවෙන අතර රබර්, රසායන ද්‍රව්‍ය, ඖෂධ, ඛනිජ, රෙදි හා රථවාහන උපාංග නිෂ්පාදනයට සැලසුම් කෙරෙනු ඇත.
මෙම වෙලඳ කලාප තුල පැය 45 ක වැඩ සතියක් ඇතුලත නම්‍යශීලී වැඩ කරන කාලයකට ද කොන්ත්‍රාත් රැකියා කාල සීමාව මාස 6 සිට එක් වසරකට වැඩි කිරීමකට ද, කාර්ය සාධනය මත පදනම් වූ වැටුප් ගෙවීමට ද වෘත්තීය සමිති ඉඩ දෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව මුදල් ඇමති ප්‍රකාශ කලේය. බොහෝ වෘත්තීය සමිතිවල සහයෝගය ලැබූ මෙම යෝජනා, නිවාඩු දිනවල වැඩ කිරීම ද කොන්ත්‍රාත් පදනම මත වැඩ දිරිමත් කිරීම හා ඉහල කාර්ය සාධන ඉලක්ක බලෙන් පැටවීමක් වනු ඇත.
අයවැය රටෙහි සංවර්ධනය සඳහා පිලියෙල කෙරුනක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම ප්‍රකාශ කලේය. මෙම ප්‍රකාශ හාස්‍යජනකය.
නව අයවැය ජාමූඅ සෘජු නියෝග මත සාදන ලද්දකි. එහි අරමුන, විදේශ ආයෝජකයන්ට සහ ධනපතියන්ට වැඩි සහන ප්රදානය කරන අතරේ කම්කරු පීඩිත ජනතාව මත ගැඹුරුවන ආර්ථික අර්බුදයේ බර පැටවීමයි.
මහා ව්‍යාපාර වහාම අයවැය ගැන ප්‍රශංසා කලේය. අයවැය හිඟය කපා හැරීමේ හා ආයෝජන සඳහා නව ප්‍රාග්ධන දිරි ගැන්වීම් ලබා දීමේ ක්‍රියාමාර්ග ගැන සඳහන් කරමින්, “සමහර අති විශාල අභියෝග හොඳින් ආවරනය කර තිබේ” යයි ලංකා වානිජ මංඩලයේ සභාපති සමන්ත රනතුංග පැවසුවේය. රජයේ යෝජනා “බලාපොරොත්තු දල්වන සුලු” බව ජාතික වානිජ මංඩලයේ සභාපති තිලක් ගොඩමාන්න පැවසීය.
Follow us on