චීන ජනාධිපතිගේ බංගලිදේශ සංචාරය දකුනු ආසියාවේ වර්ධනය වන එදිරිවාදීකම සලකුනු කරයි

Chinese president’s visit to Bangladesh highlights growing rivalry in South Asia

සරත් කුමාර විසිනි, 2016 නොවැම්බර් 5

පසුගියමස සිදුවූ චීන ජනාධිපති ක්ෂි ජින්පින්ගේ බංගලිදේශ සංචාරය, චීනය සහ ඇමරිකාව පිටුබලය දෙන ඉන්දියාව අතර තීව්‍ර වෙමින් ඇති භූගෝලීය එදිරිවාදීකම තියුනු ලෙස ප්‍රකාශ කරයි. ඉන්දියාව, ඇමරිකාව සහ ජපානය බංගලිදේශය තුල චීන අනුහසට වල කැපීම සඳහා අගමැති ෂික් හසීනාගේ ආන්ඩුව වෙත යොදන පීඩනය දැඩි කරමින් මැදිහත්ව සිටිති.

ඔක්තෝබර් 14 දින ක්ෂිගේ බංගලිදේශ සංචාරය, 1986 ජනාධිපතිව සිටි ලි ක්ෂිඅන්නිඅන්ගෙන් පසුව චීන රාජ්‍ය ප්‍රධානියකු එරට සිදු කල ප්‍රථම සංචාරයයි. එහි පැහැදිලි අරමුන, බංග්ලාදේශ-ඉන්දියා සබඳතා ශක්තිමත් කිරීමේ වෑයමට විරුද්ධ පියවර ගැනීමයි. ජනාධිපති ක්ෂි, බංගලිදේශ අගමැති හසීනා, ජනාධිපති අබ්දුල් හමීඩ් සහ විරුද්ධ පක්ෂය වන බංගලිදේශ ජාතික පක්ෂ (බංජාප) නායක ඛලීඩාසියා ද හමුවිය.

තම ඩකා සංචාරය තුලදී ක්ෂි අවධාරනය කලේ, දකුනු ආසියානු සහ ඉන්දියානු සාගර කලාපයේ සහචරයෙකු ලෙස බංගලිදේශය චීනයට‍ කෙතරම් වැදගත් ද යන්නයි. ඔහු පැවසුවේ “අන්‍යොන්‍ය දේශපාලන විශ්වාසය” ගැඹුරු කිරීමටත් “අපගේ සබඳතා සහ පරාධ යෝගික සහයෝගය ඉහල මට්ටමකට එසවීමට” ත් බීජිනය සූදානම් බව යි. ඒකාබද්ධ ප්‍රකාශනයක සඳහන් වුනේ, 2017 “මිත්‍රත්වයේ සහ හුවමාරුවේ වසර” වනු ඇති බව ය.

ක්ෂිගෙ සංචාරය තුලදී බංගලිදේශයේ ආයෝජන සඳහා ඇ.ඩො බිලියන 24.45 සඳහා ගිවිසුම් 27 ක් අත්සන් තැබින. චීන රාජ්‍ය සමාගම් 13 ක් බංගලිදේශ පෞද්ගලික සමාගම් සමග ඇ.ඩො බිලියන 13 ක් වටිනා ඒකාබද්ධ ව්‍යාපාර සඳහා ගිවිසුම් අත්සන් කලහ.

බීජින් විශ්ව විද්‍යාලයේ දකුනු ආසියානු අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජියැන්ග් ජින්කුයි, චයින ඬේලි පත්‍රයට පැවසුවේ, “චීනය 2013 දී තීරුව හා මාවත ව්‍යාපෘතිය ඉදිරිපත් කලායින් පසුව විශේෂයෙන් මෑත වසර වලදී, චීනයේ සම්ප්‍රදායික එල්ලය නොවූ දකුනු ආසියානු කලාපය වඩ වඩාත් වැදගත් වන” බව යි. මෙම වැඩ පිලිවෙල (එනම් බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව්) යටතේ චීනය, අප්‍රිකාව සහ යුරේෂියානු භූ ස්කන්ධය වඩා සමීප කිරීම සඳහා යටිතල පහසුකම් වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් කරයි.

චීනයට එරෙහි යුද සූදානම තුල ඇමරිකාව, ඉන්දියාව පෙරමුනු රාජ්‍යයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන බව බීජිනය හොඳින් දැන සිටියි. චීනයේ වියදමෙන් බංගලිදේශය ශ්‍රී ලංකාව, නේපාලය සහ ඇෆ්ගනිස්ථානය ඇතුලුව කලාපයේ තම (ඉන්දියානු) අනසක පිහිටුවීම සඳහා ඔබාමා පරිපාලනය නව දිල්ලිය උනන්දු කර ඇත.

පසුගිය ජුනියේ ඩකාහි සංචාරයේ යෙදුනු ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි, සාගර ආරක්ෂාව ඇතුලුව, බංගලිදේශයේ විශේෂ ආර්ථික කලාප ගොඩනැගීම සඳහා ගිවිසුම් 22 ක් අත්සන් කලේය. ඉන්දියාව, රටවල් දෙක අතර දශක හතරක් පැවතුනු දේශසීමා මතභේද අවසන් කිරීමේ විධික්‍රම ද යෝජනා කිරීම වැදගත්ය. කෙසේ හෝ කලින් එකඟවී තිබුනු මෝදිගේ ඇ.ඩො. බිලියන 2 ක නය සහ ඇ.ඩො මිලියන 800 ක වෙනත් ආධාර, ක්ෂිගේ පසුගිය මස ප්‍රදානයන් මගින් නොවැදගත් බවට පත් කෙරින.

චීනය බංගලිදේශයේ ප්‍රමුඛතම හමුදා උපකරන සපයන්නා ද වන අතර රටවල් දෙක අතර ඍජු පුහුනු වීම් සහ මිලිටරි හුවමාරු වැඩසටහන් ද ඇත.

චීන ආයෝජන ප්‍රසාරනය වෙමින් තිබේ. ක්ෂිගේ සංචාරයට යම්තම් දිනකට ප්‍රථම, චීනයේ ජිඇන්ග්සු එටර්න් පෞද්ගලික් සමාගම බංගලිදේශයේ විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුනින් ඇ.ඩො. බිලියන 1.1 ක් වටිනා වසර හතරක වෙලඳ ගනුදෙනුවක් අත්සන් කලේය. අගෝස්තු මසදී ඇ.ඩො. මිලියන 304 ක විදුලිබල ජනක යන්ත්‍ර ව්‍යාපෘතියක් සඳහා ඒටර්න් සමාගම ටෙන්ඩරයක් ද ලබා ගත්තේය.

ඉන්දියාව සමග චීනයේ එදිරිවාදීකම් වර්ධනය වෙමින් පවතියි. ජුලි මස, චීනයේ හාබින් ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් සමාගමට වඩා අඩු මිලක් ඉදිරිපත් කරමින්, ඉන්දියානු රාජ්‍ය-සතු භාරත් හෙවි ඉලෙක්ට්‍රිකල්ස් ලිමඩ් සමාගම බංගලිදේශය සමග ඇ.ඩො. බිලියන 1.6 වටිනා මෙගා වොට් 1.32 ක විදුලි බලාගාරයක් ගොඩ නැගීම සඳහා කොන්තරාත් අත්සන් කලේ ය.

බීජීනය චිතගොන්ග් ට දකුනෙන් පිහිටි බංගලිදේශයේ සොනයිද දූපතෙහි වරායක් ඉදි කිරීමට එකඟ වී තිබින. කෙසේ වෙතත්, ඩකා ආන්ඩුව එය වානිජ වශයෙන් ශක්‍ය නොවන බවට ප්‍රකාශ කරමින් මෙම වසර මුලදී එය අහෝසි කරන ලදී. එහෙත්, සැබෑ හේතුව වූයේ ඇමරිකාවේ සහ ඉන්දියාවේ විරුද්ධත්වයත්, මෙම ස්ථානයට කිලෝ මීටර් කිහිපයක් දුරින් වෙනත් වරායක් ගොඩ නැගීම සඳහා ජපානයට අවසර දීමේ ඩකා ආන්ඩුවේ තීරනයත් ය.

දකුනු ආසියාව තුල බීජිනයේ බලපෑම අනතුරුදායක බවට ඉන්දියාව නඟන චෝදනාවලට එරෙහිව පෙනී සිටීමට චීනය වෙර දරයි. රජය සතු ග්ලෝබල් ටයිම්ස් ඔක්තෝබර් 12 වාර්තා කලේ, “චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් හි ආරම්භකත්වය ඉන්දියාවේ බලපෑම තුලනය කිරීමේ එල්ලයන් සහිත යයි සිතන සමහර ඉන්දියානුවෝ තමන්වම රවටා ගනිති.” යනුවෙනි.

කෙසේ වෙතත් නව දිල්ලිය ඩකා සමග සබඳතා ශක්තිමත් කරමින් සිටියි. ක්ෂිගේ සංචාරයෙන් පසුව, බංගලිදේශ අගමැති හසීනාගෙන් හින්දු පුවත් පත ඔක්තෝබර් 18 දා මෙසේ විමසන ලදී: “බංගලිදේශය කලාපය තුල චීනයේ වටිනා පලඳනාවක් විය හැකිය යන ඉන්දියාවේ කනස්සල්ල වලංගු නොවෙයි ද” යනුවෙනි. “චීනය දිශාවට බංගලිදේශය නැඹුරු වෙමින් සිටියි” යන චෝදනාව ඉවත දැමූ හසීනා පැවසුවේ ‘‘බංගලිදේශ වෙළඳපොලෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඉන්දියාව බොහෝ සෙයින් සූදානම් වී සිටින” බව යි.

චීනයට වඩා ඉන්දියාව සමග වෙලඳ ගනුදෙනු පසුපසින් ගාටන්නේ ඇයි දැයි විමසූ විට හසීනා පැවසුවේ, ‘‘පෞද්ගලික අංශය තමන් භාන්ඩ මිලදී ගන්නේ කොහෙන්ද යන්න මත මෙය රැඳී පවතියි. බංගලිදේශය තුලට විදේශ ඍජු ආයෝජන ගලාඒම වැඩි කරමින් වෙලඳ පරතරය අඩු කරන මොන්ග්ල සහ භෙරමර වල ඉන්දියානු විදේශ ආයෝජන කලාප ඉදි කිරීමට ද අප සැලසුම් කරමු‍.”

“චීනය සහ බංගලිදේශය අතර සීග්‍රයෙන් වර්ධනය වන සබඳතා” ගැන ඔක්තෝබර් 29 දා ඩිප්ලොමැට් හි පල වූ ලිපියක් අනතුරු අඟවමින් නව දිල්ලියට ආයචනය කලේ, චීනයට එරෙහිව පිහිටුවීම සඳහා “බංගලිදේශය සමග නිම නොවී ඇති සියලුම ගැටලු සාකච්ඡාවට ගන්නා” ලෙසයි. විශේෂයෙන් ලිපිය යෝජනා කරන්නේ, බංගලිදේශයට ගංගානම් ගඟෙන් විශාල ජල ප්‍රමානයක් සැපයීම සඳහා ගිවිසුමක් අත්සන් කරන ලෙසය.

ලිපිය තවදුරටත් යෝජනා කලේ: “බංගලිදේශය, චීනය, ඉන්දියාව, මියන්මාරය බී.සී.අයි.එම් ව්‍යාපෘතිය තුලට ගෙන ඒමට චීනය ක්‍රියාත්මක වන තත්වය හමුවේ, බංගලිදේශය, භූතානය, ඉන්දියාව සහ නේපාලය අතර පරනි වාහන ගිවිසුම මුලුමනින්ම සාර්ථක කර ගැනීමට ඉන්දියාව කඩිනම් විය යුතු” බව ය.

තමන්ගේ පැත්තෙන්, අගමැති හසීනා තීරනාත්මක ගැටලු වලදී නව දිල්ලියට සහය දී ඇත. අර්ථාන්විත ලෙස, ඇය දකුනු ආසියානු සාර්ක් සමුලුව වර්ජනය කිරීමේ දී ඉන්දියාව සමග එක් විය. මෙහි සභාපතිත්වය දරන්නේ දැනට පකිස්ථානය යි. සැප්තැම්බර් 18 දා කාශ්මීරයේ ඌරි හමුදා මුරපොලට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සඳහා නව දිල්ලිය ඉස්ලාමාබාදයට චෝදනා එල්ල කලේය

.

සැප්තැම්බර් 28 දා පකිස්ථාන ප්‍රදේශයට මිලිටරි ප්‍රහාරයක් දියත් කරමින් පකිස්ථානය සමග යුද ආතතියක් නිර්මානය කරමින් සිටින ඉන්දියාව පවසන්නේ, මේවා ත්‍රස්තවාදී කඳවුරුවලට එරෙහි සිදු කරන ප්‍රහාර බව ය. ඉන්දියාවේ මෙම ක්‍රියාවන්ට සහය දෙන හසීනා ආන්ඩුව අනෙක් රටවල “ත්‍රස්තවාදය අපනයනය කර” බවට පකිස්ථානයට චෝදනා කරන්නීය.

වොෂින්ටනය ද බංගලිදේශය තුල තම බලපෑම වැඩි වර්ධනය කිරීමට උත්සාහ කරයි. අගෝසතු මස ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඩකාහි සංචාරයක යෙදුනි. පසුගිය වසර තුන තුල ඉස්ලාමීය අන්තවාදීන් ගේ ත්‍රස්තවාදී ප්‍රහාර ඉහල යාම, බංගලිදේශ හමුදාව සහ බුද්ධි අංශ සමග සබඳතා ශක්තිමත් කිරීමට වොෂින්ටනය විසින් යොදාගනු ලබයි.

පිරිහෙමින් පවතින ආර්ථික සහ සමාජ අර්බුදය හමුවේ හසීනා ආන්ඩුව මංමුලා සහගත උපාමාරුවල යෙදී සිටියි. ඉන්දියාව සමග සමීප සබඳතා පවත්වා ගනිමින් ද ඇමරිකාවෙන් දුරස්ථ නොවී සිටීමට ප්‍රයත්න දරමින් ද චීනයෙන් ආර්ථික ආධාර බලාපොරොත්තු වෙයි. චීනය සහ ඇමරිකාව අතර ආතතිය නොනැවතී වර්ධනය වන විට, මෙම තුලන ක්‍රියාවලිය වැඩි වැඩියෙන් අර්බුදයට යනු ඇත.

Share this article: